යහපාලන අසීමිත නිදහසේ ඵල විපාක ජී.එල්. පහදයි

යහපාලන අසීමිත නිදහසේ ඵල විපාක ජී.එල්. පහදයි

බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩට අද (27) රාත්‍රී 9 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි

*********************************************

යහපාලන අසීමිත නිදහසේ ඵල විපාක ජී.එල්. පහදයි

(27.11.2020 – 21:12 +0530 – hirunews.lk/sinhala)

විදේශීකයන්ට ඕනෑම පාඨමාලාවක් රට තුළ ඉගැන්වීම සඳහා යහපාලන ආණ්ඩුව විසින් ඉඩ ලබාදීමේ ඵල විපාක මේ වන විට භුක්ති විඳීමට සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

***************************************

(27.11.2020 – 19:27 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – ලංකාපුර – වෙහෙරගොඩයාය ප්‍රදේශයේ දී වනජීවී නිලධාරීන් සමඟ ඇති වූ සිද්ධියේදී වනජීවී නිලධාරීන්ගේ හැසිරීමට සාධාරණ හේතුවක් නොමැති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අද (27) පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

ඔහු කියා සිටියේ පොළොන්නරුව – ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදිකිරීමට සහ ගෘහාශ්‍රිත ගවයන් රක්ෂිතයට ඇතුළු කිරීමට ඉඩ ලබාදීම සඳහා තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත්, ඊයේ (26) දිනයේදී ලංකාපුර – වෙහෙරගොඩ යාය ප්‍රදේශයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා අදාළ තීරණවලට අවනත වන ලෙස තම නිලධාරීන්ට තර්ජනය කළ බව පවසමින් ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය ඇතුලු වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වෘත්තිය සමිති 09 ක සාමාජිකයින් අද (27) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක නිරත වුණා.

***************************************

(27.11.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මැනිං වෙළඳපල වසා දමා නව මැනිං වෙළඳපල පෑලියගොඩ ස්ථාපිත කිරීමට කටයුතු කළද තවමත් එම ස්ථානයේ වෙළඳාම් කිරීමට තමන්ට අවස්ථාවක් ලැබී නොමැති බව මැනිං වෙළඳපලේ සේවකයින් පවසනවා.

පිටකොටුව මැනිං වෙළඳපොල ඉදිරිපිටට වෙළඳුන් පිරිසක් අද (27) පැමිණ සිටි අතර, එහිදී ඔවුන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මසකට අධික කාලයක් වෙළඳපොල වසා දැමීම හේතුවෙන් තමන් දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින බවයි.

මෙම චෝදනාව පිළිබඳව අප නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ සෞඛ්‍ය අංශ වෙතින් අවසර ලැබුණු විගස පෑලියගොඩ නව මැනිං වෙළඳපොලෙහි වෙළඳාම් කටයුතු ආරම්භ කරන බවයි.

එමෙන්ම මැනිං වෙළඳපලේ කඩ කාමර වෙළඳුන්ට පමණක් ලබාදීමට කටයුතු බවද ඔහු කියා සිටියා.

අතරමැදියන් කඩකාමර ලබාගෙන වෙළඳුන්ට කුලී පදනම මත ලබාදීම එළවළු මිල ඉහළ යාමට හේතුවක් වී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

කෙසේ වෙතත් අප කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ පෑලියගොඩ නව මැනිං වෙළඳපොල විවෘත කළද තවමත් ඇතැම් ඉදිකිරීම් සිදුකරමින් පවතින බවයි.

***************************************

(27.11.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට තමන්ට එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අපොහොසත් වී ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය වෙත දැනුම්දී තිබෙනවා.

අධිකරණය වෙත ලිඛිත දේශනයකින් කරුණු දක්වමින් හිටපු අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ විත්තිවාචිකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,292 ක අරමුදලක් වැය කර දිවි නැඟුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබුණා.

මෙම නඩුවේ මුල් පැමිණිල්ල පසුගිය රජය සමයේ ස්ථාපිත කර තිබූ දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්‍ෂ ආනන්ද විජේපාල විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එහෙත් මුල් පැමිණිලිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පියවර ගෙන නොමැති බැවින් එය විමර්ශනවලදී සිදුවූ බරපතල දෝෂයක් බවට අදාළ ලිඛිත දේශනවලින් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒ අනුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේද, නැද්ද යන තීන්දුව මේ මස 30 වනදා කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර, පසුගිය රජය සමයේ නඩු පැවරූ ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (27) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී හෙළිදරව්වක් සිදුකළා.

ඒ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර මහතා විසින්.

එහිදී ඔවුන් විසින් රංජන් රාමනායක දුරකථනයෙන් විනිසුරුවරුන්ට නඩු සඳහා නියෝග දෙන ආකාරය අඩංගු හඬ පටයක්ද මාධ්‍ය වෙත අනාවරණ කළා.

එමෙන්ම, දේශපාලඥයින් නීති පද්ධතියට බලපෑම් කිරීමට උත්සහ කළහොත් රටේ කඩාවැටීම වැලැක්විය නොහැකි බවයි ඊයේ (26) රාත්‍රියේ ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘බලය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ.

*********************************************

බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩට අද (27) රාත්‍රී 9 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි

(28.11.2020 – 07:08 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද (28) රාත්‍රී 9 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළා ෴

***************************************

පාස්කු ප‍්‍රහාරයේ බෝම්බකරු ඉන්සාෆ් අහමඩ්ට යහපාලනයෙන් බිලියන 63 ක තඹ දීලා..

(27.11.2020 – 17:30 +0530 – lankacnews.com)

පසුගිය යහපාලන ආණ්ඩු සමය තුළ රුපියල් බිලියන 63 ක තඹ විදේවලින් ආනයනය කර ඇති බව අද (27) පාර්ලිමේන්තුවේදී හෙළි විය.

ඒ සියලු තඹ තොග පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන ඉන්සාෆ් අහමඩ් වෙත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (27) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඔහු එම තඹ තොග නැවතත් ප්‍රති අපනයනය කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ තොරතුරු හෙලි කළේය.

***************************************

රාජකීය වෛද්‍යවරයා – එලියන්ත වයිට් ලෝක හොරෙක්ලු, ක්‍රීඩා තහනම් උත්තේජක සභාපති දොස්තර ගීතාංජන මෙන්ඩිස් මැරුණේ එලියන්තගේ බෙහෙත් බීලා බව පාලිත තෙවරප්පෙරුම දෙරණට කියයි (23-11-2020)

***************************************

මඟුල් ගෙදර සිටි පුංචි පුතා වායු තුවක්කුවෙන් මවට වෙඩි තබයි… බරපතළ තුවාල ලැබූ මව කරාපිටිය රෝහලට

(28.11.2020 – divaina.com)

සිය කුඩා පුතු විසින් සිය මවට වායු තුවක්කුවකින් වෙඩිල්ලක් තැබීම නිසා බරපතළ තුවාල ලැබූ මවක් කරාපිටිය රෝහල වෙත පෙරේදා (26 දා) රාත‍්‍රි යොමුකර ඇත. සිද්ධිය සිදුවී ඇත්තේ පෙරේදා සෙල්ලකතරගම මඟුල් ගෙදරකදීය.

සෙල්ලකතරගම තරුණයකුගේ විවාහ උත්සවය එදින රාත‍්‍රි පැවති අතර මෙම මංගල්‍යයට මොණරාගල සිට පැමිණි පිරිසක් සමග මනාලියගේ ඥාති පිරිසකට අයත් වයස අවුරුදු 07 ක් වන කුඩා පිරිමි දරුවකු සිට ඇත. මෙම දරුවා වඳුරන් පළවා හැරීම පිණිස මඟුල් ගෙදර කාමරයක් තුළ තිබූ මෙම වායු තුවක්කුව නෙත ගැටී තිබේ.

තුවක්කුව දුටු කුඩා දරුවා එය රැගෙන විත් සිය මවට එල්ල කර, “අම්මේ, මම අම්මාට වෙඩි තියනවා” කියා එහි කොකා ගස්සවා ඇත.

එය තුළ තිබූ උණ්ඩය පිටවී සිය මවගේ ඇස වෙත වැදීම නිසා අධික ලෙස ලේ ගැලීමකට ලක්වී ඇති අතර ඇය කතරගම දිසා රෝහල වෙතත්, පසුව හම්බන්තොට මහ රෝහල වෙතත් යොමු කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර කිරීම පිණිස කරාපිටිය රෝහල වෙත යොමුකර ඇත ෴

***************************************

ස්වීඩනයේ තානාපති කාර්යාලය ගැන ශී‍්‍ර ලාංකිකයෝ කලකිරීමෙන්…. ජනපතිට පැමිණිල්ලක්

(28.11.2020 – divaina.com)

ස්විඩනයේ ස්ටොක්හෝම්හි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය එරට වාසය කරන ශී‍්‍ර ලාංකිකයන්ගේ අවශ්‍යතා කෙරේ සැලකිල්ලක් නොදන්වන බවට ස්විඩනයේ පදිංචි රංජිත් කලන්සූරිය මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

අපේ තානාපති කාර්යාලය ඇමතූ විට ඉංගී‍්‍රසියෙන් කතා කරන ලෙස කියනවා. පසුගිය දින කීපය තිස්සේ තානාපති කාර්යාලයට දුරකථන ඇමතුමක් ගැනීමට ඉමහත් වෙහෙසක් දැරීමට සිදු වුණා යැයි හෙතෙම ඊයේ (27 දා) ස්ටොක්හෝම් නුවර සිට දිවයින අමතමින් කීවේය.

ස්විඩනයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ කි‍්‍රයා කලාපය ගැන ශී‍්‍ර ලාංකිකයන් දැඩි කලකිරීමකින් සිටින බව පැවසූ කලන්සුරිය මහතා මේ ගැන විමර්ශනයක් පවත්වන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ස්විඩනය තුළ සිදුවන කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරකම් ගැන ද තානාපති නිලධාරින් අවධානය යොමු නොකරන බව ඒ මහතා කියා සිටී.

කීර්ති වර්ණකුලසූරිය

***************************************

රහස් පොලිසියද? රහස් වහන පොලිසියද? – කිර්ති වර්ණකුලසුරිය

(28.11.2020 – divaina.com)

රහස් පොලිස් නිලධාරීන් චාල්ස් ඥානකෝන්ව ඇමතුවේ ‘සර්’ යනුවෙනි. මේ සමයේ ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටි නිසා රහස් පොලිසියේ බලධාරීන් චාල්ස් ඥානකෝන්ට ඉමහත් බියක් දැක්වීය. ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනයට චාල්ස් ඥානකෝන් සම්බන්ධ බවට කිසිදු විමර්ශනයක් නොකළ රහස් පොලිසිය මාස කීපයකට පසු ඔහුට එරෙහිව කිසිදු සාක්කියක් නැතැයි කියමින් මුදාහරිනු ලැබීය.

සුප‍්‍රකට කැලැත්තෑවේ අපරාධය සොයා ගනු ලැබුවේ රහස් පොලිසියයි. එහෙත් පසුව දේශපාලකයන් සමඟ සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් රහස් පොලිසියට පත්වීමෙන් පසු අපරාධ සොයා ගත යුතු රහස් පොලිසිය අපරාධ වසන් කිරීමේ ක‍්‍රියාදාමයට එක් විය.

මෙයට වසර ගණනකට පෙර රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් දියත් කිරීමට දායක වූ බව දක්වමින් දොඩම්පේ මුදලාලි සහ කොප‍්‍රල් තිලකවර්ධන රහස් පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය. රහස් පොලිස් අත්අඩංගුවට ගත් දොඩම්පේ මුදලාලි සහ කෝප‍්‍රල් තිලකවර්ධන හතර වැනි තට්ටුවෙන් බිමට පැන දිවි නසා ගත් බව රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

එකල රහස් පොලිසියේ බලවතා වුයේ රාහුල සිල්වායි. මොහු හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකරට සමානය. දිවි නසා ගත් බව කියන දෙදෙනා පිළිබඳව සිදු කළ විමර්ශනවලදී හෙළි වුයේ රහස් පොලිස් නිලධාරීන් ඔවුන්ව බිමට දමා ඇති බවයි. මේ ගැන එවකට සෘජු සහ අවංක විනිසුරුවරයකු වූ වින්සන් ස්වර්ණාධිපති මහතා තීන්දුවක් දෙමින් දොඩම්පේ මුදලාලි සහ කෝප‍්‍රල් තිලකවර්ධන දිවි නසා ගත්තේ නැති බවත් එම සිදුවීම් මිනීමැරුම් බවත් කියා සිටියේය.

අනතුරුව විජය කුමාරතුංග ඝාතනය ගැන විමර්ශනය කිරීම රහස් පොලිසියේ ප‍්‍රධානි බෙනට් පෙරේරාට භාරවිය. ඔහු විසින් ඝාතනයේ සුලමුල සොයාගත් අතර ඝාතනයට අදාළ තුවක්කුව පවා එවකට සිටි දේශපාලනකඥයකුගේ යැයි හෙළි කරනු ලැබීය. මෙම ඝාතනය ගැන ටාසන් වීරසිංහ අත්අඩංගුවට ගෙන රහස් පොලිසියේ රඳවා ගැනීමද සිදු විය.

බෙනට් පෙරේරා විජය ඝාතනය ගැන සොයාගත් තොරතුරු වාර්තාවීමත් සමඟම එවකට පැවැති ඒ.ජා.ප. පාලනය කලබලයට පත්විය. බෙනට් පෙරේරාගේ ආරක්‍ෂාව ඉවත් කරනු ලැබීය. රත්මලාන ප‍්‍රදේශයේ පදිංචිව සිටි බෙනට් පෙරේරා පුවත්පතක් මිලට ගැනීමට ගල්කිස්සට පැමිණෙන අවස්ථාවේ නාඳුනන පිස්තෝලකරුවකුගේ වෙඩි පහරින් මරුමුවට පත් විය. එහෙත් රහස් පොලිසිය ඝාතකයන් කව්දැයි සෙවීමට ක‍්‍රියා කළේ නැත. එම ඝාතනය බැරවුයේ දේශපේ‍්‍රමී සංවිධානයටය.

මේ අතර රහස් පොලිසියේ රඳවා සිටි ටාසන් වීරසිංහ දිනක් රාත‍්‍රියේදී අතුරුදන් විය. එම අතුරුදන් වීම ගැන හෙළි වූයේ විජය ඝාතනය ගැන වූ ජනාධිපති කොමිසම හමුවේ රහස් පොලිසියේ නිලධාරියකු, ‘ටාසන් වීරසිංහ ඉවතට ගෙන ගිය’ බව හෙළි දරව් කිරීමයි. මේ රහස් පොලිසියේ උප පරීක්‍ෂකවරයා තවදුරටත් පැවසූවේ තමාවද ඝාතනය කිරීමට නිවසට පාර්සලයක් එවා තිබූ බවත් සිය බිරිඳ එය බාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කළ බවයි.

විජය ඝාතනය ගැන සිදු කළ විමර්ශනයේදී ජනාධිපති කොමිසම තීරණය කළේ එවකට සිටි රහස් පොලිස් ප‍්‍රධානීන් දෙදෙනකු ටාසන් වීරසිංහ අතුරුදන් කිරීමට වරදකරුවන් බවයි. මෙම තීන්දුවත් සමඟ එම නිලධාරීන්ගේ වැඩ තහනම් විය. එහෙත් එ.ජා.ප. රජය යළි බලයට පත්වීමෙන් පසු වැඩ තහනම් වූ නිලධාරීන්ට යළි රැකියා ලැබුණි. ටාසන් වීරසිංහ අතුරුදන් කළ අපරාධයට දඬුවම් ලැබුණේ නැත.

මෙවන් පසුබිමක් මැද විදේශ කටයුතු ඇමැති ලක්‍ෂමන් කදිරගාමර් ඝාතනයට චාල්ස් ඥානකෝන් නමැති කොටි හිතවාදියා සම්බන්ධ බවට වාර්තා වුවත් ඔහුව අල්ලා ගැනීමට රහස් පොලිසිය හෝ කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශය ක‍්‍රියා කළේ නැත.

එසේ වුවත් කොළඹ හමුදා බුද්ධි ඒකකය භාරව සිටි මේජර් ජෙනරල් සුමිත් මානවඩු ගල්කිස්සේ නිවසක සිටි චාල්ස් ඥානකෝන් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ කොටි හිතවාදියා දෙහිවල පොලිසිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු අවශ්‍ය කරන අයෙක් නොවේ යැයි පොලිසියේ බලධාරීන් කියා සිටියේය.

අවසානයේ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුට සිදු වුයේ ඔහුව රහස් පොලිසිය වෙත යොමු කිරීමයි. රහස් පොලිසිය චාල්ස් ඥානකෝන් භාර ගැනීමට අකැමැති වු වුවත් අධිකරණ නියෝග මත රහස් පොලිසියේ රඳවා ගනු ලැබීය. රහස් පොලිසියේ දී චාල්ස් ඥානකෝන්ට සියලු වරප‍්‍රසාද හිමිවිය. විශේෂ කාමරයක්, විදුලි පංකාවක් සැපයුණු අතර විස්කි බෝතලයක් ගෙන්වා ගැනීමටද අවසර හිමිවිය. මෙහිදී රහස් පොලිස් නිලධාරීන් චාල්ස් ඥානකෝන්ව ඇමතුවේ ‘සර්’ යනුවෙනි. මේ සමයේ ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටි නිසා රහස් පොලිසියේ බලධාරීන් චාල්ස් ඥානකෝන්ට ඉමහත් බියක් දැක්වීය.

ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනයට චාල්ස් ඥානකෝන් සම්බන්ධ බවට කිසිදු විමර්ශනයක් නොකළ රහස් පොලිසිය මාස කීපයකට පසු ඔහුට එරෙහිව කිසිදු සාක්කිකයක් නැතැයි කියමින් මුදාහරිනු ලැබීය. මේ අතර රහස් පොලිසිය තුළදී චාල්ස් ඥානකෝන්ට ඉහළ පෙළේ සැලකිලි ලැබුණු ආකාරය ‘දිවයින ආරක්‍ෂක විශේෂාංගය’ වෙත ලැබුණේ කෙසේද යන්න සෙවීමට රහස් පොලිස් බලධාරීන් පරීක්‍ෂණයක් පැවැත්වුවත් ඊට වගකිවයුත්තන් සොයා ගැනීමට නොහැකි විය.

මේ අතර 2018 නොවැම්බර් 30 දා මඩකලපුව ප‍්‍රදේශයේ වව්නතිව් පොලිස් මුරපලේ ස්ථානගතව සිටි පොලිස් කොස්තාපල්වරුන් වූ ඉන්දික ප‍්‍රසන්න සහ දිනේෂ් ගනේෂ් අභිරහස් ලෙස ඝාතනය විය.

ඉන්දිකගේ ගෙල වෙන්වන ලෙස කපා දමා තිබූ අතර දිනේෂ්ගේ හිසට වෙඩි තබා තිබුණි.

වව්නතිව් පොලිසියට අපරාධකරුවන් සොයා ගැනීමට නොහැකි වීම නිසා පරීක්‍ෂණ රහස් පොලිසියට පවරනු ලැබීය. එවකට රහස් පොලිසියේ ප‍්‍රධානියාව සිටි ශානි අබේසේකර තම සහචරයා වූ සාජන් මෙන්ඩිස්ට පරීක්‍ෂණ භාර කළේය.

රහස් පොලිසිය තුළ ව්‍යාජ ‘ජේම්ස් බොන්ඩ්’ චරිතය මැවූ මෙන්ඩිස්, වව්නතිව් වෙත ගොස් අජන්තන් නමැති හිටපු කොටි ක‍්‍රියාකාරිකයා අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්පසු වව්නතිව් ඝාතනයේ මහ මොළකරු අල්ලාගත් බවට මාධ්‍යවලට විශාල ප‍්‍රචාරයක් දීමද සිදු විය.

එහෙත් අජන්තන් පැවසුවේ තමා එම ද්විත්ව ඝාතන සිදු නොකළ බවයි. එසේ වුවත් රහස් පොලිසිය එම ප‍්‍රකාශය විශ්වාස කළේ නැත. අජන්තන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටද රහස් පොලිසිය ක‍්‍රියා කළේය. එහෙත් කොස්තාපල්වරුන් දෙදෙනාගේ පිස්තෝල දෙක සොයා ගැනීමටද නොහැකි විය. මේ අතර වව්නතිව් ද්විත්ව මිනීමරුමෙන් මාස හතරක් (4) ගෙවී යෑමෙන් පසු 2019 අපේ‍්‍රල් 21 දා පාස්කු ප‍්‍රහාරය සිදු විය.

දේවස්ථාන 4 ක් සහ සංචාරක හෝටල් තුනක් (3) ඉලක්ක කර සිදුව ඇති එම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් 300 කට නොඅඩු පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූහ. එසේම මාවනැල්ල බුදු පිළිම කැඞීම සහ වනාතවිල්ලුව ගොවිපළෙන් පුපුරණ ද්‍රව්‍ය හමුවීම ගැන වගකිවයුත්තන් ගැන හෙළි වුවත් රහස් පොලිසිය ඉන් එහාට පරීක්‍ෂණ කළේ නැත. රහස් පොලිසිය මෙහිදී තවත් විශ්මය ජනක ක‍්‍රියාවක් සිදු කළේය. ඒ ‘ආමි මොහිදින්’ට පොලිස් පරීක්‍ෂකවරයකුගේ සහ සැරයන්වරයකුගේ දුරකථන ලබාදී සහරාන් ගැන තොරතුරු දන්නේ නම් දන්වන ලෙස ප‍්‍රකාශ කිරීමයි. එහෙත් ‘ආමි මොහිදින්’ගෙන් කිසිදු තොරතුරක් ලැබුණේ නැත. මේ ක‍්‍රියාදාමය ‘හොරාගේ අම්මාගෙන් පේන අහනවා’ වැනි ක‍්‍රියාවකට සමානය.

මේ හැර සහරාන්ගේ ප‍්‍රධාන පුහුණු කඳවුරේදී අත්අඩංගුවට ගත් සිව්දෙනකුගෙන් (4) දෙදෙනකු (2) මුදා හැරීම සඳහා රහස් පොලිසිය තවත් තක්කඩි ක‍්‍රියාවක් සිදු කළේය. එම දෙදෙනා (2) ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ නැති බවට හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත දැනුම්දීමෙන් පසු එම ත‍්‍රස්ත සැකකරුවන් දෙදෙනා (2) නිදහස් විය.

මේ අතර ‘ආමි මොහිදින්’ නැමැත්තා අල්ලා ගැනීමට රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන් පාසිකුඩා වෙත පැමිණි අවස්ථාවේ රහස් පොලිසියේ නිලධාරියකු ඊට බාධා කර ඇතැයි හෙළි විය. මේ ‘ආමි මොහිදින්’ අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 අපේ‍්‍රල් 24 වැනිදා කල්කුඩා පොලිසියයි.

එසේම 2019 මාර්තු මස දිනෙක රාජ්‍ය බුද්ධි සේවාව විසින් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ සොහොයුරා රිල්වාන් හෂීම්, ‘ආමි මොහිදින්’ සහ යූසුප් අන්වර් සිටින ස්ථාන රහස් පොලිසියට දැනුම් දෙනු ලැබුවත් ඔවුන් අත්අඩංගුවට ගෙන නැත. ඒ වනවිට මොවුන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ප‍්‍රකාශයට පත් වී තිබුණි. 2017 මාර්තු මස නිකුත් වූ එම වරෙන්තු ප‍්‍රකාරව ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ නම් පාස්කු ප‍්‍රහාරය සිදු වන්නේ නැත.

මේ හැර එවකට රහස් පොලිසිය තම හිතුමතයට කටයුතු කර ඇති අතර බුද්ධි සේවා කමිටු රැස්වීම්වලටද සහභාගි වී නැත. එසේම වනාතවිල්ලුව ගොවිපළේදී සොයාගත් පුපුරන ද්‍රව්‍ය පිළිබඳ වූ වාර්තාව පවා ජාතික බුද්ධි සේවා ප‍්‍රධානියා වෙත එවා නැතැයි හෙළි වී තිබේ.

පාස්කු ප‍්‍රහාරයත් සමඟම සී.අයි.ඩි. යේ තක්කඩි වැඩ මෙලෙස එකින් එක හෙළි වන අවස්ථාවේ අද දක්වාම ඊට වගකිවයුතු පාර්ශ්ව ගැන ඉහළ පෙළේ පරීක්‍ෂණ පවත්වා නැත. රහස් පොලිසියේ බලධාරීන් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට පවුලේ අය සමඟ ස්විට්සලන්තයට පැන යෑමට ඉඩ දුන්නේ කෙසේද යන්න බරපතළ ප‍්‍රශ්නයකි. නිශාන්ත සිල්වා තම පිස්තෝලය සහ යතුරුපැදිය රහස් පොලිසියට භාර දෙද්දී එය වසන් කෙරුණි. ඉන්පසු නිශාන්ත සිල්වා සහ පවුලේ අය කටුනායක ගුවන්තොටුපළින් සුරිච් බලා යද්දී ගුවන් තොටුපළේ සිටි රහස් පොලිස් ප‍්‍රධානියා ඔහුගේ විදේශ ගමන ගැන විමර්ශනය කළේ නැත.

මෙයට සමානව යාපනයේ විද්‍යා තරුණියගේ ඝාතනයට සම්බන්ධ ගජන් නමැති පොලිස් නිලධාරියාට ඉන්දියාවට පැන යෑම සඳහා ද සී.අයි.ඩි. ය ඉඩදී තිබේ.

මේ පසුබිම මැද රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි ශානි අබේසේකර යහපාලන රජය යටතේ කටයුතු කළේ නිල නොවන ජනපති, නිල නොවන පොලිස්පති, නිලනොවන ආරක්‍ෂක ලේකම් ලෙසින් බව අනාවරණය විය.

ඔහු බෝම්බකරු සහරාන් හෂීම්ගේ ජංගම දුරකථන දෙක ඇමෙරිකානු එෆ්.බී.අයි. පොලිසියට දුන්නේ අධිකරණ නියෝගයකින් තොරවය. එසේම තවත් බෝම්බකරුවකුගේ ජංගම දුරකථනයක් ඕස්ටේ‍්‍රලියානු පෙඩරල් පොලිසියට භාර දී ඇත. මේ ජංගම දුරකථනවල තිබුණේ වැදගත්ම සාක්‍ෂියි. එහෙත් එම සාක්‍ෂි අතුරුදන් වී තිබේ.

මෙයට අමතරව කාන්තාවන් වඳ සැත්කම්වලට ලක්කළ බවට චෝදනා එල්ලවූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාපි සහබ්දින් සතු පරිගණක ද්‍රෘඩ තැටියක් ආපසු ඔහුට ලබාදීමට හිටපු ප‍්‍රධානි ශානි අබේසේකර ක‍්‍රියා කරනු ලැබීය. එය නඩු භාණ්ඩයකි.

මේ වනවිට හෙළිවී ඇති තොරතුරුවලට අනුව ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන්, ‘ආමි මොහිදින්’ සහ යූසුප් අන්වාර් නමැති අන්තවාදීන් තිදෙනා පාස්කු ප‍්‍රහාරයට පෙර අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ක‍්‍රියා කළේ නම් පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට හැකිව තිබුණි. එහෙත් රහස් පොලිසිය නිහඬ විය.

මේ අතර 2019 ජනවාරි මස රාජ්‍ය බුද්ධි සේවය විසින් ජාතික තව්හිද් ජාමාත් සංවිධානයේ අන්තවාදීන් 129 කගේ නම් රහස් පොලිසියට යවනු ලැබුවත් ඒ කිසිදු අන්තවාදියෙක් අත්අඩංගවට ගත්තේ නැත.

මේ නිසා රහස් පොලිසියේ ක‍්‍රියාදාමය දැඩි සැකයට භාජනය වේ. මෙලෙස ඉස්ලාමීය අන්තවාදීන් අත්අඩංගුවට නොගත්තේ විශාල මූල්‍ය වරප‍්‍රසාද නිසාද?

කිර්ති වර්ණකුලසුරිය

=====================================

(27.11.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේදී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කිරීමෙන් පසු පොළොන්නරුව – ගල්ලෑල්ල රෝහලට ඇතුළත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර එවා තිබෙනවා ෴

++++++++++++++++++++++++

(27.11.2020 – 19:34 +0530 – hirunews.lk/sinhala)

අද (27) දිනයේත් බොහෝ පාසල් විවෘතව පැවතිය ද සිසුන්ගේ පැමිණීමේ යම් අඩුවක් දක්නට ලැබුණා.

මේ අතර, කොරෝනා අවදානම හේතුවෙන් වසා දැමීමට ලක්වූ පාසල් කිහිපයක්ම එළඹෙන සඳුදා (30) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වසා දමා ඇති සියළුම පාසල් එළඹෙන සඳුදා (30) යළි ආරම්භ කරන බවයි.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑඩුව මහතා ද කියා සිටියේ පළාතේ වසා දැමූ පාසල් කිහිපයක් සඳුදා (30) දිනයේ විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි ෴

++++++++++++++++++++++

(27.11.2020 – 19:36 +0530 – hirunews.lk/sinhala)

සති අන්තයේ දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම සතියේ ධාවනය කරන ලද සියලු දුම්රිය ලබන සතියේදී ද ධාවනයට එක් කරන බවයි.

එමෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ සෞදි රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීම යළි ආරම්භ කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ අද (27) රාත්‍රියේ ශ්‍රමිකයින් 60 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් සෞදිය බලා පිටත්ව යාමට නියමිත බවයි ෴

++++++++++++++++++++++

(27.11.2020 – 19:45 +0530 – hirunews.lk/sinhala)

මහනුවර මහරෝහලේ උගුර, කන, නාසය පිළිබද සායනයේ සේවකයන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් 06 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා.

එමෙන්ම, කෑගල්ල මහ රෝහලේ වාට්ටු අංක 2 හි සේවය කරන හෙදියකට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ අතර බදුල්ල – පස්සර කනවරැල්ල ප්‍රදේශයෙන් එකම පවුලේ සාමාජිකයන් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනුණු නිවසට යාබද නිවසින් අද (27) තවත් කොරෝනා රෝගීන් 03 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අතර වයස අවුරුදු 10 ක කුඩා දැරියක් ද සිටින බවයි පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියා සිටියේ.

මේ අතර නාරාහේන්පිට ප්‍රධාන පෙළේ රෝහලක් වන ‘ලංකා හොස්පිට්ල්’ හි පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත සේවක සේවිකාවන් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

අදාල රෝහලේ පිරිසිදු කිරීම් කළ එක් අයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු පළමුපෙළේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම පිරිස හඳුනා ගත් බවයි නාරාහේන්පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයෙකු උණ රෝගී තත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර ඔහු ගමන් කළ ත්‍රිරෝද රථයක රියදුරෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, රෝහල් ගතකිරීමෙන් පසු එම භෝජනාගාර සේවකයාට සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ ඔහුට වෛසරය ආසාදනය වී නොමැති බවයි.

එහෙත් එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ද භාජනය කර තිබෙනවා.

++++++++++++++++++++

(27.11.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරවලින් වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 821 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අලුතින් ආසාදිතයන් 31 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

බන්ධනාගාරවලින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ ඇතැම් බන්ධනාගාර වල විරෝධතා පැවැත්වුණේ තම නඩු කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලමින්.

අදත් මෙම ඉල්ලීම මුල් කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 05 දෙනෙකු සහ මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු වහල මත නැඟ විරෝධතාවක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ.

මේ අතර මහර බන්ධනාගාරයේදී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කිරීමෙන් පසු පොළොන්නරුව – ගල්ලෑල්ල රෝහලට ඇතුළත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර එවා තිබෙනවා.

ඔහුට දීර්ඝ කාලීනව පවත්නා රෝග සැළකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම ඇප නියමවූ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව දින 14 ක නිරෝධායනය සඳහා කොළඹ පෞද්ගලික හෝටලයකට යොමුකර තිබෙනවා ෴

++++++++++++++++++++

(27.11.2020 – 22:19 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 221 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

මෙම ආසාදිතයින් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ.

ඒ අනුව අද (27) දිනය තුල මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 472 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++++

(27.11.2020 – 22:45 +0530 – hirunews.lk/sinhala)

අද (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 08 ක් වාර්තා වී තිබෙනවා.

මෙම මරණ 08 ත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගියා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක්.

+++++++++++++++++++++

පවිත්‍රා කිව්වේ බොරුද? වෛද්‍ය අනිල් ජාසිංහට තවම එන්න කියලා නෑ

(28.11.2020 – 15:33 +0530 – lankaleadnews.com)

කොවිඩ් මර්දන වැඩපිළිවෙළට විශාල දායකත්වයක් ලබා දුන් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාහට මේ වන තෙක් කොවිඩ් මර්දන කමිටු රැස්වීම සඳහා සහභාගී වීමට කැඳවීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

පළමු කොරෝනා රැල්ලේදී ඉන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා රජය රැගෙන ගිය වැඩපිළිවෙලේ දී සෞඛ්‍ය කේෂ්ත්‍රය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සිදුකළ මෙහෙය ඉතා ප්‍රශංසනිය වූ අතර ඔහු පසුව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ තිබිණ.

කොවිඩ් මර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබාදුන් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වත්මන් කොවිඩ් රැල්ල මර්ධනය කිරීමට කැඳවීමට ක්‍රියා නොකරන්නේ මන්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ අනිල් ජාසිංහ විශේෂඥ වෛද්‍යවරයාව ඉදිරි කොවිඩ් මර්ධන කමිටු රැස්වීම සඳහා කැඳවන බවයි.

කෙසේ වුවත් මේ දක්වා එවැනි ආරාධනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකර නොමැති බව දැනගන්නට ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *