කොරෝනා මරණ භූමදානය ගැන තීරණය විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව

කොරෝනා මරණ භූමදානය ගැන තීරණය විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5 ක් – මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළට

හිස්බුල්ලා ගේ හිරා පදනම ගැන කොමිසමේ දී හෙළි වූ කරුණු

*********************************************

කොරෝනා මරණ භූමදානය ගැන තීරණය විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව

(13.11.2020 – 19:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු පිළිබඳ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව තීන්දුව ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරිය කියාසිටියේ කොරෝනා හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් විවිධ පිරිස්වලින් ඉල්ලීම් ලැබී ඇති බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ කමිටුව ඔවුන්ගේ තවත් වාර්තා කිහිපයක් තමා වෙත ලබාදීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය කියාසිටියේ.

පසුගිය කැබිනට් මණ්ඩලයේදී මෙම කරුණ සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව ද ඇය සඳහන් කළා.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන් භූමදානය සම්බන්ධයෙන් කරුණ මතුවූ අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලය තමාවෙත දැනුම්දෙනු ලැබුවේ විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙස බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

එබැවින් එම වාර්තා ලැබීමෙන් පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තුවන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියාසිටියේ.

මේ අතර ජගත් සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් ද මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමඟින් දක්වා ඇත්තේ පසුගිය සමයේ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් ආසාදිතයන්ගේ දේහයන් ආදාහනය කළ යුතු බවට නිර්දේශ කර තිබූ බවයි.

කෙසේ වෙතත් පසුගිය මාර්තු 24 වනදා නිකුත් කර තිබූ නිර්දේශ පසුගිය සැප්තැම්බර් හතරවනදා (04) යාවත්කාලීන කළ බව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් වසංගතය ස්පර්ශයෙන් හා ඛේටය මගින් ව්‍යාප්ත වුවද කිසියම් අයෙකු ජීවිතක්ෂයට පත්වූ පසු දේහය මගින් රෝගය ව්‍යාප්තවීමේ අවදානම අඩු බව අදාළ ලිපියේ සඳහන්.

ආදාහනය මගින් රෝගය බෝවීමේ අවදානම අඩු බවට මෙතෙක් කිසිදු තහවුරු කිරීමක් සිදුකර නොමැති බවද එහි දක්වා තිබෙනවා.

නේවාසික නියෝජිතවරිය සිය ලිපිය මගින් වැඩිදුරටත් පවසන්නේ තම ප්‍රජාවට අයත් දේහ ආදාහනය කිරීම මගින් සමාජයීය වශයෙන් වෙනස් කොට සැළකීමකට ලක්වන බවට මුස්ලිම් ප්‍රජාව ඇතුලු පාර්ශව කිහිපයක් අදහස් පළ කර ඇති බවයි.

මෙවැනි අවස්ථාවලදී අපහසු තීරණවලට එළඹීමට සිදුවන බවත්, පවසන එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් අවසන් වශයෙන් ඉල්ලා ඇත්තේ වත්මන් ප්‍රතිපත්ති සංශෝධනය කර අදාළ ප්‍රජාවන් වෙත සිය දේහයන් භූමදාන කිරීමට ඉඩදිය යුතු බවයි ෴

++++++++++++++++++

කොරෝනා මෘතදේහ භූමදානය නොකල යුතුයි.. ඇමති අලි සබ්රි ගැන ගැටළු තිබෙනවා..

(13.11.2020 – 21:59 +0530 – lankacnews.com)

මේ මොහොතේ ක්‍රියාත්මක වන සෞඛ්‍යය නීති රෙගුලාසි අනුව කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමදානයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

වැදගත් වන්නේ හැඟීම් නොව සත්‍ය තත්ත්වය බවද ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පිටින් ඇතැමුන් ප්‍රකාශ කිරීම කනගාටුදායක බවද සඳහන් කරන ඔහු අලි සබ්රි මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම් ගැටලු ඇතැයිද කියා සිටී.

කොරෝනා ආසාදිතය මියයන අයගේ දේහයන් ආදාහනය කරන්නේ ද භූමදානය කරන්නේ යන්න තීරණය කළ යුත්තේ කැබිනට් මණ්ඩලය නොව සෞඛ්‍ය බලධාරීන් ගෙන් යුතු කමිටුවක් විසින් බවද ඔහු සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

++++++++++++++++++

++++++++++++++++++

පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි (13-11-2020)

++++++++++++++++++

(13.11.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 198 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවූ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ ෴

*********************************************

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5 ක් – මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළට

(13.11.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 5 ක් වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් 4 දෙනෙක් සහ එක් කාන්තාවක්.

එම කාන්තාව කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක්.

නිවසේදී මියගොස් ඇති ඇයගේ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ අධික රුධිර පීඩනය දියවැඩියාව සමග කොවිඩ් 19 ආසාදනය වීමයි.

හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මියගොස් තිබෙනවා.

ඔහු කොරෝනා වෛරසය ආසාදිතයෙකු ලෙසට හඳුනාගැනීමෙන් පසු හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරුකර එවා එම රෝහලේදීයි මියගොස් ඇත්තේ.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනය හේතුවෙන් අධික රුධිර පීඩනය උත්සන්න වීම සහ මොළයට රුධිරය වහනය වීමයි.

මේ අතර රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මරණයට පත්වී තිබෙනවා.

පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කරන අවස්ථාවේදීම ඔහු මියගොස් සිටි බව සඳහන්.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ අධික රුධිර පීඩනය දියවැඩියාව සහ කොවිඩ් 19 වෛරසය ආසාදිත මෙම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳීමයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද නිවසේදී මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ කොවිඩ් 19 ආසාදනය සහිත මෙම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳීමයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් ද නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ ඇදුම රෝගය සහිත මෙම පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමයි.

ඒ අනුව මෙරට සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 53 ක් ෴

++++++++++++++++

(13.11.2020 – 20:48 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයන් 378 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (13) 11,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් 15,921 අතරින් 11,031 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ආසාදිතයන් 4,837 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.

කොරෝනා වසංගත තත්වයෙන් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයටයි.

පසුගිය ඔක්තෝම්බර් 04 වනදා සිට ඊයේ (12) දිනය දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව 4,640 ක්.

ඉන් 3,600 ඉක්මවා ආසාදිතයන් වාර්තාවන්නේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන්.

මෝදර, මට්ටක්කුලිය, මාළිගාවත්ත, මහවත්ත, ජම්පටා වීථිය යන ප්‍රදේශ කොළඹ දැඩි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙනවා.

එම ප්‍රදේශවලින් පමණක් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව දහස ඉක්මවා ඇති අතර, ජින්තුපිටිය ප්‍රදේශයෙන් පමණක් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 800 ක්.

මීට අමතරව බොරැල්ල – දෙමටගොඩ සහ වැල්ලවත්ත හා කිරුළපන ප්‍රදේශවලින්ද ආසාදිතයින් සැළකිය යුතු ප්‍රමාණයක් වාර්තාවී තිබෙනවා.

අවදානම් සහගත තත්ත්වයක් හමුවේ වුවද ජනතාව ඒ පිළිබඳව නොතකමින් කටයුතු කරන ආකාරයක් තවදුරටත් දක්නට ලැබෙන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ කරන ලද අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී පවා ආසාදිතයන් සියයට පහක් (5%) කොළඹ නගරයෙන් හඳුනාගෙන ඇති බවයි.

මේ අතර කොල්ලුපිටියේ පිහිටි තරු පහේ හෝටලයකින් ද ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.

එහි කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තම හෝටලයේ ශරීර සුවතා මධ්‍යස්ථානයට සම්බන්ධ සාමාජිකයෙකු මෙලෙස ආසාදිතයෙකු බවට ඊයේ (12) හඳුනාගැනීමත් සමඟ එම ශරීර සුවතා මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි.

මේ අතර කොළඹ මහනගර සභා සීමාවේ හුදෙකලා කර ඇති මහල් නිවාසවල පදිංචිකරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් සිදුකරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ දිගුකාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයින්, කොරෝනා ආසාදනය වීමෙන් ආරක්ෂා වීමට සහ එහි සංකූලතා වළක්වා ගැනීම සඳහා අඛණ්ඩව ඖෂධ ලබා ගත යුතු බවයි.

දීර්ඝ කාලීන බෝ නොවන රෝගයකට ඖෂධ ලබා ගන්නා බව මහල් නිවාසය භාර පොලිස් නිලධාරියාට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකාරවරයාට දැනුම් දෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.

එම අවස්ථාවේදී ඔවුන් ඖෂධ නිවසටම ගෙනවිත් දීමට කටයුතු කරන බැවින් නිවෙස්වලින් පිටතට නොයන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් කරවනැල්ල රෝහලෙන්ද අද (13) ආසාදිතයෙකු සොයාගැනුනා.

මූදුගමුව – වරාවල පදිංචි 73 හැවිරිදි අදාළ ආසාදිතයාගේ දියණියගේ ස්වාමි පුරුෂයාද ආසාදිතයෙකු බවට මීට පෙර හඳුනාගෙන තිබුණේ ඔහු සේවය කළ කටුනායක කර්මාන්තශාලාවේදියි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා සත්‍ය තත්ත්වය සඟවා වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට කරවනැල්ල රෝහලට යාම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, වෛද්‍යවරියක්ද නිරෝධායනයට යොමුකිරීමට සිදුවූ බවයි කරවනැල්ල රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී මානෙල් විමලරත්න මහත්මිය සඳහන් කළේ.

මේ අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 172 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ වරාය පරිශ්‍රයේ ගොඩගැසී ඇති බහාලුම් නිදහස් කිරීම සඳහා හෙට සහ අනිද්දා (14,15) නිවාඩු දින කෙකෙහි නිශ්කාෂන කටයුතු සිදුකිරීමට තීරණය වී තිබෙනවා ෴

+++++++++++++++++

(13.11.2020 – 22:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 270 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඔවුන් සියලුදෙනා ද මීට පෙර හමුවී ඇති ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 16191 ක්.

ඔවුන්ගෙන් 5107 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 11031 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 53 ක් ෴

===========================================

***************************************

(13.11.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

අලි – මිනිස් ගැටුම සම්බන්ධයෙන් පුවත් නිරන්තරයෙන් වාර්තා වනවා.

ඒ හේතුවෙන් වාර්ෂිකව මිය යන අලි සහ මිනිසුන් ප්‍රමාණය අතිවිශාලයි.

ගත වූ පැය 24 තුළ දී ද දිවයිනේ ස්ථාන කිහිපයකින් අලි මරණ 3 ක් සහ පුද්ගල මරණයක් වාර්තා වුණා.

පොළොන්නරුව – මැදිරිගිරිය සහ ගිරිතලේ ප්‍රදේශවල වන අලි ගම්වැදීම මේ දිනවල වැඩි වශයෙන් සිදුවන බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.

ඊයේ (12) රාත්‍රියේ ගිරිතලේ වැව ආසන්නයේ පිහිටි වෙළඳසැලකට කඩා වැදුණු වන අලියෙකු වෙළඳසැලේ තිබූ කේක් සහ බනිස් ආහාරයට ගෙන වෙළඳසැලට ද හානි කර ඇති බවයි එහි හිමිකාර කාන්තාව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මැදිරිගිරිය – අඹගස්වැව – යාය 9 ප්‍රදේශයේ ද පොල් ඇතුළු භෝග වන අලි විසින් හානි කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සෝමාවතිය රක්ෂිතයේ සිට පැමිණෙන මෙම වන අලි හේතුවෙන් තම ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවයි.

මේ අතර, වැල්ලවාය – බලහරුව – ගැමුණුපුර ප්‍රදේශයේ 62 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (12) පස්වරුවේ වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු තම වගා බිමට ගොස් නැවත පැමිණෙමින් සිටින අතරතුරයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.

එමෙන්ම, වව්නියාව – සෙට්ටිකුලම – කප්පච්චි වැව් ඉස්මත්තේ තිබී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

අවුරුදු 7 ක් පමණ වයසැති මෙම වන අලියාට විෂ ශරීර ගත කර ඝාතනය කර ඇති බවට වනජීවි නිලධාරීන් සැක පළ කරනවා.

වෙඩි තබා ඝාතනය කළ අලියෙකුගේ සිරුරක් අද (13) උදෑසන වනජීවි නිළධාරීන් විසින් සොයා ගනු ලැබුවේ පොළොන්නරුව – ගල්ලෑල්ල – කොටලිය ඇල රක්ෂිතයේ වෙල් යායක තිබීයදියි.

බූන්දල – විල්මැන්න අභයභූමියේ ද තිබී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

අවුරුදු 12 ත්, 15 ත් අතර වයසේ පසුවන මෙම අලියා මිය ගොස් ඇත්තේ හක්කපටස් ආහාරයට ගැනීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇති බව සඳහන් ෴

***************************************

(13.11.2020 – 20:07 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බලය පිහිට වූ හලාවත නගර සභාවේ මේ වසරට අදාළ අයවැය වැඩි ඡන්ද හතකින් (7) අද (13) පරාජයට පත්වුණා.

අයවැයට විරුද්ධව ඡන්ද 13 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 6 ක් පමණයි.

අද (13) හලාවත නගර සභාවට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබූ අතර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර ආධාරකරුවන් සමඟ එහි පැමිණ සිටීමද විශේෂත්වයක්.

මන්ත්‍රීවරුන් විසිදෙනෙකුගෙන් (20) සමන්විත හලාවත නගර සභාව, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු (7), ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හයදෙනෙකු (6) බැගින් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු (1) ගෙන් සමන්විතයි.

අද (13) දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු බන්ධනාගාර බස් රථයකින් සභාවට රැගෙන ආ අතර, ඊට මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළවී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුව සභාවේ වෙනම ස්ථානයක රඳවා තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

නගර සභාවේ බලය පිහිටුවීමට සහය දුන් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හයදෙනාම (6) පොදුජන පෙරමුණ සමඟ එක්ව අයවැය පරාජය කිරීමට ඡන්දය ලබාදුන් අතර, ඊට නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද එක්වුණා.

එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබෙනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඡන්දය විමසන අවස්ථාවේ පැමිණ සිටියේ නැහැ.

ඊයේ (12) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අම්පාර නගර සභාව, හල්දුම්මුල්ල සහ ජාඇල ප්‍රාදේශීය සභාවල අයවැය ද පරාජයට පත්වුණා ෴

***************************************

(13.11.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ වැලිකඩ හා මැගසින් බන්ධනාගාරවල සිට පාර්ලිමේන්තුව වෙත රැගෙන එන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැදවීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, අද (13) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත්තේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවවලදී දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ඔවුන්ව පාර්ලිමේන්තුවට රැගෙන ඒමටයි.

ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද (13) පැවති කල් තැබීමේ විවාදයට දැනට බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙනවිත් තිබුණේ නැහැ.

***************************************

(13.11.2020 – 20:58 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ මුල් මාස 10 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී දඩ ලෙස රුපියල් මිලියන 129 ක් අය කරගෙන තිබෙනවා.

මෙම කාලය තුළ වැටලීම් 32,826 ක් සිදුකර සැකකරුවන් 32,789 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 3297 ක් කාන්තාවන් වීම විශේෂත්වයක්.

ප්‍රසිද්ධ හා ජනාකීර්ණ ස්ථානවල දුම්පානය කිරීමේදී වැටලීම් 281 ක් මෙන්ම හෙරොයින් සන්තකයේ තබා ගැනීම, විකිණීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වැටලීම් 1542 ක් ද සිදුකර තිබෙනවා ෴

*********************************************

හිස්බුල්ලා ගේ හිරා පදනම ගැන කොමිසමේ දී හෙළි වූ කරුණු

(13.11.2020 – 20:08 +0530 – sinhala.adaderana.lk)

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතාට අයත් ‘හිරා පදනම’ මෙරට තුළ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස නෛතිකව නිසි පරිදි ලියාපදිංචි කර නොමැති බව ජනාධිපති කොමිසමේදි අද (13) අනාවරණය වුණි.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මේ පිළිබඳ අනාවරණය කළ අතර එම අනාවරණය සිදුකරන අවස්ථාවේ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ද ජනාධිපති කොමිසම් සභා පරිශ්‍රයේ රැඳීසිටිම විශේෂත්වයකි.

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කටයුතු පසුගිය 27 වනදා තාවකාලිකව අත්හිටවූ අතර අද (13) යළි කොමිසමේ කටයුතු ආරම්භ කෙරුණේ සෞඛ්‍ය ආරක්ෂක නිර්දේශයන්ට අනුකූලවය.

ඒ අනුව, මෙපමණ කල් කොමිසම් සභා පරිශ්‍රය තුළ වාර්තාකරණයේ නිරතවූ මාධ්‍යවේදින්ට අද (13) දින කොමිසම් සභා පරිශ්‍රයෙන් පිටත රැඳී සිටිමින් වාර්තාකරණයේ නියලීමට කටයුතු සලසා තිබුණි.

නැගෙනහිර පළාත් හිටපු අණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතාට අයත් සමාජ සේවා සවිධානයක් ලෙස හැදින්වෙන ප්‍රශ්නගත ‘හිරා පදනම’ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම අද (13) දින සාක්ෂි විමසනු ලැබු අතර එයට සවන්දීම සඳහා නැගෙනහිර පළාත් හිටපු අණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතාද අද (13) දිනයේ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබුණි.

එහිදි කොමිසම හමුවේ පළමුව සාක්ෂි ලබාදෙමින් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරි දම්මික වාසලබණ්ඩාර මහතා කියා සිටියේ ‘හිරා පදනම’ 1993.09.09 දින සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ ඇති ගොනුවක සඳහන්ව ඇති බවය.

කෙසේ වෙතත් අදාළ කාලසීමාව තුළ ලියාපදිංචි කර ඇති තවත් සමාජ සේවා සංවිධාන කිහිපයක ලියාපදිංචි අංක සහ ‘හිරා පදනම’ ලියාපදිංචි කර ඇති අංකය අතර අසාමාන්‍ය වෙනසක් තමාට දකින්නට ඇති බවද සමාජ සේවා නිලධාරියා සඳහන් කළේය.

එසේම ලියාපදිංචි වූ බවට ‘හිරා පදනම’ සතුව ඇති සහතිකයේ එය පිහිටි ස්ථානය ලෙස යොදා ඇති ලිපිනයත්, සමාජ සේවා දේපාර්තමේන්තුවේ ‘හිරා පදනම’ පිහිටි ස්ථානය ලෙස දක්වා ඇති ලිපිනයත්, එකිනෙකට වෙනස් බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේය.

මෙහිදි රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ ‘හිරා පදනම’ සමාජ සේවා සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට එම සංවිධානය යොමුකළ අයැඳුම්පතක් සමාජ සේවා දෙපාර්තමේන්තුව සතුව පවතින්නේද යන්නය.

එයට පිළිතුරුදෙමින් සමාජ සේවා නිලධාරියා සඳහන් කළේ, එවැනි ලේඛනයක් තම දෙපාර්තමේන්තුව සතුව නොමැති අතර ‘හිරා පදනම’ ලියාපදිංචි වුවායැයි සඳහන් වෙනත් කිසිදු ගොනුවක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවය.

කෙසේ වෙතත් 2011 වර්ෂය වන විට රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ බලය සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහලේකම් කාර්යාලයට ලබාදුන් අවස්ථාවේ පෙර ලියාපදිංචි කර තිබු සියලු රාජ්‍ය නොවන සංවිධාන යළි එම කාර්යාලය යටතේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් පැනනැගුණු බව නිලධාරියා පැහැදිලි කළේය.

එසේ පැවතියද ‘හිරා සංවිධානය’ පෙර ලියාපදිංචිය සහතික කරගැනීම සඳහා 2011.07.21 දින සමාජ සේවා දෙපාර්තමේන්තුවට යළි ඉල්ලීමක් කර ඇති බවත් තම දෙපාර්තමේන්තුවට රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය පිළිබඳ බලයක් නොතිබු එම අවස්ථාවේ එච්. එම්. එම්. සමීර් නම් අතිරේක අධ්‍යක්ෂවරයෙකු විසින් පෙර ලියාපදිංචිය සහතික කිරීමේ සහතිකයක් නිකුත් කර තිබු බව සමාජ සේවා නිලධාරියා පැහදිලි කළේය.

ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවුයේ එච්. එම්. එම්. සමීර් නම් එකි අතිරේක අධ්‍යක්ෂවරයාවය.

එහිදි ජනාධිපති කොමිසම කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කියා සිටියේ අදාළ අවස්ථාවේ තමන් පෙර ලියාපදිංචිය පිළිබඳ විධිමත් සොයාබැලීමක් සිදුනොකර ලියාපදිංචිය සහතික කිරීමේ පිටපතක් නිකුත් කිරීම නොකළ යුතුව පැවති බවය.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ එම සහතිකය නිකුත් කරන අවස්ථාව වන විට ඔබ එකි සමයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාව දැන සිටියේද යන්නය.

එයට පිළිතුරුදෙමින් සාක්ෂිකරු කියා සිටියේ එකි සහතිකය නිකුත් කරන අවස්ථාව වන විට තමන් හිස්බුල්ලා අමාත්‍යවරයාව නොදැන සිටි අතර පසුව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වු පසු මුස්ලිම් දේශපාලනඥයින් සමග සබඳතා පැවැත්වු බවය.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි විමසා සිටියේ කුමන කටයුතුවලදී ඔබ එම මුස්ලිම් දේශපාලනඥයින් සමග සම්බන්ධ වුනේද යන්නය.

මුස්ලිම් පල්ලි ලියාපදිංචිකර ගැනීම සඳහා සියලුම මුස්ලිම් දේශපාලනඥයින් ඉල්ලීම් සිදුකළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේය.

එහිදි සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළේ මුස්ලිම් පල්ලි ලියාපදිංචි කර ගැනීමට බලපෑම් කිරීමට මුස්ලිම් අමාත්‍යවරුන්ට මැදිහත්වීමක් කළ නොහැකි නෛතික රාමුවක් තුළ ඔවුන් එවැනි කටයුත්තක් සිදු කරන්නේ කෙසේද යන්නය.

එයට පිළිතුරුදෙමින් සාක්ෂිකරු කියා සිටියේ එවැනිම කිසිදු නෛතික බලයක් නොමැති වුවද සෑම මුස්ලීම් දේශපාලනඥයෙක්ම පාහේ මුස්ලීම් පල්ලි ලියාපදිංචි කර ගැනීම සදහා මැදිහත්වීම් සිදුකළ බවය.

***************************************

විශ්ව ශක්ති මුට්ටි ගගට දැමූ දින සිට කොරෝනා මරණ, රෝගීන් වැඩි වෙලා.. ඒලියන්ත වයිට් අපි එක්ක සින්දු කිව්ව ජම්බුගස්මුල්ලේ ඉමේෂ් රංගන..

(13.11.2020 – 15:00 +0530 – lankacnews.com)

ඒලියන්ත වයිට්ගේ විශ්ව ශක්ති මුට්ටි ගංගාවලට දැමූ දිනයේ පටන් කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා මරණ ඉහළ යමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කළේය.

ඒලියන්ත වයිට් හිමාලයේ සිට පැමිණි බව කියුවද සත්‍ය වශායෙන්ම ඔහු කලකට පෙර වේදිකාවල සිංදු කියූ ඉමේෂ් රංගන නම් ජම්බුගස්මුල්ලේ අයෙක් බවද කියා සිටියේය.

වෛද්‍ය විශේෂඥයන්ගේ මතය නොතකා ආණ්ඩුව මෙවන් මිත්‍යා මත පසුපස පසුපස යන්නේ කුමක් නිසා දැයි ඔහු ප‍්‍රශ්න කලේය.

අද (13) පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

***************************************

මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර පූජා භූමියක් ලෙස නම් කර බලපත්‍රය ලබා දීමට අගමැති මහින්ද ගෙන් උපදෙස්

(13.11.2020 – colombotoday.com)

ඵෙතිහාසික මුහුදු මහා විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අගමැතිවරයා මෙලෙස උපදෙස් දුන්නේ අම්පාර, පොතුවිල්හි පිහිටි එම විහාරස්ථානයේ පෙරේදා (11 වැනිදා) කළ නිරීක්ෂණ චාරිකාවේදී ය. විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය වරකාපොළ ඉන්දසිරි නාහිමි, අක්කරේපත්තුව ශ්‍රී විජයරාමාධිපති පූජ්‍ය දේවගොඩ සෝරත හිමි, බෞද්ධයා නාළිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ. විහාරස්ථානයට අයත් භූමිය අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම පිළිබඳව පසුගිය ආණ්ඩු සමයේ විශාල ආන්දෝලනයක් පැවතිණි.

එම ගැටලු නිරාකරණය කරමින් මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර එය පූජා භූමියක් ලෙස නම් කර ඊට අදාළ බලපත්‍රය ලබා දීමට අගමැති හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබා දුන් බව මෙම අවස්ථාවට එක් වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා කියා සිටි‍යේය. එමෙන්ම මෙම භූමිය ආරක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම යටතේ නාවික හමුදා අනු කණ්ඩයක් පිහිටුවීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කටයුතු කර තිබේ.

ඵෙතිහාසික මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක භූමිය ආරක්ෂා කර දෙන ලෙසත්, නැගෙනහිර පළාතේ හඳුනා නොගත් පුරා විද්‍යා ප්‍රදේශ ආරක්ෂා කර දෙන ලෙසත්, මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය වරකාපොළ ඉන්දසිරි නාහිමියෝ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2003 වර්ෂයේ මුල්ගල තැබූ ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්දසිරි නාහිමියෝ අග්‍රාමාත්‍යවරයාට දැන්වූහ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, අම්පාර දිස්ත්‍රික් ලේකම් එන්.එල්. ඩබ්ලිව් බණ්ඩාරනායක මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එක්ව සිටියහ.

මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව සංචාරක පුරවරයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ වෙරළ ඛාදනය වන ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා ද අග්‍රාමාත්‍යවරයා එක් විය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *