ජල ගැලුම් නිම්නයේ ගවගාල් අර්බුදය සොයන්න ‘සිංහලේ අපි’ පොළොන්නරුවට

ජල ගැලුම් නිම්නයේ ගවගාල් අර්බුදය සොයන්න ‘සිංහලේ අපි’ පොළොන්නරුවට

*********************************************

ජල ගැලුම් නිම්නයේ ගවගාල් අර්බුදය සොයන්න ‘සිංහලේ අපි’ පොළොන්නරුවට

(28.11.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව, ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඇති අනවසර ගව ගාල් පිළිබඳව සොයාබැලීමට ‘සිංහලේ අපි’ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු පිරිසක් අද (28) කටයුතු කළා.

අනවසර ගව ගාල් ඉවත් කිරීමට ලබාදී ඇති අධිකරණය නියෝග දේශපාලන බලපෑම් මත ක්‍රියාත්මක නොකර සිටින බව එහිදී හෙළි වුණා.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරිම කිරිගවයන්ට තෘණ ආහාරය ගැනීම සඳහා ඉඩ ලබාදීම මෙන්ම වසා දමා ඇති වන ජීවි කලාපය මැද පිහිටි පාරක් විවෘත කර දෙන ලෙස ජනතාව කර තිබූ ඉල්ලීමකට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පසුගිය 25 වැනිදා අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී ගොවීන්ගේ ඉල්ලීමට වන ජීවි නිලධාරීන් එකඟ නොවීම හේතුවෙන් අමාත්‍යවරයා හා නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

වනජීවී රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් දිවයින පුරා සමස්ත ලංකා ඒකාබද්ධ නිලධාරී සංගමය ඊයේ (27) වැඩ වර්ජනයක්ද දියත් කර තිබුණා.

මේ අතර සිංහලේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු පිරිසක් මෙම මතභේදයට ලක්ව ඇති ගව ගාල් පිහිටි ස්ථාන අද (28) නිරීක්ෂණය කළා.

මේ ගව ගාල් හේතුවෙන් විනාශ වෙමින් පවතින පුරා විද්‍යා නටඹුන් උන්වහන්සේ ඇතුළු පිරිසක් නිරීක්ෂණයට ලක් වූ ආකාරයයි.

මෙහිදී සංකේතාත්මකව එම අනවසර ගව ගාල් ඉවත් කිරීමටද මහා සංඝරත්නය ඇතුළු පිරිස මෙලෙස කටයුතු කළා.

***************************************

(28.11.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පස්වෙනි (5) දිනටත් අද (28) පෙරවරුවේ ආරම්භ වුණා.

මාර්ග සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අද (28) පාර්ලිමේන්තුවේදී උණුසුම් විවාදයක් ඇතිවුණා.

ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පසුගිය රජය සමයේ ආරම්භ කළ ව්‍යාපෘති සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයක් සමඟයි.

අයවැයට අදාළව කාරක සභා අවස්ථාවේ විවාදය පස්වන දිනටත් මේ වනවිට පැවැත්වෙනවා.

තරුණ හා ක්‍රීඩා, ජල සම්පාදන, විදුලිබල, බලශක්ති යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයි අද (28) දිනයේ විවාදයට ගැනෙන්නේ.

***************************************

(28.11.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ගැටුමකට සූදානම්ව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනෙකු තියුණු ආයුධ සමඟ වැලිගම, මිදිගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් සතුව තිබී කඩු 6 ක් සහ තවත් තියුණු ආයුධ කිහිපයක් සොයා ගත් බවයි.

සැකකරුවන්ට එරෙහිව විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර, මේ වන විට විදේශ රටකට පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු ලාල්’ සහ ‘මහවත්තේ ප්‍රීමා’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ‘රුක්ෂාන් සමීර මධුශංක’ හෙවත් ‘පට්ටලේ සමීර’ නැමැත්තා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සහ එම උණ්ඩ 14 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පන්නිපිටිය – කොට්ටාව පරණ පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

35 හැවිරිදි වියේ පසුවන සැකකරු ඉදිරි විමර්ශන සඳහා කොට්ටාව පොලීසිය වෙත භාර දී තිබෙනවා ෴

***************************************

(28.11.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

මහවිරු සැමරුම් තහනම් කර තිබියදී වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසක සැමරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ට එරෙහිව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

උතුර පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කපිතාන්වරයෙකු වශයෙන් සේවය කළ මිය ගිය පුද්ගලයෙකු, අදාළ නිවසේ සමරා මන්ත්‍රීවරයා ඊට අදාළ ඡායාරූප ද සිය ෆේස්බුක් ගිණුමට එක් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් දැනටමත් තොරතුරු පොලීසිය විසින් රැස් කර තිබෙනවා.

ඒ අනුව මේ පිළිබදව ගත යුතු ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබා ගැනීමට අදාළ ලිපිගොනුව පොලිස්පතිවරයා හරහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ.

මේ අතර, එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදී තිබූ ඊයේ (27) දිනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ද වැල්වැටිතුරෙයි පිහිටි ඔහුගේ නිවසේ සහ කාර්යාලයේ පහන් දල්වා සැමරීමක් සිදුකර තිබෙනවා.

එමෙන්ම, අධිකරණ නියෝගවලට පටහැනිව මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීමට උත්සාහ කළ යාපනය ප්‍රදේශයේ කතෝලික පූජකවරයෙකු ද අත්අඩංගුවට ගැනුණු අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව යොදා ගනිමින් මෙම සැමරීම සූදානම් කර තිබූ බවයි.

+++++++++++++++++

22-11-2020

***************************************

(28.11.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හරහා ඊයේ (27) රාත්‍රියේ හමා ගිය සුළඟකින් ගස් කඩා වැටීම හේතුවෙන් නිවාස කිහිපයකට සුළු හානි සිදුව ඇති බව අප වාර්තාකරුවන් කියා සිටියා.

මේ අතර, ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන බැවින් දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

මෙහි බලපෑම මත ලබන මස 1 වන දා සහ 2 වන දා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ.

***************************************

(28.11.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරයක නිරත වන මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය වන මරියා අහමඞ් ඩිඩී ඇතුළු ධුත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

ඒ, විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි.

මත්ද්‍රව්‍ය, පාතාල කල්ලි ඇතුළු නීනිවිරෝධී ජාවාරම් මර්දනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය සහ අන්තවාදය මෙන්ම, ආරක්ෂක සහයෝගීතාව සම්න්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ.

මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය ඊයේ (27) දිවයිනට පැමිණියේ ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රිය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශවික හමුවට එක්වීම සඳහායි ෴

***************************************

(28.11.2020 – 18:09 +0530 – hirunews.lk/sinhala)

නිවස පැති බැම්මක් කඩා වැටීමත් සමඟ ගැලූ ජල කඳකට යටව වයස අවුරුදු 10 ක දරුවෙක් තුවාල ලබා තිබෙනවා.

ත්‍රිකුණාමලය – දේවනගර් ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයට ඊයේ (27) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ තාප්පය මෙලෙස කැඩී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තාප්පය කැඩී යාමත් සමඟ විශාල ජල කඳක් නිවස දෙසට පැමිණ තිබෙනවා.

දරුවා වැසිකිළියට යාමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති අතර අනතුරෙන් දරුවා සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවූ අනතුර අසල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්.

=====================================

(28.11.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ජාතික රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ රෝගී සායනයේ සේවය කරන හෙදියන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදිත බවට ඊයේ (27) හඳුනාගැනීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී තවත් ආසාදිතයන් 17 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ වෛද්‍යවරයෙකු සහ හෙදියන් 9 දෙනෙකුද එම නව ආසාදිතයන් අතර වන බවයි.

හැටන් – කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද අලුතින් කොරෝනා ආසාදිතයන් හතරදෙනෙකු (4) වාර්තාවී තිබෙනවා.

ඔවුන් කොළඹ රැකියාවල නිරතවන මෙම පිරිස දීපවාලි සැමරීම සඳහා වතුකරයේ සිය නිවෙස්වලට පැමිණ සිටියදී පෙරේදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය සඳහන් කළේ.

මේ අතර බන්ධනාගාරවලින්ද මේ වනවිට කොරෝනා ආසාදිතයන් 800 කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර, පවතින තත්වය සැළකිල්ලට ගෙන සුළු වැරදි සඳහා සිර දඬුවම් නියමවූ පුද්ගලයන් 606 දෙනෙකුට ජනපති පොදු සමාව ලබාදී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළා.

මේ අතර ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සී.අයි.ඩී. අධ්‍යක්ෂ ශානි අබේසේකරට විශේෂ සැළකිල්ලක් දක්වමින් ඔහුව අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර එවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව රැසක් විරෝධය පළ කළා ෴

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොරෝනා ආසාදන වීමත් සමඟ වෙනත් රෝහලකට නොයවා විශේෂ සැලකිල්ලක් දක්වා අයි.ඩී.එච්. රෝහලට මාරු කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුලු පාර්ශවයන් විවිධ අදහස් පළ කරනවා.

+++++++++++++++++++++

(28.11.2020 – 13:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා දෙවන (2) රැල්ල ආරම්භ වූ ඔක්තෝම්බර් 4 වනදායින් පසු මේ දක්වා කාලය තුළ මෙරට තුළ කොරෝනා මරණ 94 ක් සිදුව තිබෙනවා.

පළමු කොරෝනා රැල්ල තුළ මරණ 13 ක් පමණක් වාර්තා වූ අතර, දෙවන කොරෝනා රැල්ල තුළ මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කොරෝනා මරණවලින් 40 ක්ම අවුරුදු 71 ඉක්මවූවන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එය ප්‍රතිශතයක් ලෙස දැක්වෙන්නේ සියයට 42.55 ක් ලෙසයි.

එමෙන්ම අවුරුදු 61 ත් 70 ත් අතර කොරෝනා මරණ විස්සක් (20) සිදුව ඇති අතර, වයස අවුරුදු 51 ත් 60 ත් අතර මරණ 16 ක් සිදුව තිබෙනවා.

අවුරුදු 41 ත් 50 ත් අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 11 ක්.

එමෙන්ම අවුරුදු 31 ත් 40 ත් අතර මරණ 4 ක් සිදුව ඇති අතර, අවම මරණ අනුපාතයක් එනම් ප්‍රතිශතයක් ලෙස සියයට 3.19 ක් සිදුව ඇත්තේ වයස අවුරුදු 10 ත් 30 ත් අතර මරණයි.

ඊයේ (27) දිනයේද නව කොරෝනා මරණ 8 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගියා.

ඊයේ (27) තහවුරු කර ගත් නව ආසාදිතයින් 473 සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් මේ වන විට දැක්වෙන්නේ 22,501 ක් ලෙසයි.

මේ අතර ඊයේ (27) දිනයේත් මෙරටින් වාර්තාවූ වැඩිම ආසාදිතයන් 473 දෙනා අතරින් 138 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 63 ක් වන අතර, රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද අලුතින් ආසාදිතයන් 35 දෙනෙකු ඊයේ (27) හඳුනා ගත්තා.

මේ වනවිට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ කොරෝනා පොකුර දැක්වෙන්නේ 16,372 ක් ලෙසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ පෑලියගොඩ සහ කොළඹ මහ නගර සභාව ආශ්‍රිතව පවතින කොරෝනා තත්ත්වය දිවයිනේ පිටස්තර ප්‍රදේශවලින්ද අනු පොකුරු බවට වර්ධනය වෙමින් වාර්තාවන තත්ත්වයක් නිරීක්ෂණය වන බවයි.

+++++++++++++++++++++

(28.11.2020 – 14:40 +0530 – hirunews.lk/sinhala)

බන්ධානාගාර වලින් තවත් කොරෝනා ආසාදිතයන් 87 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 63 නෙකුම වාර්තාවී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන්.

11 දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙනුත්, 12 දෙනෙකු මැගසින් බන්ධනාගාරයෙනුත් හඳුනාගෙන ඇති අතර මීට පෙර කොරෝනා ආසාදිතයන් වාර්තා නොවූ පොළොන්නරුව බන්ධනාගාරයෙන්ද එක් (1) ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, බන්ධනාගාර නිලධාරීන් 03 දෙනෙකුද අලුතින් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මේ දක්වා බන්ධනාගාර වලින් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 908 ක්.

මේ අතර නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පසුගියදා වහළය මත නැගී විරෝධතාවක් ආරම්භ කළ අතර, ඊට සහය පළ කරමින් තවත් පිරිසක් ආහාර වර්ජනයක නිරතව ඇත්තේ අද (28) දහවල් ආහාරය වර්ජනය කරමින්.

විරෝධතාවන්ට එක් නොවූ රැඳවියන්ටද බාධාවන ලෙස හැසිරෙමින් කටයුතු කළ එම රැඳවියන් පාලනය කිරීම සඳහා බන්ධනාගාර කැරළි මර්දන ඒකකය කැඳවීමටද සිදුවුණා.

මෙම තත්වය හමුවේ රැඳවියන් මිශ්‍රවීමක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරය තුළ පැවති කොරෝනා ව්‍යාප්ති අවදානම තවදුරටත් වැඩිවී ඇති බවයි වාර්තාවන්නේ.

+++++++++++++++++++++

(28.11.2020 – 15:05 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු පාසල් ඉදිරියේදී විවෘත කිරීමට හැකියාවක් නොලැබුනොත් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් වන තීරණය සතියක් තුල ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (28) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

2020 වර්ෂය සඳහා වන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත් වීමටයි මිට පෙර දින නියම කළේ.

මේ අතර ඉතිහාසයේ පළමු වරට විභාගය පවත්වා දින 33 ක් තුල පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා මෙහිදී මතක්කර සිටියා ෴

+++++++++++++++++++

(28.11.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයින් 430 දෙනෙකු සුවය ලබා අද (28) රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 16,656 ක් දක්වා ඉහළ ගියා.

තවදුරටත් පුද්ගලයින් 5,738 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 22,501 ක් ෴

++++++++++++++++++

(28.11.2020 – 16:01 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ සහ මහල් නිවාසවල බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව මූලික කරගෙන සංවිධායන කර තිබූ සායන දෙසැම්බර් මස මැදභාගය දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ජනතාවගේ දැඩි ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි කොළඹ මහ නගර සභාව පවසන්නේ.

ඒ අනුව පහත සඳහන් කර ඇති ස්ථානවල එම සායන පැවැත්වීමට කටයුතු කර තිබෙනවා :

මේ අතර කොළඹ නගරයේ ජනතවට අවශ්‍ය වෛද්‍ය ගැටළු දුරකථනය ඔස්සේ විමසීමටත්, අවශ්‍ය වෛද්‍ය සේවාවන් නොමිලේ ලබා ගැනීමටත් වෛද්‍ය කණ්ඩායමක් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් පවසා සිටියේ.

එම වෛද්‍යවරුන් සහ දුරකථන අංක පහතින් :

+++++++++++++++++++

(28.11.2020 – 16:28 +0530 – hirunews.lk/sinhala)

සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාර්ගයන් 05 ක පහත පරිදි දුම්රියන් ධාවනය වනු ඇති.

කෙසේ වෙතත් සති අන්තයේ දුම්රිය ධාවනය සීමා සහිත වුවත් සඳුදා (30) සිට පසුගිය සතියේ දුම්රිය ධාවනය කළ පරිදි දුම්රිය ධාවනය සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *