කොළඹ ලක්ෂ 6 ක පුද්ගලයන් අතරින් 30,000 ක් කොරෝනා ආසාදිතයන් විය හැකියි

කොළඹ ලක්ෂ 6 ක පුද්ගලයන් අතරින් 30,000 ක් කොරෝනා ආසාදිතයන් විය හැකියි

*********************************************

කොළඹ ලක්ෂ 6 ක පුද්ගලයන් අතරින් 30,000 ක් කොරෝනා ආසාදිතයන් විය හැකියි

(11.11.2020 – 12:14 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගර සභා බලප්‍රදේශයේ සිටින ලක්ෂ 6 ක් පමණ වන ජනතාව අතරින් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 30,000 ක් පමණ විය හැකි බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණ 400 ක් අතරින් 19 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව එය ආසන්න වශයෙන් සියයට 5 ක පමණ ප්‍රතිශතයක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

එම තොරතුරු අනුව සිදුකළ සැසඳීම්වලට අනුව 30,000 ක පමණ ආසාදිතයන් වෛරසය සමග ඔබමොබ සැරිසරන බවට අනුමාන කළ හැකි බවයි.

කෙසේ වෙතත් ඔවුන් සියලුදෙනාගේ වෛරසයේ සිරුරේ තිබුනද ඔවුන් හරහා වෛරසය පැතිරීමක් සිදුවන බවට උපකල්පනය කළ නොහැකි බවද කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවා ෴

++++++++++++++++++

(11.11.2020 – 10:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ හුදෙකලා කළ ප්‍රදේශවල මෙන්ම නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කර ඇති ආසාදිතයින් බැහැර කරන සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.

විශේෂයෙන් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වෙනත් වාහන හා සේවකයින් යොදවන ලෙස පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබාදී ඇති අතර, කොවිඩ් ආසාදිතයින් භාවිතා කරන මුඛ වැසුම් සහ අත්වැසුම් කහ පැහැති බෑගයකට දමා වෙන් කළ යුතු වනවා.

ප්‍රතිචක්‍රීකරණය සඳහා නොගන්නා එම අපද්‍රව්‍ය විධිමත් පරිදි විනාශ කිරීමට පියවර ගත යුතු බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ.

එසේම, ජනතාව විසින් භාවිතා කරන මුව ආවරණ සහ අත්වැසුම් යනාදිය බැහැර කිරීමට ප්‍රථම හොදින් සෝදා වේලා ගැනීමෙන් පසු බැහැර කළ යුතු බව ද අදාළ මාර්ගෝපදේශන මාලාවෙන් දක්වා තිබෙනවා ෴

++++++++++++++++++

(11.11.2020 – 12:26 +0530 – hirunews.lk/sinhala)

බස් ගාස්තු සියයට විස්සකින් (20%) ඉහළ දැමුව ද අදාළ මුදල ගෙවා හෝ ගමන් කිරීමට බස් රථ ප්‍රමාණවත් තරම් මාර්ගයේ නොමැති බවට මගීන් චෝදනා කරනවා.

කෙසේ වෙතත් බස් රථ රියදුරන් පවසන්නේ ප්‍රමාණවත් තරම් මගීන් බස් රථවල නොමැති බවටයි.

මේ අතර, දිවයින පුරා අද (11) දිනයේ බස් රථ 3,264 ක් ධාවනය කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටියා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අද (11) පෙරවරුවේ පමණක් කාර්යාල දුම්රිය වාර 48 ක් ධාවනය වූ අතර, අද (11) දිනය පුරා දුම්රිය වාර 150 ක් පමණ ධාවනය වන බවයි.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාවට නැංවිය යුතු බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම ප්‍රකාශ කළද ඇතැම් මගීන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ආකාරයක් දක්නට ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් ඇතැම් බස් රථවල විෂබීජනාශක දියර බෝතල් සවිකර තිබූ ආකාරයක්ද දක්නට ලැබුණා.

සමස්තයක් ලෙස සියයට විස්සකින් (20%) බස් ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් අවම ගාස්තුව ලෙස පැවති රුපියල් 12 ක මුදල රුපියල් 14 දක්වා ඉහළ ගිය අතර, උපරිම බස් ගාස්තුව ලෙස සඳහන් වූ රුපියල් 473 ක් වූ මුදල රුපියල් 567 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

මීටරයක දුර පවත්වාගෙන යාම අනිවාර්ය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කළද ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (10) නිකුත් කළ මාර්ගෝපදේශ අනුව බස් රථයක් තුළ ගමන් කිරීමේදී මීටරයක දුර පවත්වා ගැනීම සම්බන්ධයෙන් සඳහනක් කර තිබුණේ නැහැ.

++++++++++++++++++++

(11.11.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

බෝගම්බර බන්ධනාගාරයෙන්ද ඊයේ (10) ආසාදිතයන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, කුරුවිට බන්ධනාගාරයෙන්ද ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාරවලින් වාර්තාවන ආසාදිත සංඛ්‍යාව 120 ඉක්මවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුලු එම දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහ සෞඛ්‍ය අංශවල සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.

මේ අතර හොරණ – බොඩිලයින් ඇඟළුම් කර්මාන්තශාලාවෙන් හඳුනාගත් ආසාදිතයන් 43 දෙනෙකු ඊයේ (10) එම ආයතනයට අනුබද්ධ කොග්ගල පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගනු ලැබුවා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටියේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබුවද නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ ආයු කාලය වසර 10 කින් අඩුවන බවට සිදුකර ඇති නවතම අධ්‍යයනයකින් අනාවරණ වී ඇති බවයි ෴

+++++++++++++++++++

(11.11.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා රෝගීන් දස දහස (10,000) කින් 28 දෙනෙකු මියයාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මෙරටදී මරණයට පත්වන බහුතරය වැඩිහිටි වයසේ පසුවන නිධන්ගත රෝගවලින් පසුවන අය බවයි.

කොරෝනා දෙවන රැල්ල ආරම්භ වී දින 40 කට ආසන්න කාලයක් තුළ මෙරටින් වාර්තාවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 30 ක්.

ඊයේ (10) දිනයේද කොරෝනා මරණ 5 ක් වාර්තා වුණා.

පසුගිය දිනවල සිදුවූ මෙම කොරෝනා මරණ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව සතියක් තුළ ලැබීමට නියමිත බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ.

ඊයේ (10) මෙරටින් වාර්තාවූ ආසාදිතයන් 430 දෙනා අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 251 ක්.

කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ඊයේ (10) ආසාදිතයන් 55 දෙනෙකු හඳුනාගැනුනා.

එය ඊයේ (10) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ වැඩිම ආසාදිත සංඛ්‍යාවයි.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් 32 කු හඳුනාගෙන ඇති අතර, පිටකොටුව ප්‍රදේශයෙන් ආසාදිතයන් 28 දෙනෙකු, කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් ආසාදිතයන් 25 දෙනෙකු, මරදාන සහ මාළිගාවත්ත ප්‍රදේශවලින් ආසාදිතයන් 20 දෙනෙකු බැගින් වාර්තාවී තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගැනීම සඳහා කොළඹ නගරයේ සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 05 ගුණයකින් ඉහල දමා ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා කියා සිටියා.

++++++++++++++++++

(11.11.2020 – 14:43 +0530 – hirunews.lk/sinhala)

පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළ යනු ඇති.

මෙම පුද්ගලයා පොලිස් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයකින් මොහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ෴

++++++++++++++++++

(11.11.2020 – 15:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ තවත් පුද්ගලයින් 646 දෙනෙකු අද (11) රෝහල් වලින් පිටව ගියා.

ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගියා.

මේ වනවිට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 10,183 ක් ලෙසයි ෴

+++++++++++++++++

(11.11.2020 – 16:19 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් (2) වාර්තා වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 11 ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි අයෙක්.

මෙම මරණ දෙකත් සමඟ මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගියා.

+++++++++++++++++

(11.11.2020 – 17:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ජනතාව වෙත වෛද්‍ය උපදෙස් ලබාගත හැකි දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

අදාල දුරකථන අංක සහ වෛද්‍යවරුන්ගේ විස්තර ඇතුළත් එම නිවේදනය නිකුත්කර ඇත්තේ කොළඹ මහනගර සභාව විසින්.

වෛද්‍යවරුන්ගේ නාමාවලිය සහ එම දුරකථන අංක පහතින් :

***************************************

(11.11.2020 – 11:05 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල – දියවන්නාඔයේ පොල්දූව පාලම අසළින් ආරක්ෂිත දැල ඉවත් කොට පාර්ලිමේන්තු කලාපයට ඇතුලුවීමට උත්සාහ දැරූ ඔරුවක්, ආරක්ෂක අංශවල බෝට්ටුවක ගැටී එක් අයෙකු අතුරුදන් වී තිබෙනවා.

ඔහු සෙවීම සඳහා මේ වන විටත් පොලීසිය සහ කිමිදුම්කරුවන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වැලිකඩ පොලීසිය සඳහන් කළේ.

අතුරුදන් වූ පුද්ගලයා සහ තවත් අයෙකු දියවන්නා ඔයේ මසුන් මැරීම සඳහා අදාළ ඔරුවේ නැගී පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බුත්ගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු වන අතර, ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

***************************************

(11.11.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

නව මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඒ, පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත වූ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලවයි.

එමෙන්ම, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව 2015 නොවැම්බර් මාසයේදී ස්ථාපිත කළ මැතිවරණ කොමිෂන් සභාවේ කාලසීමාව හෙටින් අවසන් වනවා.

සාමාජිකයින් 3 දෙනෙකුගෙන් සමන්විත එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ මහින්ද දේශප්‍රිය මහතායි.

මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර එහි සෙසු සාමාජිකයින් වනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දක්වා තිබුණේ ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස නම් කරන පුද්ගලයන් එවකට ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත කළ යුතු බවයි.

කෙසේ වෙතත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ දැමුණා.

එම සාමාජිකයින්ගේ නම් ජනාධිපතිවරයා විසින් යෝජනා කරන අතර, ඒවා පාර්ලිමේන්තු සභාව වෙත යොමු කිරීමෙන් අනතුරුව එම සභාව විසින් සිය නිර්දේශ යළි ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබනවා.

යම් හෙයකින් පාර්ලිමේන්තු සභාවේ නිර්දේශයන් ඉදිරිපත්වීම ප්‍රමාද වුවහොත් එය නොසලකා හැර හෝ මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමේ බලය 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට ලබාදී තිබීම ද විශේෂත්වයක්.

හෙට (12) දිනය වන විට මේ වන විට ක්‍රියාත්මක මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වුවද 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව කොමිෂන් සභාව පත් කරන තුරු එහි සභාපතිවරයා ඇතුළු නිලධාරීන් බලාත්මකයි ෴

***************************************

(11.11.2020 – 12:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඩෙංගු රෝගය පිළිබදව ජනතාවගේ අවදානය අවම වීම මේ වන විට ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

එබැවින් කොරෝනා වසංගතය මෙන්ම ඩෙංගු වසංගතය පිළිබඳ ජනතාව අවදානය යොමු කළ යුතු බවටයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28,944 ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 34 මේ වසර තුළ මිය ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඉකුත් ජනවාරි මාසයේ වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 11,608 ක්.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසයෙන් රටට බලපෑම් එල්ල වී ඇති මෙවන් පසුබිමක ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද අවදානයෙන් සිටින ලෙසටයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

***************************************

(11.11.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

ලබන වර්ෂය සඳහා වන අයවැය විවාදය දින 20 ක් පැවැත්වීමට අද (11) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.

අවසන් වරට පැවති පක්ෂ නායක රැස්වීමේදී අයවැය විවාදය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වූයේ එය පැවැත්වෙන දින ගණන සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට නොහැකිවීම හේතුවෙන්.

එහිදී පවතින කොරෝනා තත්ත්වය සලකා අයවැය දෙවන වර කියවීම සහ කාරක සභා අවස්ථාව දින 11 කට සීමා කළ යුතු යැයි ආණ්ඩු පක්ෂය යෝජනා කළ ද ඒ සඳහා සම්පූර්ණ දින ගණන වන දින 26 ලබා දිය යුතු බවයි විපක්ෂය කියා සිටියේ.

කෙසේ වෙතත් අද (11) පැවති පක්ෂ නායක රැස්වීමේදී අයවැය විවාදය සඳහා දින 20 ක් ලබාදීමට ආණ්ඩුව එකඟ වී තිබෙනවා ෴

***************************************

(11.11.2020 – 13:29 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය නිලධාරීන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් අතරමග නතරවී ඇති කන්තලේ බඩ ඉරිගු වගා ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසිරි මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අදාළ ව්‍යාපෘතිය අතරමග නතරවී ඇති පුවත හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණ කිරීමත් සමගයි.

***************************************

(11.11.2020 – 13:33 +0530 – hirunews.lk/sinhala)

සෑම රාජ්‍යයකම සංවර්ධන සැලසුම් අතර ග්‍රාමීය සංවර්ධනයට ප්‍රධාන තැනක් හිමිවන බව නොරහසක්.

නමුත් බලධාරීනගේ නෙත නොගැටුණු ගම්මාන රැසක ජනතාව තවමත් ජීවිත සටනට මුහුණ දෙන්නේ දුෂ්කරතා රැසක් මධ්‍යයේයි.

අද (11) ‘රතු මිනිත්තුවේ’ අවධානය එවන් ගම්මානයක ගැටලු පිළිබඳවයි.

පුත්තලම තබ්බෝව ගොවිජනපදයේ සිට අනුරාධපුර ප්‍රධාන මාර්ගයට දිවෙන විජේපුර මාර්ග පද්ධතිය නිසි ලෙස සකසා නොමැතිවීම හේතුවෙන් තබ්බෝව, තේවනුවර, ප්‍රදීපාගම, නොම්බර 04 , මයිලන්කුලම ඇතුළු ගම්මාන රැසක ජීවත්වන පවුල් 5000 කට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටිනවා.

***************************************

(11.11.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

වටවල – සෙන්එලියාස් ප්‍රදේශයේ ඉඩමක් තුළ කසල අංගනයක් ඉදිකිරීමට පැමිණි අඹගමුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් සහ ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදී ගම්වාසීන්ගේ විරෝධය හමුවේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට සිදුවූයේ එම ස්ථානයෙන් ඉවත්වීමටයි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වටවල – සෙන්එළියාස් ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් වන බැවින් එම ප්‍රදේශයේ ජලය කැළණි ගඟට සහ මහවැලි ගඟට ගලා බසින බවයි.

එසේම ගිනිගත්හේන ප්‍රදේශයට පානීය ජලය ලබාදීම සඳහා ජලසම්පාදන මණ්ඩලය ජලය ලබාගනු ලබන්නේද සෙන්එලියාස් ප්‍රදේශයේ සිට පහළට ගලා බසින සෙන්එලියාස් ඇළ මාර්ගය හරස් කරමින්.

***************************************

(11.11.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

රන් කර්මාන්තය යනු සාම්ප්‍රදායික දේශීය කර්මාන්ත අතරින් ප්‍රධාන කර්මාන්තයක් වනවා.

නමුත් දේශීය රන්කරුවන් මේ දිනවල දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පුවතක් වලපනේ – ලියන්වල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

මේ රන් කර්මාන්තය සමඟ වසර 400 ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන වලපනේ – ලියන්වල ගම්මානයයි.

ග්‍රාමසේවා වසම් 4 කින් යුත් මෙම ගම්මානයේ 700 කට වැඩි කර්මාන්තකරුවන් පිරිසක් රන් කර්මාන්තයේ නියැලෙනවා.

කොවිඩ් 19 වෛරසයත් සමඟ ස්වර්ණාභරණ මිල විශාල ලෙස ඉහළ යාමත් සමඟ පරම්පරා ගණනාවක් තිස්සේ මේ කර්මාන්තයේ නියැලෙන්නන් අද වන විට පත්ව සිටින්නේ දැඩි ලෙස පීඩාවකටයි.

රත්‍රං මිල ඉහළ යාම හේතුවෙන් ඔවුන්ට තම නිෂ්පාදන සඳහා අවශ්‍ය රත්‍රං මිලදී ගැනීම සහ නිෂ්පාදන ඇණවුම් ඉතා පහල මට්ටමක පැවතීම ඉතා ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ තේ කර්මාන්තයේ නිරතවූවන් වෙනත් ජීවනෝපායන් සඳහා යොමුවීමේ තත්ත්වයක්ද උදා වී තිබෙනවා.

කර්මාන්තකරුවන් පවසන්නේ තමන් මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා කිසිදු පාර්ශ්වයක මැදිහත්වීමක් නොමැතිවීම හේතුවෙන් රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීමට හැකි රත්‍රං කර්මාන්තය අභාවයට යන බවයි.

දවසින් දවස වෙනස්වන සමාජයේ අතීත උරුමයන් රැකගනිමින් ඉදිරියට යෑමට වෙරදරණ දේශීය රත්‍රං කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීමක් හෝ ලැබේනම් රන් කර්මාන්තය වියැකී යන්නට ඉඩ නොදී රැකගැනීමට හැකිවනු ඇති.

***************************************

(11.11.2020 – 15:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා ඇතුලු සැකකරුවන් හයදෙනා මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ අද (11) කැඳවූ අවස්ථාවේදියි.

එහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂනය කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා ෴

***************************************

(11.11.2020 – 15:55 +0530 – hirunews.lk/sinhala)

මිරිස්ස ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක් මිරිස්ස – උතුරු දූපත් ආසන්නයේ අනතුරට ලක්වීමෙන් එහි සිටි අයෙකු අතුරුදන්වී තිබෙනවා.

ඊයේ (10) සිදුවූ මෙම අනතුරෙන් එහි සිටි තවත් හතරදෙනෙකු (4) වෙනත් යාත්‍රාවක පිරිසක් බේරාගෙන ඇති බවයි පොලීසිය කියා සිටියේ.

අතුරුදන්වූ පුද්ගලයා මිරිස්ස ප්‍රදේශයේම පදිංචිකරුවෙක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *