කොවිඩ් මරණ ආදාහනයද ? භූමදානයද ?

කොවිඩ් මරණ ආදාහනයද ? භූමදානයද ?

*********************************************

කොවිඩ් මරණ ආදාහනයද ? භූමදානයද ?

(10.11.2020 – 21:07 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතයින් මියයාමෙන් අනතුරුව එම දේහයන් ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් යළිත් සමාජය තුළ කතාබහක් ඇතිවී තිබෙනවා.

කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, එම දේහයන් භූමිදානය කිරීම සඳහා ඉදිරියේදී අවසරය හිමිවනු ඇති බවයි.

++++++++++++++

(10.11.2020 – colombotoday.com)

කොරෝනා අසාදිත දේහයන් භූමිදානය කිරීමට රජයෙන් අවසර දුන් බවට පලවන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශයක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

මේ අනුව වර්තමානයේ පවතින විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පදනම් කරගනිමින් තවමත් යම් අයෙකු මියගියහොත් සිදු කරනු ලබන්නේ ආදාහනය බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම මේ වනවිට සමාජ මාධ්‍යජාලා තුල මෙම නීති වෙනස් කල බවට තොරතුරු පළවුවත් එවැනි තීරණයක් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන නොමැති බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කලේ.

නමුත් ඊයේ (09) වනදා නිවේදනයක් නිකුත්කරමින් ‘සිලෝන් තව්හිඩ් ජමාත්’ සංවිධානය පැවසුවේ මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ භූමිදානය කිරීමට රජය අවසර ලබා දී ඇති බවත් තම සංවිධානයට අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි විසින් එය තහවුරු කල බවත් සඳහන් කර සිටියා ෴

++++++++++++++++++

මුස්ලිම් භූමදාන ප්‍රශ්නය‍ : මුස්ලිම් ජනතාව වියලි සහ තෙත් ලෙස කොටස් දෙකකට බෙදා විසඳන බව ඇමති අමරවීර කියයි

(11.11.2020 – 09:55 +0530 – lankaleadnews.com)

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන බව ඇමති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එසේ වුවද එම තිරණය කැබිනට් මණ්ඩලය විසින් ගත් එකක් නොවන බවත් කී ඔහු එම අවසරය ලබා දෙන්නේ හුදෙකලා ප්‍රදේශවල සහ වියළි ප්‍රදේශවල පමණක් යැයිද සඳහන් කළේය.

භූගත ජලයට එම විෂ මිශ්‍ර නොවන ප්‍රදේශවල ඒ සඳහා අවසර ලැබෙන බවද ඔහු සඳහන් කරයි.

මේ වන විට ලෝකයේ අනිත් රටවල් මෙවන් අවසර ලබා දෙන බවත් එනිසාම මෙරට තුලදීද එය සිදු කිරීමට කැබිනට් මණ්ඩලය විරුද්ධ නොවූ බවද ඔහු පැවසීය.

සිංහල බෞද්ධ අයෙකුට වුවද කොරෝනා දේහයක් භූමදානය කිරීමට අවස්ථාවක් ඉල්ලුව හොත් සලකා බැලිය හැකි බවත් දැනට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ලැබී නැති බවත් ඔහු කියා සිටියේය.

මාධ්‍ය අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

+++++++++++++++++++

කොවිඩ් මිනී පුච්චලා විනාශ නොකළොත් අනාගත පරපුරත් මරු කටේ – නීතිරීති හැදුවේ ආගමක් මුල් කොට නොව ජීවත්වන ජනතාව ගැන හිතලයි – මහාචාර්ය මෙත්තිකා විතානගේ

(10.11.2020 – 22:47 +0530 – lankaleadnews.com)

කොවිඩ් 19 රෝගයෙන් මියගිය පුද්ගලයෙකුගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී වඩාත් සැලකිලි වන්නේ ඉන් ජීවත්ව සිටින අය අවදානමකට ලක් නොකිරීම බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අවධාරණය කරයි.

කොවිඩ් 19 රෝගයෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තීරණය කර තිබෙන්නේ කිසිදු ආගමක් පදනම් කරගෙන නොව ජීවත්ව සිටින අයගේ ආරක්ෂාව පදනම් කරගෙන බව ද මහාචාර්යවරිය පෙන්වා දෙයි.

කොවිඩ් 19 හේතු කොට ගෙන මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු හැකි ඉක්මනින් උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මත කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්ණායක හඳුන්වා දී තිබෙන්නේ ජීවත්වන ජනතාවගේ ආරක්ෂාව පදනම් කොටගෙන බව ද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

කොවිඩ් 19 වෛරස ඉතා දරුණු බව පෙන්වා දෙන මහාචාර්යවරිය මෙරට ඇතිවූ පළමු රැල්ලට වඩා දැන් ව්‍යාප්ත වෙමින් පවතින දෙවන රැල්ල තුළ ආසාදනය වීමේ අවස්ථාවන් ඉතා අධික බව ද සඳහන් කරයි.

අනිකුත් රටවල් හා සංසන්දනය කරද්දී ශ්‍රී ලංකාවේ භූගත ජලය සම්බන්ධයෙන් විශේෂත්වයක් පෙන්නුම් කරන බව පෙන්වා දෙන මහාචාර්යවරිය තවමත් ශ්‍රී ලංකාවේ බහුතරයක් භූගත ජල මූලාශ්‍ර භාවිතයට ගන්නා බවද සඳහන් කරයි.

කොවිඩ් 19 හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ දේහයන් භූමිදාන කරන ස්ථානවලට එම ජල මූලාශ්‍ර ඉතා කිට්ටු නම් බොහෝ ප්‍රශ්න ඇතිවිය හැකි බව ද මහාචාර්යවරිය වැඩිදුරටත් සදහන් කරයි.

දේහයන් භූමිදානය කරන කනත්ත වලින් වෛරස හා බැක්ටීරියා ජලයට මුසු වන බව ලෝකයේ සිදු කර ඇති පර්යේෂණවලින් හා වාර්තා වලින් ඔප්පු වී තිබෙන බවද මහාචාර්යවරිය පෙන්වා දෙයි.

කොවිඩ් 19 හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් ආදාහනය නොකොට භූමිදානය කිරීමට ආණ්ඩුව අවසරය දුන් බවට එක්තරා මුස්ලිම් ආගමික සංවිධානයක් කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වෙමින් පවතී.

මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මෙම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක් සමඟ වැඩසටහනට එක් වෙමිනි.

++++++++++++++++++

පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. පූජ්‍ය ඥානසාර හිමි ඉල්ලයි

(11.11.2020 – 09:34 +0530 – lankaleadnews.com)

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ පිළිස්සීම ද නැත්නම් වැළලීමද යන ප්‍රශ්නය මත වහබ්වාදී කල්ලි දරුණු ආකාරයට සමාජයට කිදා බසින බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (10) කොළඹදී පවතී මාධ්‍ය හමුවකදීය.

එහෙයින් ආගමික බලපෑම්වලටයට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව ජනතාවට පවසන ලෙසයි පූජ්‍ය ඥානසාර හිමියන් අවධාරණය කළේ.

“කරුණාකරලා ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය හරියට කියන්න. මේක හරියට පහදලා මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් කියන්න. සිංහල තේරෙන්නේ නැහැ කිව්වොත් දෙමළෙන් කියන්න. එක්කෝ මේක ආගමික රාජ්‍යයක් වෙන්න ඕනේ එක්කෝ මේක හමුදා රාජ්‍යයක් වෙන්න ඕනේ. මේ ඔක්කොම පටලගෙන මිනිස්සු යම් ‘ටෙන්ෂන්’ එකක ඉන්නේ දැන්. අපි අපේ අයිතිවසිකමත් ඉල්ලලා, පාංශුකූලය දෙන්න ඕන කිව්වොත් කොච්චර අපහසුතාවට පත්වෙයිද? අපි එතනට යන්නේ නැහැ. රජය තීන්දුවක් ගත්තනම් එක හරියට මිනිස්සුන්ට ගෙනයන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලක් නැහැ.”

අවසානයේ සිදුවන්නේ මෙම මරණ පාදක කරගෙන වහබ්වාදී මතවාදය පෝෂණය වීම වන අතර කිසිලෙසකින් හෝ රට තුළ ඉස්ලාම් අන්තවාදය පෝෂණය වීමට ඉඩ දීමට වත්මන් ආණඩුවට හැකියාවක් නොමැති බවයි උන්වහන්සේ කියා සිටියේ.

+++++++++++++++++++

සිංහලයාගේ ඡන්ද අරගෙන ඒ මත මලපහ කරන්න එපා. පූජ්‍ය මැඩිල්ලේ හිමි ආණ්ඩුවට කියයි

(10.11.2020 – colombotoday.com)

මේ ආණ්ඩුව මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී අවසන් බවත් සිංහලයාගේ ඡන්ද අරගෙන ඒ මත මලපහ කරන්න එපා යැයි ආණ්ඩුවට අවධාරණයෙන් පවසන බවත් පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි සඳහන් කර සිටිනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයක් කර එම දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට අවසර දීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් උන්වහන්සේ මේ බව පැවසීය.

මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු රජය දැඩි ලෙස විවේචනය කිරීමට උන්වහන්සේ කටයුතු කල අතර උන්වහන්සේ දැක්වූ සම්පුර්ණ අදහස් :

++++++++++++++++++++

අලි සබ්‍රි නැමති නගුට විසින් ආණ්ඩුව නැමති බල්ලා නැටවෙනවා – පුජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමි

(10.11.2020 – colombotoday.com)

මේ රටේ ජනාධිපති අලි සබ්‍රි ද? රුවන්වැලියේ දිවුරුම් දුන් ගෝඨාභය අතුරුදහන් වෙලාද? යැයි පුජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමි ප්‍රශ්න කර සිටියා.

මේ රටේ තීන්දු තීරණ ගන්නේ අලි සබ්‍රි දැයි ප්‍රශ්න කර සිටි සුදත්ත හිමි Covid 19 හේතුවෙන් මියයන පුද්ගලයින් කුමන ජාතියකට අයත් වුවද ආදාහනය කල යුතු බවත් අවධාරණය කර සිටියා.

බල්ලා විසින් නගුට වැනුවද අලි සබ්‍රි නැමති නැට්ට විසින් ආණ්ඩුව නැමති බල්ලා වනනු ලබන බවද උන්වහන්සේ සඳහන් කර සිටියා. මේ අයුරුන් කටයුතු සිදුවන්නේනම් ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙදර යැවුවා මෙන් 2025 දී ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීම ද ඒකාන්ත බව සඳහන් කර සිටියහ.

Colombo Today වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් උන්වහන්සේ මේ බව පැවසීය ෴

+++++++++++++++++++

අන්තවාදීන්ගේ ඉල්ලිමට රටේ නීති වෙනස් කිරීම වරදක්. කොරෝනා මරණවලට ආගම අනුව විශේෂයක් කරන්න එපා.

(06.11.2020 – colombotoday.com)

මළ සිරුරු භූමදානය කිරිම යනු තම ජනතාවගේ අයිතියික් ලෙස සලකා ඊට ඉඩ දිය යුතු බවට මුස්ලිම් මන්ත්‍රීවරුන් තර්ක ගොඩනගන්නේ ආගමික අන්තවාදී බලවේග සතුටු කිරීමට බවත් අන්තවාදීහු සැම විටම තම ආගමට විශේෂිතව සැලකිය යුතු බවට සමාජ මතයක් ගොඩනැගීමට උත්සාහ කරන අතර එසේ නොවන වීට ඊට එරෙහිව සටන් කළ යුතු බවට මතයක් ගොඩන බවත් සඳහන් කරමින් ආගමික අන්තවාදීන්ගේ ඉල්ලිම් අනුව රටේ, නීති, රෙගුලාසි හෝ ප්‍රතිපත්ති වෙනස් කිරීම වරදක් බව සඳහන් කරමින් ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය :

අතිගරු ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
ජනාධිපතිතුමනි,

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලිම් අනුව රටේ, නීති, රෙගුලාසි හෝ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ වරද පිළිබදව

ආගමික අන්තවාදී පිරිස් වලට අවනතව කටයුතු කරන බව පෙනෙන යම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් පරිදි කොවිඩ් වසංගතය පාලනය කිරීමට අදාළ නිරෝධායන පටිපාටි වෙනස් කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බවට මහජන මතයක් ඇතිවී ඇත. සමාජ මාධ්‍යවල පළවන තොරතුරු අනුව කෝවිඩ්-19 වෛරසය ආසාදනයක් නිසා මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීමට විරුද්ධව යම් මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම විරෝධතා ඉදිරිපත් කොට ඇත. පසුගිය දින පාර්ලිමේන්තුවේ දීද ඊට අදාලව මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙපළක් විසින් ඉල්ලීම් ඉදිරිපත් කළ බව දැන ගැනීමට ලැබුණි. එම ඉල්ලීම්වලට අනුව ජාති ආගම් භේදයකින් තොරව වසංගතය නිසා මිය යන සියලු දෙනාගේ මළ සිරුරු භූමදානය නොකර ආදාහනය කළ යුතු බවට තාක්ෂණික කමිටුවක් විසින් ගෙන තිබූ තීරණය නැවත සමාලෝචනය කිරීම සඳහා ආණ්ඩුව විසින් තීරණයක් ගෙන ඇති බව අපට දැන ගන්නට ලැබී ඇත.

ඒ ආකාරයට ජාති හෝ ආගම් පදනමින් විවිධ අන්තවාදී මත දරණ පිරිස් විසින් කරනු ලබන පෙළඹවීම් වලට අනුව පවතින නීතියක්, රෙගුලාසියක්, පටිපාටියක් හෝ ප්‍රතිපත්තියක් වෙනස් කිරීමට හෝ සමාලෝචනය කිරීමට යම් රජයක් විසින් ක්‍රියා කරන්නේ නම් එය ඉතාම නරක පූර්වාදර්ශයක් බව ඔබතුමාට ඉතා කාරුණිකව පෙන්වා දීමට සිදුවේ. ඒ අනුව මෙම නිශ්චිත කාරණයට අදාළ පහත සඳහන් කරුණු ඔබතුමාගේ අවධානය පිණිස ඉදිරිපත් කරමු.

  1. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ විද්වත් සංවිධාන සහ අප රටේ විද්වතුන් ගේ අදහස් අනුව කොවිඩ් වසංගතය පාලනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග රටේ නිරෝධායන පනත ට අනුව සහ පොදු එකඟතාවට අනුව ඇතිකරගන්නා සම්මතයන් මත පදනම් විය යුතුය.
  2. ඒ අනුව කොවිඩ්-19 වෛරසය භූගත ජලයට එක්වී පරිසරයට නිදහස් විය හැකි බවට සහ විශේෂයෙන්ම එම ජල මට්ටම පොළව මතුපිටට කිට්ටුව තිබෙන විට තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවට පවතින සාක්ෂි අනුව පොදු මහජන සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා කොවිඩ් වෛරසය ආසාදනය නිසා මිය යන්නවුන්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවට විද්වතුන් ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් විසින් තීරණය කරනු ලැබීය.
  3. එම තීරණය සමාලෝචනය කරන ලෙස මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව සහ විවෘතව කියා සිටියේ තාක්ෂණික කමිටුවේ තීන්දු අනුව කටයුතු කළ යුතු බවය.
  4. තත්වය එසේ තිබියදී මුස්ලිම් මන්ත්‍රීවරුන් පමණක් ‘මළ සිරුරු භූමදානය කිරිම යනු තම ජනතාවගේ අයිතියික්’ ලෙස සලකා ඊට ඉඩ දිය යුතු බවට තර්ක ගොඩනගන්නේ ආගමික අන්තවාදී බලවේග සතුටු කිරීමට බව ඉතා පැහැදිලිව පෙනේ. අන්තවාදීහු සැම විටම තම ආගමට විශේෂිතව සැලකිය යුතු බවට සමාජ මතයක් ගොඩනැගීමට උත්සාහ කරන අතර එසේ නොවන වීට ඊට එරෙහිව සටන් කළ යුතු බවට මතයක් ගොඩනගති.
  5. එවැනි ඉල්ලීම් ඉටුකිරීම නොව සලකා බැලීමට ඉදිරිපත් වීම මගින් පවා අන්තවාදී මතවාදය පෝෂණය වන බව තේරුම් ගැනීම් අමාරු නැත. ඒ මගින් අනාගතයේ දීද විවිධ කරුණු මුල් කරගෙන තම ආගමට අනුව තමාට විශේෂයෙන් සැලකිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කිරීම සහ ඒ මත පදනම්ව ගැටුම් ඇති කිරීම සාධාරණීකරණය කෙරෙනු ඇත.
  6. මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය නොකළ යුතු බවට හෝ ආදාහනය කළ යුතු බවට ආණ්ඩුව විසින් තීරණයක් ගෙන නැත. එම තීන්දුව වසංගත තත්ත්වයට අදාළව පමණක් වලංගු වේ. ඒ බව අන්තවාදීන්ට හැර බහුතර මුස්ලිම් ජනතාවට තේරුම් ගත හැක.

එම නිසා මෙවැනි ඉල්ලීම් සලකා බැලීම්ට ඉදිරිපත් වීම පවා වැරදි ආදර්ශයක් බව ඉතා කාරුණිකව නැවත වරක් සඳහන් කරන අතර තාක්ෂණික කමිටුව විසින් මීට පෙර කරනු ලැබූ නිර්දේශය දේශපාලන පීඩනයන්ට යටත් වී වෙනස් කිරීම්ට ඉදිරිපත් නොවන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර,
කැදවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව

2020-11-06

+++++++++++++++++++

කොවිඩ් මෘතදේහ ජාති, ආගම් අනුව අවසන් කටයුතු සිදුනොකළ යුතුයි – පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

(11.11.2020 – 15:34 +0530 – lankaleadnews.com)

කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය උපදෙස්වලට අනුව පමණක් සිදුකළ යුතු බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසති.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ ජාති, ආගම් අනුව අවසන් කටයුතු සිදුනොකළ යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“මේ දිනවල කොවිඩ් -19 වසංගතය නිසා මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම පිළිබඳව යළිත් රටේ අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව පේනවා. මේ වසංගතය ව්‍යාප්ත වීමේ දී අපි දන්නවා කිසිදු ජාතිහේදයක්, ආගම්භේදයක් නැතුව මුස්ලිම් ද දෙමළ ද සිංහල ද කතෝලික ද නැතුව කිසිදු වර්ගීකරණයකින් තොරවයි මේ වසංගතය ව්‍යාප්ත වෙන්නේ. එමෙන්ම මේ වෛරසය වැළඳී මියයන අය තුළත් එවැනි කිසිදු වර්ගීකරණයක් නෑ.

එවැනි පසුබිමක් තුළ කෙනෙක් මිය ගියාට පසුව ඒ මෘතදේහය ආදාහනය කරනවා ද භූමදානය කරනවා ද කියන කාර්ය අදාළ වන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නියමයන් අනුව තීරණ ගැනීමට. බෞද්ධයන් හැටියට අපටත් පැහැදිලිවම ප්‍රශ්න තියෙනවා. මොකද අඩුම තරමේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රවත් ඉටුකර ගන්න අවස්ථාවක් නෑ. එසේ වුවත් අපි ඒ නීතයට අවනතයි. මොකද මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි දන්නවා මේ අවස්ථාවේ එවැනි චාරිත්‍ර ඉටුකරන්න පුළුවන් වෙලාවක් නොවෙයි.

එවැනි පසුබිමක් තුළ විශේෂයෙන්ම ආගම්වාදී, ජාතිවාදී උන්මන්තකයින්ගේ යම් යම් බලපෑම්වලට නතුවෙලා වැඩකරනවාට වඩා රජයක් හැටියට මේ වෙලාවේ කළයුතුව ඇත්තේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි වඩාත් ආරක්ෂාකාරීව මේ ක්‍රමය සිදුකිරීම බවයි අපගේ මතය.”

+++++++++++++++++++

මුස්ලිම් මෘතදේහ භුමදානය මුස්ලිම් ජන සංහාරයකට අතවැනීමකි

(11.11.2020 – 11:10 +0530 – lankaleadnews.com)

අපේ දුර පෙනෙන විද්වතුන් බොහොමයක් නොදුට ළග ඇති අනතුරක් නම් මුස්ලිම් මෘතදේහ භුමදානයට පෙර ඒ සදහා දේහය සකස් කරන ක්‍රම වේදයයි. ඒ ක්‍රම වේදයට අනුව මෘතදේහය නහවා නාස් පුඩු සහ දෙකන්වලට පුලුන් ඔබ්බවා ඉන් පසු ඒ දේහය රෙදිවලින් ඔතනු ලැබේ. ඒ නෑවීමේ ක්‍රියාවලිය සිදු කරනුයේ සාමූහිකව පිරිමින් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙනි. ඒ සහභාගී වීම වෛරසය පැතිරීමේ එක් අවස්ථාවකි.

නමුත් වඩාත් භයානක අවස්ථාව නම් මරණය නෑවීමයි. හේතුව ඒ නාවන ජලය එළිමහන් පරිසරයට ගලාගෙන යාමට සළස්වන බැවිනි. කොවිඩ් නිසා මරණයට පත්වූ අයෙකුගේ මරණය නහවා පරිසරයට හෙවත් සමාජයට ගලාගෙන යාමට සළස්වන ජලයේ වෛරසය තොග ගණනින් පැවතීම අනිවාර්ය වේ. ඒ ගලාගෙන යන ජලය මාර්ග දිගේ කානු දිගේ ගලාගෙන යන අතර නොයෙක් තැන්වල රැදීමේ ඇති අවකාශය ඉතා අධිකය. එලෙස රැදෙනුයේ ද මුස්ලිම් දරුවන්, කාන්තාවන් සහ වයස්ගත පුද්ගලයන්ද ගැවසෙන මුස්ලිම් සමාජයේම තැන් තැන්වලය. කොළඹ නගරයේ මුස්ලිම් ජනගහනය වෙසෙන වතු, මහල් නිවාස සහ සාමූහික නිවාස පිලිබද අවබෝධයක් ඇත්තෙකුට මේ අනතුර ඇග කිලිපොලා යන ලෙසට දැනිය යුතුය. ඒ අනුව මුස්ලිම් ජනතාව බිල්ලට දෙමින් මුස්ලිම් දේශපාලන නායකයන් කරන මේ දේශපාලන සෙල්ලම මුස්ලිම් ජනතාවම තේරුම් ගත යුතුය.

ඒ නිසා මේ ඡන්ද කුට්ටි දෙස බලාගෙන කරන දේශපාලන අවකෙළිය වහා නතර කිරීමට ඇස් කන් පෑදේවායි ප්‍රාර්ථනා කළ යුතු වෙමු. අනෙක් අතට මේ තීරණය නිසා මුස්ලිම් ජනතාව සමූලඝාතනයට ලක්වීමට ඇති ඉඩ මුස්ලිම් ජනතාවම තේරුම් ගත යුතුය. එසේ වුවහොත් බලාපොරොත්තුවෙන ඡන්ද කුට්ටිය අදාල දේශපාලකයන්ට නොලැබෙන අතර ඉතිරිවන මුස්ලිම් ඡන්ද ප්‍රමාණය ද මේ තීරණ ගත් පාලකයින්ට වෛර කිරීම මිස ඡන්දය දීමට කටයුතු නොකරනු ඇති බව ද අවධාරණය කළ යුතුය.

අනෙක් අතට කානු දිගේ ගලාගෙන යන වෛරසය සහිත ජලය මගින් බල්ලන්, පූසන්, මීයන් වැනි සතුන් වෛරසයට නිරාවරණය වීමට ඇති අවස්ථාවන් ඉතා ඉහළ සම්භාවිතාවක් ගනී. ඩෙන්මාර්කයේ මිලියන ගණන් මුගටින් මරා දමන්නට තීරණය කරන ආකාරය මෙහිදී සිහියට නගාගැනීම වැදගත් වේ. කොළඹ නගරයේ වෙසෙන මී ගහණය මේ වෛරසයට නිරාවරණය වුවහොත් මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි භේදයකින් තොරව සමාජවාදී ක්‍රමයට වෛරසය කොළඹ පුරා බෙදා හැරෙනු ඇති අතර කොලඹින් රට පුරා කාටත් සමව බෙදා දෙනු ඇත. ඊට අමතරව රට පුරා වෛරසය බෙදා හැරෙන අනෙක් මාධ්‍යය වනු ඇත්තේ වියළි ස්ථානයක් සොයා මෘතදේහය රැගෙන යාමට ගන්නා තීරණයෙනි.

අවසාන වශයෙන් මුස්ලිම් අයට දුන්නා නම් අපටත් භූමදානය ඕනේ යන තකතීරු සටන් පාඨය සමාජගත නොකරන ලෙස අනෙකුත් බෞද්ධ හින්දු කතෝලික ක්‍රිස්තියානි ආදී වෙනත් සමාජ කොටස් වෙතින් ආයාචනා කර සිටීමට ද මෙය අවස්ථාවක් කරගනිමි.

– උදිත සෙනරත් කුංකුනාවේ

+++++++++++++++++++

(10.11.2020 – 21:21 +0530 – hirunews.lk/sinhala)

අද (10) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 125 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඔවුන් ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද (10) දිනයේ මේ වන හඳුනගෙන ඇති ආසාදිතයින් ගණන 430 ක් ෴

++++++++++++++++++++

(11.11.2020 – 07:11 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අවට හුදෙකළා කර ඇති ප්‍රදේශවල අයෙකු රෝගී වුවහොත් ඒ සඳහා විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එම අංකය වන්නේ 011 342 2558 යි.

මේ අතර සඳුදා හෝ අඟහරුවාදා දින ඇතුලත පිටකොටුව මැනිං වෙළඳපොළ යලි විවෘත කිරීමට අවශ්‍ය පියවර මේ වනවිට ගනිමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහන වෙත සජීවීව එක්වෙමින්.

මේ අතර මැනිං වෙළඳපොළ හා සම්බන්ධ වූ මෙතෙක් PCR පරීක්ෂණ සිදුකර නොමැති සියලු දෙනා එම පරීක්ෂාවන් සිදුකරගැනීම සඳහා 071 859 1551 අමතා පොලිසිය හා සම්බන්ධ විය හැකි බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එසේම ඉදිරියේදී විවෘත කෙරෙන මැනිං වෙළඳපොළ භාණ්ඩ බෑම සහ පැටවීමේ කටයුතු සඳහා සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයක් ලෙස සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට තීරණය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

එසේම PCR පරීක්ෂණ ඔස්සේ මෙතෙක් වාර්තා වූ කොරෝනා අසාදිත සියලු පොලිස් නිලධාරීන් නිරෝධායනය සඳහා යොමුකර ඇති නිලධාරීන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ ෴

++++++++++++++++

(11.11.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ මගී ප්‍රවාහන බස් ගාස්තු සියයට 20 කින් ඉහළ දැමීමට කටයුතු කළ ද අද (11) දිනයේ බස් ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්නොවනු ඇති බවට බස් සංගම් පවසනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ මීටරයක දුර පවත්වා නොගනිමින්, බස් රථ තුළ ගමන් කිරීමට මගීන් පැමිණීම අපේක්ෂා කළ නොහැකි බවයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව බස් රථ ගාස්තු අය කිරීම පිළිබද ක්‍රමවේද 3 ක් ද හඳුන්වා දී තිබෙනවා.

මෙම ක්‍රමවේද 3 අතරින් දැනට සෞඛ්‍ය අංශ අවසර ලබාදී ඇත්තේ ආසන ගණනට පමණක් ධාවනය කිරිමේ ක්‍රමවේදයට අනුව බවයි කොළඹ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය මස 15 වන දා අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ නිරෝධායන නීති කඩ කරන්නන්ට එරෙහිව දඩුවම් පැමිණ විය හැකි බවටයි.

ඒ අනුව මුඛ ආවරණ පැළදීම සහ මීටරයක දුර පවත්වාගෙන යාම අනිවාර්ය වනවා.

පොදු ස්ථානවලදී එය අනුගමනය කළ යුතු අතර, නීති විශාරදයින් පෙන්වා දෙන්නේ ඒ අනුව බස් රථ තුළ දී ද එම ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවටයි.

ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ ගැසට් පත්‍රයෙහි සදහන් කරුණු සහ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශ අතර පරස්පරයක් පවතින බවයි අධි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++

(11.11.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වයක් හමුවේ වුවද මව්වරුන් විසින් බිළිදුන්ට මව්කිරි ලබාදීම සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය පවසනවා.

එම අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ලක්මිණී මාගොඩරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ ෴

+++++++++++++++++

(11.11.2020 – 07:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත මරණ 5 ක් ඊයේ (10) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගියා.

අවසන් වරට මියගිය පුද්ගලයා 48 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔහු නිවසේදී මිය ගොස් ඇති අතර, රාගම රෝහලේදී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී මොහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

දීර්ඝ කාලීනව පැවති පිළිකා රෝගී තත්ත්වය කොරෝනා ආසාදන වීම හේතුවෙන් උත්සන්න වී මෙම මරණය සිදුව ඇති බවටයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මීට අමතරව ඊයේ (10) පස්වරුවේ තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වුණා.

ඒ අනුව දෙවන කොරෝනා රැල්ලෙන් මේ වන විට 30 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ, මාසකුත් සතියක කාලයකදීයි.

මේ අතර, ඊයේ (10) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 430 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව ද 14,715 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සියළුම දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන් කොළඹ – උතුර, කොළඹ – මධ්‍යම, කොළඹ – දකුණ යන පොලිස් කොට්ඨාශ තුනෙහි නිරෝධායන මධ්‍යස්ථාන 3 ක් ස්ථාපිත කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

මේ අතර රැකියා සඳහා විදේශගත වී සිටි ශ්‍රී ලාංකිකයින් 401 දෙනෙකු ඊයේ (10) රාත්‍රියේ සහ අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 325 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සඳහා අප්‍රිකාවේ විවිධ රටවලට ගොස් සිටි යුද හමුදාවේ සාමාජිකයන් 76 දෙනෙකු ද මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා ෴

++++++++++++++++++

(11.11.2020 – 10:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මැනිං වෙළඳපොළ තාවකාලිකව පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමට නියමිතව ඇති අතර, ඊට අදාළ යටිතල පහසුකම් මේ වන විටත් සකස් කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(11.11.2020 – 10:12 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10) හඳුනා ගත් කොරෝනා ආසාදිත 430 දෙනා අතර, කොළඹ – කොටුව පොලීසියේ නිලධාරීන් අසූ දෙදෙනෙකු (82) ද සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඊට අමතරව පොලිස් මූලස්ථානයේ සේවය කරන නිලධාරීන් 6 දෙනෙකු, පොලිස් ක්‍රීඩා අංශයේ, විශේෂ විමර්ශන ඒකකයේ සහ කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරියෙකු (1) බැගින් සිටින බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඊට අමතරව ඊයේ (10) හඳුනා ගත් කොරෝනා රෝගීන් අතරට බෝගම්බර බන්ධනාගාරයේ 23 දෙනෙකු සහ කුරුවිට බන්ධනාගාරයේ එක් අයෙකු ද සිටිනවා.

වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඊයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයා ගැනුණු අතර එම සංඛ්‍යාව 251ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18 දෙනෙකු වාර්තා වී ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකු හමුවුණා.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය වන්නේ කොල්ලුපිටිය වන අතර, හමුව ඇති රෝගීන් සංඛ්‍යාව 55 ක් ෴

++++++++++++++++++

(11.11.2020 – 10:16 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා.

ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1042 දරණ විශේෂ ගුවන් යානයෙන්.

මෙරට රජයේ විශේෂ අවසරය මත මොවුන් පැමිණ ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නගරයේ සිටයි.

පැමිණි පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා ෴

***************************************

(11.11.2020 – 06:32 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11) අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේ තැනින් තැන වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම සහ උතුරු පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හි තාවකාලිකව ඇතිවනතද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ෴

***************************************

(11.11.2020 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියානු ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන 600 කට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කරන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඊයේ (10) අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා හා මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මෙම ගිවිසුම 2005 වර්ෂයේදී වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ අත්සන් තැබුණු ගිවිසුමක් වන අතර එය සෑම වසර 5 කටම වරක් දීර්ඝ කරමින් ඉදිරියට ගෙන යනවා.

ගිවිසුමට අදාළව විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 300 ඉක්ම වන අතර හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන් රථ සේවය, නිවාස ව්‍යාපෘති, නව යාපනය සංස්කෘතික මධයස්ථානයේ කටයුතු ඒ ඔස්සේ ක්‍රියාත්මක වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දුන්නේ.

කුඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 300 ක් ද වැය කරන අතර, නැවත පදිංචි කිරීම, රැකියා, කාන්තා සවිබල ගැන්වීම, වෘත්තීය පුහුණුව ආදී ක්ෂේත්‍ර ද ඒ යටතේ ක්‍රියාත්මකයි ෴

***************************************

(11.11.2020 – 07:54 +0530 – hirunews.lk/sinhala)

අද (11), හෙට (12) සහ අනිද්දා (13) යන දින තුනෙහි (3) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පානදුර දක්වා එක් මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඊට හේතුව කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර මාර්ගයේ සිදුකරන හදිසි ඉදිකිරීම් කටයුත්තක්.

මේ හේතුවෙන් දුම්රිය කිහිපයක් ධාවනය නොකෙරෙන අතර, ඒ සඳහා කොළඹ කොටුවේ සිට ක්‍රියාත්මක වන පරිදි පානදුර දක්වා විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පෙරවරුවේ කොළඹ කොටුවේ සිට පානදුර සහ මොරටුව දක්වා බස් සේවාවක් ක්‍රියාත්මක වන අතර රඹුක්කන, හලාවත, ගනේවත්ත, පොල්ගහවෙල, මහව සහ පුත්තලම සිට ගල්කිස්ස, මොරටුව, පානදුර සහ රත්මලාන දක්වා ගමන් ගන්නා දුම්රිය කොළඹ කොටුව දක්වා පමණක් ධාවනය කෙරෙනවා.

ඉන් අනතුරුව එම දුම්රියෙහි පැමිණි මගීන්ට කොළඹ කොටුවේ සිට අදාළ ගමනාන්ත දක්වා යොදවා ඇති විශේෂ බස් සේවාව භාවිත කළ හැකියි.

එසේම පස්වරුවේ පානදුර, ගල්කිස්ස, මොරටුව ප්‍රදේශයේ සිට කොළඹ කොටුව දක්වා බස් රථ සේවාව ක්‍රියාත්මක වන අතර පුත්තලම, පොල්ගහවෙල, හලාවත සහ රඹුක්කන දක්වා ගමන් ගන්නා දුම්රියවලට අදාළ බස් රථවලින් පැමිණ කොළඹ කොටුවේදී ඇතුලු විය හැකි බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, මුහුදුබඩ මාර්ගයේ කාර්ය බහුල වේලාවන් වලදී ධාවනය වන දුම්රිය ඒ ආකාරයෙන්ම ධාවනය කෙරෙන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ ෴

***************************************

(11.11.2020 – 09:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, කටුනායක අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (10) රාත්‍රී 10 ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ දෙස සිට කටුනායක දෙසට ධාවනය වූ බස් රථයක් වන අතර, එම අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ රියදුරු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

රියදුරුට බස් රථය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

බස් රථය පෙරළී යාම හේතුවෙන් ඊයේ (10) රාත්‍රියේ පැය කිහිපයක් කොළඹ, කටුනායක අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.

***************************************

දෙමළ ජන­තා­වට අයත් බෝග­ස්වැව විහාරස්ථානවලට ඉඩ නෑ – දෙමල ජාතික සන්ධානය යලිත් බලහත්කාරය පායි

(11.11.2020 – colombotoday.com)

වවු­නි­යාවේ දෙමළ ජන­තා­වට අයත් බෝග­ස්වැව ප්‍රදේ­ශයේ සපු­ම­ල්ග­ස්කඩ නමින් බෞද්ධ විහා­ර­ස්ථා­න­යක් ඉදි ­කරන බවත් ඊට දෙමළ ජාතික සන්ධා­නයේ විරෝධය පලකරන බවත් එම පක්ෂයේ මුල­තිව් නාය­ක­යන් ප්‍රකාශ කොට තිබේ.

මුල­තිව් දිස්ත්‍රි­ක්ක­යෙන් උතුරු පළාත් සභා­වට තේරී පත්ව සිටි ටී.රවි­හ­රන් මන්ත්‍රී­ව­රයා ප්‍රකාශ කරන්නේ මේ ප්‍රදේ­ශය කච්ච­ල්ස­ම­ල­න්කු­ලම් ලෙස ද්‍රවිඩ ජන­තාව හඳුන්වන බවයි.

කච්ච­ල්ස­ම­ල­න්කු­ලම වැව යටතේ දෙමළ ජන­තා­වට කුඹුරු පවා ලබා දී තිබි­යදී බෞද්ධ­යන් නොමැති පළා­තක භික්ෂූන් වහන්සේ පැමිණ බෞද්ධ විහා­ර­ස්ථා­න­යක් ඉදි ­කි­රීම පිළි­බ­ඳව දෙමළ ජාතික සන්ධා­නය විරු­ද්ධ­ත්වය පළ ක­රණ බවද හිටපු මන්ත්‍රී­ව­රයා සඳ­හන් කරයි.

මේ විහා­ර­ස්ථා­නයේ භික්ෂූන් වහන්සේ තවත් ගොඩ­නැ­ඟිලි ඉදි­ කි­රීම සඳහා ආර­ක්ෂක නිල­ධා­රීන් යොදවා ගෙන ගඩොල් කපන බවත් එම ගඩොල් පිලි­ස්සීම සඳහා කැලය විනාශ කර­මින් දැව කපන බවත් කියා සිටින රවි­හ­රන් හිටපු පළාත් සභා මන්ත්‍රී­ව­රයා භික්ෂුව හා ආර­ක්ෂක නිල­ධා­රීන් කපා ඇත්තේ ගඩොල් පිලි­ස්සී­මට අවශ්‍ය දැව වර්ග නොව වටිනා දැව වර්ග බවට ද චෝදනා කරයි.

මේ පිළි­බ­ඳව ප්‍රදේ­ශයේ රාජ්‍ය නිල­ධා­රීන් ද නිහ­ඬ ව සිටින නමුත් මේ පළාතේ කැල­යට හා ඉඩම්වලට විශාල හානි­යක් සිදු­වන බව ද රවි­හ­රන් කියයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *