නිසි වැඩපිලිවෙලකින් තොරව පාසල් විවෘත නොකරන්නැයි ගුරු සංගම්වලින් ඉල්ලීම්

නිසි වැඩපිලිවෙලකින් තොරව පාසල් විවෘත නොකරන්නැයි ගුරු සංගම්වලින් ඉල්ලීම්

*********************************************

නිසි වැඩපිලිවෙලකින් තොරව පාසල් විවෘත නොකරන්නැයි ගුරු සංගම්වලින් ඉල්ලීම්

(20.11.2020 – 08:16 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු ප්‍රදේශවල පාසල් තුන්වන වාරය ලබන සඳුදා ආරම්භ කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයට ලංකා ගුරු සංගමය විරෝධය පළ කරනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලිං මහතා ඊයේ (19) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ පාසල් ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය උපදෙස් අනුව දරුවන් කටයුතු කළ යුතු ආකාරය ගැන නිසි වැඩපිලිවෙලක් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

කෙසේ වෙතත්, බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු ප්‍රදේශවල පාසල්වල 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා තුන්වන වාරය නොවැම්බර් 23 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (19) ප්‍රකාශ කළා.

මේ අතර, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉහළ දැමීම තුළින් දරු දැරියන්ට අසාධාරණයක් සිදු ව ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා ෴

+++++++++++++++++++++

(20.11.2020 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (19) දිනයේත් මෙරටින් කොරෝනා ආසාදිත මරණ 04 ක් වාර්තා වුණා.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70 ක පුද්ගලයෙකු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගියා.

ඔහු කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ අක්මා රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්ද ඊයේ (19) මියගියා.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන්ද කොරෝනා ආසාදිත මරණ දෙකක් (2) වාර්තා වී ඇති අතර, ඉන් එක් අයෙකු 86 හැවිරිදි කළුතර – හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇති වූ පපුවේ ආසාදනයක් හේතුවෙන් මියගිය බව සඳහන්.

අනෙක් කාන්තාව හොරණ – පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි අතර 59 හැවිරිදි ඇය නිවසේදී මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ පපුවේ ආසාදනය සහ අධික රුධිර පීඩනය හේතුවෙන්.

එසේම, නව අසාදිතයින් 437 දෙනෙකු ඊයේ (19) හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 18,841 දක්වා ඉහළ ගියා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 15,330 ක්.

ඊයේ (19) ආසාදිතයින් 316 ක් සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 12,903 ක් ලෙස සටහන් වනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,865 ක්.

මේ අතර, මේ වනවිට දෛනිකව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන කොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින ජනතාව වෙනුවෙන් අද (20) සිට විශේෂ ගිලන් රථ සේවාවක් හා විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (19) පස්වරු 4 න් අවසන් ගෙවුණු පැය 24 තුළ කොරෝනා ආසාදිත රෝගීන් 93 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනා ගෙන ඇති මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4,731 ක්. මෙම පිරිස හඳුනා ගැනීම සදහා පී.සී.ආර්. පරීක්ෂණ 68,040 ක් සිදු කර ඇති බවයි එහි දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, සේවකයින් පිරිසකට කොවිඞ් 19 ආසාදනය වීමත් සමඟ අඩාල වූ කොළඹ වරායේ කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර අවසන් බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. කොළඹ වරායේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (19) කොළඹ වරායේ සංචාරයක නිරත වුණා.

මේ අතර, හෝමාගම මූලික රෝහල ඊයේ (19) සිට කොවිඞ් 19 රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර කරන රෝහලක් බවට යළි පරිවර්තනය කරනු ලැබුවා. ඒ අනුව එහි රෝගීන් 200 කට පමණ ප්‍රතිකාර කළ හැකි වනවා ෴

++++++++++++++++++++

‘සුවෙන් සිටිමු’ ඩිජිටල් ව්‍යාපෘතිය රාජ්‍ය ආයතන පරිශ්‍රවල ක්‍රියාත්මක කරන්න – ජනපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක්

(20.11.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

රටේ පුරවැසියන්ගේ සංචරණයන් කළමනාකරණය කිරීම අරමුණු කරගෙන වෙබ් තාක්ෂණය මත පදනම් වූ ‘සුවෙන් සිටිමු’ ඩිජිටල් විසඳුම තම ආයතන පරිශ්‍රවල භාවිත කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ සෑම රාජ්‍ය ආයතනයක්ම https://staysafe.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වී ආයතනයට අදාළ ‘කිව් ආර් කේතය’ සහිත පෝස්ටරය බාගත කරගත යුතු බවයි.

එලෙස බාගත කරගනු ලබන පෝස්ටරය මුද්‍රණය කර ආයතනයට ඇතුළු වන සියලු ස්ථානවල පැහැදිලිව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කළ යුතුයි.

ආයතනයෙන් පිටවීම සඳහා වෙනත් දොරටු පවතී නම් එම සියලු ස්ථානවලද ආයතනයට අදාළ ‘කිව් ආර් කේතය’ සහිත පෝස්ටරයේ පිටපතක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළ යුතු වනවා.

ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන රාජ්‍ය ආයතනවල සියලු සේවකයින් සහ ආගන්තුකයින් ආයතන පරිශ්‍රයට පිවිසීමේදී ‘කිව් ආර් කේතය’ ස්කෑන් කර ඒ බව තහවුරු කිරීමෙන් පසුව ආයතනයට ඇතුළුවිය යුතු බවයි. ස්මාර්ට් ජංගම දුරකතන භාවිත නොකරන සේවකයින් සහ ආගන්තුකයින් හට ඒ සඳහා කෙටි පණිවුඩ ක්‍රමය භාවිත කළ හැකි බවද පෙන්වා දී තිබෙනවා.

+++++++++++++++++

(20.11.2020 – 08:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් සිය කුඩා පුතුද රැගෙන පළා යෑමේ පුවතක් අද (20) වාර්තා වුණා.

එම දරුවා පමණක් ඇහැලියගොඩ ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ කාන්තාව 25 හැවිරිදි වියේ පසුවන අතර, ඇයගේ දරුවාගේ වයස අවුරුදු දෙකහමාරක් (2½) පමණ වනවා. ඊයේ (19) රාත්‍රි 09:00 ට පමණ ඇය සිය දරුවා රැගෙන අයි.ඩී.එච්. රෝහලෙන් පළාගොස් ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

පසුව පොලිසිය අදාළ කාන්තාවගේ ඇහැලියගොඩ – යාය පාරේ පිහිටි නිවස පරීක්ෂා කර ඇති අතර, එහිදී දරුවා සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

නිවසේ එම කාන්තාවගේ සැමියා, සොහොයුරා සහ තවත් දරුවන් කිහිප දෙනෙකු රැඳී සිටි බව සඳහන්. මේ වනවිට එම දරුවා සහ අනෙක් පිරිස නිවසේ රඳවා සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ කාන්තාව එම ප්‍රදේශයේම පිහිටි සිය සොහොයුරාගේ නිවසටද ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව ඇය සැරිසැරූ ස්ථාන සොයා පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් මේ වනවිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. අදාළ කාන්තාව ඇහැලියගොඩ සිට ඉඩම්ගොඩ බලා ගමන්ගත් බස් රථයකින් පළාගොස් ඇති බවයි මේ වනවිට හෙලි වී ඇත්තේ.

එසේම, එම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටියදී ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ කාන්තාවක බවටද වාර්තා වනවා.

මේ අතර, නව අසාදිතයින් 437 දෙනෙකු ඊයේ (19) හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18,841 දක්වා ඉහළ ගියා. එසේම, ඊයේ (19) වාර්තා වූ මරණ 04 සමඟින් මේ වනවිට මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 73 ක් ලෙසටයි.

දීපාවලි උත්සවයට වතුකරයේ තම නිවෙස් වෙත පැමිණි 20 හැවිරිදි තරුණයෙකුට සහ 38 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. ඔවුන් වැල්ලවත්ත සහ කොල්ලුපිටිය ප්‍රදේශවල පෙදරේරුවන් ලෙස සේවය කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙරට ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබඳව මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියා.

එමෙන්ම, හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින තුළ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මේ අතර, දිවයින පුරා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් වසම් 24 ක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ආයතනවල සෞඛ්‍ය උපදෙස් නියමිත පරිදි අනුගමනය කරන්නේ දැයි සොයා බැලීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන බවයි.

එසේම, සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සහ මුව ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් මේ දක්වා ගත වූ කාලය තුළ පුද්ගලයින් 358 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා.

මේ අතර, සේවකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අකර්මන්‍ය වූ කොළඹ වරාය මෙහෙයුම් කටයුතු මේ වනවිට යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ අද (20) පෙරවරුවේ විකාශය වූ ‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්.

මේ අතර, ශ්‍රී ලංකාවේ සිට නැවත බ්‍රිතාන්‍ය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජය ඊයේ (19) නිවේදනය කර තිබෙනවා. හෙට (21) සිට එය ක්‍රියාත්මක වන බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එලෙස නිරෝධායනය අවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ කොරෝනා අවදානම අඩු රටවලට බව සඳහන්.

කෙසේ නමුත්, බ්‍රිතාන්‍යයේ සිට වෙනත් රටවලට සංචාරය කිරීම රැකියා – අධ්‍යාපනය ආදී අත්‍යවශ්‍ය කටයුතුවලට සීමා කර තිබෙනවා.

++++++++++++++++++

(20.11.2020 – 11:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 04 ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 148 දෙනෙකු අද (20) අලුයම මෙරටට පැමිණියා.

විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේ ඔවුන් දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම පිරිස අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 83 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිටි පුද්ගලයෙකු සහ ඕස්ට්‍රේලියාවේ සිටි පනස් දෙදෙනෙකු (52) ද වනවා.

ඊට අමතරව ජපානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකුද මෙලෙස අද (20) දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු කියා සිටියේ ෴

***************************************

(20.11.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

කෝවිඩ්-19 අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ කටයුතු අද (20) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

ඒ අනුව කොරෝනා සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි ඔහු කියා සිටියේ.

අද (20) කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය, මහාමාර්ග අමාත්‍යාංශයේ සහ අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක්. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, මහාමාර්ග අමාත්‍යාංශයේ ගණකාධිකාරී, අදාළ ව්‍යාපෘති ඒකකයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් 07 දෙනෙක් පමණක් අද (20) පාර්ලිමේන්තුවට කැඳවා ඇති අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදුකර ඇති විශේෂ විගණන වාර්තාව මෙහිදී අධ්‍යයනයට ලක් කෙරෙනවා.

මේ අතර, 2021 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන (3) දිනය අදයි ෴

***************************************

(20.11.2020 – 10:42 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති අන්තයේදී මගී දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින තුළ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බවයි එහි සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර, සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සහ මුව ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් මේ දක්වා ගත වූ කාලය තුළ පුද්ගලයින් 358 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඊට අදාළව ඊයේ (19) දිනයේදී පුද්ගලයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

***************************************

(20.11.2020 – 11:59 +0530 – hirunews.lk/sinhala)

1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍ර නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය අද (20) නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සම් මගින් සඳහන් කර තිබුණේ 1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේ දී බලයට පත් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කළ බවයි. නිතීපතිවරයා විසින් ගොනු කරනු ලැබු එම අධිචෝදනා පත්‍ර නීතියට පටහැනිව සහ දේශපාලන අවශ්‍යතාවන් මත සිදු කර ඇති බැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමිනුයි අමාත්‍යවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.

එම පෙත්සමට අදාළ තීන්දුව අද (20) ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය පවත්වා තිබෙන ලඝු නොවන නඩු විභාගය නිත්‍යානුකූල නොවන බව සඳහන් කළා. එහිදී විත්තිකරුගේ සහභාගිත්වයකින් තොරව මෙම ලඝු නොවන නඩු විභාගය එක් දිනකින් අවසන් කර තිබෙන බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා එය නීතියට පටහැනි බවයි කියා සිටියේ. ඒ අනුව ලඝු නොවන නඩු විභාගයේ නිර්දේශ පදනම් කරගනිමින් නීතිපතිවරයා විසින් පෙත්සම්කරුට එරෙහිව මහනුවර මහාධිකරණයේ ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ද නීතියට පටහැනි වන බව ද සභාපති විනිසුරුවරයා සඳහන් කළා.ඒ අනුව අදාළ නීති විරෝධී අධිචෝදනා පත්‍ර තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා ඒ අනුව එය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරනු ලැබුවා ෴

***************************************

(20.11.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

බදුරලිය – කෙලින් කන්ද ගම්මානයේ ළමයින් පිරිසක් ෆෝ-ජී (4G) තාක්ෂණය හිඟකමින් මාර්ගයක වාඩි වී අධ්‍යයන කටයුතුවල නිරත වන අයුරු සමාජ මාධ්‍ය හරහා පළ වීමත් සමඟ එම ප්‍රදේශයට ෆෝ-ජී තාක්ෂණය ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔෂඳ සේනානායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සති දෙකක් (2) ඇතුළත එම ප්‍රදේශයට ෆෝ-ජී තාක්ෂණය ලබාදෙන බවයි. සමාජ මාධ්‍යයේ පළ වූ සිද්ධියට සම්බන්ධ ප්‍රදේශයේ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් පිරිසක් සංචාරය කළ අතර, ඊට එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාද ඇතුළත් වුණා.

එමෙන්ම, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔෂඳ සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ මොණරාගල – මියාගල ගම්මානයට ලබන අඟහරුවාදා දිනයේ ගොස් එහි පවතින සන්නිවේදන ගැටළුවලට විසඳුම් ලබාදෙන බවයි.

මේ අතර, රත්නපුර නගරයේ කුළුණු 38 ක් ඉදිකර ගමට සන්නිවේදනය වැඩසටහනේ පළමු අදියර ලෙස ෆෝ-ජී තාක්ෂණය ලබාදීමට නියමිතයි. ඒ සඳහා අයවැයෙන්ද මුදල් වෙන්කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක වන ශ්‍රියානි මාවැල්ලගේ මහත්මිය ප්‍රකාශ කළා. එමෙන්ම, දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,022 ටම 2022 ජූලි මාසය වනවිට ෆෝ-ජී තාක්ෂණය ලබාදී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ විවාහයට අත්සන් කළ හිටපු ඇමතිවරයා : රිෂාඩ් බදියුදීන්

(20.11.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට තිබූ සබඳතා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා.

ඒ, සාක්ෂි ලබාදීමට මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණයෙන් ඊයේ (19) සම්බන්ධ වූ අවස්ථාවේදීයි. එහිදී මන්ත්‍රීවරයා සිනමන් ග්‍රෑන්ඞ් බෝම්කරු වූ ඉන්ෂාෆ් අහමඩ්ගේ විවාහයට සාක්ෂිකරු ලෙස අත්සන් කළ බව පිළිගත්තා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් ගෙන් ඊයේ (19) පළමුවරට සාක්ෂි විමසූ අතර සාක්ෂි ලබාදීමට මන්ත්‍රීවරයා සම්බන්ධ වුණේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටයි.

එහිදී ඔහු විසින් දමිළ භාෂාවෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍යයැයි කළ ඉල්ලීමක් මත පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයකු කැඳවා රිෂාඩ් බදියුදීන් ගෙන් සාක්ෂි විමසීම දෙමළ බසින් සිදු කෙරුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :

ඔබ නායකත්වය දරණ අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ අලවුදීන් නම් අයෙකු තනතුරක් දරණවාද ?

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් :

ඔව්. ඔහු මගේ පක්ෂයේ භාණ්ඩාගාරික වෙලා ඉඳලා ඉන්පසුව උප භාණ්ඩාගාරික වෙලා අයින් වුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :

අලවුදීන්ගේ දියණිය කවුරුන් සමගද විවාහ වී සිටියේ ?

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් :

මම මාධ්‍ය හරහා දැනගත්තා ඇයගේ සැමියා බෝම්බ පුපුරවපු ස්වයංඝාතකයෙක් වුණ ඉන්ෂාෆ් අහමඩ් කියලා. ඔවුන්ගේ විවාහයට මමත් සහභාගී වුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :

ඔබ ඒ දෙදෙනාගේ විවාහයේ සාක්ෂිකරුවකු ලෙස අත්සන් කළා නේද ?

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් :

අලවුදීන්ගේ ඉල්ලීම මත මා අත්සන් කරන්න ඇති. මට හරියටම මතක නැහැ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :

ඉන්ෂාෆ් අහමඩ් ඔබට දුරකතන ඇමතුම් අරගෙන තිබුණා නේද ?

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් :

මගේ අංකයට අරන් තිබුණා. නමුත් මම ‘ආන්ස්වර්’ කළේ නැහැ. මගේ පෞද්ගලික සහකාර තමයි කතා කරලා තිබුනේ මම ‘බිසි’ නිසා.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

ඒ කියන්නේ ඉන්ෂාෆ් අහමඩ් ළඟ ඔබේ දුරකතන අංකය තිබුණනේ නේද ?

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් :

ස්වාමීනි මේකයි.. ස්වාමීනි මේ… මගේ වෙබ් අඩවියේ මගේ නොම්බර ඔක්කොම දාලා තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ගන්න පුලු‍වන් මගේ නම්බරේ ඒකෙන්.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

හරි හරි කලබලවෙන්න එපා. අපි වරදකට නෙවෙයි අහන්නේ. අපිට පැහැදිලි කරගන්නයි අවශ්‍ය වුණේ..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් :

නැහැ ස්වාමීනි. මම එහෙම කිව්වේ මෙතන මාධ්‍ය ඉන්නාවා. ඕක තමයි ඒගොල්ලන් හෙඩ්ලයින් එකට දාගන්නේ මගේ නොම්බරේ තිබ්බා කියලා. මේ අන්තවාදය එක්ක මුස්ලිම් දේශපාලනය ඉවර කරන්න තමයි මේ මාධ්‍ය බලන් ඉන්නේ..

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :

ඉන්ෂාෆ් අහමඩ් සමග ඔබේ සහෝදර රියාජ් බදියුදීන්ගේ සම්බන්ධකමක් තිබුණාද ?

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් :

ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කරන්න ඇති. නමුත් ඔවුන් හමුවී තිබෙනවා ද කියලා මම දන්නේ නැහැ. අර ඔවුන්ගේ තඹ කර්මාන්තයට බඩු ගන්නනම් ඉල්ලීම් කර තිබුණා. ඒ මුල් අවස්ථාවල හරියට වුණේ නැති වෙලාවෙදි රියාජ්ට කියලා තිබුණා ඉන්ෂාෆ්ලා උසාවියෙදි බලා ගමු කියලානම්.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :

ඔය සහෝදර බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන මොහොමඞ් ඊබ්‍රාහිම් ඔබ හදුනනවාද ?

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් :

මම කර්මාන්ත ඇමති නිසා ඔහු ඇවිත් මා ඒක සාකච්ඡා කරලා තියෙනවා.

අනතුරුව පාස්කු ප්‍රහාරයට පසු දෙහිවලදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවකු සම්බන්ධයෙන් එවකට යුධ හමුදාපතිවරයාගෙන් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සිදුකර තිබූ විමසීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ප්‍රශ්න කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් :

මම එතකොට අමාත්‍යවරයෙක්. තාත්තා කෙනෙක් මට කතා කරලා කිව්වා කවුදෝ මුහුණ ආවරණය කරගත් කණ්ඩායමක් ඇවිත් එයාගෙ දරුවව අරන් ගියා. ඒ දරුවා ජීවතුන් අතර ඉන්නවාද කියලා හොයලා දෙන්න කියලා. ඒ නිසා තමයි මම ඒ දෙහිවල ගෙදරට ගියේ. ඒ මුයිනුදීන් කියන පුද්ගලයා පරිපාලන සේවයේ නිලධාරියෙක් නිසා මම ඒ උදව්ව කළේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :

අත්අඩංගුවට ගත් ‘මුයිනුදීන්ගෙ පුතා’ සහරාන්ගේ නේවාසික දේශනවලට සහ අවිපුහුණුවලට සහය වූ කෙනෙක් කියලා ඔබ දන්නවාද ?

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් :

නැහැ. දැනටත් මම දන්නේ නැහැ. මං වගකීමෙන් කියන්නේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :

ඔබ මේ මුයිනුදීන්ගේ පුතා සම්බන්ධයෙන් හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් අවස්ථා තුනකදී දුරකතන ඇමතුම් අරගෙන විමසුවද ‘ඔහු සම්බන්ධයෙන් යමක් කරන්න පුලු‍වන් ද?’ කියලා ?

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් :

එහෙම නෙවෙයි ස්වාමීනි. මම මුලින්ම දෙහිවල පොලිස් ස්ථානාධිපතිට කෝල් කළාම කිව්වා අත්අඩංගුවට ගත්තේ නැ කියලා. ඊට පස්සෙ එස්.එස්.පී. කෙනෙක්ගෙන් ඇහුවාම කිව්වා එයත් දන්නැ කියලා. මං ඇහුවා එහෙනම් කවුද මූණු වහන් ඇවිත් ඇරෙස්ට් කරන්නෙ කියලා. එතකොට කිව්වා හමුදාව ආවද දන්නැ කියලා. මං ඒ නිසා තමයි මහේෂ් සේනානායකට ඇමතුමක් ගත්තේ. අරන් ඇහුවෙ මෙහෙම කෙනෙක් ඉන්නවද ජීවතුන් අතර කියලා. ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මං ආයෙ කතා කළේ නැහැ.‍

සාක්ෂිකාර රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් වැඩිදුරටත් සාක්ෂි විමසීම හෙට (21) පෙරවරුව තෙක් කල්තැබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *