බස්නාහිර පළාතේ නිවාස 17,708 ක් නිරෝධායනයට

බස්නාහිර පළාතේ නිවාස 17,708 ක් නිරෝධායනයට

*********************************************

බස්නාහිර පළාතේ නිවාස 17,708 ක් නිරෝධායනයට

(13.11.2020 – 09:03 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පළමු පෙළ, දෙවන පෙළ සහ තුන්වන පෙළ වශයෙන් නිරෝධායනයට ලක් කර ඇති නිවාස සංඛ්‍යාව 17,708 ක් බව පොලීසිය පවසනවා.

අද (13)උදෑසන විකාශය වූ ‘හිරු ටී වී පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ අදාළ පුද්ගලයින් නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන්නේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ද අදාළ ප්‍රදේශ ආශ්‍රිතව යොදවා ඇති බවයි.

+++++++++++++++++++++

(13.11.2020 – 10:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 172 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් හතරදෙනෙකු (4) ද සිටින බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) කොරෝනා ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් හිනිදුම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු 16 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එම නිලධාරීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (13) දිනයේ සිදුකිරීමට නියමිතයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු (1) සහ එළුවෙකු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිනිදුම පොලිසිය පසුගියදා සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන උඩුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බූස්ස බන්ධනාගාරය වෙත යොමු කර තිබුණා.

එහිදියි අදාළ සැකකරුවන් දෙදෙනාට (2) වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව හිනිදුම පොලිසියේ නිළධාරීන් 16 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර සෙසු නිලධාරීන් යොදවා පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු තවදුරටත් පවත්වාගෙන යනු ලබනවා.

ඊයේ (12) දිනයේත් මෙරටින් ආසාදිතයන් 373 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 15,723 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (12) හඳුනාගත් ආසාදිතයන් 373 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන වන අතර, එම සංඛ්‍යාව 271 ක්. කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 30,000 ක් පමණ සිටින බව සඳහන්.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 46 ක්, කළුතරින් 12 ක්, කෑගල්ලෙන් 10 ක්, ගාල්ලෙන් ආසාදිතයන් 4 දෙනෙකු බැගින් ඊයේ (12) හමුවුණා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් දෙදෙනෙකු (2) සහ පුත්තලම, රත්නපුර, හම්බන්තොට, මාතලේ යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයෙකු (1) බැගින් සොයාගැනුනු බවයි.

එසේම තවත් පොලිස් නිලධාරීන් විසිදෙනෙකුද (20) ඊයේ (12) ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර, විදේශ රටවලින් මෙරටට පැමිණි පුද්ගලයින් හතර දෙනෙකු (4) ද ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 4 වනදා සිට මේ දක්වා කාලය තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 4,834 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් එම කාලය තුළ හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 4,640 ක් වනවා.

කෙසේ වෙතත් එම දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඔක්තෝම්බර් 4 වනදා සිට මේ දක්වා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 571 ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 226 දෙනෙකුද සොයාගැනුනා. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එම කාලය තුළ හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 168 ක්.

ලබන ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් පසු බස්නාහිර පළාතෙන් පිටවීමේ තහනම ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් කිරීමට මේ දක්වා තීන්දුවක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර කොළඹ වරායේ සේවා කටයුතු සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත පරිසරය සකස් කර ඇති බැවින් සේවයට පැමිණෙන්නැයි විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඉල්ලීමක් කළා.

ඒ, කොරෝනා ව්‍යාප්තියත් සමඟ වරායේ උද්ගතවී ඇති තත්වය පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්.

කොළඹ වරායේ සැළකිය යුතු සේවක පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොරෝනා අධි අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන්.

එමෙන්ම කොරෝනා ආසාදනය වූවන් අතරට ගැන්ට්‍රි දොඹකර හසුරුවන සේවකයින් පිරිසක්ද සිටිනවා.

මේ නිසා වරායට පැමිණීමට නියමිත නෞකා විශාල ප්‍රමාණයක් වරායෙන් පිටත නවතා ඇති බවයි වාර්තාවන්නේ.

වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා කියා සිටියේ පවතින තත්වය සළකා අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගැනීම සඳහා විශ්‍රාමික සේවකයන්ද කැඳවීමට තීරණය කර ඇති බවයි.

මේ අතර බස්නාහිර පළාතේ පළමු, දෙවන සහ තුන්වන පෙළ වශයෙන් නිරෝධායනයට ලක් කර ඇති නිවාස සංඛ්‍යාව 17,708 ක් බව පොලීසිය පවසනවා.

අද (13) උදෑසන විකාශය වූ ‘හිරු ටී වී පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ එම පුද්ගලයින් නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන්නේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ද අදාළ ප්‍රදේශ ආශ්‍රිතව යොදවා ඇති බවයි ෴

+++++++++++++++++++

(13.11.2020 – 12:28 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් විශේෂ සැළසුමකට අනුව කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගන්නා බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

කොරෝනා දෙවන රැල්ල ආරම්භවීමත් සමඟ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව නතර කෙරුණා ෴

++++++++++++++++++

(13.11.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන කැමරා යොදාගනිමින් මෝදර ප්‍රදේශයේ අද (13) සිදුකළ මෙහෙයුමකදී නිරෝධායන නීති කඩකළ තවත් පුද්ගලයින් හත්දෙනෙකු (7) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය හා ගුවන් හමුදාව එක්ව සිදුකළ මෙම විශේෂ වැටලීමේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

++++++++++++++++++++

අපි ‘ෆේල්’ නෑ – කොවිඩ් පාලනය ගැන හමුදාපති කියයි

(13.11.2020 – 08:18 +0530 – sinhala.adaderana.lk)

රට තුළ කොවිඩ් පාලනය කිරීමේ ක්‍රියාවලිය ආර්ථිකයට හා ජනතාවට අවම පීඩනයක් එල්ලවන සේ ඉටුකරමින් පවතින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (13) උදෑසන ‘දෙරණ අරුණ’ සමග එක්වෙමින් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, විශාල ජන ඝනත්වයක් ඇති කොළඹ ප්‍රදේශයේ කොවිඩ් වෛරසය පැතිරීම ඉතා සාර්ථක ලෙස පාලනය කර ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“අපි ‘ෆේල්’ නෑ. කිසිසේත්ම ෆේල් නෑ. කොහොමද ෆේල් වෙන්නේ. මෙච්චර ජන ඝනත්වයක් ඇති කොළඹ අපි මෙහෙම පාලනය කරලා තියෙනවා. රටේ මත්ස්‍ය වෙළෙඳසැළ මුළු රටටම මාළු ලබාදෙන ප්‍රධාන මධ්‍යස්ථානයක්. එතනින් තමයි ඇති වුණේ. උදාහරණයක් වශයෙන් ගත්තහම මිනුවන්ගොඩ ඇති වුණ පොකුර සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාවක් ලැබුණා. 3106 ක් ආසාදිතයින් වුණා. ඒක හරි. නමුත් මේ පොකුර රට පුරා විශාල වශයෙන් පැතිරුණ නිසා තමයි රටේ විවිධ ප්‍රදේශවලටත් මේ ආකාරයෙන් ගියේ. ඉතින් අර කිව්ව විදියට අපි කිසිසේත්ම ෆේල් නැහැ. ෆේල් වෙන්නෙත් නෑ. රටේ හොඳ නායකත්වයක් ඉන්නවා. රජයක් සිටිනවා. කාර්ය සාධක බළකායට තෝරාගත් බලකායක් ඉන්නවා. අපේ විශ්‍රාම ගිහින් ඉන්න අයත් පිටරට ඉන්න අයත් මේකට උදව් කරනවා. ඔක්කොම එක්ක එකතු වෙලා අපි මේක කරනවා.”

++++++++++++++++++++

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ නොකිරිමෙන් මහජන සේවා සැපයීම නතරවීමේ අවදානමක්

(13.11.2020 – 13:03 +0530 – lankadeepa.lk)

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් පස්දෙනකු (5) වාර්තා වුවද කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ නොකිරිමෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් ‘අවදානමක් මැද අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි විය හැකි’ බවද සංවර්ධන නිලධාරි සේවා සංගමය කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

එම සංගමය වෙනුවෙන් එහි ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මෙම දැනුම් දී සිදු කර ඇත.

එසේම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අවදානම් තත්ත්වයක පවතින බැවින් ඒ ගැන සොයා නොබලන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සංවර්ධන නිලධාරි සේවා සංගමය ප්‍රකාශ කරයි.

ඉහළ බලධාරීන් ආරක්ෂිතව නිල කාමරවල සිට මාධ්‍ය සංදර්ශන පවත්වමින් සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ජීවිත අවදානම පිළිබඳ නොසළකා සිටින බවද සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දේ.

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ වනවිට ආසාදිතයන් පස්දෙනකු (5) වාර්තා වී ඇතත් එහි කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන නොමැති බවද හෙතෙම පවසයි.

එම නිසා එම කාර්යාලයේ සියලුම නිලධාරීන්ට කඩිනම් පී.සී.ආර්. පරීක්ෂණ විධිමත් හා සෞඛ්‍යාරක්ෂිත ස්ථානයකදී සිදු කිරීමට පියවර ගන්නා ලෙසත්, සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් නිරෝධායනය කිරීමට පියවර ගන්නා ලෙසත් ප්‍රධාන ලේකම්වරයා අදාළ නිලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත ෴

++++++++++++++

(13.11.2020 – 15:01 +0530 – hirunews.lk/sinhala)

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (13) 11,000 ඉක්ම වූවා.

ඒ, අද (13) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 378 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

ඒ අනුව සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 11,031 දක්වා ඉහළ ගියා.

තවදුරටත් පුද්ගලයින් 4644 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ෴

++++++++++++++++

(13.11.2020 – 15:11 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇති ‘රැපිඩ් ඇන්ටිජන්’ කට්ටල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අදත් (13) විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. එම අදහස් කිහිපයක් දැන්.

++++++++++++++++

(13.11.2020 – 16:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය වැළදීමෙන් මාර්ගවල ඇද වැටී පුද්ගලයන් මියයන බවට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ නොයෙක් ඡායාරූප එක් කරමින් අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයින් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා යොදාගනිමින් හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා අද (13) දිනයේත් සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් හත්දෙනෙකු (7) හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝදර, ගල්කිස්ස සහ හොරණ ප්‍රදේශ මූලික කරගනිමිනුයි අද (13) දිනයේ මෙම විමර්ශනය සිදු කර තිබුණේ.

ඒ අනුව ඊයේ (12) දිනයේ ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් අත්අඩංගුවට ගත් 15 දෙනා සමඟ මේ වනවිට එලෙස අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් සංඛ්‍යාව 22 ක්.

එසේම හුදකලා කර ඇති ප්‍රදේශවල පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ඇතැම් ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔක්තෝම්බර් 4 වන දින සිට අත්හිටවනු ලැබූ විදේශයන්හි සිටින පුද්ගලයින් මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය ලබන සතියේ සිට යළි ආරම්භ කරන බවයි ෴

+++++++++++++++++

+++++++++++++++++

(13.11.2020 – 16:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සභා සීමාවේ නිරෝධායනයට ලක්කර ඇති නාගරික මහල් නිවාස වන මුවදොර උයන, සිරිමුතු උයන, සිරිසඳ සෙවන, රන්දිය උයන, මෙත්සඳ සෙවන, මිණිජය සෙවන, රන්මිත් සෙවන, සත්හිරු සෙවන, එන්. එච්. එස්. මහල් නිවාස ඇතුලු නිවාසවල පදිංචිකරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මගින් අමාත්‍යංශය දැනුම්දෙන්නේ දිගු කාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ් 19 ආසාදනය වීමේ අවදානම වැඩි අතර එහි සංකූලතා ඇතිවීමේ අවධානම ද වැඩි බවයි.

එබැවින් දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, අපස්මාරය, හතිය, කොලෙස්ටරෝල්, වකුගඩු රෝග හෝ පිළිකා වැනි දිගු කාලීන රෝගවලින් පෙළෙන රෝගීන්ට මෙම තත්වය බලපාන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ හේතුවෙන් එවැනි රෝග සඳහා ඖෂධ ලබාගන්නා පුද්ගලයන් කොරෝනා ආසාදනය වීමෙන් ආරක්ෂා වීමට සහ එහි සංකූලතා වළක්වා ගැනීමට අඛණ්ඩව එම ඖෂධ ලබාගත යුතුයි.

දීර්ඝ කාලීනව එවැනි බෝ නොවන රෝගයකට ඖෂධ ලබාගන්නා බව තම මහල් නිවාසයේ මහල භාර පොලිස් නිලධාරියාට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ අදාළ කළමණාකාරවරයාට දැනුම්දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරනවා.

රෝගියාගේ නම වයස ලිපිනය සහ සාමාන්‍යයෙන් බෙහෙත් ලබාගන්නා බෙහෙත් ශාලාවේ හෝ රෝහලේ නම අදාළ මහල් නිවාසයේ වෙසෙන මහල භාර පොලිස් නිලධාරියාට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ අදාළ කළමනාකාරවරයාට දැනුම්දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියා.

එම රෝගීන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ නිවසටම වී සිටින ලෙසටයි.

අදාළ ඖෂධ නිවසටම ගෙනැවිත් ලබාදීමට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි ද අමාත්‍යංශය ප්‍රකාශ කළා.

උණ, කැස්ස, උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ දැනෙන්නේ නම් ඉහත සඳහන් කළ නිලධාරීන්ට හෝ තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වහාම දුරකථනයෙන් අමතා උදව් ලබාගන්නා ලෙසට ද දැනුම් දෙනවා.

වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා 1999 උපකාරක දුරකථන අංකය අමතා උපදෙස් ලබාගන්නා ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ ෴

===============================================

***************************************

(13.11.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරට සාපේක්ෂව මී උණ රෝග ව්‍යාප්තිය වේගවත්වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

පසුගිය 2019 වසරේ නොවැම්බර් මාසය වනවිට මෙරටින් වාර්තාවී තිබූ මී උණ රෝගීන් සංඛ්‍යාව 4,500 ක්.

මරණ 50 ක්ද වාර්තාවී තිබුණා.

කෙසේ වෙතත් මේ වසරේ මේ දක්වා කාලය තුළ මී උණ රෝගීන් 6,900 ක් වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ෴

***************************************

(13.11.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා මෙරටට ගෙන්වා ඇති ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පැවැත්වෙනවා.

විවාදයේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් දැක්වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඊට කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, නලීන් බණ්ඩාර යන මහත්වරු ද මැදිහත් වුණා.

මේ අතර, යළි පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඊයේ ලිපියක් භාර දී තිබෙනවා ෴

***************************************

(12.11.2020 – 13:22 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේ මෙරටට ප්‍රමිතියෙන් තොර දියර පොහොර ගෙන්වීම මගින් රජයේ මුදල් රුපියල් මිලියන ගණනක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කඩිනම් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, වත්තල පිහිටි ලංකා පොහොර සමාගමේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ (12) එක්වෙමින්.

2015 වසරේ කල් ඉකුත්වූ දියර පොහොර ලීටර 1,18,000 ක් ගෙන්වා ඇති බවට චෝදනා එල්ලවී තිබෙනවා.

පොහොර සමාගමේ නිලධාරින්ගේ විරෝධය නොතකමින් මෙම පොහොර මිලදීගෙන ඇත්තේ බැංකු ණය ඇතුලු වරප්‍රසාද රැසක් ලබාගනිමින් බවට අනාවරණ වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ෴

***************************************

(13.11.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය ඊයේ (12) අවසන් වුණා.

19 වන ව්‍යාවස්ථා සංශෝධනයට අනුව බලාත්මක කළ ස්වාධීන කොමිෂන් සභා යටතේ මැතිවරණ කොමිසම ස්ථාපිත කෙරුණේ 2015 නොවැම්බර් මාසයේදීයි.

තිදෙනෙකුගෙන් සමන්විත වත්මන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරය හොබවන්නේ මහින්ද දේශප්‍රිය මහතායි.

මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයන් වනවා.

මහින්ද දේශප්‍රිය මහතා මෙරට 8 වැනි මැතිවරණ කොමසාරිස්වරයා ලෙස 2011 වසරේ සිට 2015 දක්වා කාලය තුළ ක්‍රියා කළ අතර, 2015 වසරේදී මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමෙන් පසු එහි පළමු සභාපති ධුරය හිමිවූයේද ඔහුටයි.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාවේ අවසන් රැස්වීම පෙරේදා පැවති අතර, ලබන 16 වැනිදායින් ඔබ්බටත් නව කොමිසමක් පත්නොවුනහොත් අත්‍යවශයෙන්ම සිදුකළ යුතු ව්‍යවස්ථාපිත කටයුත්තක් හැර වෙනත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට නොලැඹීමට එහිදී තීරණය කර තිබෙනවා.

***************************************

(13.11.2020 – 14:08 +0530 – hirunews.lk/sinhala)

හිසට සෙවණ නමින් දෙහිඅත්තකණ්ඩිය – විජයපුර මහවැලි ගම්මාන ආශ්‍රිතව ආරම්භ කෙරුණු නිවාස ව්‍යාපෘතියයි මේ.

නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් 2019 වසරේ පෙබරවාරි මස 06 වැනිදා ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියට අයත් නිවාස ගණන 25 ක්.

ඒ අතරින් නිවාස 22 ක ඉදිකිරීම් කටයුතුද ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 ක ණය මුදලක් ලබාදෙන බවයි නිවාස සංවර්ධන අධිකාරිය පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය මාස 6 කින් නිමකරන බව නිවාස ලාභීන්ට පවසා ඇති අතර නිවෙස්වල අත්තිවාරම තමන්ගේ මුදලින් ගොඩනඟා අවසන් කරන ලෙසද ඔවුන්ට දන්වා තිබෙනවා.

පසුව නිවාස හිමියන්ගේ දැඩි ඉල්ලීම මත මාස 3 කට පසු රු.125,000 ක මුදලක් ලබාදුන් නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ ජනෙල් මට්ටමට බිත්ති ගොඩනැගුවහොත් ඉතිරි ලක්ෂ දෙකහමාරක (2½) ණය මුදල ලබාදිය හැකි බවයි.

එහෙත් මේ වන තුරුත් එම මුදල් නිවාස ලාභීන්ට හිමි වී නැහැ.

නිවාස අධිකාරිය ලබාදී තිබූ පොරොන්දුව මත ඉදිකිරීම් කටයුතු සඳහා ඔවුන් මුදල් ලබාගෙන ඇත්තේ කණ කර පවා උගසට තබමින්.

කෙසේ වෙතත් මේ වන විට නිවාස ව්‍යාපෘතිය නතර වී වල්බිහි වී ඇති අතර ආර්ථික අපහසුතා මැද ජීවත්වන නිවාසලාභීන්ගේ හිසමත දැන් ණයබරක්ද පැටවී තිබෙනවා.

තමන්ගේම කියා නිවසක ජීවත්වීමට මැවූ සිහින දිනෙන් දින ඈතට යද්දී රටට ණයකරුවන් වූ මේ ජනතාවට සාධාරණය ඉටුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(13.11.2020 – 14:41 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ හා මැගසින් බන්ධනාගාරවල සිට පාර්ලිමේන්තුව වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැදවීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වූ අවස්ථාවේදියි.

කෙසේ වෙතත්, ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවකදී දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ඔවුන් පාර්ලිමේන්තුවට ගෙන්වීම සඳහා අවසර ලබාදීමට එම කාරක සභාව එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව දැනට බන්ධනාගාර ගතව සිටින රිෂාඩ් බදියුදීන්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් අද (13) දිනයේ පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබුණේ නැහැ ෴

***************************************

(13.11.2020 – 14:46 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ගැටළුවෙන් අසාධාරණයට ලක්වූ සියලුම සිසුන් විශ්වවිද්‍යාලවලට බදවා ගන්නා ලෙස ඉල්ලමින් ගාල්ල නගරයේදී අද (13) විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒ, නිදහස් අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින්.

***************************************

(13.11.2020 – 15:16 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ පුද්ගලයන් ඉලක්කකර නීතිය ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් ඊයේ (12) පැවති ‘බලය’ දේශපාලන සංවාදය උණුසුම් මුහුණුවරක් ගත්තා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *