මෙරටින් තවත් කොවිඩ් මරණ 03 ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 03 ක්

*********************************************

මෙරටින් තවත් කොවිඩ් මරණ 03 ක්

(18.11.2020 – 21:20 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 මරණ 3 ක් අද (18) පස්වරුවේ වාර්තා වුණා.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ යනවා.

කඳාන ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු නිවසේදීම මියගොස් තිබු අතර, ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වුණේ කොවිඩ් 19 ආසාදනයත් සමග ඇතිවූ දියවැඩියා රෝගයේ සංකූලතායි.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්ද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු ඇය රෝහල් ගතකර තිබූ අතර, අධික රුධිර පීඩනය සහ දියවැඩියාව සමග කොවිඩ් 19 ආසාදනයෙන් සිදුවූ පෙනහළු දුර්වල වීම මරණයට හේතුවයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකුද නිවසේදී මියගොස් තිබෙනවා.

ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා කොවිඩ් 19 ආසාදනය සමග උත්සන්නවීමයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 92 දෙනෙකු අද (18) හඳුනාගෙන තිබෙනවා.

එම ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ ෴

+++++++++++++++++++

කොවිඩ් සුව වී PCR පරීක්ෂණයකින් තොරව නිවසට ආ පුද්ගලයෙකු ආසාදිතයෙකු බව යළි හඳුනාගනී

(18.11.2020 – 22:09 +0530 – sinhala.adaderana.lk)

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පුද්ගලයන් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අතර එකම පවුලේ සිව්දෙනෙකු (4) හා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකුවන බවය.

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා පසුගිය 13 වනදා මෙරටට පැමිණ ඇති අතර පසුව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබුණි.

ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ, පසුගිය මස 25 වනදා සිදුකළ PCR පරීක්ෂණයේදී ය.

පසුව ඔහුට ප්‍රතිකාර සිදුකිරීමෙන් දින 14 කට පසු PCR පරීක්ෂණයකින් තොරව නිවසට එවා තිබේ.

තවත් දින 14 ක් නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඔහුට, යළි වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ ෴

++++++++++++++++++

කොවිඩ් වෛරසය පැවතිය හැකි තැන් ගැන තවත් හෙළිදරව්වක්

(18.11.2020 – 21:09 +0530 – sinhala.adaderana.lk)

මලාපවහන පද්ධතිය තුළ ද කොවිඩ්-19 වෛරසය පැවතිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ මෙම වෛරසයේ හැසිරීම පිළිබඳව තවමත් අධ්‍යයන මට්ටමේ පවතින බවය.

අද (18) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, “විශේෂයෙන් මලාපවහන පද්ධතිය තුළ මෙම වෛරසය තියෙනවා කියන එක මීට කලින් ඉඳන්ම වෛද්‍ය ප්‍රජාව දන්නවා. ඒ වගේම තමයි පුද්ගලයන් විසින් පිටකරන මෙම දේ යම්කිසි විදිහකින් ජල පද්ධතිවලට එකතුවීමේ හැකියාවක් තියෙනවා. ඒ තුළින් ඒ තැන්වල වෛරසය හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. මේ වෛරසය හැසිරීම පිළිබඳව තවමත් තියෙන්නේ අධ්‍යයන මට්ටමේ. ඉතින් අද මේ කියන කාරණා හෙට සමහරවිට වෙනස් වෙන්න පුළුවන් අලුත් සාධකත් එක්ක,” යනුවෙනි.

මේ අතර, කොවිඩ්-19 වෛරසය මර්දනය කාර්ය සාධක ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අද (18) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්වුණි.

පවතින තත්ත්වය මත බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන, කුලී නිවාස, පාසල් සහ ආයෝජන ප්‍රවර්ධන කලාප සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු සිදුකරනවාද, යන්න සෞඛ්‍ය නිලධාරියෙකු මගින් අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක්විය යුතු බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දී තිබේ ෴

++++++++++++++++++

කෝවිඩ් අර්බුදයෙන් රටට වුණු හානිය යුද්දෙන් වුණ හානියට වඩා විශාලයි

(18.11.2020 – 18:12 +0530 – lankadeepa.lk)

කොවිඩ්-19 අර්බුදය හේතුවෙන් රටට වූ හානිය යුද්ධයෙන් වූ හානියට වඩා බරපතල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) පැවසීය.

කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව කීවේය. ඒ මහතා මෙසේද කීය :

“අපිට දැන් දෙපැත්තක වගකීමක් ඉතිරිවෙලා තියෙනවා. එකක් තමයි 2015 න් පස්සේ බිඳදාපු රට ආයේ ගොඩනඟන එක. අනෙක් අර්බුදය තමයි ලෝකෙටම මුහුණදෙන්න සිද්ධවෙලා තියෙන කොවිඩ්-19 අර්බුදයට මුහුණදෙමින් මේ රට ඉදිරියට ගෙනයන එක.

කොවිඩ්-19 අර්බුදය නිසා රටට වෙච්ච හානිය යුද්දෙන් වෙච්ච හානියටත් වඩා බරපතළයි. මේ රටට ලොකුම ආදායම ගෙනාවේ විදේශගත ශ්‍රමිකයන්. ඒ අයගෙන් මාසිකව ලැබුණු ආදායම නතර වුණා. ඒ අයව ලංකාවට ගෙන්න ගන්නත් සිද්ධ වෙලා. ලක්ෂ ගණනක් ජීවත්වුණ, සංචාරක ව්‍යාපාරය අඩපණවෙලා තියෙනවා. ඇඟලුම් කර්මාන්තය එක සතියකදි ආපස්සට කැරකුණා. ධීවර කර්මාන්තය එක රැයින් බිඳවැටුණා. ප්‍රවාහන සේවාව බිඳවැටිලා ඒවායින් ජීවත් වුණ දහස් ගණන් ජනතාව අසරණ වෙලා. පේව්මන්ට් එකේ බඩු විකුණන වෙළෙන්ඳාගේ ඉඳන් සුපිරි වෙළෙඳසැල දක්වා කඩාවැටුණා.

විදේශගත ශ්‍රමිකයන්ගෙ ආදායම් නැතිවුණත්, සංචාරක කර්මාන්තයේ ඉඳන් ධීවර කර්මාන්තයේ ඉඳන් ප්‍රවාහනය ආදියෙන් දෛනිකව සියලු ආදායම් අහිමිවෙලා තිබුණත්, අපිට දවසකට PCR පරීක්ෂණ දහස් ගණනක් කරන්න මිලියන සිය ගණනක් වෙන් කරන්න සිදුවෙලා තියෙනවා. වෙන රටවල වගේ දහස් ගණනක් රෝගීන් මැරෙන්න නොදී බේරගන්න සිදුවෙලා තියෙනවා. දහස් ගණන් නිරෝධායනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ තිබුණ සියලු ව්‍යාපාරවලට සහන දෙන්න සිද්ධවෙලා තියෙනවා. ආණ්ඩුවේ සේවකයෝ ලක්ෂ 15 කට නියමිත වේලාවට පඩි ගෙවන්න සිද්ධවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි යහපාලන ආණ්ඩුව ජංගම දුරකථනෙටත් අයකෙරුව 25% බද්දේ ඉඳන් ජනතාවට බලපාන බදු වර්ග 13 ක් අතඇරලා, භාණ්ඩාගාරයට ලැබෙන්න තියෙන සියලු ආදායම් අතඇරලා තමයි අපිට මේ තරම් සහන දෙන්න සිද්ධවෙලා තියෙන්නේ.

කොඩිඩ්-19 වසංගතය ඉවර කරන ගමන්ම, අපි රට සියලු අංශවලින් ගොඩයන්න ඕන සියලු පියවර අරගෙන තියෙනවා. ඉරටුවත් මෙරටට පිටරටින් ගෙනාවා. සරුංගලයත් පිටරටින් ගෙනාවා. කොහු ඉදලුත් පිටරටින් ගෙනාවා. අපි අද ඒ සියල්ල නතර කළා. මැටි වළඳේ ඉඳන්, කහ පඳුරේ ඉඳන් ටයරය දක්වා අපේ රටේම හදාගන්න වැඩපිළිවෙළක් ආරම්භ කරලා ඉවරයි” යැයිද අගමැතිවරයා කීය.

+++++++++++++++++++

කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇදන් වැඩිකරන්න උපදෙස්

(18.11.2020 – 17:19 +0530 – lankadeepa.lk)

කොවිඩ් ප්‍රතිකාර ඇදන් සංඛ්‍යාව වැඩි කිරීම ඇතුළු කොරෝනා මැඩලීමට ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෛද්‍ය නිලධාරීන් සමඟ අද (18) සාකච්ඡා කළාය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (18) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවති රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණ කෙරිණි.

හදිසි ප්‍රතිකාර සේවාවේ ඇදන් වැඩි කිරීමට කටයුතු කිරීම, රසායනාගාරවල සිදු කරනු ලබන පීසීආර් පරීක්ෂණවල නිවැරදිතාවය උපරිම පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කිරිම, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවා පිළිබද පුහුණුවක් ලබාදීම ආදී කරුණු පිළිබඳව ද අමාත්‍යවරියගේ අවධානය යොමුවිය.

රට තුල පවතින කොවිඩ් තත්ත්වය මත බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන, කූලී නිවාස, පාසල්, ආයෝජන ප්‍රවර්ධන කළාප (BOI) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු සිදු කරනවා ද යන්න නිරීක්ෂණයට ලක් කිරීම සෞඛ්‍ය අංශය සතු වගකීමක් බැවින් සෞඛ්‍ය නිලධාරීයෙකු මගින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වනවා ද යන්න අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක්විය විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දෙන ලදි.

සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද පූර්ණ අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රවාහන, නවාතැන්, ඇතුලු යටිතල පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමිය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, සිසිර ජයකොඩි මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

==========================================

බදුල්ල නුවරඑළිය මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක්

(18.11.2020 – 10:34 +0530 – lankadeepa.lk)

පවතින වර්ෂාව සමග බදුල්ල නුවරඑළිය මාර්ගයටත් ගල් පෙරළීමේ අවදානමක් ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ඉකුත් දින රාත්‍රියේ කඳු මුදුනේ සිට විශාල ගලක් එම මාර්ගයේ 109 කිලෝමීටර් කණුව ආසන්නයේදී මාර්ගය මතට පතිත වී තිබේ.

බෙරගල, හපුතලේ, කොස්ලන්ද, ඇල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල සහ වැලිමඩ ඇතුළු මෙම මාර්ගවල වහාන ධාවනය කිරීමේදී විමසිලිමත් වන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

***************************************

දීඝවාපි පුදබිමේ කැණීම්වලින් ඉපැරණි ගල් කරඬුවක් සොයාගනී

(18.11.2020 – 21:14 +0530 – lankadeepa.lk)

ඵෙතිහාසික දීඝවාපී චෛත්‍ය පිහිටි මහ මළුවේ දකුණු වාහල්කඩ පරිශ්‍රයේ අද (18) කැණීමේදී ඉපැරණි ගල් කරඬුවක් හමුවී ඇති බව අම්පාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.

මෙම ඉපැරණි ගල් කරඬුව කොටස් දෙකකින් යුතුය.

කැණීම් භාර නිලධාරීහු සහ සහකාර අධ්‍යක්ෂ පී.ජී. ප්‍රියන්ත මහතා මේ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා ඇතුළු අම්පාර මහ දිසාපති ඩී.එම්.එල්. බණ්ඩාර නායක යන මහත්වරුන් දැනුවත් කළහ.ඒ අනුව අම්පාර මූලස්ථාන පොලීසියේ පුරාවිද්‍යා අංශයේ නිලධාරීන්ද දැනුවත් කර ඇත.

එම ස්ථානය පැමිණි දීඝවාපි විහාරාධිපති ශාස්ත්‍රපති මහඔය සෝභිත හිමියන් සහ ග්‍රාම නිලධාරිනිය ඇතුළු පිරිසක් ඉදිරියේ මෙම පුරාවස්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල‍යේ රසායනාගාරය වෙත යැවීම සඳහා මුද්‍රා තබන ලදී.

***************************************

භූ කම්පන වලට හේතු හොයන්න පෙර හුණුගල් හෑරීම නැවැත්විය යුතුයි

(18.11.2020 – 15:35 +0530 – lankadeepa.lk)

දිගන ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනය වික්ටෝරියා ජලාශ නිම්නයේ දිගින් දිගටම සිදුවන හුණුගල් හෑරිමේ ප්‍රතිපලයක් විය හැකි යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල අබේරත්න මහතා පැවසීය.

මීට දෙමසකට ඉහත දී ද මෙවැනිම භූ කම්පනයක් මේ ආශ්‍රිත ප්‍රදේශයක සිදුවූ බවත් මේ භූ කම්පනවලට හේතුව සෙවීමට පෙර වහා වික්‍ටෝරියා නිම්නයේ හුණුගල් හෑරීම සම්පූර්ණයෙන් නතර කළ යුතු බවත් අනතුරුව සිදුකරන අධ්‍යයනයකින් මෙම භූ කම්පනවලට හේතුව සොයා පිළියම් කළ හැකි බවත් අබේරත්න මහතා කීය.

මේ වනවිට වික‍්ටෝරියා ජලාශ නිම්නයෙන් සියයට පණහක වපසරිය ඇත්තේ හුණුගල් බවත් එහි විශාල වශයෙන් හුණුගල් හාරන බවත් මේ කටයුත්ත නැවැත්විය යුතු බව තමන් මීට පෙර සිදුවූ භූ කම්පනයෙන් පසුව ද බලධාරින්ට දැන්වූ බවත් හෙතෙම කියා සිටියේය.

රිච්ටර් මාපකයේ 2.2 ක් සදහන් කරමින් ඊයේ (17) සිදුවු කම්පනයය මෙන්ම මීට දෙමසකට පෙර සිදුවු කම්පනය ද භූමි කම්පා ලෙස ගිනිය නොහැකි යැයි පෙන්වා දුන් මහචාර්යවරයා මේවා සුළු කම්පන (COLAPSE QUAKE) ලෙස හැඳින්වෙන බව ද කිය.

සාමාන්‍යයෙන් හුණුගල් කාලයකදී දිරායන්නේ යැයි ද එවිට පොළව තුළ දෝනා සැකසෙන්නේ යැයි ද කී අබේරත්න මහතා මේ ප්‍රදේශය පුරා එසේ ඇති වූ උමං ගංගා ද පවතින බව අනාවරණය කළේය.

මෙවන් කම්පන සුළු කොට තැකිය නොහැකි යැයි ද, මධ්‍ය කඳුකරයේ පවතින විශාලතම ජලාශය වන වික්ටෝරියා ජලාශයට මෙයින් බලපෑමක් නැතැයි බැහැර කළ නොහැකි යැයි ද පැවසූ ඔහු ඉක්මණින්ම මෙම ප්‍රදේශයේ හුණුගල් හෑරිම නතර කිරීමට රජය පියවර ගත යුතු යැයි ද සදහන් කළේය.

මහාචාර්ය අබේරත්න මේ අදහස් පළ කළේ මහනුවර සිදුවු භූ කම්පනය ගැන විද්වත් මතය කුමක් දැයි ලංකාදීප ඔහුගෙන් කළ විමසුමක දීය ෴

++++++++++++++++++++

(18.11.2020 – 11:45 +0530 – lankadeepa.lk)

මහනුවර , හාරගම, අනුරගම ,දිගන සහ අඹකොටේ යන ප්‍රදේශවල අද (18) උදෑසන භූ චලනයක් සිදුවී තිබේ.

ප්‍රදේශවාසින් පවසන්නේ උදෑසන පොළව යටින් විශාල ශබ්දයක් ඇතිවූ බවත් ඒ සමගම නිවාස සෙලවී ගිය බවත්ය.

ඔවුන් පවසන්නේ මිනිත්තු දෙකක් (2) පමණ මෙම සෙලවීම තිබුණු බවත් නිවාසවල වහලවල් වීදුරු ජනෙල් පවා හඩ නගමින් සෙලවුණු බවත් පොලවේ හිටගෙන සිටි අයගේ කකුල් පවා හිරිවැටෙන ආකාරයට ඇද ගෙන යනවා වැනි හැගීමක් මෙම දෙදරුම ඇතී වී තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ද වික්ටටෝරියා ජලාශය අවට ඇති ගුරුදෙණිය හාරගම අනුරගම අවට බොහෝ ප්‍රදේශවලට කිහිප අවස්ථාවකදී පොලවේ සෙලවීම් ඇතිවිය.

මේ පිළිබඳව මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ රණවීර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ පල්ලෙකැලේ භූ විද්‍යා හා පතල් කැණිම් කාර් යංශය සවිකර ඇති මාපකයේ 2.2 ක අගයක් සටහන් වි ඇති බවත් එය දරුණු භු කම්පන අවස්ථාවක් නොවන බවත්ය.

අනුරගම ප්‍රදේශවාසින් විසින් මේ පිලිබදව තලාතුඔය පොලිසිය ද දැනුවත් කර ඇත ෴

***************************************

මුස්ලිම් අන්තවාදීන්ට ‘කොක්ක ගැහුව’ දේශපාලකයන් ගැන බුද්ධි අංශ ඇහැගහගෙන

(19.11.2020 – divaina.com)

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වූයේ ඉස්ලාමීය සංවිධාන 6 ක් මෙරට ක‍්‍රියාත්මක බවයි. යහපාලන රජය යටතේ පාකිස්තානයේ සිට අන්තවාදී මුස්ලිම් දේශකයන් 600 ක් මෙරටට ගෙන ඒමට හිටපු ප‍්‍රබල දේශපාලනඥයකු සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී ඇත.

අන්තවාදී මුස්ලිම් සංවිධාන සමඟ සබඳකම් පවත්වන මුස්ලිම් දේශපාලකයන් පිළිබඳව බුද්ධි අංශ විසින් නිරීක්‍ෂණයන් ආරම්භ කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ තව්හිද් ජමාත් සංවිධානය විසින් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධව සාවද්‍ය ලිපියක් ප‍්‍රකාශයට පත් කිරීමය.

පසුගිය යහපාලන රජය යටතේ ප‍්‍රධාන පෙළේ මුස්ලිම් දේශපාලකයන් පස්දෙනකු (5) අන්තවාදී සංවිධාන සමඟ සබඳකම් පවත්වා ඇති බව බුද්ධි අංශවලට වාර්තා වුවත් ඒ ගැන විමර්ශනය කිරීම සඳහා අවසර ලැබී නැත.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වූයේ ඉස්ලාමීය සංවිධාන 6 ක් මෙරට ක‍්‍රියාත්මක බවයි. යහපාලන රජය යටතේ පාකිස්තානයේ සිට අන්තවාදී මුස්ලිම් දේශකයන් 600 ක් මෙරටට ගෙන ඒමට හිටපු ප‍්‍රබල දේශපාලනඥයකු සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

***************************************

‘කලර් ලයිට්’ ළඟ යාචකයන්නට සල්ලි දෙන රියැදුරන්ටත් නඩු… වාහනවලට තට්ටු කරලා හිඟාකන්නේ සියයට අනූපහක්ම ව්‍යාජ යාචකයින්!

(09.11.2020 – divaina.com)

“කොළඹ නගරය ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල ඇති ‘කලර් ලයිට්’ අසල වාහන නතර කළාම යාචක වෙස්ගත් අය ඇවිත් වීදුරුවට තට්ටු කරලා මුදල් ඉල්ලූ‍වාට ඒ අයට මුදල් දෙන්න එපා. එහෙම මුදල් දුන්නොත් වාහන රියැදුරන්ට එරෙහිව ‘ජාතික මංමාවත් නීතිය’ යටතේ නඩු පවරනවා…” යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයිනට’ ඊයේ (18 වැනිදා) පැවැසීය.

‘කලර් ලයිට්’ අසල රැඳෙමින් සිඟමන් යදින සියයට අනූපහක්ම ව්‍යාජ යාචකයින් බව ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේද කියා සිටියේය :

“දැන් මේ ‘කලර් ලයිට්’ ළඟ හිඳිමින් වාහනවල වීදුරුවලට තට්ටු කරලා හිඟාකන්නේ වැඩිපුරම ව්‍යාජ යාචකයින් කියලා බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ යාචක වෙස් ගෙන වංචනිකයකු ලෙස කටයුතු කරන ඒ අයවත් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරලයි තියෙන්නේ. ඒ වගේම රියැදුරු මහත්වරුන්ගේ පැත්තෙනුත් දෙයක් වියයුතුයි. ඒ තමයි ඔබ ‘කලර් ලයිට්’ එක ළඟ වාහනය නතර කළාම ඔබේ රථය අසලට යම් පුද්ගලයකු ඇවිත් වීදුරුවට තට්ටු කළොත් වීදුරුව අරින්නේ නැතුව හිඳීම. හැමෝම ඒ දේ කරනවානම් පැය විසිහතරක් යනකොට මේ හිඟාකන වංචනික ක‍්‍රියාව ඉබේටම නතර වෙනවා.”

ඒ වගේ ම තව පිරිසක් ඉන්නවා හඳුන්කූරු, පොත්පත් උස්සා ගෙන වාහන අසලට එන. ඒ අයගෙනුත් ඒ දේවල් මිලදී ගන්න යන්න එපා.

මොකද මෙන්න මේ අය හරහාත් කොරෝනා පැතිරයෑමේ අවදානමක් ඇති බවට සමාජයේ දැඩි කතාබහට ලක්වෙලා තියෙනවා.

මේකෙ අනිත් පැත්ත තමයි අපි මේ කියපු දේවල් ගණන් නොගෙන ‘කලර් ලයිට්’ අසල දී රියැදුරන් වාහනයේ වීදුරුව පහතට දමා අර යාචක වෙස් අරගෙන කටයුතු කරන අයට මුදල් දුන්නොත්, එහෙමත් නැත්නම් අර වෙළෙඳාමේ එන අයගෙන් බඩු ගත්තොත් ‘ජාතික මංමාවත් නීතිය’ යටතේ අධිකරණය හමුවේ නඩු පවරනවා. අපි මේ දේවල් කරන්නෙ කොරෝනා පැතිරෙන එක වළක්වන්නයි.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *