හිජාස් හිස්බුල්ලාට මුදල් ලැබීම ගැන ප්‍රකාශ 115 ක්

හිජාස් හිස්බුල්ලාට මුදල් ලැබීම ගැන ප්‍රකාශ 115 ක්

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අයත්, පුරාවිද්‍යා ඉඩමක් ඩෝසර් කළැයි චෝදනා

මෙරට මහාචාර්යවරයෙකුගෙන් ලෝකයට නව මකුළු විශේෂ 104 ක්

*********************************************

හිජාස් හිස්බුල්ලාට මුදල් ලැබීම ගැන ප්‍රකාශ 115 ක්

(25.11.2020 – 08:13 +0530 – hirunews.lk/sinhala)

දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලාට දේශීය සහ විදේශීය වශයෙන් මුදල් ලැබීම සම්බන්ධයෙන් 115 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ ඊයේ (24) ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැදවූ අවස්ථාවේදියි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන අධිකරණයට ඉදිරිපත් කළොත් එය පිටතට නිරාවරණය වන බැවින් ඉදිරි කටයුතු සඳහා බාධාවක් වන බවයි ෴

*********************************************

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අයත්, පුරාවිද්‍යා ඉඩමක් ඩෝසර් කළැයි චෝදනා

(25.11.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මුහුණලා නාමල් පොකුණ නම් පුරාවස්තු පිහිටා ඇති භූමිය ඩෝසර් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුවල සත්‍යතාව සොයා බැලීම සඳහා අද (25) පෙරවරුවේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පිටත් කර හරින බවයි.

මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය වෙත තොරතුරු වාර්තා වුණේ ඩෝසර් කර ඇතැයි කියන මෙම භූමි ප්‍රදේශය මහවැලි අධිකාරියට අයත් වන බවයි.

මේ හේතුවෙන් තොරතුර පිළිබදව අප මහවැලි අධිකාරියේ දිඹුලාගල කොට්ඨාශ කළමනාකාර තුසිත හේරත් මහතා ගෙන් ද විමසීමක් කළා.

ඔහු ද සදහන් කළේ අදාළ සිද්ධිය පිළිබදව අද (25) දිනය තුළ විමර්ශනයක් සිදුකරන බවයි.

මෙම පුරාවස්තු භූමියේ හානියක් සිදුකර ඇති බවට වාර්තා වී ඇති තොරතුරකට අනුව අප ප්‍රාදේශීය වාර්තාකරු සූක්ෂම ලෙස එම ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වී තිබුණා.

එහිදී අනාවරණ වී ඇත්තේ මෙම පුරාවිද්‍යා භූමියේ චෛත්‍ය කොටස්, මුරගල් මෙන්ම වටිනා පෞරාණික වස්තු රැසක් විනාශයට පත්ව ඇති බවයි.

මේ අතර, මතභේදයට තුඩු දුන් කුරුණෑගල පිහිටි බුවනෙකබාහු රජුගේ බව කියන රජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට මාස 4 ක් ඉක්ම ගොස් තිබෙනවා. ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳව ඊයේ (24) අයවැය විවාදයේදී අදහස් පළ කරන අවස්ථාවේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මේ පිළිබදව කරුණු මතුකළා.

*********************************************

මෙරට මහාචාර්යවරයෙකුගෙන් ලෝකයට නව මකුළු විශේෂ 104 ක්

(25.11.2020 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු නව මකුළු විශේෂ 104 ක් ලෝකයට හඳුන්වා දී තිබෙනවා.

තවත් නව මකුළු විශේෂ 50 ක් පමණ හඳුන්වා දීමට අදාළ කටයුතු අවසන් අදියරේ පවතින බවයි එම මහාචාර්යවරයා සඳහන් කළේ.

ඔහු ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පරිණාමය, පරිසර විද්‍යාව සහ පරිසර ජීව විද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා වන මහාචාර්ය සුරේෂ් පී. බෙන්ජමින් මහතායි. ඔහු මේ වන විට ලෝකයට හඳුන්වා දී ඇති මකුළු විශේෂ 104 රෙන් 82 ක් සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වීම ද විශේෂත්වයක්.

වෙනත් රටවලින් සොයාගෙන ඇති මකුළු විශේෂ සංඛ්‍යාව 22 ක්.

ඉන්දුනීසියාවෙන් 7 ක්, බ්‍රසීලය සහ ඉන්දියාවෙන් 4 බැගින් මැලේසියාවෙන් 3 ක්, ටැන්සානියාවෙන් දෙකක් (2), මැඩගස්කරයෙන් සහ ඩොමිනිකන් රාජ්‍යයෙන් එක (1) බැගින් මෙලෙස විදේශ රටවලින් නව මකුළු විශේෂ 22 ක් සොයා ගත් බවයි ඔහු සඳහන් කළේ.

මීට අමතරව මකුළුවන් දැල් සාදන ආකාරය සම්බන්ධයෙන් ඔහු සිය ආචාර උපාධිය සම්පූර්ණ කර ඇති අතර ඔහුගේ බිරිඳ වන දුශානි බෙන්ජමින් මහත්මියගේ නමින් නව මකුළු විශේෂයක් නම් කිරීමට ද මහාචාර්යවරයා කටයුතු කර තිබෙනවා.

මෙරට ඇති ජෛව විවිධත්වයට හානි පැමිණවීම මගින් මකුළුවන්ට තර්ජන පැමිණිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව වනාන්තර විනාශය අවම කරමින් මකුළුවන් ඇතුළු මෙරට ජෛව විවිධත්වය ආරක්ෂා කර ගත යුතු බවයි ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පරිණාමය, පරිසර විද්‍යාව සහ පරිසර ජීව විද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා වන මහාචාර්ය සුරේෂ් පී. බෙන්ජමින් මහතා ප්‍රකාශ කළේ.

***************************************

(25.11.2020 – 09:00 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනාකමකින් යුත් කහ තොගයක් සමඟ දෙදෙනෙකු (2) පුත්තලම කොට්ඨාශ අපරාධ හා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් හමුදාවට ඊයේ ලද බුද්ධි තොරතුරකට අනුවයි.

ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති කහ ප්‍රමාණය කිලෝ 232 ක් පමණ වන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ.

මෙම කහ තොගය ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

***************************************

(25.11.2020 – 10:50 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වී වසර 20 ක බරපතල සිර දඩුවම් ලැබ සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාමගේ ඇප ඉල්ලීම කොළඹ – පළමු ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (25) ප්‍රතික්ෂේප කළා.

මෙම ඇප ඉල්ලීම සලකා බලනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේයි.

එය විභාගයට ගත් අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබියදී අදාළ ඇප අයදුම්පත විභාගයට ගත නොහැකි බවයි.

මීට පෙර රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ද බස්නාහිර පළාත් බඳ පළමු ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ, ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින්.

2018 වසරේදී කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාල කටයුතු ඉටු කර දීම සඳහා ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් මිලියන 20 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බවට මොවුන්ට චෝදනා එල්ල වුණා.

නඩුවේ තීන්දුව ලබා දෙමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට වසර 20 ක සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කිරීමටයි බස්නාහිර පළාත් බඳ පළමු ත්‍රිපුද්ගල මහාධිකරණය පියවර ගනු ලැබුවේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු හතරදෙනා (4) විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරනවාද, නැද්ද යන තීන්දුව ලබන 30 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ, 2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි පවසමින් සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ද පෙරේදා ඉවත් කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අයයි ෴

***************************************

අවදානම නොතකා මුහුදු ගිය යාත්‍රාවක් පෙරළී ධීවරයෙකු මරුට

(25.11.2020 – 11:47 +0530 – hirunews.lk/sinhala)

අනතුරු ඇගවීම් නොතකා ත්‍රිකුණාමලය – තිරිකඩවූර් ධීවර තොටුපළෙන් මුහුදු ගිය යාත්‍රාවක් පෙරළීමෙන් ධීවරයෙකු මිය ගොස් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (25) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි ත්‍රිකුණාමලය – තිරිකඩවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් සුළි කුණාටුව හේතුවෙන් මුහුදු නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබූ අතර මෙම පිරිස එය නොතකමින් මෙලෙස මුහුදු ගොස් ඇති බව ත්‍රිකුණාමල පොලීසිය සඳහන් කළා.

මේ අතර, සුළි කණාටුව හේතුවෙන් යාපනය – වැල්වැටිතුරෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය යාත්‍රාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට ගසාගෙන ගොස් තිබියදී එරට පොලීසිය මගින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි සිටි යාපනය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ධීවරයෙකු ද බේරාගෙන ඇති අතර, ඉන්දීය විදේශ අමාත්‍යාංශය මේ පිළිබදව යාපනයේ පිහිටි මෙරට නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දී ඇති බව සඳහන්.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් සුළි කුණාටුව අද (25) අලුයම 02:30 වන විට කන්කසන්තුරේ වෙරළට කිලෝමීටර් 226 ක් ඊසාන දෙසින් ස්ථානගතව පැවතියා.

මෙය ඉදිරි පැය 24 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වී දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

***************************************

(25.11.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාන්විතයේදී, අභීත මෙන්ම ප්‍රධානතම මෙහෙයක් ඉටුකළ තවත් එක් ඒකකයක් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝනය 25 වන සංවත්සරය සැමරුවා.

ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (24) පැවැත්වුණේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේදීයි.

1972 වර්ෂයේ සෝවියට් රුසියාවේ නිෂ්පාදිත එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්කර ගැනෙන්නේ, 1995 වසරේ නොවැම්බර් 24 වැනිදායි.

යානයේ පවතින ඉහළ ප්‍රහාරක හැකියාව හේතුවෙන් එය පියාඹන යුද ටැංකිය ලෙසද විරුදාවලියට ලක්ව තිබෙනවා.

හෙලිකොප්ටර් යානා 3 කින්, නියමුවන් 6 දෙනෙකුගෙන් සහ ඉංජිනේරු කාර්ය මණ්ඩල සාමාජිකයින් 26 දෙනෙකුගෙන් සමන්විතව එම්.අයි. 24, අංක 9 බලඝනය ආරම්භ කෙරුණු අතර එහි ප්‍රථම අණදෙන නිලධාරියා වූයේ ස්කොඩ්රන් ලීඩර් ජගත් රොද්‍රිගෝ මහතායි.

ත්‍රස්තවාදයට එරෙහි තිස් (30) වසරක යුද්ධයේදී 1995 වසරේ සිට සියලුම ප්‍රධාන පෙළේ මෙහෙයුම් සඳහා එම්.අයි. 24 හෙලිකොප්ටර් යානා සක්‍රීයව දායක වී තිබෙනවා.

එම මෙහෙයුම් අතරතුරදී යානා 8 ක් සතුරු ප්‍රහාරවලට ලක්ව ඇති අතර, එහි පළමු ප්‍රහාරය එල්ල වූයේ 2001 වසරේදීයි.

මෙරට භෞමිකඅඛණ්ඩව ආරක්ෂා කිරීම සඳහා පසුගිය වසර 25 තුළ ගුවන් හමුදා අංක 9 බලඝනයේ ගුවන් විරුවන් 28 දෙනෙකු සිය ජීවිත පූජා කර තිබෙනවා.

ගුවන් හමුදාවේ එම්.අයි. 24 හෙලිකොප්ටර් බලඝනයේ 25 වැනි සංවත්සරයට සමගාමීව, අදාළ කාලය තුළදී මියගිය විරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් ඊයේ (24) හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත් උත්සවයක් පැවැත්වුණා.

ඊට අමතරව එම කඳවුරු පරිශ්‍රයේ රුක්රෝපණ වැඩසටහනක් ද පැවැත්වුණේ එම්.අයි. 24 බලඝනයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්.

***************************************

(25.11.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

මහවිරු දිනය සැමරීම සඳහා ජනතාව පෙළඹවීම සහ ඊට අවශ්‍ය පරිසරය සකස් කිරීම යන චෝදනා මත පුද්ගලයින් 46 දෙනෙකුට එරෙහිව පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

ඉන් 13 දෙනෙකුම දේශපාලනඥයින් වන අතර, ඊට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ස්කන්දරාජා සහ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී. රවිහරන් ද ඇතුළත්.

සැකකරුවන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් මහවිරු දිනය සැමරීමට කටයුතු නොකළ බවයි.

කෙසේ වෙතත්, මෙම පෙත්සම් ඊයේ (24) මුලතිව් මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් හමුවේ සලකා බැලුණු අවස්ථාවේ අනිද්දා (27) දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දෙපාර්ශවයටම නියෝග කර තිබෙනවා ෴

***************************************

(25.11.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (25) නියෝග කළා.

ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී අවතැන්වූවන් ඡන්ද පොල වෙත ප්‍රවාහනය කිරීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහජන මුදල් සාපරාධී ලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද (25) දිනයේ කැදවූ අවස්ථාවේදියි.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත සැකකරු මුදා හළ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඇපකරුවන් ඔහුගේ ළඟම ඥාතීන් විය යුතු බවයි.

එසේම විදෙස් ගමන් තහනමක් ද රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාට පැනවූ අතර ඒ සම්බන්ධයෙන් ආගමන විගමන ජනරාල්වරයාට දන්වන ලෙස ද නියෝග කර තිබෙනවා.

එමෙන්ම, සැකකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔවුන් දැනුම් දෙන අවස්ථාවකදී පෙනී සිටින ලෙසයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ෴

=====================================

(25.11.2020 – 09:13 +0530 – hirunews.lk/sinhala)

ජාතික බෝ වන රෝග විද්‍යා ඒකකය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

අදාළ හෙදියට කොරෝනා ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයෙකුගෙන් නොවන බවටයි මේ වන විට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මේ අතර, මුව ආවරණ සහ මීටරේ දුර පවත්වා නොගත් පුද්ගලයින් 61 දෙනෙකු ඊයේ (24) දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සමස්තය 588 දක්වා ඉහළ යන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++

(25.11.2020 – 11:25 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ රඳවා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඊයේ (24) රාත්‍රියේ ඔහු මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් ශානි අබේසේකර රඳවා සිටි මහර බන්ධනාගාරයේ අදාළ වාට්ටුවෙන් මීට පෙර කොරෝනා ආසාදිතයන් වාර්තාවී නොමැති අතර, ඔහුට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණ වී නැහැ.

බන්ධනාගාර ආශ්‍රිතව ඊයේ (24) දිනයේත් අලුතින් ආසාදිතයන් 24 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ අනුව බන්ධනාගාරවලින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 753 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ පොලිසියේ තවත් 19 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අලුතින් හඳුනාගෙන ඇති බවයි. ඒ සමඟ පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ මුළු ආසාදිත සංඛ්‍යාව 1,150 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට (2) ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු එම පොලිස් ස්ථානයේ රාජකාරි ආවරණය සඳහා හලාවත පොලිසියේ නිලධාරීන් යොදවා තිබෙනවා.

ජාතික බෝ වන රෝග විද්‍යා ඒකකය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. ඇයට කොරෝනා ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයෙකුගෙන් නොවන බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ ෴

++++++++++++++++++++

(25.11.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

පාසල් තෙවන වාරය ආරම්භ වී තුන්වන දිනය වන අද (25) දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් සිසුන් සැළකිය යුතු පිරිසක් පාසල් වෙත පැමිණ තිබුණේ නැහැ.

මේ අතර කොවිඩ්-19 ආසාධනය වූ අම්බලන්ගොඩ ප්‍රදේශයේ දෙමාපිය යුවලකගේ දරුවන් අම්බලන්ගොඩ ධර්මාශෝක මහ විද්‍යාලයට හා කුලරත්න මහ විද්‍යාලයට පැමිණ තිබීම හේතුවෙන් එම පාසල්වල සිසුන්ගේ පැමිණීමද කැපී පෙනෙන ලෙස අඩු වී තිබුණා.

තෙවන පාසල් වාරය සදහා බස්නාහිර පළාතේ පාසල් හා හුදකලා ප්‍රදේශ කිහිපයක පාසල් හැරුණු කොට අනෙකුත් පාසල් ආරම්භ කෙරුනේ පසුගිය සදුදා දිනයේයි.

ඒ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු සදහා පමණයි.

බොහෝ පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කර තිබූ නමුත් පසුගිය දින දෙකට සාපේක්ෂව අද ඇතැම් පාසල්වල සිසුන් පාසල් වෙත පැමිණීමේ අඩුවක් දක්නට ලැබුනා.

කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග මහනුවර ප්‍රදේශ කිහිපයකට සංචරන සිමා පනවා ඇති පසුබිමක, අද (25) දිනයේ මහනුවර පාසල්වලට සිසු සිසුවියන් පැමිණ තිබුණේ ඉතා අඩුවෙන්.

ඇතැම් පාසල්වලට එක් සිසුවෙකු හෝ පැමිණ නොතිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

අම්බලන්ගොඩ ගොඩහේන ප්‍රදේශයේ ආරක්ෂක අංශය නිලධාරියෙකු හා ඔහුගේ බිරිද පසුගිය සදුදා දිනයේදී පී.සී.ආර්.පරික්ෂණ සදහා පෙනීසිටීමට නියමිතව තිබියදී ඔවුන් තම දරුවන් පාසල් එවීමටයි කටයුතු කර තිබුනේ.

අදාල පී.සී.ආර්.වාර්තා අනුව ආරක්ෂක අංශ නිලධාරියා හා ඔහුගේ බිරිද කොවිඩ් ආසාධිතයන් බව තහවුරු වී තිබෙනවා.

එම පුවත වාර්තාවීමත් සමග එම දෙපලගේ දරුවන් අධ්‍යාපනය ලබන පාසල්වන අම්බලන්ගොඩ ධර්මාශෝක මහ විද්‍යාලයේ හා අම්බලන්ගොඩ කුලරත්න මහ විද්‍යාලයේ සිසුන් 25 දෙනෙකු හා ගුරුවරුන් 08 දෙනෙකු නිරෝධායනට යොමු කර තිබෙනවා.

ඒ හේතුවෙන් අද (25) දිනයේ අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයේ පාසල් සිසුන් කිසිවෙකුත් පාසල් පැමිණ තිබුනේ නැහැ.

කුලරත්න විද්‍යාලයේ සිසුන් 07 දෙනෙකු පමණක් පාසලට පැමිණි බවයි විදුහල්පතිවරයා ප්‍රකාශ කලේ.

මේ අතර, ගුරු වෘත්තීය සංගම් ප්‍රකාශ කලේ කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂාවීම සදහා ගුරුවරුන් දැනුවත් කිරීමට හෝ රජය ක්‍රියාකර නොමැති බවයි.

+++++++++++++++++++++

‘ඔන්ලයින්’ වරම් නැති දරුවෝ

(25.11.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයෙන් කඩා වැටුණු පාසල් අධ්‍යාපන කටයුතු යළි ශක්තිමත් කිරීමට පිළියමක් ලෙස ‘ඔන්ලයින්’ ක්‍රමවේදය හරහා අධ්‍යාපනය ලබා දීමට බොහෝ පාසල් උත්සුක වුණා.

නමුත් එහි නිසි ඵල නෙලා ගන්නට ඇතැම් ප්‍රදේශවල දරුවන්ට නොහැකි වී ඇත්තේ විවිධ තාක්ෂණික බාධා පැවතීම හේතුවෙන්.

කෙසේ වෙත්ත විදුලි සන්දේශන නියාමන කොමිසම මේ වන විට එම ගැටලුවලට විසඳුම් ලබාදීමටත් කටයුතු කරමින් සිටිනවා.

කොවිඩ් වසංගතය මුළු රටම වෙලාගෙන ඇති පසුබිමක ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ක්ෂේත්‍රයක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයයි.

මෙම වසරේ වැඩි කාලයක් සිසු අධ්‍යාපනය වෙනුවෙන් පාසල් විවෘත කර තැබීමට අවස්ථාව හිමිවූයේ නැහැ.

මේ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යම් සහනයක් ලබා දීමේ අපේක්ෂාවෙන් ‘ඔන්ලයින්’ ක්‍රමවේදය ඔස්සේ විෂය කරුණු දරුවාට සමීප කිරීමට බලධාරීන් පියවර ගත්තා.

කෙසේ වුවත් කුරුණෑගල රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුණුමාව, අලවතුවල, කිතුල්ගොල්ල, බඹරගහ කන්ද යන ගම්මානවල දුරකතන සංඥා පහසුකම් නොමැතිවීමෙන් නව ක්‍රමය ඔස්සේ අධ්‍යාපන වරම් ලබා ගැනීමට නොහැකිව දරුවන් පත්ව සිටින්නේ දැඩි අසීරු තත්ත්වයකටයි.

වත්මන් කොවිඩ් උවදුර හමුවේ තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යම් ප්‍රමාණයකට හෝ ඉටු කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙන් ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් දුෂ්කර ප්‍රදේශවල පවතින මෙම සන්නිවේදන ගැටලුවලට පිළියම් යෙදීම සඳහා ගමට සංනිවේදනය වැඩසටහන යටතේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

බදුරලිය, කැළණිකන්ද ප්‍රදේශය ෆෝ-ජී (4G) තාක්ෂණයෙන් බලගැන්වීමට අවශ්‍ය කටයුතු පසුගියදා ආරම්භ කෙරුණේ ඒ අනුවයි.

ඒ එම ප්‍රදේශයේ දරුවන් දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු ‘ඔන්ලයින්’ ක්‍රමවේදයට සිදුකරන බවට පළවූ සමාජ මාධ්‍ය වාර්තාවන්ට කඩිනම් ප්‍රතිචාර දක්වමිනුයි.

මේ අතර මොණරාගල දුෂ්කර ප්‍රදේශයක් වන මීයාගල ගම්මානයද 4G තාක්ෂණයෙන් බලගැන්වීමට කටයුතු කෙරුණේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඔෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

++++++++++++++++++

(25.11.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 74 දෙනෙකුම බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයක්.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ එම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු ද කොරෝනා වැළදීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

මෙරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ කාලයේදී ද අටළුගම ප්‍රදේශයෙන් ආසාදිතයන් හඳුනාගෙන ගැනුණු අතර, එම ප්‍රදේශයෙන් නැවත රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++

(25.11.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (24) දිනයේ වාර්තාවූ ආසාදිතයන් 458 දෙනා අතරින් 259 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්.

ඉන් 90 දෙනෙකුම වාර්තාවන්නේ කොම්පඤ්ඤ වීථිය ප්‍රදේශයෙන්. ආසාදිතයන් 44 දෙනෙකු කොටහේන සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශවලින් වාර්තාවී ඇති අතර, 39 දෙනෙකු මරදාන ප්‍රදේශයෙනුත්, 26 දෙනෙකු ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයෙනුත්, 23 දෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම දෙමටගොඩින් 21 දෙනෙකුද ඊයේ (24) වාර්තාවූ බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොරෝනා ආසාදිතයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකු වන මොහු ඊයේ (24) රාත්‍රියේ මෙලෙස පළා ගොස් තිබූ අතර වැලිකන්ද නගරයේ රැදී සිටියදී ඔහුව පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

තවත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 485 දෙනෙකු අද (25) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,447 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවදුරටත් පුද්ගලයින් 5426 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි.

අද (25) වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,967 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *