හෙට (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බස්නාහිර සීමාව

හෙට (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බස්නාහිර සීමාව

*********************************************

හෙට (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බස්නාහිර සීමාව

(14.11.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පිටවීම සඳහා පනවා ඇති සීමාව හෙට (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත් දිවයිනේ පොලිස් වසම් 27 ක් සහ ග්‍රාමසේවා වසම් 5 ක් තවදුරටත් හුදෙකලා කර ඇති අතර එම ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීති දැඩිව අනුගමනය කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මේවන විට දිවයිනේ පොලිස් වසම් 27 ක් සහ ග්‍රාම සේවා වසම් 5 ක් හුදෙකලා කර ඇත්තේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්. එම හුදෙකලා කර ඇති ප්‍රදේශ අතරට බස්නාහිර පළාතේ පොලිස් වසම් 23 ක් අයත්.

මෙම ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරන පිරිස් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දින කිහිපය පුරාම පොලිසිය ඇතුළු ආරක්ෂ අංශ මෙහෙයුම් කියාත්මක කළා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහය ඇතිව විශේෂ ගුවන් මෙහෙයුමක්ද පසුගිය දින දෙකේදී ක්‍රියාත්මක කෙරුණේ ඒ අනුවයි.

එම ගුවන් මෙහෙයුම මගින් නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 22 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මේ අතර බස්නාහිර පළාතෙන් පිටවීම පනවා ඇති සීමාව හෙට (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත් බස්නාහිර පළාත් සීමාවල ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී අදත් (14) රථවාහන සහ පුද්ගලයින් මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණා.

මේ අතර මුහුණු ආවරණ නොපැළඳි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 25 දෙනෙකු ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 201 ක්.

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමඟ කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුද පසුගිය දින කිහිපය පුරාම අඩාල වී තිබූ අතර ඒ හේතුවෙන් වරායට පැමිණි නැව් රුසක් වරායෙන් පිටත නැංගුරම්ලා තිබුණේ මේ ආකාරයෙන්.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසුවේ අද (14) සහ හෙට (15) නිවාඩු දින වුවත් වරාය පරිශ්‍රයේ ගොඩ ගැසී ඇති බහාලුම් නිදහස් කිරීම සඳහා නිශ්කාශන කටයුතු පවත්වාගෙන යන බවයි.

මේ අතර අඩු ආදායාම් ලාභී පවුල් සඳහා ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා මාකොළ උතුර ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත පැමිණි ජනතාව චෝදනා කළේ, නිසි ක්‍රමවේදයක් යටතේ එය සිදුනොවන බවටයි.

++++++++++++++++++++

දීපවාලී සමරන්න සෞඛ්‍ය මාර්ගෝපදේශ

(14.11.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන දීපාවලී උත්සවය අදට (14) යෙදී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙවර දීපාවලී උත්සවය උත්සවය සැමරීමට සිදුව ඇත්තේ දැඩි සෞඛ්‍යාරක්ෂක නීති යටතේයි.

දීපාවලී උත්සවයේදී සමරනු ලබන්නේ හින්දු ජනතාවට හිරිහැර කළ නරගාසුරන් නමැති අසුරයා, මහා විෂ්ණු දෙවිඳු විසින් පරාජය කොට මරා දැමීමයි ඉන් ලැබුණු ආලෝකය සංකේතවත් කරමින් හින්දු ජනතාව පහන් දල්වා එම උත්සවය සමරනවා.

කෙසේ වෙතත්, පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙවර දීපවාලී උත්සවය සැමරීමට සිදුව ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලවයි.

ඒ අනුව,

  • ජනතාව එක්රැස් නොවී දැනට රැඳී සිටින ස්ථානයේම රැඳී සිටිය යුතුයි.
  • දුර ගමන් නොගොස් නිවසේ රැඳී සිටිමින් දීපාවලී සැමරිය යුතුයි.
  • කෝවිල් හෝ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතුයි.
  • වහා ගිනි ඇවිලෙන සුළු ඇල්කොහොල් සහිත සනීපාරක්ෂක දියර භාවිත කර දෑත් සෝදා ආලෝක පහන් දැල්වීම නොකළ යුතුයි.
  • ආගමික කටයුතුවලට පෙර සහ පසු සබන් දමා දෑත් සේදිය යුතුයි.
  • අතට අත දීමෙන් සහ වැළඳගැනීමෙන් තොරව ආයුබෝවන් හෝ වනක්කම් කියමින් සුබ පැතිය යුතුයි.

මේ අතර, කොළඹ මෙන්ම පිට පළාත්වල හින්දු බැතිමතුන් සෞඛ්‍ය නිර්දේශවලට මුල්තැන දෙමින් දීපාවලී උත්සවය සමරන ආකාරය අප වාර්තා කරුවන්ගේ කැමරාවල සටහන් වුණා.

මේ අතර, අදට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, සමස්ත ලෝකම කොවිඩ් වසංගතය නිසා අර්බුද රැසකට මුහුණ දී සිටින මොහොතේ ආගමික වතාවත්වල නිරත වීම හදවත්වලට සැනසිල්ලක් බවයි.

එම සැනසීම වෙනුවෙන් මෙරට සහ ලෝකවාසී සියලු හින්දු බැතිමතුන් ඒකාත්මිකව දෙවියන් වෙනුවෙන් කැපවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දීපාවලී උත්සවය ලෙසින් හඳුන්වන්නේ කරුණාවේ පහන හෙවත් අධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය ලබාගන්නා දිනයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සිය සුබපැතුම් පණිවුඩය මගින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එය ජාතික සමගියේද විශිෂ්ඨ දිනයක් බවයි.

මේ අතර, වර්තමානයේ ලොව පුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ් උවදුර නමැති නපුර පරාජය කිරීම උදෙසා මේ උතුම් දිනයේ ප්‍රාර්ථනා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සංහිඳියාවේ අපේක්ෂා පෙරදැරිව වාර්ගික සංහිඳියාවත්, අන්‍යෝන්‍ය අවබෝධයත් ඇති කිරීමෙහිලා මෙම උත්සවය ඉමහත් පිටිවහලක් වන බවත් විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

++++++++++++++++++

(14.11.2020 – 13:53 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සතියක කාලය තුළ කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විශ්වාසය පළ කරනවා.

එහි සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් එහි සන්නිවේදන අංශය සඳහන් කළේ ශ්‍රමික සේවා සපයන ආයතන සහ විශ්‍රාමික සේවකයන්ගේ සහයද ලබාගනිමින් කොරෝනා වසංගතය හේතුවෙන් අඩපණ වූ කොළඹ වරායේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ ප්‍රධාන වරායන්හි මෙහෙයුම් කටයුතු කොරෝනා වසංගතය හේතුවෙන් අඩාල වී ඇති බව පවසන වරාය අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වරායෙන් පිටත නැංගුරම් ලා ඇති වෙළඳ නෞකා වරාය තුළට ඇතුලුවීමේ කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගෙන ඇති බවයි ෴

++++++++++++++++++++

(14.11.2020 – 14:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝන වෛරසය ව්‍යාප්තවීමේ අවදානම් කාලසීමාව අවසන් වනතෙක් නිවසකදී සිදුවන මරණයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නව ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමඟින් දක්වා ඇත්තේ ග්‍රාම නිලධාරීවරයා විසින් මරණ වාර්තාවක් ලබාදීමේදී අදාළ මරණය කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු නොවූවක් බවට තහවුරු වී තිබිය යුතු බවයි.

එමෙන්ම පුද්ගලයෙකු මියගිය අවස්ථාවකදී එය කොරෝනා වෛරසය ආසාදනය වී සිදු නොවූවක් බව තහවුරු කරගත යුතු අතර, නිවසක සිදුවන මරණයකදී ග්‍රාම නිලධාරී වාර්තාව හෝ වෛද්‍ය වාර්තාවට අමතරව පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක්ද සියලු උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන් විසින් ලබාගත යුතු බවයි මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

++++++++++++++++++++++

(14.11.2020 – 15:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළඳී මහ මඟ පුද්ගලයින් මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු අද (14) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

කඩුගන්නාව – හේනවල – එගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද (14) උදෑසන කාලයේදියි.

අදාල අසත්‍ය පුවත් හුවමාරු කළ තවත් පුද්ගලයින් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

එසේම මුහුණු ආවරණ භාවිතා නොකළ සහ මීටරයේ දුර පවත්වා නොගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යා 201 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් 25 දෙනෙකු අද (14) පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගැනීමත් සමඟයි ෴

++++++++++++++++++

(14.11.2020 – 15:31 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 293 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 11,324 දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++

(14.11.2020 – 17:16 +0530 – hirunews.lk/sinhala)

අද (14) දිනයේ මේ දක්වා නව ආසාදිතයන් 214 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 16,405 දක්වා ඉහළ ගියා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම ආසාදිතයන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරින් වාර්තාවන බවයි.

වෛරසය ආසාදනය වූ 293 දෙනෙකු අද (14) දිනයේත් සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 11,324 ක්.

තවදුරටත් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝගීන් 5,028 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ දක්වා මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 53 ක්.

පවතින තත්ත්වය සලකා සමාජයෙන් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ දැනට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවලින් වැඩි ආසාදිතයන් පිරිසක් හමුවීමෙන් විද්‍යාත්මකව ආසාදිතයන් සිටින නියැදි තෝරාගෙන ඇති බවට තහවුරු වන බවයි ෴

++++++++++++++++++++

(14.11.2020 – 17:30 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ ස්වකයින් 200 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබෙනවා.

වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේ මේ දක්වා කොළඹ වරාය තුළ කොරෝනා ආසාදනය වූ සේවකයින් 61 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති පිරිසකුයි මෙලෙස නිරෝධායනය සඳහා යොමු කර ඇත්තේ.

සේවකයින් 106 දෙනෙකු නිරෝධානයනය අවසන් කොට මේ වන විට පිටව ගොස් ඇති බව වරාය අධිකාරියේ සභාපති සඳහන් කළා.

======================================

***************************************

(14.11.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගතය හමුවේ මෙරට පාසල් දරුවන්ට අනපේක්ෂිත හා තරමක් දිගු පාසල් නිවාඩුවක් හිමිවුණා.

එම කාලය නිරපරාදේ ගෙවා දැමීම වෙනුවට ඵලදායී පුරුද්දක් වෙනුවෙන් වෙන් කළ දරුවන් දෙදෙනෙකු (2) පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා. ඒ කළුතර – එතනමඩල ප්‍රදේශයෙන්.

ඉපදිච්ච දවස්වල ඉදන් මෙයා තමයි මගේ පැටියා. මොකක්ද නම? කප් කේක්.

මෙයාගේ ජාතිය බෙන්. මෙයාගේ තාත්තාට දාලා තියෙන්නේ බෙන් හින්දා මෙයාට බෙනුකි කියලා දැම්මා.

කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14 සහ 10 හැවිරිදි මේ දැරියන් දෙදෙනා පාසල් නිවාඩුව ගතකරන ආකාරයයි මේ.

ඒ තාක්ෂණික උපකරණ ඉදිරිපිට කාලය ගත කිරීම වෙනුවට සමස්ත දරු පරපුරටම ආදර්ශක් වෙමින්.

කප්කේක් නමැති මෙම සුවිශේෂී සුරතලා පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් මේ දියණිය කෘතියක්ද නිර්මාණය කර තිබෙනවා.

කුරුල්ලන් සමඟ ගෙවන නිවාඩු කාලයේදී මේ දියණියද කුරුල්ලන් ගැන කෘතියක් රචනා කර තිබීම විශේෂත්වයක්.

මේ දරුවන් දෙදෙනාගේ ආදරය හිමිවන්නේ කප්කේක් සහ බෙනුකිට පමණක් නෙවෙයි.

වෙනත් කුරුළු විශේෂ, සුනඛයින්, මත්ස්‍යයින් වැනි සත්වයින්ද ඔවුන් ඇති කරන්නේ මහත් ආදරයකින්.

මෙම දියණියන්ගේ ස්වභාදහම සමඟ කරන ජීවිතයට මහාචාර්යවරයෙකු වන ඔවුන්ගේ පියාත් වෛද්‍යවරියක වන මවගේත් සහයෝගය නොමඳව හිමිවනවා.

මේ දරුවන් දෙදෙනා තම ඉගෙනීම් කටයුතුවලට මෙය කිසිසේත් බාධාවක් කරගෙන නැහැ.

කොවිඩ් 19 වසංගතය හමුවේ නිකරුණේ කාලය ගෙවනු වෙනුවට ඵලදායී ලෙස ලෝකය අලුත් ඇසකින් දැකීමේ වටිනාකමට මේ දියණියන් දෙදෙනා හොඳම නිදසුනක්.

***************************************

(14.11.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

මහත් ආන්දෝලනයකට තුඩුදුන් නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය සඳහා අනුමැතිය ලබාගෙන ඇත්තේ වෘත්තීය පුහුණු ආයතනයක් ස්ථාපිත කරන මුවාවෙන් බව අනාවරණය වුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හෙළිවුණේ අදාළ භූමිය සඳහා තවත් අක්කර 10 ක් එහි භාරකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා විසින් වංචනික ලෙස ලබාගෙන ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම දින 17 කට පසු ඊයේ (13) යළි ආරම්භ වුණා.

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය සහ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 26 වන දිනෙන් පසු කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටුවූ අතර පසුව තහවුරු වුණේ, එහි පොලිස් ඒකකයට අනුයුක්ත කොළඹ අපරාධ කොට්ඨාස පොලිස් නිලධාරියකුට කොවිඩ්-19 ආසාදිත බවයි.

ඒ අනුව ඊයේ (13) දිනයේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත වූයේ එම පරිශ්‍රය විෂබීජහරණය කිරීමෙන් පසු කොමිසම් සභා ශාලාවට පිටතින් මාධ්‍යවේදීන්ට රැඳීසිටීමට පහසුකම් සලසා නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේයි.

එහිදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සභාපතීත්වය දරන ශ්‍රී ලංකා හීරා පදනම සහ මහත් ආන්දෝලනයකට තුඩු දුන් නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සාක්ෂි විමසනු ලැබූ අතර එම සාක්ෂිවලට සවන්දීමට හිස්බුල්ලා ද ඊයේ (13) පළමුවරට ජනාධිපති කොමිසමට පැමිණියා.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ මහවැලි සංවර්ධන අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂ අසංක කුමාර ගුණසේකර මහතායි.

අසංක කුමාර ගුණසේකර – අධ්‍යක්ෂ, ඉඩම් – මහවැලි සංවර්ධන අධිකාරිය :

“2012.03.15 එවකට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි හිස්බුල්ලා එම අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය භාවිත කරමින් හීරා පදනම සඳහා මහවැලි ඩී. කලාපයෙන් ඉඩම් අක්කර 25 ක් ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. මේ ඉල්ලීම නියෝජ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයෙන් යොමු කරලා තිබුණේ එවකට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට. මේ ඉඩම් අක්කර 25 හීරා පදනමට ඉල්ලා තිබුණේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ගොඩනැඟීම සඳහා කියලා එම ලිපියේ සඳහන් වෙනවා. මෙයට සෞදි අරාබියේ වෘත්තීය පුහුණු ආයතනයක් මුදල් අය නොකර ඉදිරි කටයුතු කරන්න සූදානම් බවත් එම ලිපියේ හිස්බුල්ලා මහතා සඳහන් කරලා තිබුණා. මෙම ලිපිය සලකා බලා එවකට අමාත්‍යවරයා මහවැලි ඩී. කලාපයේ නේවාසික ව්‍යාපෘති භාර නිලධාරියාට සටහනක් යොදලා තිබෙනවා මේ සඳහා ඉඩම් ලබාදිය හැකිදැයි සොයාබලන්න කියලා. ඒ අනුව නේවාසික ව්‍යාපෘති භාර නිලධාරියා හිස්බුල්ලා ගෙන් මහවැලි අධිකාරිය සඳහා ඉල්ලුම් පත්‍රයක් යොමුකරන්න කියලා කළ දැනුම් දීම මත හිස්බුල්ලා ඉල්ලුම් පත්‍රයක් භාර දි තිබෙනවා. නමුත් ස්වාමීනි කළින් ලිපියේ සඳහන් වූ ඉඩම් අක්කර 25 ගැන සඳහන් නොකර මහවැලි සංවර්ධන අධිකාරියෙන් ඉඩම් අක්කර 35 ක් හීරා පදනමට අවශ්‍ය බව තමයි හිස්බුල්ලා දැනුම්දීලා තියෙන්නෙ. මේ ඉල්ලීමට අනුමැතිය ලැබුණට පසුව ඔවුන් විසින් හීරා පදනම කියන නම ‘Batticaloa Campus’ ලෙස වෙනස් කර තිබෙනවා ස්වාමීනි “

රජයේ අධිනීතිඥවරයා :
“වෘත්තීය පුහුණු ආයතනයක් ස්ථාපිත කරන්න දුන්න භූමියේ උසස් අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කරනවා කියන වෙනස්කමට මහවැලි අධිකාරිය අවසරය ලබාදී තිබෙනවා ද ?”

අසංක කුමාර ගුණසේකර – අධ්‍යක්ෂ, ඉඩම් – මහවැලි සංවර්ධන අධිකාරිය :
“ඔව් ස්වාමීනි. අරමුණ වෙනස් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.”

රජයේ අධිනීතිඥවරයා :
“කවුද ඒ කාලය තුළ මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ?”

අසංක කුමාර ගුණසේකර – අධ්‍යක්ෂ, ඉඩම් – මහවැලි සංවර්ධන අධිකාරිය :
“එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. එතුමා මේ සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා ස්වාමීනි”

අනතුරුව සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවශ්‍යදැයි ජනාධිපති කොමිසම එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ගෙන් විමසූ අතර ඇසීමට ප්‍රශ්න කිසිවක් නැතැයි හිස්බුල්ලා සඳහන් කළා.

නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් කරුණු පිළිබඳව ඉදිරි දිනකදී හිස්බුල්ලා ගෙන් සාක්ෂි විමසන බව ජනාධිපති කොමිසම මෙහිදී ඔහුට දැනුම් දුන්නා.

++++++++++++++++++

***************************************

(14.11.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

කලාව යනු පුද්ගලයා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන ප්‍රධාන මාධ්‍යයක්.

තමන් නියැලෙන කුමන හෝ කලා මාධ්‍යයක් ඔස්සේ නව නිර්මාණයක් බිහි කරන්නට හැකියාව ඇත්තේ හසල දැනුමකින් පරිපූර්ණ මිනිසෙකුටයි.

ඉවතලන පොල්කට්ටට ජීවය දෙමින් ලොවක් මවිත කරන විස්මිත නිර්මාණ කරන එවන් පුද්ගලයෙකු පිළිබඳවයි මේ සටහන.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *