පාසල් සිසුවෙකුට වැඩි තැබූ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයට

පාසල් සිසුවෙකුට වැඩි තැබූ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයට

*********************************************

පාසල් සිසුවෙකුට වැඩි තැබූ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයට

(23.11.2020 – 16:13 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදුකළ සිද්ධියට අත්අඩංගුවට ගත් පන්නිපිටිය ප්‍රදේශයේ වෛද්‍යවරයා ලබන මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අදාල එම සිසුවා තවත් සිසුන් කිහිප දෙනෙකු සමඟ ඇරැව්වල ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව විදුහල අසළ නිවසකට ගොස් ඇති අතර, එය ගැනීමට යාමේදී අදාළ නිවසේ සිටි වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයක් ආධාරයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

සිද්ධිය ගැන කියන සිසුවාගේ මව සහ සහෝදරයා :

+++++++++++++++

++++++++++++++++++

***************************************

(23.11.2020 – 08:59 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු පළාත්වල තුන් වන වාරය සඳහා පාසල් අද (23) උදෑසන ආරම්භ කෙරුණා.

ප්‍රදේශ රැසක හිරු වාර්තාකරුවන් සඳහන් කළේ පාසල් වෙත ළමයින් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

මේ අතර, නවක සිසුන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීමේ කටයුතු අද (23) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

මාර්ගගත ක්‍රමයට පමණක් ලියාපදිංචි කිරීම් සිදුකෙරෙන අතර ඒ සඳහා වන උපදෙස් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

2019 – 2020 නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 41,500 ක් පමණ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිතයි ෴

***************************************

කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

(23.11.2020 – 09:54 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම, මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි ඔවුන් දැනුම් දෙන්නේ.

එමෙන්ම, පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී වඩාත් අවදානයෙන් පසුවන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 6 ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත්, ඉදිරි පැය 30 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත්, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර, නැගෙනහිර, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත්, 150ත් අතර තද වැසි ඇති විය හැකි අතර එම පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 60 ත්, 70 ත් අතර ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකියි.

[ http://www.meteo.gov.lk/images/Cyclone/WWO2020112305EUpdate.pdf ]

++++++++++++++

(23.11.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

++++++++++++++++++

[ Tropical Cyclones ]

[ Satellite Image – Infrared – Indian Ocean – Meteosat-7 ]

***************************************

(23.11.2020 – 10:43 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (23) නියෝග කළා.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992 ක මුදලක් වැය කර නිවාස ආධාර ලබාදිම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කොට පවරා ඇති නඩුවට අදාළව එහි විත්තිකරුවෙකු වන මොහුට එරෙහිව මීට පෙර විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

කෙසේ වෙතත් අද (23) මෙම නඩුව නැවත කැදවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන ආර්ථික කාර්ය සාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන හෙයින් ඔහුට රාජකාරිමය කටයුතු සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය වී තිබෙන බව දැනුම් දුන්නා.

ඒ බව තහවුරු කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට භාර දුන්නා.

එමෙන්ම මෙම නඩුවේ ඇප ලබාදුන් අවස්ථාවේදී සැම මාස තුනකට (3) වරක්ම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය හමුවේ වාර්තා කළ යුතු බවට අධිකරණය මඟින් ඇප කොන්දේසියක් පැනවූ බවත් එම ඇප කොන්දේසිය විත්තිකරු විසින් මේ දක්වා කඩ කර නොමැති හොයින් එයද ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම් වලට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ විරුද්ධත්වය පළ කළේ නැහැ.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා හිටපු අමාත්‍යවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද නියෝග කළා.

කෙසේ වෙතත් විදේශත වන්නේ නම් ඊට පෙර අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙත නියෝග කර තිබෙනවා.

මෙම නඩුව කැදවු අවස්ථාවේදි බැසිල් රාජපක්ෂ මහතාට අමතරව එහි සෙසු විත්තිකරුවන් වන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක මහතා සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා අධිකරණයේ පෙනී සිටියා.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු විත්තකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ලිඛිත දේශණ ගොනු කරමින් තම සේවාදායකයින්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වි නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ බව සඳහන් කරමින් එම නීතිඥවරුන් අධිකරණය හමුවේ ලිඛිත දේශන ද ගොනු කරනු ලැබුවා.

අනතුරුව නඩුව මේ මස 25 වනදා කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට ද නියමිතයි ෴

***************************************

(23.11.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

පාන් පිටි ප්‍රවාහනය කරන මුවාවෙන් කොළඹට රැගෙන එමින් තිබූ කහ කිලෝ 330 ක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු යුද හමුදාව විසින් අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත මන්නාරම – 54 වන සේනාංකයේ නිලධාරීන් තාරාපුරම් ප්‍රදේශයේ දී ලොරි රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි සූක්ෂම ලෙස සගවා තිබියදී මේවා සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම – තාරාපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා ෴

***************************************

(23.11.2020 – 14:19 +0530 – hirunews.lk/sinhala)

උපතින්ම ආබාධිත තත්ත්වයෙන් පසු වුවත් එය තම අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කර නොගත් පුංචි හපනෙක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා.

ෂලිදු දෙනුවන් කොතලාවල නම් මෙම දිරිය දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන්ද සමත් වී තිබෙනවා.

මේ බේරුවල, පබේයාල ප්‍රදේශයේ පදිංචි ඩී. ෂලිදු දෙනුවන් කොතලාවල සහ ඔහුගේ මව නිලන්ති ඩයස්.

කටුකුරුන්ද රෝමානු කතෝලික විද්‍යාලයේ ඉගෙනුම ලබන ෂලිදු උපතින්ම ආබාධිත තත්ත්වයේ පසු වූවත් සිය අධ්‍යාපන කටයුතුවලට ඔහු එය බාධාවක් කරගෙන නැහැ.

අභියෝග රැසක් මධ්‍යයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් ෂලිදු දෙනුවන් ඉන් සමත්වන්නේ ලකුණු 169 ක් ලබාගනිමින්.

ෂලිදුගේ පියා කුඩාකලදීම ඔවුන්ව හැරගොස් ඇති අතර මෙම පවුලේ එකම ජීවිකාව වන්නේ ඔහුගේ මව නියැලෙන ත්‍රිරෝද රථ රැකියාවයි.

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් මෙම මව සහ පුත්‍රයා ජීවත්වන නිවසද හරි ආකාරව ඉදිකරගැනීමට හැකි වී නැහැ.

අභියෝග රැසක් මධ්‍යයේ අධ්‍යාපනය හදාරා තම රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට සැරසෙන ෂලිදු දෙනුවන් සමස්ත සමාජයටම ආදර්ශයක්.

***************************************

(23.11.2020 – 17:01 +0530 – hirunews.lk/sinhala)

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 24 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පීඩන අවපාතය මේ වන විට ත්‍රිකුණාමල වෙරළට කිලෝමීටර් 325ක් දුරින් ස්ථානගතව පවතින අතර, එය ඉදිරි පැය 48 තුළ දී උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළට ගමන් කරනු ඇති.

මෙහි බලපෑමෙන් දිවයිනේ උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට පැයට කිලෝමීටර් 60 ත්, 70 ත් අතර ඉතා තද ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

(23.11.2020 – 17:24 +0530 – hirunews.lk/sinhala)

ජාතික පාසල් 170 ක පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම එළඹෙන 04 වනදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පසුගිය හයවනදා (06) අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරුණු අතර, මෙතෙක් ඒ සඳහා අයදුම් කිරීමට නොහැකිවූ නිලධාරීන්ට www.moe.gov.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ අයදුම්පත් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

***************************************

(23.11.2020 – 18:20 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ දී අද (23) විවාදයට ගැනුණු ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.

පොලිස්පති ධුරය සඳහා මේ වනවිට වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අභියාචනාධිකරණ විනිසුරුවන් 14 දෙනාටද එම සභාවේ අනුමැතිය හිමි වූ බවයි කථානායකවරයා පැවසුවේ ෴

***************************************

සිරස ‘නිව්ස් ෆස්ට්’ අයත් MTV පෞද්ගලික සමාගමට වාරණයක්

(23.11.2020 – 17:53 +0530 – sinhala.adaderana.lk)

සිරස ‘නිව්ස් ෆස්ට්’ අයත් MTV පෞද්ගලික සමාගම හරහා ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගමට, එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (23) වාරණ නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය නිකුත් කළේ, සිරස ‘නිව්ස් ෆස්ට්’ අයත් MTV පෞද්ගලික සමාගම විසින් ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගමට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 2 ක වන්දි ඉල්ලා ගොනුකළ නඩුවක් අද (23) සලකා බැලීමෙන් අනතුරුවය.

ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් අද (23) කොළඹ දිසා අධිකරණය හමුවේ සිරස ‘නිව්ස් ෆස්ට්’ අයත් MTV පෞද්ගලික සමාගමට එරෙහිව එම නඩුව ගොනු කළේය.

සිරස ‘නිව්ස් ෆස්ට්’ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන පරිදි පුවත් පළ කිරීම වළක්වාලමින් MTV පෞද්ගලික සමාගමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිරස ‘නිව්ස් ෆස්ට්’ ඔස්සේ නොවැම්බර් 11, 13, 16 සහ 19 වන දිනවල ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් සමාගම විසින් කොවිඩ්-19 ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ සහ සිතාමතා ගොතන ලද කරුණු ඇතුළත් අපහාසාත්මක පුවත් පළකළ බව පැමිණිලිකරු විසින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

මෙමගින් සිදුවු අපහාසයට වන්දි වශයෙන් පැමිණිලිකාර පාර්ශවය විසින් රුපියල් බිලියන 2 ක් වගඋත්තරකාර පාර්ශවයෙන් ඉල්ලා තිබේ.

ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් සමාගම පෙන්වා දී ඇත්තේ, වගඋත්තරකරුවන් සැමවිටම පැමිණිලිකරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ද්වේෂසහගතව කටයුතු කර ඇති බවය.

දිලිත් ජයවීර මහතා සභාපතීත්වය දරණ දෙරණ මාධ්‍ය ජාලය හා ආර් රාජමහේන්ද්‍රන් සභාපතීත්වය දරණ සිරස ‘නිව්ස් ෆස්ට්’ අයත් MTV පෞද්ගලික සමාගම අතර දිගු කලක සිට පවතින මාධ්‍ය තරගකාරීත්වය මෙම ද්වේෂසහගත තත්ත්වයට හේතුව බව පැමිණිලිකරු පෙන්වා දුන්නේය.

පැමිණිලිකාර පාර්ශවයේ කරුණු සළකා බැලු කොළඹ දිසා අධිකරණය MTV පෞද්ගලික සමාගම සහ එහි අනුබද්ධ ආයතන සහ සේවකයින් විසින් ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගම, එහි සභාපති සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසයක් වන ආකාරයෙන් පුවත් පළ කිරීම වළක්වාලමින් වාර්ණ නියෝගයක් නිකුත් කළේය ෴

***************************************

මද්‍රසා පාසල් තහනම් කළ යුතුයි – අමාත්‍ය විමල් වීරවංශ

(23.11.2020 – 16:59 +0530 – lankaleadnews.com)

69 ලක්ෂයක ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූයේ මෙරට අන්තවාදය මුලිනුපුටා දැමීමට පමණක් නොව අන්තවාදය බිහිවන ඝර්භාෂයන්ද මුලිනුපුටා දැමීමට බැවින්, මද්‍රසා පාසල් මෙරට තුල ක්‍රියාත්මක වීම තහනම් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

අද දින (23) අය වැය විවාදය අතරතුර ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙරට ක්‍රියාත්මක මද්‍රසා පාසැල් අන්තවාදය සහ ත්‍රස්තවාදය පතුරුවා හරින බව දැනට ක්‍රියාත්මක වන කොමිෂන් සභාවල දී පවා සාක්ෂි ලැබී ඇතැයිද ඇමැතිවරයා පවසා සිටියේය.

කෙසේ නමුත් මීට දින දෙකකට පමණ පෙර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන බවයි. ඒවා අධීක්ෂණය තම වගකීමක් බවද ඔහු පවසා සිටියේය ෴

========================================

(23.11.2020 – 10:16 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල දිසා රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනියට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් එම රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෛද්‍යවරිය කළුඅග්ගල – ඇගල මාර්ගයේ පදිංචිකාරිනියක් ෴

+++++++++++++++++++++

(23.11.2020 – 10:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 22 හැවිරිදි තරුණයෙකු ඉන් පළා යාමට උත්සාහ දැරීමේදී රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන් ඔහු සිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ තරුණයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

++++++++++++++++++++++

(23.11.2020 – 11:56 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය හෙට (24) සිට යළි විවෘත කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

++++++++++++++++++++

(23.11.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දීපවාලි උත්සව සමයේ කොළඹ සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට ගිය පුද්ගලයන් රැසක් කොරෝනා ආසාදිතයන් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඊයේ (22) දිනය තුළ පමණක් ආසාදිතයන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එම සියලු ආසාදිතයන් කොළඹින් සංක්‍රමණය වූ ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 89 ක්.

මහනුවර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ (22) දිනයේ ආසාදිතයන් 27 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

මේ දක්වා කාලය තුළ එම දිස්ත්‍රික්කයෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව මෙය වීම ද විශේෂත්වයක්.

මේ අතර, ඊයේ (22) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයන් 400 දෙනා අතරින් 121 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ අතර, 112 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුර මේ වනවිට 16,639 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 13,580 ක්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත පොකුරෙන් වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ දක්වා මෙරටින් ආසාදිතයන් 20,171 ක් වාර්තාවී ඇති අතර, මරණ 87 ක් සිදුව තිබෙනවා.

මේ අතර කොරෝනා ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 22 හැවිරිදි තරුණයෙකු ඉන් පළා යාමට උත්සාහ දැරීමේදී රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන් ඔහු සිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ තරුණයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු බව සඳහන්.

කොරෝනා ආසාදිතයෙකු රෝහල් ගත කිරීමට පැමිණෙන අවස්ථාවේදීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු නම් ඒ පිළිබඳව පෙර දැනුවත් කිරීම් සිදු කිරීමෙන් ඔවුන් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමෙන් මෙවැනි තත්ත්වයන් වළක්වා ගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

අවිස්සාවේල්ල මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනියට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් එම රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා විෂබීජහරණයට ලක් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ වෛද්‍යවරිය කළුඅග්ගල – ඇගල මාර්ගයේ පදිංචිකාරිනියක් වන අතර, ඇගේ ස්වාමි පුරුෂයා වරාය සේවකයෙකු බව සඳහන්.

බදුල්ල – පස්සර – පුහුල්වත්ත සහ හණවැරැල්ල යන ප්‍රදේශවලින්ද ආසාදිතයන් දෙදෙනෙකු (2) හඳුනාගෙන තිබෙනවා.

මොවුන් කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිට පස්සර ප්‍රදේශයට පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

හබරාදූව – නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි වේල්ලවීථිය පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකුට සහ උප පොලිස් පරීක්ෂකවරයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

කොළඹ – උතුර බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ කාන්තා නිලධාරිනියන් තුන්දෙනෙකුට (3) ද වෛරසය ආසාදනය වී ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා සඳහන් කළේ.

කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවූ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට දඹුල්ල තැපැල් කාර්යාලය වෙත තැපැල් මළු ප්‍රවාහනය කළ සේවකයෙකු ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමඟ දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවා කටයුතුද අද (23) පෙරවරුවේ සිට තාවකාලිකව නවතා දැමුණා.

කෙසේ වෙතත් විෂබීජහරණ කටයුතුවලින් පසු තැපැල් කාර්යාලය යළි විවෘත කරන බවයි තැපැල් ස්ථානාධිපති සාගර කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ.

මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ හුදකලා තත්ත්වයට පත්කර තිබූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ හයක් (6) අද (23) අලුයම පහේ (05:00) සිට යළි විවෘත කරනු ලැබුවා.

ඒ, කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීථිය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇළ සහ කඩවත පොලිස් වසම්.

කෙසේ වෙතත් බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීථියේ වෑකන්ද ග්‍රාමනිලධාරී වසම තවදුරටත් හුදකලා කෙරෙන බවයි පොලීසිය දැනුම් දුන්නේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත, බමුණුමුල්ල, කිරිමන්තුඩාව, කොරාවල, අටළුගම – බටහිර සහ ගලගහමණ්ඩිය ග්‍රාම නිලධාරි වසම් ද තවදුරටත් හුදකලා තත්ත්වයට පත් කර තිබෙනවා.

හුදකලා කර ඇති බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශවල ජනතාව ඔරු සහ පාරු උපයෝගී කරගනිමින් කිරිමන්තුඩාව ප්‍රදේශයෙන් බොල්ගොඩ ගඟ හරහා වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම වැළැක්වීමට පොලිස් නාවික කොට්ඨාසයේ බෝට්ටු දෙකක් (2) යෙදවීමට අද පියවර ගත්තා.

දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (22) දැනුම්දුන් පරිදි කාර්යාල දුම්රිය සේවාවන් අද විවිධ ප්‍රදේශවල සිට කොළඹ දක්වා පැමිණියද එහි මගීන් විශාල වශයෙන් පැමිණෙන අයුරු දක්නට ලැබුණේ නැහැ.

අධිවේගී මාර්ගයේ බස් රථ සේවකයන්ද ප්‍රකාශ කළේ මගී ජනතාවගේ පැමිණීම අවම මට්ටමක පැවති බවයි.

මේ අතර, සීමිත කාර්ය මණ්ඩලයක් යොදවා නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට සිට යළි විවෘත කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත්, එමගින් සේවා සැපයීම කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම මත පමණක් සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ෴

මධ්‍යම පළාතේ හැටන් කලාපයේ සහ මහනුවර – අකුරණ මෙන්ම මහයියාව ප්‍රදේශවල පාසල් කිහිපයක් අද (23) දිනයේ ආරම්භ නොකෙරුණු බව පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළා.

කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු වාර්තාවීම ඊට හේතුව බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සළසා ගැනීමෙන් පසු අදාළ පාසල් විවෘත කිරීමට විදුහල්පතිවරුන් කටයුතු කරනු ඇති බවද පළාත් ආණ්ඩුකාවරයා සඳහන් කළා ෴

+++++++++++++++++++++

(23.11.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් ගතවූ පැය විසි හතර (24) තුළ පුද්ගලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එම චෝදනාව මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 465 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම, නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් රථ වාහන 437ක් ද මේ දක්වා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

++++++++++++++++++++

(23.11.2020 – 14:28 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ සිට රාගම රෝහලට ඇතුළත් කර සිටියදී මියගිය 82 හැවිරිදි රැදවියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ 2006 වසරේදී මනුෂ්‍ය ඝාතනයකට අදාළව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවූ ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මොහු තවත් රැඳවියන් 112 දෙනෙකු සමඟ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට පසුගිය 11 වනදා මහර බන්ධනාගාරයට මාරුකර එවා තිබුණා.

එහි සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී රැඳවියන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බවට හෙළිවූ අතර, ඔවුන් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමෙන් අනතුරුව ඉතිරි පිරිස වාට්ටු දෙකක (2) නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගැනුනේ.

මෙලෙස මියගොස් ඇත්තේ එහි රඳවා සිටි රැඳවියෙකු වන අතර, බන්ධනාගාරය තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී මොහුට කොරෝනා වැළඳී නොමැති බවට හෙළිවී තිබෙනවා.

කෙසේ වෙතත් රෝහල් ගතකර මියයාමෙන් පසු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වැළඳී තිබූ බවට තහවුරු වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

ඇල්පිටිය – නවදගල ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නිලධාරියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරන අයෙකු වන අතර, නිවසට පැමිණි අවස්ථාවේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදීයි මේ බව තහවුරු වී ඇත්තේ.

එම නිලධාරියා තම යතුරුපැදියෙන් බන්ධනාගාරයේ සිට නිවසට පැමිණ ඇති අතර, ඇල්පිටිය ප්‍රදේශයේ වෙළඳසැලකට ද ඔහු ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා ෴

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 204 දෙනෙක් අද (23) හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි ෴

++++++++++++++++++++

(23.11.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala)

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රථම වරට මුහුණදෙන සිසුන්ගේ සියලු විෂය නිර්දේශ මේ වන විට ආවරණය කර ඇති මට්ටම පිළිබඳව අදාළ විෂයභාර ගුරුවරුන්ගෙන් විමසා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

රට තුළ මතු ව පවත්නා කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් 2020 වර්ෂය තුළ පාසල් පැවැත්වීම විධිමත්ව සිදුනොවීමේ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යම් අඩපණ වීමකට ලක්වූව ද, පළාත්, කලාප, කොට්ඨාශ සහ පාසල් මට්ටමින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සහ විවිධ විද්‍යුත් සහ මුද්‍රිත ක්‍රමවේද භාවිතයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමට විවිධ පියවර ගනු ලැබුවා.

එහෙත් එක් එක් පළාත් තුළ පාසල්වල පවත්නා පහසුකම් සහ මුහුණ දීමට ඇති අභියෝග හමුවේ 11 ශ්‍රේණිය සියලුම විෂයන්ට අදාළව සියලු විෂය ඒකක ආවරණය කිරීමට ගුරුවරුන්ට පැවැති හැකියාව විවිධ මට්ටම්වල පැවතිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

ඒ නිසා මේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබාගැනීම සහ අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පියවර ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියලු පාසල්වල 11 ශ්‍රේණිය සඳහා ඉගැන්වීම් කරන විෂය භාර ගුරු භවතුන් විසින් මාර්ගගත ක්‍රමයට https://info.moe.gov.lk/ වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබා දීම සිදුකළ යුතු වනවා.

අද (23) දින සිට සතියක කාලයක් ඇතුළත මෙම තොරතුරු ලබාදීම සිදු කළ යුතු අතර, ගුරුවරුන්ට තම ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කර මේ සඳහා පිවිසීමට අවස්ථාව ලැබෙන බවයි එම අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

යම් ගුරුභවතෙකුට තොරතුරු ලබාදීමට ප්‍රවේශ වීමට අපහසු නම්, grade11@moe.gov.lk ඊමේල් ලිපිනයට තම නම, ජාතික හැඳුනුම්පත් අංකය, පාසල, පළාත කලාපය, සහ දුරකථන අංකය ඇතුළත් පණිවිඩයක් යොමු කිරීමෙන් අදාල තොරතුරු සක්‍රීය කර ගැනීමට හැකියාව පවතිනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *