සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ විවාහයට අත්සන් කළේ හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ විවාහයට අත්සන් කළේ හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්

රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන්ට වැදගත් පණිවුඩයක්

බුවැලිකඩ ඛේදවාචකයේ Part 2 කලුබෝවිලද?

*********************************************

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ විවාහයට අත්සන් කළේ හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්

(19.11.2020 – 20:12 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සහ තම ඥාති දියණියක් අතර සිදුවු විවාහයට සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කරන ලද්දේ තමා වන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති කොමිසම හමුවේ අද (19) ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලයේ සිට පාස්කු කොමිසම වෙත ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී පළමු වරට සාක්ෂි ලබාදෙමිනි.

කෙසේ වෙතත් මීට පෙර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදි සහ ජනාධිපති කොමිසමේ පොලිස් එකකයේදි සිංහල බසින් ප්‍රකාශ ලබාදී තිබු මන්ත්‍රීවරයා ජනාධිපති කොමිසම හමුවේ දෙමළ බසින් සාක්ෂි ලබාදීමට ඉල්ලා සිටීම කැපී පෙනුනි.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද (19) පෙරවරුවේ රැස්වු අවස්ථාවේදි කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරු ජනක් ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගෙන් සාක්ෂි විමසීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

“ඊයේ (18) පස්වරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපති කොමිසමේ ලේකම්වරයාව දැනුවත් කර තිබෙනවා. රිෂාඩ් බදියුදීන් නැමැති සැකකරුව රදවා ඇති මැගසින් බන්ධනාගාරයේ E වාට්ටුවේ ඔහුගේ දෙපසින් ඇති කුටි දෙකෙන්ම කොවිඩ්-19 අසාදිතයින් හඳුනාගෙන තිබෙනවා කියලා. ඒ වගේම ඔහුගේ කුටිය පිරිසිඳුකරන්නාටත් කොවිඩ්-19 වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් ඊයේ (18) පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයාගේ PCR පරික්ෂණයක් සිදුකිරීමට සැලසුම්කර තිබිලා තියෙනවා. මෙවැනි වටපිටාවක් තුළ ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු කඩිනමින් අවසන් කළ යුතු හෙයින් කොමිසම තීරණය කරලා තියෙනවා මෙම සාක්ෂිකරුගෙන් අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබාගන්න,” යැයි ජනාධිපති කොමිසමේ සභාපති අහියාචනාධිකරණ විනිසුරුවරයා විවෘත කොමිසම් සභාවට දැනුම්දුන්නේය.

මෙහිදි රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ටි හබීබ් මහතා කියා සිටියේ තම සේවාදායකයා අද (19) දින උදෑසන බන්ධනාගාරයේ සිට තමන් අමතා මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම දමිළ බසින් කළයුතු බවත් එහිදී භාෂා පරිවර්තකයෙකු අවැසිවන බවත් ජනාධිපති කොමිසමට දන්වන ලෙස ඉල්ලා සිටි බවය.

කෙසේ වෙතත් එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකරමින් ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා කියා සිටියේ, “ඔබේ සේවාදායකයා 2020 ජුනි මස 19 දින ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශ ලබාදෙද්දි ඔහු පැහැදිලිව සඳහන්කර තිබෙනවා, “මා හට සිංහල භාෂාව කතා කිරීමට සහ තේරුම් ගැනීමට හැකියි. ඒ නිසා ප්‍රකාශ සටහන් කිරීම සිංහල භාෂාවෙන් සිදුකළාට අකමැත්තක් නැහැ කියලා. ඔහු පාස්කු ප්‍රහාරය පිළිබද සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේදිත් සිංහල බසින් සහ ඉංග්‍රිසි බසින් සාක්ෂි දී තිබෙනවා. එබැවින් ඔබේ සේවාදායකයාට පවසන්න සිංහල බසින් සහ ඉංග්‍රීසි බසින් සාක්ෂි ලබාදෙන්න කියලා. අවශ්‍ය අවස්ථාවලදි පමණක් දමිළ භාෂාව භාවිතා කරන්න කියන්න,” යැයි සදහන් කළේය.

ඉන් අනතුරුව ද්‍රවිඩ භාෂා පරිවර්තකයෙකු කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලයේ සිට අන්තර්ජාලය ඔස්සේ ජනාධිපති කොමිසම හා සම්බන්ධකර ගනිමින් සාක්ෂි විමසීම ආරම්භ කෙරුණි.

පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සහ රිෂාඩ් බදියුදීන්ගේ ඥාති දියණියක් අතර සිදුවු විවාහයට සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කළේ දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙහිදි රිෂාඩ් බදියුදීන් මහතාගෙන් විමසීය.

තමන් එලෙස අත්සන් තැබුවා විය හැකි බවත් එය වරදක් ලෙස නොදකින බවත් මන්ත්‍රීවරයා කොමිසම හමුවේ ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

ඉකුත් වසරේ අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට ප්‍රථම මොහොමඩ් ඊබ්‍රාහිම්ව දැන සිටියාදැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පසුව විමසු විට රිෂාඩ් බදියුදින් මහතා පිළිතුරු ලබාදුන්නේ ‘නැහැ’ යනුවෙනි.

++++++++++++++++++++++

රිෂාඩ් බදියුදීන්ට සී.අයි.ඩී.ය ඇතුළෙන්ම ඔත්තු – නිලධාරිනියන් ‌දෙදෙනකුට (2) මාරුවීම්

(19.11.2020 – colombotoday.com)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ රහසිගත විමර්ශනවල තොරතුරු පිටතට දුන් එහි අභ්‍යන්තර ජාලයක් පිළිබඳ කරුණු අනාවරණය වී තිබෙන බව අද (19) ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

මේ අනුව මෙම ජාලයට සම්බන්ධව කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක ස්ථානාධිපතිවරිය ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ගැන තොරතුරු අනාවරණය වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.

චෝදනාවට අදාළ නිලධාරිනියන් දෙදෙනා (2) එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසුමකදී අනාවරණය කළේය.

දුරකථන ජාල පරීක්ෂාවකින්ද මෙම සංවිධානාත්මක කණ්ඩායම ගැන ​තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කළ නිලධාරිනිය මීට පෙර බදියුදීන් යටතේ කර්මාන්ත අමාත්‍යාංශයේ සේවය කර ස්ථාන මාරුවක් ලබාගෙන පැමිණි අයෙකු බව අනාවරණය වී ඇත. එම නිලධාරිනිය සී.අයි.ඩී.යේ. විමර්ශන භාර සහකාර පොලිස් අධිකාරිවරයකුටද විමර්ශන නිලධාරිනියකටද කතා කර හිටපු ඇමැති බදියුදීන් සම්බන්ධ විමර්ශන ප්‍රගතිය විමසා බලා ඇතැයිද හෙළි වී ඇත.

විශ්‍රාමික පොලිස් නිලධාරියා හිටපු ඇමැති බදියුදීන්ගේ ආරක්ෂක කටයුතු භාරවද කටයුතු කර ඇති අයෙකි. කොල්ලුපිටියේ නැව් ඒජන්තයකු මාර්ගයෙන් හිටපු ඇමැතිවරයා මෙම නිලධාරියා යොදවාගෙන අභ්‍යන්තර විමර්ශන ගැන තොරතුරු ලබාගෙන ඇතැයි හෙළි වී තිබේ. මෙම නිලධාරියාට සම්බන්ධ වූ සෙසු නිලධාරින් සොයා පුළුල් විමර්ශනයක් ඇරඹී ඇත.

මේ අනුව බදියුදීන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දූෂණ, වංචා චෝදනා රැසක් යටතේ විමර්ශන සිදුකරයි ෴

*********************************************

රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන්ට වැදගත් පණිවුඩයක්

(19.11.2020 – 19:01 +0530 – sinhala.adaderana.lk)

රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි පිහිටුවා ඇති ‘දිස්ත්‍රික් රැකියා කේන්ද්‍ර’ වල ලියාපදිංචි වන ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

මෙමගින් රැකියා අපේක්ෂිතයන් පුද්ගලික අංශයේ පවතින රැකියා පුරප්පාඩු සඳහා යොමුකිරීම සිදුකරනු ලබයි.

ඒ අනුව, පුද්ගලික අංශයේ රැකියාවක් බලාපොරොත්තුවන රැකියා අපේක්ෂිතයන් මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ http://www.dome.gov.lk/ වෙබ් අඩවිය තුළට පිවිස රැකියා අපේක්ෂිතයකු ලෙස ලියාපදිංචිවීමේ හැකියාව පවතී.

එසේ නොමැති නම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටා ඇති දිස්ත්‍රික් රැකියා කේන්ද්‍ර වෙත ගොස් හෝ ළඟම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවට අනුයුක්ත මානව සම්පත් නිලධාරීන් හරහා ලියාපදිංචි වීමේ හැකියාව පවතී.

මෙසේ ලියාපදිංචි වන රැකියා අපේක්ෂකයන් සඳහා තම සුදුසුකම් හා කැමැත්ත පරිදි, දිස්ත්‍රික්කය තුළ පවතින පුද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු සඳහා යොමු කිරීම/සම්බන්ධීකරණය කිරීම දිස්ත්‍රික් රැකියා කේන්ද්‍ර මඟින් සිදුකරනු ලබයි.

මේ දිනවල රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවසේ සිටම ඉහත වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකිය.

එසේ නොමැති නම් පහත සඳහන් දුරකථන අංක අමතා වේලාවක් වෙන් කරගෙන අදාළ දිස්ත්‍රික්කයේ රැකියා කේන්ද්‍රය වෙත යොමුවිය හැකි බව මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව පවසයි.

***************************************

මාරක අනතුරෙන් බේරුණු හැටි – CCTV දර්ශන සහිතයි

(19.11.2020 – 17:45 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලය පෑතිස්පුර ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තිබේ.

උප්පුවේලි පොලීසිය පැවසුවේ තුවාලකරු ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළු කළ බවය.

එම ලොරි රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත් එය යතුරුපැදියේ ගැටී ඉන්පසු ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයේද ගැටී නතර වී ඇති බවත්ය.

***************************************

ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදනයට පියවර – ආනයනය නවතයි

(19.11.2020 – 17:26 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ඉල්ලුම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති ශල්‍ය මුහුණු ආවරණ (Surgical mask) සියල්ල රට තුළම නිෂ්පාදනයට මේ වනවිට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ආනයනය නැවැත්වීමට ද තීරණය කර ඇත.

දිනකට ශල්‍ය මුහුණු ආවරණ ලක්ෂ පහළොවක් (15,00,000) පමණ රටතුළ භාවිතයට ගැනෙන අතර මේ වනතෙක් චීනය සහ තවත් රටවල් කිහිපයකින් එම මුහුණු ආවරණ ආනයනය කෙරිණි.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති රැස්වීමකදී මේ බව අනාවරණය විය.

KN95 වර්ගයේ මුව ආවරණ ද රට තුළ නිෂ්පාදනයට ඉදිරි සති කිහිපයේදී පියවර ගැනෙනු ඇත.

මුහුණු ආවරණ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමේ දී ශල්‍ය මුහුණු ආවරණයක් රුපියල් 15 ක උපරිම සිල්ලර මිලකටත් KN95 මුහුණ ආවරණයක් රුපියල් 100 උපරිම සිල්ලර මිලකටත් ලබාදීමට එකඟතාවක් ඇති විය.

පාලන මිලට මුහුණු ආවරණ ලබා දෙන්නේ ද යන්නත් මුහුණු ආවරණවල ප්‍රමිතිය පිළිබඳවත් නිරතුරුව සොයාබලන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ ෴

***************************************

නුගේගොඩ මිරිහානේ ‘ඉපැරණි ජුබිලි කණුව’ කෝ ?

(20.11.2020 – 00:27 +0530 – truenews.lk)

1887 වික්ටෝරියා රැජනගේ පදවිප්‍රාප්ත සැමරුම නිමිති කොටගෙන එය සිහිවනු වස් මිරිහාන හන්දියේ පිහිටුවන ලද ‘ජුබිලි කණුව’ ගලවා ඉවත් කොට තිබෙනවා.

2005 ජුලි 8 වැනි දින නිකුත් කළ ගැසට් නිවේදනයකින් එම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස ප්‍රකාශයටද පත් කර තිබුණා.

කෙසේවෙතත් අද වන විට එම ජුබිලි කණුව ගලවා ඉවත් කොට මාර්ගය සංවර්ධනය කර ඇති ආකාරයක් දැකගන්නට තිබෙනවා.

අදාළ ස්මාරකය හේතුවෙන් එම ප්‍රදේශය හැදින්වුණේද ‘ජුබිලි කණුව’ වශයෙනි.

එදා ජුබිලි කනුව
අද ජුබිලි කණුව 

*********************************************

බුවැලිකඩ ඛේදවාචකයේ Part 2 කලුබෝවිලද?

(19.11.2020 – 18:23 +0530 – aruna.lk)

බුවැලිකඩ අනවසර හා නිසි තාක්ෂණික අනුමැතියකින් තොරව ඉදිකළ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පවුලක්ම අකාලයේ මරු වැලඳගත් ඛේදවාචකයේ උනුසුම මැකී යන්නටත් මත්තෙන් තවත් එවැනිම අනතුරකට අත වනන සිදුවීමක් පිළබඳ අරුණට වාර්තා වුණා.

කළුබෝවිල ශික්ෂණ රෝහල ඉදිරිපිට අතිශය ජනාකීර්ණ පරිසරයක, අනාරක්ෂිතව ඉදිවෙමින් පවතිනවායැයි කියන ගොඩ නැගිල්ලක් පිළිබඳ අප කළ ගවේශණාත්මක වාර්තාව පහත වීඩියෝවෙන් නරඹන්න.

***************************************

කරුංකා සිද්ධියට සැක රේගු ලොක්කෙක්ගේ වැඩ තහනම්

(19.11.2020 – 17:01 +0530 – aruna.lk)

කරුංකා ප්‍රති අපනයන කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැක පිට සහකාර රේගු අධිකාරීවරයකුගේ වැඩ තහනමට ලක් කර ඇත.

රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියෝගය පරිදි මෙම පියවර ගත් බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා අරුණට පැවැසීය.

කරුංකා ප්‍රති අපනයනය සිද්ධිය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නියෝගය පරිදි රේගු දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ වනවිට මූලික විමර්ශනය සිදු කරමින් සිටින බව ද හෙතම වැඩිදුරටත් පැවැසීය.

ඉන්දුනීසියාවෙන් මෙරටට ගෙන්වූ කරුංගා කන්ටේනර් 21 ක් වංචනික ලෙස ඉන්දියාවට ප්‍රතිඅපනයනය කළ බව හෙළිව තිබේ. මෙරටින් කරුංකා කන්ටේනර් හතරක් (4) යවන අතරේ ඉන්දුනීසියාවෙන් ගෙන්වූ කරුංකා කන්ටේනර නීති විරෝධී ලෙස යවා ඇත්තේ ‘බස්නායක එක්ස්පෝර්ට්’ හා ‘මේරියම් ඉන්ටර්නැෂනල්’ යන සමාගම් දෙක බව අනාවරණය වී තිබේ ෴

***************************************

යාපනය විශ්ව විද්‍යාලයේ නවකයින්ට අමානුෂික ලෙස පහර දුන් ජ්‍යෙෂ්ඨයින්ගේ පන්ති තහනම්

(19.11.2020 – 14:46 +0530 – aruna.lk)

නවක සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් පහර දුන් යාපනය විශ්ව විද්‍යාලයේ ජෙයෂ්ඨ සිසුන් 7 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට යාපන විශ්ව විද්‍යාලයේ විනය ඊයේ (18) දා තීරණය කොට තිබේ.

2020-10-08 වෙනි දින අවස්ථා කීපයකදීම ජෙයෂ්ඨ සිසුන් පිරිසක් නවක සිසුන්ට පහර දීම නිසා නවක සිසුන් හය දෙනෙකු (6) තුවාල ලැබූ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ජෙයෂ්ඨ සිසුන් 12 දෙනෙකු චෝදනා ලැබ සිටියහ.

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය හා විනය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය නන්දකුමරන්ගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණ්යේ වාර්තාව ඊයේ (18) එළි දැක්වුණු අතර එහිදී ජෙයෂ්ඨ සිසුන් 7 දෙනෙකු වරදකරුවන් බවට පත් වී තිබේ.

එම සිසුන්ගෙන් සිසුන් 4 දෙනෙකුට මාස 6 ක කාලයක පන්ති තහනමක්ද ඉතිරි තුන් දෙනාට (3) වසරක (1) පන්ති තහනමක්ද නියම කොට ඇති අතර මේ කාලයේදී එම සිසුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කොට තිබේ.

ඔවුන් සියළු දෙනාගේම ශිෂ්‍යාධාර ඇතුලු සියළුම පහසුකම් අත්හිටුවිමට කටයුතු කර ඇත ෴

***************************************

පී.සී.ආර්. කට්ටල වලින් ගසාකන ජාවාරමක් ගැන හෙළිවෙයි

(19.11.2020 – 07:28 +0530 – aruna.lk)

කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වන සමාගමක් හා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සංවිධානාත්මකව පී.සී.ආර්.වලින් ගසාකන ජාවාරමක් කරගෙන යන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

මේ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනාධිපති කාර්ය සාධක බළකායේදීද පසුගිය දින කිහිපයේදීම සාක්ෂි සහිතව අනාවරණය වී ඇත.

කොවිඩ් වයිරසයට මුවාවී කරගෙන යන මෙම ජාවාරමට සම්බන්ධ එක් නිලධාරියකුගේ සොයුරකු අදාළ පී.සී.ආර්. කට්ටල ගෙන්වන සමාගමේ කොටස් හිමිකරුවකු බවද බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

යුරෝපා රටකින් අධික මිලකට පෞද්ගලික සමාගමක් මගින් ගෙන්වන මෙම පී.සී.ආර්. කට්ටල මගින් මහජන මුදල් ගසා කන බව මෙම විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම සමාගම සපයන මිලට වඩා අඩුමිලට වෙළෙඳපළේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ මෙවැනිම පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ඇතත්, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාවාරමට සම්බන්ධ නිලධාරීන් අදාළ සමාගමේ පී.සී.ආර්. උපකරණම ඉල්ලා සිටින බවද අනාවරණය වේ ෴

***************************************

ගෝඨාභය රජවෙලා අදට අවුරුද්දයි. ජනතාව බලාපොත්තු උනේ එක රටක්, එක නිතියක් – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

16-11-2020
18-11-2020

***************************************

(20.11.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 90 ක මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අදාළව ලංකා පොහොර සමාගමේ 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා සභාපතිවරයා ලෙස කටයුතු කළ රොෂාන් නන්දසේන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) පස්වරුවේ බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේදී හිටපු සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

සීමාසහිත ලංකා පොහොර සමාගමට පෞද්ගලික සමාගමකින් දියර පොහොර ලබා ගැනිමේදී සිදුව ඇති අදාළ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ලැබී ඇත්තේ පසුගිය ජනවාරි 14 වනදායි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා ෴

***************************************

(20.11.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

වෙළඳසැල් 1,192 කින් සමන්විත පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනවා.

මෙය වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක් මෙන්ම සේවකයින් සඳහා විවේකාගාර ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධි ශීත ගබඩා මෙන්ම හෝටල් පහසුකම්ද ඊට ඇතුළත් බවයි.

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් සහ ජනතා පහසුව වෙනුවෙන් මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය සහ එළවළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යෑමට පියවර ගනු ලැබුවා.

අධිවේගී මාර්ග පද්ධතියද පෑලියගොඩට සම්බන්ධ වන නිසා කොළඹින් පිට ප්‍රදේශවලට තොග ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් සැලසීම විශේෂත්වයක්. ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 6.9 ක් වැයකර තිබෙනවා.

[ සේයාරූ ]

+++++++++++++++++++

***************************************

(20.11.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ පුත්‍රයා රෝහලෙන් පැනගොස් තිබෙනවා.

ඒ පිළිබඳව පරීක්ෂණ පොලිසිය මගින් සිදුකරන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

+++++++++++++++

(20.11.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පලා යාමට තැත් කිරිමේදී මිය ගිය රැඳවියා සහ පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වෛරසය ආසාදනය වී ඇති මුළු අසාදිතයින් ගණන 550 ක්.

එමෙන්ම, දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත ඖෂධ හා පානයන් බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රතිශක්තීකරණ වර්ධනය පිණිස ලබාදීම ඊයේ සිදු කෙරුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *