දිවි පරදුවට තබා ‘ඔන්ලයින්’ සොයන මොරගහවැව දරු දැරියන්

දිවි පරදුවට තබා ‘ඔන්ලයින්’ සොයන මොරගහවැව දරු දැරියන්

*********************************************

දිවි පරදුවට තබා ‘ඔන්ලයින්’ සොයන මොරගහවැව දරු දැරියන්

(29.11.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

21 වැනි සියවසට ගැලපෙන නව තාක්ෂණයෙන් මෙරට දරු පරපුර සන්නද්ධ කළ යුතු බවට රට කරවන බලධාරීන් බලාපොරොත්තු දුන්නේ වරක් දෙවරක් නොවේ.

නමුත් කොළඹට කොටු වූ තාක්ෂණය දුර බැහැරට තවමත් කොතරම් දුර දැයි මේ දරු පිරිස පෙන්වා දෙනවා.

මේ නවගතතේගම – මොරගහවැව දරු දැරියන් අධ්‍යාපනය සඳහා ‘ඔන්ලයින්’ තාක්ෂණය සොයා දිවි පරදුවට තබා සිදුකරන මෙහෙයුමක් පිළිබඳ සටහනක්.

***************************************

(29.11.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්ත ක්‍රියාවන්ට අදාළව අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය අධිකරණයේ අභිමතය අනුව නොව, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හරහා සිදුකළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යෝජනා කරනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බුද්ධි අංශ සම්බන්ධයෙන් පනතක් ගෙන ඒමේ අවශ්‍යතාවක් ද මේ වනවිට මතුව ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (28) සාක්ෂි ලබාදුන්නේ තුන්වෙනි (3) දිනටයි.

ප්‍රතිත්‍රස්ත පනත සම්පාදනයට දායක වූ කමිටුවේ සාජිකයෙකු වශයෙන් ත්‍රස්තවාදය සහ ආගමික අන්තවාදය සම්බන්ධයෙන් ගත යුතු හා දැනට පවතින නීතිමය තත්ත්වය පැහැදිලි කරගැනීම සඳහායි අජිත් රෝහණ මහතා සාක්ෂියට කැඳවා තිබුණේ.

සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ, ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණෙන සැකකරුවන් මාස හයක (6) කාලයක්වත් පොලිස් අත්අඩංගුවේ තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකළ යුතුබවයි.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ප්‍රායෝගික ගැටලු‍වක් තිබෙනවා විමර්ශකයන්ට ත්‍රස්ත සැකකරුවන් එලෙස කාලයක් රඳවා ගැනීමේදි ඔවුන් එකිනෙකා සමඟ සම්බන්ධ වෙන නිසා තොරතුරු වසන් කරනවා කියලා?”

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක :

“යටිතල පහසුකම් බලලා නීති හදනවද, නීති හදලා යටිතල පහසුකම් හදනවද කියන එක බලන්න ඕනෙ. නීතිය හැදුවම තමයි ඊට අදාළව අනික් ක්‍රියාමාර්ග ගත යුතු වෙන්නේ.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“‍මේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන්වන සැකකරුවන්ට රැඳවුම් නියෝග දීර්ඝ කිරීම් සම්බන්ධයෙන් කුමක්ද අවධානයට ගත යුතු වන්නේ ?”

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක :

“සාමාන්‍ය ක්‍රමය තමයි රැඳවුම් නියෝගයක් ගැනීමට හෝ එය දිගු කිරීමට ත්‍රස්ත සැකකරුව මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරනවා. නමුත් ත්‍රස්තවාදීයෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට ලබා දිය යුතුයි කියන එකයි මගේ යෝජනාව. ඒකට අධීක්ෂණ කමිටුවක් දැම්මට කමක් නැහැ. ත්‍රස්තවාදය හෝ අන්තවාදය සහිත ප්‍රදේශයක මෙවැනි දෙයක් කිරීමේදී මහේස්ත්‍රාත්වරයාට ආරක්ෂාවක් නැහැ. ඒ නිසා ඔවුන් තර්ජනයට හෝ බලපෑමකට ලක් විය හැකියි. නමුත් විමර්ශකයන් සැමවිටම ආරක්ෂාව සහිතව අවි පුහුණු ලැබූ සහ බොහෝදුරට කඳවුරක සිටින අය නිසා ඔවුන්ට බලපෑමක් නැහැ. නමුත් සැකකරුව මසකට වරක් මහේස්ත්‍රාත්වරයාට නිරීක්ෂණය කිරීම කරන්න පුලු‍වන්, මානව හිමිකම් සංවිධානයට ඒ නිරීක්ෂණය කරන්න පුලු‍වන් ඊට කිසිම බාධාවක් නැහැ. එම නිසා කිව යුතුයි මේ රැඳවුම් නියෝග දීමේ බලය නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට ලබාදීම විමර්ශනයටත් පහසුවක්. ඒ විමර්ශනයට අදාළ ගොණු සැමවිටම මහේස්ත්‍රාත්වරයා ළඟ නැහැ. නමුත් ඒවා විමර්ශකයන් ළඟ නිතර තිබෙන නිසා එය විමර්ශන කටයුතු ආරක්ෂා වීමටත් හේතුවක්.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“එවැනි ත්‍රස්තවාදී සැකකරුවන්ට ඇප ප්‍රදානයක් සිදුවෙනවානම් ඒ බලය ලබාදිය දීම සම්බන්ධයෙන් ඔබේ යෝජනාව කුමක්ද ?”

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක :

“එවැනි සැකකරුවකුට අත්අඩංගුවේ සිට අවුරුද්දකට අඩු කාලයකදී ඇප දිය යුතු නැහැ. එලෙස ඊට අඩු කාලයකින් ඇප ලබා දෙනවානම් නීතිපතිවරයාගේ අවසරය මත එය සිදු විය යුතුයි. අවුරුද්දකට වැඩි කාලයකට පසු ඇප ප්‍රදානයක් සිදුවනවානම් එම බලය මහාධිකරණයට ලබාදෙන්න ඕනේ කියන එකයි මගේ යෝජනාව. අද සමාජයේ තිබෙන ත්‍රස්තවාදී ක්‍රියාවල සංකීර්ණභාවය බලලා තමයි මෙම යෝජනා කරන්නේ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ඇප ලබාදීමේදී දේශපාලකයන් පොලිස් නිලධාරින් සමඟ සම්බන්ධවිම් වාර්තා වෙනවා. එමගින් බලපෑමක් සිදුවෙනවානම් එය අපරාධ යුක්තිය පසැඳලීමට බාධාවක් නේද ?”

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක :

“අනිවාර්යයෙන් එය බාධාවක් ස්වාමීනි. පක්ෂවලට වාසි ගන්න එහෙම කළාට එයින් රටට වෙන අවාසිය ඔවුන් හිතන්නෑ. දැනට තියෙන නීතිය අනුව දණ්ඩ නීතී සංග්‍රහය අනුව වරදකරු දඩුවමින් වැළැක්වීම හා සාක්ෂි අතුරුදන් කිරීම යටතේ එය වරදක් වෙනවා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ඔබේ ප්‍රායෝගික දැනුම අනුව කියන්න, අන්තවාදයට සම්බන්ධ පුද්ගල පිරිස් ඉන්න ප්‍රදේශවල විමර්ශන ඒ ඒ ප්‍රදේශීය පොලිසියට බලය දීලා කරන එකද සුදුසු නැත්නම් එක ස්ථානයක් හරහා මෙහෙයවන එකද ?”

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක :

“දැනටත් ක්‍රියාත්මක වෙන්නේ මේක ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය හරහා. එහි නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ඉන්නවා. මේ කටයුතු එක ස්ථානයකින් ක්‍රියාත්මක වෙලා අනු අංශ පළාතට එකක්වත් ස්ථාපිත කරන්න ඕනෙ කියන එකයි මගේ අදහස. තව කාරණයක් ස්වාමීනි. අපිට බුද්ධි අංශ සම්බන්ධයෙන් බුද්ධි යාන්ත්‍රණයට වෙනම පනතක් අවශ්‍යයි. බුද්ධි කටයුතු ප්‍රබල වෙන්නනම් එය සිදුකළ යුතුමයි.”

***************************************

(29.11.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේ නිදන් කොට දුටුගැමුණු රජ විසින් ඉදි කරවූ ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ නොමඳ ගෞරවාදයට පාත්‍ර වන පින් බිමක්.

එහෙත් එම පූජා භූමියේ ගැවසෙන සුනඛයින් නිසා සැදැහැවතුන් පත්වන්නේ දැඩි දුෂ්කරතාවකටයි.

මෙරට ඓතිහාසික පූජා භූමියක් වන ස්වර්ණමාලි මහා සෑය හෙවත් රුවන්වැලි මහා සෑ පරිශ්‍රය තුළ අයාලේ යන ගවයින්, රිලවුන් මෙන්ම සුනඛයින්ගේ ගැවසීම වසරක සිට පමණ ඉහළයාම නිසා මේ වනවිට සැදැහැවතුන් දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.

පූජා භූමියේ සලපතල මළුව සුනඛයින්ගෙන් පිරී ඇති ආකාරය එහි ගිය අපට දැකගතහැකි වූවා.

***************************************

(29.11.2020 – 15:42 +0530 – hirunews.lk/sinhala)

නාවික හමුදාව විසින් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී ධීවර දැලක සිරවී සිටි කැස්බෑවන් අටදෙනෙකු (8) නිදහස් කර මුදාහැරීමට ඊයේ (28) කටයුතු කර තිබෙනවා.

ධීවරයන් විසින් එලන ලද දැලක මෙම කැස්බෑවන් සිරවී සිටින බවට දැනගැනීමත් සමඟ ධීවරයන්ගේ ද සහය ඇතිව එම සතුන් ආරක්ෂිතව මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති මෙම කැස්බෑවන් රැකගනිමින් සාගරික පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය ලබා දෙනවා ෴

***************************************

(29.11.2020 – 16:33 +0530 – hirunews.lk/sinhala)

හයිලෙවල් මාර්ගයේ කොස්ගම නගර මධ්‍යයේදී අද (29) දහවල් සුඛෝපභෝගී ජීප් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

කොට්ටාව ප්‍රදේශයේ සිට කතරගම බලා යමින් සිටි පිරිසක් රැගත් ජීප් රථයකුයි මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ.

ගින්න හේතුවෙන් අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ වාහන ධාවනයටද බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ජීප් රථයේ හටගත් ගින්න නිවා දැමීමට කටයුතු කළද ඒ වනවිටත් රථය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී තිබුණා.

ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවටයි සැක පළකරන්නේ.

රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ එම ස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක්ද හටගෙන ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

***************************************

(29.11.2020 – 17:50 +0530 – hirunews.lk/sinhala)

යාපනය – පලාලි මුහුදේ දියනෑමට ගිය 06 දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් සොයා පොලීසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 19 ක තරුණයින් දෙදෙනෙක් (2) ෴

=================================

(29.11.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

දැනට හුදෙකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හෙට (30) අලුයම පහේ (05:00) සිට හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළබඩ සහ පිටකොටුව පොලිස් බල ප්‍රදේශවල හුදෙකලා තත්ත්වය ඉවත් කරන අතර, ෆර්ගියුසන් පාර හැර මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ සෙසු ප්‍රදේශද හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම සහ මීගමුව පොලිස් බල ප්‍රදේශවලද හෙට (30) අලුයම පහේ (05:00) සිට හුදෙකලා බව ඉවත් කෙරෙනු ඇති.

කෙසේ වෙතත්, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සාලමුල්ල සහ විජයපුර යන ග්‍රාමසේවා වසම් හෙට (30) උදෑසන පහේ (05:00) සිට හුදෙකලා කිරීමට නියමිතයි.

එමෙන්ම, මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශයද හුදෙකලා කර තිබෙනවා.

මේ වනවිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් වසම් 15 ක් තවදුරටත් හුදෙකලා කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කළා.

මේ අතර, කොරෝනා ආසාදිතයින් 22,988 ක් මේ වනවිට මෙරටින් වාර්තා වන අතර, ඊයේ (28) දිනයේදී හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 487 ක්.

එම ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාව වූ 223 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 15 දෙනෙකු ඊයේ (28) වාර්තා වී තිබුණා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,450 ක්.

එම ආසාදිතයින් අතරින් 13,223 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වී ඇති අතර, ඔක්තෝම්බර් මස 04 වැනිදා සිට මේ දක්වා දක්වා හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 8,798 ක්.

මේ අතර, දිවයිනෙන් වාර්තා වන කොරෝනා උප පොකුරු සම්බන්ධයෙන් සහ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා නොවන ප්‍රදේශවලින් හඳුනා ගන්නා කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කිරීමක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ, ඒ පිළිබඳව අදහස් දැක්වූ එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා : ….

මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පුද්ගලයින් 200 දෙනෙකුගේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලින් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එසේම, හංවැල්ල – තුන්නාන ප්‍රදේශයේ පිහිටි රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමඟ එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමුණා.

අවිස්සාවේල්ල – සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 11 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන් අවිස්සාවේල්ල, යටියන්තොට, රුවන්වැල්ල, ඇහැලියගොඩ, කුරුවිට සහ කිරිඇල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ ආශ්‍රිතයින් 368 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්.

මීට පෙරද අදාළ කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වී තිබුණා.

එසේම, කොරෝනා වෛරසය ව්‍යාප්තව යෑමත් සමඟ ඉන් ආරක්ෂා වීම සඳහා භාවිත කරන මුඛ ආවරණ නිසි පරිදි බැහැර කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මේ අතර, කොවිඩ් 19 පැතිරීම හේතුවෙන් විදේශ රටවල රැකියාවේ යෙදී සිට මෙරටට පැමිණිමට නොහැකිව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 488 ක් අද අලුයම කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණියා.

+++++++++++++++++++++++

(29.11.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට විශේෂ සැලකිල්ලක් දක්වමින් අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර එවීම සම්බන්ධයෙන් අදත් අදහස් පළවුණා.

++++++++++++++++++++++++

(29.11.2020 – 14:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 346 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 17,000 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 17,002 ක් වන බවයි ෴

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 183 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බන්ධනාගාර තුල වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දහස (1000) ඉක්මවා ගොස් තිබෙනවා.

එය මේ වනවිට දැක්වෙන්නේ 1091 ක් ලෙසයි ෴

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටියදී පලායාමට තැත් කළ රැඳවියන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරින් සමත්ව තිබෙනවා.

මේ වනවිටත් එම බන්ධනාගාරය තුළ රැඳවියන් 313 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව සඳහන්.

මේ අතර, බන්ධනාගාර ආශ්‍රිතව අද (29) දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 183 දෙනෙකු වාර්තා වීමත් සමඟ බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයින්ගේ මුළු සංඛ්‍යාව 1091 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++++

(29.11.2020 – 15:58 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන පුද්ගලයින්ගේ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ අඛන්ඩව සිදුකිරීමට ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය තීරණය කර තිබෙනවා.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් මෙන්ම, ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ ලේකම් පියල් ජයසූරිය මහතා සඳහන් කළේ ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකු (3) ද ආර්ථික මධ්‍යස්ථානයට අනුයුක්තව කටයුතු කරන බවයි.

පසුගියදා සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 200 කින් ආර්ථික මධ්‍යස්ථානයේ තුන් දෙනෙකු (3) කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ ෴

++++++++++++++++++++

(29.11.2020 – 16:18 +0530 – hirunews.lk/sinhala)

හෙට (30) දිනයේ සිට පිටකොටුව හුදෙකලා බවින් ඉවත් කළත්, පැරණි මැනිං වෙළඳපොල සහ 4, 5 හරස් වීදියේ වෙළඳ කටයුතු සඳහා අවසර හිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

පොලිස් මූලස්ථානයේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අදහස් පළ කළා.

++++++++++++++++++++

(29.11.2020 – 17:54 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 323 දෙනෙක් අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් 23,000 සීමාව පසුකර ගියා.

මේ වනවිට එම සංඛ්‍යාව දැක්වෙන්නේ 23,311 ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *