තහනම නොතකා බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

තහනම නොතකා බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (DRONE) රෙජිමේන්තුව ස්ථාපිත කරයි

*********************************************

තහනම නොතකා බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

(12.11.2020 – 08:06 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර තිබියදී එහි සිට පිට පළාත්වලට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රැස් කර ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කරන ලෙස පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම තහනම ක්‍රියාත්මක වන කාලය තුළ කිසියම් පුද්ගලයෙකු බස්නාහිර පළාතට පැමිණියහොත් ඔවුන්ට ඉන් පිටවිය හැක්කේ එළඹෙන 15 වන දායින් පසුව බවයි.

මේ අතර, මෙම තහනමත් සමඟ හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය දැඩි කලබලකාරී ස්වභාවයක් ගෙන ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා.

එළඹෙන 15 වනදා තෙක් කිසිදු හේතුවක් මත කිසිවෙකුටත් බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර තිබෙනවා.

ඒ අනුව සියලු ප්‍රවාහන සේවා බස්නාහිර පළාතට පමණක් සීමාවන අතර, බස්නාහිර සිට පිටස්තර පළාත්වලට අන්තර් පළාත් ධාවනයක් සිදුවන්නේ නැහැ.

පවතින කොරෝනා ව්‍යාප්තිය මත දින කිහිපයක් සඳහා මෙම සංචරණ සීමා පැනවීමටයි සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත රජය තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා බස්නාහිර පළාතෙන් පිටවීමට අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීම ලබන 15 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (12) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බවයි.

මේ අතර බස්නාහිර පළාත ගමනාන්තය වන සියලු පිට පළාත් මගී බස් රථ සේවා ධාවනය ද තාවකාලිකව අත්හිටුවන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඉල්ලීමක් කළා.

++++++++++++++++++

(12.11.2020 – 08:26 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (11) මෙරටින් ආසාදිතයන් 625 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ඉක්මවා ගියා. එය දැක්වුණේ 15,350 ක් ලෙසයි.

ඒ අනුව ආසාදිතයින් 5121 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 10,183 ක් ෴

++++++++++++++++++

(12.11.2020 – 08:32 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව ඊයේ (11) රැස්වුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති එම රැස්වීමේදී කොරෝනා රෝගීන්, රෝගී තත්වයන් අනුව වෙන් වෙන්ව රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් නව රෝහල් හඳුනාගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම කොරෝනා රෝගී ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන අතරතුර දෛනිකව රෝහල් ගතවන අනෙකුත් රෝගීන් සඳහාද ප්‍රතිකාර සේවා ශක්තිමත්ව පවත්වාගෙන යාම මෙන්ම රෝගීන්ගේ හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ගැටළු හඳුනාගනිමින් ඔවුන්ගේ මානසික තත්වය ඉහළ නැංවීමට වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ෴

++++++++++++++++++++

(12.11.2020 – 09:57 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරිම සඳහා කිලිනොච්චිය, ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ ඉදිකළ බෝවන රෝග රෝහල ඊයේ (11) විවෘත කෙරුණා.

ඒ උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ඒ. කේදීශ්වරන්, කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි එන්. සරවනබවන්, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් සහ කිලිනොච්චිය ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන්.

උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ යුධ හමුදා නිළධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙනුයි මෙම රෝහල ඉදිකෙරුණේ.

එම රෝහල හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීර්ණ, පුස්තකාලයක් සහ ක්‍රීඩා පිටියක් ඇතුළු රෝහලට අවශ්‍ය සියළු උපාංගවලින් සමන්විතව වනවා.

කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමට හා උතුරු පළාතේ කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානය ලෙසට කිලිනොච්චිය බෝවන රෝග රෝහල භාවිතා කිරීමට නියමිත බව සඳහන් ෴

++++++++++++++++++

(12.11.2020 – 10:09 +0530 – hirunews.lk/sinhala)

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද (12) එහි වහලය මත නැගී විරෝධතාවක නිරතවුණේ පී.සී.ආර්. පරීක්ෂණ තමන්ටද සිදුකරන ලෙස ඉල්ලමින්.

බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ (11) දිනයේද ආසාදිතයන් හයදෙනෙකු (6) හඳුනාගෙන තිබුණා.

කොළඹ වරාය නගරය සහ කොළඹ වරායෙන් ආසාදිතයන් 78 දෙනෙකු වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

+++++++++++++++++++

(12.11.2020 – 10:47 +0530 – hirunews.lk/sinhala)

විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

එහි කොවිඩ් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් කන්දීපන් බාලා මහතා සඳහන් කළේ ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් සෞදි අරාබියෙන් වාර්තා වන බවයි.

එරට සිටි ලාංකිකයන් 34 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, කුවේටයේ මිය ගොස් ඇති ලාංකිකයන් සංඛ්‍යාව 21 ක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දස (10) දෙනෙකු, කටාර් රාජ්‍යයේ 6 දෙනෙකු, ඕමානයේ 4 දෙනෙකු, බහාරේනයේ සහ ජෝර්දානයේ දෙදෙනෙකු (2) බැගින් සහ ඊශ්‍රාලයේදී එක් (1) ලාංකිකයෙකු කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ මරණ 5 ක්, ඇමරිකාවේ සහ කැනඩාවේ මරණ 4 බැගින් හා ජර්මනියේ සහ ඉතාලියෙන් මරණ දෙක (2) බැගින් වාර්තා වී ඇති අතර, ඉරාකයෙන් ද එක් (1) මරණයක් වාර්තා වී ඇති බවයි විදේශ අමාත්‍යාංශය සදහන් කළේ ෴

+++++++++++++++

(12.11.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

අනිද්දාට (14) යෙදී ඇති දීපවාලී උත්සවය සැමරීමේදී වතුකරයේ ජනතාව සහ හින්දු ප්‍රජාව අතර කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු නායකයන් ඇතුළු හින්දු භක්තිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ඊට අදාළ සෞඛ්‍ය සහ මාර්ගෝපදේශන ඇතුළත් උපදෙස් මාලාවක් නිකුත් කරමින්.

ජනතාව එක්රැස් නොවී දැනට සිටින ස්ථානවලම රැදී සිටිය යුතු බව මෙහි සඳහන් කර ඇති අතර, බස්නාහිර පළාත වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල පිරිස් දැඩි අවදානයෙන් කටයුතු කළ යුතු බව එහි සඳහන්.

කෝවිල්වල සහ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතු අතර, අතට අත දීමෙන් සහ වැළද ගැනීමෙන් තොරව ආයුබෝවන් හෝ ‘වනක්කම්’ යැයි කියමින් ආචාරය කිරීම සුදුසු බව මාර්ගෝපදේශ මාලාවේ සදහන්.

එමෙන්ම මත්පැන් සහ දුම්වැටි භාවිත කරමින් සාද පැවැත්වීමෙන් වැළකිය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා.

++++++++++++++++

(12.11.2020 – 13:03 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර තිබියදී එහි සිට පිට පළාත්වලට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රැස් කර ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කරන ලෙස පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම තහනම ක්‍රියාත්මක වන කාලය තුළ කිසියම් පුද්ගලයෙකු බස්නාහිර පළාතට පැමිණියහොත් ඔවුන්ට ඉන් පිටවිය හැක්කේ එළඹෙන 15 වන දායින් පසුව බවයි.

එමෙන්ම බස්නාහිර පළාතේ සීමාවන් වල විශේෂ සෝදිසි මෙහෙයුම් අද (12) සිට ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

එහිදී බස්නාහිර පළාතෙන් පිටතට යාමට සහ බස්නාහිර පළාතට පැමිණීමට උත්සාහ කළ පිරිස් හරවා යැවීමටයි පොලීසිය පියවර ගත්තේ.

බස්නාහිර පළාතෙන් පිටතට යාමට තහනම් කළ ද අද (12) දිනයේ බස්නාහිර පළාත තුළ බස් රථ මෙන්ම දුම්රිය ද ධාවනය කෙරුණා.

ඒ අනුව අලුත්ගම – අඹේපුස්ස සහ කොච්චිකඩේ යන ප්‍රදේශවලදී දුම්රියෙන් මගීන් බස්නාහිර පළාතෙන් පිටතට හෝ බස්නාහිර පළාතට පැමිණෙන්නේ ද යන්න විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද (12) පෙරවරුවේ කාර්යාල දුම්රිය වාර 48 ක් ක්‍රියාත්මක කළ අතර, අද (12) දින දුම්රිය වාර 156 ක් පමණ දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණා.

කෙසේ වෙතත්, මගීන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමේ පැවති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

පෞද්ගලික බස් රථ ද බස්නාහිර පළාත තුළ ඉතා අවම වශයෙන් ධාවනය වූ අතර, ලංගම බස් රථ, 2899 ක් දිවයින පුරා අද ධාවනයට එක් කර තිබෙනවා.

මගීන් අවම වීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි පෞද්ගලික බස් හිමියන් ප්‍රකාශ කළේ.

හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බස් ගාස්තු ඉහළ දැමීම සුදුසු නොවන අතර බස් කර්මාන්තයට ඉන්ධන සහනාධාරයක් ලබාදීම කළ යුතු බවයි.

මේ අතර, මුව ආවරණ සහ මීටරේ දුර පවත්වා නොගැනීම හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු ගත වූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර මේ දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++++

(12.11.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මැනිං පොදු වෙළදපොළට අනුයුක්ත කාර්ය මණ්ඩලවල මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් නොවූ පිරිස්වලට 071 859 1555, 071 859 1551, 071 859 1554 යන දුරකථන අංක වලට නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය කෙටි පණිවුඩයකින් දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරනවා ෴

+++++++++++++++

(12.11.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

එහි කොවිඩ් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් කන්දීපන් බාලා මහතා සඳහන් කළේ ඉන් මරණ අසුවක්ම මැද පෙරදිග රටවලින් වාර්තා වන බවයි.

සෞදි අරාබියේ ලාංකිකයන් 34 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, කුවේටයේ මිය ගොස් ඇති ලාංකිකයන් සංඛ්‍යාව 21 ක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දස දෙනෙකු (10), කටාර් රාජ්‍යයේ 6 දෙනෙකු, ඕමානයේ 4 දෙනෙකු, බහාරේනයේ සහ ජෝර්දානයේ දෙදෙනෙකු (2) බැගින් මෙන්ම ඊශ්‍රාලයේදී එක් (1) ලාංකිකයෙකු කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ මරණ 5 ක්, ඇමරිකාවෙන් සහ කැනඩාවෙන් මරණ 4 බැගින් මෙන්ම ජර්මනියෙන් සහ ඉතාලියෙන් මරණ දෙක (2) බැගින් වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේ. මීට අමතරව ඉරාකයෙන් ද එක් (1) මරණයක් වාර්තා වනවා.

මේ අතර විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයන් 40,000 ක් පමණ මේ වනවිට මෙරටට ගෙන්වාගෙන ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතින්ගේ සංක්‍රමණික ජාලය සමඟ ශ්‍රී ලංකාව එක්වීම නිමිත්තෙන් අන්තර්ජාලය ඔස්සේ පැවති රැස්වීමක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවෙමින්.

කොරෝනා වසංගතය ආරම්භවීමත් සමඟ මෙරට සංක්‍රමණික ජනගහණයේ සුබසාධන අවශ්‍යතා සපුරාලීම සඳහා රජය කඩිනම් පියවර ගත් අතර, ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් පිරිස අතර මැදපෙරදිග කලාපයේ ලාංකික කම්කරුවන් 17,861 දෙනෙකු ද සිටින බවයි විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙම වැඩපිළිවෙල යටතේ කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු ද අද (12) අලුයම දිවයිනට පැමිණියා.

එමෙන්ම පොලිස් නිලධාරීන් 600 කට අධික පිරිසකට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, තවත් තුන් දහසකට (3000) අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

හංවැල්ල – පහත්ගම – ගල්මුල්ල ප්‍රදේශයේ තරුණයෙකුටද කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉරණවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ ආශ්‍රිත පවුල් අටක පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුටද කොරෝනා ආසාදිත බවට තහවුරු වුණා.

හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

කරන්දෙණිය – ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ද කොරෝනා ආසාදිතයන් හත්දෙනෙකු (7) වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

ඉන් පස්දෙනෙකුම (5) එකම පවුලේ සාමාජිකයන් වනවා.

මේ අතර කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ඇතුලු පස්දෙනෙකුට (5) වෛරසය ආසාදනය වී ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය අද (12) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හමුවේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍ෂේත්‍ර නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩලය දැඩි අවදානම් තත්ත්වයක පසුවන බවයි.

ඊයේ (11) දිනයේත් පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අදාළව ආසාදිතයන් 625 දෙනෙකු වාර්තාවූ අතර, විදේශගතව සිට පැමිණ නිරෝධායනයට යොමුකර සිටි තවත් දස දෙනෙකු (10) ද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව ඊයේ (11) ආසාදිතයන් 635 ක් මෙරටින් වාර්තාවී ඇති අතර, මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවට අදාළ කොරෝනා පොකුර 11,857 දක්වා ඉහළ ගිය බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ (11) දිනයේත් කොරෝනා මරණ 5 ක් වාර්තා වීමත් සමඟ මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගියා.

ඊයේ (11) වාර්තාවූ ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 264 දෙනෙකු වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

කොළඹ එකේ සිට 15 දක්වා ප්‍රදේශවලින් ආසාදිතයන් 74 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පිටකොටුව සහ කෙසෙල්වත්ත ප්‍රදේශවලින්ද ආසාදිතයන් 20 දෙනෙකු බැගින් වාර්තාවන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මාළිගාවත්ත ප්‍රදේශයෙන් 15 දෙනෙකු, කොටහේන ප්‍රදේශයෙන් 14 දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 12 දෙනෙකු, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් දස දෙනෙකු (10) හමුවී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ සේවකයන් 9 දෙනෙකුද ඊයේ (11) වාර්තාවූ ආසාදිතයන් අතර වනවා.

පෙරේදා දිනයට සාපේක්ෂව ඊයේ (11) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) ආසාදිතයන් 136 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 47 දෙනෙකුම වාර්තාවී ඇත්තේ වත්තල ප්‍රදේශයෙන්.

ගම්පහින් 22 කු, පෑලියගොඩින් 13 දෙනෙකු සහ කැලණිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 10 දෙනෙකු ද ඊයේ (11) වාර්තාවී තිබෙනවා ෴

***************************************

(12.11.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (12) සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතයි.

මේ අතර, නව මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

ඒ, පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත වූ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලවයි.

එමෙන්ම, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව 2015 නොවැම්බර් මාසයේදී ස්ථාපිත කළ මැතිවරණ කොමිෂන් සභාවේ කාලසීමාව ද අද (12) අවසන් වනවා.

සාමාජිකයින් 3 දෙනෙකුගෙන් සමන්විත එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ මහින්ද දේශප්‍රිය මහතායි.

මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර එහි සෙසු සාමාජිකයින් වනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දක්වා තිබුණේ ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස නම් කරන පුද්ගලයන් එවකට ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත කළ යුතු බවයි.

කෙසේ වෙතත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ දැමුණා.

එම සාමාජිකයින්ගේ නම් ජනාධිපතිවරයා විසින් යෝජනා කරන අතර, ඒවා පාර්ලිමේන්තු සභාව වෙත යොමු කිරීමෙන් අනතුරුව එම සභාව විසින් සිය නිර්දේශ යළි ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබනවා.

යම් හෙයකින් පාර්ලිමේන්තු සභාවේ නිර්දේශයන් ඉදිරිපත්වීම ප්‍රමාද වුවහොත් එය නොසලකා හැර හෝ මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමේ බලය 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට ලබාදී තිබීම ද විශේෂත්වයක්.

***************************************

(12.11.2020 – 07:51 +0530 – hirunews.lk/sinhala)

මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් රජයේ ආදායම් සහ වියදම් සිදුවූ ආකාරය ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ අද (12) පැහැදිලි කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව හමුවට අද (12) ඉදිරිපත් කෙරෙන විසර්ජන පනත් කෙටුම්පත පිළිබද දෙවන වර සහ තෙවන වර කියවීම්වලට අදාළව විවාදය පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිතයි.

එහෙත් පාර්ලිමේන්තු ආවරණ කටයුතු නැවත දැනුම් දෙන තුරු මාධ්‍යයට විවෘත කර නැහැ.

බොහෝදුරට ඡන්ද විමසීමකින් තොරව මෙම අයවැය ලේඛනය සම්මත වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ලබන වර්ෂය සඳහා වන අයවැය විවාදය දින 20 කට සීමා කිරීමට ඊයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණා.

ඒ අනුව සාමාන්‍යයෙන් අයවැය විවාදය පැවැත්වෙන කාලය සතියකින් අඩු කර තිබෙනවා.

එසේම එළඹෙන 17 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන වසර සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(12.11.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

සියඹලාණ්ඩුව සූර්යබල උද්‍යානය ඉදිකිරීම සඳහා යෝජිත ඉඩමේ පවුල් 80 ක පමණ ගොවීන් අනවසර වගා කටයුතු සිදුකර ඇති බව සුර්යබල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

එම ගොවීන්ට වෙනත් ස්ථානයකින් අක්කර පහ බැගින් වගා ඉඩම් ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

අදාළ සූර්ය බල උද්‍යානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වසර පහක (5) පමණ කාලයක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් සූර්යබල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (11) පැවති සාකච්ඡාවකදි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද ද එක්ව සිටි අතර අනවසර වගා කටයුතු සිදුකර ඇති ගොවීන් සඳහා මොණරාගල ක්‍රියාත්මක කිරීමට නියමිත අනවර පදංචිකරුවන් වෙනුවෙන් ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය යටතේම ඉඩම් ලබාදීමට හැකියාව පවතින බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ ෴

***************************************

(12.11.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු, මධ්‍යම සහ ඉහළ ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට දැනුම් දුන්නා.

නව තාක්ෂණය සහ ක්‍රමවේද උපයෝගී කරගනිමින් නිර්මාණශීලී ලෙස සහ පරිසරය සුරකින අයුරින් ඉදිකිරීම් කටයුතු කඩිනම් කළ යුතු බවටයි උපදෙස් දී ඇත්තේ.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නිරත ආයතන 10 ක නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඉදිරි තුන් (3) වසර තුළ මධ්‍යම පාන්තිකයින් උදෙසා ඉදිකිරීමට අපේක්ෂිත නිවාස ගනන 15,000 ක්.

අඩු සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන්ගේද ඉල්ලුම සැපයෙන පරිදි සිව් (4) වසරකදී නිවාස ඒකක 36,884 ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරනවා.

පෑලියගොඩ, කොළොන්නාව, බ්ලූමැන්ඩල්, කොට්ටාව – මාකුඹුර, කොට්ටාව – පළතුරුවත්ත, බොරලැස්ගමුව ආදී නගර කේන්ද්‍ර කරගනිමින් මෙහි පළමු අදියරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඊට අමතරව මාළඹේ, මහනුවර – ගැටඹේ සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කරගනිමින්ද මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණදෙමින් නොනැවතී සියලු ක්‍රියාකාරකම් උපරිමයෙන් කරගෙන යාමේ අවශ්‍යතාවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නා.

සියලු වැඩබිම් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ක්‍රියාත්මක කළ යුතු බවටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

+++++++++++++++++++

(12.11.2020 – 10:41 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ වසරේ, විෂය ක්ෂේත්‍රයන්ට අදාළව රජය සිදුකළ වියදම් පිළිබඳ සවිස්තර වාර්තාවක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අතර, ඊට අදාළ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අනතුරුව අද (12) පස්වරු 5 ට ඡන්ද විමසීමක් සහිතව හෝ රහිතව එය සම්මත කර ගැනීමට නියමිතයි.

පවතින කොරෝනා ව්‍යාප්තිය සලකා මෙම විවාදය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු කිසිවෙකුට අද (12) පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබාදී තිබුණේ නැහැ ෴

***************************************

(12.11.2020 – 11:05 +0530 – hirunews.lk/sinhala)

පැවති අධික වර්ෂාවත් සමඟ ඊයේ (11) පස්වරුවේ නිකවැරටිය ප්‍රදේශය හරහා හමා ගිය සුළඟකින් නිවාස 231 ක් සහ ව්‍යාපාරික ස්ථාන 24 කට හානි සිදුව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ බොහොමයක වහලවලට හානි සිදුව ඇති අතර, සිදුවූ අලාභ තක්සේරු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

මේ අතර, උතුර පළාතට බලපා ඇති වැසි තත්ත්වයත් සමඟ අද (12) උදෑසන කාලයේදී පළාතේ ප්‍රදේශ බොහොමයක ඝන මීදුම් තත්ත්වයක් පැවතියා.

විශේෂයෙන් වව්නියාව – ඉරට්ටපෙරියකුලම, පුලියන්කුලම, මාන්කුලම ආදී ප්‍රදේශවල මෙම තත්ත්වය පැවතීම හේතුවෙන් ඒ-9 මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බලපෑම් එල්ල වූ බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට අද (12) දිනයේත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවයි.

වැසි පවතින විට තද සුළං ද ඇති විය හැකි අතර, අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

*********************************************

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (DRONE) රෙජිමේන්තුව ස්ථාපිත කරයි

(12.11.2020 – 15:55 +0530 – army.lk/si/)

තාක්‍ෂණික දියුණුව හමුවේ නව අභියෝගයන්ට මුහුණදීමට සුදානමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තවත් එක් සන්ධස්ථානයක් පසුකරමින්, අද (12) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා රෙජිමේන්තුව ස්ථාපිත කෙරිණි.

මෙහිදී, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ මහතා විසින් පිළිගැනීමේ දේශනය සිදුකළ කළේය. ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා රෙජිමේන්තුව ස්ථාපිත කිරිම සංක්තවත් කරමින් නව නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානායක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක වෙත භාර දුන්නේය.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධාන දේශනය සිදු කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ මෙවැනි රෙජිමේන්තුවක් ස්ථාපිත කිරිමේ වටිනාකම සහ එහි ඇති තාක්‍ෂණික වැදගත්කම පිළිබඳව කරුණු පැහැදිලි කළේය. එහිදි එතුමන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර සිටියේ කොවිඩ්-19 වැනි වසංගත තත්ත්වන්, යුද තත්වයන්, ස්වාභාවික හා මිනිසා විසින් ඇති කරන ලද ව්‍යසන, විශේෂ හදිසි අවස්ථා, ප්‍රජා ආසාදිත වසංගත පැතිරීම වැනි අවස්ථාවලදී යොදාගන්නා තාක්‍ෂණික නවෝත්පාදනයන්ගෙන් පරිපූර්නව යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගයන්’ සාර්ථක කර ගැනීම සඳහා අත්වැල් බැඳ ගත යුතු බැවින් මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දැක් වූ සියලු පාර්ශවයන්ට සිය කෘතඥතාවය පුද කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු මෙම අවස්ථාවට එක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රදර්ශනය සඳහා එක්කර තිබු ඩ්‍රෝන යානා පරික්‍ෂා කළ අතර කර්නල් සේනාවිධායකතුමන්ගේ ආරාධනයකට අනුව පළමු නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානය යුද්ධ හමුදාධිපතිතුමන් ගුවන්ගත කළේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජගත් ගුණවර්ධන මහතා ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිනවයෙන් ස්ථාපිත නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (DRONE) රෙජිමේන්තුව ඉතා උසස් තාක්‍ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත වන අතර හමුදා සහ හමුදා නොවන අවස්ථාවන් නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ හැකිය.

ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ග 2020-2025’ ට අනුකූලව සකස් කරමින් නව තාක්ෂණික අභියෝග සහ තර්ජන හමුවේ යුද්ධ හමුදාව සූදානම් කිරීම සඳහා මෙම සුවිශේෂී රෙජිමේන්තුව රාජකාරිවල යෙදීමෙන් සංවේදී තොරතුරු එක්රැස් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

අභිනවයෙන් ස්ථාපිත යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (DRONE) රෙජිමේන්තුව තර්ජනාත්මක අවස්ථාවන් පිළිබඳ මෙහෙයුම් මට්ටමේ නිරීක්ෂණය කිරීම, නිරවද්‍ය ඉලක්ක තහවුරුකර ගැනීම, පශ්චාත් යුධ හානි තක්සේරු කිරීමේ හැකියාවන් සහ ආපදා අවම කිරීම මෙන්ම ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයන් සඳහා ද යොදාගැනීම අපේක්ෂා කෙරේ.

***************************************

(12.11.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා මේ දක්වා රුපියල් මිලියන 70,000 ක මුදලක් වියදම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ වසරේ, විෂය ක්ෂේත්‍රයන්ට අදාළව රජය සිදුකළ වියදම් පිළිබඳ සවිස්තර වාර්තාවක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අතර, ඊට අදාළ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

විවාදයෙන් අනතුරුව අද (12) පස්වරු 5 ට ඡන්ද විමසීමක් සහිතව හෝ රහිතව මෙම වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.

පවතින කොරෝනා ව්‍යාප්තිය සලකා මෙම විවාදය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු කිසිවෙකුට අද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබාදී තිබුණේ නැහැ.

***************************************

(12.11.2020 – 14:06 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික් මට්ටමින් නව විශ්වවිද්‍යාල 10 ක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අවදානය යොමු වුණේ දැනට උසස් අධ්‍යාපන ආයතන පිහිටා නොමැති දිස්ත්‍රික්ක තෝරාගෙන නව විශ්වවිද්‍යාල පිහිටුවීමටයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන අදාළ ඉදිකිරීම් හැකි ඉකිමනින් ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා ෴

***************************************

(12.11.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුරය – රන්මල්ගහ වැව – වේවැල්කැටිය ප්‍රදේශයේදී වන අලියෙකු පලවා හැරීමේ මෙහෙයුමක නිරත වූ වනජීවි නිලධාරීන් පිරිසක් ගමන් ගත් කැබ් රථයකට වන අලියෙකු පහර දී තිබෙනවා.

අද (12) අලුයම 02:30 ට පමණ මෙම වන අලි පහරදීම එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීමෙන් වනජීවි නිලධාරීන්ට හානියක් සිදුව නොමැති අතර, කැබ් රථයට බරපතල හානි සිදුව තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ වේවැල්කැටිය ප්‍රදේශයේ ගෙවත්තකට වන අලියෙකු කඩා වැදී ඇති බවට ලද තොරතුරකට අනුවයි වනජීවි නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් තිබුණේ.

ඔවුන් එහි යන විටත් ගෙවත්තේ හිමිකරුට වන අලියෙකු පහර දී තිබුණා.

ඔහු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴

***************************************

(12.11.2020 – 14:10 +0530 – hirunews.lk/sinhala)

රජයට අයත් අවශේෂ කැලෑ, පරිපාලනය දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විවිධ පිරිස් විරෝධය පළ කරනවා.

එම කැලෑවල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වාගනිමින් පරිසරයට වනජීවී සම්පත්වලට හා කැලෑවලට හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතුවලට යොදවා ගත යුතු බව පසුගිය ජූලි මාසයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් පරිසර සංවිධාන මෙන්ම බොහෝ පිරිස් ඊට විරෝධය එල්ල කරන්නේ ඒ හරහා අදාළ වනාන්තර විනාශ විය හැකි බව පවසනමින්.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද නිවේදනයක් නිකුත් කරමින් සිය විරෝධය පළ කරනවා.

එමඟින් පෙන්වා දී ඇත්තේ අවශේෂ කැලෑ ලෙස අදාළ කොටස් හැඳින්වුවද ඒවා ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

ගංඟා ඇළදොළ රක්ෂිත මෙන්ම ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක ස්ථානද අදාළ ප්‍රදේශවල පිහිටා ඇති බවයි මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

වගා කළ හැකි ඉඩම් අවශ්‍ය තරම් රට තුළ තිබියදීත් වනාන්තර විනාශ කිරීමට මෙලෙස කටයුතු කිරීම පරිසරයට සිදුකරන දැවැන්ත විනාශයක් බවද ඔහු පෙන්වා දෙනවා.

ගොවීන්ට වගා කිරීම සඳහා ඉඩම් ලබාදෙන බවට ප්‍රකාශ කළද මේ හරහා සිදුවන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට අදාළ ඉඩම් හිමිවීම බවයි ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *