බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීථිය, ජාඇළ සහ කඩවත හුදකලා කිරීම් හෙටින් (23) අවසන්

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීථිය, ජාඇළ සහ කඩවත හුදකලා කිරීම් හෙටින් (23) අවසන්

*********************************************

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීථිය, ජාඇළ සහ කඩවත හුදකලා කිරීම් හෙටින් (23) අවසන්

(22.11.2020 – 07:28 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීථිය, ජාඇළ සහ කඩවත පොලිස් බල ප්‍රදේශවල හුදකලා කිරීම් හෙට (23) අලුයම පහට (05:00) අවසන් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වරාය ප්‍රදේශය, ආදුරුප්පු වීථිය, වේල්ල වීථිය, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශවල හුදකලාකිරීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම බොරැල්ල, පොලිස් බල ප්‍රදේශයේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීථිය පොලිස් බල ප්‍රදේශයේ වෑකන්ද ග්‍රාමනිලධාරී වසමද තවදුරටත් හුදකලා කර ඇති බවයි යුදහමුදාපතිවරයා කියා සිටියේ.

ඊට අමතරව මීගමුව, වත්තල, පෑලියගොඩ, කැළණිය සහ රාගමද තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා.

එමෙන්ම බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයේ බෝගහවත්ත, බමුණුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටළුගම බටහිර, බමුණුමුල්ල – මුස්ලිම් සහ ගලගහමණ්ඩිය යන ග්‍රාමනිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ ෴

+++++++++++++++++++

(22.11.2020 – 07:00 +0530 – hirunews.lk/sinhala)

පාසල් ආරම්භ කිරීමේදී සිදුවන්නේ, 23 වනදා එක්වරම පාසල් විවෘත වීමක් නොව කලක් තිස්සේ මනා අවබෝදයකින් යුක්තව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව සෞඛ්‍ය අංශ නිර්ණායක මත සිදුවන්නක් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු TV පත්තරේ විස්තරේ’ වෙත එක්වෙමින්.

ඒ අනුව බොහෝ කාලයක් තිස්සේ ඒ සඳහා කටයුතු සූදානම් කෙරුණු බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පාසල් සඳහා සිසුන් එවීම සඳහා දෙමව්පියන් විසින් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

ඒ අනුව බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර 6 ශ්‍රේණියේ සිට 13 දක්වා සිසුන් සඳහා හෙට (23) සිට පාසල් ආරම්භ වනු ඇති ෴

++++++++++++++++

(22.11.2020 – 08:31 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 19 වනදා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දරුවා සමඟ පලාගිය කාන්තාව දින 3 කට පසු ඇහැලියගොඩ ප්‍රදේශයේ ලඳු කැලෑවක සැඟව සිටියදී ඊයේ (21) රාත්‍රියේ සොයාගනු ලැබුවා.

පොලීසිය සඳහන් කළේ ඉදුරන්ගල ප්‍රදේශයේ ලඳු කැලෑවක මෙම කාන්තාව සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.

ඇය මේ වනවිට පොළොන්නරුව – ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

කොරෝනා ආසාදිත මෙම කත, සිය අවුරුදු දෙකක් (2) වයසැති දරුවා සමඟ අයි.ඩී.එච්. රෝහලෙන් පලාගොස් තිබුණේ පසුගිය 19 වනදා රාත්‍රියේයි.

ඊට පසුදින ඇයගේ දරුවා ඥාති නිවසක සිටියදී සොයාගනු ලැබුවා.

25 හැවිරිදි අදාළ කාන්තාව අතුරුදන්ව සිටීම හේතුවෙන් ඇයගේ ඡායාරූපයක්ද පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

+++++++++++++++++++

(22.11.2020 – 09:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 167 දෙනෙකු ඊයේ (21) රාත්‍රියේ සහ අද (22) අලුයම දිවයිනට පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඊයේ (21) රාත්‍රියේ සහ අද (22) උදෑසන ශ්‍රී ලාංකිකයන් 125 දෙනෙකු ඩුබායි හි සිට මෙරටට පැමිණි අතර, අද (22) අලුයම කටාර් හි සිට ශ්‍රී ලංකාවට පැමිණි සංඛ්‍යාව 42 ක් ෴

අද (22) අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රී ලාංකිකයන් 164 දෙනෙකු සහ කටාර් රාජ්‍යයට 47 දෙනෙකු මෙන්ම මාලදිවයිනට 26 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි කටුනායක අප වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++++++++++++

(22.11.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

අරලගංවිල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් අරලගංවිල පොලිස් ස්ථානයේ රාජකාරී සඳහා වෙනත් නිලධාරීන් අනුයුක්ත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ නිලධාරියාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ පොලීසියේ 91 දෙනෙකුගේ ඇතුළු ආශ්‍රිතයන් 136 කගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා ෴

+++++++++++++++++

(22.11.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව වාර්තා වන කොරෝනා රෝගීන්ගෙන් වැඩි පිරිසක් තවදුරටත් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ (21) වාර්තා වූ ආසාදිතයන් 491 දෙනාගෙන් 292 කුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 87 දෙනෙකු, කුරුණෑගලින් 17 දෙනෙකු, කළුතරින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 5 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර මේ වනවිට දැක්වෙන්නේ 16,252 ක් ලෙසයි.

ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඊයේ (21) දිනයේත් පී.සී.ආර්. පරීක්ෂණ 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදුකළ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා.

මේ දක්වා මෙරටින් කොරෝනා රෝගීන් 19,771 ක් වාර්තා වන අතර ඉන් 13,590 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

මේ දක්වා මරණ 83 ක් සිදුව ඇති අතර, ඊයේ (21) දිනයේ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් කරමින් මරණ 9 ක් වාර්තා වුණා.

කෙසේ වෙතත්, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ එම මරණ 9 න් 4 ක් පමණක් ඊයේ (21) දිනය තුළ සිදුව ඇති බවයි.

කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් ද ආසාදිතයන් 14 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව කුරුණෑගල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රියන්ත මුතුනායක ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මීට පෙර කුරුණෑගල තැපැල් අධිකාරී කාර්යාලයෙන් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම නව ආසාදිතයන් හඳුනා ගත් බවයි.

මේ අතර, අයි.ඩී.එච්. රෝහලෙන් මීට දින 3 කට පෙර පළා ගිය කාන්තාව ඇහැලියගොඩ – ඉඳුරංගල ළඳු කැලෑවක සැඟවී සිටියදී ඊයේ (21) රාත්‍රියේ පොලීසිය භාරයට ගත් අතර පොලීසිය ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව එම කාන්තාව ගමන් කළ බවට ප්‍රකාශ කළ ගමන් මාර්ගය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර පාකිස්තානයට යන සංක්‍රමණිකයන්ට නිරෝධායන ක්‍රියාවලියෙන් තොරව එරටට ඇතුළුවීමට අවසර ලබාදෙන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 21 ක් සඳහා එම අවසරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

+++++++++++++++++++

(22.11.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත සහ හුදකලා කෙරුණු පොලිස් බල ප්‍රදේශවල පිහිටා ඇති පාසල් හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල තුන්වන (3) වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් හෙට (23) ආරම්භ කිරීමට නියමිත තුන්වන (3) පාසල් වාරය සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි ගුරු වෘත්තිය සංගම් චෝදනා කරන්නේ.

නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ හය ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා තුන්වන (3) පාසල් වාරය ආරම්භ කරන බවයි පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ එම කටයුතු සිදුකළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ 11 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණක් පාසල් ආරම්භ කරන ලෙසට තමන් යෝජනා කරන බවයි.

++++++++++++++++++++

(22.11.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රැකියා අහිමි වී දෝහා – කටාර් හි අතරමං වී සිටි කුඩා දියණියන් දෙදෙනෙකු (2) ඇතුළු ශ්‍රී ලාංකික පවුලක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති මීට පෙර සිදුකළ අනාවරණයක් අනුව එම පිරිස අද (22) දිවයිනට පැමිණ තිබෙනවා.

මාස 7 ක කාලයක් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවූ ඔවුන් ආහාර හා ඖෂධ පවා ලබා ගැනීමට නොහැකි දුෂ්කර තත්ත්වයකයි පසුවුණේ.

මැදපෙරදිග සේවයේ නිරතව එරට රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 167 දෙනෙකු අද (22) අලුයම දිවයිනට පැමිණියා.

==========================================

පොහොර වංචා සම්බන්ධයෙන් තවත් පිරිසකට වැඩ වරදින ලකුණු

(22.11.2020 – 08:53 +0530 – hirunews.lk/sinhala)

ලංකා පොහොර සමාගමේ සිදුවූ රුපියල් මිලියන 90 ක මූල්‍ය අක්‍රමිකතාවයට අදාළව තවත් නිලධාරින් 7 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීම හෙට (23) වනවිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අදාළව 2017-2019 කාලය තුළ ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොෂාන් නන්දසේන පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා ෴

***************************************

(22.11.2020 – 08:54 +0530 – hirunews.lk/sinhala)

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (23) ආරම්භ කෙරෙනවා.

එය, දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ටයි.

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) සම්මත වුණා.

යෝජනාවට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 52 ක් පමණයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ පක්ෂව ඡන්දය ලබාදීමද විශේෂත්වයක්.

මේ අතර 2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සිදුවන අවස්ථාවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සභාවට රැගෙන නොඒම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය පළ කළා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් විමසා සිටි අතර, එහිදී කතානායකවරයා කියා සිටියේ අසනීප තත්ත්වයක් හේතුවෙන් සභාවට පැමිණිය නොහැකි බවට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා දැනුම්දුන් බවයි.

***************************************

(22.11.2020 – 08:57 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු සභාව ලබන සඳුදා (23) පස්වරු 4 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

පොලිස්පති තනතුරු සඳහා සිදුකර ඇති පත් කිරීම් පරීක්ෂාවට ලක් කිරීම හා අභියාචනාධිකරණයේ ඇති වී තිබෙන පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්දේශ කර ඇති නම් සඳහා අනුමැතිය ලබාදීම එහිදී සිදුවනු ඇති.

වසරකුත් මාස 7 ක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී.වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවට නිර්දේශ කර තිබුණා.

1986 සිට වසර 33 ක කාලයක් පොලීසියේ සේවය කළ සී.ඩී. වික්‍රමරත්න මහතා වසර 9 ක කාලයක් ජාතික බුද්ධි අංශයේ සේවය කර තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් 26 වනදා සිට ඔහු මේ දක්වා වැඩබලන පොලිස්පති ලෙසයි කටයුතු කරන්නේ.

මේ අතර, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මුදල් කාරක සභාවෙන් ඉවත් වී තිබෙනවා ෴

***************************************

(22.11.2020 – 08:58 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී හෙලි වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7 කට වැඩි මුදලක් වැය කර ඇති බවයි.

එමෙන්ම, 2015 සිට 2019 දක්වා කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ප්‍රමාද වීම නිසා රුපියල් බිලියන 8 ක මූල්‍ය අලාභයක් සිදුව ඇති බව ද අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, 2012 වර්ෂයට පෙර මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සඳහා රුපියල් මිලියන 284 ක මුදලක් වැය වී ඇති බව ද කෝප් කමිටුවේදී ඊයේ (21) අනාවරණ වුණා.

මෙම ඇතැම් ශක්‍යතා වාර්තා වර්තමාන අධිවේගී මාර්ග සඳහා කිසිදු ප්‍රයෝජනයක් නොවීම පිළිබඳව ද කෝප් කමිටුවේ සභාපතිවරයා කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, 2015 දී කිසිදු විද්වත් මත විමසීමකින් තොරව එඬේරමුල්ලේ සිට මීරිගම දක්වා ඉදිකිරීමට තිබූ මාර්ගය කඩවත සිට ඉදිකිරීමට තීරණය කර ඇති අතර, එම ශක්‍යතා අධ්‍යයනයට විශාල මුදලක් වැය කොට ඇති බව ද අනාවරණ වුණා.

එවකට කැබිනට් මණ්ඩලය විසින් ද විද්වතුන්ගේ විමසීමකින් තොරව මෙම තීරණය ගෙන ඇති බවටයි කෝප් කමිටුවේදී හෙළි වුණේ ෴

***************************************

(22.11.2020 – 10:53 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ – මීගමුව පාර – නවලෝක වටරවුම අසළදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සමඟ ඊයේ (21) අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව හෙරොයින් ජාවාරමේ නිරත තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 50 යි මිලිග්‍රෑම් 70 ක් සහ අනෙක් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 80 ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

පළමුව අත්අඩංගුවට ගත් කාන්තාව මට්ටක්කුලිය – සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, සෙසු දෙදෙනා (2) කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

***************************************

(22.11.2020 – 11:47 +0530 – hirunews.lk/sinhala)

එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු (2) පැවිදි දිවියට ඇතුළුවීමේ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මෙලෙස පැවිදි දිවියට ඇතුලත්ව ඇත්තේ දඹුල්ල පහලවැවප්‍රදේශයේ පදිංචි සොහොයුරන් දෙදෙනෙකු (2) බවටයි සඳහන් වන්නේ.

මෙම පිංකම ඊයේ (21) දඹුල්ල බුලාගල රන්දෙනිය රජමහා විහාරස්ථානයේදීයි සිදුකර ඇත්තේ.

පැවිදි පිංකම සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය, දානියගම ආනන්ද විහාරධිපති හල්මිල්ලවැව පේමරතන විහාරාධිකාරී පූජ්‍ය ඇල්ලවැවේ සංඝරතන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් පත්වා ඇති බවයි වාර්තාවන්නේ.

මෙම කුඩා දරුවන් දෙදෙනා (2) පැවිදි දිවියට ඇතුලත්ව ඇත්තේ පූජ්‍ය පහලවැව විමුක්තිරතන සාමණේර හිමියන් සහ පූජ්‍ය පහළ වැව පියරතන සාමණේර හිමියන් ලෙසයි.

%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *