හුදකලා ප්‍රදේශවල ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්

හුදකලා ප්‍රදේශවල ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්

හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට (19) ජලය අත්හිටුවයි ; මොරටුවට අනිද්දා (20)

කළුතර රෝහලේදී සිදුකළ ඉතිහාසගත සැත්කම : විශාල වකුගඩු ගලක් ඉවත් කිරීම

සතොස වාහනවලින් රටපුරා ගිය අරාබි ජාතික පුද්ගලයින් ගැන පාස්කු කොමිසමේදී හෙළිවෙයි

*********************************************

හුදකලා ප්‍රදේශවල ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්

(18.11.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

හුදකලා ප්‍රදේශවල සිටින ජනතාව තවදුරටත් නිවෙස්වලම රැදී සිටිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නිරෝධායන නීති කඩන්නන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවයි.

එමෙන්ම, පසුගිය දින කිහිපයේදී ඩ්‍රෝන කැමරා උපයෝගි කර ගනිමින් පුද්ගලයින් 117 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සාගරිකා දුම්රිය අද (18) උදෑසන පානදුර ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබූ අතර, පසුව එහි පැමිණි මගීන් සෞඛ්‍යාරක්ෂිතව වෙනත් දුම්රියකින් කොළඹ බලා පිටත් කර එවා තිබුණා.

++++++++++++++++++++

(18.11.2020 – 14:59 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති සංඛ්‍යාව 12,587 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ අද (18) දිනයේදී තවත් 377 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය බවයි.

ඒ අනුව, තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5422 ක්.

මෙරට කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව සටහන් වන්නේ 18,075 ක් ලෙසයි.

එමෙන්ම, කොරෝනා මරණ 66 ක් ද මෙරටින් වාර්තා වී තිබෙනවා ෴

+++++++++++++++++++

(18.11.2020 – 18:01 +0530 – hirunews.lk/sinhala)

ශල්‍ය මුහුණු ආවරණයක උපරිම සිල්ලර මිල රුපියල් 15 කටත්, කේ.එන්. 95 මුහුණු ආවරණයක උපරිම මිල රුපියල් 100 කටත් අලෙවි කිරීමට ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් එකඟවූ බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (18) පැවති බවයි.

එහිදී නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, මුහුණු ආවරණ ආනයන ද සීමා කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා ෴

+++++++++++++++++++

(18.11.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ව්‍යාප්ත වූ කොරෝනා ආසාදිත පොකුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඉල්ලා සිටි ප්‍රගති වාර්තාව අදම ලැබීමට සලස්වන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ නීතිපතිවරයා අද (18) දිනයේදී මෙම විමර්ශනය සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම කැඳවා උපදෙස් ලබාදීමක් ද සිදුකළ බවයි ෴

+++++++++++++++++++

+++++++++++++++++++

(18.11.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

අද (18) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 233 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුර මේ වනවිට 14,801 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 377 දෙනෙකු අද (18) දිනයේදී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,587 දක්වා ඉහළ ගිය අතර, ඒ අනුව මේ වනවිට තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 5,655 දෙනෙකු පමණයි.

කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගත හැකි තත්ත්වයක පවතින බවට විශ්වාසය පළ කළා.

හොරණ පොලිස් ස්ථානයේ අද (18) පැවති උත්සවයකට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ කොළඹ නගරයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය තවත් සති දෙකත්, තුනත් අතර කාලයකදී පාලනය කරගත හැකි වනු ඇති බවයි.

මේ අතර, කොළඹ නගරයේ මාර්ග සංඥා අසල රැඳී සිටින යාචකයින් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් මතු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගිය මාමන්ඩියගේ මරණ පරීක්ෂණ වාර්තාව රැගෙන ඒමට පොලොන්නරුව වැලිකන්ද රෝහලට මගී බස් රථයකින් ගමන් කරමින් සිටියදී සොයාගෙන තිබුණා.

එසේම, කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දීර්ඝ කළ පාසල්වල තුන්වන වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් හෙට (19) දිනයේදී මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා ෴

========================================

(18.11.2020 – 13:33 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි එල් වාට්ටුවේ වහලය මත නැගී අද(18) පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළා.

පසුව, මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද තවත් විරෝධතාවක් ආරම්භ කළ අතර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහා කළේ තම නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා අදාල රැඳවියන් මෙම විරෝධතාව සිදුකරන බවයි.

විරෝධතාව සඳහා රැඳවියන් 20 දෙනෙකු පමණ එක්ව සිටින බව ද වාර්තා වනවා.

***************************************

(18.11.2020 – 13:39 +0530 – hirunews.lk/sinhala)

වසර 20 ක සිරදඩුවම් නියම වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාමගේ ඇප ඉල්ලුම තම අධිකරණයෙන් සලකා බැලීම සඳහා නීතිමය බලයක් ඇත්දැයි යන්න තීරණය ලබන 25 වනදා ප්‍රකාශයට පත් කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (18) තීරණය කළා.

ඒ එම පෙත්සම සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී, යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී ආචාර්ය ආචාර්ය මහානාම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කළේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තම සේවාදායකයට බන්ධනාගාරයේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අනතුරුදායක තත්ත්වයක් පවතින බවයි.

මෙම තත්ත්වය සලකා බලා ඔහුට ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සඳහන් කළා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර කියා සිටියේ නියම කර ඇති සිරදඩුවම් නියෝගය අනුව මෙම ඇප ඉල්ලීම සලකා බැලීම සම්බන්ධයෙන් පළමු ස්ථිර ත්‍රිපුද්ගල මඩුල්ලට බලයක් ඇත්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දිය යුතු බවයි.

2018 වසරේ මැයි මස 09 වනදා හෝ ඊට ආසන්න දිනකදී කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාල කටයුතු ඉටු කර දීම සඳහා ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් මිලියන 20 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බවට ඔහුට චෝදනා එල්ල වුණා ෴

*********************************************

හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට (19) ජලය අත්හිටුවයි ; මොරටුවට අනිද්දා (20)

(18.11.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – ගලවිලවත්ත ජල පොම්පාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (19) රාත්‍රී 9 සිට පැය 10 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, හෝමාගම, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට මෙලෙස හෙට (19) රාත්‍රී 9 සිට අනිද්දා (20) පෙරවරු 7 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

මේ අතර, මොරටුව ජල පොම්පාගාරයේ නල මාර්ගයක අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් නිසා අනිද්දා (20) පස්වරු 8 සිට පසුදා (21) පෙරවරු 8 දක්වා පැය 12 ක කාලයක් මොරටුව මහනගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

(18.11.2020 – 17:58 +0530 – hirunews.lk/sinhala)

පැල මිලියන දෙකක් (2) රෝපණය කිරීමේ ‘හුස්මදෙන තුරු’ ජාතික රුක්රෝපන වැඩසටහන, ලබන 20 වනදා ආරම්භ වීමට නියමිතයි.

පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කරන මෙම වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙලට අනුව සිදුකෙරෙනවා.

ඒ අනුව, මෙම වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ෴

***************************************

(18.11.2020 – 18:46 +0530 – hirunews.lk/sinhala)

හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ, නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් සමඟ ගසක් කඩා වැටිමෙන් අද (18) පස්වරු 3 සිට 5 දක්වා පැය දෙකක (2) පමණ කාලයක් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වුණා.

හැටන් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ එම පස් කන්ද සහ විශාල ගසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් අසළ තිබු විදුලි රැහන් පද්ධතියක්ද ප්‍රධාන මාර්ගයට කඩ වැටි තිබුණා.

පසුව නාවලපිටිය, පොලීසිය සහ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයින් ප්‍රදේශවාසින් සමඟ එක්ව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්වයට පත් කර තිබෙනවා.

මේ අතර කාසල්රි, මවුස්සාකැලේ යන ජල පෝෂක ප්‍රදේශවලට සහ හැටන් ප්‍රදේශවලට (18) පස්වරු 3 සිට අධික වර්ෂාව ඇදහැලෙමින් පවතින බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

***************************************

(18.11.2020 – 19:45 +0530 – hirunews.lk/sinhala)

අපරීක්ෂාකාරි ලෙස අධික වේගයෙන් රිය පදවා කුරුදුවත්ත ප්‍රදේශයේ පෞද්ගලික මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක බරපතල අලාභ හානි සිදුකළේ යැයි අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියාගේ දියණිය රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඇය අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාරියට රියදුරු බලපත්‍රයක් නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණ වී ඇති බවත්, එම තැනැත්තියට මෝටර් රථය ලබා දුන් මොහොමඩ් සම්රාස් අහමඩ් නමැත්තෙකුට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙහිදී අගතියට පත් මෝටර් රථ ප්‍රදර්ශනාගාර ආයතන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ සැකකාරිය සිදුකළ රිය අනතුර හේතුවෙන් තම ආයතනයට රුපියල් ලක්ෂ 200 ක පමණ පාඩුවක් සිදුවී ඇති බවයි.

ඉදිරිපත් වී ඇති කරුණු සැලකිල්ලට ගනු ලැබූ කොළඹ අතිරේ මහේස්ත්‍රාත් හිරෝෂි කාහිංගල සැකකාරිය ඇප මත මුදා හැරීමට නියම කළා.

යළි මෙම පැමිණිල්ල මාර්තු 2 වනදා කැඳවීමට නියමිත අතර එදිනට ප්‍රගති වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙස කුරුදුවත්ත පොලීසියට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා ෴

++++++++++++++++

කුරුඳුවත්ත අනතුර – SSP ගේ දියණිය ඇප මත මුදාහරී

(18.11.2020 – 18:02 +0530 – sinhala.adaderana.lk)

අපරික්ෂාකාරි ලෙස රිය පදවා කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ ප්‍රදර්ශනාගාරයකට බරපතළ හානි සිදු කිරීමේ චෝදනා එල්ල වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ දියණියක් රුපියල් ලක්ෂ දෙකක (2) ශරිර ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

පොලිස් ඇප මත මුදා හැර සිටි සැකකාරිය වන රොෂානි මධුෂා රත්නායක නමැත්තිය නීතිඥවරු මාර්ගයෙන් අද (18) අධිකරණය වෙත පෙනී සිටි අතර එහිදී කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් කරුණු දක්වමින් පැවසුවේ සැකකාරියට රියදුරු බලපත්‍රයක් නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.

මෙහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 19 වන වියේ පසුවන තම සේවාදායකයාව පෞද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර පරිපාලන පිළිබඳ උපාධියක් හදාරන අතර ඇය රිය පැදවීම පිළිබඳව පුහුණුව ලබමින් සිටින බව කියා සිටියේය.

සිය මිතුරකුගේ මෝටර් රථයක් පදවාගෙන යාමේදී තිරිංග වෙනුවට ඇක්ස්ලේටරය ඇය විසින් පෑගීම හේතුවෙන් එම බරපතළ අනතුර සිදු වී තිබෙන බව පෙන්වාදුන් නීතිඥවරයා හානියට පත් පිරිස් සමඟ සාකච්ඡා කර සුදුසු වන්දි ප්‍රතිපූර්ණය කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුනි.

මෙහිදී අගතියට පත් මෝටර් රථ ප්‍රදර්ශන ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සැකකාරිය සිදුකළ එම රිය අනතුර හේතුවෙන් තම ආයතනයට රුපියල් ලක්ෂ දෙසීයක (200) පමණ පාඩුවක් සිදුව ඇති අතර ඒ සඳහා සුදුසු වන්දියක් තමන් අපේක්ෂා කරන බවය.

සැකකාරිය පැදවූ රථයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද, අධිකරණයට කරුණූ දක්වමින් අනතුරින් තම මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බැවින් තමන්ට රුපියල් ලක්ෂ 350 ක පමණ පාඩුවක් සිදුව ඇති බව කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හිරෝෂි කාහිංගල මහත්මිය සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක් (2) බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අතර පැමිණිල්ල නැවත මාර්තු මස දෙවනදා කැඳවීමට නියම කළාය ෴

+++++++++++++

++++++++++++++++++

*********************************************

කළුතර රෝහලේදී සිදුකළ ඉතිහාසගත සැත්කම : විශාල වකුගඩු ගලක් ඉවත් කිරීම

(18.11.2020 – 17:14 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අධිබල ලේසර් කිරණ භාවිතයෙන් පුද්ගලයෙකුගේ වකුගඩුවක් තුළ තිබූ විශාල ප්‍රමාණයේ ගලක් ඉවත් කිරීම කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ දී අද (18) දින සිදුකෙරුණි.

මෙය මෙරට වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පිටුවක් ද පෙරළමින් සිදුවූ බව එම කාර්යයට සම්බන්ධ වූ වෛද්‍ය කණ්ඩායම කියා සිටි.

කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ D ශල්‍යාගාරයේ දී පුද්ගලයෙකුගේ වකුගඩුවක් තුළ තිබූ සෙන්ටිමීටර 4 ක පමණ ප්‍රමාණයේ විශාල ගලක් වොට් 140 ක අධිබලැති ලේසර් තාක්ෂණය යොදා ගනිමින් සාර්ථකව කුඩුකර මුත්‍රා මාර්ගය හරහා ඉවතට ගැනීම මෙහිදී සිදුවිය.

වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණපල්ලියගුරුගේ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මෙම ශල්‍යකර්මය සිදුකර තිබුණි.

මෙම රෝගියාට මීට වසර 7 කට පමණ පෙරත් අඟල් 8 ක පමණ විශාල කැපුමක් සිදුකර මෙවැනි ගලක් ඉවත් කර තිබූ අතර දෙවෙනි වරටත් ඔහුගේ ගලක් ඉවත්කිරීමට සිදුවූ බැවින් මෙම ක්‍රමය භාවිත කළ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණපල්ලියගුරුගේ මහතා පැවසීය.

ඒ හේතුවෙන් රෝගියාට සිදුවන අපහසුතාවය අවම වී ඇති අතර දින හතරක් (4) වැනි කාලයකින් පසු සම්පූර්ණ සුවය ලබා දෛනික කටයුතු කරගැනීමේ හැකියාව ද උදාවන බව වෛද්‍යවරු පවසයි.

මෙම ‘හයිපවර් ලේසර්’ යන්ත්‍රය පළමු වරට ශ්‍රී ලංකාවේදී භාවිත කරමින් මෙම සැත්කම සිදුකර තිබුණි.

https://www.youtube.com/watch?v=biMypdvE0bQ#t=5

++++++++++++++++

ලේසර් කිරණ ආධාරයෙන් වකුගඩුවේ ගලක් ඉවත් කළ විස්මිත සැත්කමක්

(18.11.2020 – 21:01 +0530 – lankadeepa.lk)

ලංකාවේ ප්‍රථම වරට වොට් 140 ක අධි බලැති ලේසර් කිරණ මාර්ගයෙන් පුද්ගලයෙකුගේ දකුණු පැත්තේ වකුගඩුවේ තිබූ සෙන්ටි මිටර් 4 ක් පමණ විශාල ගලක් මිලිමිටර් 4 ක පමණ ඉතා කුඩා සිදුරකින් ඉවත් කිරීම කළුතර නාගොඩ මහ රෝහලේ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පරන පල්ලියගුරුගේ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ (18) ඉතා සාර්ථකව සිදු කෙරිණි.

මෙම ශල්‍යකර්මයට භාජන වූ පුද්ගලයා කළුතර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 ක පුද්ගලයෙකි .

මීට වසර 8 පමණ ඉහත දී ඔහුගේ දකුණු වකුගඩු වේම ගලක් ශල්‍යකර්මයකින් ඉවත් කර තිබූ අතර ඒ සඳහා අඟල් 8 ක් පමණ විශාල කැපුමක් යොදා ඇත.

යළිත් වසර 8 කට පසු ඔහුට දකුණු වකුගඩුවේම සෙන්ටි මීටර් 4 ක ප්‍රමාණයේ සංකීර්ණ (staghorn) ස්ටැජ්හොන් ගලක් ඇතිවීමෙන් සැත්කමක් සිදු කිරීමට වී තිබේ.

විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම එම රෝගියාගේ රෝග ඉතිහාසය ලබාගෙන එම රෝගියා සීටී ස්කෑන් පරීක්ෂණයට ලක් කල තිබූ අතර එහිදී දකුණු වකුගඩුවේ ගලක් තිබෙන හෙළි වීමෙන් අනතුරුව මම ශල්‍යකර්මයට භාජනය කිරීමට පියවර ගත් බව නාගොඩ මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම ශල්‍යකර්මය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළුතර නාගොඩ මහ රෝහලේ වකුගඩු හා මාතෲ ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා මෙසේ පැවසීය.

“කලින් වතාවේ උදරයේ විශාල කැපුමකින් ශල්‍යකර්මයක් කර තිබූ නිසා එම රෝගියාට ගැලපෙන්නෙ pcnl ශල්‍යකර්මයක් බව අපි තීරණය කළා .අපි එහිදී ඉතාම සියුම් ආකාරයෙන් එක්ස් කිරණ යොදා ගෙන ඉඳිකටුවක් එම හම හරහා වකුගඩුව වෙත ඇතුළු කළා .එක්ස් කිරණ ආධාරයෙන් එම ඉඳිකටුව ගමන්ගත් මාර්ගය හරහා මිලිමිටර් 4 ක පමණ විශ්කම්භයකින් යුතු ඉතා කුඩා බටයක් වකුගඩු තුළට යොමු කරනු ලැබුවා .ඊට පසුව එම බටය තුළින් ඉතා කුඩා (nephroscope) කැමරාවක් සහිත උපකරණයක් යොමුකර ගල නිරීක්ෂණය කරමින් අධි බලති ලේසර් කිරණ මගින් සෙන්ටිමීටර 4 විශාල ගල ඉතා සියුම් ධූලි අංශු බවට පත් කළා. එම අංශු සියල්ලම ඉහත බටය ආධාරයෙන් නිරීක්ෂණය කරමින් පිටතට ගත්තා.”

“මෙම ශල්‍යකර්ම සඳහා වැය වුණේ පැය එකහමාරක් වැනි ඉතාම සුළු කාලයක්යම් පුද්ගලයෙකුගේ වකුගඩුවේ ගල් පැමිණියහොත් පෙර පරිදි කපා ඉවත් කරන්න අවශ්‍ය නැහැ .එහෙම ශල්‍යකර්මය කලත් නැවත ආයෙත් ගල් එන්න පුළුවන්.”

“ඒ වගේම මෙම ශල්‍යකර්මය ලක් කළ පුද්ගලයාට දින තුන හතරක් තුළදී තම සුපුරුදු කාර්‍යයන් කාර්යයන් සඳහා යොමුවන්න පුළුවන්. අතුරු ආබාධ නැහැ.”

“පෙරවගේ ශල්‍යකර්ම සිදු කළොත් ඔහුට සති තුන හතරක් යන්න පුළුවන් සුපුරුදු කාර්යයන් සඳහා යොමුවන්න. නමුත් ඔහුට එම කාලය තුළ බර වැඩ කරන්නත් හොඳ නැහැ. මෙම ශල්‍යකර්මය ඉතාම සාර්ථක ශල්‍යකර්මයක් බව කියන්න පුළුවන්.”

“මෙම ශල්‍යකර්මය සඳහා කළුතර නාගොඩ මහරෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය එරන්ජිකා කුලතිලක මහත්මිය ප්‍රමුඛ නිර්වින්දන කණ්ඩායමක්, වකුගඩු හා මෞත්‍ර ලිංගික ශල්‍ය ඒකකයේ සියළුම වෛද්‍යවරු, ශල්‍යාගාරයේ ‘ඩී’ හෙද සොහොයුරිය, හෙද නිලධාරින්, විකිරණ ශිල්පීන්, සෙසු කාර්ය මණ්ඩලය යුහුසුලුව දායක වුණා.”

කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා මෙසේ පැවසීය :

“සුවිශේෂී ශල්‍ය කර්මයක් බව කියන්න පුළුවන් . කළුතර නාගොඩ මහ රෝහලට වගේම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට අභිමානයක් ගෙන දුන් එම ශල්‍යකර්මය සිදුකළ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමට මාගේ මෙන්ම නාගොඩ මහරෝහලේ වෛද්‍යවරු ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ සුභාශිංශනය පිරිනමනවා.”

*********************************************

සතොස වාහනවලින් රටපුරා ගිය අරාබි ජාතික පුද්ගලයින් ගැන පාස්කු කොමිසමේදී හෙළිවෙයි

(18.11.2020 – 15:11 +0530 – sinhala.adaderana.lk)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට කොවිඩ්-19 වෛරසය වැළදීමේ අවධානමක් ඇති බැවින් බන්ධනාගාරයේ සිට කොමිසමේ පරීක්ෂණ සඳහා සම්බන්ධවීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥයින් කළ ඉල්ලීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ව සොයාබලන ජනාධිපති කොමිසම ඊයේ (17) ප්‍රතික්ෂේප කළේය.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ, රිෂාඩ් බදියුදීන් මහතා නියෝජනය කරමින් ඊයේ (17) කොමිසමට පැමිණි පුද්ගලයෙකු රහසිගතව සාක්ෂි විමසීම පටිගත කිරීම හේතුවෙන් අදාළ පාර්ශ්වය පිළිබඳ විශ්වාසය කඩවී ඇති බවය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන්, පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ (17) පැමිණි නීතිඥවරයා තම සේවාදායකයාට කොවිඩ්-19 වෛරසය වැළදීමේ අවධානමක් ඇති බව පෙන්වා දුනි.

ඔහු පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ තම සේවාදායකයා රඳවා සිටින කුටිය ආසන්නයේ කුටියකින් කොවිඩ්-19 අසාදිතයෙක් හඳුනාගෙන ඇති බවය.

මේ අතර කොවිඩ්-19 හේතුවෙන් මාධ්‍යව්දීන් කොමිෂන් සභාවෙන් පිටත රඳවා ඇති පසුබිමක රිෂාඩ් බදියුදින් මහතා නියෝජනය කරමින් පැමිණි පුද්ගලයෙකු මාධ්‍යවේදින් අතර සිටිමින් කොමිසමේ සාක්ෂි විමසීම් පටිගත කරමින් සිටියදී ඊයේ (17) හඳුනාගනු ලැබීය.

ජනාධිපති කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අදාළ සිදුවීමත් සමඟ රිෂාඩ් බදියුදීන් මහතාගේ පාර්ශ්වය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වී ඇති බවය.

ඒ හේතුවෙන් බදියුදීන් මහතාට බන්ධනාගාරයේ සිට කොමිසමේ කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව ලබාදිය නොහැකි බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මේ අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කාර්මාන්ත අමාත්‍යවරයා සිටියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර සතොස ආයතනයට අයත් ඩබල් කැබ්රථයක් සැක කටයුතු අන්දමින් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඊයේ දින (17) සාක්ෂි විමසනු ලැබීය.

එහිදී, සාක්ෂි දුන් සතොස ඉදිකිරීම් සහ ඉංජිනේරු සමාගමේ විශ්‍රාමික සමාන්‍යාධිකාරි කුමාරවඩු ආරියවංශ මහතා පැවසුවේ, පසුගිය වසරේ ජනවාරි මස 30 වනදා එවක කර්මාන්ත අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන් මහතා දුරකථනයෙන් කළ ඉල්ලීමකට අනුව තමා යටතේ සිටි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් අස්ලාම් නම් ව්‍යාප්ති ඉංජිනේරුවරයෙකු රට පුරා තම සමාගමේ ව්‍යාපෘති අධීක්ෂණයට යොමු කළ බවය.

ඒ අනුව අමාත්‍යවරයා විසින් සඳහන් කළ පරිදි මෙම අස්ලාම් නම් තැනැත්තාට සතොසට අයත් වාහනයක් ලබාදුන් බවත්, අමාත්‍යවරයා දුරකථන ඇමතුම ලබාදුන් දිනට පසුදිනම එනම්, ජනවාරි 31 ක් වන දින පිටත්ව ගොස් පොතුවිල් සහ මන්නාරම ප්‍රදේශවල පැවති ව්‍යාප්ති දෙකක් පිළිබඳ සොයාබලන ලෙස තමන් අස්ලාම්ට උපදෙස් දුන් බවත් විශ්‍රාමික සාමාන්‍යධිකාරිවරයා සඳහන් කළේය.

එහිදි රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ අස්ලාම් නැමැති පුද්ගලයා මෙම රාජකාරි ගමන නිත්‍යානුකූල නොවන වැඩකටයුතු සඳහා යොදාගත් බව ඔබ දැනුවත් වුයේද යන්නය.

“ඔව් ස්වාමිනි, පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුවු විමර්ශනවලදී මම ඒ පිළිබඳව දැනගත්තා. මෙම ගමනට අස්ලාම් විසින් පිටස්තර පුද්ගලයින් දෙදෙනෙක්වත් සම්බන්ධ කරගෙන තිබුණා. ඔවුන් වාහනයට නැගලා තිබ්බේ දෙහිවලින්. මම ඔහුට කිව්වේ පොතුවිල් සහ මන්නාරම ව්‍යාප්ති ආශ්‍රීත ගැටළු පිළිබඳ සොයා බලන්න පමණයි. නමුත් ඔහු පාලමුනේ තිබුණු සතොස වෙළෙඳසැළකටත් ගිහින් තිබ්බා. මන්නාරමේ සයිට් එකට අමතරව විවෘත කිරීමේ උත්සවයකට ගිහින් තිබ්බා. මගේ අනුදැනුමකින් තොරව,” යැයි සාක්ෂිකරු සඳහන් කළේය.

“ඔය රථයේ අරාබි ජාතිකයෝ දෙදෙනෙක් කොහෙට හරි අරන් ගිහින් තියෙනවාද?,” යැයි රජයේ අධිනීතිඥවරයා මෙහිදී විමසීමක් කළේය.

“ඔව්, මම මේ ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකයට ඇවිල්ලා ප්‍රකාශ දෙද්දි එහෙම දෙයක් ගැන දැනගත්තා,” යැයි සාක්ෂිකරු පිළිතුරු දුනි.

එහිදී රජයේ අධිනීතිඥවරයා යළි විමසුවේ, “ඔබ දැනගෙන සිටියේ නැද්ද රාජකාරි කටයුතුවලට අමතරව වෙනත් ගමන්වල යන්න එවක අමාත්‍යවරයා වු රිෂාඩ් බදියුදීන් මහතා අස්ලාම්ට අවසර දීලා තිබුණා කියලා,” යනුවෙනි.

“නැහැ, මම මේ සිදුවීම් වෙද්දි ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. නමුත් පස්සේ මම ඒ පිළිබඳව දැනගත්තා,” යැයි විශ්‍රාමික සමාන්‍යාධිකාරිවරයා පිළිතුරු දුනි.

ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබුණේ මෙම ප්‍රශ්නගත සංචාරවලදී එම ඩබල් කැබ්රථය පදවන ලද රියදුරු වු නිමේෂ් භාෂිත මහතාව ය.

එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ, “ගිය අවුරුද්දේ ජනවාරි 31 වැනිදා මට ලැබි තිබුණ උපදෙස් පරිදි උදේ 05 ට විතර මම දෙහිවලින් අස්ලාම් කියන තැනැත්තා වාහනයට නග්ග ගත්තා. කොහොම හරි දෙහිවල කවුඩාන පාර ළඟදි එක්කෙනෙකුත්, දෙහිවල පාලම ළඟදි තවත් එක්කෙනෙකුත් වාහනයට නැග්ගා. මුලින් නැගපු කෙනා කෙට්ටුයි, උසයි මුහුණ පුරා රැවුලක් තිබ්බා. අනිත් කෙනා ටිකක් මිටියි. කොහොමහරි මේ තුන්දෙනා කතා කළේ දෙමළ භාෂාවෙන්. ඉස්සෙල්ලාම ගියේ පොතුවිල් සතොස වෙළෙඳසැළ ළඟට. මට එතන රැඳෙන්න කියලා අර තුන්දෙනා මඩකළපුව පැත්තට පිටත් වෙලා ගියා. කළු මහත කෙනෙක් ඇවිත් හිටියා මඟ පෙන්වන්න. ඒ අය ගියේ දවල් 1 ට විතර. ආයේ ආවේ 06:30 ට. ඒ එද්දි දෙහිවලින් නැගපු දෙදෙනා ආවේ නැහැ. අස්ලාම් වාහනයට නැගලා අර මඟ පෙන්වන්නාගේ නිවසට යමු කිව්වා. සවස තේ බොන්න. පොතුවිල් සතොස වෙළෙඳසැළ ළඟ ඉදලා කිලෝමීටර් 3 ක් වගේ ගියාම තමයි අර දෙහිවලින් ආපු දෙදෙනා වාහනයට නැග්ගේ,” යැයි එම ගමන පිළිබඳව රියදුරා කරුණු අනාවරණය කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, “අස්ලාම් නැවත පෙබරවාරි 20 න් පස්සේ දවසක මුලතිව් ගියා. ඒ ගිහින් තුන්වෙනි දවසේ උදේ මැදවච්චියේ මුස්ලිම් පල්ලියකට ගියා. සවස් වෙද්දි එතනට Land Cruiser V8 රථයකුයි කැබ් දෙකකුයි ආවා,” යනුවෙනි.

“කවුද Land Cruiser V8 රථය එළෙව්වේ,” රජයේ අධිනීතිඥවරයා හරස් ප්‍රශ්නයක් යොමු කළේය.

“හරියට දන්නේ නැහැ. නමුත් V8 රථය එලවපු රියදුරු කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී දැකලා තිබුණා. ඒ රථයේ සුදු ලෝගු දාගත්තු අරාබි ජාතිකයෝ දෙදෙනෙක් හිටියා. තව අර ජනවාරි 31 ගමනට සහභාගි වුණ පුද්ගලයෙකුත් මැදවච්චියට ඇවිල්ලා තිබුණා,” යැයි සාක්ෂිකරු පිළිතුරු දුනි.

එහිදී රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කළේ එවක කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන් මහතා භාවිත කළේ කුමන ආකාරයේ රථයක්ද යන්නය.

“ඇමතිතුමා භාවිතා කළේ කළුපාට Land Cruiser V8 රථයක්. මැදවච්චියේ මුස්ලිම් පල්ලියට ආපු රථයයි. ඇමතිතුමා භාවිතා කරපු රථයයි සමානයි වගේ,” යැයි සාක්ෂිකරු පිළිතුරු දී තිබුණි.

***************************************

අමු මාළු කන්න එපා.. රෝග ගණනාවක් හැදෙනවා.. – වෛද්‍ය පාදෙණිය

(18.11.2020 – 15:50 +0530 – lankacnews.com)

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දෙන්නේ මාළුන්ගේ සම තුල බැක්ටීරියාවන් වර්ග සහ ක්‍ෂුද්‍ර ජීවී වර්ග ආහාර ජීරණ පද්ධතියට දැඩි ලෙස හානි කල හැකි බවයි.

එමෙන්ම ඔවුන් ඔවුන්ගේ ශරීරයේ බැක්ටීරියා සහ වෛරස් තවත් බොහෝ ප්‍රමාණයක් තිබෙන නිසා අමුවෙන් ආහාරයට ගැනීම මනුෂ්‍ය ශරීරයට අහිතකර බවද ඔහු කියා සිටියේය.

අමුවෙන් මාළු ආහාරයට ගැනීම පෙන්වීම දරු පරපුරට නරක පූර්වාදර්ශයක් බවත් ඔහු සඳහන් කළේය.

ඒ නිසා අනිවාර්යෙන්ම මාළු හොඳින් සෝදා පිරිසිදු කර පිසගෙන ආහාරයට ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු ආහාරයට ගැනීම ගැන අද මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේ ෴

***************************************

රට වැසි සැමට සෙත් පතන 21 ක් දින සෙත් පිරිත් සජ්ජායනය ජනපති සහභාගීත්වයෙන් ඇරඹේ

(18.11.2020 – sinhala.news.lk)

රට වැසි සැමට සෙත් පතා දින 21ක් පුරා අඛණ්ඩව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැත්වෙන සෙත් පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (18) පස්වරුවේ ආරම්භ කෙරිණ.

ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ආශිර්වාද කිරීම පිරිත් සජ්ජායනය සංවිධාන කිරීමේ අරමුණයි. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් ඇතිව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව පිංකම සංවිධාන කෙරිණ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ශ්‍රි කල්‍යාණ යෝගාශ්‍රමාධිපති පූජ්‍ය පහලවිටියල ජනානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පිරිත් දේශනාවට රට පුරා විසිර සිටින ආරණ්‍යවාසී මහා සංඝරත්නය 200 නමක් එක්ව සිටිති.

සධාතුක කරඬුව තැන්පත් කිරීම සහ පිරිත් දේශනයට මහා සංඝරත්නයට ආරාධනා කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

[ සේයාරූ ] (1 MB)

***************************************

(18.11.2020 – 20:56 +0530 – hirunews.lk/sinhala)

2021 අයවැය විවාදයේ පළමු දිනය අදින් ආරම්භ වුණා.

ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අයවැය සම්බන්ධයෙන් පළ කළ අදහස් සමඟ මැතිසබය විශේෂාංගය දැන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *