හෙට (09) අලුයම පහට (05:00) නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට

හෙට (09) අලුයම පහට (05:00) නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට

මුහුදේදී ගිනිගැනීමකට ලක්වූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වෙයි

*********************************************

හෙට (09) අලුයම පහට (05:00) නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට

(08.11.2020 – 07:16 +0530 – hirunews.lk/sinhala)

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට(09) අලුයම පහට (05:00) අනිවාර්යයෙන්ම ඉවත්වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

පසුගිය 29 වනදා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර, ඊට පෙර ගම්පහ දිස්ත්‍රික්කයටම මෙන්ම තවත් පොලිස් බල ප්‍රදේශ ගණනාවකට ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

බස්නාහිර පළාතට පනවනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය පසුගිය දෙවනදා (02) අලුයම පහෙන් (05:00) ඉවත් කිරීමට නියමිතව තිබුණද එය, හෙට (09) අලුයම පහ (05:00) දක්වා පසුව දීර්ඝ කළා.

මේ අතර හෙට(09) අලුයම පහට (05:00) දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද, රෝගීන් වාර්තාවන ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව –

කොළඹ දිස්ත්‍රික්කයේ : මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීථිය, මාළිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත යන පොලිස් වසම්ද,
මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මුවදොර උයන සහ සිරිසරඋයන, එන්.එච්.එස්. නිවාස සංකීර්ණයද,

ගම්පහ දිස්ත්‍රික්කයේ : වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජාඇළ, සපුගස්කන්ද,

කළුතර දිස්ත්‍රික්කයේ : හොරණ සහ ඉංගිරිය යන පොලිස් වසම් මෙන්ම වෑකඩ – බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයද,

කුරුණෑගල දිස්ත්‍රික්කයේ : කුරුණෑගල මහා නගර සභා සීමාව මෙන්ම කුලියාපිටිය පොලිස් වසමද,

කෑගල්ල දිස්ත්‍රික්කයේ : මාවනැල්ල සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශද,

තවදුරටත් හුදකලා කරන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මෙලෙස හුදකලා කෙරෙන ප්‍රදේශ හරහා ගමනාගමන කටයුතු සිදුකළ හැකි අතර, එම ප්‍රදේශවලදී කිසිදු පුද්ගලයෙකු රථවාහනවලට ඇතුලු කරගැනීම හෝ බැස්සවීම සිදු කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

එමෙන්ම හුදකලා කරන ප්‍රදේශවලට කිසිදු පුද්ගලයෙකුට ඇතුලුවීම හෝ පිටවීමට කල නොහැකි බවයි ඔහු සඳහන් කළේ.

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් මෙන්ම නිරෝධායන නීතිරීති කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් හෙට (09) දිනයේ සිට යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

++++++++++++++++++

(07.11.2020 – 23:01 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරිත්‍යාගයක් ලෙස තවත් ‘රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්’ කට්ටල තොගයක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

+++++++++++++++++++

(08.11.2020 – 08:25 +0530 – hirunews.lk/sinhala)

නව සාමාන්‍යකරණය සිදුවුවත්, ආසාදිතයන් පොකුරු වශයෙන් මතුවන ස්ථාන සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමුකළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ නව ක්‍රමවේදයකට බස් ගාස්තු පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයාගේ එකඟතාවයෙන් පසු ඉදිරිපත් කරන බව බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී ඊයේ (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

++++++++++++++++++++

(08.11.2020 – 08:26 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (07) දිනයේ නව ආසාදිතයන් 449 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,419 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (07) හඳුනාගත් ආසාදිතයන්ගෙන් 445 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවිකයන් තුන්දෙනෙකු (3) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු (1) ද වනවා.

ඒ අනුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන ආසාදිතයන් සංඛ්‍යාව 5,662 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 7,723 ක් ෴

පසුගිය දින කිහිපය තුළ සිදුවූ මරණවලින් වැඩි සංඛ්‍යාවක් කොළඹ මහානගර සභා බල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මේ හේතුවෙන් එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා ඉල්ලා සිටියේ ශ්වසන සහ පපුවේ වේදනාවන් ඇත්නම් වහාම රෝහලක් වෙත ගොස් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසටයි ෴

+++++++++++++++++++

(08.11.2020 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මැදපෙරදිග රටවල් තුනක සිටි ශ්‍රී ලාංකිකයන් 71 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.

ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු ඊයේ (07) රාත්‍රියේ දිවයිනට පැමිණි අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට මෙරටට පැමිණි සංඛ්‍යාව 35 ක්.

එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට අද (08) අලුයම ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා ෴

++++++++++++++++++

(08.11.2020 – 09:14 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ 150 දෙනෙකු ඊයේ (07) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන චෝදනා යටතේ මේ දක්වා 116 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 27 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 62 කු මේ අතර වන බවයි පොලිස් හදිසි ඇමතුම් අංශය සඳහන් කළේ ෴

+++++++++++++++++

(08.11.2020 – 10:44 +0530 – hirunews.lk/sinhala)

හැටන් නගරයේ වසා දමා ඇති මත්ස්‍ය වෙළඳසැලක් විෂබීජහරණයට පැමිණ එහි තිබූ මුදල් සහ භාණ්ඩ කොල්ලකෑ හයදෙනෙකු (6) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවන් පිරිසක්.

මොවුන් මත්ස්‍ය වෙළඳසැලේ ස්වයංක්‍රිය මුදල් ලාච්චුව කඩා එහි තිබූ රුපියල් තිස්හත්දහසකට (37,000) ආසන්න මුදලක් සහ තවත් භාණ්ඩ තොගයක් මෙලෙස කොල්ලකා ඇති බවයි වාර්තාවන්නේ.

එම වෙළඳසැලේ සී.සී.ටී.වී. දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+++++++++++++++++

(08.11.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) ඉවත් කරනු ලැබුවද සෞඛ්‍ය ආරක්‍ෂිත තත්වය සලකා රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ අත්‍යවශ්‍ය රාජකාරී පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

+++++++++++++++++

(08.11.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

දුරගමන් සේවා බස් රථද හෙට (09) සිට ධාවනය ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ එලෙස ධාවනය කරනු ලබන දුර ගමන් සේවා හුදකලා කර ඇති ප්‍රදේශයන්හි නොනවත්වා ධාවනය කරන බවයි.

එමෙන්ම ලංගමයේ සියලු කෙටි ගමන් සේවාද හෙට (09) සිට ආරම්භ වනවා.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (09) සිට කාර්යාල දුම්රිය පමණක් ධාවනයට එක් කරන බවයි.

කෙසේ වෙතත් හුදකලා කර ඇති ප්‍රදේශවල දුම්රිය නැවැත්වීමක් සිදු නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු බස්නාහිර ඇතුලු ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල මගී ප්‍රවාහන කටයුතු හෙට (09) සිට යළි ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් ලබන සතියේ හඳුන්වාදීමට නියමිත බවයි.

එහි ඇතැම් කරුණු ක්‍රියාත්මක කරන්නේ නම් බස් ගාස්තු වැඩිවීමක් සිදුවිය හැකි බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමින්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් බස් රථ ධාවනය කිරීම පිළිබඳව මෙතෙක් බලධාරීන් නිශ්චිත ක්‍රමවේදයක් හඳුන්වාදී නොමැති වීම ගැටළු සහගත බවයි.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල හෙට ඇඳිරි නීතිය ඉවත් කළද රාජ්‍ය සේවකයින් පැමිණීම තවදුරටත් සීමා කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළා.

මුව ආවරණ පැළඳීමකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුලුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ව්‍යාපාරිකයෙකු දින 14 ක් නිරෝධායනයට ලක් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මොහු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ උපදෙස් නොතකා මුව ආවරණ නොමැතිව ඊට ඇතුලුවීමට උත්සහ ගැනීමේදී ඊයේ අත්අඩංගුවට ගැනුනේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි.

පසුව මෙම ව්‍යාපාරිකයා දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී සැකකරුව සති දෙකක කාලයක් නිරෝධායනයට ලක් කරන ලෙස නියෝග කෙරුණා.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :

++++++++++++++++

(08.11.2020 – 14:14 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයින් 445 දෙනෙකු ඊයේ (07) වාර්තාවීමත් සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 10,000 සීමාවට ආසන්නවී තිබෙනවා.

මේ අතර සේවකයින් 6000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන හොරණ ‘බොඩිලයින්’ ආයතනයෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහල යන පසුබිමක එහි සිදු කෙරෙන පීසිආර් පරීක්ෂණ සතුටුදායක මට්ටමකට නොපවති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

මිනුවන්ගොඩ සහ පැලියගොඩ පොකුරෙන් ඊයේ (07) කොවිඩ් 19 ආසාදිතයින් 445 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව එම පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9,941 ක්.

ඊයේ (07) වාර්තා වූ ආසාදිතයින් 445 දෙනාගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් සටහන් වන අතර එම සංඛ්‍යාව 176 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 174 දෙනෙකු ද, කළුතරින් 10 ක් , කුරුණෑගලින් 25 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 14 දෙනෙකුද සටහන් වුණා.

මේ අතර ඊයේ (07) දිනයේ කොවිඩ් 19 ආසාදිතව මියගිය සංඛ්‍යාව 4 ක් ලෙස සටහන් වූ අතර ඉන් තිදෙනෙකු (3) කාන්තාවන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වුවත් එම දෙපාර්තමේන්තුව අද (08) යළි නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ගනේමුල්ල ප්‍රදේශයේදී මියගොස් ඇත්තේ 88 හැවිරිදි කාන්තාවක නොව පිරිමියෙකු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකජනරාල්වරයා නිවැරදි කර ඇති බවයි.

පසුගිය දින කිහිපය තුළ සිදුවූ මරණවලින් වැඩි සංඛ්‍යාවක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වීම හේතුවෙන් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවේ ශ්වසන හා පපුවේ වේදනාවක් ඇත්නම් වහාම රෝහල කට ගොස් වෛද්‍ය උපදෙස් ගන්නා ලෙසයි.

මේ අතර හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයකට භාජය කොට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගියා ප්‍රතිකාර සඳහා පළමුව ඇතුළත් කළ අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 11 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර කොළඹ වරායේ සේවය කරන කඹුරුපිටිය මිරිස්වත්ත හා ගතාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුට (2) කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර සේවකයන් 6000 කට ආසන්න සංඛ්‍යාවක් රැකියාවේ නියුතු හොරණ ‘බොඩිලයින්’ ආයතනයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළයමින් පවතින බවත් ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණවත් මට්ටමක නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

කෙසේ වුවත් ‘මාස් හෝල්ඩින්ග්ස්’ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිවයිනේ ඇති සියලු ‘බොඩිලයින්’ ආයතනවල සේවකයන් වෙනුවෙන් පුළුල් ලෙස PCR පරීක්ෂණ සිදුකරන බවයි.

මිනුවන්ගොඩ පොකුර හඳුනාගැනීමෙන් පසු මේ දක්වා සිදුකළ පරීක්ෂණ 2820 කින් පරීක්ෂණ 1760 ක ප්‍රතිඵල ලැබීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

ආසාදිතයින් 69 දෙනෙකු හා ආසාදිත නොවන 969 දෙනෙකු පිළිබඳවද වාර්තා වන බවත් එහි සඳහන්.

මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ නිවාස අලුත්වැඩියාකරන්නන් දෙදෙනෙකු (2) හඟුරන්කෙත ප්‍රදේශයේ නිවසක් ඉදි කිරීමේ කටයුතුවල යෙදී සිටියදී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා තෙල්දෙණිය රෝහලට යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කර ඇති අතර ආශ්‍රිතයින් 20 දෙනෙකු පමණද නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

+++++++++++++++++++

(08.11.2020 – 14:25 +0530 – hirunews.lk/sinhala)

‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවල තත්ත්වය සම්බන්ධයෙන් සිදුකෙරෙන පර්යේෂණ අද (08) හෝ හෙට (09) දිනයේදී අවසන් කිරීමට බලාපොරොත්තුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

මේ අතර ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් අදත් (08) විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++

(08.11.2020 – 14:30 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරිනීතිය ඉවත් කළ පසුව වුවත් ජනතාව කොවිඩ් පාලනය සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් විය යුතු බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

මේ අතර ගෙවුණු පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 152 දෙනකු සහ රථවාහන 22 ක් පොලිස් භාරයට තිබෙනවා.

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට ඉවත් කෙරුණද සංචරණ නීති සහ සෞඛ්‍ය උපදෙස් තරයේ පිළිපඳින ලෙස වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් එළිදැක්වීමට නියමිතයි.

ඒ අනූව බස්රථයක සිග් සැග් ක්‍රමයට මගීන් අසුන් ගන්නේනම් බස් ගාස්තු මෙන් 1.5 ක බස් ගාස්තුවක්ද ආසන ගණනට මගීන් අසුන් ගන්නේනම් බස්ගාස්තුව මෙන් 1.2 ක ගාස්තුවක්ද අය කිරීමට මේ වන විට යෝජනා වී තිබෙනවා.

මේ අතර බස් සේවා සුපුරුදු පරිදි හෙට (09) පෙරවරු 05:00 සිට ක්‍රියාත්මක කෙරෙන බවට පෞද්ගලික බස්රථ සංගම් නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන රථවාහන පොලිස් මාර්ග බාධක යොදා දැඩි පරීක්ෂාවකට ලක් කළේ මේ අයුරින්.

වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙඳපොල ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනූව ක්‍රියා කරන්නේදැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී විකිණීමට සූදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් සොයා ගැණුනා.

එම වෙළෙඳුන්ට අවවාද කිරීමෙන් අනතුරුව අදාළ මාළු තොගය විනාශ කිරීමටයි නිලධාරීන් කටයුතු කළේ.

මුව ආවරණ පැළඳීමකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුලුවීම සඳහා උත්සාහ කළ ව්‍යාපාරිකයෙකු දින 14 ක කාලයක් නිරෝධායනය කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ අදාළ ව්‍යාපාරිකයා ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමේදී පොලිසියේ අවවාද නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් නිරෝධායන නීතිය යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

*********************************************

මුහුදේදී ගිනිගැනීමකට ලක්වූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වෙයි

(07.11.2020 – news.navy.lk)

දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවක ඇති වූ ගින්නක් සාර්ථකව පාලනය කර අදාල ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 නොවැම්බර් 07) කටයුතු කරන ලදි.

අම්බලන්ගොඩ ධීවර ‍වරායෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් තිබූ ‘ජනත් I’, (IMUL-A-0545-GLE) නැමැති බහුදින ධීවර යාත්‍රාව නැවත ගොඩබිම වෙත පැමිණෙමින් තිබියදී කොග්ගල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී එහි එන්ජින් කාමරයේ හදිසි ගිණි ගැනීමක් ඇතිවී ඇති අතර, අදාල ප්‍රදේශයේ මුර සංචාරයේ නිරතව සිටි දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළ ආරක්ෂක මුර යාත්‍රාවක් මගින් එම බහුදින යාත්‍රාවේ ඇතිව තිබූ ගින්න නිරීක්‍ෂණය කරන ලදි. ඒ අනුව වහාම එම වෙරළ ආරක්ෂක මුර යාත්‍රාව බහුදින ධීවර යාත්‍රාවේ ඇතිව තිබූ ගින්න පාලනය කිරීමට යොමු කිරීමටත්, තවදුරටත් ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ගාල්ල වරායේ සිට නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක්ද කඩිනමින් අදාල බහුදින යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමටත් කටයුතු කරන ලදි.

ඒ අනුව වේග ප්‍රහාරක යාත්‍රාවේ සහ වෙරළ ආරක්ෂක මුර යාත්‍රාවේ නාවික පුද්ගලයින් විසින් ඇතිවී තිබූ ගින්න සාර්ථව පාලනය කිරීමට සමත් විය. මෙම සිදුවීමෙන් අදාල බහුදින ධීවර යාත්‍රාවේ සිටි කිසිදු ධීවරයෙකු හට අනතුරක් සිදුවී නොමැති අතර, එම බහුදින යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් පිරිස නාවික හමුදා වෙරළ ආරක්‍ෂක මුර යාත්‍රාව මගින් ගාල්ල ධීවර වරාය වෙත නිරුපද්‍රිත‍ව රැගෙන ඒමට කටයුතු කරන ලදි.

පවතින කොව්ඩ් 19 අවධානම් තත්වය හමුවේ මෙම ආපදා සහන මෙහෙයුම සෞඛ්‍යාර‍ක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසිම සඳහා නිරන්තයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාව, ඉදිරියේදීද ඇතිවිය හැකි මෙවැනි ඕනෑම හදිසි අවස්ථාවන් සඳහා ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටී.

***************************************

(08.11.2020 – 09:12 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඩ්න්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජෝ බයිඩ්න්ට මෙන්ම උප ජනාධිපති ලෙස තේරී පත්වූ කමලා හැරිස්ටද සිය සුබපැතුම් එක් කරන බවයි.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වසර 72 ක් පැරණි රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් වැඩි දියුණු කරගැනීමට මොවුන් දෙදෙනා සමඟ එක්ව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවද එහි සඳහන්.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ජෝ බයිඩ්න්ට සහ කමලා හැරිස්ට සුබපැතුම් එක්කර තිබෙනවා ෴

***************************************

(08.11.2020 – 13:25 +0530 – hirunews.lk/sinhala)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගය නියෝජනය කරන හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 7 දෙනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එම පක්ෂවල නායකයින්ගෙන් කරුණු විමසීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළව මෙම සතියේදී ලිඛිතව කරුණු විමසන බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන්ගේ නායකත්වය දරණ දේශපාලන පක්ෂ 3 කට අයත් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පසුගිය දා පැවති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නා.

මීට අමතරව සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද ඊට පක්ෂව ඡන්දය ලබාදුන් අතර, ඇයට එරෙහිව දැනටමත් විනය පියවරගැනීම ආරම්භ කර ඇති බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට මීට පෙර දැනුම් දී තිබුණේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනා දැනට පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටින ආසනවල වෙනසක් සිදුකරන ලෙසටයි.

ඒ අනුව ඔවුන්ගේ අසුන් පැනවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට රැස්වන පාර්ලිමේන්තු කටයුතු තේරීම් කාරක සභාවේදී ගැනීමට නියමිත බවයි වාර්තාවන්නේ ෴

***************************************

(08.11.2020 – 13:38 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩ්න්ට සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙය ඓතිහාසික ජයග්‍රහණයක් වන අතර, ඉදිරියේදී ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ජෝ බයිඩ්න්ට මෙන්ම උප ජනාධිපති ලෙස තේරී පත්වූ කමලා හැරිස්ටද සිය සුබපැතුම් එක් කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ජෝ බයිඩ්න්ට සහ කමලා හැරිස්ට සුබපැතුම් එක්කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *