හිටපු ජනපති සිංගප්පූරු ගියේ විනෝද වෙන්නද ?

හිටපු ජනපති සිංගප්පූරු ගියේ විනෝද වෙන්නද ?

*********************************************

හිටපු ජනපති සිංගප්පූරු ගියේ විනෝද වෙන්නද ?

(25.11.2020 – 14:00 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරු රෝහලකට යාමට තිබියදී තිරුපති වන්දනා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෑම සහ පාස්කු ප්‍රහාරය එල්ලවූ දින කිහිපයේ පෞද්ගලික සංචාරයක් කර තිබීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ දී ප්‍රශ්න කෙරුණා.

මේ අතර අදත් (25) හිටපු ජනාධිපතිවරයා සාක්ෂි ලබාදීමට ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (24) සාක්ෂි ලබාදුන්නේ හත්වැනි (7) දිනටයි.

එහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනීසිටින නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා හිටපු ජනාධිපතිවරයා වෙත හරස් ප්‍රශ්න යොමු කරමින් විමසා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල වූ දින කිහිපයේ විදෙස් ගත වූයේ පෞද්ගලික සංචාරයක් සඳහාද යන්නයි.

එය පෞද්ගලික සංචාරයක් බවත් ඊට තම බිරිද හා දරුවන් එක් වූ බවත් තමන් එලෙස ගමන් ගත්තේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරු රෝහලකට බවත් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් සඳහන් කළා.

නීතිඥ දිල්ෂාන් ජයසූරිය – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ :

“ඔබ කියන විදියට ප්‍රතිකාර ගන්නනම් යායුතුව තිබුණේ සිංගප්පූරුවට. නමුත් ඔබ ලංකාවෙන් පිටවෙලා මුලින්ම ගිහින් තියෙන්නේ ඉන්දියාවේ තිරුපති වඳින්නනෙ ?”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන :

“ඔව් මුලින්ම ගියේ තිරුපති “

නීතිඥ දිල්ෂාන් ජයසූරිය – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ :

“තිරුපති කියන්නෙ ඉතා දුෂ්කර ගමනක්නෙ. බොහොම රෝගී තත්ත්වයක ඉන්න කෙනෙක්ට එහෙම දුෂ්කර ගමනක් යන්න බැහැනේ, නේද හිටපු ජනාධිපතිතුමා ?”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන :

“මම ගොඩක් අමාරු, ඇවිදින්න බැරි ලෙඩකට බෙහෙත් ගන්න නෙවෙයි සිංගප්පූරු යන්න ගියේ. ඒ නිසා තිරුපති වඳින්න යන එක ප්‍රශ්නයක් නෑ. එහෙ පහසුකම් තියෙනවා. මම වාර්ෂිකව තිරුපති යනවා. සිංගප්පුරු ගියේ ඊට පස්සෙ. වෛද්‍ය පරීක්ෂණයක් කරගෙන ප්‍රතිකාර ගන්නයි ගියේ.”

නීතිඥ දිල්ෂාන් ජයසූරිය – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ :

“ඔබ සිංගප්පූරු ගියේ විනෝද වෙන්න කියල සමාජ මාධ්‍ය හා මාධ්‍ය වාර්තා පළවුණා. ඔබ ඒවා අසත්‍යයක් කියල කිසිම දවසක ඒ ආයතනවලට දැනුම් දීලා නෑ නේද ?”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන :

“මාධ්‍යවල යන ඒවා අපිට පාලනය කරන්න බැහැනෙ.”

අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සාක්ෂි විමසීම අද (25) පෙරවරුව දක්වා කල්තැබුණු අතර ඒ අනුව 8 වෙනි දිනටත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසමට පැමිණියා.

මේ අතර ඊයේ (24) රාත්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණියේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නිමල් ලිව්කේ මහතායි.

තමන්ව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක උපදේශක‍යකු ලෙස පත්කර ඇත්තේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී බව සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් එම තනතුරට පත් කිරීමෙන් පසු එකම අවස්ථාවකවත් ආරක්ෂක රැස්වීම්වලට තමන් නොකැඳවූ බව සඳහන් කළ නිමල් ලිව්කේ මහතා වැඩිදුරටත් පැවසුවේ, වසරකට පමණ පසු තමන් මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගිය බවයි.

එහිදී රාජ්‍ය බුද්ධි සේවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඒ වනවිට එහි අධ්‍යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන මහතා මීට පෙර එම ධූරයේ සේවය කළ අය ළඟින්වත් තැබිය නොහැකි අඩු මට්ටමක සිටි බවත්, තමන් පැවසූ බව සාක්ෂිකරු සඳහන් කළා.

එහිදී ‘හා හා හරි හරි මම බලන්නම්’ යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බවත් ඉන් සතියකට පසු තම සේවය අත්හිටවූ බවට හිටපු ජනාධිපතිවරයා විසින් ලිපියකින් දන්වනු ලැබූ බවත් නිමල් ලිව්කේ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

මේ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඊයේ ‍(24) රාත්‍රියේ දෙවන දිනටත් සාක්ෂි ලබාදීමට ජනාධිපති කොමිසමට කැඳවූවා.

රජයේ අධිනීතිඥවරයා :

“මේ කොමිසමට සාක්ෂි ඉදිරිපත් වුණා ඔබ සහරාන්ගේ පල්ලි දියුණු කරන්න උපකාර කළා කියලා..‍”

එම්. එම්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :

“නැහැ. ස්වාමීනි ඒක බොරුවක්”

රජයේ අධිනීතිඥවරයා :

“සහරාන් හෂීම් කාට පක්ෂවද වැඩ කළේ ?”

එම්. එම්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :

“සහරාන් වැඩ කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට. 2015 මහමැතිවරණයෙන් පසු තිබුණ ජය සැමරුමකදී සහරාන්ගේ පිරිස ඇවිත් ගැටුමක් ඇතිකරගත්තා අපි සහ එතනදි කිහිප දෙනෙක් තුවාල වුණා ඒ අතර සහරාන්ගේ මල්ලිත් හිටියා. සහරාන්ගෙ මල්ලිව බලන්න මඩකලපුවෙ රෝහලට මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ආවා.”

එහිදී සාක්ෂිකරු විසින් එම සිදුවීම සිදු වූ දිනයේම සහරාන් හෂීම් සිය ජාතික තව්හිද් ජමාත් සංවිධාන කාරියාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන වීඩියෝවක් ජනාධිපති කොමිසමට ලබාදුන්නා.

මෙහිදී සහරාන් හෂීම් විරෝධතාව අතරතුර සඳහන් කරන්නේ “අපි යහපාලනයේ මෛත්‍රීට සහය දුන්නේ. මෛත්‍රී ගේන්න තමයි අපි සහය දුන්නේ. ඒ නිසා මේ ජාතික ලැයිස්තුවේන් හිස්බුල්ලා ගෙන ඒම වැරදියි. අපි ජනාධිපති මෛත්‍රීපාලට ෆැක්ස් එකක් යවනවා මේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය හිස්බුල්ලට දෙන්න එපා කියලා” යනුවෙන් බව හිස්බුල්ලා මහතා කොමිසමට සඳහන් කළා.

+++++++++++++++++

***************************************

(25.11.2020 – 16:19 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර මුහුදේ පසුගිය දා ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුවෙන් සිදුවූ සාගර දූෂණය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම අවසන් කිරීම පිළිබඳව නීතිපතිවරයා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් සහ සිදුවූ සාගර දූෂණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ විද්වත් කමිටුව සමඟ එම සාකච්ඡාව සිදුකළ බවයි ෴

***************************************

(25.11.2020 – 16:39 +0530 – hirunews.lk/sinhala)

පළමුවරට ‘ඔන්ලයින්’ තාක්ෂණය යොදාගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සහාව හෙවත් කෝප් කමිටුව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙලෙස ඔන්ලයින් තාක්ෂණය යොදාගනිමින් කෝප් කමිටුව හෙට (26) දිනයේදී රැස්වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව කැළණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් හෙට (26) දිනයේදී කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරෙනු ඇති.

එහිදී සෞඛ්‍ය, කර්මාන්ත සහ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගැනීමට නියමිතයි ෴

***************************************

(25.11.2020 – 17:02 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට යාත්‍රාවක් තූත්තුකුඩියට දකුණින් වන ගැඹුරු මුහුදේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දින 9 ක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව අද (25) අත්අඩංගුවට ගත් මෙම යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් හයදෙනෙකු සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ‘ෂෙනායා දුව’ නැමති යාත්‍රාවේ සිටි පුද්ගලයින් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කර ඇත්තේ පාකිස්ථානයේ කරච්චි නුවරට ආසන්න ගැඹුරු මුහුදේදී එරටට අයත් නෞකාවකින් අදාළ මත්ද්‍රව්‍ය තොගය තම යාත්‍රාවට ලබාදුන් බවයි.

ඒවා ඕස්ට්‍රේලියාව ඇතුලු බටහිර රටවලට ප්‍රවාහනය කරමින් තිබූ බව ඔවුන් සඳහන් කර තිබෙනවා ෴

***************************************

මහනුවරදී නිවසක් මතට තාප්පයක් කඩා වැටේ

(25.11.2020 – 14:31 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (24) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මහනුවර දෙල්තොට, පට්ටියගම ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවසක කොටසක් හා පැති බැම්මක් කඩා වැටී තිබේ.

අදාළ පැති බැම්මට යටින් ජලය කාන්දු වෙමින් පවතින බවට හඳුනාගැනීමත් සමග පහළින් පිහිටි නිවසේ පදිංචිකරුවන් ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එම සිද්ධියෙන් ඊට පහළින් පිහිටි නිවසට ද දැඩි ලෙස හානි සිදුවිය.

මේ අතර නිවාර් සුළි කුණාටුව ඉදිරි පැය 24 ක කාලය තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ හරහා ගමන්කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් පවතින වැසි සහිත කාලගුණය හෙට (26) දිනයෙන් පසු ක්‍රමයෙන් අඩුවනු ඇති බවය.

***************************************

මුතුරාජවෙල පරිසර හානියට එරෙහිව පියවර නොගත් නිලධාරියාට දඬුවම් මාරුවක්

(25.11.2020 – colombotoday.com)

ගම්පහ කලාපය භාර පරිසර නිලධාරිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නියෝග මත මෙම පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

මුතුරාජවෙල පරිසර හානියට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් මෙම පිවවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන් බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මුතුරාජවෙල තෙත්බිම පිරවීමට පස් අදිමින් සිටි වාහන තමන් සියැසින් දුටු බවත්, එකී පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ගම්පහ පරිසර නිලධාරිවරයාට දැන්වූ නමුත් ඔහු කිසිදු පියවරක් නොගත් බවත් අමරවීර මහතා කීය.

මෙවැනි අවස්ථා රාශියක් නිරික්ෂණය කළ බව කී අමාත්‍යවරයා එකී නිරික්ෂණ වලින් පසු මෙම පියවර ගත් බවද සඳහන් කලේය.

විශේෂයෙන් මුතුරාජවෙල සිදුව ඇති හානිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඔහුගෙන් ඉල්ලූ නමුත් මාසයකට වඩා ගතවී ඇතත් මේ වනතුරු එය ඉටුවී නැතැයි ද හෙතෙම කියා සිටියේය. මෙම නිලධාරියා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට කැඳවා ඇති අතර වෙනත් නිලධාරියෙකු එහි යවන බව එම අධිකාරිය කියයි ෴

***************************************

දීඝවාපී දාගැබේ ශෛලමය මංජුසාවක රන් කරඬු 4 ක් – පළිඟු කරඬුවක්

(25.11.2020 – 16:47 +0530 – lankadeepa.lk)

ඓතිහාසික දීඝවාපි දාගැබේ දකුණු පස වාහල්කඩ කැණීමේදි හමුවු ශෛලමය මංජුසාවේ තිබී රත්රන් කරඬු 4 ක් සහ පළිගු කරඬුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයේ නිලධාරීහු සොයාගත්හ.

එම කරඩු හතර (4) තුළ රන් පත් ඉරුවලින් සකසන ලද කුඩා මංජුසා 6 ක ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබිණ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසා සිටියේ රත්රන් කරඬු 4 ක් එකම මංජුසාවක තිබී හමුව ප්‍රථම අවස්ථාව මෙය බවයි.

රත්රන් කරඬු තුළ අලංකාර ආභරණ කොටස් බවට සැක කළ හැකි පළිඟු දෙකක් (2) ද විය. වෙනත් කිසිදු කරඬුවක මෙපරිදි පළිඟු දක්නට නොලැබුණු බව පුරාවිද්‍යා නිලධාරීහු පැවසූහ.

පස්වැනි සියවසට අයත් දීඝවාපි දාගැබේ දකුණු වාහල්කඩ මත ඉකුත් 18 වැනි දින කැණීම් සිදුකරමින් සිටියදී, නිධන් හොරුන් විසින් විනාශ කරනු ලැබු ස්ථානයක් හඳුනා ගත් කැණීම් බාර නිලධාරි සේනක චන්ද්‍ර කුමාර මහතා ඇතුළු නිලධාරීහු එම ස්ථානය පරීක්ෂා කළහ. එහිදි කළුගලින් සකස් කරන ලද ආවරණයක් තිබී ඇති බව දැකගැනීමට හැකිවිය. දීඝවාපි රජමහ විහාරස්ථානායේ විහාරාධිපති මහඔය සෝභිත ස්වාමින් වහන්සේගේ සහ අම්පාර දිසාපති ඩී.එල්.එම්. බණ්ඩාරනායක මහතාගේ පරීක්ෂාව යටතේ එම ස්ථානයේ තවදුරටත් කැණීම් සිදු කරන ලදී. එහිදි අගල් 18 ක් උසින් යුත් ශෛලමය මංජුසාවක් සොයා ගැනීමට ඔවුන්ට හැකිවිය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසා සිටියේ, දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වසර තුනක (3) පමණ කාලයක් ගත වන බවත්, ඒ කාලය තුළ මෙම මංජුසාව සුරක්ෂිත කිරීමටත් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම සොයාබැලීම සඳහා මංජුසාව පුරාවිද්‍යා නිලධාරින් විසින් අම්පාර දිසා ලේකම් කර්යාලය වෙත ගෙන යන බවත්ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාර සංරක්ෂණ අධ්‍යක්ෂක ගීතානී කුරුප්පු ආරච්චි, පුරා විද්‍යා පර්යේෂන නිලධාරි ජනනී සේනවිරත්න, දීඝවාපි කැණීම් බාර නිලධාරි සේනක චන්ද්‍රකුමාර, කැණීම් භාර නිලධාරිනි අනුරාධා ප්‍රියදර්ශනී යන පුරා විද්‍යා නිලධාරින් සහ නිලධාරිනියන් විසින් අම්පාර දිසා ලේකම් කාර්ලයේ දී ඊයේ (23) මෙය පරීක්ෂා කරන ලදී.

මෙම පරීක්ෂණය අවසානයේදි රත්රන් කරඬු හතරක (4) වැඩ සිටි ධාතුන් වහන්සේලා 6 නම සඳහා බෞද්ධ පිළිවෙත්වලට අනුව වතාවත් ඉටු කරන ලදී.

එම ධාතුන් වහන්සේලා මහජන ප්‍රදර්ශනය සදහා දීඝවාපි රජමහා විහාරස්ථානයේ පහසුකම් සපයන බවත් ඒ සදහා දැනට පවතින කොරොනා තත්ත්වය මත තීරණ ගැනීමට සිදුවන බවත් දිසාපතිවරයා පැවසීය. එතෙක් අම්පාර දිසා ලේකම් කාර්යාලයේ විශේෂ කුටියක මෙම ධාතුන් වහන්සේලා තැන්පත් කර නිසි පරිදි පුජා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

***************************************

ඇප ලැබුණු රිෂාඩ් සති දෙකක් (2) නිරෝධායනයේ

(25.11.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (25) නියෝග කළා.

ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී අවතැන්වූවන් ඡන්දපොල වෙත ප්‍රවාහනය කිරීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහජන මුදල් සාපරාධී ලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේදියි.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත සැකකරු මුදා හළ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඇපකරුවන් ඔහුගේ ළඟම ඥාතීන් විය යුතු බවයි.

එසේම මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට දන්වන ලෙස ද නියෝග කෙරුණා.

එමෙන්ම, සැකකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔවුන් දැනුම් දෙන අවස්ථාවකදී පෙනී සිටින ලෙසයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් ඇප ඉල්ලීම ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා, රසික් ෆාරුක්, අනූජ ප්‍රේමරත්න ඇතුලු නීතීඥ මඩුල්ලක් විසින් සිදුකළ අතර, එම ඉල්ලීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විරෝධය පළ කළා.

මැගසින් බන්ධනාගාරයේ කොරෝනා පැතිරීමේ අවදානමක් පැවතීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීම සිදුකළ අතර, සැකකරු දින කිහිපයක් පොලීසියට අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම දඩුවමක් ලෙස සළකමින් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරයේ තබාගැනීම සිදුකළ නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ අධිකරණ පරිශ්‍රයට වාහන රැගෙනවිත් තිබුණේ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා අධිකරණයට දැනුම් දුන්නා.

ඔහු මේ බව කියා සිටියේ අදාළ දිනයේ සැකකරුට විශේෂ වරප්‍රසාද ලබාදෙමින් රැගෙන පැමිණි බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ ඉල්ලීමට අනුව නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් කරුණු දක්වමින්.

මන්ත්‍රීවරයා අධිකරණයට රැගෙන එන අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවන් වාහනය පසුපස පැමිණ ඇති බවට සී සී ටී වී දර්ශනවලින් ද හෙළිවී ඇති බවයි රහස් පොලීසියේ අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් හෙට (26) දිනයේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව දින 14 ක නිරෝධානයයකට ලක් කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ.

***************************************

(25.11.2020 – 20:51 +0530 – hirunews.lk/sinhala)

විදේශ සහ ජනමාධ්‍ය යන අමාත්‍යාංශ වැය ශීර්ෂයන් අද (25) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.

2021 අයවැයට අදාළව කාරක සභා අවස්ථාවේ තුන් වන විවාදය අද (25) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

================================

මහනුවර නගරයේ සියලු පාසල් ලබන මස 4 වනදා දක්වා වැසේ

(25.11.2020 – 16:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් මහනුවර නගරයේ සියලුම පාසල් හෙට (26) සිට ලබන මස 4 වනදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මහයියාව සහ අකුරණ යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස මෙලෙස නගරයේ සියලුම පාසල් වසා තැබෙන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහනුවර අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ෴

+++++++++++++++++++++

හෙට (26) සිට අපි ධාවනයෙන් ඉවත් වෙනවා – පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයක් කියයි

(25.11.2020 – 13:15 +0530 – sinhala.adaderana.lk)

සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට (26) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා සඳහන් කළේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවය.

“අද (25) දිනයේත් අපි ඉතා සාර්ථක ලෙස වාහන කිහිපයක් ධාවනයේ යෙදෙව්වා. නමුත් හෙට (26) වෙනකොට අපිට දුවන්න ක්‍රමයක් නෑ. ඒ නිසා අපි හෙට (26) දිනයේ ධාවනයෙන් ඉවත් වෙනවා. ඒකට විසඳුම තියෙන්නේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීම තුළයි. අපි ජනාධිපතිතුමාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඉල්ලන්නේ මේකට මැදිහත් වෙලා දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීමට පියවර ගන්න කියලා. මොකද පාසල් පද්ධතිය තිබුණොත් තමයි අපේ ආදායම් මාර්ග දියුණු වෙන්නේ,” යනුවෙන් ද රුවන් ප්‍රසාද් මහතා පැවසීය.

+++++++++++++++++

(25.11.2020 – 18:26 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 294 දෙනෙකු අද (25) හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඒ අනුව මේ වනවිට හඳුනගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21,261 ක් ෴

+++++++++++++++++++

(25.11.2020 – 19:27 +0530 – hirunews.lk/sinhala)

අකුරණ, බුළුගහතැන්න සහ තෙලඹුගහවත්ත මෙන්ම අටලුගම-නැගෙනහිර එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.

එමෙන්ම හුදෙකලා කර තිබූ කිරිමන්තුඩාව ග්‍රාමනිලධාරී වසම මේ මොහොතේ සිට විවෘත කරන බවයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

එම නිවේදනය පහතින් :

++++++++++++++++++++

(25.11.2020 – 20:22 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිලධාරීන් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එහි පොලිස් නිලධාරීන් 60 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලීසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 1080 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටියදියි කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

පෙරේදා දිනයේ මහර බන්ධනාගාරයේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයින් 6 දෙනෙකු හඳුනා ගැනුණු අතර, ශානි අබේසේකර ද එම පිරිස අතර වනවා.

වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු ඊයේ (24) රාත්‍රියේ මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවුණා.

බන්ධනාගාර ආශ්‍රිතව ඊයේ (24) දිනයේත් අලුතින් ආසාදිතයන් 24 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ අනුව බන්ධනාගාර වලින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 753 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(25.11.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් අද ආසාදිතයින් 33 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මීට පෙර ද මෙම කර්මාන්තශාලාවෙන් ආසාදිතයන් වාර්තා වී තිබූ අතර, ඒ අනුව මේ දක්වා අදාළ කර්මාන්තශාලාවෙන් ආසාදිතයන් 61 දෙනෙකු හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා සඳහන් කළේ.

මේ අතර අම්බලන්ගොඩ ධීවර වරායට පැමිණි ධීවර කාර්මිකයන් හත්දෙනෙකු (7) රැගත් ධීවර යාත්‍රාවක සිටි එක් අයෙකුට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවට සැක මතුවීම හේතුවෙන් එම ධීවරයන් හත්දෙනා (7) අද (25) බෝට්ටුව තුළම නිරෝධායනයට යොමු කෙරුණා.

අම්බලන්ගොඩ – ගොඩහේන ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරියෙකුට සහ ඔහුගේ බිරිඳටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු කාන්තාව කඹුරුගමුව රෝහලටත් හමුදා නිලධාරියා හම්බන්තොට මහ රෝහලටත් ඇතුළත් කෙරුණා.

වත්තල – මහබාගේ ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවකින්ද ආසාදිතයෙකු වාර්තාවී ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

නිරෝධායනය සඳහා යොමු කර සිටි හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් හදිසියේ ඇද වැටී අද (25) අපවත් වී තිබෙනවා.

අදාළ හිමි නමගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සදහන් කළේ.

ඊයේ (24) වාර්තාවූ ආසාදිතයන් 458 දෙනා අතරින් 259 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්.

ඉන් 90 දෙනෙකුම වාර්තාවන්නේ කොම්පඤ්ඤ වීථිය ප්‍රදේශයෙන්. ආසාදිතයන් 44 දෙනෙකු කොටහේන සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශවලින් වාර්තාවී තිබෙනවා.

මේ අතර, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ අදත් පී.සී.ආර්. පරීක්ෂණ 1000 ක් සිදුකළ බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය සදහන් කළා.

ඇය කියා සිටියේ මට්ටක්කුලිය – අලිවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් 75 දෙනෙකු ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සඳහා යොමු කළ බවයි.

ඉන් 5 දෙනෙකු එම අවස්ථාවේදීම ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබෙනවා.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහනක් අද බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා.

ඒ, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර, තමන්ට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොලැබුණු බවට චෝදනා කරමින් වනාතමුල්ල මෙත්සර උයන ප්‍රදේශයේ ජනතාව අද (25) විරෝධතාවක නිරත වුණා.

එමෙන්ම අද (25) ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණේ කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සේවකයින්ට මුහුණදීමට සිදුව ඇති ගැටළුවලට විසදුම් ඉල්ලමින් ෴

++++++++++++++++++++++

(25.11.2020 – 20:26 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – පස්සර – කනවරැල්ල ප්‍රදේශයේ එකම පවුලේ 5 දෙනෙකු සහ අසල්වැසි නිවසක පුද්ගලයෙකු (1) ද කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.

ආසාදිතයන් 5 දෙනෙකු වාර්තා වූ පවුලේ සාමාජිකයෙකුට ද මීට පෙර කොරෝනා ආසාදනය වී තිබූ අතර, ඔහු කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කර නිවසට පැමිණ සිටියදියි ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණේ.

මේ අතර කොම්පඤ්ඤ වීථිය බේරේ වැවේ ඉදි කෙරෙන ප්‍රධාන පෙළේ සමාගමට අයත් ගොඩනැගිල්ලක සේවයේ නියුතුව සිටි කම්කරුවන් 47 දෙනෙකුට කොරෝනා වැළඳී තිබෙනවා. ඉන් 41 දෙනෙකුම ඉන්දීය ජාතිකයින් ෴

++++++++++++++++++++++

(25.11.2020 – 20:38 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 485 දෙනෙකු අද (25) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව පහලොස් දහසේ සීමාව ඉක්මවා සටහන් වුණේ 15,447 ලෙසයි.

අද (25) දිනයේ මේ දක්වා කාලය තුළ ආසාදිතයන් 294 දෙනෙකු අලුතින් හඳුනා ගැනුනු අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 21,261 දක්වා ඉහළ ගියා.

මේ දක්වා කොරෝනා මරණ 94 ක් සිදුව තිබෙනවා.

මේ අතර පෞද්ගලික රසායානාගාරවලට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකිරීමට අවසර ලබාදී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ රජයේ රසායනාගාර සේවා සඳහා පමණක් එම අවසරය හිමිවන බවයි.

++++++++++++++++++++

(25.11.2020 – 22:04 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 208 දෙනෙකු අද (25) හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21469 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++

(25.11.2020 – 23:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් (2) වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 45 ක කාන්තාවක් සහ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

කාන්තාව කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර කොළඹ ජාතික රෝහලේදී පසුගිය 23 වනදා මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග ඇතිවූ අධික රුධිර පීඩනයයි.

මියගිය පිරිමි පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ජයවර්ධනපුර රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදී අද (25) මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග උග්‍රවූ අක්මා රෝගී තත්වයක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *