රිෂාඩ්ගේ තවත් වංචාවක්…සමුපකාර ගම්මානයකට රු. මි. 775 ක්… අන්තවාදීන් පුහුණු කළාදැයි සැක

රිෂාඩ්ගේ තවත් වංචාවක්…සමුපකාර ගම්මානයකට රු. මි. 775 ක්… අන්තවාදීන් පුහුණු කළාදැයි සැක

*********************************************

රිෂාඩ්ගේ තවත් වංචාවක්…සමුපකාර ගම්මානයකට රු. මි. 775 ක්… අන්තවාදීන් පුහුණු කළාදැයි සැක

(26.11.2020 – 08:37 +0530 – lankaleadnews.com)

යහපාලන රජය සමයේ රිෂාඩ් බදියුදීන් රජයේ මුදල් රුපියල් මිලියන 775 ක් භාවිත කරමින් මන්නාරම තාරාපුරම්හි සමුපකාර ගම්මානයක් ඉදිකිරීමේදී සිදුව ඇතැයි පැවැසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට ලැබුණ පැමිණිල්ලක් අනුව ඇමැතිවරයා පසුගිය ඉරිදා (22 වැනිදා) තාරාපුරම් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වී තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අගෝස්තු මස 16 වැනි දින ඇමැති මණ්ඩල අනුමැතියද ලැබී ඇත.

තාරාපුරම් වැව ආශ්‍රිත සංවර්ධන කටයුතු සිදුකිරීම, බහු කාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා උපකරණ මිලදී ගැනීම, පෙර පාසලක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා මෙම රුපියල් මිලියන 775 වැය වන බව ඇමැති මණ්ඩල සංදේශයේ සඳහන් වෙයි. තාරාපුරම් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මෙම සමුපකාර ගම්මාන ව්‍යාපෘතිය හිටපු ඇමැතිවරයා ක්‍රියාත්මක කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මෙම මුදල් වැය කිරීම සඳහා සමුපකාර සමිතියක්ද පිහිටුවා ඇති අතර එහි සාමාජිකයන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්ද නොවන බව වාර්තා වෙයි.

අයවැය ප්‍රතිපාදන මත 2017 වසරේ රුපියල් මිලියන 300 ක්ද, 2018 වසරේදී රුපියල් මිලියන 200 ක්ද, වෙන්කර ඇත. මෙම සමුපකාර ගම්මානය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස 2020 ජූලි මස 08 වැනි දින හිටපු වෙළෙඳ ඇමැති චමල් රාජපක්ෂ මහතා ද පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ. එහි සඳහන් වන්නේ අන්තවාදීන් පුහුණු කිරීම සඳහා මෙම සමුපකාර ගම්මානය යොදා ගත්තේ දැයි විමර්ශනය කළ යුතු බවයි.

තාරාපුරම් සමුපකාර ගම්මාන ව්‍යාපෘතියේ මෙතෙක් නොගෙවූ රුපියල් මිලියන හැටක (60) මුදල ගෙවන ලෙස ඉල්ලා වෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙත ලිපිගොනුවක්ද ඉදිරිපත් කර තිබේ. එම මුදල ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති අමාත්‍යාංශ ලේකම්වරිය එය වෙළෙඳ ඇමැතිවරයා වෙත යොමු කිරීමෙන් පසු ගෙවීම් අත්හිටුවීමට තීරණය කර ඇත. මෙම හිටපු අතිරේක ලේකම්වරයා ස්ථාන මාරුවක් ලැබ මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස මේ වන විට සේවය කරන බවද වාර්තා වෙයි. ඔහු ස්ථාන මාරුව ලැබී යන විට වෙළෙඳ අමාත්‍යාංශයේ ජීප් රථයක්ද රැගෙන ගිය බව මාධ්‍ය පසුගිය කාලයේ වාර්තා කර තිබිණි ෴

***************************************

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි – රණවිරුවන්ගේ ගෞරවය සහ නිර්දෝෂීභාවය ගැන උස් හඬින් ලෝකයට කිව යුතුයි

(25.11.2020 – 22:34 +0530 – lankaleadnews.com)

රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ගෞරවය ආරක්ෂා කළ යතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

අද (25) දින පැවති විදේශ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට එක් වෙමින් ඔහු සඳහන් කළේ 2014 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මැක්ස්වෙල් පරණගම කොමිසම හරහා ආරම්භ කළ එම පිළිතරු බැදීමේ ක්‍රියාවලිය ආණ්ඩුවේ පරාජයෙන් පසුව ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් අතට ගත් බවත් ඔවුන් විසින් සකස් කළ රණවිරවන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කරන විත්තිවාචක ලියවිල්ල වර්තමාන ආණ්ඩුව විසින් ඉදිරියට ගෙන යා යුත බවද ඔහු සඳහන් කළේය. එම ලියවිල්ල ඔහු විසින් සභා ගත කළේය.

වීඩියෝව පහතින් :

***************************************

සහරාන්ලා හදන මද්‍රසා පාසල් නියාමනය කරන්නේ නැත්නම් මරාගෙන මැරෙනඋන් බිහිවෙන එක වලක්වන්න බෑ. (17.11.2020)

***************************************

100% සාර්ථක ප්‍රතිශක්තිකරණයට බලධාරීන් ඉඩ නොදෙන්නේ ඇයි?..
– Talk with Sudaththa (24.11.2020)

https://www.youtube.com/watch?v=e5B25KXP8j0

***************************************

අපි ලෙඩ හොද කරනවට දොස්තරලා කැමති නෑ. මම කරන දේ විද්‍යාත්මකයි.
– Truth with Chamuditha (20.11.2020)

***************************************

(26.11.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

වන විනාශය මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවෙන් නිරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

නීතිවිරෝධීව වන සම්පත විනාශ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔහු කියා සිටියේ දැව කැපීමට පෙර එවැනි උත්සහයන් හඳුනාගැනීමට අවශ්‍ය බවයි.

අපේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතුයි යනුවෙන් නාරාහේන්පිට පිහිටි අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (25) පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ.

එම අවස්ථාවට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ද එක්ව සිටියා. එහිදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉඩම් කොල්ලයන් සිදුකරන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විශේෂ ඒකකයක්ද පිහිටුවා ඇති බවයි ෴

***************************************

(26.11.2020 – 08:25 +0530 – hirunews.lk/sinhala)

ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධ කරගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සහාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කර තිබෙනවා.

ඔහු මෙම නිර්දේශය කර ඇත්තේ ලක්විජය බලාගාරය සහ එහි පාරිසරික බලපෑම් පිළිබඳ සොයාබැලීමට කෝප් කමිටුව පෙරේදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.

ලක් විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සිදුකිරීම වයඹ පළාත් සභාවේ පරිසර අධිකාරිය මගින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවන අතර, අහසට දූවිලි අංශු එක්වීම වැනි කරුණු රටටම බලපාන බැවින් එවැනි වැදගත් පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධවීම ඉතා වැදගත් බවයි මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දී ඇත්තේ.

2015 වසරේ සිට මෙරට විදුලි බලාගාර ඉදි නොවීම නිසා 2019 වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 85 ක් බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුවේදී අනාවරණ කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළා.

මේ අතර පළමුවරට ‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ කෝප් කමිටුව අද (26) රැස්වීමට නියමිතයි. ඒ අනුව කැළණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් අද (26) සාකච්ඡා කෙරෙනු ඇති. එහිදී සෞඛ්‍ය, කර්මාන්ත සහ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශවල ලේකම්වරුන් ‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගැනීමට නියමිතයි ෴

***************************************

(26.11.2020 – 08:28 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුලු සැකකරුවන් හයදෙනා (6) දෙසැම්බර් මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඊට අදාළ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ ඊයේ (25) කැඳවූ අවස්ථාවේදියි.

සහරාන්ගේ බිරිඳ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බන්ධනාගාර ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනවා ෴

***************************************

(26.11.2020 – 08:32 +0530 – hirunews.lk/sinhala)

දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර ඊයේ (25) වෙළඳ අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී සනීපාරක්ෂක තුවා සඳහා පවතින මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවයි දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින් වෙළඳ අමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ.

පසුගිය රජය විසින් සනීපාරක්ෂක තුවා සඳහා පනවා තිබූ සියයට 30 ක බද්ද මෙවර අයවැය මගින් සියයට 15 කින් අඩුකර ඉතිරි සියයට 15 ක සෙස් බද්දක් ලෙස නියම කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙහිදී වෙළඳ අමාත්‍යවරයා කියා සිටියේ ඉල්ලුමට සරිලන සියයට සියයක සැපයුමක් ලබාදීමට දේශීය නිෂ්පාදකයින්ට ඇති හැකියාව තුළ එම තුවා ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි ෴

***************************************

(26.11.2020 – 09:00 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 40 ක් වටිනා කහ කිලෝග්‍රෑම් 1000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව ලබා දුන් බුද්ධි තොරතුරක් මත පුත්තලම පොලිසිය ඊයේ (25) සිදු කළ වැටලීමකදී පුත්තලම පැරණි මාර්ගයේ පිහිටි ලුණු කර්මාන්තශාලාවක සඟවා තිබූ මෙම කහ තොගය සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගබඩාවේ භාරකරු ලෙස කටයුතු කළ 37 හැවිරිදි අයෙක්.

මේ අතර පුත්තලම කොට්ඨාස අපරාධ හා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පෙරේදා (24) දිනයේද කහ කිලෝ 232 ක් පුත්තලමේදී සොයාගෙන තිබුණා ෴

***************************************

(26.11.2020 – 09:44 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතා හදිසියේ මියගොස් තිබෙනවා.

අද (26) උදෑසන ගාලු මුවදොර පිටියේ ශාරීරික ව්‍යායාම සිදුකරමින් සිටි අවස්ථාවේ ඔහු ඇද වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිට ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොල්ලුපිටිය පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මියගිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට හෘද සැත්කමක්ද සිදුකර තිබූ බවයි.

43 හැවිරිදි ඔහු පස්සර ප්‍රදේශයේ පදිිංචිකරුවෙක් ෴

***************************************

(26.11.2020 – 09:59 +0530 – hirunews.lk/sinhala)

සියඹලාණ්ඩුව – කොඩයාන – දොඹගහවිල ප්‍රදේශයේදී ටී 56 ගිණි අවියක් සමඟ හිටපු යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගිනි අවිය තම නිවසේ සඟවා තිබියදී වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇති 53 හැවිරිදි සැකකාර මීට වසර 12 කට පෙර යුද හමුදාවෙන් විශ්‍රාම ගෙන ඇති අතර, එම කාලය තුළ අදාළ ගිනි අවිය සොරකම් කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා ෴

***************************************

(26.11.2020 – 10:36 +0530 – hirunews.lk/sinhala)

ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාල වයස්කාර දියණියක් ශ්‍රී ලංකාවට කැදවාගෙනවිත් විවාහ කරගත් ශ්‍රී ලාංකික තරුණයෙකු සහ එම දැරිය මාරවිල මූදුකටුව ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අද (26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. ඇය මේවනවිට පස්මස් (5) ගැබිණියක් බවයි වාර්තා වන්නේ.

තම දියණිය ජපානයේ සිට ශ්‍රී ලාංකික තරණයෙකු විසින් පැහැරගෙන පැමිණි බවට ඇයගේ මව පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන් ද දැනුවත් කර තිබූ බව සඳහන්.

මොවුන් මීට මාස පහකට (5) පෙර දිවයිනට පැමිණ ඇත්තේ මෙම ජපාන ජාතික දියණියගේ මව මෙම ප්‍රේම සබඳතාවට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් බවට ප්‍රශ්ණ කිරිම්වලදී අනාවරණය වී ඇතැයි කොච්චිකඩේ පොලිසිය සඳහන් කළා. ශ්‍රී ලාංකික තරුණයා අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් සිටින අතරතුර සිය පෙම්වතියගේ නිවසේ තාවකාලිකව සේවය කරමින් සිටියදී මෙම සබඳතාව ගොඩනගාගෙන ඇති බවයි පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ. මව මෙම සම්බන්ධයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් පෙම්වතියගේ ද කැමැත්ත මත තරුණයා ඇය ශ්‍රී ලංකාවට කැඳවාගෙනවිත් තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් මෙම දැරියගේ මව ජපාන තානාපති කාර්යාලය දැනුම්වත් කර තිබූ අතර මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළට තානාපති කාර්යාලයේ නියෝජිතයන්ද පැමිණි සිටි බවයි වාර්තා වුණේ. පසුව මොවුන් දෙදෙනා තරුණයාගේ නිවස ආසන්නයේ තානායමක රඳවා ඇති අතර ජපාන ජාතික මව ශ්‍රී ලංකාවට පැමිණ දිනට පෙර මොවුන් එම ස්ථානයෙන් පැනගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් නුවරඑළිය, දියතලාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල හෝටල් කිහිපයක නවාතැන් ගෙන සිටි බවයි. පසුව කොච්චිකඬේ පොලිසියට ලද තොරතුරක් අනුව ඊයේ (25) මූදුකටුව ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකරට කැබිනට් ඇමතිකමක්

(26.11.2020 – 11:36 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

නව කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු අද (26) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතායි.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මීට පෙර රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කටයුතු කරනු ලැබුවේ පළාත් සභා හා පළාත්පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මෙම දිවුරුම්දීමත් සමඟ වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය පිහිටවනු ලැබූ අතර, මීට පෙර අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පවරනු ලැබුවා.

++++++++++++++++++

නොවැම්බර් 20 වන දා සිදුකළ අමාත්‍යාංශ විෂය සංශෝධනයට අනුව ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අද (26) දිවුරුම් දුන්නා.

***************************************

(26.11.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

මේ වසර 100 ක් පමණ පැරණි ඉතිහාසයකට උරුමකම් කියන බදුල්ල කන්දේගෙදර සාර්නියා වතු රෝහලයි.

මේ දක්වා කාලය තුළ දහස් ගණනක වතු ජීවිතවල නිරෝගී සම්පත රැක ගැනීමට මෙම රෝහලින් ඉටු වී ඇත්තේ සුළුපටු මෙහෙයක් නොවේ.

කෙසේ වුවත් පැරණි බව හේතුවෙන් මෙන්ම නිසි නඩත්තුවක් නොමැතිකමින් මේ වනවිට රෝහල් පරිශ්‍රය විනාශ මුඛයකට පත් වෙමින් ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

රෝහල් පරිශ්‍රයේ එක් කොටසක ගොඩනැගිලි භාවිතයට නොගැනීම හේතුවෙන් අභාවයට පත්වෙමින් ඇති ආකාරයයි මේ.

වතු රෝහල් රජයට පවරා ගැනීම යටතේ මෙම රෝහලද රජයට පවරා ගැණෙන අතර ඉන් පසුව නේවාසික වාට්ටු , ප්‍රසූතිකාගාර ඇතුළු අංග රැසක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා තිබෙනවා.

දොර ජනෙල් ආදිය වේයන් නිසා දිරාපත්ව ඇති අතර භාණ්ඩ හා උපකරණ රැසක්ද කැඩීබිඳී ගොස් ඇත්තේ මහජන මුදල් විනාශ කරමින්.

රෝහලේ නේවාසික වෛද්‍යවරයෙකු නොමැතිවීමෙන් ප්‍රදේශවාසීන් තවත් පීඩාවට පත්ව ඇත්තේ හදිසි රෝගී තත්ත්වයකදී ප්‍රතිකාර ලබා ගැනීමට දැඩි දුෂ්කරතා විඳීමට සිදුවීම හේතුවෙන්.

ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ටද සහනයක් සළසා අභාවයට යමින් පවතින සිය රෝහල හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරදෙන ලෙසයි.

අවම පහසුකම් යටතේ ජීවත් වෙමින් ආර්ථිකයට ශ්‍රම දායකත්වයක් සපයන සාර්නියා වතු ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් බලධාරීන් නිසි වැඩපිළිවෙලක් අනුගමනය කරන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

======================================

(26.11.2020 – 08:02 +0530 – hirunews.lk/sinhala)

නව මරණ දෙකක් (2) සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 96 ක් දක්වා ඉහල ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 23 වනදා මියගොස් ඇති බවයි. කොවිඩ්-19 ආසාදනය සමඟ ඇති වූ අධික රුධිර පීඩනය මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද ඊයේ (25) මියගියා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මොහු මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා ආසාදනය සමඟ උග්‍රවූ අක්මා රෝගී තත්ත්වයයි.

මේ අතර ඊයේ (25) දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 502 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 21,469 දක්වා ඉහළ ගියා.

ඊයේ (25) හඳුනාගත් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 17,938 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ආසාදිතයන් 5,926 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 15,447 ක්.

එමෙන්ම රැකියා සඳහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් තුනක (3) රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී ශ්‍රී ලාංකිකයන් 42 කු, කටාර් හි රැඳී සිටි 39 දෙනෙකු සහ ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු මෙලෙස පැමිණි පිරිසට ඇතුළත්.

මේ අතර ඊයේ (25) ඇප නියමවූ රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාට අද (26), පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි. ඉන් අනතුරුව ඔහු දින 14 ක නිරෝධානයකට ලක් කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(26.11.2020 – 08:07 +0530 – hirunews.lk/sinhala)

මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලුගහතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙක (2) හුදකලා කිරීමට ඊයේ (25) පියවර ගත්තා.

මීට අමතරව බණ්ඩාරගම පොලිස් වසමේ අටළුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම්ද ඊයේ (25) සිට හුදකලා කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හමුවීමත් සමඟ සෞඛ්‍ය අංශ විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

එම ප්‍රදේශවලට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීථිය, වේල්ල වීථිය, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, මෝදර සහ මට්ටක්කුලිය යන පොලිස් බල ප්‍රදේශ හුදකලාකිරීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම බොරැල්ල, පොලිස් බල ප්‍රදේශයේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීථිය පොලිස් බල ප්‍රදේශයේ වෑකන්ද ග්‍රාමනිලධාරී වසමද මීට පෙර නැවත දැනුම්දෙන තුරු හුදකලා කරනු ලැබුවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, වත්තල, පෑලියගොඩ, කැළණිය සහ රාගම යන පොලිස් බල ප්‍රදේශ ද නැවත දැනුම් දෙන තුරු හුදකලා තත්ත්වයේ පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

හුදකල කරන ලද ප්‍රදේශවල ජනතාවට අමතරව කොළඹ තවමත් හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ අටක ජනතාවට අවශ්‍ය ආහාර ඇතුලු අත්‍යවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා සියලු කටයුතු සිදුකරමින් පවතින බවයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (25) කියා සිටියේ.

මේ අතර මෙතෙක් හුදකලා කර තිබූ බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම ඊයේ (25) සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++

(26.11.2020 – 08:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා වඩා යෝග්‍ය පරීක්ෂණ ක්‍රමවේදය පී.සී.ආර්. බව රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ පී.සී.ආර්. සඳහා ආදේශකයක් නොවන බවයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලින් ආසාදිතයෙකු නොවන බවට හඳුනාගන්නා පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු නොවන බවට සම්පූර්ණයෙන්ම තහවුරු කළ නොහැකි බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *