කොරෝනාට අප නැවැත්විය නොහැකියි.. ලෝකයම බිය වෙද්දී අප කොරෝනා නොතකා ඉදිරියට යනවා.. – ඇමති උදය ගම්මන්පිල

කොරෝනාට අප නැවැත්විය නොහැකියි.. ලෝකයම බිය වෙද්දී අප කොරෝනා නොතකා ඉදිරියට යනවා.. – ඇමති උදය ගම්මන්පිල

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පළමු පදවි ප්‍රාප්තිය අදයි (18) – රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්

*********************************************

කොරෝනාට අප නැවැත්විය නොහැකියි.. ලෝකයම බිය වෙද්දී අප කොරෝනා නොතකා ඉදිරියට යනවා.. – ඇමති උදය ගම්මන්පිල

(18.11.2020 – 12:00 +0530 – lankacnews.com)

කොරෝනා වසංගතයට අපට බාධා කළ හැකි මුත් අපව නතර කළ නොහැකි යන පණිවිඩය අප ලෝකයට ලබා දිය යුතු බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ කියුබික් මීටර් 29,000 ක (මෙට්‍රික් ටොන් 21,000) තෙල් ගබඩා කිරීමේ පහසුකම් ඇති නවීන තෙල් ටැංකි ත්‍රිත්වයක් කොළොන්නාව සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු අගහරුවාදා දින (2020.11.17) ආරම්භ කරමිනි.

එහිදී බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා විසින් දැක්වූ අදහස් :

= කොරෝනා වසංගතය ට අභියෝග කරමින් අප ඉදිරියට යනවා =

“අදින් හරියටම වසරකට කලින් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනවා වැඩ කරන අපේ විරුවා ලෙසින් අප නම් කළ වැඩක් කරලා පෙන්වා ජනවරම ගන්නට ජනතාව ඉදිරියට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරි වසර පහේ මෙරට ජනාධිපතිවරයා විදිහට. ඊට පසු දින වැඩ භාර ගත් එතුමා ජනාධිපති ධුරයට පත්ව අදට වසරක් ගත වෙනවා. ඒ නිසා තමයි අද දවස අප මේ දැවැන්ත සංවර්ධන කාර්යය සඳහා තෝරා ගත්තේ.

මේ වන විට කොරෝනා වසංගතය ඇවිල්ලා කොළඹ දිස්ත්‍රික්කය පුරා පැතිර යන මොහොතක්. කොරෝනා වසංගතයට අපට බාධා කළ හැකි මුත් අපව නතර කළ නොහැකි යන පණිවිඩය අප ලෝකයට ලබා දිය යුතුයි. කොරෝනා වසංගත හමුවේ ලෝකයේ රටවල් විශාල ගණනක් ඇද වැටී ඇති මොහොතක, අරාජික වී ඇති මොහොතක අපට අභියෝග කරන කොරෝනා වසංගතය ට අභියෝග කරමින් අප ඉදිරියට යනවා කියන්නයි කොලොන්නාව වැනි මෙම වසංගතයට දැඩිව ගොදුරු වූ ප්‍රදේශයක මෙවැනි දැවැන්ත සංවර්ධන කටයුත්තක් අද දිනයේ කරන්නට අප තීරණය කළේ. කොරෝනා වසංගතය අපට බාධාවක් විය හැකි වුවත් අපව නැවැත්වීමට නොහැකියි. කොරෝනා සමග ජීවත්වන හැටි අපට ඉගෙන ගන්නට සිදු වෙනවා.

අප මුව වැසුම් පාවිච්චි කරනවා, විෂබීජ නාශක වලින් හෝදනවා. මීටරේ දුර පවත්වාගෙන යනවා. අපේ උත්සව පවා අද වෙනස් වෙලා තියෙනවා. නමුත් අපේ ජීවිත නතර කිරීමට නම් ඒ නොපෙනෙන වෛරසයට ඉඩදිය යුතු නැහැ. මේ වෛරසය මාස තුනෙන් මාස හයෙන් අවසන්වේවි කියලා ඇතැම් ලෝක නායකයන් අනාවැකි පළ කරද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ ඇතැම් විට වසර දෙකක් අපට වෛරසය සමග ජීවත් වන්න වෙයි කියලයි. සියල්ල නතර වී වෛරසය අවසන් වන තුරු අතපය හකුළුවාගෙන බලාගෙන සිටිනවා වෙනුවට අපි වෛරසය සමග අපේ ජීවිත අඩාල නොවී ගත කරන්නේ කොහොමද කියන එකයි සොයා බලමින් සිටියේ. ඒ අනුව අද අපේ රට ඉදිරියට යනවා වෛරසය සමග සටන් කරමින්.

තෙල් නැව එනතුරු ජාතිය මුහුද දෙස බලාගෙන සිටිය යුතුද ?

ඒ වගේම අපේ රටේ බලශක්ති සුරක්ෂිතභාවය ගැන කතා කරද්දි මේ තෙල් ගබඩා ටැංකි තුන ඉදිකිරීම ඉතාම සුවිශේෂී අවස්ථාවක් ලෙසින් කතා කරන්නට පුළුවන්. ඝන මීටර 29,000 ක දැවැන්ත ධාරිතාවකින් යුතු මෙම තෙල් ටැංකි තුන ඉදි කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ ජාතික ආරක්ෂාවේ සුවිශේෂීම අංගයක් වන අපේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නංවා ගැනීමයි. අපට මතකයි පසුගිය ආණ්ඩු කාලයේ තෙල් නැව එනකං ජාතිය බලාගෙන හිටියා මහ මුහුද දිහා. පැය ගණන් දවස් ගණන් දිගු පෝලිම් ඉන්ධන පිරවුම්හල් ඉදිරියේ ඇති වුණා. ප්‍රමිතියේ ප්‍රශ්නයක් නිසා ඉන්ධන නැවක් ප්‍රතික්ෂේප කරන්නට සිදුවුවහොත්, යම් පාරිසරික හෝ යුධමය හේතුවක් නිසා ඉන්ධන නැව් පැමිණීම ප්‍රමාද වුවහොත් අපේ රටේ ගමනට බාධාවක් නොවන බවට අප වග බලා ගත යුතුයි.

ඉන්ධන කියන්නේ ශරීරයේ දුවන රුධිරය වගේ. ඉන්ධන කියන්නේ ජාතියේ ජීවනාලියයි. ඉන්ධන හරහා තමයි සියල්ල හැමතැනටම අරගෙන යන්නේ. ඉන්ධන හිඟයක් කියන්නේ මේ රටේ ඖෂධ ආහාර පාන පවා බෙදාහැරීම අඩපණ වෙනවා කියන එකයි. ජනතාවගේ ගමනාගමනය අඩපණ වෙනවා කියන එකයි. ‘අපේ ආණ්ඩුව තිබෙන තුරාවට මේ රට අඳුරේ තබන්නට අප ඉඩ තියන්නේ නෑ’ කියන එක කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරන අවස්ථාවක් විදිහට මේ තෙල් ටැංකි තුන ඉදි කිරීමේ කටයුත්ත අපට හඳුන්වන්නට පුළුවන්. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අවසර ලබාගෙන මසක් ගත වන්නටත් පෙර මෙහි වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මැතිතුමා ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයටම අපේ ප්‍රණාමය සහ ප්‍රසාදය පළ කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.

ඛණිජ තෙල් ගබඩා ධාරිතාව ඉහලට

අපට පෙට්‍රල් ගබඩා කරගත හැක්කේ ආසන්න වශයෙන් දින විසි හයකට සෑහෙන්නට පමණයි. ඩීසල් නම් එය දින තිහක් පමණ වෙනවා. අපේ මේ තෙල් ටැංකි ඉදිකිරීමෙන් අපේ පෙට්‍රල් ගබඩා කිරීමේ හැකියාව දින නමයකින් පමණ ඉහළ නංවා ගන්නවා. එය ඩීසල් නම් ගබඩා කර ගැනීමේ හැකියාව දින 6 කින් පමණ අප ඉහළ නංවා ගන්නවා. නමුත් මෙයත් අපට ප්‍රමාණවත් නැහැ. අප බලශක්ති සුරක්ෂිතභාවය ලැබුවා යැයි ප්‍රකාශ කිරීමට නම් අවම වශයෙන් අපට තුන් මසකට වත් අවශ්‍ය තෙල් ගබඩා කිරීමේ ධාරිතාවක් අප සතුව තිබෙන්නට ඕනෑ. එලෙස ගබඩා කරනවා ද නැද්ද යන්න වෙනම කාරණයක්. එය ඒ මොහොතේ පවතින මූල්‍යමය, ආරක්ෂක සහ ආර්ථික කාරණා සලකා බලා ගත යුතු තීරණයක්. නමුත් ගබඩා කිරීමේ හැකියාව අප සතු වෙන්නට ඕනෑ. හැන්ද තිබුනොත් තමයි බෙදා ගන්නවද නැද්ද කියන එක අපට තීරණය කරන්නට පුළුවන්. මේ නිසා අප ඉදිරියටත් මෙවැනි තවත් ටැංකි පද්ධතියක් ඉදි කිරීමට බලාපොරොත්තු වෙනවා.

ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවලට මොකද වෙන්නේ ?

ඒ වගේම ‘ලංකා අයිඕසී’ සමාගම සහ ඉන්දියානු ආණ්ඩුව සමඟ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සම්බන්ධයෙන් අප සාකච්ඡා කරගෙන යනවා. බොහෝ අය අපෙන් අහනවා මේ සාකච්ඡාවල ප්‍රතිඵල මොනවද කියලා. මම කියලා කරනවට වඩා කරලා කියන්න කැමති පුද්ගලයෙක්. ඒ නිසා වැඩේ කරල, ඉවරවෙලා අපි කියන්නම් වැඩේ කෙරුවා කියලා. නමුත් බොහෝ වෙලාවට දේශපාලනයේ හා පරිපාලනෙයේ තියෙන්නේ වැඩ කිරීම කෙසේ වෙතත් අපි අහවල් දෙය කරනවා කියමින් සිහින විකුණමින් කයිවාරු ගැසීම. අපට අවශ්‍ය වැඩේ කරන්නට මිසක් සිහින ජනතාවට විකුණමින් ජනතාව වල්මත් කරන්නට නොවෙයි. ඒ නිසා අප ඉදිරි වසර ඇතුළත බලශක්ති සුරක්ෂිතතාවයේ දී ශ්‍රී ලංකාවට පමණක් නොව දකුණු ආසියාවට වැදගත් සුවිශේෂී තීන්දුවක් ගැනීම සඳහා සාර්ථක සාකච්ඡා කරගෙන යනවා කියන එක පමණක් දැනට අපට ප්‍රකාශ කරන්නට පුළුවන්.

ඇත්ත නැත්ත කරමින්, නැත්ත ඇත්ත කිරීම

රුපියල් බිලියනයකටක් වඩා වටින මේ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව හිමිවෙලා තියෙන්නෙ දේශීය සමාගමකට. මේ රටේ ජනතාව පිළිබඳවයි මේ විශ්වාසය තියලා තියෙන්නේ. මේ රටේ සම්පත් පිළිබඳවයි විශ්වාසය තියලා තියෙන්නේ. නමුත් ගිය සතියේ සමාජ ජාලාවල යනවා දේශප්‍රේමී ගම්මන්පිල තෙල් සහ පෙට්‍රල් ගෙන්වීම විදේශීය සමාගම් දෙකකට පවරයි කියලා. ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන සමාගම් නැහැ. ඒ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආරම්භ වුන දවසේ පටන්ම විදේශීය සමාගම් වලින් තමයි පෙට්‍රල් සහ ඩීසල් අරගෙන තියෙන්නේ. එය නතර කර ගැනීමට තමයි අප මේ කටයුතු කරමින් ඉන්නෙ. ඉතිහාසය පුරාවටත් අප පෙට්‍රල් හා ඩීසල් මිලදී අරගෙන තියෙන්නේ විදේශීය සමාගම් වලින් තමයි. නමුත් ගම්මන්පිලගේ යුගයේ එය සිදුවීම රටට ප්‍රවෘත්තියක් කරන්නට උත්සාහ දරනවා. මේ අය අද අපට එරෙහිව නගන්න චෝදනා නැති නිසා ඇත්ත නැත්ත කරමින්, නැත්ත ඇත්ත කිරීමට උත්සාහ දරමින් සිටිනවා.

මට මේ චෝදනා සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ පිදෙල් කැස්ත්‍රෝ වරක් අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් කළ ප්‍රකාශයක්මයි. ‘අද මට දසතින් නැගෙන චෝදනා ඉතිහාසයේ කුණු බක්කියට ඇදවැටී අනාගතය විසින් මා නිදහස් කරනු ඇත. ඒ දිනය උදාවන තෙක් මා උපේක්ෂාවෙන් බලා සිටිමි’ කියලයි. එනිසා අපට චෝදනා කරන, අපේ කකුලෙන් අදින අයට පිළිතුරු දීමට ගියොත් අපට අපේ ගමන යාමට හැකියාවක් නෑ. මගදී බුරන බල්ලන්ට ගල් ගහන්න නතර වුනොත් අපට අපේ ගමන යන්නට බැරි වෙනවා. අපට අවලාද නගපු දෙන්. පදනම් විරහිත චෝදනා නගපු දෙන්. ඒවා බොරු බවට ඔප්පු කිරීමට අනාගතයට අවස්ථාව ලබා දීලා රට හැදීමේ ගමනේදී බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරමින් බලශක්තියෙන් ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යය දැක්ම බලගැන්වීමේ අපේ ව්‍යාපෘතිය සදහා අප සැම එකට අත්වැල් බැඳගෙන මවුබිම වෙනුවෙන් ඉදිරි යෑමට ඔබ සැමට ආරාධනාකරනවා.”

එහිදී සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා විසින් දැක්වූ අදහස් :

“ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් පරිදි සෞභාග්‍යයේ දැක්ම වැඩකරන රටක් යථාර්ථයක් බවට පත්කරන්නට නම් වැඩ කරන සේවක පිරිසක් එකතු විය යුතුයි. මට මේ අවස්ථාවේ මතක් වෙනවා ගරු ඇමතිතුමා වැඩ භාරගෙන කරපු කථාව. එතුමා කියනවා ‘මගේ පරමාර්ථය වන්නේ අපේ මව්බිමේ තියෙන භූගත තෙල්, ගෑස් ආදිය එලියට ගැනීමයි. ඒ වගේම අපේ ටැංකි විතරක් නෙමෙයි ත‍්‍රිකූණාමලයේ තියෙන ටැංකි ටිකත් ප‍්‍රසාරණය කරලා රටේ බලශක්තිය ස්ථාවර කිරීමයි’ කියලා.

එදා ඛණිජ තෙල් බෙදාහැරීම පිටරට සමාගම් වලට අයත් වෙලා තිබුනේ. ටී.බී. ඉලංගරත්න මැතිතුමා විදේශ සමාගම් සතුව තිබූ ආයතන ජනසතු කරන විට ඛණීජ තෙල් කොම්පැණියත් ජනසතු කරා. එදා අප සියලු දෙනා සතුටුවුනාවුනාට එකක් කියන්න ඕනෑ. අපේ ජාතික ගීයේ තියෙනවා ‘එක මවකගෙ දරුකැළ බැවිනා යමු යමු වී නොපමා’ කියලා. අපි ජාතික ගීය හැමදාම ගැයුවත් එය සාක්ෂාත්වෙලා නැහැ කියලා දැනෙනවා. ඔබතුමන්ලා දන්නවා එදා තෙල් සංචිතය අවුරුදු එක හමාරකට ඇතිවෙන්න තියාගන්න හැකි උවත් දැන් මසකටත් අඩු කාලයක් පමනයි තොග ගබඩාවේ තියාගන්න පුලුවන් වෙන්නේ.

ඇමතිතුමා කිව්වා සේ අපි ත‍්‍රීකුණාමලයේ ටැංකි ටික සුහදශීලීව ලබාගන්න බලනවා. ඒවා ලැබුනා හෝ නොලැබුනා හෝ මාස 3 කට ඇති වෙන්න තෙල් ගබඩා කරගැනීමට අවශ්‍ය ව්‍යාපෘතියක් ඇමතිතුමාගේ නිර්දේශ මත ආරම්භ කරලා තියෙනවා. එහි ප‍්‍රථම අදියර තමයි මේක. අපි ටැංකි 10 ක් හඳුන්වා දෙන්න යනවා. එදා ජනසතු කරායින් පස්සේ අපි ප‍්‍රථම වතාවට ටැංකි 3 ක් එක විට හදන්න යනවා. කියන්න සතුටුයි ඒකට දායක වූ ඇමතිතුමා, ලේකමිතුමිය අපේ සෙවක පිරිස ඇතුලු සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම දෙවෙනි අදියරේදී බලාපොරොත්තු වෙනවා තව ටැංකි 6 ක් මෙයට එකතුකර ගැනීමට. ඊට අමතරව තව තියෙනවා ටැංකි 8 ක් විතර අප සම්පූර්ණ ධාරිතාවම භාවිතා නොකරන. එයිනුත් ටැංකි 6 ක් පමණ හදාගන්නවා. ඉන් අපේ ධාරිතාව තවත් ඉහල නැන්වේවි. මේ ගමන අප යා යුතයි. ලෝක වෙළදපොලේ ඉන්ධන මිල පහල යනවිට අපට චෝදනා එල්ල වුනා අපට ඉන්ධන ගෙනත් ගබඩා කර ගැනීමට හැකියාවක් නැහැ කියලා. අපේ ධූර කාලයේදී මෙය නිමා කර ගැනීමට බලාපොරාත්තු වෙනවා. අපේ ධූර කාලය අවසන් වූ විට අප යායුතු වුනත් මෙය සේවකයන් වන ඔබ සතුව පවතිනවා. අනාගතයේ දුවා දරුවන් වෙත එය බාරදීම වෙනුවෙන් එය මනාව පවත්වා ගැනීම ඔබේ යුතුකමයි. ඒ වගේම ‘සෞභාග්‍යයේ දැක්ම’ බල ශක්තියෙන් බලගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද මතක් කරනවා.”

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ, අයි ඕ සී සමාගමේ කලමණකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවේදී අදහස් දැක්වූ අතර ඛනිජ තෙල් සම්පත් සංවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම, අමාත්‍යතුමන්ගේ පුද්ගලික ලේකම් උපුල් විජේසේකර යන මහත්වරුන් සහ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් වෘතීය සමිති නායකයින් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී විය ෴

***************************************

සියලු පාසල් තුළ ඉංග්‍රීසි සුහුරු පන්ති (Smart Class) පිහිටුවීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක්

(17.11.2020 – 18:03 +0530 – hirunews.lk/sinhala)

පාසල් තුළ ඉංග්‍රිසි අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් නවීන තාක්ෂණය සම්බන්ධ කර ගනිමින් සකස් කරන ලද ඉංග්‍රීසි සුහුරු පන්ති (English Smart Class) පිහිටුවීමේ වැඩපිළිවෙලක් Right to Read ව්‍යපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවා තිබෙනවා.

3 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාව තුළ ඉංග්‍රීසි විෂයට අදාළ පෙළ පොත් ඇසුරින් සකස් කරන ලද පාඩම් මාලා අන්තර්ගත කරන ලද අන්තර්ජාල යෙදවුමක් මගින් මෙම ඉංග්‍රීසි සුහුරු පන්ති ක්‍රියාත්මකවනවා.

මේ වන විට දිවයින පුරා පාසල් 837 ක සිසුන් 510,745 කට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සමඟ සම්බන්ධ කරගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

උතුර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල පාසල් තුළ මේ වන විටත් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

2022 වර්ෂය වන විට දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති අතර, දකුණු පළාත් වැඩපිළිවෙළ තුළ පළමු අදියර යටතේ ඉදිරි මාස කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 100 ක මෙම වැඩසටහන හදුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා.

දෙවන අදියර යටතේ දකුණු පළාතේ තවත් පාසල් 100 කට ඉංග්‍රීසි සුහුරු පන්ති ලබාදීමට පියවර ගනු ලබනවා.

දරුවන්ට පාසල තුළ දී අදාළ විෂය භාර ගුරුවරයාගේ සහාය ඇතිව සුහුරු ඉංග්‍රීසි පන්තිය සමඟ සම්බන්ධ විය හැකි අතර, මීට අදාළව ගුරුභවතුන් පුහුණු කිරීම වෙනුවෙන් ගුරු උපදේශකවරුන් සහ විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ කටයුතු ද මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කළේ ෴

***************************************

දුමින්දගේ තීන්දුවට, විනිසුරු පද්මිණී තනතුරු ඉල්ලයි

(17.11.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශවීමට පෙර එම තීන්දුවේ අන්තර්ගතය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර දැනසිටි බව අද (17) හෙළිවුණා.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම සිදුකළ සාක්ෂි විමසීමේදියි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව නඩු පවරා මේ වනවිට වසර හතරකට (4) වැඩි කාලයක් සිරගත කර ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණයක් මත සිදු වූ දෙයක් පදනම් කරගනිමින් බවට දේශපාලන පළිගැනීම පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසමට කර තිබූ පැමිණිල්ල අද (17) සලකා බැලුණා.

මෙම පැමිණිල්ල ගොණුකර තිබුණේ දුමින්ද සිල්වා මහතාගේ පියාණන් වන ලාල් සිල්වා මහතා විසින්.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් දුමින්ද සිල්වා මහතා එවකට මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් ලාල් සිල්වා මහතා කරුණු පැහැදිලි කිරීම ආරම්භ කළා.

***************************************

(17.11.2020 – 21:13 +0530 – hirunews.lk/sinhala)

‘සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ප්‍රතිපත්ති රාමුව යටතේ 2021 වසර සඳහා වන අය වැය මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මේ අතර, අය වැය කතාව අතරතුර සාම්ප්‍රදායික තේපැන් සංග්‍රහය අද (17) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදි පැවැත්වුණා.

ඒ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුවයි.

++++++++++++++++++

=========================================

(17.11.2020 – 18:44 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 157 දෙනෙකු අද (17) වාර්තා වී තිබෙනවා.

මෙලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

(17.11.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද (17) දිනයේ දොලොස් දහසේ සීමාව ඉක්මවා ගියා.

ඒ, ආසාදිතයින් 404 දෙනෙකු අද (17) දිනයේදී සුවය ලබා පිටව යෑමත් සමඟයි.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,210ක් ලෙස දැක්වෙන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 5,403 දෙනෙකු පමණයි.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 17,831 ක් ලෙසයි.

මේ අතර, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ 11 හැවිරිදි දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ මේ දක්වා ගතවූ කාලය තුළ රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු 60 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ අතර, පසුගිය සති දෙකක කාලය තුළදී බන්ධනාගාරවලින් ඇප ලබා පිටත්ව ගිය පුද්ගලයින්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දුරකතන ඇමතුමක් ලබාදී දැනුම්වත් කරන ලෙස ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි ඉල්ලීමක් කරනවා.

ඒ, පසුගිය දිනෙක එලෙස ඇප ලබා නිදහස් වූ පුද්ගලයෙකුගේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමඟයි.

එසේම, කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බූස්ස බන්ධනාගාරයේ සැකකරුවෙකු ඇප ලබා අධිකරණයට පැමිණීම හේතුවෙන් ලබන 20 වැනිදා දක්වා ගාල්ලේ සියලුම අධිකරණවල නඩු කටයුතු නොපැවැත්වීමට තීරණය කළ බව ගාල්ල නීතිඥ සංගමය ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 24 ක් තවදුරටත් හුදෙකලා කර ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායී ෴

+++++++++++++++++++

(17.11.2020 – 22:34 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 241 දෙනෙකු අද (17) හඳුනාගෙන තිබෙනවා.

මෙලෙස හඳුනාගත් ආසාදිතයින් 241 දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

මෙම ආසාදිතයින් 241 දෙනා සමඟ අද (17) දිනයේ හඳුනාගත් මුළු ආසාදිතයි ගණන 398 ක් ෴

+++++++++++++++++++

(17.11.2020 – 23:01 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණය 05 ක් අද (17) වාර්තා වනවා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ 66 ක් දක්වා ඉහළ ගියා.

කාන්තාවන් තිදෙනකු (3) සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (17) දිනයේ වාර්තා වූ කොවිඩ් මරණ 05 පිළිබඳ විස්තර පහතින් :

++++++++++++++++++++

(18.11.2020 – 07:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අත්‍යවශ්‍ය මෙහෙයුම් මහජන සේවාවක් බවට නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ආඥාවක් ලෙස ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව එය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටුකළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ හෝ කවර ස්වභාවයක වූවද සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා.

ඒ අනුව එම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි එහි දැක්වෙන්නේ ෴

++++++++++++++++++

(18.11.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට මියගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 66 ක්. ඊයේ (17) එම මරණ පහම වාර්තා වූයේ කොළඹ හා ඊට තදාසන්න ප්‍රදේශවලින්.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර, ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවීමෙන් පසු පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබෙනවා. පසුව වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මියයන විට අධික රුධිර පීඩනයෙන් පෙලී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දියවැඩියා රෝගයේ සංකූලතා සහ අධික රුධිර පීඩනය සමඟ කොරෝනා ආසාදනය වීමෙන් 69 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇති අතර, ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. අධික රුධිර පීඩනය සහ දියවැඩියා රෝගය සමඟ කොරෝනා ආසාදනය වූ කිරුලපන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්ද ඊයේ (17) මියගිය අතර, ඔවුන් දෙදෙනාම නිවෙස්වලදී මියගොස් ඇති බව සඳහන්. දෙමටගොඩ සහ කොළඹ 02 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක් මෙන්ම කාන්තාවක්ද ඊයේ (17) මියගියා.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයාද නිවසේදී මියගොස් ඇති අතර, දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොරෝනා ආසාදනය වීම මරණයට හේතුව ලෙස දැක්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. 81 හැවිරිදි කාන්තාව කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි අතර, ඇය ජාතික රෝහලේදී මියගියා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනයෙන් නිවුමෝනියාව වැළඳීමයි.

ඊයේ (17) දිනයේ නව අසාදිතයින් 398 දෙනෙකු හඳුනා ගැනිමත් සමඟ මෙරට මුළු කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 18,075 දක්වා ඉහළ ගියා. ඒ අනුව දිවුලපිටිය සහ පැලියගොඩ පොකුර 14,568 ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5799 ක් වනවා. ඊයේ (17) දිනයේදි 404 දෙනෙකු සුවය ලැබූමත් සමඟ වෛරසය ආසාදනය වී සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,210 ක්. මේ වනවිට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධයන මධ්‍යස්ථාන 33 ක පුද්ගලයින් 3281 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා.

මේ අතර, තවදුරටත් දිවයින පුරා පොලිස් බල ප්‍රදේශ 24 ක් හුදකලා කර තිබෙනවා. එසේ හුදකලා කර ඇති ප්‍රදේශ වල නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් සොයා ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ගුවන් හමුදාව ඊයේ (17) විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවා. එහිදී නිරෝධායන නීති උල්ලංඝනය කළ 95 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම මෙහෙයුම් සිදු කරනු ලැබුවේ කොටහේන, කෙසෙල්වත්ත, වත්තල සහ ජා-ඇල යන පොලිස් වසම්වලයි ෴

+++++++++++++++++

(18.11.2020 – 09:36 +0530 – hirunews.lk/sinhala)

බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ව්‍යාප්ත වූ කොරෝනා ආසාදිත පොකුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මග පෙන්වීම මත මෙම පොලිස් කණ්ඩායම යොදවා ඇති බව වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙහිදී නීතිපතිවරයාට දැනුම්දී ඇති බව සඳහන්.

මීට පෙර නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත් කරන ලෙසයි.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 18,075 දෙනෙකු වාර්තා වන අතර, ඊයේ (17) දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 401 ක්.

ඉන් තුන් දෙනෙකු (3) විදේශීය මුහුදු ආරක්ෂකයින් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඊයේ (17) වාර්තා වූ අනෙක් ආසාදිතයින් 398 දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වුණා.

ඉන් 201 ක් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 ක් වශයෙන් වාර්තා වූ බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

මේ අතර, ප්‍රතිදේහ ජනක කඩිනම් පරීක්ෂාව හෙවත් ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ මෙරට තුළ සිදුකිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ ඒ අනුව අද (18) සිට හඳුනාගත් ප්‍රදේශවල අදාළ පරීක්ෂාවන් සිදු කෙරෙන බවයි.

කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා කියා සිටියේ මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 531 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පොලිස් නිලධාරීන් 27 දෙනෙකුට ඊයේ (17) දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වෛරසය ආසාදනය වූ සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ අත්හිටුවා තිබූ විදේශයන් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් යළිත් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩසටහනට යටතේ ඩුබායි රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 289 දෙනෙකු අද (18) අලුයම දිවයිනට පැමිණියා.

+++++++++++++++++++

(18.11.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස උසස් වීමක් ලැබුව ද, අද (18) සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වෙන කොරෝනා සම්බන්ධ සාකච්ඡා සඳහා කැඳවන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ පවතින කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඇති වූ සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද මැදිහත් වුණා.

මේ අතර, අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය අදයි. අද (18) දිනයේ විවාදය ආරම්භ කළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින්.

*********************************************

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පළමු පදවි ප්‍රාප්තිය අදයි (18) – රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්

(18.11.2020 – 08:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර අද (18) සම්පූර්ණ කෙරෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත්වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපති ධූරයට තේරී පත් ප්‍රථම වෘත්තීමය නොවන දේශපාලනඥයා මෙන්ම එම ධූරයට පත් වූ ප්‍රථම හිටපු හමුදා නිලධාරියා බවටද පත්වෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස, ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 52.25% ක ප්‍රතිශතයක් ලබාගත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සමීපතම ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද මිලියන 1.3 ක් ලබා ගැනීම ද විශේෂත්වයක්.

නොවැම්බර් 18 වන දින අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑරඳුන් ඉදිරිපිට දී ජනාධිපතිවරයා සිය ධූරයේ දිව්රුම් දුන්නා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙරදැරිව ජනාධිපති ධුරයේ සිය මෙහෙවර අරඹන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙවුණු වසරක කාලය තුල රටේ ආරක්ෂක, සමාජයීය, ආර්ථික, මෙන්ම ක්ෂේත්‍ර රැසක ප්‍රගමනය වෙනුවෙන් සිය තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නේ කොරෝනා අභියෝගය මධ්‍යයේයි.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) රාත්‍රී 08:30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කළා.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනය ද අදට (18) යෙදී තිබෙනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉදිකරනු ලැබූ කැළණි දකුණ ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමද අද (18) සිදු කෙරෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ, බියගම – පට්ටිවිලදීයි. මෙමගින් කැළණිය, පෑලියගොඩ, බියගම, කඳාන, පමුණුගම, කටුනායක, කටාන, මහර, මෙන්ම කඩවත, රාගම, වැලිසර, ජා-ඇල, ඒකල යන ප්‍රාදේශීය කොට්ඨාශවල ජනතාවට ජලය ලබාදීමට නියමිතයි.

***************************************

(18.11.2020 – 08:04 +0530 – hirunews.lk/sinhala)

2021 අයවැය දෙවන වර කියවීමේ විවාදය අදින් ආරම්භ වනවා. ඒ, වෙනුවෙන් පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 09:30 ට රැස්වීමටයි නියමිතව ඇත්තේ.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ලබන සෙනසුරාදා පස්වරු 5 ට සිදුකිරීමට නියමිතයි. එසේම, 2021 අයවැය, කාරක සභා අවස්ථාව ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි. 2021 අයවැය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ෴

***************************************

(18.11.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පළා යෑමට තැත්කළ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගනු ලැබූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කළා.

නිරෝධායනයට ලක් කර සිටින රැඳවියන් පස් දෙනෙකු ඊයේ (17) රාත්‍රියේ මෙලෙස බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළා යෑමට උත්සාහ කර ඇති අතර, ඉන් එක් අයෙකු (1) පළාගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම රැඳවියන් පස් දෙනාම (5) මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අයයි. ඒ අතුරෙන් මියගිය රැඳවියා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අයෙකු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

කෙසේ නමුත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කෑගල්ල බන්ධනාගාර අධිකාරීවරයා පත්කර තිබෙනවා.

+++++++++++++++++++

https://www.youtube.com/watch?v=ycMLXQwwYiQ#t=5

***************************************

(18.11.2020 – 09:07 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 60 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ ෴

***************************************

(18.11.2020 – 10:08 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – දිගන ප්‍රදේශය ආශ්‍රිතව භූමියේ සුළු සෙලවීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

එහි සභාපති අනුර වල්පොල මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද (18) පෙරවරු 09:28 ට පමණ සිදුව ඇති මෙය පල්ලෙකැලේ මධ්‍යස්ථානයේ ද වාර්තා වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා සඳහන් කළා ෴

***************************************

(18.11.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

අඩසියවසක දේශපාලන දිවිය තුළ දෙවරක් ජනාධිපති ධුරය ද, සිව් වරක් අගමැති ධුරය ද හොබවමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය අදයි.

අදට (18) යෙදී ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනයට සමගාමීව කිරි අම්මාවරුන් වෙනුවෙන් දානමය පුණ්‍ය කර්මයක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී අද (18) අලුයම පැවැත්වුණා.

මහින්ද රාජපක්ෂ පවුලේ පළමු මුණුබුරා අග්‍රාමාත්‍ය සීයාට සුබ පැතුම් එක් කරන ආකාරය රෝහිත රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ද ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා අනතුරුව සිය නිල කාර්යාලයේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සමඟ උපන් දිනය සැමරුමකට එක් වුණා.

1945 නොවැම්බර් 18 වැනිදා පාලටුවදී උපත ලබන මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන පරිසරය කුඩා කල පටන්ම නොමඳව ලැබුණා.

රාජපක්ෂ පරපුරට උරුම වූ කුරහන් සාටකයේ ආශිර්වාදයෙන් 25 වන වියේදී මැතිවරණ සටනට පිවිසි තරුණ මහින්ද 1970 වසරේ දී බෙලිඅත්ත ආසනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23,103 ක්.

ඒ ඔහුගේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිවාදියා ඡන්ද 16,477 කට සීමා කරමින්.

මහින්ද රාජපක්ෂ එලෙස තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස මැති සබය නියෝජනය කරන්නේ එවක සිටි ලාබාලතම මන්ත්‍රීවරයාද වෙමින්.

දේශපාලන දිවි ගමනේදී සිය ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් ද සම සිතින් විඳගත් මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලන සටන් බිමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් ඇමතිවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අගමැතිවරයෙකු ලෙස පමණක් නොව විධායක ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළා.

අඩසියවසකට අධික සිය දේශපාලන ජීවිතය තුළ ඔහු රටට දිනාදුන් දේ බොහෝයි.

30 වසරක් පුරාවට රට වෙලාගත් ශාපලත් යුද්ධය නිමා කිරීමේ ගෞරවයද හිමිවන්නේ මේ කෘතහස්ත දේශපාලනඥයාටයි.

එතැන් පටන් රටේ සංවර්ධන යුද්ධය ඇරඹු එතුමන් මෙරටට තවත් ජයග්‍රහණ රැසක් උරුම කර දුන්නා.

මෙරට ජන ප්‍රසාදය සහ ආශිර්වාදය තුළින් සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරය හොබවන මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මට ආලෝකයක් ලබාදෙමින් රටට තව තවත් ජයග්‍රහණ අත්කර දීම මෙරට සුවහසක් ජනතාවගේ පැතුමයි.

***************************************

(18.11.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

අපවත් වී වදාල රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ දේහය පිලිබඳ ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා (22) පස්වරුවේ කුණ්ඩසාලේ – බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි.

එම කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිත බව අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ලේකම් පූජ්‍ය ශ්‍රීකඩුවේ පඤ්ඤාසේකර හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

අපවත්වී වදාල මහානාහිමියන්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා මැණික්හින්න – හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අපවත් වනවිට 98 වන වියේ පසුවුණා.

අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ මහානිකායේ මහනායක ධුරයට පත් වුණේ 2012 වසරේ සැප්තැම්බර් 3 වනදායි.

උන්වහන්සේ මහනුවර – මැණික්හින්න – හූරිකඩුව විද්‍යා සාගර පිරිවෙනේ විහාරාධිපති හිමියන් ලෙස එහි වැඩ වාසය කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *