ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂිදීමට පැමිණි බදියුදීන්ට භාෂා ප්‍රශ්නයක්

ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂිදීමට පැමිණි බදියුදීන්ට භාෂා ප්‍රශ්නයක්

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 15,000 ඉක්මවයි

*********************************************

ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂිදීමට පැමිණි බදියුදීන්ට භාෂා ප්‍රශ්නයක්

(19.11.2020 – 20:08 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (19) පළමුවරට සාක්ෂි විමසනු ලැබුවා.

ඒ, ඔහු රඳවා සිටින මැගසින් බන්ධනාගාරයෙන් කොවිඩ්-19 ආසාදිතයන් වාර්තාවීමත් සමඟ කොමිසමට කැඳවීමට නොහැකි වීම හේතුවෙන්.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ රඳවා සිටින අතර එම වාට්ටුවේ රැඳවියන් කිහිප දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව මේ වනවිට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පෙරවරු 11:00 ට පමණ ඔහු ස්කයිප් තාක්ෂණයෙන් කොමිසම සමඟ සම්බන්ධ වුණේ බන්ධනාගාර නිලධාරින්ගේ අධීක්ෂණය යටතේයි.

කෙසේ වෙතත් සාක්ෂි විමසීම ආරම්භයේම රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රුෂ්ඩි හබීබ් කොමිසමෙන් ඉල්ලා සිටියේ සාක්ෂිකරුට දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබාදීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, රිෂාඩ් බදියුදීන් මෙම කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට සිංහල භාෂාවෙන් ප්‍රකාශ ලබාදී ඇති බවත් එහිදී “මා හට සිංහල භාෂාව කතාකිරීමට හා තේරුම් ගැනීමට බාධාවක් නැත. එබැවින් සිංහල භාෂාවෙන් ප්‍රකාශ ලබාදෙන බව දැනුම් දෙමි”‍ යනුවෙන් සඳහන් කර ඇති බවයි.

එමෙන්ම මීට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ රිෂාඞ් බදියුදීන් සාක්ෂි ලබාදී ඇත්තේ සිංහල භාෂාවෙන් බවත්, ප්‍රහාරයට පසු 2019.04.29 දින විකාශය වූ ‘හිරු ටීවී සලකුණ’ වැඩසටහනට සම්බන්ධ වී ඔහු සිංහල භාෂාවෙන් සාකච්ඡා කර ඇති බවත් කොමිසම නිරීක්ෂණය කර ඇති බවද ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළා.

එම නිසා අද (19) දිනයේ සාක්ෂි ලබාදෙනවිට සිංහල භාෂාවෙන් සාක්ෂි ලබාදෙන ලෙසත් අවශ්‍ය අවස්ථාවලදී පමණක් ඉංග්‍රීසි හෝ දමිළ භාෂාව භාවිත කරන ලෙසත් සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් රිෂාඞ් බදියුදීන්ගේ නීතිඥවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව සාක්ෂි ලබාදීමට පෙර කොමිසමේ තෝල්කවරයා විසින් සාක්ෂියට අදාළ දිවුරුම ලබාදෙන්නැයි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට සඳහන් කළත් රිෂාඩ් බදියුදීන් එහිදී දෙමළ භාෂාවෙන් දීර්ඝ අදහස් දැක්වීමක් සිදුකළා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් :

“මගේ මවු භාෂාව දෙමළ. දෙමළෙන් තමයි මම ඉගෙනගත්තේ. මට මගේ මවු භාෂාවෙන් සාක්ෂි දෙන්න අවශ්‍යයි. දෙමළ භාෂාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් භාෂාවක්. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දෙනකොට දෙමළ භාෂාව ගැන දන්න නීතිඥවරයකු ළඟ තබාගෙන ඔහුගෙන් උදව් ගන්න මට අනුමැතිය ලබාදුන්නා. මම මේ නොකරපු වරදකටයි මෙහෙම බන්ධනාගාර ගතකර තිබෙන්නේ. නැත්නම් මට ඇවිත් සාක්ෂි දෙන්න පුලු‍වන්. භාෂාව තමයි මගේ ප්‍රධාන ගැටලු‍ව. එම නිසා මට භාෂා පරිවර්තකයකු ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.”

එම ඉල්ලීම මත රිෂාඞ් බදියුදීන්ගෙන් සාක්ෂි ලබාගැනීම පස්වරු 01:30 දක්වා කල්තැබීමට ජනාධිපති කොමිසමට සිදුවුණා.

ඒ, ජනාධිපති කොමිසමට අනුයුක්තව රාජකාරි කරන භාෂා පරිවර්තකයා අසනීප තත්ත්වයක් පසුවීම නිසා වෙනත් අයෙකු ඊට කැඳවීමට සිදුවීමෙන්.

***************************************

(19.11.2020 – 18:41 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය සාම්පල්තිව් කලපුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කර එම පරිසර සංවේදි ප්‍රදේශය වනජීවි කලාපයක් ලෙස ගැසට් කිරීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් අද (19) පෙරවරුවේ අදාළ බලධාරින්ට නියෝග කර තිබෙනවා.

ඒ එම කලපුවේ අනවසර ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සදහා ආණ්ඩුකාර කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදීයි.

ගැසට් කිරීමේ කටයුතු මසක් තුළ අවසන් කරන ලෙසට එහිදී ආණ්ඩුකාරවරිය උපදෙස් දී තිබෙනවා.

හෙක්ටයාර් 245 ක් පුරා විහිදෙන මෙම සාම්පල්තිව් කලපුව සහ ඒ ආශ්‍රිත තෙත් බිම් ප්‍රදේශය ජෛව විවිධත්වයකින් යුත් සංවේදි කලාපයක්.

කෙසේවෙතත් 2017 වසරේ සිට එහි විවිධ ඉදිකිරීම් සදහා අවසර ලබාදී ඇති බව සඳහන්.

පරිසර සංවේදි කලාපයක මෙවැනි ඉඩම් ලැබී ඇත්තේ කෙසේ දැයි යළිත් වරක් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ආණ්ඩුකාරවරිය පළාත් වැඩබලන ඉඩම් කොමසාරිස්වරයාට එහිදී නියෝග කර තිබෙනවා.

ඒ අනුව දැනට සිදු කරගෙන යන සියළු ඉදි කිරීම් නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සඳහා ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන් ආණ්ඩුකාරවරිය, අදාළ ප්‍රදේශය වනජීවි කලාපයක් ලෙසට වෙන් කර ඇති බවට වහාම දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරන ලෙසට උප්පුවේලි ප්‍රාදේශිය සභාවට නියෝග කර තිබෙනවා.

එලෙස සිදු කර ඇති ඉදිකිරිම සඳහා අවසර නිකුත් කිරීමේදී නිළධාරින් වැරදි සිදු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ෴

=======================================

*********************************************

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 15,000 ඉක්මවයි

(19.11.2020 – 17:54 +0530 – hirunews.lk/sinhala)

අද (19) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 243 දෙනෙකු වාර්තා වීමත් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව එම පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,136 ක් ලෙස සටහන් වන අතර, මෙරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 18,645 ක් ලෙසයි. මරණ 69 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 13,000 ට ආසන්න වී ඇති අතර, අද (19) ආසාදිතයින් 316 ක් සුවය ලබා පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 12,903 ක්. ආසාදිතයින් 5,673 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක රැඳී සිටි 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සහිරු පෙරේරා මහතා කියා සිටියේ නේවාසිකාගාරය තුළ 55 දෙනෙකු රැඳී සිට ඇති අතර, ඉතිරි පිරිසට වෛරසය ආසාදනය වී නොමැති බවයි.

කොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා කළ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් හෙට සිට විශේෂ ගිලන් රථ සේවාවක් සහ විශේෂඥ වෛද්‍ය සේවාවක් සපයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

ගිලන් රථ සඳහා 011 342 2558 යන දුරකතන අංකය ඇමතිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාවද 819 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවදුරටත් 2500 ක පිරිසක් නිරෝධායනයේ පසුවනවා.

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද මේ වනවිට සටහන් වන්නේ 550 ක් ලෙසයි.

මේ අතර, තර්ජනයක් විය හැකි ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශ ලබන සතිය තුළ හුදකලාභාවයෙන් නිදහස් කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටවූ පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා සිට ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වාම දඩ අඩ කිරීමක් නොමැතිව වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති ටෙලි සිනමා කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා මාර්ගෝපදේශ මාලාවක්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කර තිබුණා.

++++++++++++++++++++

(19.11.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala)

පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කිරීමේදී මියගිය රැඳවියාට සහ මහනුවර නගරයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් රැඳවියාට කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති බව බව අනාවරණය වී තිබෙනවා ෴

++++++++++++++++++++

(19.11.2020 – 22:02 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 194 දෙනෙකු අද (19) හඳුනාගෙන තිබෙනවා.

එම ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ ෴

++++++++++++++++++++

(20.11.2020 – 00:23 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (19) දිනයේ කොරෝනා මරණ හතරක් (4) වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු (2) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

***************************************

(19.11.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල්වල හැර සෙසු ප්‍රදේශවල පාසල්වල තුන්වන වාරය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙලෙස පාසල් ආරම්භ වන්නේ 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට පමණක් බවයි.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින සම්බන්ධයෙන් ඉදිරි සති දෙක (2) තුළ තිරණයක් ගන්නා බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල්වල හැර සෙසු ප්‍රදේශවල සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතුද නොවැම්බර් 23 වැනිදා නැවත ආරම්භ කෙරෙන බව දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

***************************************

(19.11.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූල නොවන බව මෙරට යුරෝපා සංගම් දූත මණ්ඩලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ එම ආනයන සීමා ශ්‍රී ලංකාවේ මෙන්ම යුරෝපයේ ව්‍යාපාරවලටද, සෘජු විදේශ ආයෝජන සඳහාද, ඍණාත්මක බලපෑමක් සිදුකරන බවයි.

***************************************

(19.11.2020 – 20:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගරසභා සීමාව සඳහා පනවා ඇති සංචරණ සීමාවන් ප්‍රමාණවත් නොවන බව කොළඹ මහානගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය අද (19) යළි අවධාරණය කළා.

ඒ කොළඹ මහනගර සභාවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඊයේ (18) දිනයේ නව කොවිඩ් 19 අසාදිතයින් 112 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර මේ දක්වා එම බල ප්‍රදේශයෙන් හඳුනා ගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4836 ක්.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන කොළඹ මහ නගරසභා බල ප්‍රදේශයට අයත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් මේ වනවිටත් හුදෙකලා කර තිබෙනවා.

කොළඹ මහානගර සභා සීමාවෙන් වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පසුගිය 16 වනදා සිය පාලන සීමාව සඳහා දැඩි සංචරණ සීමාවන් පනවන ලෙස ඉල්ලා සිටියා.

ඇය අද (19) දිනයේත් ප්‍රවෘත්ති සකච්ඡාවක් පවත්වමින් යළි එම ඉල්ලීමම සිදු කළා.

***************************************

(19.11.2020 – 21:16 +0530 – hirunews.lk/sinhala)

2017-2019 අතර කාලයේදී සීමාසහිත ලංකා පොහොර සමාගමේ සිදුව ඇති රුපියල් මිලියන 90 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *