කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හුදෙකලාව හෙටින් අවසන් – බ්ලූමැන්ඩල් සහ මෝදර ප්‍රදේශවාසීන් අදත් විරෝධතාවයේ

කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හුදෙකලාව හෙටින් අවසන් – බ්ලූමැන්ඩල් සහ මෝදර ප්‍රදේශවාසීන් අදත් විරෝධතාවයේ

අමාත්‍යංශ විෂය පථයන් සංශෝධනයවේ

සුළි කුණාටු තත්වයක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

අනාථ කඳවුරක සිටි බදියුදීන් මෙතරම් ‍පොහොසත් වුණේ කෙසේ ද? පාස්කු කොමිසම කරුණු විමසයි

*********************************************

කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හුදෙකලාව හෙටින් අවසන් – බ්ලූමැන්ඩල් සහ මෝදර ප්‍රදේශවාසීන් අදත් විරෝධතාවයේ

(22.11.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීථිය, ජාඇළ සහ කඩවත යන පොලිස් බල ප්‍රදේශවල හුදකලා කිරීම් හෙට (23) අලුයම පහට (05:00) අවසන් කෙරෙනවා.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑනඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීථිය, වේල්ල වීථිය, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, මෝදර සහ මට්ටක්කුලිය යන පොලිස් බල ප්‍රදේශ හුදකලාකිරීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම බොරැල්ල, පොලිස් බල ප්‍රදේශයේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීථිය පොලිස් බල ප්‍රදේශයේ වෑකන්ද ග්‍රාමනිලධාරී වසමද නැවත දැනුම්දෙන තුරු හුදකලා කර තිබෙනවා.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, වත්තල, පෑලියගොඩ, කැළණිය සහ රාගම යන පොලිස් බල ප්‍රදේශ ද නැවත දැනුම් දෙන තුරු හුදකලා තත්ත්වයේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමඟ බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයේ බෝගහවත්ත, බමුණුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටළුගම බටහිර, බමුණුමුල්ල – මුස්ලිම් සහ ගලගහමණ්ඩිය යන ග්‍රාමනිලධාරී වසම් ද අද (22) උදෑසන සිට හුදෙකලා කිරීමට කටයුතු කෙරුණා.

මේ අතර, සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද යටතේ හෙට (23) සිට උදෑසන සහ පස්වරුවේ විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශයන්හි පිහිටි දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍යාරක්ෂිතව සිය දෛනික කටයුතු ඉටු කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ඉල්ලා හුදෙකලා කර ඇති මෝදර සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශවල ජනතාව අද (22) දිනයේදීත් විරෝධතාවල නිරත වුණා.

ඔවුන් එහිදී සඳහන් කළේ රජයෙන් ලබාදෙන රුපියල් 5000 සේ දීමනාව හෝ වෙනත් සහන, දෛනික ජීවිතය ගෙන යාම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

හුදෙකලා කර ඇති කොළඹ – මෝදර ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ඊයේ (21) දිනයේදී ද මෝදර – අලුත්මාවත – ඉබ්බාවත්ත මංසන්ධියේ විරෝධතාවක නිරත වුණා.

+++++++++++++++++++++

(22.11.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 20,000 සේ සීමාවට ආසන්න වී තිබෙනවා.

කොරෝනා ආසාදිත 479 දෙනෙකු අද (22) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 14,069 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවදුරටත් 5,619 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර, කොරෝනා වෛරසයේ වැඩි බලපෑමකට ලක්ව ඇති කොළඹ නගරයෙන් මේ දක්වා ආසාදිතයන් 5,317 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 1,556 දෙනෙකුම වාර්තා වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත පොකුරෙන්.

ඊයේ (21) දිනයේ සිදුවූ කොරෝනා මරණ නවයම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙනුයි වාර්තාවී තිබුණේ.

පවතින තත්ත්වය හමුවේ වයස්ගත සහ නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට අවශ්‍ය ඖෂධ සහ සායන පහසුකම් සඳහා කොළඹ නගරය තුළ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කළා.

+++++++++++++++++++

(22.11.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාවද මේ වනවිට 656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊට නිලධාරීන් 43 දෙනෙකුද අයත්.

බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කළේ රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා බන්ධනාගාරවලට අනුයුක්ත කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංඛ්‍යාව හෙට (23) සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ බන්ධනාගාරවල පවත්නා තදබදය අවම කරගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි අතර විශේෂ සාකච්ඡාවක් හෙට (23) පැවැත්වීමට නියමිතයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ හෙරොයින් ග්‍රෑම් දෙකට අඩු සහ ගංජා කිලෝග්‍රෑම් 5 ට අඩු චෝදනා එල්ලවී සිටින රිමාන්ඩ් රැඳවියන් 6,334 දෙනෙකුගේ ඉදිරි නීති කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇති බවයි ෴

++++++++++++++++++++

(22.11.2020 – 19:45 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් ළමයින් ප්‍රවාහනය කරන්නේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා රථවාහන රාජකාරියේ යෙදෙන නිලධාරීන් හෙට (23) සිට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

බස්නාහිර පළාත සහ හුදකලා කෙරුණු පොලිස් බල ප්‍රදේශවල පිහිටා ඇති පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල පිහිටි පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති තුන්වන (3) වාරය සඳහා හෙට (23) ආරම්භ වනවා.

කෙසේ වෙතත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින කොරෝනා වසංගත අවදානම සැලකිල්ලට ගෙන එම ප්‍රදේශයේ පාසල් කිහිපයක් යළි ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමටයි පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව කුරුණෑගල මහ නගර සීමාවේ පිහිටි සියලුම පාසල්, කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය, මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය සහ කුලියාපිටිය නගර සීමාවේ පිහිටි සියලුම පාසල් මෙන්ම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය, කනදුල්ල මහ විද්‍යාලය, දියකලමුල්ල කණිෂ්ඨ විද්‍යාලය යන පාසල් හෙට (22) දිනයේ විවෘත වන්නේ නැහැ.

මීට අමතරව පන්නල නගර සීමාවේ පිහිටි සියලුම පාසල් සහ ඊරියගොල්ල මහ විද්‍යාලය, රම්බොඩගල්ල මධ්‍යමහා විද්‍යාලය, නාරම්මල නගර සීමාවේ පිහිටි සියලුම පාසල් ගජනැග්ගම, පලල්ල, යාපහුව, අඹගස්වැව මහා විද්‍යාල මෙන්ම මහව නගරයේ පිහිටි විජයබා මධ්‍යමහා විද්‍යාලය යන පාසල්ද තවදුරටත් වසා තැබෙනු ඇති.

ඊට අමතරව විවෘත වීමට නියමිත දිවයිනේ අනෙකුත් පාසල් බොහොමයක් විෂබීජහරණ කටයුතු ද සිදුකරන ආකාරයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ බොහෝ පාසල් විෂබීජහරණ කටයුතු තවමත් සිදුකර නොමැති බවටයි.

ලංකා ගුරු සේවා සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ විද්‍යත්මකව ක්‍රමානුකූලව පාසල් යළි ආරම්භ කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

මේ අතර කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා මහතා කියා සිටියේ දිවයිනටම බලපාන ලෙස මේ මොහොතේ ප්‍රතිපත්ති සකස් කිරීමට හැකියාවක් නොමැති බැවින් අදාළ ප්‍රදේශ ආශ්‍රිත තත්වයන් පිලිබඳ විමසා බලා ඊට අවශ්‍ය තීන්දු ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බවටයි.

මේ අතර, පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් වැලිගම, වලාන ප්‍රාදේශීය රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට අද (22) එක්වූ අතර තුර මාධ්‍යවේදීන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගෙන් ද විමසා සිටියා.

කථානායකවරයා කියා සිටියේ දෙමව්පියන්ගේ කැමැත්ත මත සිය දරුවා පාසලට යැවීම සම්බන්ධයෙන් තීරණය කළ යුතු බවයි.

++++++++++++++++++++++

(22.11.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් ආසාදිතයන් 14 දෙනෙකු සහ තැපැල් අධිකාරී කාර්යාලයෙන් ආසාදිතයන් හයදෙනෙකු (6) වාර්තාවීමත් සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සියළුම තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කියා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදාහැරීම් ද තාවකාලිකව අත්හිටවූ බවයි.

මේ අතර ඇල්පිටිය – ඌරගස්මංහන්දිය – යටගල ප්‍රදේශයෙන්ද නව ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සේවකයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

කොටගල ප්‍රදේශයේ වයස අවුරුදු 2 ක කුඩා පිරිමි දරුවෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා.

එම දරුවාගේ පියාටද වෛරසය ආසාදනය වී ඇති බවටයි මීට පෙර හඳුනා ගැනුනේ.

හැටන් – ස්ටැඩන් තේ වත්තේ පදිංචි 44 හැවිරිදි තිදරු පියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහුගේ යාබද පවුල් දෙකක් (2) ස්වයං නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

කොළඹ රැකියාවේ නිරතව සිටි අදාළ පුද්ගලයා පසුගිය 17 වන දින දීපවාලී උත්සවයෙන් පසු නිවසට පැමිණි අවස්ථාවේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදියි ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ.

මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට ජාතික පුවත්පතක පළ වී ඇති පුවත අසත්‍යයක් බවයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිදු නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී නොමැති බව අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.

කොවිඩ්-19 හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කරන්නේද, භූමදාන කරන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් නිගමනයක් කරන තුරු පවතින ක්‍රමයවේදය යට‍තේ කටයුතු කරන ලෙස, ඒ සඳහා පත් කළ විශේෂඥ කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දී තිබෙනවා ෴

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 216 දෙනෙකු අද (22) දිනයේ දී හඳුනාගෙන තිබෙනවා.

මොවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

මෙම ආසාදිතයින් 216 සමඟ මෙරට කොවිඩ් 19 ආසාදියින්ගේ සීමාව 20,000 පසුකර ගියා.

අද දිනයේ මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 391 ක් ෴

+++++++++++++++++++

(22.11.2020 – 23:02 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 04 ක් අද (22) දිනයේ වාර්තා වී තිබෙනවා.

මෙම මරණ 04 ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 87 ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස මිය ගිය සිව්දෙනා (4) කාන්තාවන් දෙදෙනෙක් (2) සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් (2).

ඔවුන් 84, 75, 70 සහ 53 යන වයස්වල පසුවන්නන්.

++++++++++++++++++

(23.11.2020 – 07:12 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීථිය, ජාඇළ සහ කඩවත යන පොලිස් බල ප්‍රදේශවල හුදකලා කිරීම් අද (23) අලුයම පහට (05:00) අවසන් වුණා.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑනඞ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීථිය, වේල්ල වීථිය, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, මෝදර සහ මට්ටක්කුලිය යන පොලිස් බල ප්‍රදේශ හුදකලාකිරීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම බොරැල්ල, පොලිස් බල ප්‍රදේශයේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීථිය පොලිස් බල ප්‍රදේශයේ වෑකන්ද ග්‍රාමනිලධාරී වසමද නැවත දැනුම්දෙන තුරු හුදකලා කර තිබෙනවා.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, වත්තල, පෑලියගොඩ, කැළණිය සහ රාගම යන පොලිස් බල ප්‍රදේශ ද නැවත දැනුම් දෙන තුරු හුදකලා තත්ත්වයේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමඟ බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයේ බෝගහවත්ත, බමුණුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටළුගම බටහිර, බමුණුමුල්ල – මුස්ලිම් සහ ගලගහමණ්ඩිය යන ග්‍රාමනිලධාරී වසම් ද ඊයේ (22) සිට හුදෙකලා කිරීමට කටයුතු කෙරුණා ෴

++++++++++++++++++++

(23.11.2020 – 07:56 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අද (23) විවෘත වනවා.

ඒ අනුව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ අධ්‍යාපන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඔවුන්ගේ සහය අවශ්‍ය බවයි.

එමෙන්ම, අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීම් පිළිබදව ද කඩිනමින් අවදානය යොමු කරන බවයි ඔහු සඳහන් කළේ.

පාසල් 5100 කට ආසන්න සංඛ්‍යාවක් අද (23) දිනයේ විවෘත කිරීමට නියමිත අතර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට අදාළ පාසල්වලට රුපියල් බිලියන 106 කට ආසන්න මුදලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල්වල ඉගැනීම් සහ අධ්‍යයනය කටයුතුවලට සහභාගි වන බස්නාහිර පළාතේ ජීවත් වන සිසුන් හෝ ගුරුවරුන්ට ඒ සඳහා සහභාගි විය නොහැකි බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රාමනී ද සිල්වා මහත්මිය සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ සිසු සැරියට අයත් බස් රථ 500 ක් පමණ අද දිනයේ ධාවන කටයුතු සඳහා එක් කිරීමට කටයුතු කර ඇති බවයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සිසුන් ප්‍රවාහනය කිරීමේදී සිසු සැරිය බස් රථ හිඟයක් මතුවුවහොත් අමතරව බස් රථ යෙදවීමට ද සියළු කටයුතු සූදානම් බවයි එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේ.

එමෙන්ම, සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද යටතේ අද (23) සිට උදෑසන සහ පස්වරුවේ විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශයන්හි පිහිටි දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(23.11.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ තවමත් අවදානම් මට්ටමේ පවතින බැවින් ඒ පිළිබදව අවදානයෙන් කටයුතු කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

එසේම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියා.

ඒ, තවත් ආසාදිතයින් 400 දෙනෙකු ඊයේ (22) අලුතින් හඳුනා ගැනීමත් සමඟයි.

ඉන් 391 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 4 දෙනෙකු, කටාර් සිට පැමිණි 3 දෙනෙකු, රුසියාවේ සහ චීනයේ සිට පැමිණි එක් අයෙකු (1) බැගින් ආසාදිතයින් බවට හඳුනා ගැනුණා.

එමෙන්ම තවත් කොරෝනා මරණ 4 ක් ඊයේ (22) වාර්තා වූ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගියා.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇති අතර, මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයි.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් ද නිවසේදී ම මිය ගොස් සිට ඇති අතර, කොරෝනා ආසාදනය වීමෙන් ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් එම මරණයට ද හේතු වී තිබෙනවා.

මීට අමතරව මිය ගිය අනෙකුත් පුද්ගලයින් දෙදෙනා කොළඹ 10 සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචි අවුරුදු 75 සහ 53 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

ඉන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇති අතර නිධන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීම මරණය හේතුවී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අනෙක් පුද්ගලයා කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අතර, නිව්මෝනියා තත්ත්වයක් උත්සන්න වීමෙන් එම මරණය සිදුව තිබෙනවා.

එමෙන්ම, විදේශ රටවල රැකියා සඳහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවලින් දිවයිනට පැමිණියා.

ඒ අනුව කුවේට් රාජ්‍යයේ සිට 283 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට 18 දෙනෙකු මෙන්ම ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද මෙලෙස දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ ෴

======================================

*********************************************

අමාත්‍යංශ විෂය පථයන් සංශෝධනයවේ

(22.11.2020 – 22:29 +0530 – hirunews.lk/sinhala)

තාක්ෂණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශ දෙකක් (2)ගැසට් පත්‍රයකින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මෙරට කැබිනට් අමාත්‍යාංශ සංඛ්‍යාව 30 දක්වා ඉහළ යනු ඇති.

මීට අමතරව තවත් අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන්ද සංශෝධනය කර තිබෙනවා.

නව ගැසට් නිවේදනයට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ නැගෙනහිර පළාත තුළ පුරා විද්‍යාත්මක උරුමය කළමනාකරණය සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකාය ක්‍රියාත්මකවනවා.

මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන අලුතින් පිහිටුවන ලද තාක්ෂණ අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා.

මීට අමතරව තාක්ෂණ අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවද පවරා තිබෙනවා.

මෙතෙක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නව ගැසට් නිවේදනය මගින් පවරා ඇත්තේ අලුතින් පිහිටුවන ලද මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතටයි.

මීට අමතරව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂය යටතට ගෙන තිබෙනවා.

මීට පෙර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වූයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි.

*********************************************

සුළි කුණාටු තත්වයක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

(23.11.2020 – 06:25 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 06 ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය ඉදිරි පැය 30 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 24 වන දින වනවිට දිවයිනේ ඊසාන දිග වෙරළබඩ ප්‍රදේශයට ලඟාවනු ඇති බවයි එහි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටිය යුතු වනවා.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වන්නේ නම් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තකුව දැනුම් දෙන්නේ.

එසේම පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමේදී වඩා අවදානයෙන් පසු වන ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ අතර ඉදිරි පැය 24 තුළ නැගෙනහිර උතුරු මැද උතුරු පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද අදාළ නිවේදනයේ සඳහන්.

ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 ට වඩා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ දක්වා ඉතා තද ප්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර දක්වා ප්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකියි.

තද සුළං මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

(23.11.2020 – 07:53 +0530 – hirunews.lk/sinhala)

අයවැය තුන්වනවර (3) කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (23) සිට ආරම්භ වනවා.

එය, දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

අයවැය තුන්වන (3) වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ටයි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය පසුගිය සෙනසුරාදා අවසන් වූ අතර එය සම්මත වූයේ වැඩි ඡන්ද 99 කින්.

ඊට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52 ක් පමණයි.

මේ අතර, නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාවේ නිර්දේශය අද (23) ලබාදීමට නියමිතයි.

එමෙන්ම, අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිසුරුවරුන් 12 දෙනා සඳහා නම් නිර්දේශ කිරීම ද අද (23) සිදුවන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාව රැස්වීමට නියමිතව ඇත්තේ පස්වරු 4 ටයි.

වසරකුත් මාස 7 ක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී.වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවට නිර්දේශ කර තිබුණා.

1986 සිට වසර 33 ක කාලයක් පොලීසියේ සේවය කළ සී.ඩී. වික්‍රමරත්න වසර 9 ක කාලයක් ජාතික බුද්ධි අංශයේ සේවය කර තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් 26 වනදා සිට ඔහු මේ දක්වා වැඩබලන පොලිස්පති ලෙසයි කටයුතු කරන්නේ ෴

*********************************************

අනාථ කඳවුරක සිටි බදියුදීන් මෙතරම් ‍පොහොසත් වුණේ කෙසේ ද? පාස්කු කොමිසම කරුණු විමසයි

(22.11.2020 – 13:02 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය යනු බලවත් රටක් මෙරට තුළ අන්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා සිය නියෝජිතයින් හරහා දියත් කළ කුමන්ත්‍රණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (21) දෙවන දිනටත් වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ සිට Skype තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසා සිටියේ, ‘තුර්කියේ තහනම් සංවිධානයක් වන ෆෙටෝ සංවිධානයේ සාමාජිකයින් මෙරට තුළ ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යන බවට වූ තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනයක් අත්හිටුවලා තියෙනවා, එම ෆෙටෝ සාමාජිකයන් සමග මෙරට කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු (2) සම්බන්ධ යැයි අනාවරණය විම නිසා. කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් වී තිබෙන ආකාරයට ඉන් එක් අයෙක් ඔබ. ඔබ කුමන හෝ අවස්ථාවක එම විමර්ශන කෙරෙහි බලපෑම් කළා ද?’ යන්නය.

“ස්වාමිනි එය අසත්‍යක්. තුර්කියේ කිසිදු පුද්ගලයෙකු හෝ සංවිධානයක් එක්ක මගේ සම්බන්ධයක් නැහැ. මම බලපෑම් කළෙත් නැහැ.” යැයි මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේය.

ඉන් අනතුරුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසා සිටියේ, ඔබේ කැනඩාවේ පදිංචි සහෝදරියට අයත් නිවසක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ආරක්ෂිත නිවසක් ලෙස භාවිතා කළ බව ඔබ දැනුවත්ද යන්නය.

“ඒක කුලි පදනමටයි ලබා දී තිබුණේ. බෝම්බකරුවන් රැඳීසිටි බව මම දන්නේ ප්‍රහාරයෙන් පස්සේ ” යැයි බදියුදින් මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔබ ඒ නිවසට ගිහින් තියෙනවාදැයි එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේය.

“නැහැ මම එහි ගිහින් නැහැ” යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

යම් අවස්ථාවක ඔබේ සහෝදර රියාජ් බදියුදීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණාදැයි සභාපති විනිසුරුවරයා යළි විමසීමක් කළේය.

“ඔව්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගත්තා. මාධ්‍ය හරහා විකාශය වුනේ සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ් මගේ සහෝදරයාට දුරකතන ඇමතුම් 07 ක් අරන් තියෙනවා කියලා. මම දින හරියට දන්නේ නැහැ. කොහොම හරි පාස්කු ප්‍රහාරයට පෙර 2019 වර්ෂයේදි තමයි අරන් තියෙන්නේ. මම ඇහුවා ඇයි ඉන්සාෆ් කතා කළේ කියලා මගේ සහෝදරයාගෙන්, ඔහු කිව්වේ රජය විසින් තඹ අපනයනය නැවැත්වීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලන්නයි කතා කළේ කියලා. මම දන්නේ නැහැ අවස්ථා 07 ම කතා කළේ ඒකටද කියලා. එත් ඒ Call 7 ම ඉන්සාෆ් තමයි මගේ මල්ලිට අරන් තිබුණේ ” යැයි බදියුදින් මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

“ඔබ ඔබේ සාක්ෂිය තුළදී කිව්වට ඉන්සාෆ් අහමඩ්ට තඹ ගන්න උපකාර නොකළා කියලා, අනිත් ආයතනවලට වඩා ඊබ්‍රාහිම් පුතාගේ සමාගමට කිලෝ 25,000 ක් වගේ විශාල ප්‍රමාණ‍යෙන් තඹ නිකුත්වෙලා තියෙන පසුබිමක, ඉන්සාෆ්ගේ විවාහයට අත්සන් කළ ඔබ සෘජුව නොවුනත් වක්‍රව ඔවුන්ට සහය දුන් බව යෝජනා කළොත් ඔබේ මතය කුමක්දැයි ?” කොමිසමේ සාමාජික විනිසුරුවරයෙක් ප්‍රශ්න කළේය.

“ඒක මම සම්පුර්ණෙන්ම ප්‍රතික්ෂේප කරනවා. වගකීමෙන් කියන්නේ මම කිසිම ඊබ්‍රාහිම් සහෝදරයෙක්ට උදව් කරලා නැහැ” යැයි බදියුදින් මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේය.

“මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වනේ එල්.ටී.ටී.ඊ සංවිධානය ඔබතුමන්ලාව උතුරෙන් පිටමං කළාට පස්සේ ඔබතුමා අවුරුදු 05 ක් අනාථ කඳවුරක හිටියා කියලා. එහෙම හිටපු ඔබතුමා දේශපාලනයට ඇවිල්ලා මෙච්චර ධනවතෙක් වුණේ කොහොමද ? යැයි කොමිසමේ විනිසුරුවරයෙක් යළි ප්‍රශ්න කළේය.

“අනාථ වුණා කියලා හිඟාකන්න ඕනේ නැහැනේ ස්වාමිනි. මට ව්‍යාපාර කරන්න පුළුවන්නේ” යැයි මන්ත්‍රීවරයා තරමක් උස් හඩින් පිළිතුරු දුන්නේය.

විනිසුරුවරයා යළි විමසුවේ, මන්ත්‍රීතුමා මම අහන්නේ ඔබ ඔය වගේ ධනය රැස්කර ගන්න, ඔබේ සහ පවුලේ අයගේ ව්‍යාපාර දියුණු කරගන්න ඔබේ අමාත්‍යධුරයන්වල වරප්‍රසාද සහ අමාත්‍යාංශය භාවිතා කළා නේද ? යන්නය.

“නැහැ. මම කිසිම විදිහකින් එවැනි වරප්‍රසාද ව්‍යාපාරවල දියුණුවට භාවිත කරලා නැහැ. මම 2001 ඉදලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරද්දි හැම අවුරුද්දකම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා.” යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

එහිදී අභියාචනාධිකරණය විනිසුරුවරයා යළිත් විමසුවේ, “ඔබතුමා වංචා කළා කියලා අප කියන්නේ නැහැ. නමුත් මම අහන්නේ අනාථ කඳවුරක ඉදලා ආපු ඔබතුමා කොහොමද මෙච්චර ධනයක් උපයා ගත්තේ කියලා.” යනුවෙනි.

එහිදි යම් ආවේගයකින් පිළිතුරු දුන් රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයා මෙලෙස පැවසීය.

“වත්කම් ගැනයි , පාස්කු ඉරිදා ප්‍රහාරයයි අතර කිසිම සම්බන්ධයක් නැහැනේ ස්වාමිනි. මගේ චරිතය ඝාතනය කරන්න නම් ඔබතුමා ඔය අහන ඒවා හොදයි. ඒක නිසා මම කියන්නේ පාස්කු ප්‍රහාරය ගැන සොයන්න.” යැයි බදියුදින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

***************************************

යහපාලන කාලෙදිවත් CID පන්සලට ආවේ නෑ මැඩිල්ලේ හිමිගෙන් චෝදනා..

(22.11.2020 – 23:48 +0530 – lankaleadnews.com)

තමන් වහන්සේ විසින් හෙළිකරන ලද කාරණා සම්බන්ධයෙන් නොව තමන් වහන්සේ ගැන පරීක්ෂණ කිරීමට මෙතරම් කඩිනම් වීම විමතියට කරුණක් බවත් තමන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී එළි කරන ලද තොරතුරු හේතුවෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට ගිය බවද උන්වහන්සේ සඳහන් කරති.

තමන් වහන්සේ වැඩ වෙසෙන විහාරස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණි බව ‘සිංහලයේ’ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පවසති.

නීතිඥ සහාය නොමැතිව තමන් ගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කළ බවද උන් වහන්සේ චෝදනා කරති.

ප්‍රබල මැදිහත් වීමක් හේතුවෙන් මෙම කඩිනම් ප්‍රශ්න කිරීම සඳහා යොමු වී ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

කෙසේ නමුත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ප‍්‍රකාශයක් දෙන බවත් උන් වහන්සේ කියා සිටිති ෴

***************************************

මහින්දගෙන්, ජොන්ස්ටන්ට කෝටි ගණන් බදු සහන සහ මත්පැන් නිෂ්පාදන බළපත්‍ර වරදාන

(22.11.2020 – 20:41 +0530 – lankaleadnews.com)

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් ‘වයඹ ඩිස්ටිලරීස්’ ආයතනය විසින් මහාපරිමාණ බදු වංචාවක් සිදු කර ඇතැයි සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ ප්‍රකාශ කර සිටී. උන් වහන්සේ තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මෙවැනි වංචා සහ දූෂණ පිළිබඳව හෙළිදරව් කිරීම තම සංවිධානයේ යුතුකමක් සහ වගකීමක් වන බවයි.

රුපියල් හතලිස් කෝටි ගණනක බදු ගෙවීම පැහැර හැරීම නිසා මෙම සමාගමේ බලපත්‍රය 2015 වසරේ දී අහෝසි කර ඇති අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය යටතේ සහනදායී ක්‍රමයකට අනුව එය ගෙවීමට සලසා බළපත්‍රය නැවත ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව සුරාබදු කොමසාරිස් බෝදරගම මහතා පවසයි.

මේ අතර, 2020 දෙසැම්බර් 17 දින ඔහු විශ්‍රාම යෑමට නියමිත වුවද ඔහුට වසරක සේවා දිගුවක් ලබාදීමට ද කටයුතු සූදානම් වෙමින් පවතින බව මැඬිල්ලේ හිමියන් ප්‍රකාශ කර සිටී.

ජොන්ස්ටන් ඇමතිවරයා මහා මාර්ග ඇමති වුවද, මුදල් ඇමති ලෙස මහින්ද රාජපක්ෂ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සහ සුරා බදු කොමසාරිස් සමඟ පැවැත් වූ සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා ලිඟින් වාඩිවී සිටියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු බව ද උන් වහන්සේ අනාවරණය කරයි.

කැස්බෑව ප්‍රදේශයේ මහින්ද අමරවීරගේ සහෝදරයෙකු විසින් අලුතින් විවෘත කළ තැබෑරුමකට අනුමැතිය දෙන ලෙස, කැස්බෑව ප්‍රාදේශීය ලේකම්ට බළපෑම් කර ඇත්තේ චමල් රාජපක්ෂ විසින් බව ද උන් වහන්සේ අනාවරණය කළේය.

තවද, උන් වහන්සේ වැඩිදුරටත් ප්‍රශ්ණ කර සිටින්නේ කොවිඩ්-19 වසංගතයෙන් කන්න නැතිව පීඩා විඳිමින් සිටින ජනතාවට අරක්කු පෙවීමට මෙතරම් උනන්දුවක් දක්වන්නේ ‘මතට තිත’ තැබීමට ද? යන්නයි.

https://www.youtube.com/watch?v=LaNdkPmfSXo

***************************************

මාකදුරේ මදුෂ්, ජනපති ඝාතන සැලසුම : නාමල් කුමාර විශේෂ හෙළිදරව්ව – Truth with Chamuditha (22.11.2020)

***************************************

කොවිඩ් නම් පුච්චන්න; කොවිඩ් නැත්නම් වලලන්න : අලි සබ්‍රි ඕනෑවට වැඩි : මේ ආණ්ඩුව තනියෙන් කනවා – ඥානසාර හිමියෝ කියති

(23.11.2020 – colombotoday.com)

කොරෝනා මරණ සම්බන්ධයෙන් එක් ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් එය ජාති ආගම් මත වෙනස් නොවිය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටිනවා.

මුස්ලිම් ජාතිකයන් මරණයට පත්වූ විට හැකි ඉක්මනින් පරීක්ෂණ අවසන් කර කොරෝනා රෝගය වැළඳී ඇත්නම් එම දේහ ආදාහනයට යොමු කර කොරෝනා රෝගය වැළඳී නැත්නම් හැකි ඉක්මනින් එම දේහ ඔවුන් කැමති පරිදි භූමිදානය කිරීම සඳහා ලබා දීමට වැඩපිළිවෙලක් සැකසීම සුදුසු බවත් උන්වහන්සේ පැවසීය.

අලි සබ්‍රි ආණ්ඩුව තනියෙන් කනවා :

“මේ සඳහා දේශපාලඥයින් මැදිහත් නොවිය යුතු බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ඕනෑවට වඩා වැඩි බවත් ඔහු තේරුම්ගත යුතුයි තමන් කවුද කියලා. 2015 ආව ආණ්ඩුව අසාද් සාලි, මුජුබර් රහුමාන් වගේ අය එකතුවෙලා කා දැමුවා වගේ අලි සබ්‍රි මේක තනියෙන් කනවා. ඒ නිසා අලි සබ්‍රිට කියන්න තියන්නේ සද්දේ වැඩි. සිංහල සමාජයේ ‘ටෙන්ෂන්’ එක මොකද්ද කියලා තේරුම් අරගෙන කරුණාකරලා ඉවසීමෙන් සහ සංයමයෙන් කටයුතු කරන්න කියලා අපි කියනවා. ඔහු පාර්ලිමේන්තුවට ආධුනිකයෙක්. අධිකරණ අමාත්‍යධූරය දුන්නා කියලා ඔහුට මේ රටේ නායක කම දීලා නෑ.” යැයි ඊයේ (22) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඥානසාර හිමියෝ පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *