ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට සිල්රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස්

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට සිල්රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස්

පාසල් ආරම්භය ගැන තීරණය අද (19)

බස්නාහිර පළාත හැර අනෙකුත් ප්‍රදේශවල පාසල්වල තුන්වන වාරය නොවැම්බර් 23 වැනිදා ඇරඹේ

කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ සිදුකළ විශ්මිත සැත්කම

*********************************************

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට සිල්රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස්

(19.11.2020 – 10:37 +0530 – hirunews.lk/sinhala)

සිල් රෙදි බෙදාදීමේ සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක (3) සිර දඬුවම් හා දඩ මුදල් නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අද (19) නියම කළා. කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය සහ දේවිකා අබේරත්න මහත්මිය ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව සඳහන් කළා.

මෙම නඩුවේ විත්තිකාර අභියාචකයින් දෙදෙනා ජ්‍යෙෂ්ඨ රජ්‍ය නිලධාරීන් බව සඳහන් කළ විනිසුරුවරිය, ඉදිරිපත් වන සාක්ෂි හා ලේඛන විශ්ලේෂණය කිරීමේදී එම සිද්ධියට අදාළව ඔවුන් වංක සාවද්‍ය පරිහරණය කිරීමක් සිදුකළ බවට තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවන බව ද සඳහන් කළා.

ඒ අනුව සාවද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණු අධිචෝදනා තුන සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය, විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි නියෝග කළේ.

මෙම නඩු තීන්දුවේ පිටපතක් වැඩිදුර කටයුතු සිදු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අභියාචනාධිකරණයේ රෙජිස්ටාර්වරයාට නියෝග කර සිටියා.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලලිත් වීරතුංග මහතාට සහ අනුෂ පැල්පිට මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණා. එම චෝදනා වලට ලලිත් වීරතුංග මහතා සහ අනුෂ පැල්පිට මහතා වරදකරුවන් බව 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා කොළඹ මහාධිකරණය තීන්දු කළ අතර, බරපතල වැඩ සහිතව වසර තුනක (3) සිර දඬුවම් හා රුපියල් ලක්ෂ 20 ක් බැගින් දඩ මුදල් ද ගෙවන ලෙස නියෝග කළා. ඊට අමතරව විත්තිකරුවන් විසින් රුපියල් ලක්ෂ 500 ක් බැගින් වන්දි ගෙවිය යුතු යැයි ද එවක කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් දුන් තීන්දුවේ සඳහන් කර තිබුණා.

අනතුරුවයි, තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත්, තමන් සියලු‍ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ලෙසත්, ඉල්ලමින් ලලිත් වීරතුංග මහතා සහ අනුෂ පැල්පිට මහතා අභියාචනාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම් ගොනුකළේ ෴

***************************************

(19.11.2020 – 07:05 +0530 – hirunews.lk/sinhala)

2020 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නොවැම්බර් 25 වනදා සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලදී පිළිතුරු පත්‍ර ඇගයීමට නියමිත අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුගත වෙමින් ඇගයීම් කටයුතු සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ෴

***************************************

(19.11.2020 – 07:06 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දෙවන (2) පර්යන්ත ව්‍යාපෘතියේ වැඩ ඊයේ (18) ආරම්භ වුණා. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය සහ ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් ඊයේ (18) මෙලෙස ආරම්භ වී තිබෙනවා.

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයට අනුකූලව අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ජාත්‍යන්තර ගුවන්තොටුපල නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(19.11.2020 – 07:08 +0530 – hirunews.lk/sinhala)

ගිනි අවි දෙකක් (2) සමඟ අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ගේ රියදුරන් දෙදෙනා (2) ඇපමත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. ඒ, ඔවුන් ඊයේ (18) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් දෙදෙනා (2) මෙලෙස මුදාහරිනු ලැබූ බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ද ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, පසුගිය 13 වනදා ඔහු යළි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පවතින කොරෝනා තත්වයත් සමඟ ඔහු එදින අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. 2019 ජනාධිපතිවරණ සමයේදී අවතැන්වූවන් ඡන්ද පොල වෙත ප්‍රවාහනය කිරීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහජන මුදල් සාපරාධී ලෙස අවභාවිත කළ බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා ෴

***************************************

(19.11.2020 – 09:42 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව නීතිපතිවරයා පවසනවා.

ඒ අනුව, අදාළ සැකකරුවන් වෙතින් පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම වාර්තා කර ඇති ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා.

එහිදී ඇතැම් සැකකරුවන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේදී ඉදිරිපත් කළ වාචික සාක්ෂි සහ ප්‍රකාශ ඉල්ලා එහි සභාපතිවරයා වෙත නීතිපතිවරයා විසින් ඉල්ලීමක් ද කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම අද (19) නැවතත් රැස්වූ අතර, එහිදී සාක්ෂි විමසන්නේ හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ගෙන්.

ඔහු මේ වනවිට මැතිවරණ සමයේ රජයේ මුදල් අවභාවියක් සම්බන්ධයෙන් වන නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. ඒ අනුව, කොමිසම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහුගෙන් සාක්ෂි ලබා ගනිමින් සිටින බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

(09.11.2020 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර සඳහා වන අයවැය කෙටිකාලීන සහන වෙනුවට දීර්ඝකාලීන ආර්ථික ඉලක්ක අරමුණු කරගත් එකක් බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

එහි අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමටනම් අමාත්‍යාංශවල කාර්යයන් පසු විපරම් කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි.

ලබන වසර සඳහා වන අයවැය යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙවර අයවැය කාෂිකර්මාන්තය, තොරතුරු තාක්ෂණය හා නිෂ්පාදන ආර්ථිකය දිරිගැන්විම ඉලක්ක කරගෙන ඇතැයි ආර්ථික විශ්ලේෂක ඉම්රාන් ෆුර්කාන් මහතා පෙන්වා දෙනවා.

ඒ අතරින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ලබාදි ඇති සහන දිරිගන්වන සුළු බව ඔහුගේ අදහසයි.

ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට ඉදිරි වසර 5ක් සඳහා බලපැවැත්වෙන පරිදි බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම මෙවර ඉදිරිපත් වූ සුවිශේෂී යෝජනාවක්.

කෙසේ වෙතත්, අයවැයේ ඉලක්කගත අරමුණු සාක්ෂාත් කර ගැනීමටනම් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විධිමත් පසුවිපරමක් සිදුකිරීම අත්‍යවශ්‍ය වනවා.

***************************************

(19.11.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූලමහා විහාරස්ථානයේ පැවැති ආදාහන කමිටුවේ සාකච්ඡාවේදී මේ බව තීරණය කෙරුණා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරය හෙබවූ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 17 වැනි දින අපවත් වුණා.

වසර 98 ක් ආයු වළඳා අපවත් වී වදාළ පේමසිරි හිමියන්ගේ ශ්‍රී දේහය උන්වහන්සේ වැඩ සිටි හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූලමහා විහාරස්ථානය වෙත ඊයේ (18) වැඩම කෙරුණා.

විහාරස්ථානයේ තැන්පත් කර ඇති මහනාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පහන් සංවේගී සිතින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේත් මැති ඇමතිවරුන් ඇතුළු සැදැහැති ජනතාවත් පැමිණෙමින් සිටිනවා.

මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආදාහන කමිටුව ඊයේ (18) පස්වරුවේ හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් මූලමහා විහාරස්ථානයේ දී රැස්වුණා.

ඊට රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික භික්ෂූන් වහන්සේ මෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන කෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා ෴

====================================

*********************************************

පාසල් ආරම්භය ගැන තීරණය අද (19)

(19.11.2020 – 07:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 3 ක් ඊයේ (18) වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (2) සහ කාන්තාවක (1) බවයි.

ඒ අනුව, කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70 ක පිරිමි පුද්ගලයෙකු නිවසේදී මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා වෛරසය ආසාදනය සමඟ ඇති වූ දියවැඩියා රෝගයේ සංකූලතාවන්.

එසේම, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක පිරිමි පුද්ගලයෙකුද නිවසේදී මියගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ දියවැඩියා රෝගයේ සංකූලතා, කොරෝනා වෛරසය සමග උත්සන්න වීම එම මරණයට හේතුව ලෙස දැක්වෙන බවයි.

මීට අමතරව, ඊයේ (18) මියගිය කාන්තාව කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඇය මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය හා දියවැඩියාව සමඟ කොරෝනා වෛරසය ආසාදනය නිසා සිදුවූ පෙනහළු දුර්වල වීමයි.

එසේම, ඊයේ (18) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 325 දෙනෙකු ද, හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එමෙන්ම, මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර මේ වනවිට 14,893 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දීර්ඝ කළ පාසල් තුන්වන (3) වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (19) ප්‍රකාශයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. පාසල් තුන්වන (3) වාරය ලබන සඳුදා (23) ආරම්භ කිරීමටයි මීට පෙර තීරණය කරනු ලැබුවේ. මීට අදාළව ඊයේ (18) දිනයේදී සාකච්ඡා කිහිපයක් පැවති අතර ඒවායේ අවසන් තීරණය අද (19) දිනයේ මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිතයි.

කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ මලඅපවහන පද්ධති තුළ කොරෝනා වෛරසය පැවතිය හැකි යැයි දැනට අනාවරණ වී ඇති බවයි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා, ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා අවදානම තවමත් බැහැර කළ නොහැකි බව පෙන්වා දුන්නා ෴

++++++++++++++++++

(19.11.2020 – 08:50 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1,18,68,000 ඉක්මවා තිබෙනවා.

එමෙන්ම, ඊයේ (18) වාර්තා වූ 1,900 ඉක්ම වූ මරණ සංඛ්‍යාව සමඟ එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 2,56,000 දක්වා ඉහළ ගියා.

සියලුම කොරෝනා වෛරස් දත්ත විශ්ලේෂණ ආයතන මේ වනවිට ඇමරිකාවේ කොරෝනා මරණ 2,50,000 ඉක්ම වූ බව තහවුරු කරනවා.

පසුගිය සති දෙක (2) පුරාම ඇමරිකා එක්සත් ජනපදයේ දෛනික ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීම විශේෂත්වයක්.

ඇමරිකාවේ වත්මන් වාතාවරණය පිළිබඳව අදහස් දැක්වූ එරට වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි කියා සිටියේ තම රට තීරණාත්මක අවස්ථාවක වැරදි මංපෙත්වල ගමන් කිරීම කණගාටුදායක තත්ත්වයක් බවයි.

එමෙන්ම, ශීත ඍතුව උත්සන්න වීමත් සමඟ ජනතාව සමීපව වාසය කිරීම හේතුවෙන් ආසාදිත සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඔහුගේ අදහසයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය උත්සන්නව තිබියදී ජනපති ට්‍රම්ප් සිය මැතිවරණ පරාජය ජයග්‍රහණයකට හැරවීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිස සිටීමද බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇති කරුණක්.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාවද මේ වනවිට 89,58,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 1,31,000 කට අධිකයි. විශේෂයෙන් දිල්ලි ප්‍රාන්තයේ කොරෝනා ව්‍යාප්තිය මේ වනවිට උත්සන්න වී ඇති අතර, එහි මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පන්ලක්ෂය (5,00,000) ඉක්මවා තිබෙනවා. එමෙන්ම, ඊයේ (18) එහි මරණ 131 ක් වාර්තා වූයේ දිනක වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සලකුණු කරමින්.

මේ අතර, ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත බෙදාහැරීම නත්තලට පෙර සිදුකළ හැකි බව නිෂ්පාදන සමාගම නිවේදනය කළා. එමෙන්ම, තම එන්නත 95% ක ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව අවසන් අධ්‍යයනවලින් හෙලි වී ඇති බවයි එමඟින් සඳහන් කළේ. මීට පෙර එහි ක්‍රියාකාරීත්වය 90% ක් ලෙස සටහන් වූ අතර, තවත් ඇමරිකානු සමාගමක් වන මොඩර්නා සමාගමේ කොවිඞ් එන්නත 95% ක සාර්ථකත්වයක් පවතින බව ප්‍රකාශ වුණා. ෆයිසර් – බයෝඑන්ටෙක් එන්නත අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයින්ට පවා 95% කට ආසන්න ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනවලින් හෙලි වී තිබෙනවා ෴

+++++++++++++++++

(19.11.2020 – 09:17 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් ඩ්‍රෝන මෙහෙයුම් මගින් පුද්ගලයින් 117 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එසේම, සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සහ මුව ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 312 ක් අදාළ චෝදනාවලට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ යාචකයින් සම්බන්ධයෙන් අද (19) දවසේදී බුද්ධි අංශ විමර්ශන කටයුතු සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

++++++++++++++++++++

(19.11.2020 – 10:47 +0530 – hirunews.lk/sinhala)

නිවෙස්වල සිටින වැඩිමහල් සහ නිධන්ගත රෝගවලින් පෙලෙන පුද්ගලයින් කිසියම් අපහසුතාවයකින් පෙලෙන්නේ නම් රෝහලක් වෙත රැගෙන යන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කළා.

කොරෝනා ආසාදිතව නිවෙස්වල මියයන පුද්ගලයින් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේද අවධානය යොමුව ඇති බවයි.

ඊයේ (18) දිනයේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 327 ක් වන අතර, ඉන් දෙදෙනෙකු (2) විදේශ රටවල සිට පැමිණි විදේශීය මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකු (2) බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. අනෙකුත් ආසාදිතයින් 325 දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වනවා.

ඊයේ (18) වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 157 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී තිබුණා. ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,893 ක්. එම පොකුරේ ආසාදිතයින් 9,162 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,402 ක්. ඔවුන් අතරින් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 12,587 ක් වන අතර, තවදුරටත් ආසාදිතයින් 5,746 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පවතින කොරෝනා අවදානම වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්තවීම වැළැක්වීමට බලධාරීන් නිවැරදි තීන්දු තීරණ ගත යුතු බවයි.

‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකිරීම සඳහා පෞද්ගලික අංශයට හැකියාවක් නොමැති බවයි.

මේ අතර, පේරාදෙනිය පොලිසියේ නිලධාරීන් පස් දෙනෙකුට (5) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් පොලිසියේ නිලධාරීන් සියලුම දෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකර ඇති අතර, ඔවුන් සියලු දෙනා නිරෝධායනයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 550 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (18) දිනයේදීද නව ආසාදිතයන් 19 දෙනෙකු හදුනා ගනු ලැබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු වියලි කාලගුණයක් පවතින තලෙයි මන්නාරම වැනි ප්‍රදේශවල භූමදානය කිරීමේ යෝජනාවට විරෝධය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම කටයුතු සෞඛ්‍ය උපදෙස් අනුව පමණක් සිදුකළ යුතු බවයි.

*********************************************

බස්නාහිර පළාත හැර අනෙකුත් ප්‍රදේශවල පාසල්වල තුන්වන වාරය නොවැම්බර් 23 වැනිදා ඇරඹේ

(19.11.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල්වල හැර සෙසු ප්‍රදේශවල පාසල්වල තුන්වන (3) වාරය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙලෙස පාසල් ආරම්භ වන්නේ 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණක් බවයි ෴

++++++++++++++++++++

(19.11.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

තර්ජනයක් විය හැකි ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශ ලබන සතිය තුළ හුදකලාභාවයෙන් නිදහස් කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.

එමෙන්ම, සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය තවදුරටත් යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, පෞද්ගලික උපකාරක පන්ති අත්හිටුවා ඇති මොහොතක පානදුර තොටවත්ත ප්‍රදේශයේ උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරයෙකු පානදුර – උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපකාරක පන්තියට සහභාගි වූ සිසුන් සියලුදෙනාම නිවසේම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර, අදාළ ගුරුවරයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද පොලීසිය සඳහන් කළා.

+++++++++++++++++++++

(19.11.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි ‘චැපර්’ නමැති තවත් භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබෙනවා.

අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ මෙම නව වෛරසයේ බලපෑමෙන් පුද්ගලයින් මියයාමේ දැඩි අවදානමක් පවතින බවයි.

2014 – 2016 කාලසීමාවේදී අප්‍රිකාවට දැඩි බලපෑමක් එල්ල කළ ඉබෝලා වෛරසයට බොහෝ සමානකම් දක්වන චැපර් නමැති මෙම නව වෛරසය හඳුනාගෙන ඇත්තේ බොලිවියාවේ ලාපාස්හි සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට (2) වැළඳී තිබියදී.

අදාළ සෞඛ්‍ය සේවකයින් දෙදෙනා (2) ශ්වන අපහසුතාව මෙන්ම අධික උණ රෝගයෙන් පෙලීම නිසා ඔවුන් ඩෙංගු වෛරසයට ගොදුරුව ඇති බවට වෛද්‍යවරුන් පළමුව සැකපලකර තිබුණා.

නමුත් පසුව සිදුකළ ඔවුන්ගේ ජෛව සාම්පල අධ්‍යයනයේදී මෙය නව වෛරසයක් බවත් පුද්ගලයින් අතර ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවත් අනාවරණවී තිබෙනවා.

මීයන් වැනි සතුන්ගෙන් ව්‍යාප්ත වන බවට විශ්වාස කෙරෙන මෙම වෛරසය 2004 වසරේදීද බොලිවියාවේ චපාරේ ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.

ඉන් පුද්ගලයින් සිව්දෙනෙකු (4) ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ කොවිඩ් 19 වෛරසයේ නිමාවෙන් පසු චැපර් නම් මෙම නව වෛරසය කෙදිනක හෝ වසංගතයක් බවට පත්වීමේ ප්‍රවණතාවක් පැවතීම හේතුවෙන් මේ පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් කළ යුතු බවයි.

මේ අතර, අමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝන්ටෙක් සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නත අවසන් අදියරේ සිදුකළ සායනික අත්හදා බැලීම්වලදී 95% ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව බයෝන්ටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඌර් සහීන් නිවේදනය කරන්නේ නත්තලට පෙර කොවිඩ් මර්දන එන්නත ජනතාවට ලබාදිය හැකිවනු ඇති බවයි.

ඉදිරි සති කිහිපයේදී මෙම නව එන්නතට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ මෙන්ම යුරෝපා සංගමයේද අනුමැතිය හිමිවනු ඇති බවයි සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මේවන විටත් මෙම එන්නත ලොව බොහෝ රටවල් මිලියන ගණනින් ඇණවුම් කර තිබෙනවා.

එහි පළමු අදියර ලෙස ප්‍රංශයට මෙම එන්නත ඊයේ (18) ගුවන් මගින් රැගෙන ගියා.

මේ අතර, රුසියාවේ ස්පුට්නික් 5 එන්නතේ අවසන් අදියරේ සායනික අත්හදාබැලීම් සිදුකිරීමට එම එන්නත ඉන්දියාවේ මුම්බායි නුවරට ගුවන් මගින් රැගෙන ගියා ෴

++++++++++++++++++

(19.11.2020 – 15:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 12,903 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් ආසාදිතයින් 316 දෙනෙකු සුවය ලබා අද (19) රෝහල්වලින් නික්මීමත් සමඟයි.

ආසාදිතයින් 5,430 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙරට කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 18,402 ක්.

එමෙන්ම, කොරෝනා මරණ 69 ක්ද දිවයිනෙන් වාර්තා වුණා ෴

++++++++++++++++

(19.11.2020 – 16:24 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහා නගර සභා සීමාවේ හුදෙකලා ප්‍රදේශ තුළ සිටින ජනතාවගේ පහසුව සඳහා විශේෂඥ වෛද්‍ය සේවාවක් සහ ගිලන් රථ සේවාවක් හෙට (20) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරය පවසනවා.

ගිලන් රථ සේවය සඳහා 011 342 2558 යන දුරකථන අංකය ඔස්සේ එම සේවාවන් ලබා ගතහැකි වනවා ෴

*********************************************

කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ සිදුකළ විශ්මිත සැත්කම

(19.11.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ප්‍රථම වරට අධි බලැති ලේසර් කිරණ මගින් රෝගියෙකුගේ වකුගඩුවේ තිබූ ගලක් සාර්ථකව ඉවත් කිරීමට කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වකුගඩු සහ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විශේෂඥ කලණ පරණපල්ලියගුරුගේ මහතා ඇතුලු වෛද්‍යවරුන් සහ හෙද හෙදියන්ගේ සහභාගීත්වයෙන් මෙම ශල්‍ය කර්මය ඊයේ (18) සිදුකර තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකුගේ දකුණු වකුගඩුවේ තිබූ ගල ඉවත් කිරීමේ මෙම ශල්‍ය කර්මයට වැය වී ඇත්තේ පැය එක හමාරක් (1½) වැනි කාලයක්.

අදාළ රෝගියාගේ වකුගඩුවේ තිබූ 4cm ක් පමණ වන ගලක් වොට් 140 ක අධි බලැති ‘ලේසර් කිරණ’ මගින් සාර්ථකව කුඩු කර මුත්‍රා මාර්ගය හරහා ඉවතට ගැනීමට වෛද්‍ය කණ්ඩායම සමත් වුණා.

ඒ සඳහා එම පුද්ගලයාගේ පිටකොන්දේ සිදුකළ කැපුම මිලිමීටර් 4ක තරම් කුඩා එකක්.

ශල්‍ය කර්මයට භාජනය වූ මෙම පුද්ගලයාට දින කිහිපයකින් යළි සුපුරුදු පරිදි සිය කාර්යයන්වල නිරතවීමට හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මීට වසර 8 කට පමණ පෙර ද මොහුගේ වකුගඩුවේ තිබූ ගලක් ඉවත් කර තිබුණා.

නමුත් එහිදී අඟල් 8 පමණ විශාල කැපුමක් සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී තිබෙනවා.

මෙම සැත්කම සඳහා යොදාගත් high power lazzer යන්ත්‍රය මෙරට දී ශල්‍ය කර්මයක් සඳහා භාවිත කර ඇත්තේ පළමු වරටයි.

මෙම ශල්‍ය කර්මයෙන් ලැබූ සාර්ථකත්වය ඉදිරියේදී තවත් ජීවිත රැසක් සුවපත් කිරීමට ඉවහල් වනු ඇති බවට නොඅනුමානයි.

***************************************

(19.11.2020 – 14:39 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව සහ මන්නාරම් ප්‍රදේශවල ලබන සතිය තුළදී එල්.ටී.ටී.ඊ. සැමරුම් වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පොලිසිය මන්නාරම සහ වවුනියාව අධිකරණවලින් කළ ඉල්ලීමකට අනුවයි.

ඉදිරි සතියේදී යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිකර සැමරුම් උත්සව පැවැත්වීමට පවතින ඉඩ ප්‍රස්ථාව පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

එම කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයින් පස් දෙනෙකුට (05) සහ වවුනියාව ප්‍රදේශයේ පුද්ගලයින් 08 දෙනෙකුට මෙලෙස අධිකරණ නියෝග නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

***************************************

(19.11.2020 – 15:26 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 අය වැය දෙවන වර කියවීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා අද (19) පෙරවරු 11:40 ට පමණ පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පැමිණියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සභා ගර්භය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි රැඳී සිටිමින් විවාදයට සවන් දුන්නා.

09 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පිවිසි ප්‍රථම අවස්ථාව මෙය වනවා.

දෙවන දිනටත් 2021 අය වැය දෙවන වර කියවීමේ විවාදය මේ වන විටත් පැවැත්වෙනවා.

***************************************

(19.11.2020 – 16:09 +0530 – hirunews.lk/sinhala)

සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල රැඳවියන් වහල මත නැග ආරම්භ කළ විරෝධතාව මේ වනවිට අවසන් කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ රැඳවියන්ගේ දුක් ගැනවිලි ලිඛිතව භාර ගන්නා ලෙස විෂය භාර රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කළ දැනුම්දීමත් සමඟ ඔවුන් මෙලෙස විරෝධතාව අවසන් කළ බවයි.

වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල ඊයේ (18) පස්වරුවේ සිට පැවති මෙම විරෝධතාවට රැඳවියන් විසි දෙනෙකු (20) පමණ එක්ව සිටියා ෴

***************************************

අපට ණය එපා.. අවශ්‍ය ආයෝජන පමණයි.. – ජනපති චීනයට දන්වයි..

(19.11.2020 – 15:50 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාවට පත් කරනු ලැබ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ක්වි සෙන්හොං මහතා (Qi Zhenhong) අද (19) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීය.

අනතුරුව චීන තානාපතිවරයා සමග කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගු කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ස්ථීර සාර සහයෝගීතාව සහ මිත්‍රත්වය ගැන සතුට පළ කළේය.

“විශේෂයෙන් බෙදුම්වාදයට එරෙහි සටන ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය බොහෝ සෙයින් උදව් කළා. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. ඇතැම් පිරිස් චීනය සහ ශ්‍රි ලංකාව අතර මේ සහයෝගීතාව විවේචනය කළා. ඔවුන්ගේ තර්කය වුනේ මේ ව්‍යාපෘති ඵලදායක නොවන බව. සත්‍යය එය නොවේ. චීනයේ සහය ඇතිව ආරම්භ කළ ව්‍යාපෘති ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභතාවක් සහිතයි. මගේ අපේක්ෂාව ධූර කාලය අවසන් වීමට පෙර මේ යෝජනා ක්‍රමවල උපරිම ඵල නෙළා ගැනීම” ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේ දී තවදුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ශණය කර ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව ජනාධිපතිතුමා කීය. “අපේ රටේ පුළුල් ආයෝජන ඉඩ ප්‍රස්ථා තිබෙනවා. කෘෂි කාර්මික ක්ෂේත්‍රය, සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය ඒ අතර විශේෂයි. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 30% ක පමණ දෙනාගේ ජීවනෝපාය පදනම්ව ඇත්තේ ග්‍රාමීය කෘෂිකර්මය මත. ගත වූ දශක දෙක තුන ඇතුළත චීනය අත්කරගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇති කොට ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මගේ ප්‍රධාන ඉලක්කයක්. ඒ සඳහා අපට සහය වන්න” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නව චීන තානාපතිවරයාට පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට හැකි උපරිම දායකත්වය දීමට තම රජය සූදානම් යැයි තානාපති ක්වි සෙන්හොං මහතා ඊට ප්‍රතිචාර ලෙස සඳහන් කළේය.

ජනාධිපති ෂි ජින් පිං මැතිතුමාගේ සුභාශිංසන රාජපක්ෂ මැතිතුමා වෙත පුද කළ තානාපතිවරයා දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය තවත් වර්ධනය කර ගනිමින් සංවර්ධන සහ උපායමාර්ගික සහෝගීතාව ශක්තිමත් කිරීම සිය අරමුණ බව කීය. “ඔබතුමා ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත් කළා. ජනතාවගේ ජීවන මට්ටම වැඩිදියුණු කරමින් ආර්ථික වර්ධනයේ මාවතට රට යොමු කළා. කොවිඩ් 19 උවදුර පැමිණි විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව එක්ව ඊට මුහුණ දුන් සැටි අප දුටුවා” නව තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් දේශයක් ලෙස නැගී සිටිනු දැකීම චීනයේ අභිලාෂය බව ද ඔහු සඳහන් කළේය.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී හූ වේයි (Hu Wei) සහ දේශපාලන අංශයේ ප්‍රධානී ලුඕ චොං (Luo Chong) යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

***************************************

මහා පරිමාණ හුණුගල් කැණීම් කටයුතු හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න

(19.11.2020 – 20:00 +0530 – lankaleadnews.com)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා අවධාරණය කරන්නේ මහා පරිමාණ ලෙස කෙරෙන හුණුගල් කැණීම් කටයුතු හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි.

ඒ අනුව ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල මහා පරිමාණව සිදුකරන හුණු ගල් කැඩීම වහා නැවැත්වීමට පියවර ගත යුතු බවට ඔහු බලධාරීන් වෙත අවධාරණය කරයි.

වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉදිකර ඇති ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයේ 75% ක පමණ ඇත්තේ හුණුගල් පාෂාණ බවත් කාලයත් සමඟ මෙම හුණුගල් තට්ටුව දිරාපත්ව කුහර ඇතිවන බවත් මතුපිට පීඩනය සමග ඒවා වෙන් වීමකට ලක්වන බවත් ආතතිය හේතුවෙන් මේවා කඩා වැටීමෙන් කම්පන තත්ත්වයන් ඇති වන බවත් ඔහු පෙන්වා දෙයි.

මහා පරිමාණ ලෙස කෙරෙන හුණුගල් කැණීම් කටයුතු නොනවත්වා සිදු කළහොත් ඉදිරි කාලයේ දී වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශවල තව තවත් භූ කම්පන ඇති විය හැකි යයිද මහාචාර්යවරයා පවසා සිටී ෴

***************************************

(19.11.2020 – 16:57 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටවූ පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා සිට ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වාම දඩ අඩ කිරීමක් නොමැතිව වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි.

***************************************

(19.11.2020 – 17:13 +0530 – hirunews.lk/sinhala)

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ‘පර්පචුවෙල් ට්‍රෙෂරීස්’ සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 05 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (19) නියෝග කළා.

ඒ, මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ එම නඩුව අද (19) කැඳවූ අවස්ථාවේදීයි.

කොල්ලුපිටියේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාසයක් ලබාදීම සහ ලබාගැනීම ඇතුලු අධිචෝදනා හයක් යටතේයි ඔවුන්ට මෙලෙස නඩු පවරා ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *