පාස්කු කොමිසමේදී පළමුවරට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න කළ හෙළිදරව්ව

පාස්කු කොමිසමේදී පළමුවරට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න කළ හෙළිදරව්ව

අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිත කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම්

*********************************************

පාස්කු කොමිසමේදී පළමුවරට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න කළ හෙළිදරව්ව

(21.11.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට මුලින් සැලසුම් කර තිබුණේ 2020 වසර තුළදී බවට විමර්ශන මගින් අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මුල්වරට අනාවරණය කළා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින්.

එහිදී ඔහු බෝම්බකරුවන්ගේ තවත් සැලසුම් කිහිපයක් පිළිබඳ පළමුවරට අනාවරණය කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (20) සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතායි.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් වව්නතිව් පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු (2) ඝාතනය කළ සිද්ධිය, මාවනැල්ලෙ බුදු පිළිම කඩා දැමීම, වනාතවිල්ලුවෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සහිත ඉඩමක් සොයාගැනීම ආදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මෙහෙයවූ සිදුවීම් සම්බන්ධයෙන් සඳහන් කළා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :

සහරාන් හෂීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වුණාද මේ පරීක්ෂණවලදී ?

රවී සෙනෙවිරත්න – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව :

වනාතවිල්ලුවේදී 4 ක් CID භාරයට ගත්තා. ඉන් දෙදෙනෙකු (2) සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්න කිරීම් කළා. එතනදී තමයි සහරාන් හෂීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රථමවරට කරුණු අනාවරණය වුණේ. ඉන්පසුව වනාතවිල්ලුවෙන් සොයාගත් දෑ පිළිබඳ පොලිස්පතිට වාර්තාවක් යොමුකළා 2019.01.05. පොලිස්පතිව හමුවෙලා සාකච්ඡාත් කළා.

එතනදි ඔහුට දැනුම්දුන්නා මේක අවි ආයුධ එකරැස් කරන ස්ථානයක් සහ පුහුණු කඳවුරක් ලෙස පවත්වා ගෙන ගිහින් තියෙනවා කියලා. රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන ඔවුන් පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවත් මේ නිසා ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඉදිරියේදී සිදුවෙන්න පුලුවන් බව පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. එතනදි පොලිස්පති කිව්වා එතුමාව ඒ වෙනකොට ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවන්නේ නෑ කියලා. එමනිසා මට වැටහුනා මේ තොරතුරු ආරක්ෂක කවුන්සිලයට දන්වන්න වෙන්නෙ නැහැ කියලා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :

ප්‍රහාරයක් සිදුවෙන බවට වූ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකගෙ ලිපිය ජාතික බුද්ධි ප්‍රධානියා විසින් පොලිස්පතිට යොමුකර තිබුණා. එය ඔබට ලැබුණා ද පොලිස්පතිගෙන් ?

රවී සෙනෙවිරත්න – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව :

මට ලැබුණේ නැහැ ස්වාමීනි. නමුත් 2019.04.09 දිනැති පොලිස්පතිට එවා තිබූ ලිපියේ පිටපතක් 2019.04.16 මට ලැබුණා. මම රාජකාරීමය කටයුත්තකට විදෙස් ගත වෙලා දිවයිනට පැමිණි පසු තමයි ස්වාමීනි මට මේ පිටපත 16 වෙනිදා ලැබුණේ. එය පොලිස්පති මට යොමුකළේ නැහැ. අපිට තිබුණේ සහරාන් ඇතුළු ඒ පිටපතේ නම් සඳහන් පිරිස අත්අඩංගුවට ගැනීම. මම ඒ අනුව මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී වික්‍රමසේකරට හා අධ්‍යක්ෂට යොමුකළා. නමුත් අධ්‍යක්ෂ ශානි අබේසේකර මේ ප්‍රහාරය එල්ලවන බවට වූ ලිපිය දැක තිබුණේ පාස්කු ප්‍රහාරයට පසු අප්‍රේල් 23 ස්වාමීනි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :

අප්‍රේල් 21 උදෑසන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගෙන් එස්.එම්.එස්. පණිවිඩයක් ලැබුණා ද ‘අද උදෑසන ප්‍රහාරය එල්ල වෙනවා’ කියලා ?

රවී සෙනෙවිරත්න – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව :

ඔව් ස්වාමීනි. නමුත් මම ඒ පණිවිඩය දැක්කේ බෝම්බ පිපුරුණාට පස්සේ.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

ප්‍රහාරයට පස්සේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මාධ්‍යයට සඳහන් කළා ඔහුගේ පියා ප්‍රහාරයට කලින් දවසේ කිව්වා කියලා ‘හෙට පල්ලි යන්න එපා’ කියලා. මේ කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂි අනුව CID එකෙන් මාවනැල්ල සහ වනාතවිල්ලුවේ පරීක්ෂණ මෙහෙයවපු පොලිස් සැරයන් නන්දලාල් නිලධාරියා අප්‍රේල් 20 රාත්‍රියේ හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාට දුරකතන ඇමතුමක් අරගෙන තිබෙනවා. සාක්ෂි අනුව වියහැකි කරුණක් වන්නේ නන්දලාල් විසින් එලෙස හරීන් ප්‍රනාන්දු මහතාගෙ පියාට පණිවිඩය දුන්නා කියන එකයි. ඒක එහෙම වුණානම් සෙනෙවිරත්න මහත්මයා කොහොමද CID විමර්ශන නිලධාරින් 20 රෑ දැනගන්නේ 21 ප්‍රහාරයක් සිදුවෙනවා කියලා ?

රවී සෙනෙවිරත්න – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව :

නන්දලාල් නිලධාරියාට තොරතුර ලැබුණේ කොහොමද කියලා මට දැනුමක් නැහැ. නමුත් ‘ප්‍රහාරය හෙට සිදුවෙනවා’ කියලා නිලන්ත ජයවර්ධන මහත්මයා 20 රෑත් මාව දැනුම්වත් කළා. මම ඒ තොරතුරත් සහකාර පොලිස් අධිකාරී වික්‍රමසේකරට හා අධ්‍යක්ෂ ශානි අබේසේකරට එවෙලේම යොමුකරලයි තිබුණේ.

අනතුරුව සාක්ෂිකාර රවී සෙනෙවිරත්න මහතා විසින් සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් ප්‍රහාරය සැලසුම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති කරුණු රැසක් ජනාධිපති කොමිසමට අනාවරණය කළා.

රවී සෙනෙවිරත්න – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව :

විමර්ශනවලදී සොයාගත්තා ස්වාමීනී, 2014 ඉදන් සහරාන්ලා කටයුතු කර තිබුණත් ප්‍රහාරයක් සඳහා ඔවුන් සූදානම් වෙලා තිබෙන්නේ 2017 වසරේ සිට. කණ්ඩායම් හදා ගන්න බැරි වුණාම තමයි ශාහිඩ්ට කියලා තියෙන්නෙ බුදුපිළිමෙකට හරි ගලක් ගහන්න කියලා. ඊටපස්සෙ දේශනවලදි සහරාන් අහලා තියෙනවා සටන්කරුවො වෙන්නද කැමති ප්‍රහාරකයො වෙන්නද කැමති කියලා. සහරාන් නැති තැන කණ්ඩායම කතා වෙනවා මෙරට තුළ නැතුව වෙන රටකට ගිහින් පුපුරවා ගැනීම් කරන්න. නමුත් සහරාන් යළි පැමිණ ඔවුන්ව අභිප්‍රේරණය කරනවා මෙරට තුළම ප්‍රහාර එල්ල කරගන්න. ඒ අනුව ස්වාමීනි 2020 අවුරුද්දේ තමයි ඔවුන් මෙම ප්‍රහාරය සිදුකරන්න සැලසුම් කරලා තිබුණේ. නමුත් 2019 අප්‍රේල් මුල් සතිය වෙනකොට සහරාන් තීරණය හදිසියේම වෙනස් කරනවා ‘අපි දැන් ප්‍රහාරයක් කරන්න ඕනෙ’ කියලා. ඒකට කණ්ඩායමේ අනිත් අය එකඟ වෙලා තිබුණේ නැහැ. නමුත් අප්‍රේල් 9 වෙනකොට ඒ අය කැමති වෙලා 17 වෙනිදා වෙද්දි තමයි ඔවුන් තීරණය කර තිබෙන්නේ 21 වෙනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලකරනවා කියලා. හිටිහැටියේ දිනවකවානු වෙනස් වීම වගේ දේවල් එක්ක සහරාන්ට ඉහළින් කෙනෙක් ඉන්න ඕනේ කියලා කරපු විමර්ශනය අනුව වැටහුනා. මට විශ්‍රාම යන්න කලින් අවශ්‍ය වුණේ ඒ සහරාන්ව මෙහෙයවූ කෙනාව හොයාගන්න.

මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයාවරයා සාක්ෂිකරුගේ අවධානයට කොළයක ලියා පුද්ගලයකුගේ නමක් ඉදිරිපත් කළ අතර සාක්ෂියේදී ඔහු සඳහන් කළ පුද්ගලයා ඔහු විය හැකි බවත් සහරාන් එම පුද්ගලයා සමඟ කටයුතු කර ඇති බවට තොරතුරු ඇති බවත් රවී සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

අනතුරුව ප්‍රහාරයට පසු සහරාන්ලාගේ තිබූ තවත් සැලැස්මක් සාක්ෂිකරු අනාවරණය කළා.

රවී සෙනෙවිරත්න – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව :

ප්‍රහාරය දිනයේ යම් අයෙකු අසාර්ථක වුණොත් ඒ පුද්ගලයා පැමිණිය යුතු ස්ථානයක් ඔවුන් සුදානම් කරගෙන තිබුණේ. එය කොළඹ දේවස්ථානයක්. එතැනට පැමිණෙන අසාර්ථක වූ ප්‍රහාරකයා තවත් අයෙකුට ඔහු එහි පැමිණි බව කිව යුතුයි. ඒ අනුව ප්‍රහාරකයා කැඳවාගෙන යන්න තව කෙනෙක් එතැනට එනවා. ඉන් පසු ඔවුන් ආරක්ෂිත ස්ථානයක් වෙත යන්නයි සැලසුම වී තිබුණේ.

එලෙස අසාර්ථක වන ප්‍රහාරකයන් කැඳවා ගෙන යාමට යොදවා තිබූ පුද්ගලයාගේ නම ද සාක්ෂිකරු විසින් කොලයක සටහන් කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළා.

එහිදී ඔහු සඳහන් කළේ, අදාළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

+++++++++++++++++

***************************************

(21.11.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ තවත් වියළි කහ කිලෝ 710 ක් සහ කේරළ ගංජා කිලෝ 3.7ක් මන්නාරම – එරුක්කලම්පිඩ්ඩි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය සමග එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කහ සහ කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි එම මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ධීවර යාත්‍රාවක සඟවා ගෙන්වූ මෙම කහ තොගය සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසියට භාර දී තිබෙනවා ෴

***************************************

(21.11.2020 – 13:33 +0530 – hirunews.lk/sinhala)

හිඟුරක්ගොඩ – මින්නේරිය – ජයන්තිපුර නව වෙළඳ සංකීර්ණයේ කඩ කාමර සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට ව්‍යාපාරිකයන් චෝදනා කරනවා.

පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ජයන්තිපුර පැරණි වෙළඳ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කොට කඩ කාමර 34 කින් යුතුව මෙම නව වෙළඳ සංකීර්ණය ඉදිකර තිබෙනවා.

ජයන්තිපුර ව්‍යාපාරිකයන් පවසන්නේ ටෙන්ඩර් පත්‍රිකාවට අනුව, පළමු පුද්ගලයන් නොමැති නම්, දෙවැනි පුද්ගලයන් සඳහා ටෙන්ඩර් කැඳවන බවට සඳහන් කර තිබුණ ද, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එලෙස කටයුතු කර නොමැති බවයි.

කෙසේ වෙතත්, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්. උඩවත්ත කියා සිටියේ පළමු පුද්ගලයන් නොමැති නම්, දෙවැනි පුද්ගලයන්ට ටෙන්ඩර් ලබාදීමට ඉහළ බලධාරින්ගේ උපදෙස් අවශ්‍ය බවයි ෴

***************************************

(21.11.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල මෙරට සෑම පුද්ගලයෙකුගේම ප්‍රධාන සහ එකම මාතෘකාව කොවිඩ්-19 රෝගය සහ සංචරණ සීමා යටතේ සාමාන්‍ය ජන ජීවිතය යථාතත්ත්වයෙන් පවත්වා ගැනීමයි.

ඒ නිසාම වෙනත් අවදානම් සහගත රෝග සඳහා ඇති අවධානය අපෙන් ගිලිහී යන අවස්ථා ද නැතුවාම නොවේ.

කොවිඩ්-19 අවදානම හමුවේ මීඋණ රෝගය පිළිබඳ අවධානය ගිලිහුනාද? මේ ඒ පිළිබඳ කළ සොයා බැලීමක්.

රට පත්ව ඇති වසංගත ත්ත්වය හමුවේ කෘෂිකාර්මික කටයුතුවල නිරතවීම රටේ ආර්ථිකයට යම් ශක්තියත් වන නමුත් අනාරක්ෂිත ලෙස එම කටයුතුවල නිරතවීම තුළින් විවිධ රෝගවලට ගොදුරුවීමේ හැකියාවක් පවතිනවා.

කොවිඩ්-19 අවදානමෙන් මිදීමට මීටරයක දුර පවත්වාගෙන, නිරතුරුව මුඛ ආවරණ පැළඳීම සිදුකළත් ගොවිතැන් කටයුතුවලදී ආරක්ෂිත පැළඳුම්, ඖෂධ භාවිතා කිරීම හෝ වෙනත් ආරක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බොහෝදෙනා වැඩි අවදානමක් යොමු කරන්නේ නැහැ.

ඒ නිසාම ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මීඋණ රෝගය කොවිඩ්-19 අවදානමට සමගාමීව යළි හිසඔසවමින් පවතිනවා.

මී මුත්‍ර මගින් වැඩි වශයෙන් ව්‍යාප්ත වන මෙම බැක්ටීරියාව සමෙහි ඇති ඇසට නොපෙනෙන කුඩා සිරීමක් තුළින් වුව ද ශරීර ගතවිය හැකියි.

වසර පුරාම මීඋණ රෝගීන් වාර්තා වන අතර රෝගීන්ගේ වාර්තාවීම ඉහළ යන්නේ වැසි කාලවලදී සහ ගංවතුර අවස්ථාවකදියි.

මේ වසරේ ගෙවී ගිය කාලය ඇතුළත ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මීඋණ රෝගයෙන් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උතුරු මැද, වයඹ, සබරගමු වැනි පළාත්වලින් මීඋණ රෝගීන් වැඩි ගණනක් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ දත්ත පෙන්වා දෙන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තවීමට බලපාන ප්‍රධාන හේතුවී ඇත්තේ වැඩි පිරිසක් ගොවිතැන සහ පතල් කර්මාන්තයේ නිරතවීමයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කොවිඩ්-19 වසංගතයට අවධානය යොමු කරන්නේ සේ මීඋණ වසංගතය පිළිබඳව ද ජනතාව වැඩි අවදානය යොමුකළ යුතු කාලය එළඹ ඇති බවයි.

***************************************

(21.11.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

2021 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි (21).

ඒ අනුව අද (21) පස්වරුව් දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

මේ අතර, අයවැය විවාදය ආරම්භ වීමට පෙර ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න විමසීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකින් පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත්තා.

+++++++++++++++

***************************************

(21.11.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලයේ සාම්බල්තිව් කලපුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කර කලපුව හා ඒ ආශ්‍රිත තෙත් බිම් ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් ලෙස ගැසට් කිරීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර තිබෙනවා.

සාම්බල්තිව් කලපුව හා ඒ ආශ්‍රිත කලාපයේ සිදුවන පරිසර විනාශය පිළිබඳ අවස්ථා කිහිපයකදී ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු හෙළි කළා.

***************************************

(21.11.2020 – 14:36 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුවට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරන බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂි ලබාදෙමින්.

විල්පත්තු නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ද නියෝජනය කරන අතර, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඔවුන් ඉදිරියේ මේ බව ප්‍රකාශ කිරීම විශේෂත්වයක් ෴

***************************************

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(21.11.2020 – 15:52 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් ලබාගත යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව කොළඹ ප්‍රධාන කාර්යාලයේ 011 269 6917 හෝ 011 269 4523 යන දුරකථන අංක සහ මහනුවර ශාඛා කාර්යාලයේ 081 222 3729 යන දුරකථන අංකය ඇමතීමෙන් දිනයක් සහ වේලාවක් ලබාගත යුතු බව සඳහන් වේ.

එමෙන්ම info@archives.gov.lk හෝ research@archives.gov.lk සහ kandv@archives.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයන් හරහා දිනයක් සහ වේලාවක් ලබා ගැනීමේ හැකියාව පවතී.

මීට අමතරව පොත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ අංශයට ප්‍රකාශන භාරදීම සඳහා ද කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට අවශ්‍ය වන බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴

***************************************

මාතර දී සිදුවු මාරක අනතුරක්

(21.11.2020 – 09:43 +0530 – sinhala.adaderana.lk)

මාතර-තංගල්ල ප්‍රධාන මාර්ගයේ එළියකන්ද ප්‍රදේශයේ දී අද (21) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තක්කාලි ප්‍රවාහනය කරනු ලබන ලොරිරථයක් සහ බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති අතර, ලොරි රථයේ රියදුරු එම ස්ථානයේ දීම මියගොස් ඇත.

අනතුරු සිදුවීමෙන් අනතුරුව විනාඩි 20 ක පමණ කාලයක් පුරා දැරූ දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ලොරි රථයේ සිරවී සිටි රියදුරු ඉවතට ගෙන ඇතැයි ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

රියදුරු මාතර මහ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 69 ක් වු මාතර, බණ්ඩත්තර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනතුරින් බස්රථයේ ගමන් කළ පුද්ගලයින් පස්දෙනෙකු (5) ද තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු පැවසීය.

මාතර පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

***************************************

මෙන්න තවත් අපේ දෙයක්…. රිජිඩ් ටයර් ලබන වසරේ ජනවාරියේ සිට දෙස් විදෙස් වෙළඳපොළට

(21.11.2020 – 12:30 +0530 – lankaleadnews.com)

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ ස්ථාපිත අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන ‘රිජිඩ් ටයර් කෝපරේෂන්’ කර්මාන්තශාලා පරිශ්‍රය අද (20) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

පළමු අදියර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වියදමින් ඉදිකර ඇති මෙම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවේ පළමු නිෂ්පාදන අදියර ලෙස මෝටර් සයිකල් ස්කූටර් සහ ත්‍රී රෝද රථ ටයර්, ට්‍රක් හා බස් රථ ටයර් සහ Industrial Tyres නිෂ්පාදනය කිරීමට නියමිතය. SUV වර්ගයේ වාහන ටයර් සදහා දේශීයව සහ විදේශීය ඉල්ලීම සැළකිල්ලට ගනිමින් වැඩි වශයෙන් ඒ වෙනුවෙන් අවධානය යොමුකිරීමට නියමිතවේ.

යුරෝපිය තාක්ෂණික සහ තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබයි. අක්කර 155 ක් පුරා විහිදුනු කර්මාන්තශාලා පරිශ්‍රය අවට හරිත පරිසරයද රැක ගනිමින් නිර්මාණය කොට තිබේ.

දෙවන අදියර සදහා ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 150 කි. ලබන වසරේ ආයෝජකයන් සමග ඒකාබද්ධ ගිවිසුමක් හරහා මිලියන 1.5 ක නිෂ්පාදන ධාරිතාවයකින් යුතු ටයර් නිෂ්පාදනය ඇරඹීමට සුදානමින් සිටියි. මෙම නිෂ්පාදනයන්ගෙන් 80% ක ප්‍රමාණයක් අපනයනය සදහා වේ. Industrial Tyres නිෂ්පාදනය කිරීම සදහා මෙට්‍රික්ටොන් 15,000 කින් යුත් වෙනම නිෂ්පාදන අංගනයක්ද රිජිඩ් ටයර් සමාගම සතු වෙයි.

මෙම කර්මාන්තශාලාව අවට තරුණ තරුණියන් නිර්මාණය වන රැකියා අවස්ථා මෙන්ම අදාළ ක්ෂේත්‍රයේ යුරෝපීය තාක්ෂණික දැනුම මෙන පුහුණුවද තමන්ගේ රට තුලදීම ලබා ගැනීමට අවස්තාව මේ හරහා නිර්මාණය වී තිබේ. එමෙන්ම කර්මාන්තශාලාව අවට සිටින තත්වයෙන් උසස් රබර් කිරි නිෂ්පාදකයන් සදහා හොද මිලක් නිර්මාණය වීමත් එමගින් රබර් වැවිලි කරුවන් තවත් දිරිමත් කරමින් ඔවුන්ගේ ජීවනෝපාය නගා සිටුවීමට හැකියාව ලැබීමත් මෙම කර්මාන්තශාලාවේ වැදගත්කම් වේ. අදියර දෙකෙහිම නිෂ්පාදන ලබන වසරේ සිට විදෙස් වෙළදපොලට අපනයනය කිරීම මගින් රටේ අපනයන ආදායමද ඉහල යෑම සිදුවෙනු ඇත.

යුරෝපිය තාක්ෂණික සහ තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබයි. අක්කර 155 ක් පුරා විහිදුනු කර්මාන්තශාලා පරිශ්‍රය අවට හරිත පරිසරයද රැක ගනිමින් නිර්මාණය කොට තිබේ.

***************************************

පාරිභෝගිකයාගේ වාහනය Keells Super ඇතුළට රිවර්ස් කරලා CCTV

(21.11.2020 – gossiplankanews.com)

පසුගිය 15 වන දින සවස වර්ෂාව පැවතුණ අවස්ථාවක කීල්ස් සුපර් සුපිරි වෙළෙඳ සැලක ඇතුළට වාහනයක් කඩාවැදීම නිසා සිදුවූ අනතුරක වීඩියෝවක් මේ සමග දැක්වේ.

වැඩිහිටි යුවළක් පැමිණි වාහනයේ භාණ්ඩ ලබාගැනීම කාන්තාව විසින් සිදු කරගත් පසුව වර්ෂාව නිසා වාහනය සුපිරි වෙළෙඳ සැලේ දොර අසළටම ‘රිවර්ස්’ කරවාගෙන බඩු පැටවීම සිදු කරන අතර ඇය බඩු පටවමින් සිටින අතරවාරයේ කිසියම් හේතුවක් නිසා රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා වාහනය නැවත ‘රිවර්ස්’ කරන්නට පටන් ගනී. එසේ ‘රිවර්ස්’ කිරීම නිසා බඩු පටවමින් සිටි කාන්තාවද තල්ලු කරගෙන වාහනය පිටුපසට ඇදෙන අතර සුපිරි වෙළෙඳසැලේ වීදුරු දොර මුළුමණින්ම කඩාගෙන වාහනය වෙළෙඳ සැල ඇතුළට යයි. ඒ අවස්ථාවේ වෙළෙඳ සැලට ඇතුළුවන්නට පැමිණි කාන්තාවන් දෙන්නෙකුද වාහනයට යටනොවී බේරෙන්නේ අනූනමයෙනි.

වාහනය පසුපසට යැවූ රියදුරු අනතුරුව වෙළෙඳ සැලට කුඩයක්ද ඔසවාගෙන පැමිණෙන අයුරු සීසීටීවී සටහනේ දැක්වේ :

[ https://streamable.com/e/42sbx3 ]

***************************************

(21.11.2020 – 17:48 +0530 – hirunews.lk/sinhala)

2021 අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ පැවැත් වුණා.

එයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52 ක්.

ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත වුණා.

ඒ අනුව, මෙවර අයවැයේ තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ලබන සඳුදා (23) සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර, ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ට සිදුකෙරෙනවා.

අද (21) පැවති ඡන්ද විමසීමේදී ද, 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ අයවැය දෙවනවර කියවීමට පක්ෂව ඡන්දය භාවිත කළා.

2021 සඳහා වන අයවැය, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

=======================================

*********************************************

අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිත කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම්

(21.11.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී, අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය කුඩා පුතුද රැගෙන පළාගිය කාන්තාව සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබෙනවා.

25 හැවිරිදි මෙම කාන්තාව පෙරේදා රාත්‍රි 9 ට පමණ අවුරුදු දෙකහමාරක් (2½) වයසැති සිය දරුවාද රැගෙන අයි.ඩී.එච්. රෝහලෙන් පළාගොස් තිබුණා.

අනතුරුව එම දරුවා පමණක් ඇහැලියගොඩ ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පොලීසිය ඊයේ (20) සොයා ගත්තේ එම කාන්තාවගේ ඇහැලියගොඩ – යාය පාරේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදීයි.

පළාගිය කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටියදී ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ තැනැත්තියක්.

ඇහැලියගොඩ සහ කිරිඇල්ල ප්‍රදේශවල ඇය ඊයේ (20) සැරිසරා ඇති බවට තොරතුරු ලැබී තිබූ අතර, ඇය පිඳුරංගල ප්‍රදේශයේදී දුටු බව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඇය සොයා තවදුරටත් සෝදිසි කිරීම් සිදුවනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,280 ක් වන අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 15,765 ක්.

ඊයේ (20) දේශීය වශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 435 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 ක් වාර්තා වූ බවයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකුද ඊයේ (20) වාර්තා වී තිබෙනවා.

එසේම, විදේශීය රටවල සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකුට (1) සහ විදේශිකයින් තුන් දෙනෙකුට (3) ද කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි එම ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ඊයේ (20) දිනයේ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 439 ක්.

අද (21) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ දහසක් (1000) පමණ කොළඹ නගරයේ සිදුකිරීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදිනි වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය ප්‍රකාශ කළා.

ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට ජංගම රසායනාගාර අවශ්‍ය බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 617 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අලුතින් වාර්තා වූ ආසාදිතයින් 63 දෙනෙකු සමඟයි.

නිලධාරීන් දෙදෙනෙකුට (2) සහ රැඳවියන් 61 දෙනෙකුට එලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එසේම, මේ දක්වා පොලිස් නිලධාරීන් 829 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන් අතරින් පොලිස් නිලධාරීන් 200 කට ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර, යාත්‍රා හිමියන් සහ මාළු වෙළන්ඳන් පිරිසක් අද (21) අලුයම බේරුවල ධීවර වරාය ඉදිරිපිටට පැමිණ එය විවෘත කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

එහිදී ඔවුන් කියා සිටියේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව එය විවෘත කිරීමට පියවර ගත යුතු බවයි.

කෙසේ වෙතත්, ඔවුන්ගේ එම ඉල්ලීමෙන් අනතුරුව තොග සහ සහ සිල්ලර වෙළඳාමට බේරුවල ධීවර වරාය හෙට (22) විවෘත කිරීමට නියමිත බව බේරුවල ධීවර වරාය සංවර්ධන කමිටුවේ සභාපති සජිත් දේවප්‍රිය මහතා ප්‍රකාශ කළා.

පාරිභෝගික සීමිත පිරිසක් වරාය පරිශ්‍රයට ඇතුළත් කර ගනිමින් හෙට (22) සිට වරාය විවෘත කිරීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

එසේම, ආර්ථික මධ්‍යස්ථාන සහ ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට සහ අලෙවි කරන පුද්ගලයින් සෞඛ්‍යාරක්ෂිත පුරුදු සෑම අවස්ථාවක අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (20) වාර්තාගත ලෙසින් 201,083 ක් ලෙස සටහන් වුණා.

කොරෝනා වසංගතය ආරම්භ වූ දා පටන් ලොව ඕනෑම රටකින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව එයයි.

පසුගිය සති දෙකක (2) කාලය තුළ ඇමරිකාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවේ සාමාන්‍යය 130,000 ක් පමණ වනවා.

එමෙන්ම, ඇමෙරිකාවේ ඊයේ (20) දිනයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද 1951 ක් ලෙස ඉහළ අගයක් ගත්තා.

එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 12,275,000 කට ආසන්න වී ඇති අතර, මරණ සංඛ්‍යාව 260,000 කට අධිකයි.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට අවම වශයෙන් මාස 06 ක් යනතුරු වෛරසය යළි ආසාදනය වීමේ හැකියාව ඉතා විරල බව බ්‍රිතාන්‍යයේ සිදුකළ අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් සිදුකළ මෙම අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ කොරෝනා මර්දන ක්‍රියාවලියේ මුල් පෙල සිටින සෞඛ්‍ය සේවකයින් පිරිසක්.

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ඇතැම් පුද්ගලයින් තුළ ප්‍රතිශක්තිය කෙටි කාලයක් තුළ දුර්වලවීමේ සිද්ධීන් කිහිපයක් පසුගිය කාලය තුළ වාර්තා වුණා.

එමෙන්ම, ඉහළ සක්‍රියතාවක් සහිත ඇමෙරිකානු ෆයිසර් ආයතනයේ කොවිඩ් 19 එන්නත හදිසි භාවිතය සඳහා එරට ඖෂධ නියාමන අධිකාරිය වන මධ්‍යම ඖෂධ පරිපාලනය වෙත යොමුකර තිබෙනවා.

එය කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ නව ඉදිරි පියවරක් ලෙසයි සැලකෙන්නේ.

ෆයිසර් කොවිඩ් එන්නත මෙලෙස හදිසි භාවිත අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු ෆයිසර් සමාගම සහ ජර්මානු බයෝ එන්ටෙක් සමාගම එන්නතෙහි කාර්යක්ෂමතාව සියයට 95 ක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි.

කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දරුවා ද සමඟ පසුගියදා පලාගිය කාන්තාව සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරනවා.

අදාළ කාන්තාවගේ ඡායාරූපයක් ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 119 හෝ 011 243 3333 හදිසි ඇමතුම් අංශයට මෙන්ම, පොලිස් මුලස්ථානයේ 011 242 1111 යන දුරකථන අංකවලට දැනුම්දිය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ ෴

+++++++++++++++++++

+++++++++++++++++++

(21.11.2020 – 15:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 13,590 දක්වා ඉහළ ගියා.

ඒ අද (21) දිනයේදී සුවය ලැබූ 319 දෙනෙකු රෝහල් වලින් පිටව යාමත් සමගයි.

මෙරට කොරෝනා ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව 19280 ක් ෴

++++++++++++++++++++

(21.11.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala)

සේවකයෙකු කොරෝනා වෛරසය ආසාදනයට ලක්වීමත් සමඟ ශ්‍රී ලංකා මහබැංකුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මඟ පෙන්වීමේ අරමුණින් හදිසි ක්‍රියාකාරි කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධියත් සමඟ මහබැංකු ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සියලුදෙනාම ඊයේ (20) සිට සති දෙකක (2) කාලයක් නිවසේ සිට සිය සේවා සපයනු ඇති බවයි.

සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා අතර, මහබැංකුවේ අත්‍යාවශ්‍ය සේවා සියල්ල බාධාවකින් තොරව අඛන්ඩව පවත්වාගෙන යන බවයි එමගින් මූල්‍ය වෙළඳපොල සහ මහජනතාව වෙත දන්වා සිටින්නේ.

කොරෝනා ආසාදිත අදාළ සේවකයා මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවනවා ෴

+++++++++++++++++++

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති පමණක් අරඹන්නැයි ගුරු සංගම් ඉල්ලයි

(21.11.2020 – 13:55 +0530 – sinhala.adaderana.lk)

විධිමත් වැඩපිළිවෙලක් සකස්කරනතුරු එළැඹෙන සඳුදා සිට 11, 12 සහ 13 ශ්‍රේණි පමණක් ආරම්භ කරන ලෙස ගුරු වෘත්තිය සංගම් රජයෙන් ඉල්ලා සිටී.

‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ, කොවිඩ් ව්‍යාප්තිය සිදු වූ පසුගිය වර පාසල් ආරම්භයේදී ක්‍රියාත්මක වූ විධිමත් වැඩපිළිවෙළ මෙවර ක්‍රියාත්මක නොවන බවය.

ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝෂප් ස්ටාර්ලින් මහතා, පාසල් නැවත ආරම්භ වීමට නම් මේ මොහොතේ විෂබීජහරණ ක්‍රියාවලියක් සිදුවිය යුතු බව ද මෙහිදී අවධාරණය කළේය.

“කිසිම සැලැස්මක් නැතුව තමයි මේක යෝජනා කරලා තියෙන්නේ.” යනුවෙන් ද ඒ මහතා මෙහිදී පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කර සිටියේ, “එකපාරට ගහෙන් ගෙඩි එන්නා වගේ ළමයි එවන්න ඉස්කෝල අරින්න කිව්වට දෙමව්පියෝ එවන්නේ නෑ. එවන්න දෙමව්පියෝ දැනුවත් කරලා, පාසල් කමිටු පත්කරලා විදුහල්පතිවරු ඒ අභියෝගයට මුහුණ දිය යුතුයි.” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ලංකා ගුරු සේවා සංගමයේ, ප්‍රධාන ලේකම්, මහින්ද ජයසිංහ මහතා සඳහන් කර සිටියේ, “පළමු කොවිඩ් රැල්ලෙන් පසුව පාසල් විවෘත කිරීමේ දී, යම් වැඩපිළිවෙලක් එක්ක තමයි මේක කැඳෙව්වේ. ඒ වගේම තමයි යම් කාලයක් තිබුණා මේක සැලසුම් කර ගන්න. හැබැයි දැන් තියෙන්නේ … ගිය බ්‍රහස්පතින්දා හවස කියනවා ‘ලබන සඳුදා පාසල් පටන් ගන්නවා’ කියලා. දවස් 3 යි තියෙන්නේ. ඒ වගේම පාසල් කමිටු හදන්න කියනවා. දින තුනක් ඇතුළත PHI මහත්වරුන්ට MOH ඩොක්ටර් ට ඔහුට අදාළ බලප්‍රදේශයේ සියලු පාසල්වල කමිටු හදන්න පුළුවන් ද? හදන්න බෑ.” යනුවෙනි.

මෙහිදී ජෝෂප් ස්ටාර්ලින් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, දරුවන් පාසලට එවීමේ දී කොවිඩ් ආසාදනයක් නොවන බවටත් පාසල ආරක්ෂිත බවටත් රජය විසින් දෙමාපියන්ට සහතිකයක් ලබාදිය යුතු බවය.

+++++++++++++++++++

පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි

(21.11.2020 – 11:34 +0530 – sinhala.adaderana.lk)

අවදානම් කලාප හැර සියලුම දිස්ත්‍රික්කවල පාසල් ළමුන් ප්‍රවාහන කටයුතු සඳුදා (23) සිට ආරම්භ කිරීමට නියමිත බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසයි.

නමුත් එම කර්තවය විශාල අවදානමක් සහිත බව ද පැවසු එම සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා, රජය නිර්දේශ කර ඇති බැවින් ප්‍රවාහන කටයුතු ඇරඹීමට සුදානම් බව ද කියා සිටියේය.

මේ පිළිබඳ වැඩිදුටත් අදහස් දැක්වු ඒ මහතා :

“අවදානම් කලාප හැර සියලූම දිස්ත්‍රික්කවල අපේ සාමාජික මහත්වරු, අපේ වෘත්තිකයන්ට දැනුම් දීලා තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ සේවාව ලබා දෙන ලෙසට. අදාළ ප්‍රදේශවල රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිබඳව නිර්දේශ ලබා දෙන්න. ඒ මාර්ගෝපදේශ ලැබුණු පසු අපි ඒ සේවාව ලබාදෙන්න උත්සහ කරනවා. රජය ප්‍රකාශ කරලා තියෙන ක්‍රමවේදය අනුව දරුවන් සියයට 50 ක් ගෙන යෑමට නිර්දේශ කරලා තියෙනවා. එතැනදී අපි දැඩිව අපහසුතාවයට පත්වෙනවා ප්‍රවාහන වියදම් සම්බන්ධයෙන්. අපිට සිද්ධ වෙනවා අඩක් ගෙනිච්චත් සියලුම දරුවන්ගෙන් මාසික ගාස්තු අය කර ගැනීමට.”

***************************************

Accidents In Sri Lanka – Compilation – 1 and 2 (27.11.2019)

https://www.youtube.com/watch?v=YLuu2ZvoebI
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *