රාජකීය හොර වෙදාගේ බෙහෙතකින් ජාතික දැල්පන්දු ක‍්‍රීඩිකාව මිය ගිහින්..

රාජකීය හොර වෙදාගේ ‘බෙහෙතකින්’ ජාතික දැල්පන්දු ක‍්‍රීඩිකාව මිය ගිහින්..

2017 සිට පොලිස් පරිගණක පද්ධතියේ තිබුණු ඊමේල් අතුරුදන්

පාස්කු බෝම්බකරු සමග රහස් කතා කළ බුද්ධි නිලධාරියා තවම අල්ලලා නෑ

කොරෝනා වැනසීමේදී ‘සෙනිටයිසර්’ වලට වඩා සබන් හොඳ බව සොයා ගනී

හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුලුවීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම්

කොන්සියුලර් සේවා ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්

*********************************************

රාජකීය හොර වෙදාගේ ‘බෙහෙතකින්’ ජාතික දැල්පන්දු ක‍්‍රීඩිකාව මිය ගිහින්..

(10.11.2020 – 09:20 +0530 – lankacnews.com ඇසුරෙන්)

රාජකීය හොර වෛද්‍ය එලියන්ති වයිටා මහත්මිය ලබාදුන් දියරයක් පානය කිරීම හේතුවෙන් 19 න් පහල, ජාතික නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් මියගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

ඇයගේ දෙමාපියන් සමග පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව හෙළිකර සිටියේය.

කොළඹ විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි මෙලනි අමා විජේසිංහ නම් ක්‍රීඩිකාව එසේ මිය ගියේ යැයි ද රන්ජන් රාමනායක ඇයගේ දෙමාපියන් සමග එක්ව චෝදනාව එල්ල කළ ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙයි.

[ https://www.youtube.com/watch?v=QlLOyj5O90c ]

++++++++++++++

[ https://www.youtube.com/watch?v=CHpXHEe0Kh0 ]

*********************************************

2017 සිට පොලිස් පරිගණක පද්ධතියේ තිබුණු ඊමේල් අතුරුදන්

(10.11.2020 – divaina.com)

2017 වසරේ සිට පොලිස් ප‍්‍රධාන පරිගණක පද්ධතියේ තිබූ සියලුම විද්‍යුත් ලිපි (ඊමේල්) අතුරුදන් වී ඇති බව රජයට හෙළි වී ඇත.

එම වසරේ සිට පාස්කු ප‍්‍රහාරය සිදු වූ 2019 වසර දක්වා මෙම විද්‍යුත් ලිපි අතුරුදන් වී තිබේ.

මෙයට පොලිස් මූලස්ථානය විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත යැවූ විද්‍යුත් ලිපි ද ඇතුළත්ය. මෙලෙස වසර 3 ක් තුළ විද්‍යුත් ලිපි දස දහස් ගණනක් හදිසියේම අතුරුදන් වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීමට රජය තීරණය කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

*********************************************

පාස්කු බෝම්බකරු සමග රහස් කතා කළ බුද්ධි නිලධාරියා තවම අල්ලලා නෑ

(10.11.2020 – divaina.com)

පාස්කු ප‍්‍රහාරය සිදුවීමට විනාඩි 45 කට පෙර දෙහිවල බෝම්බකරු වූ ලතීප් ජමිල් නැමැත්තා සමග රහස් සාකච්ඡාවක් පැවැත්වූ රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරියා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මෙතෙක් ක‍්‍රියාකර නැත.

මේ බරපතළ සිද්ධිය රජයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමු වී තිබේ. මෙම රහස් සාකච්ඡාවෙන් පසු දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ හෝටලයට ගිය බෝම්බකරු බෝම්බය ගලවා ගැනීමට යෑමේදී පුපුරාගොස් තිබේ. මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව බෝම්බකරු තුර්කියේ සංචාරයක යෙදී මෙරටට පැමිණි අයකු බවට හෙළි වී ඇත. ලතීප් ජමිල් නමැති මෙම බෝම්බකරු ගැන රහස් පොලිසියද දැන සිටි බව රජයට හෙළි වී ඇත. එහෙත් වසරකට අධික කාලයක් ගත වී ඇතත් බෝම්බකරු හමු වූ බුද්ධි නිලධාරියා ගැන විමර්ශන පැවැත්වීමට රහස් පොලිසිය ක‍්‍රියා කර නැත.

කීර්ති වර්ණකුලසූරිය

*********************************************

කොරෝනා වැනසීමේදී ‘සෙනිටයිසර්’ වලට වඩා සබන් හොඳ බව සොයා ගනී

(08.11.2020 – aruna.lk)

වෛරස ශරීරයෙන් පිටත පැය ගණන්, සමහර විට දින ගණන් පවා ක්‍රියාකාරී විය හැකිය. මධ්‍යසාර අඩංගු විෂබීජ නාශක, දියර වර්ග, පිසදැමීමට යොදා ගන්නා ද්‍රව්‍ය, ජෙල් වර්ග සහ ආලේපන සියල්ලම එම වෛරස විනාශ කිරීමට ප්‍රයෝජනවත් වේ – නමුත් ඒවා සාමාන්‍ය සබන් තරම් හොඳ නැත.

සෞඛ්‍ය බලධාරීන් අපට පණිවිඩ දෙකක් ලබා දී ඇත.

1. ඔබට වෛරසය වැළඳුණු පසු එය විනාශ කිරීමට හෝ එයින් මිදීමට ඔබට උපකාර කළ හැකි ඖෂධ කිසිවක් නොමැත.
2. වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා අත් සේදිය යුතුය.

මේක හරි අමුතු කතාවක්!

ඔබට ඩොලර් මිලියනයකට වුවත් කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා ඖෂධයක් ලබා ගත නොහැකි නමුත් ඔබේ ආච්චිගේ සබන් කැටයට එය විනාශ කළ හැකිය.

එසේ නම් නව කොරෝනා වෛරසය මත (ඇත්ත වශයෙන්ම බොහෝ වෛරස් මත)සබන් වැඩ කරන්නේ කෙසේද?

එය සරලව කියනවා නම්; වෛරසයක් කියන්නේ ස්වයං-සංගත (ස්වයංව එකලස් වන) නැනෝ අංශුවක් වන අතර එහි දුර්වලම බන්ධන පවතින්නේ මේද ද්වි-ස්ථරයේය (පටලයේය). සබන් මෙම මේද පටලය බිඳින අතර වෛරසය කාඩ්පත් එකතු කොට සෑදු ගෙයක් මෙන් කඩා වැටී විනාශ වෙයි.

තරමක් විස්තරාත්මකව ඒක කියනවා නම්; බොහෝ වෛරස් ප්‍රධාන තැනුම් ඒකක තුනකින් සමන්විත වේ.

1. රයිබොනියුක්ලික් අම්ලය (RNA)
2. ප්‍රෝටීන
3. ලිපිඩ (මේද)

වෛරසයෙන් ආසාදනයට ලක් වූ මිනිස් සෛල විසින් මෙම තැනුම් ඒකක විශාල වශයෙන් නිපදවා දෙන අතර එමඟින් ස්වයං සංගතව (ස්වයංව එකලස් වී) වෛරසය තව තවත් සෑදේ. කෙසේ වෙතත් මෙම ඒකක එකට රඳවා තබා ගන්නා ශක්තිමත් සහසංයුජ බන්ධන නොමැත. එයින් අදහස් කරන්නේ එම තැනුම් ඒකක එකිනෙකාගෙන් වෙන් කිරීමට ඔබට රළු රසායනික ද්‍රව්‍ය අනිවාර්‍යයෙන් අවශ්‍ය නොවන බවයි. ආසාදිත සෛලයක් මිය ගිය විට, මෙම නව වෛරස් සියල්ලම ගැලවී වෙනත් සෛල වලට පලා ගොස් එම සෛලද ආසාදනයට ලක් කරයි. සමහර ඒවා පෙනහළු වල වාතයේ දීම මිය යයි.

ඔබ කහින විට හෝ විශේෂයෙන් කිවිසුම් අරින විට ඉතාම කුඩා සොටු බිඳිති මීටර් 10 ක් දක්වා ඈතට විසිරී යා හැකිය. ඉන් විශාල බිඳිති ප්‍රධාන කොරෝනා වෛරස් වාහකයන් යැයි සිතන අතර ඒවාට අවම වශයෙන් මීටර් දෙකක් (2) වත් යා හැකිය.

යම් යම් පෘෂ්ඨ මත පතිත වන මෙම කුඩා සොටු බිඳිති බොහෝ විට ඉක්මනින් වියළී යයි. නමුත් ඒවා තුළ වෛරසය ක්‍රියාකාරීව පවතී. මිනිස් සම කියන්නේ වෛරසයක් සඳහා කදිම මතුපිටක්.එය ‘කාබනික’ වන අතර සමෙහි මතුපිට ඇති මළ සෛලවල ඇති ප්‍රෝටීන සහ මේද අම්ල වෛරසය සමඟ අන්තර්ක්‍රියා කරනවා.

වෛරස් අංශු පතිතව ඇති මතුපිටක් ඔබ ස්පර්ශ කළ විට එම වෛරස් ඔබේ සමට ඇලී ඒවා ඔබේ අත්වල රැඳේ. දැන් ඔබ ඔබේ මුහුණ, විශේෂයෙන් ඔබේ ඇස්, නාස්පුඩු හෝ මුඛය ස්පර්ශ කළහොත් ඔබ ආසාදනයට ලක් විය හැකිය. බොහෝ මිනිසුන් සෑම මිනිත්තු දෙකකට හෝ පහකට වරක් ඔවුන්ගේ මුහුණ ස්පර්ශ කරන බව නිරික්ෂණය වී තිබේ.

සම සහ වෛරසය අතර ඇති ශක්තිමත්, මැලියම් වැනි අන්තර්ක්‍රියා සමඟ තරඟ කිරීමට නිකම්ම ජලය පමණක් ප්‍රමාණවත් නැත. එහෙත් ‘සබන් ජලය’ සම්පූර්ණයෙන්ම වෙනස් ය. සබන් වල ‘ඇම්ෆිෆයිල්ස්’ [Chemical compound possessing both hydrophilic (water-loving, polar) and lipophilic (fat-loving) properties] ලෙස හඳුන්වන මේද වැනි ද්‍රව්‍ය අඩංගු වන අතර ඒවායින් සමහරක් ව්‍යුහාත්මකව වෛරස් පටලයේ මේද වලට සමාන වේ. මෙම සබන් අණු වෛරස් පටලය සෑදී ඇති මේද සමඟ තරඟ කරයි.

සබන් මඟින් වෛරසය සහ සම අතර ඇති මැලියම් ලිහිල් කරනවා පමණක් නොව, වෛරසය සෑදී ඇති ප්‍රෝටීන, ලිපිඩ සහ RNA යන තැනුම් ඒකක එකට බැඳ තබා ගන්නා ‘වෙල්ක්‍රෝ’ වැනි අන්තර්ක්‍රියා ද ලිහිල් කරයි.

සියලුම ඇල්කොහොල් පදනම් කරගත් විෂ බීජ නාශක නිෂ්පාදනවල ඉහළ ප්‍රතිශතයකින් යුත් මධ්‍යසාර ද්‍රාවණයක් (සාමාන්‍යයෙන් 60-80% එතනෝල්) අඩංගු වන අතර මේවාද ඉහත ආකාරයට සමාන ආකාරයකින් වෛරස විනාශ කරයි. නමුත් සබන් වඩාත් හොඳ වන්නේ තරමක් කුඩා සබන් වතුර ප්‍රමාණයක් අතුල්ලමින් ඔබේ මුළු අතම පහසුවෙන් ආවරණය කළ හැකි බැවිනි. එහෙත් ඇල්කොහොල් අඩංගු විෂබීජ නාශක යොදා ගන්නා විට වෛරසය එතනෝල් හි පෙඟවෙන සේ යොදා ගත යුතු අතර, එසේම ජෙල් ආදිය යොදා ගැනීමේදි අතේ අතුල්ලමින් ඔබේ සම මත සෑම කොනක්ම ප්‍රතිපලදායී ලෙස පොඟවා ගන්නා බවට සහතික විය යුතුය.

ඉතින්, සබන් හොඳම ය, නමුත් සබන් පහසු හෝ ප්‍රායෝගික නොවන විට කරුණාකර මත්පැන් මත පදනම් වූ සනීපාරක්ෂක නිශ්පාදන භාවිතා කරන්න.

වෛද්‍ය ලෝචන ප්‍රනාන්දු

***************************************

මහ කන්නයට පොහොර මෙට්‍රික් ටොන් 51,797 ක් ගොවීන්ට බෙදාදෙයි

(10.11.2020 – 07:43 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසට ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

එම බලකාය පසුගියදා අරලියගහ මන්දිරයේදී රැස්වූ අතර, එහිදී ඔහු කියා සිටියේ ගොවීන් වෙත නිසි කාලයේදී ජලය සහ පොහොර සැපයීම මගින් කෙටි කළක් තුළ නිෂ්පාදන ධාරිතාව වැඩිකරගත හැකි බවයි.

මෙම වසරේ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 7,08,910 ක් වන අතර, මහ කන්නය සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ 214 න් මෙට්‍රික් ටොන් 51,797 ක් ගොවීන් අතර දැනටමත් බෙදාදී තිබෙනවා.

ඉතිරි ප්‍රමාණය ක්‍රමාණුකූලව බෙදාහැරීම සඳහා තොග ලැබෙමින් පවතින බවත්, ජාතික පොහොර ලේකම් කාර්යාලය එම සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළා.

ලබන වසරේ යළ කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා අනුමැතිය කඩිනමින් ලබාදිය යුතු බැවින් ආනයනය කිරීමට වෙන් කරන ප්‍රමාණය දෙසැම්බර් මාසය වනවිට ලබාදිය යුතු බවයි බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේ.

ලබන වර්ෂයට අවශ්‍ය සමස්ත පොහොර ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 7,08,910 න් යළ කන්නය සඳහා මෙට්‍රික් ටොන් 2,85,504 ක් වෙන් කරන අතර, මහ කන්නය සඳහා මෙට්‍රික් ටොන් 423,406 ක් වෙන් කර තිබෙනවා ෴

*********************************************

හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුලුවීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම්

(10.11.2020 – 07:45 +0530 – hirunews.lk/sinhala)

දැනට හුදකලා කර ඇති ප්‍රදේශවලට ගමන් කිරීමට නිරෝධායන ඇඳිරි නීති බලපත්‍ර වලංගු නොවන බව පොලිස් මූලස්ථානය පවසනවා.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා දැනුම්දී ඇත්තේ ඊයේ (09) උදෑසන පහේ (05:00) සිට බස්නාහිර පළාත ඇතුලු ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරුණද, කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඇතැම් ප්‍රදේශ හුදකලා කිරීමට කටයුතු කර ඇති බවයි.

එම ප්‍රදේශවලට හෝ ඒ හරහා සංචරණයට නිරෝධායන ඇඳිරි නීති බලපත්‍ර වලංගු නොවන බවයි ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

හුදකලා ප්‍රදේශ තුළ හෝ ඒ හරහා සංචරණය කිරීමට අවසර ලබාදෙන්නේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්. එම හුදකලා ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට සුවිශේෂී හේතූන් මත අවසර ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන්නේ නම් ආයතන ප්‍රධානීන් විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරල්වරයා වෙත ඉල්ලුම් පත්‍රයක් යොමුකළ යුතු වනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ලබාදෙන අවසරය මත සහ එහි සඳහන් කොන්දේසිවලට යටත්ව පමණක් හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ ඒ හරහා ගමන් කිරීමට ඉඩ ලබා දෙන බවටයි වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා දැනුම් දෙන්නේ.

මේ අතර බස්නාහිර පළාතේ ප්‍රදේශ හතරක් නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට ඊයේ (09) පියවර ගත්තා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අඟුලාන උතුර සහ දකුණ යන ග්‍රාමසේවා සේවා වසම් දෙක (2) සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන සහ මහබාගේ යන පොලිස් වසම් මෙලෙස හුදකලා ප්‍රදේශ ලෙස නම් කළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුලුවීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.

එමෙන්ම හෙට (11) සිට උතුර දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ මුත්තෙට්ටුගල යන දුම්රිය ස්ථාන මගීන් සඳහා විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

එහෙත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අගුලාන දුම්රිය ස්ථානය සහ පුත්තලම මාර්ගයේ කඳාන සහ කපුවත්ත යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට මේ වනවිට තීරණය කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ ෴

++++++++++++++++

ඊයේත් (09) ආසාදිතයන් 356 ක් – සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14,285 යි

(10.11.2020 – 08:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට 36 වන කොරෝනා මරණය ඊයේ (09) වාර්තාවුණා.

ඒ, කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්. පෞද්ගලික රෝහලක සිට අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර එවා ඇති ඇය එහිදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති මෙම කාන්තාව මියයාමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.

එමෙන්ම ඊයේ (09) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 356 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14,285 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මොවුන් සියලුදෙනා මිනුවන්ගොඩ – බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, ඒ අනුව එම පොකුර 10,803 ක් දක්වා ඉහළ යනවා.

කොරෝනා ආසාදිතයන් 5,370 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 8,880 ක් ෴

+++++++++++++++++

බස්නාහිර කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 260 දක්වා ඉහළට

(10.11.2020 – 08:17 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් වාර්තාවන කොරෝනා ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 260 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් ආසාදිතයන් හතරදෙනෙකු (4) අලුතින් හඳුනාගැනීමත් සමඟයි.

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් හයදෙනෙකු (6) මේ වනවිට සුවය ලබා ඇති අතර, රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 250 ක්.

තවත් නිලධාරීන් 355 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

එමෙන්ම තවත් 1,484 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර, ඉන් 27 දෙනෙකු මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ෴

+++++++++++++++++++

සීමාවන් සහිතව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය හෙට (11) සිට විවෘත වෙයි

(10.11.2020 – 09:24 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සීමිත සේවක සංඛ්‍යාවක් යොදාගනිමින් හෙට (11) සිට නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එසේම කොරෝනා වසංගත තත්වය සමග වසාදැමුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය තවදුරටත් වසා තැබෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත් එම කාර්යාලය හරහා සැපයෙන සේවාවන් යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල හරහා සැපයීමට මේ වනවිට පහසුකම් සපයා ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

අදාළ කාර්යාල සඳහා සේවා ලබාගැනීමට පැමිණීමට පෙර වේලාවන් වෙන්කරගතයුතු ආකාරය පහතින් :

++++++++++++++++++

(10.11.2020 – 09:47 +0530 – hirunews.lk/sinhala)

මුහුණු ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගැනීම යන චෝදනා මත මේ දක්වා 125 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මේ අතර දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල පුද්ගලයන්ට තවදුරටත් සංචරණයෙන් වළකින ලෙසද ඔහු ඉල්ලීමක් කළා ෴

++++++++++++++++

බස් රථ ධාවකයින්ගේ ගාස්තු නිදහස් කිරීම වසර අවසානය දක්වා දීර්ඝ කෙරේ

(10.11.2020 – 10:50 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය ආරම්භයේ මගී බස් රථ ධාවකයින්ගෙන් අයකරනු ලබන ගාස්තු නිදහස් කිරීමට ගත් තීරණය මෙම වසර අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

අන්තර්පළාත් මගී බස් රථ ධාවන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම වසරේ මාර්තු මාසයේ සිට අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග්පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු සහ අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු බස් රථ ධාවකයින්ගෙන් අය නොකිරීමටයි තීරණය කෙරුණේ.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය නැවත මතුවීමත් සමඟ අදාළ සහන මෙම වසර අවසානය දක්වා ලබාදීමට ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

[ අමාත්‍ය මණ්ඩල තීරණ ]

++++++++++++++++++++

නිරෝධායන නීති කඩකළ මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්වීම සතියකට අත්හිටුවයි

(10.11.2020 – 11:19 +0530 – hirunews.lk/sinhala)

දැනට හුදකලා කර ඇති මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය සතියක කාලයකට පැවැත්වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, නිරෝධායන නීති කඩකරමින් අදාළ රැස්වීම පැවැත්වීමට යන බවට පොලිසිය කළ කරුණු දැක්වීමක් සළකා බලමින්.

මේ අතර දැනට දිවයින පුරා පොලිස් වසම් 27 ක් සහ ග්‍රාමසේවා වසම් පහක් (5) සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබෙනවා.

ඊයේ (09) රාත්‍රියේ අඟුලාන පොලිස් වසමට අයත් අඟුලාන උතුර සහ දකුණ මෙන්ම මහබාගේ සහ කඳාන යන පොලිස් වසම් දෙක (2) ද නැවත දැනුම්දෙනතුරු හුදකලා කිරීමටයි කටයුතු කෙරුණේ.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අද (10) දිනයේදීද රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයින් සිය සේවා කටයුතු සඳහා පැමිණෙනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් එලෙස පැමිණි සේවකයින් චෝදනා කළේ තමන්ට නිසි පරිදි ප්‍රවාහන පහසුකම් නොතිබූ බවටයි.

මේ අතර රජය මගින් ලබාදෙන රුපියල් පන්දහසේ (5000) දීමනාව ලබාගැනීමට ගිය අවස්ථාවේ ග්‍රාම නිලධාරිවරයෙකුට තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල – නිවුන්ගම ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා ඊයේ (09) තම මවට හිමි රුපියල් පන්දහසේ දීමනාව තමන්ට ලබාදෙන ලෙස ග්‍රාම නිලධාරිවරයාට බලපෑම් කර ඇති අතර, ඔහු එය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ රාජකාරියට බාධා කර බැන වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දැනට අනුරාධපුර ප්‍රදේශයේ ජීවත්වන මොහුගේ මව අදාළ මුදල ඔහුට ලබාදෙන ලෙසට කිසිදු දැනුම්දීමක් ග්‍රාම නිලධාරී වෙත සිදුකර නොමැති බවට දැනුම්දීමත් සමඟ මෙම කළහකාරී තත්ත්වය හටගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු තමන්ට හිමි රුපියල් පන්දහසේ (5000) දීමනාවද ලබාගැනීමෙන් අනතුරුවයි මෙලෙස තම මවට හිමි පන්දහසේ (5000) දීමනාව ද ලබාගැනීමට තැත් කර ඇත්තේ.

++++++++++++++++++

බොරැල්ල පොලීසියේ 40 ක් නිරෝධායනයට

(10.11.2020 – 11:24 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු 40 දෙනෙකු කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

ඒ, බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වීමත් සමඟයි.

මේ හේතුවෙන් බොරැල්ල පොලිසියේ වැඩ ආවරණය සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවා ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර හෙට (11) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් සැපයෙන සේවාවන් හම්බන්තොට, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික් කාර්යාල හරහා ලබාගැනීමට පහසුකම් සළසා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එසේම වේරහැර කාර්යාලය සීමිත කාර්ය මණ්ඩලයක් යොදවා හෙට සිට නැවත විවෘත කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ සේවාවන් ලබාගැනීම සඳහා කල්වේලා ඇතිව දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතු වනවා ෴

+++++++++++++++++

(10.11.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (09) දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් 193 දෙනා අතරින් 147 දෙනෙකුම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 99 දෙනෙකු, කළුතරින් ආසාදිතයන් 28 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් සංඛ්‍යාව 08 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 07 දෙනෙකු, මඩකලපුවෙන් රෝගීන් 06 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 04 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු (02) වාර්තාවී ඇති අතර, පුත්තලම, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් වාර්තාවුණේ එක් (01) ආසාදිතයෙකු බැගින්.

එමෙන්ම කොළඹ – කොටුව, මැනිං වෙළඳපල අවට ප්‍රදේශයේ පසුගිය දින දෙක තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් නාට්ටාමිවරුන් 67 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කළා.

මේ අතර බොරැල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු 40 දෙනෙකු කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

ඒ, බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වීමත් සමඟයි.

මේ හේතුවෙන් බොරැල්ල පොලිසියේ වැඩ ආවරණය සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවා තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් වාර්තාවන කොරෝනා ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 260 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් ආසාදිතයන් හතරදෙනෙකු (4) අලුතින් හඳුනාගැනීමත් සමඟයි.

මේ අතර මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කොරෝනා මර්දන කටයුතුවලට සහභාගි වූ ඩෙංගු සහයක නිලධාරියෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

මොහු මීගහතැන්න – මහකළුපහන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.

ගාල්ල දිස්ත්‍රික්කයේ වරායන් ආශ්‍රිතව මේ දක්වා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 5000 කින් ආසාදිතයන් 24 දෙනෙකු හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා සඳහන් කළා.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ කාන්තාවකටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ඒකකය තාවකාලිකව වසා දැමීමටයි පියවර ගැනුනේ.

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 163 කින් 12 හැවිරිදි පාසල් සිසුවියකට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඇය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් වාර්තා වූ ආසාදිතයෙකුගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගි වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මෙරටින් මේ වනවිට කොරෝනා රෝගීන් 14,285 දෙනෙකු වාර්තා වන අතර ඉන් 8880 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මේ දක්වා මරණ 36 ක් වාර්තා වී ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5370 ක්.

කොරෝනා මරණ පසුගිය දින කිහිපය තුළ ඉහළ යාමත් සමඟ එම මරණ සමාලෝචනයට සෞඛ්‍ය අමාත්‍යාංශය කමිටුවක් පත් කර තිබෙනවා.

+++++++++++++++++++

(10.11.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබාදීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබාදුන් බවට ‘සිලෝන් තව්හිද් ජමාත්’ සංවිධානය නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

‘සිලෝන් තව්හිද් ජමාත්’ සංවිධානයේ ලිපි ශීර්ෂය යටතේ එහි මහලේකම් අබ්දුල් රාසික්ගේ අත්සනින් ඉදිරිපත්ව ඇති මෙම ලිපියේ සදහන් වන්නේ නව කොරෝනා වෛරසය ආසාදනවීමෙන් මරණයට පත්වන මුස්ලිම් මෘත දේහ භූමදානය කිරීමට රජය අවසර ලබාදී ඇති බවයි.

මෙම තීරණයට රජයට ස්තූතිය පළ කරන බව ද එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

අදාළ ලිපිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ‘සිලෝන් තව්හිද් ජමාත්’ සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඊයේ (09) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී අධිකරණ අමාත්‍ය අල් සබ්රි විසින් මෙම කාරණය සම්බන්ධයෙන් කරුණු දැක්වූ බවයි.

කෙසේ වෙතත්, එවැන්නක් කැබිනට් තීරණයක් ලෙස ප්‍රකාශයට පත් නොවන අතර එය සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශයට පත් කළ යුතු කාරණයක් බවයි ඔහු කියා සිටියේ ෴

***************************************

(10.11.2020 – 11:14 +0530 – hirunews.lk/sinhala)

නිල් මැණිකකින් නිමවූ බුදු පිළිමයක් රුපියල් කෝටි ගණනකට අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු බුත්තල – රහතන්කන්ද ප්‍රදේශයේදී මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) අත්අඩංගුවට ගත් 28 හැවිරිදි ප්‍රධාන සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, අනෙක් පුද්ගලයා බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

මීට පෙර චීවරධාරියෙකු ඇතුලු සැකකරුවන් පස්දෙනෙකු (5) මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා ෴

***************************************

පාලන මිලට සහල් දීමට වැඩපිළිවෙලක්

(10.11.2020 – 12:00 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කර, සතොස වෙළඳසැල් මගින් පාලන මිලට පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට වෙළඳපොලේ පවතින සහල් හිඟය සහ පාලන මිලට ප්‍රමාණවත් තරම් සහල් තොග සැපයීමට මෝල් හිමියන් ඉදිරිපත් නොවීම යන කරුණු සළකා මෙම තීරණය ගත් බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ ෴

***************************************

නාගදීප දූපත අවට මුහුදු රළ ඉහළට

(10.11.2020 – 12:28 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාළගුණ තත්වය සමග යාපනය නාගදීප දූපත අවට ප්‍රදේශයන්හි මුහුදු රළ ඉහළ ගොස් ඇති බව වාර්තාවනවා.

දින දෙකක් (2) තිස්සේ පවතින වර්ෂාව සහ සුළං තත්වය සමග උතුරු පළාත අවට සාගර කලාපය දැඩි රළු ස්වභාවයක් ගෙන තිබෙනවා.

මෙම තත්වයත් සමග යාපනය, නාගදීප හා ඩෙල්ෆ් දූපත් වෙත මගී ප්‍රවාහන බෝට්ටු ගමනාගමන කටයුතු සිදුකිරීමටද බාදාවක් වී ඇති බවයි වාර්තාවන්නේ.

එසේම නාගදීප දූපත වෙත පිවිසුම් වෙත ඇති ඇතැම් ගොඩබිම් මාර්ග මුහුදු රළ රළුවීම හේතුවෙන් ඊයේ (09) පස්වරුවේ ජලයෙන් යටවී තිබෙනවා.

ගලෙන්බිදුනුවැව ප්‍රදේශයට ඊයේ (09) රාත්‍රියේ පැවති අධික වර්ෂාව හේතුවෙන් යාන් ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බව හුරුළු වැව ප්‍රාදේශීය වාරි ඉංජිනේරු අතුල විජේවර්ධන මහතා ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් ඇල්ලෙපොතාන සහ ඉලුක්වැව අමුණුද විවෘත කර ඇති අතර, මේ නිසා යාන් ඔය දෙපස සිටින ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි ඔහු සඳහන් කළේ ෴

*********************************************

කොන්සියුලර් සේවා ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්

(10.11.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත තත්ත්වය යටතේ කලින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත දිනකට සීමිත ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් සඳහා විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා ඉටු කිරීමට එම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොන්සියුලර් කටයුතු අංශයට පැමිණීමට පෙර පහත සඳහන් වෙබ් දිගුව හෝ දුරකථන අංකය හරහා හමුවීම සඳහා වේලාවක් වෙන් කර ගත යුතු වන අතර, එසේ වේලාවන් වෙන්කර ගත හැක්කේ සතියේ වැඩ කරන දිනවල උදේ 10:00 සිට ප.ව 02:00 දක්වා පමණක් බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර කලින් වේලාව වෙන්කර නොගත් පුද්ගලයින්ට කොළඹ 01 සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන අතර, හුදෙකලා කොට ඇති හෝ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයින් මෙම කාලය තුළ දී කාර්යාලයට පැමිණීමෙන් වැළකී සිටිය යුතු බවද එම නිවේදනයේ සඳහන්.

වැඩිදුර තොරතුරු පහතින් :

= උපුටාගැනීම =

කොවිඩ්-19 වසංගත තත්ත්වය යටතේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා ඉටු කිරීම

හඳුන්වා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ පියවරයන්ට අනුකූලව සාමාන්‍ය ජනතාවට අඛණ්ඩ කාර්යක්ෂම සේවාවක් ලබා දීම සහතික කිරීම සඳහා, 2020 නොවැම්බර් 11 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි අනිවාර්යයෙන් ම කලින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත දිනකට සීමිත ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් සඳහා අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන ලේඛන සහතික කිරීමේ සේවා නැවත ආරම්භ කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, කොන්සියුලර් කටයුතු අංශයට පැමිණීමට පෙර පහත සඳහන් වෙබ් දිගුව හෝ දුරකථන අංකය හරහා හමුවීම සඳහා වේලාවක් වෙන් කර ගත යුතු වන අතර, එසේ වේලාවන් වෙන්කර ගත හැක්කේ සතියේ වැඩ කරන දිනවල උදේ 10:00 සිට ප.ව. 02:00 දක්වා පමණි :

වෙබ් දිගුව : https://mfa.gov.lk/online-consular-services/

දුරකථන : +94 11 233 8812

මේ ආකාරයට කලින් වේලාව වෙන්කර නොගත් පුද්ගලයින්ට කොළඹ 01 සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන අතර, හුදෙකලා කොට ඇති / ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයින් මෙම කාලය තුළ දී කාර්යාලයට පැමිණීමෙන් වැළකී සිටිය යුතුය.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණය, වන්දි ගෙවීම්, නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ වෙනත් කාරණා සම්බන්ධ විමසුම් සඳහා කරුණාකර පහත සඳහන් අංක අමතන්න.

ෆැක්ස්: +94 11 247 3899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

මරණ :

+94 11 233 8836 , +94 11 313 6715

+94 77 603 2252 , +94 77 358 6433

+94 71 841 5623 , +94 70 142 8246

වන්දි :

+94 11 243 7635 , +94 11 710 1193

නැවත මෙරටට ගෙන්වා ගැනීම :

+94 11 233 8837

විවිධ :

+94 11 233 8843 , +94 11 710 1162

මාතර සහ යාපනයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල දෙකම (2) සතියේ වැඩකරන දිනවල දී සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කරන බව කරුණාවෙන් සලකන්න. කරුණාකර පහත දුරකථන අංක හරහා කලින් වේලාවක් වෙන් කර ගන්න :

මාතර ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය : +94 41 222 6697

යාපනය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය : +94 21 221 5972

විදේශ අමාත්‍යාංශය
කොළඹ
2020 නොවැම්බර් 10 වැනි දින

***************************************

(10.11.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

උතුර, උතුරුමැද, වයඹ පළාත්වලට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අද (10) දිනයේ මිලිමීටර 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වලටද අද (10) පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගතවූ පැය විසි හතරේ (24) වැඩිම වර්ෂාපතනය මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයෙන් වාර්තාවන අතර, එය මිලිමීටර 287 ක්.

ඊට අමතරව අලම්පිල් ප්‍රදේශයට මිලිමීටර 205 ක සහ ත්‍රිකුනාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රදේශයට මිලිමීටර 130 ක වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා.

මේ අතර ඊයේ (09) රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟ යාන් ඔයේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ඇල්ලෙපොතාන සහ ඉලුක්වැව අමුණුද විවෘත කර ඇති අතර, යාන් ඔය දෙපස සිටින ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි හුරුළු වැව ප්‍රාදේශීය වාරි ඉංජිනේරු අතුල විජේවර්ධන මහතා සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *