රටට සෙත් පතා රතන සූත්‍රය දේශනා කිරීමේ වැඩසටහනක් අද (08) සිට

රටට සෙත් පතා රතන සූත්‍රය දේශනා කිරීමේ වැඩසටහනක් අද (08) සිට

මිනිස් වාසයෙන් තොර වූ නිවාස ව්‍යාපෘතිය – නොච්චියාගම ‘හැලඹෑවගම’ ජන උදාන ගම්මානය

බස්නාහිර ඇඳිරි නීතිය ඉවතට – දිස්ත්‍රික්ක 5 කට අයත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කෙරේ

ගිනි අවිය රැගෙන, පළා ගිය කුරුවිට පොලීසියේ සැරයන් සොයන්න, කණ්ඩායම් 10 ක්

*********************************************

රටට සෙත් පතා රතන සූත්‍රය දේශනා කිරීමේ වැඩසටහනක් අද (08) සිට

(08.11.2020 – 14:57 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මව්බිමෙන් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් රට වැසියාට සෙත් පතා රතන සූත්‍රය දේශනා කිරීමේ වැඩසටහන් මාලාවක් අද (08) ආරම්භ වනවා.

දිස්ත්‍රික්ක 25 ම කේන්ද්‍ර කරගනිමින් මෙම ආගමික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙහි සමාරම්භක අවස්ථාව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරු 04:30 ට කොළඹ-7, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී ආරම්භ වන බවයි.

රතන සූත්‍රය

+++++++++++++++++

(08.11.2020 – 15:25 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු හුදෙකලා කෙරෙන ප්‍රදේශවලට ඇතුළුවීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ එසේ වුවහොත් අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණ විය හැකි බවයි ෴

++++++++++++++++++

(08.11.2020 – 15:35 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලු අධිවේගී මාර්ග පිවිසුම් හෙට (09) විවෘතව තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අද (08) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා ෴

++++++++++++++++++++

(08.11.2020 – 15:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගීන් 562 නෙකු සම්පූර්ණ සුවය ලබා අද (08) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමඟම මෙතෙක් සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 8285 දක්වා ඉහළ යනු ඇති.

මෙරටින් මේ වන විට කොරෝනා මරණ 34 ක් වාර්තා වී ඇති අතර, මේ දක්වා සොයාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 13,419 ක් ෴

++++++++++++++++++

(08.11.2020 – 17:28 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායනයට ලක්ව සිටින පිරිසක් සමඟ ගැටුමක් ඇති කර ගත් පවුල් 4 ක සාමාජිකයින් 5 දෙනෙකු දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමේ පුවතක් යාපනය – පේදුරුතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිස රැදී සිටි නිවස ඉදිරිපිට එම ප්‍රදේශයේම පදිංචි තවත් පිරිසක් සෙල්ලම් කර ඇති අතර, ඒ පිළිබදව නිවැසියන් විසින් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර තිබෙනවා.

ඒ පිළිබදව නිවැසියන් සමඟ උරණ වූ එම පිරිස ඔවුන් සමඟ කලහකාරී තත්ත්වයක් ඇති කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

+++++++++++++++++++

(08.11.2020 – 18:37 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එහි ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ (07) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ රැදවියන් 142 නෙකු අතුරින් පිරිසකට මෙලෙස වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බවයි.

ඉන් 63 දෙනෙකුම කාන්තා රැදවියන් වන අතර, බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි සේවකයෙකු ආසාදිතයින් අතරට ඇතුළත් ෴

+++++++++++++++++++

(08.11.2020 – 18:39 +0530 – hirunews.lk/sinhala)

අද (08) දිනයේත් තවත් කොරෝනා ආසාදිතයින් 283 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඔවුන් සියළු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව අද (08) දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාවත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,702 ක් දක්වා ඉහළ ගියා.

තවත් ආසාදිතයන් 562 කු අද (08) සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8,285 දක්වා ඉහළ ගියා.

තවත් ආසාදිතයන් 445 දෙනෙකු ඊයේ (07) වාර්තාවීමත් සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර මේ වනවිට දස දහසේ (10,000) සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව එම පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව 10,224 ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

+++++++++++++++++

(08.11.2020 – 19:59 +0530 – hirunews.lk/sinhala)

හුදෙකලා කෙරෙන ප්‍රදේශවල ජීවත් වන ජනතාවට රැකියා සඳහා එම ප්‍රදේශවලින් පිටතට යාමට හෙට (09) සිට අවසර හිමි නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුෂී පෙරේරා මහත්මිය ප්‍රකාශ කළා.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (08) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ කර්මාන්ත ශාලා සේවකයන්ට මෙන්ම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතනවල සේවකයන්ට හුදෙකලා කර ඇති ප්‍රදේශවලට ආයතනික වාහනවලින් පිවිසීම සහ පිටවීමට හැකියාව පවතින බව පොලිසිය සඳහන් කළා.

බස්නාහිර ඇතුළු ඇඳිරි නීතිය දැනට ක්‍රියාත්මක සියලු ප්‍රදේශවල එම නිරෝධායන ඇඳිරි නීතිය හෙට (09) උදෑසන පහට (05:00) ඉවත් කෙරෙනවා.

කෙසේ වෙතත් පවතින තත්වය සලකා පොලිස් වසම් 25 ක් හුදකලා කිරීමටයි රජය තීරණය කළේ.

මේවායේ ජීවත්වන ජනතාව නිවාස ඒකක අතර හෝ ගමන් කිරීමෙන් වැළකී සිය නිවෙස් තුළම රැඳී සිටිය යුතු බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී – යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

+++++++++++++++++

(08.11.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් හෙට (09) සිට උදෑසන හා පස්වරුවේ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

කෙසේ වෙතත්, හුදෙකලා කර ඇති ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කරනු ඇති.

මේ අනුව දෙමටගොඩ, කැළණිය, වනවාසල, එඬේරමුල්ල, පේරලන්ද, ජාඇල, තුඩැල්ල, කුඩහකපොළ, බේස්ලයින්, කොටා රෝඩ්, කුරුණෑගල, මුත්තෙට්ටුගල, හොරපේ, රාගම, වල්පොළ, බටුවත්ත, කුරණ, මීගමුව සහ කට්ටුව යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්.ඩී. රංජිත් පද්මලාල් මහතා කියා සිටියා.

දුරගමන් සේවා බස් රථද හෙට (09) සිට ධාවනය ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ එලෙස ධාවනය කරනු ලබන දුර ගමන් සේවා හුදකලා කර ඇති ප්‍රදේශයන්හි නොනවත්වා ධාවනය කරන බවයි.

එමෙන්ම ලංගමයේ සියලු කෙටි ගමන් සේවාද හෙට (09) සිට ආරම්භ වනවා.

බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලු අධිවේගී මාර්ග පිවිසුම් හෙට (09) විවෘතව තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අද (08) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

++++++++++++++++++

(08.11.2020 – 20:27 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබුව ද පවතින තත්ත්වය සලකා රාජ්‍ය ආයතනයන් හි සේවයට කැදවිය යුත්තේ රාජකාරිය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බවයි.

ඒ සඳහා ආයතන ප්‍රධානීන්ට බලය හිමි වන අතර සෙසු කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක වන පරිදි නිවසේ සිට රාජකාරී කළ යුතු බව ලේකම්වරයා සඳහන් කළා ෴

++++++++++++++++++

(08.11.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

හොරණ – බොඩිලයින් ඇඟළුම් කර්මාන්තශාලාවෙන් වාර්තාවන මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (07) දිනයේත් නව ආසාදිතයන් 80 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

සේවකයන් 6,000 කට ආසන්න පිරිසක් සේවය කරන අදාළ ඇඟළුම් කර්මාන්තශාලාවේ රජය මගින් පසුගියදා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකළ පිරිස් නිරෝධායනයට යොමුකරන ලෙස සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් මත ඔවුන් අද නිරෝධායනය සඳහා යොමුකළ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

එම කර්මාන්තශාලාවේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා තවදුරටත් ලැබීමට නියමිත අතර, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල, අගලවත්ත, කිරිඇල්ල සහ පාදුක්ක ප්‍රදේශවල මෙන්ම මහනුවර, අනුරාධපුර වැනි දුරබැහැර ප්‍රදේශවල පදිංචිකරුවන් ද ඒ අතර සිටින බව සඳහන්.

කෙසේ වෙතත්, එම කර්මාන්තශාලාව හිමි ‘මාස් හෝල්ඩින්ග්ස්’ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයින පුරා පිහිටි තම කාර්මාන්තශාලාවල සේවකයන් වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ පුළුල් කර ඇති බවයි.

මේ අතර බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 235 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා.

ඉන් හයදෙනෙකු (6) දැනටමත් පූර්ණ සුවය ලබා ඇති අතර, තවදුරටත් 229 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර අනුරාධපුර පූජා නගරයේ සැරිසරන 80 හැවිරිදි යාචකයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව අද (08) තහවුරු වී තිබෙනවා.

ශ්‍රී මහා බෝධි මාවතේ මල්වතු ඔය අසළ යාචකයින් රැඳී සිටින ස්ථානයේ කාලයක් තිස්සේ නවාතැන් ගෙන සිටින මොහු කොරෝනා ආසාදිතයෙකු බවට අද (08) තහවුරු වුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලේදියි.

මොහු රුවන්වැලි සෑය අසළ වැඩි වශයෙන් සිඟමනේ යෙදෙන බවටයි ඔහු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීම්වලදී අනාවරණ වී ඇත්තේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇළ, වත්තල, පෑලියගොඩ, මහර සහ ගම්පහ ප්‍රදේශවල පදිංචි කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ 90 දෙනෙකු අද වැලිසර – නවලෝක ක්‍රීඩාංගනයට රැගෙනවිත් කහවත්ත සහ බිංගිරිය රෝහල් වෙත යැවීමට කටයුතු කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ ආශ්‍රිතයන් බව හඳුනාගෙන තිබෙනවා.

+++++++++++++++++++

ශ්‍රී ලංකාවේ 35 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(08.11.2020 – 21:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ 35 වන කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 78 ක් වයසැති පිරිමි පුද්ගලයෙක්.

ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් සිටි බව සඳහන්.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසට හඳුනාගෙන ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 සමග ඇතිවූ හෘදයාබාදයක් ෴

++++++++++++++++++

(08.11.2020 – 22:15 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 227 ක් හමුවී තිබෙනවා.

ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවූ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

ඒ අනුව මෙරටින් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 13,929 ක් දක්වා ඉහළ යනවා.

ඉන් 5609 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 8285 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. සිදුවූ මරණ සංඛ්‍යාව 35 ක් ෴

*********************************************

මිනිස් වාසයෙන් තොර වූ නිවාස ව්‍යාපෘතිය – නොච්චියාගම ‘හැලඹෑවගම’ ජන උදාන ගම්මානය

(08.11.2020 – 14:36 +0530 – hirunews.lk/sinhala)

හිසට සෙවනක් නොමැති අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් මෙරට රජයන් යටතේ කොතෙකුත් නිවාස ව්‍යාපෘති ඉදිකර තිබෙනවා.

එලෙස ඉදිකළ ගම්මානයක් මිනිස් වාසයෙන් තොර භූමියක් බවට පත්වූ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අද (08) ‘රතු මිනිත්තුව’ දිග හැරෙන්නේ එම අසාර්ථක නිවාස ව්‍යාපෘතිය පිළිබඳවයි.

මේ නොච්චියාගම ‘හැලඹෑවගම’ ජන උදාන ගම්මානයයි.

1996 වසරේදී එවක නිවාස ඉදිකිරීම් හා මහජන උපයෝගීතා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සංකල්පයක් මත මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහාය ඇතිවයි.

නිවාස අධිකාරියෙන් ලබාදුන් ඉඩම්වල රුපියල් 25,000 ක ණය ආධාර ලබාදෙමින් නිවාස 100 කින් සමන්විත මෙම ජන උදාන ගම්මානය ඉදිකර ඇත්තේ නිවාසලාභීන්ගේ ශ්‍රමය හා ධනය ද යොදවමින්.

ප්‍රජාශාලාවක්, ක්‍රීඩා පිටියක්, නල ළිං සහ විදුලි බලයද සහිතව ඉදිකළ මෙම ගම්මානයේ සුන්දරත්වය පැවතී ඇත්තේ කෙටි කාලයක් පමණයි.

ගම්වැසියන් පවසන්නේ නිවාස 100 කින් සමන්විත ජන උදාන ගම්මානයේ වැසියන් එකිනෙකා ගම අතහැර දමා ගිය බැවින් මේ වනවිට එහි ජීවත් වන්නේ නිවාස 30 ක වැසියන් පමණක් බවයි.

කැඩී බිඳී වල් බිහිවී ගිය ගොඩනැගිලි තුළ මේ වනවිට සමාජ විරෝධී ක්‍රියා සිදුවන බැවින් දැනට එහි පදිංචිව සිටින ගම්වැසියන්ට සිදුව ඇත්තේ භීතියෙන් කල් ගෙවීමටයි.

පිරිසිදු පානීය ජලය නොමැතිකමින් මේ වනවිට එම ගම්මානයේ ජීවත් වන වැසියන් විවිධ රෝගී තත්ත්වයන්ට ද ගොදුරුවී තිබෙනවා.

ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් හෝ මෙම නිවාස ලබාදී ජනතාවට ඵලදායි ව්‍යාපෘතියක් බවට මෙම උදා ගම්මානය පත්කර දෙන ලෙසයි.

හැළඹෑවගම ගමට යළි ජීවය ලබාදීමට බලධාරීන්ගේ අවධානය යොමු කරන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(08.11.2020 – 15:28 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව තොග වෙළඳ හුවමාරුවට සමාන මහා පරිමාණ ජාතික ආර්ථික මධ්‍යස්ථානයක් අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේ ඉදිකරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එය ඉදිකිරීමට නියමිත ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ කොළඹ තොග වෙළද මධයස්ථානය හදිසියේ වසා දැමුවහොත් මෙම ස්ථානයෙන් ජනතාවට භාණ්ඩ බෙදා හැරීම ගැටළුවක් නොවනු ඇති බවයි.

අනුරාධපුරය, වව්නියාව, මඩකලපුව, කිලිනොච්චිය සහ යාපනය ඇතුළු තවත් දිස්ත්‍රික්ක 10 ක් සඳහා ප්‍රධාන තොග හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස මෙය ඉදිකිරීමට නියමිතව තිබෙනවා.

***************************************

(08.11.2020 – 17:07 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය කඨින මහා උත්සවය සහ පඬු පෙවීමේ මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සෝමාවතිය පුද බිමේදී පැවැත්වුණා.

දෙවන පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මව්බිමෙන් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් රට වැසියාට සෙත් පතා රතන සූත්‍රය දේශනා කිරීමේ වැඩසටහන් මාලාව අද (08) ආරම්භ වුණා.

එහි පළමු වැඩසටහන බුද්ධ ශාසන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ ආරම්භ කෙරුණේ කොළඹ-7, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදියි.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව රතන සූත්‍රය දේශනා කිරීම දිස්ත්‍රික්ක 25 ම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ෴

***************************************

(08.11.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලන්විට සහ අක්කර 100 යන ගම්මානවල මේ වනවිට පුළුල් සංවර්ධන සංග්‍රාමයක් ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන ආරම්භ කරමින් පසුගිය සැප්තැම්බර් 25 වන දා හල්දුම්මුල්ල, කුමාරතැන්න ගම්මානයේ චාරිකාවක නිරත වූ අතර මේ වන විට රාජ්‍ය ආයතන 19 ක් විසින් ව්‍යාපෘති 51 ක් හල්දුම්මුල්ල ග්‍රාමයේ දියත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ යටතේ ගම්පහ – වෙලංවිට, කැලිපනාවල – හාල්කන්න, අක්කර සියය – කක්කුටුඅරාව සහ බෙරගල – වැල්ලවාය මාර්ගවල ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා.

එසේම, වන අලි ගම්වැදීම නතර කිරීම සඳහා පතහ සිට අයිස් පීල්ල දක්වා විදුලිවැටක් ඉදිකිරීම ද සිදුකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

*********************************************

බස්නාහිර ඇඳිරි නීතිය ඉවතට – දිස්ත්‍රික්ක 5 කට අයත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කෙරේ

(09.11.2020 – 06:30 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත ඇතුළුව මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය අද (09) අලුයම 5 ට ඉවත්කෙරුණා.

එසේ වුවද දිස්ත්‍රික්ක 5 කට අයත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කෙරෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පුවිදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත යන පොලිස් වසම් හුදෙකලා කර තැබෙනු ඇති.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජාඇල සහ සපුගස්කන්ද යන පොලිස් බල ප්‍රදේශද පවතින්නේ හුදෙකලා ප්‍රදේශ ලෙසයි.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය යන පොලිස් වසම් මෙන්ම, වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසමත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටිය පොලිස් වසමත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල යන පොලිස් වසම්ද හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

එසේම කොවිඩ් 19 පැතිරීම සම්බන්ධයෙන් කොළඹ මහල් නිවාස සංකීර්ණ කිහිපයක් දැඩි අවදානමක් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, මෝදර රන්මිණ සෙවන, දෙමටගොඩ සිරිසඳ උයන සහ මාලිගාවත්ත එන්.එච්.එස්. නිවාස සංකීර්ණය මෙලෙස හඳුනාගෙන ඇති අතර සෞඛ්‍ය බලධාරීන් දැනුම්දෙන්නේ ජනතාවට නිවෙස් ඒකක අතර ගමන් කිරීමෙන් වැළකී නිවෙස් තුළම රැඳීසිටින ලෙසටයි.

කෙසේ වෙතත්, හුදෙකලා ප්‍රදේශවල ජීවත් වන ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය කෙරෙන කර්මාන්තශාලාවල සේවකයන්ට කොන්දේසිවලට යටත්ව එම ප්‍රදේශවලින් ඉවත්ව රැකියා ස්ථාන වෙත යාමට අවසර හිමි වනවා.

එසේ වුවද අදාළ කර්මාන්තශාලාවල හිමිකරුවන් සිය අවශ්‍යතා සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර අවසර පත්‍රයක් ලබා ගත යුතුයි ෴

+++++++++++++++++

(09.11.2020 – 07:15 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිදේහ පරීක්ෂණ මෙරට සිදුකළයුතු බවට තීරණය කර ඇතිමුත් එය මෙරට භාවිත කිරීම කොතරම් යෝග්‍ය ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහන වෙත සජීවීව එක්වෙමින්.

එසේම එම ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටලයන් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මෙරටට ගෙන්වාගත හැකි බවද ඔහු සඳහන් කළා.

අනෙක් පියවර වන්නේ SPC ආයතනය මගින් ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව එම ටෙන්ඩර් තාක්ෂණික යෝග්‍යතාව ඇතුළු විවිධ පරාසයන් ඔස්සේ විශ්ලේෂණය කර විනිවිද භාවයකින් යුක්තව මෙරටට ගෙන්වීමයි.

එසේම මේ වනවිටත් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධාන වෙතින් එම කට්ටල ඉල්ලීමක් කර ඇති බවයි සෞඛ්‍ය අමත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

මේ අතර අද (09) දිනයේ බස්නාහිර පළාතට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමක් සිදුකල ද සෞඛ්‍ය අංශවල නිර්දේශයන් පිළිපැදීමට මහජනතාව නිරතුරුව කටයුතු කළ යුතු බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙම කොරෝනා රැල්ල පාලනය කිරීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

සායන මාර්ගයෙන් ඖෂධ භාවිත කරන රෝගීන් එම ඖෂධ නිවසට ගෙන්වාගැනීමට කටයුතු කළයුතු බවයි එහිදී ප්‍රකාශ කළේ.

මේ අතර නිවෙස් තුළ මියයන පුද්ගලයන් පිළිබඳව විද්‍යාත්මක නිර්ණායකයක් අවශ්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ෴

++++++++++++++++++

(09.11.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

එහි ප්‍රාථමික සේවා පිළිබද අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා ඉල්ලා සිටියේ ප්‍රතිකාර ලබා ගැනීමට මහරගම අපේක්ෂා රෝහලට නොපැමිණෙන ලෙසටයි.

ප්‍රතිකාර කිරීමට මෙන්ම ඖෂධ ලබාදීමේ ක්‍රමවේදයක් ද සකස් කර ඇති බව ඔහු කියා සිටියා.

එමෙන්ම, නිධන්ගත රෝග පවතින පුද්ගලයින්ට ඖෂධ බෙදා හැරීම තවදුරටත් තැපැල් දෙපාර්තමේන්තුව හරහා සිදුකරන බවයි වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කළේ ෴

++++++++++++++++++

(09.11.2020 – 08:06 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් අද (09) සිට උදෑසන හා පස්වරුවේ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

කෙසේ වෙතත්, හුදෙකලා කර ඇති ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කරනු ඇති.

මේ අනුව දෙමටගොඩ, කැළණිය, වනවාසල, එඬේරමුල්ල, පේරලන්ද, ජාඇල, තුඩැල්ල, කුඩහකපොළ, බේස්ලයින්, කොටා රෝඩ්, කුරුණෑගල, මුත්තෙට්ටුගල, හොරපේ, රාගම, වල්පොළ, බටුවත්ත, කුරණ, මීගමුව සහ කට්ටුව යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්.ඩී. රංජිත් පද්මලාල් මහතා කියා සිටියා.

දුරගමන් සේවා බස් රථද අද (09) සිට ධාවනය ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ එලෙස ධාවනය කරනු ලබන දුර ගමන් සේවා හුදකලා කර ඇති ප්‍රදේශයන්හි නොනවත්වා ධාවනය කරන බවයි.

එමෙන්ම ලංගමයේ සියලු කෙටි ගමන් සේවාද මේ වන විට ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංගමයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සිය ප්‍රවේශපත්‍රලාභීන්ට මේ සතිය තුළ ඔක්තෝම්බර් මාසයේ ප්‍රවේශ පත්‍රයෙන් ගමන් කිරීමට අවසර හිමි වන බවයි.

ක්‍රමානුකූලව අද (09) සිට පෞද්ගලික ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ද පෞද්ගලික බස් සංගම් කියා සිටියා.

කෙසේ වෙතත්, පොදු මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සූදානම් වුවද මේ වන තුරුත් කොරෝනා මර්දනයට අදාළ ප්‍රවාහන ප්‍රතිපත්තියක් රජය විසින් එළිදක්වා නැහැ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු වන ලෙස පොදු ප්‍රවාහනය සිදුකර ආකාරය පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් හෙට (10) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

එමෙන්ම, බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලු අධිවේගී මාර්ග පිවිසුම් අද (09) විවෘතව තබනවා.

කෙසේ වෙතත්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබුව ද පවතින තත්ත්වය සලකා රාජ්‍ය ආයතනයන් හි සේවයට කැදවිය යුත්තේ රාජකාරිය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බවයි.

ඒ සඳහා ආයතන ප්‍රධානීන්ට බලය හිමි වන අතර සෙසු කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක වන පරිදි නිවසේ සිට රාජකාරී කළ යුතු බව ලේකම්වරයා සඳහන් කළා.

මේ අතර, පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මුළුමනින්ම අත්හිටුවා දමා තිබූ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරී කටයුතු අද (09) සිට යළි අරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා.

පසුගිය 5 වන දා එම කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ එහි කාර්ය මණ්ඩලයේ 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනුයි.

ඒ අනුව ඊයේ (08) මධ්‍යම තැපැල් හුවමාරුව විෂබීජහරණයට ද ලක් කෙරුණා.

ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය අධිවේගී කුරියර් සේවාව ඇතුළු සීමිත රාජකාරී කිහිපයක් සඳහා පමණක් එය විවෘත කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එමෙන්ම, ලියාපදිංචි ලිපි අංශයේ තේරීම් කටයුතු හෙට (10) ආරම්භ කිරීමට නියමිත අතර, කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශයේ රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදා දීමේ කටයුතු අනිද්දා (11) සිට ආරම්භ වනවා ෴

++++++++++++++++++

(09.11.2020 – 08:29 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව මැනිං පොදු වෙළඳපොළ අද (09) දින වසා තැබීම හේතුවෙන් පිට පළාත් වලින් එළවළු තොග රැගෙන ගොවීන් සහ ව්‍යාපාරිකයින් පැමිණීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා.

පොලිසිය අද (09) අළුයම සිට මැනිං වෙළඳපොළ වසා දමා තිබුණේ සෞඛ්‍ය අංශ මීට පෙර කර තිබූ දැනුම්දීමකට අනුවයි.

කෙසේ වෙතත්, අද (09) දින ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග මැනිං වෙළඳපොළ ද විවෘතව තබන බව මැනිං වෙළඳපොළ වෘත්තීය සමිති පෙරේදා දැනුම් දී තිබුණා.

ඒ අනුව පළාත් රැසකින් එළවළු තොග රැගත් ලොරි 200 කට ආසන්න සංඛ්‍යාවක් පිටකොටුවට පැමිණ තිබූ අතර, ඒ සමඟම දැඩි රථ වාහන තදබදයක් මෙන්ම ගොවීන් සහ පොලිසිය අතර කතා බහක් ද ඇති වුණා.

පසුව එළවළු රැගෙන ආ ගොවීන් කොටුව සහ ටෙක්නිකල් මන්සන්ධිය ආදී ප්‍රදේශවල මඟ දෙපස ලොරි රථවල නවතා එළවළු අලෙවි කරනු දක්නට ලැබුණා.

ඇතැම් ගොවීන් යලිත් තම එළවළු තොග රැගෙන ගිය බවටයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ එළවළු මිල ගණන් පිළිබඳව සොයා බැලීමක් කළා.

එහිදී අනාවරණ වූයේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් නාරාහේන්පිට ඇතුළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට වලට රැගෙන යන එළවළු විශාල මිල ගණන් යටතේ අලෙවි වන බවයි ෴

මැනිං වෙළෙඳපොළ යළිත් වැසීමට හේතුව

(09.11.2020 – 17:27 +0530 – sinhala.adaderana.lk)

අද (09) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබූ පිටකොටුව මැනිං වෙළෙඳපොළ යළිත් වරක් නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කළ බව පොලීසිය පවසයි.

ඒ එම ස්ථානයේ සේවකයින්ගේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව යම් ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා :

“කොළඹ පිටකොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ අද (09) දින විවෘත කිරීමට නියමිතව තිබුණත්, ඒ මැනිං වෙළෙඳපොළ ආශ්‍රිතව සිටින නාටාමිවරුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අනුව යම් ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වු නිසා අද (09) දිනයේ දී මැනිං වෙළෙඳෙපොළ විවෘත කිරීමට නොහැකි වුණා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් මත පී.සී.ආර්. පරීක්ෂණ සහ සමීක්ෂණ සිදුකරනු ලබනවා. එසේ ඒ සමීක්ෂණ සිදුකර නැවත බලධාරීන් නිර්දේශයක් ලබා දෙන තුරු මැනිං වෙළෙඳෙපොළ විවෘත කිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටින්නේ. ඒ අනුව මැනිං වෙළෙඳපොළ ආශ්‍රිතව හා එයට භාණ්ඩ රැගෙන එන අනෙක් අයට දැනුම්දීමක් කරන්න කැමතියි. සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වෙන තුරු, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ලැබෙන තුරු මැනිං වෙළෙඳපොළ නැවත විවෘත වෙන්නේ නෑ. ඉන්පසුව එය විවෘත වෙන දිනයක් පසුව දැනුම් දීමට නියමිතයි.”

++++++++++++++++++

(09.11.2020 – 10:23 +0530 – hirunews.lk/sinhala)

අද (09) අලුයම 5 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 91 දෙනෙකු සහ රථවාහන 12 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ කාලසීමාවේ එය උල්ලංගණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2923 ක් දක්වා ඉහළ යනු ඇති.

එම කාලයේ අත්අඩංගුවට ගත් සම්පූර්ණ රථවාහන සංඛ්‍යාව 437 ක්.

එමෙන්ම, නිරෝධායන නීති ගැසට් කිරීමෙන් අනතුරුව ඒවා කඩ කළ පුද්ගලයන් 120 දෙනෙකු ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++

(09.11.2020 – 11:44 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග බස්නාහිර පළාතට පනවා තිබූ ඇඳිරිනීතිය අද (09) දින සිට ඉවත් කිරිමෙන් පසු (ඒ 7) හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගය භාවිත කර වතුකරයට පැමිණෙන අත්‍යවශය නොවන සියළුම සහ එම වාහනවල ගමන් ගන්නා පිරිස් ආපසු හරවා යැවිමට පොලිසිය සහ යුධ හමුදාව ඒකාබද්ධව (09) දින විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඒ අනුව හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කළුගල ප්‍රදේශයෙන් සහ හැටන්-මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුළුව ප්‍රදේශයෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි මාර්ග බාධක යොදා එම මාර්ගයේ ඇතුල්වන සියළුම වාහන සහ මගීන් පරික්ෂා කිරිම සිදුකරනු ලබනවා.

එම මාර්ගය ඔස්සේ මේ මස (14) දිනට යෙදෙන දීපාවලි උත්සවයට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිතරව සිටින වතුකරයේ පිරිස් පැමිණෙන බවත්, එම පුද්ගලයන්ගේ විස්තර වාර්තාවක් එම මාර්ග බාධක වලින් ලබාගෙන ඔවුන් තම නිවාස වලම දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇති බවයි හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා ප්‍රකාශ කරන්නේ.

මෙම මාර්ග බාධකයට අමතරව බලංගොඩ බගවන්තලාව මාර්ගයේ බගවන්තලාව පෙට්රොසො වත්ත ප්‍රදේශයෙන්ද පොලිස් මාර්ග බාධයක් යොදා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කළා.

එලඹෙන දීපාවලි උත්සව සමයේ වතුකරයේ ජනතාව ප්‍රධාන නගර වලට පිවිසම සහ සංචරණය නතර කිරිම සදහා වතුකරයේ සියළු නගර මේ මස (11) දින සිට (16) දින දක්වා වසා දැමිමට දැනට තිරණයක් ගෙන ඇති බවත්, එම කාලය තුල අත්‍යවශ්‍යය වාහන හැර අනෙකුත් සියළුම රථ වාහන ගමනා ගමනයද නතර කිරිමට පියවර ගන්නා බවයි ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

++++++++++++++++

(09.11.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (08) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 510 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ආසාදිතයින් 199 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම, කොළඹ මහ නගර සභාවේ තවත් සේවකයින් 14 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (08) තහවුරු වුණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු (2), සෞඛ්‍ය උපදේශකවරුන් 8 දෙනෙකු සහ සුළු සේවකයන් කිහිප දෙනෙකු ද ඒ අතරට අයත්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (08) දිනයේ ආසාදිතයන් 183 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (08) හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 6 ක්.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 12 දෙනෙකු ඊයේ (08) හඳුනා ගැනුණා.

එමෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 3 දෙනෙකු, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු (2) සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක් අයෙකු (1) ද ඊයේ (08) ආසාදිතයින් ලෙස වාර්තා වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 9 දෙනෙකු, බදුල්ල, අම්පාර, මොණරාගල, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එක් (1) ආසාදිතයෙකු බැගින් ද වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් ඊයේ (08) හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 72 ක්.

එමෙන්ම, කිරුළපන පොලිස් ස්ථානයෙන් ද ආසාදිතයෙකු (1) සොයා ගැනුණු අතර, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ පළාතේ පොලිස් ස්ථානවල කොරෝනා ආසාදනය වූ නිලධාරීන් සංඛ්‍යාව 256 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඉන් 6 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 250 දෙනෙකු පමණක් බව සඳහන්.

අවිස්සාවේල්ල – සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දෙදෙනෙකුට (2) ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ අතර, රෝගීන් හඳුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වේගවත් කිරීම සඳහා ගෙන්වූ උපකරණය මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ පිහිටි රසායනාගාරයේ ස්ථාපිත කළ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා කියා සිටියා.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරිත්‍යාග කළ කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත මේ වන විට ලැබී ඇති බවයි.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය, පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ආදේශකයක් නොවන බවයි ෴

++++++++++++++++++++

(09.11.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය පනවා තිබූ ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය අද (09) අලුයම 5 සිට ඉවත් කළ ද එම ප්‍රදේශ වල දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වී නැහැ.

මගී ප්‍රවාහන කටයුතු ද අද (09) පෙරවරුවේ ආරම්භ වූ නමුත් ජනතාව ඉතා අවම වශයෙන් පොදු ප්‍රවාහනය භාවිතා කල ආකාරයක් දක්නට ලැබුණා.

එමෙන්ම, බොහෝ ප්‍රදේශවල ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පොදු ප්‍රවාහනය භාවිතා කරන ආකාරයක් දක්නට ලැබුණේ නැහැ.

බස්රථ සුළු ප්‍රමාණයක් ධාවනය වුවද කාර්යාලයීය දුම්රිය 48 ක් අද (09) පෙරවරුවේ ධාවනය වු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මගී ජනතාව නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ප්‍රකාශ කළේ.

මගීන් අවම වීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමට අවශ්‍ය බවට බස් සංගම් ප්‍රකාශ කළාත් ගාස්තු ඉහළ දැමීමක් සිදුනොකරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියා.

කෙසේ වෙතත්, හෙට (10) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට බස් රථ සඳහා සහන ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ.

ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ද කොළඹ, ගම්පහ, කෑගල්ල, කළුතර මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 25 ක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් අද (09) සිට හුදෙකලා කිරීමට පියවර ගැනුණා.

එම ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය ලොරි රථ මාර්ගයෙන් අදාළ ප්‍රදේශවලට රැගෙන යන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම, අදාළ ප්‍රදේශවලට පිටත්ව යාමට උත්සාහ කළ රථ වාහන ආපසු හරවා යැවීමට ද පොලීසිය අද පියවර ගත්තා.


*********************************************

ගිනි අවිය රැගෙන, පළා ගිය කුරුවිට පොලීසියේ සැරයන් සොයන්න, කණ්ඩායම් 10 ක්

(09.11.2020 – 07:56 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කරන බව පවසා රාජකාරී ගිනි අවිය සමඟ පළා ගොස්, මේ වන විට සැඟව සිටින රත්නපුර – කුරුවිට පොලිස් ස්ථානයේ සැරයන්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 10 ක් පත් කර තිබෙනවා.

පසුගිය මස 29 වන දා මෙම පොලිස් සැරයන්වරයා සිරිපාගම ප්‍රදේශයේ රාජකාරියේ නිරත වූ අවස්ථාවේදී ගිනි අවියත් සමඟ පළා ගොස් තිබුණා.

එලෙස පළා ගිය පොලිස් සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේ ඔහුගේ ඥාති නිවෙස් කිහිපයකට ගොස් ගිනි අවිය පෙන්වා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට 9 දෙනෙකු ඝාතනය කිරීමට අවශ්‍ය බවයි.

එම 9 දෙනා අතර කුරුවිට පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ද සිටින බව ඔහු ඥාතීන්ට ප්‍රකාශ කර තිබෙනවා.

දැනට එම පොලිස් සැරයන්වරයා පළා ගොස් දින 12 ක් ගත වුවත් තවමත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නැහැ ෴

***************************************

(09.11.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළි ගැනීම් පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට අපහාස කළ බව කියන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු එම කොමිසම හමුවේ අද (09) පෙනී සිටීමට නියමිතයි.

ඒ, කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඊයේ (08) නිකුත් කළ සිතාසියකට අනුවයි.

එලෙස සිතාසි නිකුත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, මයන්ත දිසානායක සහ සුජිත් සංජයටයි.

මොවුන් පසුගිය 6 වන දා දේශපාලන පළි ගැනීම් පිළිබද විමර්ශනය කෙරෙන ජනපති කොමිසම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

එහිදී ඔවුන් කියා සිටියේ ජනපති කොමිසම රජයේ මුදල් අවභාවිත කරමින් රටේ නීතිය අභිබවා කටයුතු කරමින් සිටින බවටයි ෴

සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, මයන්ත දිසානායක, සුජිත් සංජය පෙරේරා මේ වන විට දේශපාලන පළි ගැනීම් පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබෙනවා ෴

(09.11.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, මයන්ත දිසානායක සහ සුජිත් සංජයට අභියාචනාධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට දේශපාලන පළි ගැනීම් පිළිබඳ කොමිසම තීරණය කළා.

ඒ, එම මන්ත්‍රීවරුන් කොමිසම හමුවේ අද (09) පෙනී සිටි අවස්ථාවේදියි.

ඔවුන් අද (09) මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටියේ කොමිසමට අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාව මත නිකුත් කළ සිතාසියකට අනුවයි.

දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම සම්බන්ධයෙන් පසුගිය 6 වන දා අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ ජනපති කොමිසම රජයේ මුදල් අවභාවිත කරමින් නීතිය අභිබවා කටයුතු කරමින් සිටින බවටයි.

කොමිසම් සභා ආඥා පනතේ 10 වන වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105/3 වගන්තියට අනුව එම ප්‍රකාශ මගින් ජනාධිපති කොමිෂන් සභාවට අපහාස කිරීමක් සිදුවූ බවටත්, එහි ස්වාධිපත්‍යයට බාධා කිරීමක් සිදුවී ඇති බවටත් දේශපාලන පළි ගැනීම් පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම තීරණය කරනු ලැබුවා.

ඒ අනුවයි එම කොමිසම විසින් මෙලෙස මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව සිතාසි නිකුත් කරනු ලැබුවේ.

මේ අතර, දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවක් සකස් කිරීම සඳහා තවත් සති දෙකක කාලයක් ලබාදෙන ලෙස එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමඟ කාර්ය මණ්ඩලය නොපැමිණීම හේතුවෙන් අවසන් වාර්තාව සකස් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත්, මේ දක්වා ජනාධිපති කාර්යාලය ඊට නිළ වශයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.

එවැනි කාලය දිගු කිරීමක් සිදුකරන්නේ නම් එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතුයි.

පසුගිය ජනවාරි මස 16 වන දා දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පැමිණිලි විභාගය ආරම්භ වූ අතර ඊට ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව 1842 ක්.

ඉන් පැමිණිලි 112 ක් විභාග කර අවසන් කළ අතර, තවත් පැමිණිලි 872 ක් දේශපාලන පළි ගැනීම් පරීක්ෂා කිරීමේ අමාත්‍ය කමිටුව වෙත යොමු කෙරුණා.

මෙම කොමිසම සාක්ෂි විමසීම මේ වන විට අවසන් වී ඇති අතර එහි නිල කාලය අදින් (09) අවසන් වනවා.

***************************************

(09.11.2020 – 09:41 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාවෙන් නිත්‍යානුකූලව ඉවත් වූ සෙබලෙකු හමුදාවෙන් පැන ගිය අයෙකු බවට සැකකොට අත්අඩංගුවට ගැනීම මගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ සෙබලාට වන්දි ලෙස රුපියල් 50,000 ක මුදලක් ගෙවීමට ඊයේ (08) නියෝග කළා.

හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපතිවරයාට සිය පෞද්ගලික මුදලින් මෙම වන්දිය ගෙවන ලෙස නියෝග කළ අධිකරණය රජයට දැනුම් දුන්නේ රුපියල් ලක්ෂයක (100,000) මුදලක් මෙම සෙබලාට ගෙවන ලෙසටයි.

2011 වසරේ ජුලි මස 3 වන දා වග උත්තරකාර හෙට්ටිපොල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ ඔහු හෙට්ටිපොළ ප්‍රදේශයේ කැඩුම් බිදුම් වෛද්‍ය මධ්‍යස්ථානක කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටියදියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *