2021 අයවැය අද පාර්ලිමේන්තුවට – සජීවී විකාශය හිරු TV වෙතින්

2021 අයවැය අද පාර්ලිමේන්තුවට – සජීවී විකාශය හිරු TV වෙතින්

කොළඹ නගර සභා සීමාවේ කොරෝනා ව්‍යාප්තිය ගැන රජයේ වෛද්‍යවරුන්, පැහැදිලි කිරීමක් ඉල්ලයි

වහාබ්වාදය සමග ඩීල් ඕන නැහැ – නලින් ද සිල්වා

*********************************************

2021 අයවැය අද පාර්ලිමේන්තුවට – සජීවී විකාශය හිරු TV වෙතින්

(17.11.2020 – 07:05 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර සඳහා වන අයවැය යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එය මෙරට 75 වන අයවැය වාර්තාවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කතාව පැවැත්වීම අද (17) පස්වරු 01:40 ට සිදුකිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2021 අයවැය සජීවීව ‘හිරු TV’ ඔස්සේ නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති.

අයවැය දෙවන වර කියැවීමේ විවාදය හෙට (18) සිට 21 වනදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.

අයවැය තෙවන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ තෙවන වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

පසුගියදා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා ආණ්ඩුවේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2678.04 ක්.

ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් 02 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණා.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා ආණ්ඩුව ඇස්තමේන්තු ගතකර ඇති වියදම රුපියල් 2678 බිලියන හතළිස් මිලියනයක්.

වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයටයි.

ඒ, රුපියල් බිලියන 355.16 ක්.

මහා මාර්ග අමාත්‍යාංශය සඳහා බිලියන 330.19 ක් වෙන්කර ඇති අතර ඉන් රුපියල් බිලියන 329 ක්ම මූලධන වියදම් වීම විශේෂත්වයක්.

රාජ්‍ය සේවා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 271.71ක්.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 159.48 ක්ද මුදල් අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 157.6 ක් ද මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 126.54 ක්.

ජනාධිපති වැය ශිර්ෂය රුපියල් බිලියන 9.34 ක් වනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.05 ක් වෙන්කර තිබෙනවා.

පාර්ලිමේන්තු වැය ශීර්ෂය රුපියල් බිලියන 3.25 ක්.

අයවැය ඉදිරිපත් කරන අද (17) දිනයේ විදේශ තානාපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශයේ අවසරලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රකාශ කළා ෴

[ https://www.hirutv.lk/hirulive.php ]

+++++++++++++++++

2021 අයවැය සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි

(17.11.2020 – 11:29 +0530 – hirunews.lk/sinhala)

2021 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අයවැයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය ඊයේ (16) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ ඒ සඳහා අනුමැතිය හිමිවූ බවයි.

2021 අයවැය, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (17) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව, පස්වරු 01:40 ට පමණ ආරම්භ වන අයවැය කතාව ‘හිරු ටී.වී.’ ඔස්සේ සජීවීව විකාශය කරවීමට ද කටයුතු යොදා තිබෙනවා.

මෙරට 75 වන අයවැය වාර්තාව වන ඒ තුලින් 2021 මුදල් වර්ෂයට අදාළව රජයේ සේවා වියදම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 2678 ක්.

ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900 ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට එහිදී යෝජනා කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (18) සිට 21 වනදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 5 ට පැවැත්වෙනවා.

එමෙන්ම, අයවැය කාරක සභා අවස්ථාව 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා ක්‍රියාත්මක අතර, තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අයවැය ඉදිරිපත් කරන අද (17) දිනයේ විදේශ තානාපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශයේ අවසරලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රකාශ කළා.

+++++++++++++++++++

Budget Speech 2021 (On 17-Nov-2020) (pdf) (from parliament.lk) :

[Sinhala – Tamil – English]

***************************************

ශ්‍රී ලන්කන් සේවකයන් 560 ක් විශ්‍රාම ගැන්වීමට බිලියන 1.46 ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය

(17.11.2020 – 12:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මුහුණපා ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර තිබෙනවා.

විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ සේවකයන් 560 ක් විශ්‍රාම ගන්වනු ඇති බවට අපේක්ෂා කරන අතර රුපියල් බිලියන 1.46 ක් ඒ සඳහා වැය කිරීමට නියමිතයි.

මේ අතර, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් බඳවා ගන්නා බහුකාර්ය සංවර්ධන කාර්ය සහායකවරුන් ලක්ෂයට මාස පහමාරක පුහුණුවක් එකවර ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332 තුළ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් මෙම පුහුණුවීම් ලබාදීමට නියමිතයි. ඔවුන් NVQ තුන්වන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම්ලාභින් වශයෙන් පත් කෙරෙනු ඇති ෴

***************************************

කුරුඳුවත්ත අනතුරේ තරුණිය සහ වාහනයේ හිමිකරු ඇපමත මුදාහරී

(17.11.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණිය සහ එම වාහනයේ හිමිකරු ඉදිරි දින කිහිපය ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවනවා.

කෙසේවෙතත් මේ වනවිට එම තරුණිය සහ වාහනයේ හිමිකරු රුපියල් 10,000 ක පොලිස් ඇපයක් මත මුදා හැර තිබෙනවා.

රියදුරු බලපත්‍රයක් නොමැතිව රියධාවනය, අපරික්ෂාකාරී රිය ධාවනය, අනතුරක් වලක්වා නොගැනීම යන චෝදනා යටතේ එම තරුණියට එරෙහිව නඩු පැවරීමට නියමිත බවයි කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා අප කල විමසුමකදී පැවැසුවා.

අනතුර සිදු වන අවස්ථාවේ එම වාහනයේ හිමිකරුද රථයේ පිටුපස අසුනේ සිට තිබෙනවා.

රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු සේවයේ යෙදවීම යන වරදට ඔහුට එරෙහිව ද නඩුවක් ගොනුකරන බව ස්ථානාධිපතිවරයා පවසනවා.

අනතුර සිදුවූ පසු දිනයේදීම අදාළ තරුණිය සහ අනිත් පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වුවත් කොරෝනා වසංගත තත්වය නිසා උසාවි කටයුතු සිදු නොවීම හේතුවෙන් එය මෙලෙස පසුවට කල්ගොස් තිබෙනවා.

මෙම අනතුර පොලිස් ඇප ලබා දිය හැකි වරදක් බවද ස්ථානාධිපතිවරයා පවසනවා.

මෙම තරුණිය සහ අදාළ පුද්ගලයින් දෙදෙනා යාබද ප්‍රදේශයක පිහිටි අවන්හලකට කෝපි බීම සඳහා ගොස් ඇති බවයි වාර්ථා වන්නේ.

මොවුන් කිසිවෙකුත් බිමතින් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් පානයකර නොමැති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

ඒ ඔවුන් කුරුඳුවත්ත පොලිසිය විසින් කළුබෝවිල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම අනතුරට සම්බනද්ධ තරුණියගේ පියා වන ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා අනතුර සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ වලට කිසිදු බලපෑමක් කර නොමැති බවද වාර්ථා වෙනවා.

එම පොලිස් අධිකාරිවරයා අනතුර වූ දිනයේ පස්වරුවේ සිය දියණිය බැලිමට කුරුදු වතත් පොලිසියට පැමිණ ඇති නමුත් ඔහු සථානාධිපතිවරයාගේ කාමරයටවත් ගොස් නොමැති බවයි වාර්ථාවන්නේ.

මේ පිළිබඳව අප කුරුඳුවත්ත පොලිස් සථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ අදාළ පොලිස් අධිකාරිවරයා අනතුර පිළිබඳව තමාට මේවනතෙක් දුරකථනයෙන් හෝ කථා නොකළ බවයි.

මෙම අනතුර පිලිබඳ පරික්ෂණ කටුතු සාමාන්‍ය අනතුරක් ලෙස තමන් විසින් පවත්වමින් සිටින බවද ඔහු සදහන් කළා .

අනතුර සිදුවූ පසුව එම මෝටර් රථයේ අංක තහඩු ඉවත්කර ඇති පුද්ගලයා අදාළ වාහනයේ හිමිකරුගේ මෝටර් රථ කුලි පදනම මත ලබා දෙන සේවා ස්ථානයේ පුද්ගලයක් බව අනාවරණය වී තිබෙනවා.

අදාළ මෝටර් රථයේ අංක තහඩුව සමාජ මාධ්‍යයවල ප්‍රදර්ශනය වූ පසු මෙම රථය නැවත විකිණීමට අපහසු වන නිසා මෙලෙස අංක තහඩු සඟවන්නට උත්සාහ කර තිබෙන බවයි වාර්ථා වන්නේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳව ද වැඩිදුර පොලිස් පරීක්ෂණ පැවත්වෙනවා.

අදාළ මෝටර්රථය කුරුඳුවත්ත පොලිස් ස්ථානය විසින් මේ වනවිට සිය භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

බන්දුල කියන ආර්ථිකයේ අභියෝගය

(17.11.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ණය සහ පොලිය ආපසු ගෙවීම සඳහා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් වෙන් කිරීමේ අභියෝගය රට හමුවේ ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඊයේ (16) පස්වරුවේ කොළඹ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත 52 වැනි කෘතිය වන ‘යහපාලන ආණ්ඩුකරණයෙහි ආර්ථික ආසානාසිය’ නම් කෘතිය ජනගත කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා.

***************************************

රිෂාඩ්, හිටපු යුද හමුදා පතිට දුන් ඇමතුම පාස්කු කොමිසමේදී හෙළිවෙයි

(17.11.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කර ගැනීමේ අරමුණකින් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා තමන්ට අවස්ථා තුනකදී (3) ඇමතුම් ලබාදුන් බව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා වීඩීයෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයට පසු දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුවගේ නිවෙසට එවක අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් අවස්ථා කිහිපයකදී පැමිණ තිබූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී ඊයේ (16) හෙළි වුණා.

ඒ දෙහිවල-ගල්කිස්ස ‘උද්‍යානය කොට්ඨාස’ භාර ග්‍රාම නිලධාරිවරයා කොමිසමට දුන් සාක්ෂි මඟින්.

දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා එවක යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් අවස්ථා තුනකදී (3) දුරකතනයෙක් විමසා තිබූ බවද පාස්කු ප්‍රහාරය සිදු වූ සමයේ අනාවරණ වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීම සඳහා ජනාධිපති කොමිසම ඊයේ (16) පස්වරුවේ හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් දෙවන (2) දිනටත් සාක්ෂි විමසුවා.

කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණ සාක්ෂි ලබාදීමට නොහැකි නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සිට හිටපු යුද හමුදාපතිවරයා වීඩීයෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හා සම්බන්ධ වූයේ මෙරට වේලාවෙන් ඊයේ (16) පස්වරු 05:10 ට පමණ.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් විමසුවේ, පාස්කු ප්‍රහාරයට පසු එහි විමර්ශන සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් දේශපාලකයින් විමසීම් කළේද යන්නයි.

ජෙනරාල් මහේෂ් සේනානායක – හිටපු යුද හමුදාපති :

“2019 අප්‍රේල් 21 ත් 25 ත් අතර කාලය තුළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මට දුකතනයෙන් කතා කළා. එතුමා ඇහුවා දෙහිවල ප්‍රදේශයෙන් අහමඩ් කියලා කෙනෙක් අත්අඩංගුවට ගත්තද කියලා. මං කිව්වා ‘එහෙම කිව්වට මතකයක් නැහැ. හොයල බලලා කියන්නම්’ කියලා. ආයෙත් පැය කිහිපයකට පසු රිෂාඩ් බදියුදීන් මහත්තයා ඇමතුමක් අරන් ඇහුවා ‘හොයාගත්තද’ කියලා. මං කිව්වා ‘මට මේ ළමයා ගැන හොයනවට වඩා වැඩ තියෙනවා. මං හොයලා කියන්නම්’ කියලා. එතුමා මට කිව්වා ‘මේ ඇරස්ට් කරපු කෙනා මගේ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවක සාමාන්‍යාධිකාරී කෙනෙක්ගෙ පුතෙක්’ කියලා. මම මේ ගැන සොයාබැලීමක් කළා. දෙහිවල ප්‍රදේශයෙන් ඉස්හාම් අහමඩ් නමැත්තකු අත්අඩංගුවට ගත් බව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මට කිව්වා. ආයෙත් තුන්වෙනි පාරටත් රිෂාඩ් බදියුදීන් මට කතා කළා. ඒ වෙනකොට ඒ සැකකරු අපි සොයමින් ඉන්න විශාල ජාලයකට සම්බන්ධ බව මම දැනගෙන හිටපු නිසා බදියුදීන් අමාත්‍යවරයාගේ ඇමතුමට සැරෙන් උත්තර දීලා කිව්වා ‘ඔබතුමා මට දැන් නෙවෙයි තව අවුරුදු දෙකකින් විතර කතාකරන්න. අපි මොහුගෙන් රඳවාගෙන ප්‍රශ්න කරනවා. මට ඒකට බලය තියෙනවා’ කියලා.”

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :

“හිටපු හමුදාපතිතුමාට මොකද හිතුනේ මේ ඇමතිතුමාගේ ඇමතුම ගැන ?”

ජෙනරාල් මහේෂ් සේනානායක – හිටපු යුද හමුදාපති :

“මම හිතනවා සැකකරුව මුදාගන්න වෙන්න ඇති කතා කළේ. එතුමා හිතන්න ඇති මම අහයි කියලා මොකක්ද වෙන්න ඕනෙ කියලා. රටේ වගකිවයුතු නිලධාරියකු විදියට මම කිසිසේත් එවැන්නක් කරන්නෙ නැහැ. තුන්වෙනි ඇමතුමේදී ‘අඳුරන කෙනෙක් නිසා මොකක් හරි කරන්න පුළුවන් ද’ වගේ තමයි කතා කළේ. එතුමාගේ යටි අරමුණ වුණේ ඒක “

මහේෂ් සේනානායක මහතාගෙන් පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව තවදුරටත් සාක්ෂි මෙහෙයවූ අතර එය මාධ්‍යයට විවෘත වූයේ නැහැ.

අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවීම අද (17) පෙරවරුව දක්වා කල්තැබුණා.

***************************************

(17.11.2020 – 14:01 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පිහිටි වෙරළ තීරයට මායිම්ව තිබෙන කලපු ප්‍රදේශවල කඩොලාන ශාඛ වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

මේ වනවිට දිවයින පුරා හෙක්ටයාර 15,669 ක කඩොලාන පරිසරය ව්‍යාප්ත වී ඇති අතර, ව්‍යාපෘතිය මගින් එය තවදුරටත් පුළුල් වනු ඇති. වෙරළ ඛාදනය වැළැක්විම ඇතුළු ප්‍රයෝජන රැසක් කඩොලාන ශාක මගින් හිමි වනවා ෴

***************************************

රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නාහිමිපාණන් අපවත්වෙයි

(17.11.2020 – 14:49 +0530 – hirunews.lk/sinhala)

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබෙනවා.

ඒ උන්වහන්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අපවත් වනවිට උන්වහන්සේ 98 වන වියේ පසුවුණා.

අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ මහානිකායේ මහනායක ධුරයට පත් වුණේ 2012 වසරේ සැප්තැම්බර් 3 වනදායි.

මහනුවර – මැණික්හින්න – හූරිකඩුව විද්‍යා සාගර පිරිවෙනේ විහාරාධිපති හිමියන් ලෙස එහි වැඩ විසූ උන්වහන්සේ මීට පෙර රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝ නායක ධුරය හොබවනු ලැබුවා ෴

***************************************

ඉතාලියේ අධිවේගී මාර්ගයක ගිනිගෙන දැවෙන රියේ සිටි ඉතාලි ජාතිකයා ශ්‍රී ලාංකිකයකු විසින් බේරාගනු ලබයි

(17.11.2020 – gossiplankanews.com)

ඉතාලියේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමෙන් එයින් පිටතට ඒමට නොහැකිව සිරවී ජීවිතයත් මරණයත් අතර සටනක සිටි ඉතාලි ජාතිකයකු ශ්‍රී ලාංකිකයකු විසින් නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. එරට මාධ්‍ය වාර්තාකර ඇති අන්දමට සිය ජීවිත අවදානම නොතකා ගොස් මෙම වීර ක්‍රියාව සිදුකර ඇත්තේ ඉතාලියේ රැකියාවක නිරතව සිටින අසංක ඉරෝෂන් අත්තනායක නමැති ශ්‍රී ලාංකිකයෙකි.

ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් ඉරෝෂන් අත්තනායක මහතා එරට රූපවාහිනී නාලිකාවක සිද්ධිය විස්තර කර ඇති ආකාරයට ඔහු මොන්සා ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටියදී මෝටර් රථයක් ගිනි ගන්නවා දැක ඇත. තමන්ගේ කාර් රථය නවතා වහාම ගිනි ගන්නා රථය අසලට දිවගිය ඉරෝෂන් මහතා විපරම් කර බලද්දී ගිනි ගන්නා එම රථය ඇතුළේ ඉතාලි ජාතිකයකු සිටිනු දැක තිබේ.

ගිනි ගන්නා රථයේ දොර විවෘත කර ඔහු ඉවතට ගැනීමට උත්සාහ කර ඇතත් දොරට අගුළු දමා තිබූ නිසා ඉරෝෂන් මහතා ගලක් ගෙන එයින් ගසා ඉදිරිපස වීදුරුව කඩා සිට් බෙල්ට් එක ගලවා පසුව ඔහු නිරුපද්‍රිතව ඉවතට ගත් බව ඔහු ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉරෝෂන් මහතා එරට රූපවාහිනී නාලිකාවකට හෙළිකර තිබෙන ආකාරයට මෙම ඉතාලි ජාතිකයා බීමතින් සිට ඇති බවද කියති. තව විනාඩියක් දෙකක් ප්‍රමාද වූවා නම් ඉතාලි ජාතිකයා කාර් එක ඇතුළේම පිළිස්සී මිය යනවා යැයිද ඉරෝෂන් මහතා එම රුපවාහිනී වැඩසටහනට සහභාගිවෙමින් පවසා ඇත.

ගිනි නිවන භටයින් පැමිණ ගින්න නිවා දැමුවත් ඒ වනවිට කාර් රථය සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් තිබූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් සහ බොහෝ ඉතාලි ජාතිකයන් ඉරෝෂන් අත්තනායක මහතා කළ නිර්භීත ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රශංසා කර ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග කියයි. ඉරෝෂන් මහතා සමග ඔහුගේ බිරිඳ හා දරුවාද ඉතාලියේ වෙසෙන බව ආරංචිමාර්ග වැඩිදුරටත් කීය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

==================================

*********************************************

කොළඹ නගර සභා සීමාවේ කොරෝනා ව්‍යාප්තිය ගැන රජයේ වෛද්‍යවරුන්, පැහැදිලි කිරීමක් ඉල්ලයි

(17.11.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සභා සීමාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සමාජ සම්ප්‍රේෂණ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියා.

මෙරටින් කොරෝනා ආසාදිතයින් තුන්සිය අසූ දෙදෙනෙකු (382) ඊයේ (16) දිනයේදී හඳුනාගත් අතර, ඒ අතරින් 08 දෙනෙකු විදේශ රටවල සිට දිවයිනට පැමිණි පුද්ගලයින් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ (16) හඳුනාගත් ආසාදිතයින්ගෙන් 374 දෙනෙකු වාර්තා වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන්.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,170 ක්.

එම පොකුරේ ආසාදිතයින්ගෙන් 8,381 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබෙනවා.

ඊයේ 231 ක් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 134 ක්.

ඊයේ දිවයිනෙන් වාර්තා වූ ආසාදිතයින් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හතලිස් දෙදෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු වශයෙන්ද ආසාදිතයින් හඳුනාගත්තා.

ඔක්තෝම්බර් 04 වැනිදායින් පසුව මේ දක්වා ගතවූ කාලය තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 5,899 ක්.

එම කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,998 ක් වාර්තා වී තිබූ අතර, ආසාදිතයින් 618 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 17,674 දෙනෙකු වාර්තා වන අතර, මේ වනවිට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,806 ක්. තවදුරටත් ආසාදිතයින් 5,807 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

++++++++++++++++

(17.11.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ කුමන ප්‍රදේශයක රැදී සිටියත්, කුමන ප්‍රදේශයක සංචරණය කළත්, මුඛ ආවරණ පැළදීම අනිවාර්ය බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුලදී මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 290 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 24 ක් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා.

මේ අතර, බස් රථ බලාපොරොත්තුවෙන් අද (17) පෙරවරුවේ කොළඹ රැදී සිටි ඇතැම් මගීන් චෝදනා කළේ බස් රථවල අඩුවක් පවතින බවටයි.

කෙසේ වෙතත්, බස් රථ රියදුරන් සඳහන් කළේ බස් ධාවනය නිසි පරිදි පැවතිය ද මගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි ෴

+++++++++++++++++

(17.11.2020 – 15:21 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 404 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 12,210 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා ෴

+++++++++++++++++

කොරෝනා මරණ භුමිදානයට මන්නාරම කිසිසේත්ම සුදුසු නෑ – මහාචාර්ය මෙත්තිකා විතානගේ

(17.11.2020 – colombotoday.com)

කොරෝනා මරණ භුමිදානයට මන්නාරම හෝ තලෙයිමන්නාරම කිසිසේත්ම සුදුසු නොවන බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. Colombo Today වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මේ බව පැවසුවාය.

මේ පිළිබඳව විද්‍යාත්මකව කරුණු පැහැදිලි කල මහාචාර්යවරිය :

*********************************************

වහාබ්වාදය සමග ඩීල් ඕන නැහැ – නලින් ද සිල්වා

(17.11.2020 – 15:41 +0530 – lankaleadnews.com)

රිෂාඩ් බද්‍යුද්දීන්ට තමන්ගෙ මුදලින් කැලෑ වවන්න වෙලා. විල්පත්තුවෙ කැලෑ කැපුවෙ නැහැ කියලයි බද්‍යුද්දීන් කිය කිය හිටියෙ. නඩුවෙනුත් ඒක ඔප්පු වෙලා. කැලෑ කපල තියෙන්න ටිකක් එහායින්. බද්‍යුද්දීන් කියන්නෙ ඩීල් දේශපාලනයේ පරමාදර්ශය. ඒ වචනය හරි නැහැ කියල කෙනකුට හිතෙන්න පුළුවන්. මාත් පරම කතාවලට කැමති නැහැ. ඒත් ඩීල් දේශපාලනය සඳහා කාට හරි අනුගමනය කරන්න පුළුවන් හොඳ ම පුද්ගලයා තමයි රිෂාඩ් බද්‍යුද්දීන්. අර කියනව වගේ ඔහු ඩීල් දේශපාලනය පරිපූර්ණත්වයට ගෙනාවා.

බද්‍යුද්දීන්ට වන සංරක්‍ෂණය ගැන පාඩම් කියල දෙන්නවත් මේ පොළොව මනුෂ්‍යයාට පමණක් නොව සතා සිවුපාවටත් ගහ කොළවලටත් තිබිය යුතු බව, සහජීවනයක් විය යුතු බව කියල දෙන්න අවශ්‍ය නැහැ. බටහිර දැනුම පස්සෙ යන අයකු තිරසාර සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන්. ඒ එකක්වත් බද්‍යුද්දීන්ට වැඩක් නැහැ. ඔහු ඩීල් දේශපාලනඥයෙක්. මුස්ලිම් වහාබ්වාදී ජාතිවාදය පදනම් කරගත් ඩීල් දේශපාලනඥයෙක්.

ඔහු මෙරටට කර ඇති විනාශය ගැන හොයන්න වෙන ම කොමිසමක් පත් කරන්න වෙයි. අර හිස්බුල්ලා කාගෙ බුල්ලා වුණත් ඔහු ගැනත් හොයන්න ඕන. මේ අයට ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා ද, ඔවුන් ධනවතුන් වුණේ කෙසේ ද ආදී කරුණු හොයන්න පුළුවන්. ඒත් මෙරට කොමිසම් ප්‍රශ්නයක් ගැන හොයන්න කල්ගන්නවා වැඩියි. ටික කලකින් කොමිසම පත්කෙළෙ මොනවට ද කියන එකත් ප්‍රශ්නයක් වෙනවා. කොමිසම පත්කෙළෙ මොකට ද කියල හොයන්න තව කොමිසමක් පත් කරන්න වෙයි ද?

වර්තමානයේ සියළු ඊනියා ජනවාර්ගික ප්‍රශ්න බාහිර රාජ්‍ය විසින් ඇති කෙරෙන ඒවා. බාහිර රාජ්‍ය බටහිර ම වෙන්න ඕන නැහැ. අප මුහුණ දුන් දෙමළ වෙල්ලාල ප්‍රශ්නය ඉංගිරිසින් හා ලන්දේසීන් විසින් ඇති කෙරී ඉන්දියාව විසින් ද පෝෂණය කෙරුණක්. මුස්ලිම් ප්‍රශ්නය බටහිර රාජ්‍ය හා ඒ රාජ්‍ය සමග වැඩ කරන මුස්ලිම් රාජ්‍ය විසින් ඇති කෙරුණක්. බටහිරයන් තමන් විසින් ඇති කෙරෙන ඊනියා ජනවාර්ගික ප්‍රශ්න කළමනාකරණය සඳහා එක්සත් ජාතින්ගේ විවිධ ආයතන පිහිටුවල තියෙනවා. මානව අයිතිවාසිකම්, සාම මණ්ඩල, සම්බන්ධීකාරක කාර්යාල බොහෝ ආසියා අප්‍රිකා රටවල දකින්න පුළුවන්.

ඉතා කෙටියෙන් කිවුවොත් වත්මන් මුස්ලිම් ප්‍රශ්න බටහිරයන් විසින් කළමනාකරණය කෙරෙන දේ. එහි දී යොදා ගන්නා ප්‍රධාන අවිය වහාබ් වාදය. වහාබ් වාදය මුලධර්මවාදයක්. ඔවුන්ට අවශ්‍ය වුණේ මුල් මුස්ලිම් සංස්කෘතියට ඉස්ලාම් ආගමට යෑමට. බොහෝ දෙනා නොකිව්වාට කතෝලික ආගමට හා සංස්කෘතියට එරෙහි ව ප්‍රහාර එල්ල කළ මාටින් ලූතර් පූජකතුමාත් මූලධර්මවාදියෙක්. බුදුදහමෙහි දැන් මූලධර්මවාදීන් නැහැ. ථෙරවාදය මූලධර්මවාදයක් නො වෙයි. මහායානය නොමග ගිය මූලධර්මවාදයක්.

ඉංගිරිසින් තමයි ඔටෝමාන් අධිරාජ්‍යයට විරුද්ධ ව මුස්ලිම් වහාබ්වාදය යොදා ගත්තෙ. අද වන විට වහාබ්වාදය ඉංගිරිසින්ගෙ හා පළල් වශයෙන් බටහිරයන්ගෙ මෙවළමක්. ඇතැම් අරාබි රටවල් මෙහි දී බටහිරයන් සමග එක්ව ක්‍රියා කරනවා. හිස්බුල්ලා හිස් මාස්ටර්ස් බුල්ලා බවත් මාස්ටර් හෙවත් ස්වාමියා ගැන මෙරට ජනයාට යම් අවබෝධයක් තිබෙන බවත් පැහැදිලියි.

ලෝනා දේවරාජා කියන ආකාරයට ලංකාවට මුස්ලිමුන් පළමුවෙන් පැමිණ ඇත්තේ අටවැනි සියවසේ පමණ. ඒ පැමිණි අය සිංහල කතුන් විවාහ කරගෙන සිංහල කතා කරන මුස්ලිම් ජනකොටසක් මෙරට ඇති කළා. එහෙත් දහහතරවැනි සියවසේ පමණ මලබාර් පෙදෙස් දෙමළ කතා කරන මුස්ලිමුන් මෙරටට පැමිණ අර තිබූ සිංහල කතා කරන මුස්ලිම් සංස්කෘතිය පරාජය කර දෙමළ කතා කරන මුස්ලිම් සංස්කෘතියක් ඇති කර තිබෙන බව පැහැදිලියි. සිංහල කතා කළ මුස්ලිමුන් ද දෙමළ කතා කරන මුස්ලිම් සංස්කෘතියට උරාගෙන, නැත්නම් අවශෝෂණය කෙරිලා. එබැවින් සංස්කෘතික වශයෙන් ගත් කල මෙරට ඇත්තේ දෙමළ කතාකරන මලබාර් මුස්ලිම් සංස්කෘතියක විකාශයක්. ඔවුන් අද ක්‍රමයෙන් සිංහල කතාකරන මුස්ලිමුන් බවට පත්වෙමින් සිටිනවා.

දහනවවැනි සියවසේ දී ඉංගිරිසින් ඇතැම් මුස්ලිමුන් සිංහල බෞද්ධ රාජ්‍යයට විරුද්ධ ව යොදා ගත්තා. එයත් ඩීල් දේශපාලනයක්. ඩීල් දේශපාලනයෙහි ආරම්භකයන් බටහිරයන්. ඉංගිරිසින් අතින් එය වර්ධනය වුණා. 1915 කලබල හොඳ ම උදාහරණය. එහෙත් ඇතැම් මුස්ලිම් නායකයන් සිංහලයන් සමග සහයෝගයෙන් වැඩ කළා. විශේෂයෙන් ම මැලේ මුස්ලිමුන් සිංහලයන් සමග හිටියා. මෑත දි දෙමළ ජාතිවාදයේ ආභාසය මුස්ලිමුන්ට ලැබුණා. අෂ්රොෆ් ඒ ප්‍රවණතාවයෙහි පුරෝගාමියෙක්. හකීම්ලා බද්‍යුද්දීන්ලා හිස්බුල්ලාලා අෂ්රොෆ්ගේ ගෝලයන්.

වහාබ්වාදය ඔවුන්ගේ අවිය. එහෙත් වහාබ්වාදයට විරුද්ධ මුස්ලිමුන් විශාල පිරිසක් රටේ ඉන්නවා. සිංහල දේශපාලනඥයන් ඔවුන් ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. සිංහල දේශපාලනඥයන් වහාබ්වාදීන් සමග ඩීල් දේශපාලනයේ යෙදෙනවා. පාර්ලිමේන්තුවේ ඡන්ද කිහිපයක් සඳහා සිංහල බෞද්ධ සංස්කෘතිය පාවා දෙනවා. මෙරට සිංහල දේශපාලනඥයන්ගේ පරම යුතුකම බුදුසසුනේ චිරස්ථිතිය බව ඇතැමුන් අමතක කරනවා. ඒ ගැමුණු රජ දවස සිට පැවතෙන පරම යුතුකමක්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අවුරුද්දකට පෙර ගැමුණු පිළිරුව අබියස පොරොන්දු වූයේ මේ පරම යුතුකම ඉටු කිරීමට. එහෙත් එතුමා නැතත් ඒ යුතුකම අමතක කළවුන් ද ආණ්ඩුවේ සිටිනවා.

බද්‍යුද්දීන් වැන්නවුන් ඉදිරියට ගෙනෙනු ලැබුවේ අර පරම යුතුකම අමතක කර බලය පමණක් ගැන සිතූ සිංහල දේශපාලනඥයන් විසින්. බද්‍යුද්දීන් වැන්නවුන් මුස්ලිම් වහාබ්වාදය කේවල් කිරීමට යොදා ගන්නවා. ඇතැම් සිංහල දේශපාලනඥයන් වහාබ්වදීන්ගේ ඡන්ද බලයට පත්වීමට බලය රැක ගැනීමට සහ ඇතැම් අවස්ථාවල බලය නොගැනීමටත් යොදා ගන්නවා. 2018 ඔක්තෝම්බරයේ මහින්ද රඳවා නොගැනීමට වහාබ් ඡන්ද නිෂේධාත්මක අයුරින් යොදා ගැණුනා.

බද්‍යුද්දීන් කැලෑ කපා ඇත්තේ මුස්ලිම් ජනයා පදිංචි කරවීමට. මේ යාපනයෙන් එළවනූ ලැබූ අය යැයි කියනවා. එකල යාපනයේ මුස්ලිමුන් කොපමණ ප්‍රභාකරන් විසින් පන්නා දැමිණි ද? මේ කැලෑ කපන්නේ ඔවුන් සඳහා පමණක් ද? මුස්ලිමුන් යම් පිරිසක් ආපහු යාපනයට යැවීමට නොහැකි වුණේ ඇයි. මේ ඡන්ද කළමනාකරණයක් නො වේ ද? කැලෑ කැපීම ගැන බද්‍යුද්දීන්ට විරුද්ධ ව නඩු පවරන්න පුළුවන් ද? ඔහු අද රක්‍ෂිත බන්ධනාගාරයේ ඉන්නේ මෙවැනි වැරදි සමග සංසන්දනය කළ විට නොගිණිය හැකි වරදකට. බන්ධනාගාරයෙත් ඩීල් ද?

මුස්ලිම් වහාබ්වාදය ක්‍රියාත්මක වන්නේ දෙමළ වෙල්ලාල ජාතිවාදය ක්‍රියාත්මක වූ ආකාරයට නො වෙයි. වහාබ්වාදීන් අවිගත් සටනකට යොමු වන එකක් නැහැ. ඔවුන් අතන මෙතන බෝම්බ පුපුරවයි. එහෙත් ඔවුන් වඩාත්ම යොදා ගන්නේ ඩීල් දේශපාලනයයි. ඔවුන්ගේ බලකොටුව පාර්ලිමේන්තුවයි. අර පරම යුතුකම අමතක නොකළොත් පාර්ලිමේන්තුවේ දී ම වහාබ්වාදය පරාජය කරන්න පුළුවන්. ඒ සඳහා සිංහලයන් මේ ආණ්ඩුවට අවශ්‍ය ශක්තිය ලබා දී තියෙනවා. ඩීල් දේශපාලනයෙන් ඒ ශක්තිය දිය නොකිරීමට වග බලාගන්න ඕන ෴

***************************************

Miracle boy from Naiwala –
from Gaia Kodithuwakku YouTube (07 Nov 2020)

Todays Vlog is a little different than what you guys are used to. I know it’s been a while but I had to come out of hibernation and share the story if this extraordinary kid with you.

Please contact the parents to help them with donations or to help have him put in a better school:

Nimal – 077 198 5740
Jenita – 077 650 1029

Account Details:

Bank : BOC Naiwala
A/C No. : 72953158
A/C Name : S J S Fonseka

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *