නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

*********************************************

නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

(14.11.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට එම රෝග ආශ්‍රිත සංකූලතා මතුවුවහොත් නිවසට වී නොසිට වහාම රෝහල්ගතවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බෝ නොවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ඉල්ලීමක් කළා.

ඊයේ (13) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ නිරෝධායනය වන පුද්ගලයෙකුට නිධන්ගත රෝග ආශ්‍රිත සංකූලතා මතුවුවහොත් ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන ලෙසයි.

නිරෝධායනය නොවන සාමාන්‍ය නිවසක පුද්ගලයෙකුට එවැනි සංකූලතාවක් ඇතිවුවහොත් 1990, අංකයෙන් ගිලන් රථ සේවා සපයා ගත හැකියි.

එමෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ 1999 සහ 011 342 2558 යන අංක ඔස්සේ ද අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බව බෝ නොවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය සහ ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 72 කු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපලවෙත පැමිණියා.

මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) ඩ්‍රෝන යානා උපයෝගී කරගෙන සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++

(13.11.2020 – 21:12 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය පරිශ්‍රයේ ගොඩගැසී ඇති බහාලුම් නිදහස් කිරීම සඳහා හෙට සහ අනිද්දා (14, 15) නිවාඩු දින කෙකෙහි නිශ්කාෂණ කටයුතු සිදුකිරීමට තීරණය වී තිබෙනවා ෴

++++++++++++++++

(13.11.2020 – 22:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 270 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඔවුන් සියලුදෙනා ද මීට පෙර හමුවී ඇති ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 16191 ක්.

ඔවුන්ගෙන් 5107 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 11031 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 53 ක් ෴

++++++++++++++++++

(14.11.2020 – 07:35 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර කිහිපයකට ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් පැතිර යාම වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 5 දෙනෙකුගෙන් යුත් කොවිඩ් නිවාරණ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කළා.

මේ වන විට දිවයින පුරා බන්ධනාගාරවල රැදවියන් 180 කට කොරෝනා ආසාදනය වී ඇති බවයි ඔහු කියා සිටියේ.

දැනට කොළඹ, බෝගම්බර, බූස්ස, මාතර සහ කුරුවිට යන බන්ධනාගාරවලින් කොරෝනා ආසාදිතයින් වාර්තා වනවා ෴

++++++++++++++++++

(14.11.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) දිනයේත් කොරෝනා මරණ 5 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගියා.

ඉන් මරණ 3 ක්ම වාර්තා වුණේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශවලින් වන අතර ඒවා සියල්ල නිවසේදී සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක් නිවසේදී මිය ගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාව සමඟ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමයි.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වන සෙසු මරණ දෙකම කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන්.

78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවසේදී මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නයින්ටීන් ආසාදිතව හෘදයාබාධයක් වැළදීමයි.

64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද මියගොස් ඇති අතර එම මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇඳුම රෝගය සහිතව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යැවූ 68 හැවිරිදි කොවිඩි ආසාදිත හලාවත පදිංචිකරුවෙකු ද ඊයේ (13) මිය ගියා.

ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අධික රුධිර පීඩනය උත්සන්න වීම සහ මොළයට රුධිරය වහනය වීමයි.

රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකු ද ඊයේ (13) මියගියා. පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කරන අවස්ථාව වන විටත් ඔහු මිය ගොස් සිට ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ කොරෝනා ආසාදිත මෙම පුද්ගලයාට හෘදයාබාධයක් වැළදීම මෙම මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා ෴

+++++++++++++++++++

(14.11.2020 – 08:35 +0530 – hirunews.lk/sinhala)

මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ මේ දක්වා 201 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඊයේ (13) දිනයේ පමණක් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ ෴

+++++++++++++++++

(14.11.2020 – 10:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළඳී මහ මග පුද්ගලයින් මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පළ කළ පුද්ගලයෙකු කඩුගන්නාව – හේනවල – එගොඩවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි මොහු ගරාජ් හිමියෙකු වන අතර, මෙවැනි ප්‍රචාර කළ තවත් පුද්ගලයින් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

++++++++++++++++++

(14.11.2020 – 12:00 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 285 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිලධාරීන් 6 දෙනෙකු ද එම ආසාදිතයින් අතර වන බවයි.

බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ඊයේ (13) දිනයේ ආසාදිතයින් 80 ක් හඳුනා ගැනීමත් සමඟ එම බන්ධනාගාරයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 125 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැදවියන් 14 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (13) තහවුරු වුණා.

එමෙන්ම, එම බන්ධනාගාරයේ කාන්තා බන්ධනාගාර නිලධාරිනියකට ද වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර, තවත් පොලිස් නිළධාරීන් 17 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ඊයේ (13) මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 468 දෙනා අතරින් ආසාදිතයින් 282 නෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මේ මස 01 වන දා සිට අද (14) දිනය දක්වා දින 14 ක කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ආසාදිතයින් 2402 නෙකු හඳුනාගෙන තිබෙනවා.

කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවලින් ආසාදිතයින් 165 දෙනෙකු ඊයේ (13) හඳුනාගෙන ඇති අතර ජම්පටාවීදියෙන් 48 දෙනෙකු, මට්ටක්කුලියෙන් 45 දෙනෙකු සහ මෝදර ප්‍රදේශයෙන් ආසාදිතයින් 8 දෙනෙකු ද වාර්තා වී ඇති බවයි කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

අවදානම් ප්‍රදේශ හඳුනාගෙන නිසි තක්සේරුවක් සිදුකිරීමෙන් පවතින වසංගත ව්‍යාප්තිය පාලනය කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන බස්නාහිර පළාතේ සිටින ජනතාව වෙනත් ප්‍රදේශවලට සංචරණය කිරීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය හෙට මධ්‍යම රාත්‍රිය දක්වා බලාත්මකයි. කෙසේ වෙතත්, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉල්ලා සිටින්නේ බස්නාහිර පළාතේ සිටින ජනතාවට වෙනත් ප්‍රදේශවලට සංචරණය කිරීම හැකිතාක් සීමා කරන ලෙසයි ෴

++++++++++++++++++

(14.11.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ තවත් ආශ්‍රිතයන් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ගාල්ල – ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 4 ක් ඊයේ (13) රාත්‍රියේ සිට හුදෙකලා කෙරුණා.

කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඌරගස්මන්හන්දිය උතුර, ඌරගස්මන්හන්දිය දකුණ, යටගල සහ වල්ඉඟුරුකැටිය යන ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා කළ බවයි.

මේ අතර, අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ සැකකරුවෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හිනිදුම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 16 දෙනෙකු ඊයේ පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ අතර, අදාළ ප්‍රතිඵල අද (14) පස්වරුවේ ලැබීමට නියමිතව තිබෙනවා.

මේ අතර, බොහෝ ප්‍රදේශවල හින්දු භක්තිකයින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි අනුගමනය කරමින් දීපාවලී උත්සවය සමරන ආකාරයක් දක්නට ලැබුණා. සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඇතැම් කෝවිල් වසා දමා තිබෙන ආකාරයක් ද දක්නට ලැබුණු අතර, ඇතැම් කෝවිල්වල සැමරුම් සිදුවුණේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේයි.

අනුරාධපුර හින්දු කෝවිලේ පූජක ඥානචන්ද්‍රම් කුරුක්කල් හින්දු භක්තිකයින්ගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් නිවසේ සිට දීපවාලී උත්සවය සමරන ලෙසටයි.

++++++++++++++++++++

(14.11.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ප්‍රධාන නගර ආශ්‍රිතව රථවාහන සංඥා ලාම්පු අසල ගැවසෙන යාචකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේ එම යාචකයන් හරහා කොවිඩ් වෛරසය පැතිරයාමේ අවදානම ද සලකා ඔවුන් අත්අඩංගුවට ගැනීම් ආරම්භ කර ඇති බවයි.

කොළඹ සහ දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථවාහන සංඥා පුවරු අසල සිගමන් යදින යාචකයන් බොහෝ පිරිසක් සිටිනවා.

රථවාහන සංඥා ලාම්පු අසල වාහන නැවැත් වු පසු ඒ අසලට පැමිණෙන යාචකයන් හරහා වාහනවල සිටින පිරිස්වලට කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

පසුගිය දිනක මිය ගිය යාචකයෙකුගේද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර තිබු අතර, එහිදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට අනාවරණය වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

+++++++++++++++++++++

(14.11.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

ඉක්වදෝරයේ අප-ජලය හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට දකුණු අප්‍රිකානු වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් පිළිගත් ආයතනයක් ඒ පිළිබදව ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා වෛරසය මීයන්, මුගටියන් වැනි සතුන් හරහා වසර ගණනාවකට පසු නැවත මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වීමට හැකියාව පවතින බවට ද තොරතුරු වාර්තා වනවා.

ඩෙන්මාර්කයේ මුගටි විශේෂයක් තුළ වෛරසය ව්‍යාප්ත වීමෙන් පසු සිදුකළ පරීක්ෂණවලින් අනතුරුවයි එම නිගමනයට එළඹ ඇත්තේ ෴

+++++++++++++++++++

(14.11.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයින් 468 දෙනෙකු ඊයේ (13) වාර්තාවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,000 සීමාව ඉක්මවා ගියා.

මේ අතර කොවිඩ් මරණ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යයේ පළ කළ පුද්ගලයෙකු කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙර හඳුනාගත් ආසාදිතයින් 468 දෙනාගෙන් 464 දෙනෙකුම දේශීයව සටහන් වන අතර විදෙස් රටවල සිට පැමිණ සිව් දෙනෙකු (4) ද ඊට ඇතුළත්.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 12,690 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (13) දිනයේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් සටහන් වූ අතර එම ගණන 282 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43 ක් වාර්තා වූ අතර කළුතරින් වාර්තා වූ ගණන 10 ක්.

මේ අතර ඊයේ (13) කොවිඩ් මරණ 5 ක් වාර්තා වුණා.

ඉන් එක් අයෙකු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක්.

ඊට අමතරව හලාවත පදිංචි පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද මියගොස් ඇති අතර රත්මලාන ප්‍රදේශයේ පදිංචි කොවිඩ් 19 වෛරසය ආසාදිත 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද මියගොස් තිබෙනවා.

52 වන කොවිඩ් මරණය ලෙස වාර්තාවූයේ කොළඹ 13 පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මියගිය අනෙක් පුද්ගලයා කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

වල්ඉගුරු කැටිය, ඌරගස්මංහන්දිය උතුර, ඌරගස්මංහන්දිය දකුණ සහ යටගල යන ග්‍රාම සේවා වසම් 4 රින් කොවිඩ් 19 ආසාදිතයින් 6 ක් හමුවී තිබෙනවා. ඊට එකම පවුලේ සාමාජිකයින් 4 දෙනකු ඇතුළත්.

පසුගියදා එම ප්‍රදේශයේදී ආසාදිත බවට තහවුරු වූ මාළු වෙළෙඳාමේ නිරත අයගේ පවුලේ ආශ්‍රිතයින් පිරිසක් මෙලෙස ආසාදිත වී ඇතැයි කරන්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා.

මේ වනවිට ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් ඊයේ (13) සිට එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටද කටයුතු කෙරුණා.

මේ අතර සීතාවක අපනයන සැකසුම් කලාපයේ සේවයේ නියුතු හංවැල්ල පහත්ගම ගල්මුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ් ආසාදිත වී තිබෙනවා.

මින් පෙර ඇයගේ 18 හැවිරිදි පුත්‍රයාද ආසාදිත වී ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු අතර කාන්තාවගේ ආශ්‍රිතයින් පිරිසක් නිරෝධායනයට යොමු කෙරුණා.

බොරලුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවක අහඹු ලෙස සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයෙකු පළමු වරට හමුවී ඇති අතර අදාළ කාන්තාවගේ සැමියා බොඩිලයින් ආයතනයේ සේවයේ නියුතු වූවෙක්.

කලුතර මහාධිකරණයේ විනිසුරුවරයා ඇතුළු 50 දෙනෙකුද ස්වයං නිරෝදායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත්තේ එම කාර්ය මණ්ඩල සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකුවීම හේතුවෙන්.

මේ අතර කඳාන කපුවත්ත ක්‍රිස්තුරාජ මාවතේ තවත් සිව් දෙනෙකුට (4) කොවිඩ් ආසාදිත වී තිබෙනවා.

ඉන් එක් අයෙකු වරාය සේවකයෙකුවන අතර ඔහුගේ පුතු සහ පසුගියදා එම ප්‍රදේශයේ මියගිය කොවිඩ් ආසාදිත කාන්තාවකගේ ඥාතීන් දෙදෙනෙකු (2) ද ආසාදිතයින් බවට අනාවරණ වුණා.

මේ අතර කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ ගියේ තවත් ආසාදිතයින් දෙදෙනෙකු (2) ඊයේ (13) වාර්තාවීමත් සමගයි.

ඉන් එක් අයෙකු මඩපාත හැග්බෑව ප්‍රදේශයේ පදිංචි බැංකු සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා පිළියන්දල හැඩිගම ප්‍රදේශයේ පදිංචි කොන්ත්‍රාත් සමාගමක සේවයෙක්.

මේ අතර පී.සී.ආර්. නියැදි පරීක්ෂාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මෙලෙස අදහස් පළ කළා.

මේ අතර කොවිඩ් මරණ සම්බන්ධනේ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවූ මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට වැඩිහිටි ප්‍රජාව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය උපදේශන සේවා සැපයීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය 1927 යන ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.

මේ අතර කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ අවදානම් කාල පරිච්ඡේදය අවසන්වන තෙක් නිවසකදී සිදුවන මරණ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව යම් තැනැත්තෙකු මිය ගිය බවට ග්‍රාම නිලධාරිවරයා විසින් මරණ සහතික වාර්තාවක් ලබාදීමේදී එම මරණය පිලිබඳ නිසි සොයා බැලීමකින් පසුව සහ මරණය කොවිඩ් හේතුවෙන් සිදු වූ මරණයක් නොවන බව තහවුරු කරත යුතුවනවා.

එවැනි මරණ කොවිඩ් 19 හේතුවෙන් සිදු වූ මරණයක් නොවන බවට පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් ලබාගෙන තිබේද යන්න තහවුරු කර ගැනීමෙන් අනතුරුව පමණක් මරණ ලියාපදිංචි කෙරෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

==========================================

***************************************

(14.11.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනාට විපක්ෂයේ වෙනම පිරිසක් ලෙස ආසන පැනවීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ ආණ්ඩු පාර්ශවයේ අසුන් පැනවීමට ඉඩකඩ ප්‍රමාණවත් නොවීමයි.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සහය පළ කළා.

පසුව රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කරනු ලැබුවේ ඔවුන් එහි පාර්ශවයක් ලෙස පිළිනොගැනීමටයි.

ඒ අනුව කථානායකවරයාගෙන් සමගි ජන බලවේගය ලිඛිතව ඉල්ලා සිටියේ එම මන්ත්‍රීවරුන් 8 දෙනාට ආණ්ඩු පාර්ශවයේ අසුන් පනවන ලෙසටයි.

කෙසේ වෙතත්, තුනෙන් දෙකක බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් පවතින බැවින් මේ වන විටත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් 30 දෙනෙකුට පමණ අසුන් පනවා ඇත්තේ විපක්ෂයේ පාර්ශවයේයි.

ස්ථාවර නියෝගයන්ට අනුව පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් පූර්ණ බලය කථානායකවරයාට හිමි වන අතර, කථානායකවරයා එය තීරණය කිරීමෙන් පසු මහලේකම්වරයා මගින් වේත්‍රධාරීවරයාට දැනුම් දෙනු ලබනවා.

ඉන් පසුවයි ආසන පැනවීම සිදුවන්නේ. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ අදාළ මන්ත්‍රීවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය අනුව විපක්ෂයේ වෙනම අසුන් පැනවීම සිදු කිරීමට නියමිත අතර, එය එළඹෙන සතියේදී බොහෝදුරට තීරණය කරනු ඇති බවයි ෴

***************************************

(14.11.2020 – 08:01 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩුදුන් ලංකාගම – නෙළුව මාර්ගය ප්‍රමිතියෙන් තොරව ඉදිකළ බවට එල්ලවන චෝදනා අසත්‍ය බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

මෙම මාර්ගය ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ඡායාරූප සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අමාත්‍යවරයා ඊයේ (13) එහි සංචාරයක නිරතවූ අතර, ඉන් අනතුරුවයි ඔහු මේ බව කියා සිටියේ ෴

***************************************

(14.11.2020 – 09:01 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන ගේයපද රචකයෙකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද (14) අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. මියයන විට ඔහු 61 වන වියේ පසු වුණා.

***************************************

(14.11.2020 – 10:06 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයන් සහ ඔවුන්ගේ සමීපතමයන් වෙනුවෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

කොරෝනා වසංගතය හමුවේ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් වඩාත් අවදානම් කණ්ඩායමක් හෙයින් ඔවුන්ට ප්‍රතිකාර සහ උපදේශන සේවා ලබාදීම සඳහා 1927 යන මෙම කෙටි අංකය හඳුන්වාදී ඇති බවයි එම මණ්ඩලය නිවේදනයක් කළේ.

ඔවුන්ගේ සමීපතමයන්ටද මෙම කෙටි අංකය ඔස්සේ සම්බන්ධ වී උපදේශන සේවා ලබාගත හැකියි. දවසේ පැය විසි හතර (24) පුරා එය ක්‍රියාත්මක අතර, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ඊට සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා ෴

***************************************

(14.11.2020 – 11:43 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. ඊයේ (13) පස්වරුවේ අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා රුවන්වැලි සෑ පරිශ්‍රයේ පැවති අධිෂ්ඨාන පූජාවකට සහ කප්රුක් පූජාවකට ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

අනතුරුව රුවන්වැලි සෑ පරිශ්‍රයේ ස්ථාපිත දුටුගැමුණු මහ රජ සහ විහාරමහදේවියගේ ප්‍රතිමාවලට ද ජනාධිපතිවරයා මල්මාල පළඳවමින් පුෂ්පෝපහාරද දක්වනු ලැබුවා.

මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද සහභාගිවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

[ සේයාරූ ]

***************************************

(14.11.2020 – 12:37 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ ඇමරිකානු ඩොලර් නෝට්ටු ධනවත් පුද්ගලයන් රවටා මෙරට මුදල්වලට මාරුකිරීමේ ජාවාරමක තොරතුරු හෙළිවී තිබෙනවා.

ඊට සම්බන්ධ පුද්ගලයන් සිව්දෙනෙක් (4) ඊයේ (13) පස්වරුවේ සාලියපුර යුද හමුදා කඳවුර ආසන්නයේදී අත්අඩංගුවට ගත් බවයි අනුරාධපුර පොලීසිය සඳහන් කළේ.

පොලිස් නිලධාරීන්, ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම්කරුවන් හමුවී තිබෙනවා.

එහිදී මෙරට මුදල් තොගයකට ජාවාරම්කරුවන් ව්‍යාජ ඩොලර් නෝට්ටු ලබාදී ඇති බව සඳහන්.

මෙහි ප්‍රධාන සැකකරු වෛද්‍යවරයෙකු ලෙසද පෙනී සිට ඇති අතර, ඔහු සන්තකයේ තිබී අනුරාධපුරයේ සහ වෙනත් ප්‍රදේශවල පදිංචි ප්‍රකට වෛද්‍යවරුන්ගේ නම් යොදා සැකසූ ව්‍යාජ රබර් මුද්‍රා සහ දින මුද්‍රා 12 ක්, ව්‍යාජ වෛද්‍ය වාර්තා සකස් කරන ලිපි ලේඛන සහ ඒවායේ අලවන ස්ටිකර් තොගයක්ද අත්අඩංගුවට ගැනුනා.

එසේම නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන කඩදාසි 753 ක්ද පොලිස් භාරයට ගත් බවයි අනුරාධපුර පොලීසිය සඳහන් කළේ ෴

***************************************

(14.11.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මුත්තයියා පාරේ පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය සහිත ගොඩනැගිල්ල නැවත පවරා ගන්නා බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනුම් හේතුවෙන් එහි සිටින සිසුවියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවට එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ගුරු සංගමය චෝදනා කරනවා.

ඒ පිළිබඳව දැනුවම්වත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක්ද යොමු කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි භාගයක ඉදිකර ඇති මෙම නේවාසිකාගාරය තුල ආබාධිත දරුවන් ද ඇතුළු‍ව දරුවන් 550 ක් නේවාසික පහසුකම් ලබනවා. දැනට කොළඹ විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 8 ක් පවතින අතර එයද ප්‍රමාණවත් නොවන බවයි ගුරු සංගමය චෝදනා කරන්නේ.

රට තුල කොරෝනා වසංගතයක් පවතින සමයක විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය පවරා ගැනීමට කටයුතු කිරීම ගැටලු සහගත බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ගුරු සංගමය අග්‍රාමාත්‍යවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ මෙම ගැටළුව විසඳාගැනීම සඳහා මේ වනවිටත් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *