ඇමරිකාවේ මිනිස්සු දැන් කෑමට ගන්නෙ ලංකාවේ සාම්ප‍්‍රදායික ආහාර වර්ග… – පූජ්‍ය වල්පොල පියනන්ද හිමි

ඇමරිකාවේ මිනිස්සු දැන් කෑමට ගන්නෙ ලංකාවේ සාම්ප‍්‍රදායික ආහාර වර්ග… – පූජ්‍ය වල්පොල පියනන්ද හිමි

දේශපාලකයන්ගේ එක පෑන් පහරින් වනාන්තර සහ පුරා විද්‍යා බිම් අක්කර ලක්ෂ 12 ක් අනතුරේ – විශේෂ හෙළිදරව්ව

බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුගල වනෝද්‍යානයට කඩා පනී. මායිම් ගල් ගලවා දමා මහා වන සංහාරයකට අර අඳියි

කොරෝනා මුස්ලිම් මරණ භුමිදානය කරන්නේනම් එයට රාජපක්ෂ පවුලේ සුසාන භුමිය යොදා ගන්න

*********************************************

ඇමරිකාවේ මිනිස්සු දැන් කෑමට ගන්නෙ ලංකාවේ සාම්ප‍්‍රදායික ආහාර වර්ග… – පූජ්‍ය වල්පොල පියනන්ද හිමි

(08.11.2020 – divaina.com)

  • කොරෝනා වෛරසයෙන් බේරී සිටීමට ඇමරිකන් ජාතිකයන් රතන සූත‍්‍රයත් අහනවා…
  • තායිලන්තයේ කොරෝනා වසංගතය පාලනය වෙලා තියෙන්නේ විනය නිසා…

කොරෝනා වසංගතයේ පැතිර යෑමත් සමඟ මේ වන විට ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රම ගැන ලෝකය පුරා අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ. ඇමරිකාවේ මැනිසෝඩා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ලින් ග්‍රෙසාන් පවසා සිටින්නේ කොරෝනා වෛරසයෙන් බේරීමට දුම් ඇල්ලීම කළ යුතු බවයි. ‘දුම්’ ඇල්ලීමෙන් උගුර හා පෙනහලු පවිත‍්‍ර වන බවත් ඇය පවසන්නීය. එමෙන්ම දුම් ඇල්ලීමට ගත යුතු බෙහෙත් ඖෂධ අතරට මින්කොළ, මදුරුතලා කොළ අනිවාර්යෙන්ම එකතු කර ගත යුතු බවත් ලින් මහාචාර්යවරිය අවධාරණය කරන්නීය. එම ඖෂධීය ශාක පත‍්‍ර තුළ විෂ නැසීමේ හැකියාව මෙන්ම වෛරසය විනාශ කිරීමේ ශක්තිය ද ඇති බව ඇය පවසා සිටී. ඇමරිකාව ඇතුළු ලෝකයේ විවිධ රටවලදී කොරෝනා වෛරසයෙන් බේරී සිටීමට මිනිසුන් ආයුර්වේදයේ පිහිට පැතීමට පෙළඹී සිටින ආකාරය තවදුරටත් විමසා බැලීමට ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය වල්පොල පියනන්ද නායක හාමුදුරුවන්ට අපි කතා කළෙමු. මේ පෙළගැසෙන්නේ ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ අප සමග දැක්වූ අදහස්ය.

“ඇමෙරිකාවේ මිනිස්සු මදුරුතලා කොළ සම්බෝල හදලා කනවා. කහ කුඩු දිය කරලා බොනවා. මේ වෙනකොට ගොටුකොළ, මුකුණුවැන්න ඇතුළු විවිධ පලා වර්ගවලට වගේම මුරුංගා කොළවලට ඇමරිකාව පුරා ඉහළ ඉල්ලුමක් හැදිලා තියෙනවා. අපේ රටේ මිනිස්සු පැත්තකට කරලා තියෙන පලා වර්ග යුරෝපයේ මිනිස්සු පෝෂ්‍යදායක ආහාර වේලක් විදිහට කෑම මේසයට එකතු කර ගන්නවා…”

“අපිට හිතවත් ඇමරිකන් ජාතිකයන්ට රතන සූත‍්‍රයේ නිධාන කතාව කියා දීලා දවස ගාණෙ ශ‍්‍රවණය කරන්න කිව්වාම හරිම කැමැත්තෙන් අහනවා. ඒ අයගේ දැනුවත් කිරීමෙන් තව, තවත් ඇමරිකන් ජාතිකයන් අන්තර්ජාලය හරහා අපි සමඟ සම්බන්ධ වෙලා රතන සූත‍්‍රය, ඇතුළු පිරිත් දේශනාවලට සවන් දීමට පුරුදු වෙමින් සිටිනවා. හැමදාම හිමිදිරියේ අපි වැඩ ආරම්භ කරන්නෙ රතන සූත‍්‍රය සජ්ඣායානා කරලා. රාති‍්‍රයට සැතපෙන්න යන්නෙත් පිරිත් සජ්ඣායානා කරලා ත‍්‍රිවිධ රත්නයේ පිහිට ප‍්‍රාර්ථනා කරලා. කොරෝනා පුරවරයක ඉන්න අපි මේ වසංගතයෙන් බේරිලා ඉන්නෙ ති‍්‍රවිධ රත්නයේ බලයෙන්ම කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා…”

“අපේ ශ‍්‍රී ලාංකික දායකයොත් දවස ආරම්භ කරන්නෙත්, අවසාන කරන්නෙත් රතන සූත‍්‍රය ශ‍්‍රවණය කරලා. ඇමරිකාව පුරා කොරෝනා ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන දැන් මාස ගාණක් වෙනවා. අපේ දායකයොත් කොරෝනා වසංගතයෙන් තවම වැළකිලා ඉන්නවා. ඒ වගේම දැන් මට අවුරුදු හැත්තෑහතක් වෙනවා. කාලයක ඉඳලා මමත් උදේට කහ දියර හැන්දක් බොනවා. අපේ පන්සලේ පලා වර්ග, එළවළු වර්ග අපි වගා කරගෙන තියෙනවා. ගොටුකොළ, මුකුණුවැන්න, කරවිල, බණ්ඩක්කා, වම්බෝටු, තක්කාලි, මුරුංගා, කරපිංචා, අක්කපාන වැනි බෙහෙත් වර්ගත් කිහිපයක්ම වගා කරලා තියෙනවා. මේ කැලිෆෝනියා පළාතේ කොස් ගහක් දකින්නවත් නෑ. කොස් ගස් හැදෙන්නෙ නෑ කියනවා. ඒත් අපේ පන්සලේ කොස් පැළයක් හිටවලා දැන් හොඳට ගෙඩිත් හැදිලා තියෙනවා. පැෂන් ෆෘට්, දෙලුම් හිටවලා තියෙනවා. අපි මේ සියලු බෝගවල ඵල භුක්ති විඳිනවා. අපේ දාන වේලට අනිවාර්යෙන්ම පන්සල් වත්ත කොරටුවේ එළවළු, පලා වර්ග එකතු කර ගන්නවා. වස විෂ රහිත කෑම පරිභෝජනයට හුරුවී සිටීමත් කොරෝනා වෛරසයෙන් බේරී සිටීමට පිටිවහලක් වෙලා තියෙන බවත් අපි විශ්වාස කරනවා…”

“මේ ආහාර පුරුදු ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ මිනිසාට විසඳාගැනීමට ඇති පළවෙනි දේ ආහාරය බවත්, මිනිසාට තිබෙන පළවෙනි රෝගය බඩගින්න බවත්ය. ඒ වගේම සංඝ සංස්ථාව ආරක්‍ෂා කිරීම පිණිස තම ශ‍්‍රාවකයන්ගේ ආහාර, සෞඛ්‍ය, නිවාස, අධ්‍යාපන ආදී සෑම අංශයක් ගැනම සිත් යොමු කළ බුදුරජාණන් වහන්සේ ශ‍්‍රාවකයන්ගේ සෞඛ්‍ය ගැන විශේෂයෙන් උනන්දු වුණා. ඒ වගේම ත‍්‍රිපිටකයේ වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම රැසක් අන්තර්ගත කර තියෙනවා. විනය පිටකයේ භෙසජ්ජකන්‍ධකයේ ඒ පිළිබඳ විස්තර කරලා තියෙනවා. ගිතෙල්, තලතෙල්, වෙඬරු, මී පැණි, උක් හකුරු, රෝගවලට භාවිතා කළ හැකි අයුරු පෙන්වා දෙනවා. කහ, කටුකරෝසන, වසුන්දරා, කලාඳුරු යනාදීය ගිලන් වූ භික්‍ෂූන්ට නිර්දේශකොට තියෙනවා. කොහොඹ කොළ ඉස්ම, පෙරුම්කායම් ඇතැම් රෝගවලට නිර්දේශ කර තියෙනවා. ‘පිලින්දවච්ඡ හිමියන්ගේ හිසරදය සුවපත් කිරීමට හිසට තෙල් ගැල්වීමට නියමකොට තියෙනවා…”

“ස්වේදනය නමින් විනය පොතේ සඳහන් වෙන්නේ කොළ වර්ග තම්බා එහි වාෂ්ප අල්ලා (නස්නය කොට) දහඩිය පිටකර යුතු බවයි. අද ආයුර්වේද ක‍්‍රමය අනුව දුම් ඇල්ලීමෙන් කරන්නෙත් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප‍්‍රතිකාර ක‍්‍රමයක්. ඒ වගේම කැඳ වර්ග ලබාදීමෙන් බොහෝ ලෙඩ රෝග අඩු කරගත හැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බටහිර වෛද්‍ය ක‍්‍රමයේ පියා ලෙස සැලකෙන ග‍්‍රීක් ජාතික හිපොක‍්‍රටීස් කීවේ ‘Food is medicine and medicine is food’ (කෑම තමා බෙහෙත්. බෙහෙත් තමා කෑම). අවාසනාවකට නූතන වෛද්‍යවරු ලෙඩට බෙහෙත් දුන්නට ආහාරයට ගත යුතු කෑම හා ආහාරයට නොගත යුතු කෑම ගැන අවබෝධ කර දෙන බවක් පේන්න නෑ. ඒ වගේම කොරෝනා වෛරසයෙන් බොහෝ විට මියැදෙන්නෙ බෝ නොවන රෝග වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘදයාබාධ, වකුගඩු ආබාධ වැනි රෝගවලට ගොදුරු වී සිටින අය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. එහෙම නම් මුළුමහත් ලෝකය පුරාම ව්‍යාප්තව ඇති දරුණු වසංගතය පාඩමක් කරගෙන, සොබාදහම විසින් අපට දී ඇති ගහ කොළ, පැලෑටි, පලා වර්ග අනුභව කරමින් ශරීරයේ ඇති වන රෝග හා විෂ නැසීමට ලේවල පවත්නා ද්‍රව්‍ය කොටස් වර්ධනය කරගත යුතුයි. තායිලන්තය, කොරියාව වැනි රටවල් එම පාඩම කල්තියාම අවබෝධ කරගෙන සිටියා…”

“ශ‍්‍රී ලංකාවට වඩා හත් ගුණයකින් විශාල, අපේ රටට වඩා සිව් ගුණයකින් ජනගහනය ඇති, කාම්බෝජය – ලා ඕසය – බුරුමය – මැලේසියාව වැනි රටවලට මායිම් වෙලා තියෙන තායිලන්තය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යහපත් විදිහට පාලනය කරගෙන තියෙනවා. තායිලන්තයෙන් දැනට වාර්තා වී ඇත්තේ රෝගීන් එකසිය තිහක් (130) පමණයි. තායිලන්තයේ කොරෝනා වෛරසය පාලනය වීමට ප‍්‍රධාන හේතුව වී තිබෙන්නේ බුදුදහමේ පෙන්නුම් කර ඇති ‘සංවරය’ ට මුල්තැන දීම බව තායිලන්තයේ ඉතා ප‍්‍රසිද්ධ හිමිනමක් වන සමාහිතෝ හිමි පවසා සිටිනවා. ඒ වගේම තායිලන්ත ජනතාව පැරැණි සාම්ප‍්‍රදායික ආහාර අනුභව කිරීම තුළින් බෝ නොවන රෝග වැළඳීම ඉතා හොඳින් පාලනය කරගෙන තියෙනවා. ලෝකය පුරා කොරෝනා වසංගතය පැතිර යන මේ කාලයේදීත් ශරීරගත විෂබීජයන් හරණය කිරීමට තායිලන්ත වැසියන් දිනපතා අමු පැපොල් (ගස්ලබු) සම්බෝල හදලා කෑමට ගන්නා බව ආහාර පිළිබඳ විශේෂඥයෙක් වන මහාචාර්ය කරයිසිං මහතා පවසනවා. ඒ වගේම පැපොල් ගැන පරීක්‍ෂණ කළ මෙලිටා ෆර්නෑන්ඩස් පවසා සිටින්නේ අමු පැපොල්වල ලෙඩ සුව කිරීමේ ගුණ හතක් ඇති බවයි. විශේෂයෙන්ම ශරීරගතව ඇති විෂ විනාශ වන බව ඇය පවසනවා. තායිලන්තයේ නිවිති පරිභෝජනය ඉතා වැඩියි. නිවිති ආහාරයට ගැනීමෙන් සිරුරට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ඒ වගේම තායිලන්ත ජනතාව වගේම, කොරියානු ජනතාව පලා වර්ග, කොළ වර්ග බහුල වශයෙන් ආහාරයට ගන්නෙ අමුවෙන්. එහෙම අනුභව කරනකොට එම ආහාරවල තියෙන සියලු පෝෂ්‍යදායි කොටස් ශරීරගත වෙනවා…”

“ආහාර පිළිබඳ විශේෂඥයන් සඳහන් කරන ආකාරයට ගොටුකොළ ධාරණ ශක්තිය වඩවන, සෙම නසන ඖෂධයක්. ගොටුකොළ ‘ටැබ්ලට්’ හදලා ඇමෙරිකාවේ විකිණීමට තියෙනවා. තෙබු පරිභෝජනය කිරීමෙන් දියවැඩියාව සමනය කරගන්න පුළුවන් බව බටහිර වෛද්‍යවරුත් ප‍්‍රසිද්ධියේ කියනවා. මුගුණුවැන්න මැල්ලුම, කැඳ සාදා බීම ඇස්වලට ගුණ බවත්, පීනස නැති වෙන බවත් ආහාර පිළිබඳ විශේෂඥ මතයයි. මුරුංගා කොළ පිළිබඳ පරීක්‍ෂණ කර ඇති විද්‍යාඥයන් පවසන්නෙ විටමින් ඒ, සී මෙන්ම කැල්සියම් මුරුංගා කොළවල ඇති බවයි. කිරි කෝප්ප අටකින් ලැබෙන ශක්තිය මුරුංගා කොළ යුෂ කෝප්පයකින් ලැබෙන බව ආහාර පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි. ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැක‍්‍රමැන්තොවල අක්කර දසදහස් ගණන් මුරුංගා වගා කර කොළ අඹරා පැකට්කොට වෙළෙඳපොළේ විකිණීමට තබා තිබෙනවා. ඒ වගේම මුරුංගා කොළ ‘ටැබ්ලට්’ වෙළෙඳපොළේ තියෙනවා. දිනපතා උදේට අපිත් මුරුංගා ‘ටැබ්ලට්’ දෙකක් ගන්නවා. පානයක් වගේ බීමට මුරුංගා කොළ තේ කොළ වගේ සකස් කරලා වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. විටමින් හා ඛනිජ මෙන්ම ප‍්‍රතිඔක්සිකාරක ගුණයෙන් සපිරි මුරුංගා කොළවලින් නිපදවන බීම වර්ග, කෑම වර්ග ඇමෙරිකාවේ සෞඛ්‍ය ගැන උනන්දුවක් දක්වන පුද්ගලයන් බහුල ලෙස පරිභෝජනය කරනවා. බතල අලවල ද ප‍්‍රතිඔක්සිකාරක ගුණය ඇති බවත් රෝග වළක්වන ප‍්‍රතිශක්තිකරණය ඇති බවත් ආහාර පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි. ඒ වගේම ඉඟුරු, කහ, සුදුලූනු හා සූරියකාන්ත ඇට ශරීරයට අත්‍යවශ්‍ය ගුණදායක ආහාර. සූරියකාන්ත ඇටවල විටමින් ඊ ඇති අතර එහිදී රෝග වළක්වන ප‍්‍රතිශක්තිකරණය තියෙනවා. කහවලින් හදපු ‘ටැබ්ලට්’ ඇමෙරිකාවේ වෙළෙඳපොළේ තියෙනවා. සමහර දවසට උදේට අපිත් කහ ‘ටැබ්ලට්’ එකක් ගන්නවා…”

“ලංකාව මේ ආහාරවල උපත. ඒත් අපේ ජනතාව අතරින් ගස්ලබු සම්බෝල කන්නෙ කීයෙන් කී දෙනාද? ගමේ ගෙවල්වල ගස්ලබු ගස්වල ඉඳිලා කුණු වෙලා යනවා. උදේකට අම්මලා දරුවන්ට කොළ කැඳ පොවන්න කොච්චර මහන්සි වෙනවද? වියළි කලාපයේ මුරුංගා ගස් වියළිලා යනවා. කරලක් කඩාගෙන කෑවත් අපේ මිනිස්සු කොළ කන්නෙ නෑ. ඒකට ප‍්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ මේ ආහාරවල පෝෂ්‍යදායි ගුණය සමාජගත කරලා නැතිකම. ඒ නිසා අලුත් පරම්පරාව ඒ ආහාර පැත්තකට දාලා බටහිරින් එන විෂ ආහාර කෑම මේසයට එකතු කර ගන්නවා. බටහිර රටවල මිනිස්සු මුරුංගා, ගොටුකොළ, තෙබු, මුගුණුවැන්න, නිවිති එකී නොකී පලා වර්ග ආහාරයට ගෙන නිරෝගීමත්ව ජීවිත ගත කිරීමට හුරු පුරුදු වෙමින් ඉන්නවා. මේ වන විට ඇමරිකාවේ සීනි පරිභෝජනය ඉතාම අවම මට්ටමක පවතින්නේ…”

“මේ වන විට රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ ඒ රෝගීන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ ජීවිතය ගැන බියෙන්. දැන් මේ පැතිර යන කොරෝනා වසංගතය පාඩමක් කරගෙන ශරීරයේ විෂබීජහරණ, පෝෂ්‍යදායි ආහාර රටාවකට තම දරුවන් හුරු කරන්න දෙමව්පියන් කටයුතු කරන්න ඕනෑ. ඒ වගේම බුදුරජානන්වහන්සේට ගෞරව කරන අපේ මිනිසුන් උදේ, සවස රතන සූත‍්‍රය ශ‍්‍රවණය කර ත‍්‍රිවිධ රත්නයේ පිහිට පැතීමට අමතක නොකල යුතුයි. අපේ රටට ත‍්‍රිවිධ රත්නයේ පිහිට තියෙනවා. ඒක අපිට විශ්වාසයි. තව දින කිහිපයක් ගත වෙනකොට මේ වසංගත තත්ත්වය පාලනය වෙලා යනවා…”

ඇමරිකාව වැනි කොරෝනා පුරවරයක ජීවත් වෙමින් උපන් දේශයේ ආරක්‍ෂාවට ත‍්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ප‍්‍රාර්ථනා කරන පූජ්‍ය වල්පොල පියනන්ද අපේ හාමුදුරුවන්ට ශ‍්‍රී ලාංකිකයන් විදිහට අප පින් අනුමෝදනය කළ යුතුය.

එමෙන්ම පැරැණි සාම්ප‍්‍රදායික ආහාර රටාවට හුරුවීමටත්, තම දරුවන් සිංහල ජීවන රටාවට හුරුකරවීමටත් මේ හුදෙකලා විරාමය ප‍්‍රයෝජනවත් එකක් බවට පත් කරගැනීමට සියලු රටවැසියන් සිහි තබාගත යුතුය. කොරෝනා වසංගතයෙන් පසු නැවත පැමිණෙන වසංගත තත්ත්වයන්ට හෝ ශක්තිමත් හෙළ ජාතියක් ලෙස මුහුණදීමට යහපත් සෞඛ්‍ය රටාවකින් රට සන්නද්ධ කිරීමට බලධාරීන් ද කටයුතු කළ යුතුයි. කොරෝනා වසංගතයට මුහුණදී සිටින මේ මොහොතේ සිංහල වෙදකම සහ හෙදකමට මූලිකත්වය ලබාදී කොරෝනා වෛරසය සමඟ සටන් වැදීමට ජාතියක් හැටියට අත්වැල් බැඳගන්නයි මතක් කරමින් අපි මේ සටහනට තිත තබන්නෙමු…

තරංග රත්නවීර

*********************************************

දේශපාලකයන්ගේ එක පෑන් පහරින් වනාන්තර සහ පුරා විද්‍යා බිම් අක්කර ලක්ෂ 12 ක් අනතුරේ – විශේෂ හෙළිදරව්ව

(14.11.2020 – 05:39 +0530 – lankaleadnews.com)

වන සාංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන ජීවී සාංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරුණු වනාන්තර පද්ධති ආරක්ෂා කිරීම ඉලක්කය වූ 5/2001 චක්‍රයේඛය, පසුගිය දා නිකුත් වූ 01/2020 චක්‍රයේඛය හරහා අහෝසි කිරීම හේතුවෙන් පුරාවිද‍්‍යා බිම් සහ වනාන්තර බිම් අක්කර ලක්ෂ 12 ක් අනතුරට හෙළා ඇති බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි.

පුවත්පත් නිවේදනයක් යොමු කරමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ එම චක්‍රෙල්ඛය හේතුවෙන් දේශපාලකයන්ගේ හෝ නිලධාරීන්ගේ එක පෑන් පහරකින් එම පුරාවිද්‍යාබිම් විනාශයට පත් කිරීමට හැකි තත්වයක් නිර්මාණය වී ඇති බවය.

සම්පූර්ණ නිවේදනය පහතින් :

PNF Press Release 12.11.2020 by Prasad Nilanka

***************************************

නිශාන්ත සිල්වා රටින් පනින බව, මුළු සීඅයිඩීයම කල්තියාම දැනගෙන ඉඳලා

(14.11.2020 – 10:31 +0530 – lankaleadnews.com)

රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා තම යතුරුපැදිය සහ පිස්තෝලය කල්තියා භාර දී විදේශගත වන බව මුළු රහස් පොලිසියේම නිලධාරීන් දැන සිටි බව රජයට හෙළි වී ඇත.

ඔහු සහ පවුලේ අය කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ එහි සිටි රහස් පොලිස් නිලධාරීන් ගුවන්ගත වීමට ඉඩ දී තිබේ.

ආරක්‍ෂක ලේකම් සහ පොලිස්පතිගේ අවසරයකින් තොරව නිශාන්ත සිල්වා විදේශගත වී ඇති අතර ඔහු ස්විට්සර්ලන්තයට යන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකු (2) ද දැන සිටි බව අනාවරණය වී ඇත.

මේ අතර නිශාන්ත සිල්වා මෙරටට එවන ලෙස ශී‍්‍ර ලංකා රජය කළ ඉල්ලීමට ස්විස් රජය මේ දක්වාම ප‍්‍රතිචාර දක්වා නැත. ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසුවේ නිශාන්ත සිල්වා පිටුවහල් කිරීමෙන් වළකින ලෙස මානව හිමිකම් කවුන්සිලය ස්විස් රජයෙන් ඉල්ලා ඇති බවයි ෴

*********************************************

බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුගල වනෝද්‍යානයට කඩා පනී. මායිම් ගල් ගලවා දමා මහා වන සංහාරයකට අර අඳියි

(14.11.2020 – colombotoday.com)

ලාහුගල ජාතික වනෝද්‍යානයේ සීමා සටහන් කරමින් වනජීවී දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කර තිබු මායිම් ගල් ඉවත් කර වනෝද්‍යානයේ සීමා සටහන් කිරීමට විරුද්ධ වෙමින් ජාතික වනෝද්‍යානයක් තුල අනවසර ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම් මුශාරෆ් නැමැත්තා තම ආධාර කරුවන් ද සමග වනෝද්‍යානය තුලට කඩා පැන තිබෙනවා.

මෙම සිදුවීම ඔහු විසින් වීඩියෝ ගතකර අන්තර්ජාලයට එක් කර තිබෙන්නේ තමා නීතියට වඩා ඉහලින් සිටින්නෙකු පරිද්දෙනි. ජාතික වනෝද්‍යානයක සීමා මායිම් බලහත්කාරයෙන් ගලවා දමා තමන්ගෙ හිතුමනාපයට ඒවා ගොවීන්ට ලබා දීමට මොහුට බලය දුන්නේ කවුරුන්ද? වනජීවී දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ගෙ රාජකාරියට බාදා කිරීම, ජාතික වනෝද්‍යානයකට අනවසරෙන් ඇතුලු වීම, ජාතික වනෝද්‍යානයක් තුල අනවසර කටයුතු සඳහා ආධාර සහ අනුබල දීම යන වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණත යටතේ ගැනෙන වරදවල් කිහිපයක් එස්.එම්.එම් මුශාරෆ් ඇතුළු පිරිස සිදුකර ඇත.

ගොවිබිම් ඕනෑතරම් අවට තිබියදි ලාහුගල ජාතික වනෝද්‍යාන තුලට කඩා පනින්නේ තවත් විල්පත්තුවක් බවට මෙම වනෝද්‍යානය ද පත්කිරීමට දැයි ඉතාමත් හොඳින් තේරුම්ගත හැක.

ලාහුගල ජාතික වනෝද්‍යානය යනු ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන අතරින් කුඩාම ජාතික වනෝද්‍යානයක් වේ. හෙක්ටෙයාර 5131 පමණ වපසරියෙන් යුත් ලාහුගල ජාතික වනෝද්‍යානය ප්‍රමාණයෙන් කුඩා වුවද පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් ප්‍රදේශයකි. 2006/07/20 දින ජාතික වනෝද්‍යානයක් ලෙස ලාහුගල නම් කර ඇත. විශාල අලි ඇතුන් ප්‍රමාණයක් ලාහුගල මහවැව ආශ්‍රිතව වැවෙන බෙරු ආහාරයට ගැනීම සඳහා ඇතුළු වේ. ඇතිමලේ, ඉඟිනියාගල දකුණ, වට්ටමාරු, කුමන, සියඹලාන්ඩුව වැනි විවිධ පැතිවල සිට මේ දැවැන්තයො ලාහුගලට සංක්‍රමණය වේ. පැහැදිලි වියන් ස්ථර සහිත ඉතාමත් හොඳ වියළි මිශ්‍ර වනාන්තර පද්ධතියක් ලාහුගල දකින්නදැකගැනීමට හැකිය.

*********************************************

කොරෝනා මුස්ලිම් මරණ භුමදානය කරන්නේනම් එයට රාජපක්ෂ පවුලේ සුසාන භුමිය යොදා ගන්න

(14.11.2020 – colombotoday.com)

‘සිංහභාහු’ පෙන්නන්න ආව ආණ්ඩුව ‘සාජන් නලල තම්බි’ පෙන්වන බවත් කොරෝනා වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට අවශ්‍යනම් එය ‘රාජපක්ෂ පවුලේ සුසානා භුමියේ’ සිදුකරගන්නා ලෙසත් මගල්කන්දේ සුදත්ත හිමියෝ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ගේ උවමනාවට රටේ ජනතාවගේ ජිවිත අවදානමේ නොදමන ලෙස ඉල්ලීමක්ද ඒ හිමියෝ සිදුකරන ලදි.

කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයක් කර භූමදානය කිරීමට අවස්ථාව ඉල්ලා සිටීම පිළිබඳව අදහස් දක්වමින් ඒ හිමියෝ වැඩිදුරටත් දැක්වූ අදහස් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *