අන්තවාදය සම්බන්ධ කරුණු යහපාලන ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනතට නොපැමිණි හැටි

අන්තවාදය සම්බන්ධ කරුණු යහපාලන ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනතට නොපැමිණි හැටි

*********************************************

අන්තවාදය සම්බන්ධ කරුණු යහපාලන ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනතට නොපැමිණි හැටි

(28.11.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සම්පාදිත ප්‍රතිත්‍රස්ත පනතට අදාළව විද්වත් කමිටුව ඉදිරිපත් කළ යෝජනා බොහෝමයක් එය කෙටුම්පත් කිරීමේදී ඇතුළත් වී නොතිබූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එමගින් යෝජනා කර තිබූ අන්තවාදය සම්බන්ධයෙන් වූ කරුණු පවා යෝජනා වුවද කෙටුම්පතේ එවා අන්තර්ගත නොවූ බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (27) පැමිණියේ දෙවෙනි දිනටයි.

1945 – මහජන ආරක්ෂක ආඥා පනත සහ 1979 – ත්‍රස්වාදය වැළක්වීමේ පනතේ ඇති දුර්වලතා කිහිපයක් හේතුවෙන් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ ඇතැම් පිරිස් අත්අඩංගුවට ගැනීමේදී ඇති වූ ගැටලු නිසා පසුගිය ආණ්ඩු සමයේ ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට යෝජනා වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

ඒ අනුව 2016 අප්‍රේල් 21 වෙනි දින එවකට අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රතිත්‍රස්ත පනත සම්පාදනය සඳහා එවකට නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත් පොලිස්පතිවරයා නියෝජනය කරමින් තමන්ද ඊට එක්වූ බව අජිත් රෝහණ මහතා පැවසුවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලෝකයේ ත්‍රස්තවාදී ක්‍රියා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුවන ත්‍රස්තවාදය ප්‍රචාරණ කටයුතු ආදී කරුණු රැසක් කෙරෙහි අවධානය යොමුකරමින් යෝජනා ඉදිරිපත් කර 2018 සැප්තැම්බර් 17 වෙනි දින ගැසට් පත්‍රයක් හරහා ඊට අදාළ කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ බවයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක :

“අපි හදලා දුන්න ඒවා නෙවෙයි මේ කෙටුම්පත විදියට ආවේ. අපි නොකියපු කාරණා මේ කෙටුම්පතට ඇතුළත් වී තිබුණා. අපි බලාපොරොත්තු වූ කරුණු මේ කෙටුම්පතෙහි ඇතුළත් වී තිබුණේ නැහැ.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“වර්තමානයේ මේ ආගමික අන්තවාදය දෙස බලන කොට ඔය කෙටුම්පත සකස් කිරීමේදී අන්තවාදය සම්බන්ධයෙන් නිර්වචනයක් ඉදිරිපත් කළාද ?”

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක :

“මේ කෙටුම්පත ඉදිරිපත් වෙන කොට පාස්කු ප්‍රහාරය සිදුවෙලා නොතිබුණත් ජාත්‍යන්තර කරුණු අවධානයට යොමුකළා. ඒ අනුව ‘ඔත්තුබැලීම’ යන කාරණය වරදක් බව ඉදිරිපත් කළා. ඒ පිළිබඳ කරුණු දැම්මත් කෙටුම්පත එනකොට ඒවා ඇතුළත් වෙලා තිබුණේ නැහැ. ඒ ගැන ප්‍රශ්න කළාම කිව්වේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වෙනම පනතක් එනවා ඔත්තුබැලීම සම්බන්ධ වරද ඒකට දානවා කියලා.”

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාක්ෂි විමසීම අද (28) පස්වරුව දක්වා කල්තැබුණා.

+—————-

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරි උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගෙන්ද ජනාධිපති කොමිසම ඊයේ (27) සාක්ෂි විමසුවා.

පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටි අතර එම සංචාරයේදීද හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියා ලෙස එම සංචාරයට එක්ව තිබුණේ ප්‍රියන්ත පුෂ්පකුමාර නිලධාරියායි.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“2019.04.21 හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර ලැබූ සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් රෝහලෙන් පෙරවරු 9 ට විතර හෝටලයට ආවා කිව්වොත් නිවැරදි ද ?”

උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත පුෂ්පකුමාර – මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂක නිලධාරී :

“ඒක වෙන්න බෑ. උදේ ඉදන් දවල් වෙනකල් රෝහලේ හිටියේ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ඔබ 2020.08.15 මේ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට දුන් ප්‍රකාශයේ ඔබ කියලා තියෙනවා, 2019.04.21 සිංගප්පූරු වේලාවෙන් 09:00 ට පමණ එතුමා රෝහලෙන් හෝටලයට පැමිණ විවේකීව සිටියා කියලා. ඒ ප්‍රකාශයද ඔබ අද කියන එකද ඇත්ත ?”

උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත පුෂ්පකුමාර – මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂක නිලධාරී :

“ඔතන ගැටලුවක් තියෙනවා ස්වාමීනි. ඔය සිද්ධිය ගැන හොයන්න ගත්තම තමයි ඔය රෝහලෙන් ආපු වෙලාවන් ගැන මම හෙව්වේ. අද මම කරන ප්‍රකාශය නිවැරදියි. එදා මගෙන් අතපසුවීමක් වෙන්න ඇති.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“2019.04.18 – 2019.04.21 දක්වා ඔබේ දුරකතනයෙන් ලංකාවට ඇමතුම් 7 ක් සහ ලංකාවෙන් ඔබේ දුරකතනයට ඇමතුම් 43 ක් ඇවිත් තිබෙනවා නේද. ඒවා හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ වූ ඇමතුම්ද ?”

උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත පුෂ්පකුමාර – මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂක නිලධාරී :

“එතුමා දුරකතනයක් පාවිච්චි කරන්නේ නෑ. මගේ දුරකතන හරහා තමයි එතුමාව සම්බන්ධ කරගන්නෙ. නමුත් මේවායෙන් ගොඩක් ඇමතුම් මගේ රාජකාරි කටයුතු සඳහා හුවමාරු වූ ඒවා. සමහර ඒවා එතුමාගේ පවුලේ උදවියට සම්බන්ධ ඇමතුම්.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ඔබ කියන්නේ ඔවුනුත් ජංගම දුරකතන පාවිච්චි කරන්නෑ කියලද ?”

උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත පුෂ්පකුමාර – මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂක නිලධාරී :

“නෑ නෑ භාවිත කරනවා. Answer නොකෙරුවාම මම ගන්නවා.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ඔබට ඔය දින කිහිපයේ එවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කතාකළාද ජනාධිපතිතුමා සම්බන්ධ කරගන්න ?”

උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත පුෂ්පකුමාර – මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂක නිලධාරී :

“නිලන්ත ජයවර්ධන සර් මාත් එක්ක කතා කළා කියලා 100% ක් මතකයක් නැහැ ස්වාමීනි. මට හරියට කියන්න අමාරුයි සම්බන්ධ වුණාද කියලා.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ඔබ සිංගප්පූරුවෙ ඉන්න අවස්ථාවේ දැනගත්තාද ලංකාව තුළ බෝම්බ පුපුරන බව ?”

උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත පුෂ්පකුමාර – මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂක නිලධාරී :

“ඔව්. අපි සමඟ සිටි තානාපති නිලධාරියකුගේ ජංගම දුරකතනයෙන් තමයි දැක්කේ. මම ඒ බව හිටපු ජනාධිපතිතුමාට කිව්වා. ඊට පස්සෙනම් උදය සෙනෙවිරත්න ලේකම්තුමාට, අගමැතිතුමාට, පොලිස්පතිට ආදි කිහිප දෙනෙකුටම ඇමතුම් ගත්තා.”

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම සාක්ෂිකරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කොමිසමේදී සාක්ෂි ලබාදෙන අවස්ථාවේ කොමිසන් සභා ශාලාවේ රැඳී සිට ඇති බවයි.

එම අවස්ථාව වනවිට ඔහු කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශයක්ද ලබාදී ඇති බවත් එලෙස හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂියට සවන් දෙමින් සිටි බව අනාවරණය වූ පසු ඔහු කොමිසන් සභා ශාලාවෙන් ඉවත් කර ඇති බවත් එහිදී සඳහන් කෙරුණා.

***************************************

(28.11.2020 – 07:53 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝගයට පටහැනිව මහවිරු සැමරුම් සිදුකිරීමට උත්සාහ කළ යාපනය ප්‍රදේශයේ කතෝලික පූජකවරුන් පුහුණු පාසල පූජකවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (27) අත්අඩංගුවට ගත් මොහු 47 හැවිරිදි වියේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මීට පෙර එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු කළ 4 දෙනෙකු ද එරාවුර් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබුණා ෴

***************************************

(28.11.2020 – 07:54 +0530 – hirunews.lk/sinhala)

‘ෆිච් ශ්‍රේණිගත කිරීම්’ අනුව මෙරට දිගුකාලීන විදේශ ණය ගෙවීමේ හැකියාව පුරෝකථනය කරන ශ්‍රේණිගත කිරීම් ‘සීසීසී’ කාණ්ඩය දක්වා පහත හෙළීම නොපිළිගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අදාළ ශ්‍රේණි ගත කිරීම පිළිබඳව කණගාටුවෙන් නිරීක්ෂණය කරනු ලබන්නේ නව රජය පත්වූ අලුතම එහි මධ්‍ය කාලීන ප්‍රතිපත්ති රාමුව ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි.

පවත්නා ආර්ථික පුනරුදය සැළසුම් සහ සාර්ව ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කිරීමේ සැළසුම් ෆිච් ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතනයෙන් නොසළකා හැර ඇති බව පෙනී යන බවයි මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

‘ෆිච් ශ්‍රේණිගත කිරීම්’ අනුව මෙරට දිගුකාලීන විදේශ ණය ගෙවීමේ හැකියාව පුරෝකථනය කරන ශ්‍රේණිගත කිරීම් සීසීසී කාණ්ඩය දක්වා පහත හෙළා ඇති බවට ඊයේ (27) ප්‍රකාශයට පත් වුණා.

සාමාන්‍යයෙන් ෆිච් ආයතනය විසින් සීසීසී හෝ ඊට අඩු ශ්‍රේණි ගත කිරීමක් සහිත රටක ඉදිරි පුරෝකථන දැක්වීම් හෝ ශ්‍රේණි ගතකිරීම්වලට යොමුවන්නේ නැහැ.

ෆිච් ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතනයෙන් ලබාගත් කරුණු අනුව මෙමඟින් පිළිබිඹු කරන්නේ මෙරට විදේශ ණය ආපසු ගෙවීමේ අභියෝගාත්මක තත්ත්වයයි.

2021 සිට 2025 දක්වා කාලය තුළ රජයේ විදේශ ණය බැඳීම් ඇමරිකානු ඩොලර් බිලියන 23.2 ක් ෴

***************************************

(28.11.2020 – 09:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු ලාල්’ සහ ‘මහවත්තේ ප්‍රීමා’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ‘රුක්ෂාන් සමීර මධුශංක’ හෙවත් ‘පට්ටලේ සමීර’ නැමැත්තා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සහ එම උණ්ඩ 14 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පන්නිපිටිය – කොට්ටාව පරණ පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

35 හැවිරිදි වියේ පසුවන සැකකරු ඉදිරි විමර්ශන සඳහා කොට්ටාව පොලීසිය වෙත භාර දී තිබෙනවා ෴

***************************************

(28.11.2020 – 10:40 +0530 – hirunews.lk/sinhala)

නොර්වුඩ් ප්‍රදේශයේ වතු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 12 ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

විනාශ වූ නිවාස වල සිටි පුද්ගලයන් 60 දෙනෙකු මේ වනවිට අවතැන් වී ඇති අතර ඔවුන් නිව්වැලි තේ කර්මාන්ත ශාලාවේ තාවකාලිකව නතර කිරිමට වතු පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඊයේ (27) රාත්‍රියේ එක් නිවසක හටගත් ගින්න පාලන කිරීමට පොලිසිය සහ වතු කම්කරුවන් එක්ව දැඩි උත්සහයක නිරත වුවද එය කඩිනමින් ව්‍යාප්ත වූ බවයි සඳහන් වන්නේ.

ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ.

ගින්නට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, ගින්න සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

හැටන් – නෝවුඩ් ප්‍රදේශයේ නිව්වැලි වත්තේ ගිනිගෙන විනාශ වූ වතු නිවාස 12 සඳහා එම වතුයායේම සුදුසු ස්ථානයක අලුතින් නිවාස ඉදිකිරීමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසනවා.

ඊයේ (27) රාත්‍රියේදී හදිසියේ ඇති වූ ගින්නකින් වතු නිවාස 12 ක් සම්පූර්ණයෙන්ම විනාශවූ අතර, ඒ හේතුවෙන් එහි සිටි පවුල් 12 කට අයත් සාමාජිකයින් 47 දෙනෙකු වෙනත් ස්ථානවල රදවා සිටිනවා.

අවතැන්වී සිටින එම පිරිස පිළිබඳව සොයාබැලීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුලු පිරිසක් අද (28) එහි පැමිණ ඔවුන්ට පිසූ ආහාර සහ අත්‍යවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගනු ලැබුවා ෴

======================================

(28.11.2020 – 07:30 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා මරණ 8 ක් ඊයේ (26) දිනයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගියා.

එය දැක්වෙන්නේ 107 ක් ලෙසයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවක්, පසුගිය 23 වන දා නිවසේදී මිය ගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ ආඝාතය සහ කොරෝනා ආසාදනයත් සමඟ ඇති වූ හෘදයාබාධයක්.

එම ප්‍රදේශයේම පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද පසුගිය 25 වන දා මිය ගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ නිධන් ගත පෙනහළු රෝගයක් සහ ඇඳුම රෝගය සමඟ උග්‍ර වූ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

කොළඹ 9 – දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් ද ඊයේ (27) මිය ගොස් තිබෙනවා.

මහරගම අපේක්ෂා රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මෙම මරණය සිදුව තිබෙනවා.

පිළිකා රෝගය සමග උග්‍ර වූ කොරෝනා නිව්මෝනියා තත්ත්වය මරණයට හේතුව ලෙස දක්වා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මරදාන ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක් ද පසුගිය 25 වන දා නිවසේදී මිය ගියා.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ්-19 ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධයක්.

කොළඹ-15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසු අයි.ඩී.එච්. රෝහලට මාරු කර යැවුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) මිය ගියා.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ නිධන්ගත පෙනහලු රෝගයත් සමග කොරෝනා උග්‍රවීමයි.

කොළඹ-2 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද පෙරේදා (26) නිවසේදී මිය ගොස් තිබෙනවා.

කොරෝනා සමග ඇති වූ හෘදයාබාදයක් මරණයට හේතුව ලෙස දක්වා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කොළඹ-10, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක් ද නිවසේදී පෙරේදා මිය ගියා.

දියවැඩියාව, නිධන්ගත වකුගඩු රෝගය සහ කොරෝනා ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම කොළඹ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද බන්ධනාගාර රෝහලේදී පසුගිය 25 වන දා මිය ගියා.

කොරෝනා සමග උග්‍ර වූ වකුගඩු ආසාදනය මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

ඊයේ (27) දිනයේ නව ආසාදිතයින් 473 ත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,501 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (27) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 472 ක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර එක් අයෙකු (1) විදේශයන් හි සිට පැමිණි නැවියෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොවිඞ් පොකුර 18,963 ක් දක්වා ඉහළ යනවා.

තවදුරටත් 6168 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 16,226 ක් ෴

++++++++++++++++++++

(28.11.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සඳුදා (30) සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඊට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර ඇති බවයි එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා සඳහන් කළේ.

ඊට අදාළ සාකච්ඡාවක්ද ඊයේ (26පැවති අතර, ඉන් අනතුරුව ඔහු මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා.

මේ අතර, අද සහ හෙට දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

+++++++++++++++++++

(28.11.2020 – 07:58 +0530 – hirunews.lk/sinhala)

උත්සවශාලාවල ධාරිතාවයෙන් සියයට 50 ක පුද්ගලයන් සංඛ්‍යාවක් උත්සව අවස්ථා සඳහා සහභාගි කරගැනීමට අවස්ථාව සළසා දෙන ලෙස සමස්ත ලංකා උත්සව ශාලා හිමියන්ගේ සහ ආහාර සපයන්නන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

ඔවුන් ඊයේ (27) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මල් සපයන්නන්, ඡායාරූප ශිල්පීන්, ආහාර පිසින්නන් ඇතුලු උත්සව ක්‍ෂේත්‍රයට අදාළ රැකියාවලින් යැපෙන පුද්ගලයන් ලක්ෂ 6 කට පමණ වසරක පමණ කාලයක සිට ආදායම් අහිමිවී ඇති බවයි.

ණය වාරික ගෙවීමට මාස හයක සහන කාලයක් ලබාදුන්නද මේ වනවිට එයද අහිමිවී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා ෴

+++++++++++++++++++

(28.11.2020 – 08:13 +0530 – hirunews.lk/sinhala)

දැනට හුදෙකලා කර ඇති ඇතැම් ප්‍රදේශවල පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සහභාගි නොවන ලෙසට ජනතාව දැනුවත් කළ පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අන්තර්ජාලය ඔස්සේ මෙම කටයුතු සිදුකර ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති බවයි.

මේ අතර, අද (28) උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගත් 52 නෙකු අත්ඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව එම චෝදනාවට මේ දක්වා අත්ඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 796 ක් ෴

+++++++++++++++++++

(28.11.2020 – 09:16 +0530 – hirunews.lk/sinhala)

සිර දඬුවම් නියම වූ 600 කට ආසන්න පිරිසකට ජනාධිපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ සුළු වැරදි සඳහා දඬුවම් නියම වූ පිරිසකට මෙලෙස පොදු සමාව ලබාදෙන බවයි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා එම තීරණය ගෙන ඇති බවද ඔහු කියා සිටියා ෴

+++++++++++++++++++

(28.11.2020 – 10:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වීමෙන් මියයන්නන්ගේ දේහයන් ආදහනය සඳහා රජයේ රෝහල්වලින් කිසිදු මුදලක් අය කර නොගන්නා බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණපේම මහතා ප්‍රකාශ කළා.

ඒ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදියි.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ කොරෝනා ආසාදිත බවට රෝග ලක්ෂණ නොපෙන්නූවත් ඇතමුන්ට වෛරසය ආසාදනය වී ස්වභාවිකවම සුව වන බවයි.

මේ අතර, කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ඒ, පොළොන්නරුව – ගල්ලෑල්ල රෝහලේ සිටයි.

මොහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටයි පොළොන්නරුවට මාරු කර යවනු ලැබුවේ.

ඔහුට දීර්ඝ කාලීනව පවත්නා රෝග සැළකිල්ලට ගනිමින් වෛද්‍ය නිර්දේශය මත එම පියවර ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ඊශ්‍රායලයේ සිරවී සිටින ලාංකිකයන් පිරිසක් තමන්ට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතාවන් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණ කළා.

මේ අතර මැදපෙරදිග රටවල් දෙකක (2) සහ ඉන්දියාවේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු අද (28) අලුයම දිවයිනට පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට 76 දෙනෙකු, අබුඩාබි සිට 42 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට 96 දෙනෙකු මෙලෙස පැමිණි පිරිස අතරට ඇතුළත්.

එමෙන්ම, ඉන්දියාවේ චෙන්නායි සිට 53 දෙනෙකු ද ශ්‍රී ලංකාවට පැමිණියා ෴

++++++++++++++++++++

(28.11.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ආසාදිතයෙකු හෝ නිරෝධායනය වන පුද්ගලයෙකු නිවසේ සිටීනම් එම නිවෙස්වල දරුවන් පාසලට එවීමෙන් වැළකිය යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, කොවිඩ් වසංගතය හමුවේ පාසල් පද්ධතිය පවත්වාගෙන යාම ජයගත හැකි අභියෝගයක් බවයි.

මේ අතර හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මින්නේරිය ජාතික පාසලේ දරුවන් ඊයේ (27) නිවෙස් වෙත හරවා යැවීමට පියවර ගැණුනා.

කෙසේ වෙතත් එම පාසලේ විදුහල්පති ඩී.එම්. රණවීර මහතා සඳහන් කළේ, සඳුදා (30) සිට පාසලේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බවයි.

මේ අතර හුදෙකලා කර ඇති රාගම – බටලන්ද වත්ත ප්‍රදේශයේ ජනතාව සහන නොලැබුණු බවට චෝදනා කරමින් අද (28) විරෝධතාවක නිරත වුණා.

රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා මැදිහත්වී ඔවුන්ගේ ගැටලුවලට විසඳමු ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර ගියා.

කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකළා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *