හිටපු ජනපති මෛත්‍රීට පාස්කු කොමිසමේදී, පූජිතගේ නීතිඥවරයාගෙන් චෝදනා

හිටපු ජනපති මෛත්‍රීට පාස්කු කොමිසමේදී, පූජිතගේ නීතිඥවරයාගෙන් චෝදනා

දෙවනගල පුදබිමේ කෙසෙල් වගාකිරීමට දැරූ උත්සාහය වලක්වයි

*********************************************

හිටපු ජනපති මෛත්‍රීට පාස්කු කොමිසමේදී, පූජිතගේ නීතිඥවරයාගෙන් චෝදනා

(24.11.2020 – 20:16 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බොහෝ තීන්දු ගෙන ඇත්තේ බොළඳ හේතු පදනම් කරගෙන බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනපති කොමිසමේදී නීතීඥවරයෙකුගෙන් චෝදනා එල්ලවුණා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (24) හත්වන (7) දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙම චෝදනාව එල්ල කළේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයායි.

++++++++++++++++++

***************************************

(24.11.2020 – 20:02 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකාරවරයා එහි කළමනාකාර සහකාර නිලධාරිනියකට පහර දෙන දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

පහරකෑමට ලක්වූ එම නිලධාරිනිය සිද්ධිය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර ඇති අතර, එය සිදුවූ ස්ථානය ලෙස දක්වා ඇත්තේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ, උඩුගම්පොළ කාර්යාලයේ දියි.

++++++++++++++++++

++++++++++++++++++++++

(25.11.2020 – 10:58 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහරදුන් බව කියන එහි ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමට අදාළ දර්ශන අදාළ සේවිකාව විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති මගින් ද ඊයේ (24) කරුණු අනාවරණ කළා.

මේ අතර, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කර තිබුණා.

එමගින් ඔහු දක්වා තිබුණේ අදාළ සිද්ධියට සම්බන්ධ ඉංජිනේරුවරයා තමාගේ අනුගාමිකයෙකු බවට මතයක් විපක්ෂයට සම්බන්ධ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් පවතින බවයි. එය ප්‍රතික්ෂේප කරන බව ද අමාත්‍යවරයා අදාළ සටහනින් දක්වා තිබුණා.

එමෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද (25) පාර්ලිමේන්තුවේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර, රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා කියා සිටියේ අදාළ කාන්තාවට පහර දුන් බව කියන ඉංජිනේරුවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවයි ෴

+++++++++++++++++++

(25.11.2020 – 20:10 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ඉංජිනේරුවරයා ඇප මත මුදා හැර තිබෙනවා.

ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවට අද (25) දහවල් සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ සැකකරු රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහැරීමටයි.

අදාළ ඉංජිනේරුවරයා කළමනාකරණ සහකාරවරියට පසුගියදා කාර්යාල පරිශ්‍රයේදී පහරදී තිබූ අතර, අදාළ කාන්තාව විසින් එය ජංගම දුරකථනයෙන් රූගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

කෙසේ වෙතත් මෙම ඉංජිනේරුවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති උපාලි කොඩිකාර මහතා සඳහන් කළේ.

***************************************

කොරියාවට යෑමට බලාපොරොත්තුවෙන් සිටින රැකියාලාභීන්ට පණිවුඩයක්

(24.11.2020 – 16:05 +0530 – sinhala.adaderana.lk)

දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා විභාගවලට පෙනී සිට ඉන් සමත් ව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එරටට යෑමට නොහැකිව සිටින රැකියාලාභීන්ව එරට බලධාරීන් සමග සාකච්ඡාකර කණ්ඩායම් වශයෙන් පිටත්කිරීමට තීරණය කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා, අමාත්‍යාංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහල නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදීය.

“කොරියානු ජනරජය සමග සාකච්ඡා කොට කණ්ඩායම් වශයෙන් කොරියාව සදහා රැකියාලාභීන් පිටත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත්, කොරියාව විසින් එරටට ගෙන්වා ගන්නා ශ්‍රමිකයින්ගේ අනුමත ලැයිස්තුව ලැබීමෙන් පසු එම ශ්‍රමිකයින් සදහා පිටත්වීමට පෙර ලබා ගතයුතු අනිවාර්යය PCR පරීක්ෂණ හා නිරෝධායන අවශ්‍යතාවයන් රජය විසින් සිදුකිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී,” යනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම සාකච්ඡාවේ දී කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද සම්බන්ධ කරගෙන ඇති අතර විභාගය සමත් අය සදහා කඩිනමින් රැකියා අවස්ථා ලබාගැනීමට සහ රටට ඇතුළුවීමේ අවසර ලබාගැනීම පිළිබඳ ව කොරියානු නියෝජිතයින් සමග තවදුරටත් සාකච්ඡා කර වැඩසටහනක් සකස් කරන ලෙස අමාත්‍ය ජයරත්න මහතා විසින් එම නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කර්යාලය බ්‍රහස්පතින්දා (26) කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය සමග ඒ පිළිබඳ ව සාකච්ඡා කිරීමටද කටයුතු යොදා ඇත.

මෙම සාකච්ඡා ක්‍රියාමාර්ග තුළින් විභාගය සමත්ව කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ රැඳී සිටින 5,438 ක් වන ලාංකික ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා සඳහා පිටත්කර යැවීම කඩිනම් කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වේ.

විභාගය සමත්ව වෙබි අඩවියෙහි රැඳී සිටින පිරිසෙන් මේ වන විට 1,111 කට වීසා සදහා අවශ්‍ය ලේඛන ද ලැබී ඇති බව සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි ෴

===========================================

(24.11.2020 – 21:40 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 171 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.

ඔවුන් මීට පෙර හමුවී ඇති ආසාදිතයන්ගේ සමීපතමයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,966 ක් ෴

++++++++++++++++++++++

(24.11.2020 – 21:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වයිරස් ආසාදිත මරණ 4 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ යනවා.

මේවන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 20,967 ක් හමුවී ඇති අතර සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති සංඛ්‍යාව 14,962 ක්.

5911 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

අද (24) වාර්තාවූ මරණවලින් එක් (1) පුද්ගලයෙක් ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි අයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.

ඔහු බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 22 වනදා මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග පාචන රෝගී තත්වයක් හේතුවෙන් ඇතිවූ ආසාදන තත්වයෙන් බහු අවයව අක්‍රිය වීමයි.

සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මියගිය පිරිස අතර වනවා.

ඔහු කොළඹ ජාතික රෝහලේදී පසුගිය 22 වනදා මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගයක් කොවිඩ්-19 ආසාදනය සමග උත්සන්න වීමයි.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 73 ක කාන්තාවක් ද මරණයට පත්ව තිබෙනවා.

ඇය කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙසට හඳුනාගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරුකර යවා තිබු අයෙක්.

එම රෝහලේදී මියගොස් ඇත්තේ අද (24) වන අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ ආඝාතනය සහ කොවිඩ්-19 නිව්මෝනියාවයි.

මියගිය අනෙක් පුද්ගලයා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.

පානදුර මූලික රෝහලේ සිට අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර එවා ඇති අතර එම රෝහලේදී අද (24) මරණයට පත්ව තිබෙනවා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග නිධන්ගත අක්මා රෝගයක් උත්සන්න වීම සහ මොළය ඉදිමීමේ රෝගයයි ෴

++++++++++++++++++++++

(24.11.2020 – 22:49 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 රෝගීන් ප්‍රවාහනය සඳහා තමන්ට නිසි සෞඛ්‍යාරක්ෂිත පහසුකම් නොමැති බවට ‘1990 සුව සැරිය ගිලන් රථ සේවයේ’ සේවකයින් චෝදනා කරනවා.

ඔවුන් මෙම චෝදනා එල්ල කළේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

දිවයින පුරා කොවිඩ්-19 ආසාදිතයින් රෝහල් වෙත ප්‍රවාහනය කිරීමට ‘1990 සුවසැරිය ගිලන් රථ සේවය’ යොදා ගන්නා අවස්ථා නිතර දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් රෝගීන් ප්‍රවාහනය කිරීමේදී එහි සේවකයින්ට වයිරසය ආසාදනය නොවන ආකාරයෙන් ප්‍රවාහනය කිරීමට දැරීමට සිදුව ඇත්තේ දැඩි පරිශ්‍රමයක්.

නමුත් එහි සේවකයින් චෝදනා කරන්නේ කොවිඩ්-19 රෝගීන් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සදහා තමන්ට උපකරණ හිඟයක් පවතින බවටයි.

++++++++++++++++++++

(25.11.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

නව මරණ 4 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගියා.

ඊයේ (24) මිය ගිය රෝගීන් 4 දෙනා අතර පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ කාන්තාවක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ මහර බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලට මාරු කර එවීමෙන් පසුවයි. කොරෝනා ආසාදනයත් සමඟ පාචන රෝගී තත්ත්වයක් නිසා ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් බහු අවයව අක්‍රීය වීම මෙම මරණයට හේතු වී තිබෙනවා.

54 හැවිරිදි මිය ගිය අනෙක් පිරිමි පුද්ගලයා සියඹලාපේ – දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි මිය ගොස් ඇත්තේ. මෙම මරණයට හේතු වී ඇත්තේ කොරෝනා සමඟ නිධන්ගත අක්මා රෝගයක් උත්සන්න වීම හා මොළය ඉදිමීමේ රෝගයක්.

42 හැවිරිදි බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු ද ඊයේ (24) මියගොස් ඇති අතර පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර එවීමෙන් පසුවයි මොහු මෙලෙස මියගොස් ඇත්තේ.

ආඝාතය සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය මෙම මරණයට හේතු වී තිබෙනවා. එමෙන්ම මිය ගිය කාන්තාව 73 හැවිරිදි කොළඹ – 15 ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර හෝමාගම මූලික රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර එවීමෙන් අනතුරුව ඇය මෙලෙස මිය ගොස් තිබෙනවා.

නිධන්ගත වකුගඩු රෝගයක් කොවිඩ්-19 ආසාදනය සමඟ උත්සන්න වීම මෙම මරණයට හේතු වී තිබෙනවා ෴

++++++++++++++++++

(25.11.2020 – 08:11 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 17,000 ඉක්මවා තිබෙනවා.

ඊයේ (24) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 459 දෙනෙකු වාර්තා වීමත් සමඟ දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුර 17,436 දක්වා ඉහළ ගියා. ඊයේ (24) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 459 දෙනාගෙන් එක් අයෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 20,967 ක් ලෙසයි. ආසාදිතයන් 5911 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 14,962 ක්.

වේයන්ගොඩ, පත්තරගෙදර – ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයේ නිරෝධායනයට ලක් කර සිටි මැනිං වෙළඳපොළ ආශ්‍රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසකගෙන් 20 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ වන විට නාට්ටාමිවරුන් 112 දෙනෙකු සහ යාචකයින් 8 දෙනෙකු නිරෝධායනය සඳහා එම අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයෙහි රදවා ඇති අතර, ඔවුන්ට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදීයි මෙලෙස 20 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ.

එමෙන්ම විදේශ රටවල රැකියා සඳහා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 198 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඊයේ (24) මෙරටට පැමිණියා. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 143 දෙනෙකු, මාලදිවයිනේ සිටි 53 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිටි දෙදෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ අප වාර්තාකරු සඳහන් කළේ ෴

=======================================

*********************************************

දෙවනගල පුදබිමේ කෙසෙල් වගාකිරීමට දැරූ උත්සාහය වලක්වයි

(24.11.2020 – colombotoday.com)

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුදබිමේ පළමු මැනීමෙන් පූජා භූමියට ඇතුළත් වූ මුඩු ඉඩමක සිදු කරන ලද ඉදිකිරීමක් සහ එහි තිබූ කෙසෙල් වගාවක් නිසා ඊයේ (23 වැනිදා) උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පසුව පොලිසි​යේ මැදිහත් වීමෙන් ගැටලුව සාමකාමීව විසඳුණි.

දෙවනගල භාරකාර ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් මේ සම්බන්ධයෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාව දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය පැමිණියේය. මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති අසේල හේරත් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ කෙසෙල් වගාකරමින් සිටි පුද්ගලයන්ට අවවාද කර එය නවතා දැමීමට කටයුතු කළේය. එම මුඩු ඉඩමේ කොන්ක්‍රීට් කණු යොදා භාගෙට සකස් කළ ඉදිකිරීම්ද පුද්ගලයන් ලවාම පොලිසිය විසින් ඉවත් කරවීය.

දෙවනගල විහාරස්ථානයට අයත් මුඩු ඉඩම්වල කිසිදු ඉදිකිරීමක් හෝ වගාවක් නොකරන ලෙස පොලිසිය මගින් එහි පදිංචි ජනතාව දැනුවත් කර තිබියදී එම නිතීයට අවනත නොවූ පිරිසක් විසින් මෙම නිතී විරෝධි කටයුත්ත සිදු කර තිබිණි.

මාවනැල්ල හෙම්මාතගම මාර්ගය ආසන්නයේ ඇති ඉඩමේ කොන්ක්‍රීට් කණු යොදා ඉදිකිරීමක් ආරම්භ කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 23 වැනිදාය. දෙවනගල විහාරස්ථානයේ භාරකාර ස්වාමීන් වහන්සේ ආගමික කටයුත්තකට දුර බැහැර ගොස් සිටියදී මෙම ඉදිකිරීම සිදු කර තිබිණි. උන් වහන්සේ විසින් අදාළ ඉදිකිරීම සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙසේ පැවසීය :

“අපිට තිබුණා ප්‍රධාන ගැටලු කිහිපයක්. එකක් තමයි ඉඩම් ගැටලුව. අනික අන්තවාදින් විසින් පුරාවිද්‍යා උරුම විනාශ කිරීම. වසර ගණනාවක් තිස්සේ මෙම ගැටලුව කිසිම ස්වාමින් වහන්සේ නමකට විසඳා ගන්න බැරි වුණේ අපේකම නැති කළු සුද්දෝ වාගේම මුස්ලිම් අන්තවාදීන් යන දෙපාර්ශ්වය එකමුතුවෙන් මෙම පුණ්‍ය භූමිය විනාශ කිරීම නිසාය.

අද මේ ගැටලු විසඳෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වුණාට පසුවයි. එතුමාට වුවමනාවක් තිබුණා පුරාවස්තු මෙන්ම ජාතික උරුම ආරක්ෂා කර ගන්න.

ඒ අනුව දෙවනගල ඉඩම් කොල්ලය මෙන්ම දෙවනගල පුරාවස්තු සංහාරය ගැනත් අවධානය යොමු වුණා.”

***************************************

රාජ්‍යසේවා කොමිෂන් සභාවට දෙරණ ලොක්කා දිලිත් ජයවීර පත්කිරීම : පාර්ලිමේන්තුවේ කතාකිරීම කතානායක වලක්වයි

(24.11.2020 – colombotoday.com)

රාජ්‍යසේවා කොමිෂන් සභාව පත්කර යවා ඇති බවට නාම ලේකනයක් මාධ්‍යයවල දක්නට ලැබුණු බවත් එයට ව්‍යාපාරිකයෙකුගේ නමක් ද සඳහන්ව ඇති බවත් HIV ටෙස්ට් කිට් ගෙන්වීම සඳහා ටෙන්ඩරයක් ද මේ වන විට සලකා බලමින් තිබෙන බවත් එවැනි අවස්ථාවක මෙම පුද්ගලයා රාජ්‍යසේවා කොමිෂන් සභාවට පත්කිරීම මගින් රාජ්‍ය සේවකයන්ට බලපෑමක් සිද්ධ වන බවත් පවසමින් පාර්ලිමේන්තු මංත්‍රී මනුෂ නානායක්කාර මහතා අද (24) පාර්ලිමේන්තුවේදී සිදුකල කරුණු දැක්වීම කතානායක මහින්ද යාපා අඹේවර්ධන මහතා විසින් වලක්වනු ලැබුවා.

ඒ රාජ්‍යසේවා කොමිෂන් සභාව පිළිබඳව පාර්ලිමේන්තුවේ කරුණු දැක්වීමට නොහැකි බව පවසමින්.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මංත්‍රී එස්.එම්. මරික්කාර් ද කරුණු දැක්වීමට උත්සහ කෙරූ අතර එයද කතානායකවරයා විසින් නවත්වන ලදි.

රාජ්‍යසේවා කොමිෂන් සභාව පත්කිරීමේ සම්පුර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බව මෙහිදී කතානායක මහින්ද යාපා අඹේවර්ධන මහතා අවධාරණය කර සිටියා.

***************************************

දිඹුලාගල පුරාවිද්‍යා භූමියක් වී වගාවට ඩෝසර් කරලා

(24.11.2020 – 06:49 +0530 – lankadeepa.lk)

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මුහුණලා තිබෙන නාමල්පොකුණ ප‍්‍රදේශයේ වටිනා පුරාවස්තු රැසක් පිහිටා තිබෙන භූමියක් වී වගාව සහ අනෙකුත් වගාවන් සඳහා ඩෝසර් කර තිබේ.

මෙම පුරාවිද්‍යා භූමියේ චෛත්‍ය කොටස්, මුරගල්, මෙන්ම වටිනා පෞරාණික පුරාවස්තු රැසක් ද ඒ අවට වටිනා ශාක වර්ග තිබෙන පරිසරය ද විනාශයට ගොසිනි.

මේ වන විට එම භූමියේ චෛත්‍ය කොටස් නිධන්හොරු විසින් විනාශ කරන ලදුව ඇති අතර වටිනා පුරාවස්තු කිහිපයකට හානි කර ඇත.

මෙම පුරාවස්තු විනාශය වහාම නතර කිරීමට අදාල බලධාරීන් කඩිනම් පියවර ගතයුතු බවත් ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් අවධානය යොමුකර ආරක්ෂාකර දෙන ලෙසත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටිති.

ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ දිඹුලාගල කොට්ඨාස කළමනාකාර තුෂිත හේරත් මහතා පැවසුවේ පුරාවස්තු ඇති භූමියක් වී වගාව සදහා වෙන්කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විනාශයක් සිදු වී ඇත්නම් පුරාවිද්‍යා නිලධාරින් දැනුවත්කර ගතයුතු උපරිම නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත්ය.

***************************************

බලපත්‍ර නොමැති වැලි කියුබ් 200 ක් පෞද්ගලික ඉඩමක

(24.11.2020 – 14:49 +0530 – lankadeepa.lk)

පොළොන්නරුව,28 කණුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ගබඩාකර තිබූ වැලි කියුබ් 200කට අධික තොගයක් අද (24)අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ බළකායේද සහය ඇතිව මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම වැලි තොගය ඉදිකිරිම් ක්‍ ක්ෂේත්‍රයට සම්බන්‍න්‍ධ කොන්ත්‍රාත්කරුවෙකුගේ ඉඩමක ගබඩාකර තිබූ බව පොලීසිය පැවැසීය.

නීත්‍යානුකූල නොවන අන්දමට වැලි ගබඩාකරගෙන සිටි පුද්ගලයා පොලීසිය අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(24) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

අධිකරණ නියෝග ලැබෙන තෙක් වැලි තොගයට සීල් තැබීමට භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නිලධාරීහු ක්‍රියා කළහ ෴

***************************************

සිග්නල් ලයිට් ළඟ යාචකයන්ට මුදල් දුන් 30 කට නඩු දානවා

(25.11.2020 – divaina.com)

සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල මාර්ග සංඥාපුවරු අසල වාහන නතර කර යාචකයන්ට මුදල් ලබා දුන් රියැදුරන් තිස්දෙනකුට (30) නඩු පැවරීමට කටයුතු කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසීය.

මේ අතර මෙම මාර්ග සංඥාපුවරු අසලට හිඟමනේ යෙදුණු පුද්ගලයන් පිරිසක්ද පොලිස් භාරයට ගෙන ඔවුන්ට දැඩි ලෙස අවවාද කර මුදාහැරීමට කටයුතු කළ බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කොරෝනා වෛරසය කොළඹ නගරය තුළ ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීම නිසා මාර්ග සංඥාපුවරු අසල සිඟමනේ යෙදෙන යාචකයන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.

මාර්ග සංඥාපුවරු අසල සිඟමනේ යෙදුණු යාචකයන් ඉවත් කිරීමෙන් පසු පසුගිය දින කීපයේදී අලුතින් පිරිසක් එම ස්ථානවල රැඳී සිටිමින් වාහනවලින් මුදල් එකතු කරන බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.

මාර්ග සංඥාපුවරු අසල සිඟමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් ලබාදීම වරදක් බවට ප‍්‍රකාශ කර තිබියදීත් එය නොසලකා හැර මේ ආකාරයට කටයුතු කළ රියදුරන් 30 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරි දිනවලදී නඩු පැවරීමට කටයුතු කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය ෴

***************************************

එන්.ජී.ඕ. හුළං බස්සන කෙටුම්පත ඉදිරි දෙමස තුළ මැතිසබයට

(25.11.2020 – divaina.com)

ඩොලර් මිලියන ගණනක අරමුදල් සැපයෙන මෙරට රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමේ නව කෙටුම්පත ඉදිරි දෙමස තුළ රජය විසින් පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය.

සවුදි අරාබියානු සහ බි‍්‍රතාන්‍ය රාජ්‍ය නොවන සංවිධාන හතරක් මගින් හිටපු ඇමැති හිස්බුල්ලාගේ හීරා පදනම ඇතුළු සංවිධාන කීපයකට ඩොලර් මිලියන ගණනක් ලබාදීමේ සිද්ධිය හෙළිවීම නිසා රජය මෙම පියවර ගෙන ඇත.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන ගත වූ වසර කීපය තුළ රුපියල් බිලියන 5 කට වඩා අරමුදල් විදේශ රටවල්වලින් ලබාගෙන ඇති බව රජයට හෙළි වී ඇත.

රජයේ ආරංචි මාර්ගවලට අනුව දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 1476 ක් මෙරට ක‍්‍රියාත්මක වන අතර මේ සංවිධාන තමන්ට ලැබුණු මුදල් වැය කළ ආකාරය ගැන රජයට මෙතෙක් හෙළි කර නැත.

කීර්ති වර්ණකුලසූරිය

***************************************

වායු රයිෆලයෙන් සිසුවාට වෙඩි තැබූ වෛද්‍ය තාරක වාහනේට අලාබ කළැයි බොරු පැමිණිල්ලකුත් දාලා

(25.11.2020 – gossiplankanews.com)

ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ පපුවට වෛද්‍යවරයෙකු වායු රයිෆලයකින් වෙඩි තබන ලද සිදුවීම පසුගිය ඉරිදා සිදුව තිබුණි.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තවම ප්‍රතිකාර ලබන අතර ඔහුගේ පපුවේ දකුණු පසට වෛද්‍යවරයා වෙඩි තබා ඇත.

වෛද්‍යවරයාගේ නිවසට යාබදව පිහිටා ඇති විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ මිතුරන් සමග ක්‍රීඩා කරමින් සිටි එම විදුහලේ 12 වසරේ සිසුවා පන්දුවක් වෛද්‍යවරයාගේ වත්තට වැටුණ පසු එය අහුලා ගැනීමට තාප්පයෙන් පැන නිවැසියන්ගේ අවසරය ඉල්ලූ බව පරීක්ෂණවලදී අනාවරණය වන අතර එම අවස්ථාවේ ‘මං කරන්නම්කො හොඳ වැඩක්’ කියමින් කේන්තියෙන් නිවස වෙත දිවගිය වෛද්‍යවරයා වායු රයිෆලයක් ගෙනවිත් සිසුවාගේ පපුව මැද ඉලක්ක කර වෙඩි තබා ඇත.

වෙඩි වැදී තුවාල ලද සිසුවා රෝහලට ඇතුළත් කරන්නට සිසුවා සමග පැමිණි මිතුරන් හා අසල්වැසියන් ක්‍රියා කර තිබුණි. වෛද්‍යවරයා පොලිසියට ගොස් ව්‍යාජ පැමිණිල්ලක් සිදු කර දන්වා ඇත්තේ තම නිවසේ වාහන වලට අලාබ කරන්නට මෙම සිසුවා කටයුතු කළ නිසා වෙඩි තැබූ කතාවකි.

නමුත් සිද්ධිය දුටුවන්ගේ සාක්ෂි අනුව එවැන්නක් සිදුව නැති බව පොලිසියට ඒත්තු යන ලදි.

සිද්ධිය සම්බන්ධ විමර්ශන වලින් පසු අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කළ පසුව ලබන මස 2 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා. මහරගම පිළිකා රෝහලට (අපේක්ෂා) අනුයුක්තව කටයුතු කරන තාරක ප්‍රියජීව ඇල්විටිගල නමැති මෙම වෛද්‍යවරයා එහි ලේ බැංකුවේ සේවය කරන බව පැවසිණි. රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා මාධ්‍ය වෙත දන්වා තිබුනේ තාරක නමැති මෙම වෛද්‍යවරයාගේ ක්‍රියාව ගැන කම්පා වන බවත් ඔහු අපේකෂා රෝහලට නින්දාවක් අත්කරදී ඇති බවත්ය.

වැඩිදුර සොයා බැලීමේදී තාරක ඇල්විටිගල නමැති මෙම වෛද්‍යවරයා රාජකීය විදුහලේ ආදි සිසුවෙකු බවත් රුසියාවේ Smolensk State Medical Academy වෙතින් උපාධිය ලබාගත් අයෙකු බවත් පසුව හෝමාගම මූලික රෝහලේද සේවය කර ඇති බවත් තොරතුරු වාර්තාවේ. ඔහු Arawwala Family Medicare හිද වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බව වාර්තා වේ. ඔහු එක් දියණියකගේ පියෙකි.

මෙම වෛද්‍යවරයාට මානසික රෝගයක් තිබේද යන්න සොයා බලන ලෙස ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විනිසුරු නියම කර තිබෙන අතර ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවාගේ තත්වය බරපතල නොවන බව වාර්තාවේ ෴

***************************************

මහනුවර භූ චලනයේ වාර්තාව නිකුත් වෙයි – විශේෂ නිර්දේශ කිහිපයකුත් ඒ අතර

(25.11.2020 – 08:04 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශයේ කෙටි කාලයක් තුළ එකම කලාපයක භූ චලන සිදුවී ඇති බැවින් අඛණ්ඩව දිගුකාලීන අධීක්ෂණ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

පසුගිය 18 වන දා මහනුවර දිගන ප්‍රදේශයෙන් වාර්තා වූ භූ චලනය පිළිබද විද්වත් වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඊයේ (23) භාර දුන්නා.

ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් සිදුකරන ලද විමර්ශනවලට අදාළ කරුණු එහි ඇතුළත් බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ. එම කරුණුවලට අනුව ප්‍රදේශයේ හුණුගල් බහුල වුවද හුණුගල් කැඩීම නිසා මෙම කම්පනය සිදුව ඇති බවට ප්‍රකාශ කළ නොහැකි බවටයි එම කමිටුව දැනුම් දී ඇත්තේ.

භූ කම්පනය පිළිබදව තවදුරටත් ගවේෂණය කළ යුතු බවත් ප්‍රදේශයේ ජලාශ හා ජනතාවගේ ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ කිහිපයක් ද එම භූ විද්‍යාඥයින් සිය වාර්තාව මඟින් පෙන්වා දී තිබෙනවා. සවිස්තරාත්මක භූ විද්‍යාත්මක, ව්‍යුහාත්මක සිතියමක් සම්පාදනය කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් යෙදවීමටද මෙහිදී යෝජනා වී ඇතැයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉරි තැලීම් සමීක්ෂණයේදී කරන ලද නිරීක්ෂණ අවශ්‍ය භූ විද්‍යාත්මක යෙදවුම් සමඟ නැවත ඇගයුම් කටයුතු සිදුකිරීම සඳහා තවදුරටත් සමීක්ෂණ කළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

විශේෂයෙන් වික්ටෝරියා වේල්ලෙහි භූ කම්පන උපකරණයක් සවි කිරීමට පියවර ගත යුතු බවට ද නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, වික්ටෝරියා ජලාශයට මෙන්ම සියළුම ජලාශවල ආරක්ෂාව උදෙසා වැඩපිළිවෙලක් ආරම්භ කරන බව එම වාර්තාව ලබාදුන් අවස්ථාවේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

පසුගිය දා සිදුවූ මෙම භූ කම්පනය නිසා වික්ටෝරියා ජලාශයේ වේල්ලට කිසිදු හානියක් සිදුව නොමැති බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *