හුදකලා කර ඇති ප්‍රදේශවලට ඩ්‍රෝන යානා නංවයි

හුදකලා කර ඇති ප්‍රදේශවලට ඩ්‍රෝන යානා නංවයි

*********************************************

හුදකලා කර ඇති ප්‍රදේශවලට ඩ්‍රෝන යානා නංවයි

(12.11.2020 – 14:42 +0530 – hirunews.lk/sinhala)

හුදකලා කර ඇති ප්‍රදේශවලට පනවා ඇති සංචරණ සීමා කඩකරන පුද්ගලයින් ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කර අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

අද (12) පස්වරුවේ සිට ක්‍රියාත්මක මෙම මෙහෙයුමට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් දිවයින පුරා මේ වනවිට පවුල් 29,206 ක පුද්ගලයින් 80,000 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර බස්නාහිර පළාතෙන් පිටතට යාමට තවදුරටත් කිසිවෙකුට අවසර හිමි නොවන අතර, අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන පුද්ගලයින්ට පමණක් අදාළ බලපත්‍ර පෙන්වා බස්නාහිර පළාතෙන් පිටතට යා හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

+++++++++++++++++

(12.11.2020 – 14:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ තවත් පුද්ගලයින් 470 දෙනෙකු අද (12) රෝහල් වලින් පිටව ගියා.

මේ වනවිට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සංඛ්‍යාව 10,653 දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++

(12.11.2020 – 15:58 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ අනුව ඔහු සමීපව ඇසුරු කළ තවත් යාචකයින් අටදෙනෙකු (8) නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ ෴

+++++++++++++++++

(12.11.2020 – 16:43 +0530 – hirunews.lk/sinhala)

අද (12) දිනයේදීත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණා.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු සහ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

54 හැවිරිදි, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ නිධන්ගත පෙණහළු රෝගය සමඟ කොවිඩ් 19 ආසාදනය වීමයි.

කොවිඩ් 19 නිව්මෝනියාව සමඟ ද්විතියික බැක්ටීරියා ආසාදනය වීම මීගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++

(12.11.2020 – 17:16 +0530 – hirunews.lk/sinhala)

ලබන සෙනසුරාදා සහ ඉරිදා (14, 15) දින දෙකට යෙදී තිබූ සියලුම මගී දුම්රිය ගමන් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

යළිත් ලබන සඳුදා (16) සිට සුපුරුදු පරිදි දැනට ධාවනය කරනු ලබන කාර්යාල දුම්රිය සහ ප්‍රාදේශීය වශයෙන් ධාවනය කරනු ලබන දුම්රියන් නැවත ධාවනය කරන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කළේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ 14 සහ 15 යන දින රජයේ නිවාඩු දින බැවින් එම දෙදින තුළ සියලු මගී දුම්රිය ධාවනය නොකරන බවයි.

මේ අතර අනිද්දාට (14) යෙදී ඇති දීපවාලී උත්සවය සැමරීමේදී වතුකරයේ ජනතාව සහ හින්දු ප්‍රජාව අතර කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ඊට අදාළ සෞඛ්‍ය සහ මාර්ගෝපදේශන ඇතුළත් උපදෙස් මාලාවක් නිකුත් කරමින්.

ජනතාව එක්රැස් නොවී දැනට සිටින ස්ථානවලම රැදී සිටිය යුතු බව මෙහි දක්වා ඇති අතර, බස්නාහිර පළාත වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල පිරිස් දැඩි අවදානයෙන් කටයුතු කළ යුතු බව එහි සඳහන්.

එසේම කෝවිල්වල සහ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතුයි. එමෙන්ම මත්පැන් සහ දුම්වැටි භාවිත කරමින් සාද පැවැත්වීමෙන් ද වැළකිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා ෴

++++++++++++++++++

(12.11.2020 – 18:07 +0530 – hirunews.lk/sinhala)

බූස්ස බන්ධනාගාරයේ තුන් දෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාරවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 158 ක් දක්වා ඉහළ යන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ ෴

++++++++++++++++++

(12.11.2020 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ජාතික රෝහලට පැමිණෙන විට කොන්ඩා, රැවුල කපාගෙන එන ලෙස ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති’ සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඇය මේබව සඳහන් කළා.

“ජාතික රෝහල ආරක්ෂිතයි. රෝහලට එන්න කුවුරුවත් බියවිය යුතු නැහැ. හැබැයි ඔබ එන විට ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද කිසියම් අවදානමක් අපට තිබෙනවා. රෝගීන් බැලීමට එන අයත් සිමාවෙන්න අවශ්‍යයි.”

හිරු ප්‍රවෘත්ති සමඟ පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය සිදුකල සංවාදයේ සම්පූර්ණ හඬ පටය පහතින් :

++++++++++++++++++

(12.11.2020 – 18:43 +0530 – hirunews.lk/sinhala)

හුදෙකලා කර ඇති මෝදර ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් සිටි පුද්ගලයන් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිසිය ඩ්‍රෝන කැමරා මගින් කළ නිරීක්ෂණයකින් අනතුරුවයි.

+++++++++++++

++++++++++++

(12.11.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය නොකොට භූමදානය කිරීමේ වරප්‍රසාදය ඉස්ලාම් පුද්ගලයින්ට හිමි වන්නේ නම් එම වරප්‍රසාදය හින්දු භක්තිකයන්ට ද ලබා දිය යුතු බව සමස්ත ලංකා හින්දු සම්මේලනය ප්‍රකාශ කළා.

එහි සභාපති නාරා ටි අරූල්කාන්ත මහතා මේ බව කියා සිටියේ අද (12) මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින්.

+++++++++++++++++

(12.11.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala)

තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් ද ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ සෙසු ආශ්‍රිතයන් නවාතැන් ගෙන සිටින ස්ථානවලම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් තුල්හිරියේ සිට කන්දේඇලගම දක්වා ප්‍රදේශයේ සංචරණය සීමා කිරීමටයි වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කළේ.

මේ අතර, විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි කොවිඩ් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් කන්දීපන් බාලා මහතා සඳහන් කළේ ඉන් මරණ අසුවක්ම (80) මැද පෙරදිග රටවලින් වාර්තා වන බවයි.

සෞදි අරාබියේ ලාංකිකයන් 34 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, කුවේටයේ මිය ගොස් ඇති ලාංකිකයන් සංඛ්‍යාව 21 ක් ෴

++++++++++++++++++

(12.11.2020 – 19:45 +0530 – hirunews.lk/sinhala)

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් පිරිසක් තමන්ටද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන්නැයි ඉල්ලා එහි වහලය මත නැගී අද (12) ආරම්භ කළ විරෝධතාව පස්වරුවේ අවසන් කළා.

කෙසේ වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අද (12) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් නොතකා ඔවුන් තමන්ව කොළඹ බන්ධනාගාරවලට මාරු කර යවන ලෙස ඉල්ලා නිරෝධායන නීතින්ට අවනත නොවී මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි.

බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ (11) දිනයේද ආසාදිතයන් හයදෙනෙකු (6) හඳුනාගෙන තිබූ අතර දිවයින පුරා බන්ධනාගාර ආශ්‍රිතව රැදවියන් 158 දෙනෙකු කොවිඩි ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඊට අමතරව බන්ධනාගාර නියාමකවරුන් 3 දෙනෙකු සහ බන්ධනාගාර වෛද්‍ය කාර්ය මණ්ඩලයට අයත් ඖෂධ සංයෝජකවරියකට ද වෛරසය ආසාදනය වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වන විට දිවයින පුරා බන්ධනාගාර රැදවියන් 9500 කට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා ෴

++++++++++++++++++++

(12.11.2020 – 21:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 92 ක් හඳූනාගෙන තිබෙනවා.

ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවූ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

මේවන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 15,723 දෙනෙකු හමුවී ඇති අතර ඉන් 10,653 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5022 ක්.

මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 48 ක් ද වාර්තාවුනා ෴

++++++++++++++++

කොවිඩ් එන්නත සාර්ථක වේද ?

(12.11.2020 – 18:50 +0530 – hirunews.lk/sinhala)

ජර්මනියේ ‘බයෝ එන් ටෙක්’ සමාගම සහ අමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම එක්ව නිෂ්පාදනය කර ඇති කොවිඩ් එන්නතේ සාර්ථකත්වය පිළිබඳ නිවැරදි නිගමනයකට එළඹීමට තවමත් කල්මදි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ඊයේ (11) අද දෙරණ ඔස්සේ විකාශය වු ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

මේ පිළිබඳ වැඩිදුරත් අදහස් දැක්වු මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය :

“සාමාන්‍යයෙන් එන්නතක් නිපදවන්න අවුරුදු 5 – 6 ක් සමහරවිට 10 ක් යනවා. මේ පරීක්ෂණය තාම මාස 2 ක් වත් කරලා නෑ. අපිට මාස 2 ක දත්තවලින් කිසිම නිගමනයකට එළඹෙන්න බෑ. අඩුම ගානේ අවුරුදු 2 ක 3 ක් වත් අධ්‍යයනය කරලා තමයි ඒ එන්නත වැඩකරනවා ද? නැද්ද ? සහ ඒක ලැබෙන අයට කොච්චර ආරක්ෂා සහගත එන්නතක් ද කියලා බලන්නේ.”

එම එන්නත10 දෙනෙකු ට ලබාදුන් විට ඉන් 9 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනයවීම වැළැක්විය හැකි එන්නතක් ලෙස හදිසි අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

එම කොවිඩ් එන්නත පුද්ගලයින් 43,500 කට ලබාදී ඇති අතර ඉන් කිසිදු අයෙකුට අතුරු අබාධ මතුවී නොමැති බව වාර්තා වේ.

එම එන්නත මගින් කොරෝනා වෛරසය සමග සටන් කිරීමට මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරයි.

මෙය නව එන්නත RNA එන්නත් වර්ගයට අයත් වේ. වෛරසයේ කුඩා ජාන කේත එම එන්නත සඳහා යොදාගනී.

එය එන්නත් කළ විට මිනිස් සිරුර තුළ වෛරස නිර්මාණය වන අතර සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එය බාහිර දෙයක් ලෙස හඳුනාගෙන ඊට එරෙහිව සටන්වැදීම අරඹයි.

එම එන්නත මාත්‍රා දෙකක් – පළමු මාත්‍රාව දී සති තුනක් ගතවූ පසු දෙවැනි මාත්‍රාව දෙයි – ලෙස ලබාදෙයි. එය ලබාදුන් මිනිසුන්ගෙන් 90% කට පමණ කොවිඩ් රෝග ලක්ෂණ මතු නොවන බව පර්යේෂණ වලින් ඔප්පු වේ තිබේ.

මේ වනතෙක් කිසිදු RNA එන්නතක් මිනිසුන් සඳහා භාවිත කිරීමට අනුමැතිය දී නොමැත.

++++++++++++++

+++++++++++++++++

කරන්දෙණියේ 7 හැවිරිදි දරුවෙක්ටත් කොවිඩ්

(12.11.2020 – 17:33 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල කරන්දෙණිය, ඇරවාවිල, වීනවල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ මව, පියා සහ වයස අවුරුදු 7 ක් වන දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔවුන් මීට පෙර මත්ස්‍ය වෙළෙඳාමට සමබන්ධ ගාල්ල උඩුගම ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට ගොස් තිබුණි.

ආසාදිතයින් හම්බන්තොට සහ කඹුරුගමුව යන රෝහල් වෙත යොමු කෙරුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක, යූ.කේ.ඩී. ලසන්ත මහතා,

“ඔවුන් තිදෙනා කඹුරුපිටිය හා හම්බන්තොට රෝහල්වෙත යොමුකරා. මේ වන විට ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කර තියෙනවා. තල්ගස්වල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුගේ ගෙදර 20 වන දින ගතකරලා තියෙනවා. ඊට පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණය අනුව තමයි ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වෙලා තියෙන්නේ. ආසාදිතයින් අතර වයස අවුරුදු 7 ක දරුවෙක් හා ඒ අඹු සැමි යුවළ වෙනවා.”


***************************************

(12.11.2020 – 15:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අම්පාර නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 6 කින් පරාජයට පත්වුණා.

අද (12) පැවති ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්ද 12 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 6 ක් පමණයි.

මෙහි පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 9 ක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 4 ක්, නිදහස් පක්ෂයට ආසන 3 ක්, ජනතා විමුක්ති පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායමට එක් ආසනය (1) බැගින් සැදුම් ලබනවා.

කෙසේ වෙතත්, අද (12) පැවති ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් 6 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් 3 දෙනෙකු අයවැයට සහය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 3 දෙනා ඊට විරුද්ධ වීම විශේෂත්වයක්.

එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ සහ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරුන් දෙදෙනා (2) ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ අයවැයට විරුද්ධවයි ෴

***************************************

(12.11.2020 – 15:17 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම කිරින්ද – පට්ටිවිලයාය ප්‍රදේශයේ පිහිටි වටිනා කඩොලාන පරිසර පද්ධතියක් විනාශ වීමේ පුවතක් අපට වාර්තා වුණා.

ප්‍රදේශවාසීන් පවසන්නේ විවිධ හෙළි පෙහෙළි කිරීම් හා ඉඩම් අත්පත්කර ගැනීම් හේතුවෙන් මෙම පරිසර පද්ධතිය විනාශ වන බවයි.

අද (12) ‘රතු මිනිත්තුවේ’ අවධානය ඒ පිළිබඳවයි.

මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් කඩොලාන පරිසර පද්ධතියට අයත් වන්නේ 0.23% ක තරම් භූමි ප්‍රමාණයක්.

සංඛ්‍යා ලේඛන අනුව එම ප්‍රමාණයෙන්ද සැලකිය යුතු කොටසක් විනාශ වී ඇති අතර එම බිම් ප්‍රමාණය හෙක්ටයාර 30,000 කට අධිකයි.

තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පට්ටිවිලයාය ප්‍රදේශය අසලින්ද කඩොලාන පරිසර පද්ධතිය විනාශ වීමේ අවදානමක් මතුව ඇත්තේ මේ අතරතුරයි.

2004 වර්ෂයේ දී අක්කර 30 ක පමණ කඩොලාන භූමියක් පැවතියද මේ වන විට එය අක්කර 7 ක් ,8 ක් දක්වා අඩු වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

එම ප්‍රදේශයේ පිහිටි කඩොලාන වලින් වට වී තිබූ මාගම විද්‍යාලයේ ක්‍රීඩා පිටිය මේ වන විට ජාවාරම්කරුවන් විසින් අත්පත් කර ගෙන ඇති බවත් වාර්තා වුණා.

ගම්මුන් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශයේ හෝටලයක් ඉදිකිරීම සඳහාද ඉඩම් ජාවාරම්කරුවන් පිරිසක් මාන බලමින් සිටින බවයි.

එම පරිසර භූමිය මේ වන විට කසළ බැහැරකරන ස්ථානයක් බවටයි පත්ව ඇත්තේ.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්මෙවන් වටිනා පරිසර පද්ධතීන් විනාශ වීමට ඉඩ නොතබා අනාගත පරපුරේ පැවැත්ම උදෙසා ඒවා ආරක්ෂා කිරීම අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වනවා.

මේ විනාශයට එරෙහිව බලධාරීන් ගන්නා පියවර කුමක්දැයි රතු මිනිත්තුව අවධානයෙන්.

***************************************

(12.11.2020 – 15:20 +0530 – hirunews.lk/sinhala)

පාරම්පරික දේශීය කර්මාන්ත අතර වේවැල් කර්මාන්තයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

වේවැල් රටාවන්ගෙන් හැඩවූ විවිධ නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළේද ඉහළ මිලකට අලෙවි කෙරුණේ නිර්මාණකරුවන්ගේ හැකියාවට සරිලන මිලක නියම කරමින්.

නමුත් අද වනවිට විවිධ අදේශක පැමිණීම හේතුවෙන් මේ කර්මාන්තය දිනෙන් දින අභාවයට යමින් පවතිනවා.

දෙවන පෑතිස් රජ සමයේ මෙරටට පැමිණි ශිල්ප ශ්‍රේණි 18 කට අයත් පිරිස අතර ‘කුළුපොත්තන්’ නමින් හැඳින්වූ පිරිසක් ද වුනා.

ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය වූයේ වේවැල් ආධාරයෙන් විවිධ භාණ්ඩ නිපදවීමයි.

මෙරට වේවැල් කර්මාන්තය එතරම් ඈත අතීතයකට උරුමකම් කියන්නක්.

බදුල්ල ස්ප්‍රිංවැලි හා ඒ අවට ගම්මානවල ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබෙන්නේද වේවැල් කූඩ නිෂ්පාදනයයි.

ප්‍රදේශයේ ප්‍රධාන බෝගය බවට පත්ව තිබෙන තේ වගාවේ අස්වනු නෙළීමට උපයෝගී කර ගන්නා වේවැල් කූඩ නිෂ්පාදනයෙන් බොහෝ පිරිසක් සිය ජීවිකාව සරිකර ගනු ලබනවා.

නමුත් අද වනවිට මෙම කර්මාන්තකරුවන් සිය වේවැල් නිෂ්පාදන අළෙවි කර ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින්නේ ප්ලාස්ටික් කූඩ වෙළෙඳපොළ මෙන්ම තේකර්මාන්තකරුවන්ද ආක්‍රමණය කිරීම හේතුවෙන්.

බදුල්ල ප්‍රදේශයේ පවුල් 100 කගේ පමණ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූ වේවැල් කූඩ නිෂ්පාදනයට මේ වනවිට ඔවුන් තිත තබා ඇත්තේ තවදුරටත් එමගින් දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබීම හේතුවෙන්.

මෙම කර්මාන්තකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මීට විකල්පයක් ලෙස කාර්යාලවලට වේවැල් නිෂ්පාදිත කසල බඳුන් අලෙවි කිරීමට අවස්ථාව සළසා දෙන ලෙසයි.

***************************************

(12.11.2020 – 15:24 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල ගොඩකිරීම හා පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන කපා විනාශ කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ මෙම සිද්ධින් සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිය ක්‍රියාකර නොමැති නිසා අද (12) පැවති රැස්වීමකදී බෝපිටිය සහ පුත්තලම යන පොලිස් ස්ථානවල උසස් නිලධාරීන්ව දැනුවත් කළ බවයි.

මුතුරාජවෙල අනවසර ගොඩකිරීම් සම්බන්ධව අමාත්‍යවරයා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර, එහිදී එම ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැර කරන බවට තොරතුරු වාර්තා වුණා.

එසේම පුත්තලම – මුන්දලම විරුත්තෝඩේ ප්‍රදේශයේ අක්කර දෙකක (2) පමණ කඩොලාන කපා විනාශ කළ පුද්ගලයින් ද මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ ෴

***************************************

(12.11.2020 – 16:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ජාඇළ ප්‍රාදේශීය සභාවේ අයවැය ද අද (12) වැඩි ඡන්ද හයකින් (6) පරාජයට පත්වී තිබෙනවා.

අයවැයට විරුද්ධව ඡන්ද 24 ක් ලැබී ඇති අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 19 ක් පමණයි.

මන්ත්‍රීවරුන් 47 දෙනෙකුගෙන් සමන්විත ජාඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 23 ක්.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු (5), ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරුන් හතරදෙනෙකු (4), ජාතික ජනතා පක්ෂය සහ ස්වාධීන කණ්ඩායමකින් එක් මන්ත්‍රීවරයෙකු (1) බැගින් නියෝජනය කරනවා.

කෙසේ වෙතත් අද (12) පැවති ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමඟ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හතරදෙනෙකු (4) ද අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබෙනවා ෴

***************************************

(12.11.2020 – 17:11 +0530 – hirunews.lk/sinhala)

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වූ හැටන් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

පවතින අධික වර්ෂාපතනයත් සමඟ මස්කෙලිය ප්‍රාදේශීය රෝහල අසළින් මාර්ගයට අද (12) දහවල් මෙම පස් කන්ද කඩා වැටී තිබුණා.

කෙසේ වෙතත්, පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව එම පස් කන්ද ඉවත් කිරීමෙන් අනතුරුව මේ වන විට මාර්ගය යථා තත්ත්වයට පත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

(12.11.2020 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අම්පාර නගර සභාව, ජාඇළ ප්‍රාදේශීය සභාව සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවල අයවැය අද (12) පරාජයට පත්වුණා.

අම්පාර නගර සභාවේ අයවැය පරාජයට පත්වුණේ 6 කින්. අද (12) පැවති ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද 12 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 6 ක් පමණයි.

අම්පාර නගර සභාව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 9 දෙනකුගෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගෙන්, නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකුගෙන්, ජනතා විමුක්ති පෙරමුණේ සහ ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරන් දෙදෙනෙකු (2) බැගින් සැදුම් ලබනවා.

කෙසේ වෙතත්, ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් 6 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් 3 දෙනෙකු අයවැයට සහය පළ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 3 දෙනා අයවැයට විරුද්ධ වීම විශේෂත්වයක්. එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ සහ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරුන් දෙදෙනා (2) ද ඡන්දය ප්‍රකාශ කළේ අයවැයට විරුද්ධවයි.

පොදුජන පෙරමුණට බලය හිමි ජාඇළ ප්‍රාදේශීය සභාවේ අයවැයද පරාජයට පත්වුණේද වැඩි ඡන්ද හයකින් (6).

අයවැයට විරුද්ධව ඡන්ද 24 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 19 ක් පමණයි. මන්ත්‍රීවරුන් 47 දෙනෙකුගෙන් සමන්විත ජාඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 23 ක්.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු (5), ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරුන් හතරදෙනෙකු (4), ජාතික ජනතා පක්ෂය සහ ස්වාධීන කණ්ඩායමකින් එක් (1) මන්ත්‍රීවරයෙකු බැගින් නියෝජනය කරනවා.

කෙසේ වෙතත් අද (12) පැවති ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමඟ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හතරදෙනෙකු (4) ද අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා.

පොදුජන පෙරමුණට බලය හිමි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 17 කින් පරාජයට පත්වුණා.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු (7), එක්සත් ජාතික පක්ෂයේ හයදෙනෙකු (6), කම්කරු කොංග්‍රස් තුන්දෙනෙකු (3), ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනෙකු (2), ජනතා විමුක්ති පෙරමුණේ සහ ස්වාධීන කණ්ඩායමේ එක් අයෙකු (1) බැගින් සමන්විත මෙම ප්‍රාදේශීය සභාවේ අද (12) පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ලැබුණේ ඡන්ද තුනක් (3) පමණයි.

විපක්ෂය සමඟ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු (4) විපක්ෂව ඡන්දය භාවිත කළා ෴

***************************************

(12.11.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (12) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මෙහිදී විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ නැහැ.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද සිය විරෝධතාව සටහන් කර ගන්නා ලෙස කථානායකවරයාට දැනුම් දුන්නා.

විසර්ජන පනත් කෙටුම්පත පිළිබද රජයේ ප්‍රකාශය මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා මේ දක්වා රුපියල් මිලියන 70,000 ක මුදලක් රජය විසින් වියදම් කර ඇති බවයි.

මේ අතර, ලබන වසර සඳහා වන අයවැය ලේඛනය එළඹෙන 17 වන දා පස්වරුවේ මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

(12.11.2020 – 23:26 +0530 – hirunews.lk/sinhala)

දේශපාලනික වශයෙන් තමන්ගෙන් පළිගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණය නොමග යවා තමන්ට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඇති බව අමෙරිකාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා පවසනවා.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ සිට සාක්ෂි ලබාදෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *