හිරු පුවත ඵලදරයි අසරණ පවුලට අගමැතිගෙන් නිවසක්

හිරු පුවත ඵලදරයි අසරණ පවුලට අගමැතිගෙන් නිවසක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ

*********************************************

හිරු පුවත ඵලදරයි අසරණ පවුලට අගමැතිගෙන් නිවසක්

(10.11.2020 – 14:29 +0530 – hirunews.lk/sinhala)

හිසට සෙවනක් නොමැතිව සූරියවැව, වෙනිවැල්ආර සතිපොළේ දිවිගෙවන පවුලක් සම්බන්ධ පුවතක් අප ඊයේ (09) හිරු මධ්‍යහ්න ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කළා.

එම පුවතට ක්ෂණිකව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ පවුලට නිවසක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

සූරියවැව, වෙනිවැල්ආර ප්‍රදේශයේ ගසක් යට තම බිරිඳ හා දරුවා සමගින් දිවි ගෙවමින් සිටි මෙම පුද්ගලයාට ගම්වාසීන් විසින් වෙනිවැල්ආර සතිපොළ භූමියේ රැඳී සිටීමට ඉඩ දී තිබුණේ එම පවුලට දිවි ගෙවීම සඳහා වෙනත් කිසිදු විකල්පයක් නොමැති වීම හේතුවෙන්.

මීට පෙර කුලී නිවසක ජීවත් වූ මොවුන්ට කුලී වැඩක් කර හෝ ආදායමක් ලබාගැනීමට තිබූ අවස්ථාව පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අහිමි වී ඇති ආකාරය ඊයේ (09) හිරු මධ්‍යහ්න ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අප රටට හෙළි කළා.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයෙන්ද සමත්ව මේ වනවිට 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පවුලේ එකම දැරියට අධ්‍යාපන කටයුතු කර ගැනීමට පවතින දුෂ්කරතා පිළිබඳවද අප අනාවරණ කළා.

මෙම පුවත විකාශය වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ක්ෂණික අවධානය ඒ වෙත යොමුව තිබෙනවා.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ වෙනිවැල්ආර සති පොළෙහි දිවි ගෙවන පවුලට කඩිනමින් නිවසක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත නියෝග කර ඇති බවයි.

පසුගිය ආණ්ඩු සමයේ මෙම ප්‍රදේශවල නිවාස අවශ්‍යතාව සපුරා ඇති බවට විශාල ප්‍රචාරයක් ගෙන ගියද සැබෑ නිවාස අවශ්‍යතාවන් හඳුනා නොගැනීමෙන් මතුව ඇති මෙවැනි ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමේ වැඩපිළිවළක් සකස් කරන ලෙසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, මෙම පුවත විකාශය කළ ‘හිරු ටී.වී. ආයතනය’ වෙතද අග්‍රමාත්‍යවරයා සිය ස්තුතිය පළකළ බවයි.

අනතුරුව ඊයේ (09) පස්වරුවේම අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ලහිරු කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් වෙනිවැල්ආර සති පොළ වෙත පැමිණ එහි දිවිගෙවන පවුල පිළිබඳව සොයා බැලුවා.

***************************************

(10.11.2020 – 15:57 +0530 – hirunews.lk/sinhala)

නාවික හමුදාව දිවයින වටා සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කිලෝග්‍රෑම් 106 කට අධික කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අද (10) මාදගල්තුරෙයි වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අතහැර දමාගොස් තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි තිබී මෙම කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ මෙම කේරළ ගංජා, මළු 04 ක පාර්සල් 10 ක් වශයෙන් අසුරා තිබූ අතර මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා නාවික හමුදාව ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබනවා.

මේ අතර උතුරු මැද නාවික විධානය විසින් නොවැම්බර් මස 01 සහ 08 යන දිනයන්හි මන්නාරම පුතුකුඩිඉරිප්පු සහ ඉරුකුලම්පිඩ්ඩි ප්‍රදේශයන්හි සිදුකළ තවත් සෝදිසි මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 907 ක පමණ ප්‍රමාණයක් අලෙවි කිරීම සඳහා ළඟතබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු (3) ද, මන්නාරම පොලීසිය හා එක්ව තොඩ්ඩවේලි සහ මන්නාරම යන ප්‍රදේශවල සිදුකළ මෙහෙයුම් මගින් හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 650 ක් සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(10.11.2020 – 18:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නව විනිසුරුවරුන් හයදෙනෙකු (6) පත් කිරීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු සභාව නිර්දේශ ලබාදුන්නා.

ඒ අනුව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කළේ අභියාචනාධිකරණයේ සභාපති ඒ.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, මහින්ද සමයවර්ධන සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට නිර්දේශ කර ඇති බවයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුකෙරෙන පළමු පත්වීම් මෙය වනවා ෴

***************************************

(10.11.2020 – 19:11 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය සහ කොල්ලුපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් ලබන 11, 12 සහ 13 යන දිනයන් තුල එක් මාර්ගයක දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ වෙනුවට පෙරවරුවේ සහ පස්වරුවේ කොළඹ කොටුවේ සිට බස් රථ සේවාවක් ක්‍රියාත්මකයි.

***************************************

(10.11.2020 – 17:02 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව, ඕමන්ත, පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේ ජලය පිරුණු වැසිකිළි වළකට වැටීමෙන් වයස අවුරුදු 06 ක දැරියක් අද (10) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ දැරිය මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ වැසිකිළියක් සැකසීම වෙනුවෙන් කපන ලද වැසිකිළි වළකට මෙම ඇය ඇද වැටී ඇති බවයි.

අනතුරට පත් දැරිය වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවදී ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

වවුනියාව ප්‍රදේශයට ඊයේ (09) දිනයේ ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දැරිය වළ තුළට ඇද වැටුණු අවස්ථාවේ එය ජලයෙන් පිරී තිබී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ ෴

***************************************

(10.11.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

සුදු සීනි කිලෝග්‍රෑම් 01 ක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 90 කටත් පැකට් නොකළ කිලෝ ග්‍රෑමයක් රුපියල් 85 ක් ලෙසයි මිල නියම කර ඇත්තේ.

අනයනකරු විකිණිය යුතු තොග මිල වන්නේ රුපියල් 80 ක මිලකටයි ෴

*********************************************

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ

(10.11.2020 – 15:02 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද (10) දිනයේදී අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

කොළඹ මැනිං වෙළඳපොළේ කම්කරුවන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ මෙලෙස අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය සඳහන් කළේ.

ඒ අනුව අහඹු ලෙස තෝරා ගත් කම්කරුවන් 50 දෙනෙකු සඳහා අද (10) මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණා ෴

+++++++++++++++++++++

(10.11.2020 – 15:03 +0530 – hirunews.lk/sinhala)

පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය යළි නගා සිටුවීමේ අරමුණෙන් රජය ලබාදුන් සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය ගෙවීම සඳහා තවත් සහන කාලයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව එම සහන කාලය මාස 9 දක්වා දීර්ඝ කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

සියයට 4 ක පොලී අනුපාතයක් යටතේ මාස 6 ක සහන කාලයක් ද සහිතව මාස 24 කින් ගෙවීම සඳහා මෙම ණය මුදල් ලබාදී තිබුණා.

ව්‍යාපාර 61,907 ක් වෙනුවෙන් එලෙස ලබාදී තිබූ ණය පහසුකම්වල වටිනාකම රුපියල් බිලියන 177.9 කට අධිකයි ෴

+++++++++++++++++++

(10.11.2020 – 15:35 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය විසි හතර (24) තුළ කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 657 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 9,537 ක්.

තවදුරටත් පුද්ගලයින් 4,712 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර කොරෝනා ආසාදිතයින් දස දෙනෙකු (10) වාර්තා වීමත් සමඟ ගාල්ල – මකුළුව ප්‍රදේශයේ අද (10) දින අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස මෙම කොරෝනා ආසාදිත පුද්ගලයින් දස දෙනා (10) මීට පෙර හඳුනාගෙන තිබුණා.

ඔවුන් අතරට එකම පවුලේ පස්දෙනෙකු (5) ද අයත්.

ඒ අනුව මකුළුව ප්‍රදේශයේ පුද්ගලයින් 300 කගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා ෴

++++++++++++++++++++

(10.11.2020 – 16:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ මගී ප්‍රවාහන කෙරෙන බස් සහ දුම්රිය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම මාර්ගෝපදේශන මාලාවන්ට අනුව මින් ඉදිරියට මගී ප්‍රවාහන කටයුතු සිදුකළ යුතු බවයි ප්‍රවාහන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති අවදානම් මට්ටම්වලට අනුව ප්‍රවාහන අමාත්‍යාංශය ද මූලික අවදානම් මට්ටම් 03 ක් මත පදනම්ව පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක ආසන ගණනට පමණක් ධාවනය කිරීමේ ක්‍රමවේදයේදී සියයට 1.2 ක බස් ගාස්තු වැඩිවීමකට අද (10) සිට අවසර ලබාදී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

[ ප්‍රතිපත්ති සහ උපදෙස් මාලාව ]

+++++++++++++++++++

(10.11.2020 – 18:23 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ මගී ප්‍රවාහන බස් ගාස්තු අද (10) සිට සියයට 1.2 කින් ඉහළ දැමීමට අවසර ලබාදුන් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.

ඒ, බස් රථවල ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ලෙස සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලවයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව බස් රථ ගාස්තු අය කිරීම පිළිබද ක්‍රමවේද 3 ක් හඳුන්වා දී තිබෙනවා.

මෙම ක්‍රමවේද 03 අතරින් දැනට සෞඛ්‍ය අංශ අවසර ලබාදී ඇත්තේ ආසන ගණනට පමණක් ධාවනය කිරිමේ ක්‍රමවේදයටයි.

ඒ අනුව මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු සියයට 1.2 කින් ඉහළ නංවා ඇති අතර, අවම ගාස්තුව රුපියල් 12 සිට රුපියල් 14 දක්වා වැඩි වන බවයි කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, කොරෝනා වසංගතය හමුවේ පොදු මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේදී ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නව මාර්ගෝපදේශන මාලාවක් බස් රථ සහ දුම්රිය වෙනුවෙන් නිකුත් කර තිබෙනවා.

එම මාර්ගෝපදේශන මාලාවන්ට අනුව මින් ඉදිරියට මගී ප්‍රවාහන කටයුතු සිදුකළ යුතු බවයි ප්‍රවාහන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

මෙම මාර්ගෝපදේශයන්ට අනුව මගීන් මෙන්ම රියදුරු සහ කොන්දොස්තර අනිවාර්යෙන්ම මුව ආවරණ පැළදිය යුතුයි.

විෂබීජ නාශක දියර ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු අසළ සවි කිරීම, අනවශ්‍ය බඩු බාහිර ආදිය රැගෙන යාමෙන් වැළකීම, බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ තොරතුරු ලබා ගැනීම, සෞඛ්‍ය උපදෙස් බස් රථවල ප්‍රදර්ශනය කිරීම, යාචකයින් සහ ජංගම වෙළදුන් බස් රථය තුළට ඇතුලුවීම වැළැක්වීම, අනිවාර්යෙන්ම සිදුකළ යුතු වනවා ෴

+++++++++++++++++++

(10.11.2020 – 17:13 +0530 – hirunews.lk/sinhala)

අද (10) දිනයේ අලුතින් කොරෝනා මරණ හතරක් (4) වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කාන්තාවක් (1) සහ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු (3) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඉන් මරණ දෙකක්ම (2) වාර්තාවන්නේ කොළඹ ජාතික රෝහලෙන්.

පසුගිය හත්වනදා (07) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ රාජගිරිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත්වූ 51 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇති අතර, ඔක්තෝම්බර් මස 23 වනදා එම රෝහලට ඇතුළත් කළ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් කොවිඞ් 19 හේතුවෙන් සිදුවූ ස්වසන පද්ධතියේ ආසාදනයකින් මියගොස් තිබෙනවා.

කාන්තා මරණය ගම්පහ – උඩුගම්පල ප්‍රදේශයෙන් වාර්තාවන අතර, 63 හැවිරිදි ඇය, ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඊයේ (09) ඇතුළත් කෙරුණා.

එහිදී කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය අනෙක් පුද්ගලයා අවුරුදු 55 ත් 60 ත් අතර වයසේ පසුවන හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙරේදා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇති බවට තහවුරු වුණා ෴

තවත් කොවිඩ් ආසාදිතයින් 305 දෙනෙක් අද (10) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන් සියලුදෙනා ආශ්‍රිතයින් බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++

(10.11.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට 41 වන කොවිඩ් ආසාදිත මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක්.

ඒ අනුව අද (10) දිනයේ මේ වනවිට වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 05 ක් ෴

++++++++++++++++++++

(10.11.2020 – 18:55 +0530 – hirunews.lk/sinhala)

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමඟ ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ දායකත්වය පසුගිය ඔක්තෝම්බර් මස 31 වන දිනට රුපියල් 1,668,379,121.74 ක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

එම මුදලින් අද (10) දින දක්වා රුපියල් 402,190,701ක මුදලක් පහත පරිදි වෙන් කර සහ වැය කර තිබෙනවා.

++++++++++++++++

(10.11.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්‍යාවද අද (10) වනවිට 56 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ආසාදිතයන් අතර දරුවන් සහ මව්වරුන් 46 ක් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුද වන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළේ.

පවතින තත්වය හමුවේ ලබන සතියේ සිට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාව රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ සිදුකිරීමට අපේක්ෂා කරන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා කියා සිටියා.

මේ අතර, හොරණ – ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටි ‘බොඩිලයින්’ ඇඟලුම් කර්මාන්තශාලවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවකයන් 3,000 කට ආසන්න පිරිසකට මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති බවයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

ගාල්ල – මකුළුව ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයන් පස්දෙනෙකු (5) ඇතුලු ඔවුන්ගේ ආශ්‍රිතයන් දසදෙනෙකු (10) කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයේ ප්‍රජාවට අද (10) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

මකුළුව ප්‍රදේශයෙන් හඳුනාගත් අදාළ ආසාදිතයන් පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබූ කාලසීමාව තුළ නිරෝධායන නීති කඩකර ඇති බවටද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පැමිණිලි ලැබී තිබුණා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට ආසාදිතයන් 104 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්.

එම සංඛ්‍යාව 44 ක්.

+++++++++++++++++

(10.11.2020 – 19:57 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරේගම, දීපලාගොඩ සහ ඈතමුල්ල යන ග්‍රාමනිලධාරී වසම් සඳහා සංචරණ සීමා පනවා තිබෙනවා.

ඒ, කුඹුරේගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තාවීම හේතුවෙන්.

මේ වනවිට දිවයින පුරා පොලිස් වසම් 27 ක් සහ ග්‍රාමසේවා වසම් පහක් (5) සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබෙනවා.

එමෙන්ම අඟුලාන පොලිස් වසමට අයත් අඟුලාන උතුර සහ දකුණ මෙන්ම මහබාගේ සහ කඳාන යන පොලිස් වසම් දෙකද (2) නැවත දැනුම්දෙනතුරු හුදකලා කිරීමට ඊයේ (09) පියවර ගැනුණා.

මේ අතර, දැනට හුදකලා කර ඇති මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය සතියක කාලයකට පැවැත්වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් අද (10) නිකුත් කළා.

ඒ, නිරෝධායන නීති කඩකරමින් අදාළ රැස්වීම පැවැත්වීමට යන බවට පොලිසිය කළ කරුණු දැක්වීමක් සලකා බලමින්.

පොලිස් නිලධාරීන් පැමිණ අදාළ අධිකරණ නියෝගය දැනුම්දීමත් සමඟ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

+++++++++++++++++++++

(10.11.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් නිපදවා ඇති බවට ප්‍රචාර පළවුවද මේ දක්වා අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රමවේදවලින් බැහැර නොවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙනවා.

ඇමරිකානු ඖෂධ සමාගමක් වන ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝ ඇන්ඩ් ටෙක්’ සමාගම් එක්ව මෙලෙස කොවිඩ් 19 මර්දනය කළ හැකි එන්නතක් සකස් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම එන්නත සාර්ථක අදියරට පැමිණ ඇති බවයි එම සමාගම් ඊයේ (09) නිවේදනය කළේ.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් සිය ගණනක් පමණ අත්හදා බැලෙන අතර, මෙතෙක් අවසන් අදියර සඳහා ළඟාවී ඇත්තේ එන්නත් හයක් (6) පමණයි.

මෙම එන්නතෙහි මාත්‍රා මිලියන 50 ක් මේ වසර අවසානය වනවිට සැපයිය හැකි බව එම එන්නත නිපද වූ ඇමරිකානු සහ ජර්මානු සමාගම පවසනවා.

එමෙන්ම, 2021 වසර අවසාන වන විට එන්නතෙහි මාත්‍රා බිලියන 1.3 ක් සැපයීම අදාළ සමාගමේ අපේක්ෂාව බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

බ්‍රිතාන්‍ය මේ වනවිටත් එම නව එන්නතෙහි මාත්‍රා මිලියන 30 ක් පමණ ඇණවුම් කර අවසන් බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මෙය ඇමරිකාව, ජර්මනිය, බ්‍රසීලය, ආජන්ටිනාව, දකුණු අප්‍රිකාව සහ තුර්කිය යන රටවල්වල පුද්ගලයින් 43,500 ක් සම්බන්ධ කර ගනිමින් අත්හදා බලනු ලැබුවා.

එමගින් සියයට 90 ක තරම් ආරක්ෂාවක් ලබා ගත හැකි බව පර්යේෂණවලදී අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම එන්නත සෙල්සියස් අංශක ඍණ 80 ක උෂ්ණත්වයක ගබඩා කළ යුතු බැවින් එය රටවල් අතර බෙදා හැරීමේදී සහ ගබඩා කිරීමේදී අභියෝගයක් විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අනුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය නීලීකා මලවිගේ මහත්මිය සඳහන් කළේ එන්නත සාර්ථක බවට පෙන්නුම් කළද අනවශ්‍ය බලාපොරොත්තු තබාගැනීම සිදු නොකළ යුතු බවයි.

++++++++++++++++++

(10.11.2020 – 20:46 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන සියලුම එළවලු තොග නිසි පරිදි බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවලු බෙදා හැරීමේ ගැටලුවක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.

+++++++++++++++++++

(10.11.2020 – 20:50 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇති රැපිඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *