සුළි කුණාටුව දිවයිනට තවත් ලංවෙයි

සුළි කුණාටුව දිවයිනට තවත් ලංවෙයි

දෙවනගල විහාරාධිපති හිමි සසලව කී කතාව

*********************************************

සුළි කුණාටුව දිවයිනට තවත් ලංවෙයි

(01.12.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින්, දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් පවතින්නේ කිලෝමීටර් 460 ක් දුරින් ස්ථානගතවයි.

ඉදිරි පැය 24 තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන අතර එය නැගෙනහිර වෙරළේ මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් හෙට දිනයේදි මෙරටට ඇතුළු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙහි බලපෑම හේතුවෙන් නැගෙනහිර, උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම සහ සබරගමු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර පැයට කිලෝමීටර් 80 ත් 90 ත් දක්වා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.

එමෙන්ම, සෙසු ප්‍රදේශවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි මෙන්ම එම ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර ප්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

මෙරටට බලපා හැකි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙසයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා දැනුම් දෙන්නේ.

එසේම, මෙම සුළි කුණාටු තත්ත්වයට මුහුණදීම සඳහා සියලු ආපදා අංශ සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

මේ අතර, සුළි කුණාටු තත්ත්වයක් ඉදිරි පැය 24 තුල නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ ඇති මෙම නිවේදනයට අනුව නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (02) සිට ලබන සිකුරාදා (04) දක්වා දින 3 ක් වසා තබන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ප්‍රකාශ කළා.

සුළි කුණාටුවක් ඇති වුවහොත් ඉන් පිඩාවට පත්වන ජනතාවට අවතැන් කඳවුරු ලෙස පාසල් භාවිතා කිරිමට සිදුවන බැවින් මෙම තීරණය ගත් බවයි ආණ්ඩුකාරවරිය සඳහන් කළේ.

+++++++++++++++++

= Tropical Cyclone =

[1] Click on ‘ Tropical Storm BUREVI ‘

[2] [Satellite Imagery : Click ‘ IR ‘]

+++++++++++++++++++++

(02.12.2020 – 07:21 +0530 – hirunews.lk/sinhala)

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘බුරවි’ සුළි කුණාටුව ඊයේ (01) මධ්‍යම රාත්‍රිය වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 330 ක් නැගෙනහිරට බරව ගිනිකොන දෙසින් ස්ථානගතව පැවතුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරුතුඩුව අතරින් ත්‍රිකුණාමලයට ආසන්නව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු වනවා.

සුළි කුණාටුව සමඟ පැමිණෙන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 75 ත්, 85 ත් පමණ වන අතර, ඇතැම් විට එය පැයට කිලෝමීටර් 95 දක්වා වැඩිවනු ඇති.

මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන ප්‍රකාශ කළා. මෙම සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවන ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

මෙරටට බලපා හැකි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙසයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. එමෙන්ම, අවදානම් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කෙරෙනවා.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කර ඇති මෙම නිවේදනයට අනුව නැගෙනහිර පළාතේ සියලු පාසල් අද (02) සිට ලබන සිකුරාදා දක්වා දින 3 ක් වසා තබන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ප්‍රකාශ කළා. සුළි කුණාටුවක් ඇති වුවහොත් ඉන් පීඩාවට පත්වන ජනතාවට අවතැන් කඳවුරු ලෙස පාසල් භාවිතා කිරිමට සිදුවන බැවින් මෙම තීරණය ගත් බවයි ආණ්ඩුකාරවරිය සඳහන් කළේ.

***************************************

(01.12.2020 – 17:17 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් 14 දෙනෙකු පත් කර තිබෙනවා. එමෙන්ම,

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

***************************************

(01.12.2020 – 20:44 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන මතවාදයන් යටපත් කිරීමට වැරදි තොරතුරු ලබාදී සිරගත කෙරුණු දේශපාලනඥයින් බොහෝ පිරිසක් සිටින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

මේ අතර, ‘නව සිංහල රාවය’ සංවිධානය මෙන්ම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මහතා ද මේ සම්බන්ධයෙන් අද (01) අදහස් පළ කළා.

=====================================

(01.12.2020 – 17:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා සැලසුම් ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා, පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

පොලිස්පති සහ නීතිපති

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ අදාළ සැලසුම ලබන සඳුදා (07) වන විට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දන්වා ඇති බවයි ෴

++++++++++++++++++++++

(01.12.2020 – 17:50 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා සැලසුම් ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා, පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ අදාළ සැලසුම ලබන සඳුදා වන විට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දන්වා ඇති බවයි.

මේ අතර, මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ සිද්ධිය හේතුවෙන් තුවාල ලබා සිටින සංඛ්‍යාව මේ වනවිට 117 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එසේම, මෙම සිද්ධියෙන් අද (01) තවත් රැඳවියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර ඒ අනුව සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වූ රැඳවියන් සංඛ්‍යාව ද 11 දක්වා ඉහළ යනවා.

මේ ඒ සම්බන්ධයෙන් සහ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා …

බන්ධනාගාරයේ තත්ත්වය සම්පුර්ණයෙන්ම සාමකාමී බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අද (01) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළ බවයි.

මේ අතර, රෝහල් ගතව සිටින රැඳවියන් අතරින් 38 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව රාගම ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කොළඹ අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාලන අංශය භාර බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා අදහස් පළ කළා.

මේ අතර, මහර බන්ධනාගාරය ආශ්‍රිත ප්‍රදේශවල අද (01) දිනයේත් රැඳවියන්ගේ ඥාති හිතවතුන් එක්ව සිටි අතර, පසුව, එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් එම පිරිස් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව, මහර බන්ධනාගාරයට අවතීර්ණ වන මාර්ගය වසා දැමීමට ද බලධාරින් කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, පසුගියදා සිද්ධිය සම්බන්ධයෙන් අදත් (01) පාර්ලිමේන්තුවේදී සංවාදයක් හට ගත්තා.

මේ එහිදී අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය අලී සබ්රි සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන :

++++++++++++++++++++

(01.12.2020 – 20:57 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇතිවූ කළහකාරී තත්ත්වය කිසිසේත්ම නොවිය යුත්තක් වන අතරම රජයක් ලෙස දැඩි ලෙස කණගාටුව ප්‍රකාශ කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (01) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු එහිදී සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සතියක් තුල ලබා දෙන ලෙස ඒ වෙනුවෙන් පත් කළ විශේෂ කමිටුවට දැනුම් දුන් බවයි.

++++++++++++++++++++

(02.12.2020 – 07:25 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වු සිද්ධියට මූලිකත්වය සහ නායකත්වය ගෙන කටයුතු කළ රැඳවියන් 125 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව ඉදිරියේදි නඩු පවරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බන්ධනාගාර කොමාසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊයේ (01) පස්වරුව වනවිට අදාළ සිද්ධිය සම්පුර්ණයෙන්ම පාලනය කිරිමට හැකි වු බවයි.

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ සිද්ධියෙන් රැඳවියන් 106 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු (2) තුවාල ලැබූ අතර, මියගිය රැඳවියන් සංඛ්‍යාව 11 ක්.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පත් කළ කමිටුවක් හරහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර, මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් පත්කළ පංච පුද්ගල කමිටුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා අස්වීමත් සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර මහතා ඒ සඳහා පත්කර තිබෙනවා.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණය කිරිම සඳහා අපාරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි ආර්.ඒ. ඩී.ඊ.එල් රන්දෙණිය මහතා ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

++++++++++++++++++++

(01.12.2020 – 18:21 +0530 – hirunews.lk/sinhala)

අද (01) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 268 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(01.12.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවී රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල එක්රැස්ව ඇති මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එසේම, අද (01) දිනයේදී තවත් ආසාදිතයින් 268 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 24,255 දක්වා ඉහළ ගියා.

අද හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

අද (01) දිනයේදී තවත් ආසාදිතයින් 257 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර, ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17,817 ක්.

කොරෝනා ආසාදිතයින් 236 දෙනෙකු වාර්තා වී ඇති මේ වනවිට හුදෙකලා කර තිබෙන බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ පුද්ගලයින් 600 කගේ පමණ අද මීගහමුල්ල පල්ලියේදී පී.සී.ආර්. සහ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකළා.

මෙම ප්‍රදේශයේ ඇතැම් පිරිස් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීමේ තත්ත්වයක් මීට පෙර පැවති අතර, ප්‍රදේශයේ ප්‍රජා නායකයින්ගේ මැදිහත්වීම මතයි පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ඔවුන් ඉදිරිපත් වී තිබුණේ.

ඇහැලියගොඩ දියුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් ඇතුළු 16 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 108 ක්.

එසේම, සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් නව ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර, ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 37 ක් ලෙසින්.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (01) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විභාගය පැවැත්වෙන නව දිනය ඊට සති 6 කට පෙර ප්‍රකාශයට පත් කරන බවයි.

+++++++++++++++++++++

(01.12.2020 – 22:32 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා මරණ 04 ක් අද (01) වාර්තා වුණා.

ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යව 122 දක්වා ඉහළ ගියා.

එම නිවේදනය පහතින් :

++++++++++++++++

(01.12.2020 – 22:45 +0530 – hirunews.lk/sinhala)

මේ අතර අද (01) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 273 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++

(02.12.2020 – 07:57 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 24,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (01) නව අසාදිතයින් 545 දෙනෙකු හදුනා ගැනීමත් සමඟයි. ඒ අතරින් ආසාදිතයින් 541 දෙනෙකු වාර්තා වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන්.

ඒ අනුව එම පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 20,983 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 24,532 ක් වාර්තා වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 17,817 ක්.

එසේම, කොරෝනා ආසාදිත මරණ 04 ක් ඊයේ (01) දිනයේදී වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොරෝනා ආසාදිතව සිටියදී හටගත් විෂබීජ ආසාදනයක් හේතුවෙන් ඇති වූ කම්පනයෙන් කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පසුගිය 29 වැනිදා නිවසේදී මියගොස් ඇති බවයි.

එසේම, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 74 හවිරිදි කාන්තාවක්ද පසුගිය 29 වැනිදා නිවසේදී මියගොස් තිබුණා. ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ මොලය අභ්‍යන්තරයේ ලේ ගැලීමක් සමඟ කොරෝනා ආසාදනය වීමයි.

කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇතිවූ ලේ විෂ වීම සහ සමේ ඇති වූ ආසාදනයක් හේතුවෙන් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි කාන්තාවක් පසුගිය 28 වැනිදා නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එසේම, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත පෙනහළු රෝගයක් සමඟ කොරෝනා ආසාදනය වීමයි ෴

+++++++++++++++++++

(02.12.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ සිද්ධියේදී ජීවිතක්ෂයට පත්වූ රැඳවියන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ, ඊයේ (01) සිදුකළ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුවයි. රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ එලෙස තහවුරු වූ නව දෙනාට (9) අමතරව මියගිය තවත් රැඳවියන් දෙදෙනෙකුගේ (2) සිරුරු අද (02) පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත බවයි ෴

*********************************************

දෙවනගල විහාරාධිපති හිමි සසලව කී කතාව

(01.12.2020 – 21:09 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල දෙවනගල ඓතිහාසික පුදබිමේ ඉඩම් කොල්ලය සංම්බන්ධයෙන් වාර්තාකිරීමට ගිය ‘හිරු’ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශ්ව විරෝධය පළ කරනවා.

මේ අතර විහාරස්ථානයේ පළමු මැනුමේ තොරතුරු ඇතුළත් ලිපිය, යම්කිසි අදිසි හස්තයක මැදිහත්විම් මත මේ දක්වා තමන් වහන්සේට ලැබී නොමැති බවට දෙවනගල විහාරාධිපති හිමියන් චෝදනා කරනවා.

දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ්‍රිතව සිදු කෙරෙන අනවසර ඉදිකිරිම් සහ ඉඩම් කොල්ලයන් සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (30) නැවතත් වාර්තා කලා.

එම සිදුවීම වාර්තා කිරීමට ගිය ‘හිරු ටී.වී.’ හෙම්මාතගම ප්‍රදේශීය වාර්තාකරු සමන් විජයබණ්ඩාර මහතාට එහිදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

මෙම සිද්ධියේදී තමන් වහන්සේටද හිරිහැර කළ බවට චෝදනා කරමින් දෙවනගල විහාරාධිපති හිමියන් අද (01) මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කලා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා විහරස්ථ දායක සභාව අද (01) පෙරවරුවේ රැස්වුණා.

එහිදී දෙවනගල විහාරාධිපති හිමියන් සංවේදී වූයේ මෙලෙසින්….

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට මහ සංඝරත්නය අද (01) දෙවනගල පුදබිමට වැඩම කළා.

එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ මාධ්‍ය සංවිධානද විරෝධය පළ කරනවා.

+++++++++++++++++++++

‘කවුරු හරි චන්ඩි ඉන්නවද?’ – දෙවනගල හිමිට හිරිහැර කළ මුස්ලිම් පිරිස් සොයා ඥානසාර හිමි දෙවනගලට

(02.12.2020 – 16:22 +0530 – lankaleadnews.com)

මාවනැල්ල, දෙවනගල ඓතිහාසික පුදබිමේ ඉඩම් කොල්ලය සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය ප්‍රදේශීය මාධ්‍යවේදී සමන් විජයබණ්ඩාර මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර මෙම සිද්ධියේදී තමන් වහන්සේටද හිරිහැර කළ බවට චෝදනා කරමින් දෙවනගල විහාරාධිපති හිමියන් ඊයේ (01) මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම විහාරස්ථානයේ පළමු මැනුමේ තොරතුරු ඇතුළත් ලිපිය, යම්කිසි අදිසි හස්තයක මැදිහත්විම් මත මේ දක්වා තමන් වහන්සේට ලැබී නොමැති බවට දෙවනගල විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි චෝදනා කළේය.

“මෙතන තියෙන ප්‍රශ්නය පොලිස් නීතිය අන්තවාදීන් නොපිලිගැනීම. මැනීමේ කටයුතු අවසන් වෙනකම් හමුදා ආරක්ෂාව දෙන්න.” විහාරාධිපති හිමියන් සඳහන් කළේය.

ඒ පිළිබඳ සොයා බැලීමට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය මාවනැල්ල දෙවනගල ප්‍රදේශයට වැඩම කළහ.

අදාල මුස්ලිම් ජනතාව හමුවේ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි සඳහන් කළේ ‘මෙතන මොකක්වත් ප්‍රශ්නයක් නෑ. පූජාභූමිය මැනගන්න ඉඩ දෙන්න ඕන. තමුන්නාන්සේලාගේ අයිතිවාසිකම් තියෙනවානම් ඒවා ඉල්ල ගන්න පුළුවන්. එක එක හොර ඔප්පු හදාගෙන එක එකාගේ හයිය අරගන්න ලෑස්තිවෙන්න එපා. මේවායේ තියෙනවා ඇත්ත කියාල දෙයක්. හැබැයි පුරා වස්තු කියන දේවල් රැකෙන්න ඕන.”

***************************************

(02.12.2020 – 06:35 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය, භාරතිපුරම් ප්‍රදේශයේ ගොවියෙකු වගාවේ කිලෝග්‍රෑම් 3.5 කට ආසන්න බරකින් යුතු විශාල බිම්මලක් හමුව ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසනවා.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ මාරිමුත්තු ආරුමුගම් ගොවි මහතාගේ වගා බිම තුළ අදාළ විශාල බිම්මල තිබි හමුව ඇති බවයි.

බිම්මල සාමාන්‍ය ලෙස පැවතියත් පසුව ඉතා විශාල ලෙස වර්ධනය වු බවද ආරුමුගම් මහතා පවසා පවසනවා.

බිම්මල විකිනීමට ආරුමුගම් මහතා කටයුතු කොට තිබු බව ද ප්‍රදේශවාසීන් පැවසුවා ෴

***************************************

(02.12.2020 – 07:51 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරීත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම් වලින් ඉවත් කිරීමට කැප වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ උපරිමාධිකරණය සඳහා නව විනිසුරුවරුන් 20 දෙනෙකු ඊයේ (01) දිවුරුම් දුන් අවස්ථාව අමතමින්.

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරුන් 6 දෙනෙකු, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් 14 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (01) දිවුරුම් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිලිප් නවාස්, කුමුදුනි වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්ම-මහත්මීන් එහිදී දිවුරුම් දී තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ අර්ජුන ඔබේසේකර මහතායි. මේනකා විජේසුන්දර, ඩී.එන්. සමරකෝන්, ප්‍රසන්ත ද සිල්වා, එම්.ටී.එම්. ලෆාර්, ප්‍රදීප් කීර්තිසිංහ, සම්පත් බී අභයකෝන්, එම්.එස්.කේ.බී. විජේරත්න, එස්.යූ.බී.කරලියද්ද, ආර්.ගුරුසිංහ, ජී.ඒ.ඩී.ගනේපොල, කේ.කේ.ඒ.වී.ස්වර්ණාධිපති, මායාදුන්න කොරයා, ප්‍රභාහරන් කුමාරරත්නම්, ඩබ්ලිව්.එන්.එන්.පී. ඉද්දවල යන මහත්ම-මහත්මීන් අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්නා.

මේ අතර, ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනයේ ශක්තිය සහ බලවේගය රජය බව පිළිගනිමින් ආර්ථිකය ගොඩනැගීමේ කාර්යයට එක්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (01) කොළඹ දී ආරම්භ වූ ශ්‍රි ලංකා ආර්ථික සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින්.

පෞද්ගලික අංශය ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස සලකන අතර එම කීර්තිනාමය යතාර්ථයක් වීම සඳහා ගතානුගතික සහ අඩු අවදානමක් සහිත උපායමාර්ග හැමවිටම තෝරා ගැනීමෙන් වැළකිය යුතුයි. ඒ වෙනුවට වැඩි ප්‍රතිලාභ අත් කර ගැනීමේ ශක්‍යතාව සහිත නිර්භය ආයෝජන සිදුකළ යුතු බවද පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

(02.12.2020 – 07:54 +0530 – hirunews.lk/sinhala)

හලාවත ධීවර වරායේ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රය, ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් විසින් රැගෙන යාමට උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ධීවරයින් පෙන්වා දුන්නේ හදිසි ආපදාවකදී දැනුම්දීම සඳහා මෙම ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රය අත්‍යවශ්‍ය බවයි.

මෙවැනි ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර බහුදින ධීවර ප්‍රජාවට වැදගත් වන්නේ ගැඹුරු මුහුදේ සිට ගොඩබිම වෙත පණිවිඩ හුවමාරු කිරීම සඳහායි.

ඒ අනුව හලාවත ධීවර වරාය සඳහාද වසර 10 ක පමණ සිට මෙම ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රය ස්ථාපනය කර තිබුණා. නමුත් එය ක්‍රියාත්මක කරවීම සඳහා නිල වශයෙන් නිලධාරියෙකු පත්කර තිබුණේ නැහැ.

ඒ අනුව ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයේ පාලක කටයුතු සිදුකරගනු ලැබුවේ ධීවරයින් විසින්මයි.

හලාවත ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊයේ (01) පස්වරුවේ වරාය වෙත පැමිණ තිබුණේ අදාළ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රය රැගෙන යාම සඳහායි. එය ක්‍රියාත්මක කිරීමට නිසි නිලධාරියෙක් නොමැති බව ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නා. කෙසේ වෙතත්, එහිදී ධීවරයින්ගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්.

මේ සම්බන්ධයෙන් හලාවත කලාපය භාර ධීවර අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා ගෙන් ධීවරයින් කරුණු විමසා සිටියා. ඔහු කියා සිටියේ එවැනි ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර කිහිපයක් ප්‍රදේශයේ ධීවර සමිති කිහිපයකට ලබාදී ඇති බවයි. ඒ අනුව එහි ක්‍රියාකාරීත්වය සිදුකරනු ලැබුවේ අදාළ ධීවර සමිති විසින් බවයි හලාවත කලාපය භාර ධීවර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත්, ධීවර පිරිසගේ විරෝධය මධ්‍යයේ අදාළ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රය සහිත සංඥා කාමරයට මුද්‍රා තැබීමට හලාවත ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් පියවර ගත්තා ෴

***************************************

මානසික රෝගීන්ට පමණක් ලබා දෙන පෙති 21,000 ක් මහර බන්ධානාගාරයේ ඖෂධ ගබඩාවේ තිබිලා – නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ

(02.12.2020 – 07:27 +0530 – lankaleadnews.com)

මානසික රෝගීන්ට පමණක් ලබා දෙන ඖෂධ පෙති විසිඑක්දහසක (21,000) පමණ තොගයක් ඇණවුම් කර ගෙන්වා ඒවා මහර බන්ධනාගාර රෝහලේ ඖෂධ ගබඩාවේ ගබඩාකර තිබීම සහ මහර බන්ධනාගාරයේ කැරලිකාරී තත්ත්වය ඇතිවීම අතර අතර සම්බන්ධයක් ඇතිද යන්න පිළිබඳව විමර්ෂණ කටයුතු සිදුකරණු ලබන බව වාර්තාවේ.

මෙම ඖෂධ මානසික රෝගියෙකු නොවන සාමාන්‍ය පුද්ගලයකු පානය කළහොත් මනස විකෘතිවීමේ හැකියාව ඇති බව කියවෙන අතර මෙවැනි ඖෂධ මෙතරම් තොගයක් ඇණවුම් කරනු ලැබුවේ කවුරුන් සඳහාද, එම ඇණවුම් කිරීම සිදු කළේ කවරකු විසින්ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශන කණ්ඩායම් පුළුල්ව පරීක්‍ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (01) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් මත්කුඩු වෙනුවට මෙම මානසික රෝගීන්ට ලබා දෙන පෙති භාවිත කරනු ලබන අතර මහර බන්ධනාගාර සිද්ධිය අවස්ථාවේ බන්ධනාගාර රෝහලේ ඖෂධ ගබඩාව කඩා දැමූ රැඳවියන් එම පෙති වර්ග පානය කර සිට ඇති බව වාර්තාවේ.

මහර බන්ධනාගාරයේ ඉතිරිව සිටි 2400 ක් පමණ වූ රැඳවියන් අතරින් අති විශාල පිරිසක් ඉහත කී මත් පෙති පානය කිරීම නිසා සිරමැදිරිවලින් පිටත බන්ධනාගාර භූමියේ තැන තැන කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන තිබුණි. මේ හේතුව නිසා ඊයේ (01) පස්වරුව වන විටත් මහර බන්ධනාගාරය අරාජිකත්වයට පත්ව තිබූ බව පැවසෙන අතර ඒ නිසාම මහර බන්ධනාගාරයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට බලධාරීනට නොහැකිව තිබුණි.

තත්වය පාලනය කිරීම පිණිස ඊයේ (01) සවස් කාලයේ සන්නද්ධ සෙබළුන් සහිත ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් (2) බන්ධනාගාරයට ඉහළින් අහසේ පියාසර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි. මේ හේතුවෙන් බියට පත්වූ රැඳවියෝ යළි සිරමැදිරි වෙත ගිය බව වාර්තාවේ. ඉන් පසුව පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහාය ඇතිව බන්ධනාගාරය තුළට ගිය බන්ධනාගාර නිලධාරීහු යළිත් බන්ධනගාරයේ පාලනය මුළුමනින්ම සියතට ගැනීමට සමත් වූහ.

බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතාට අනුව සිද්ධිය සිදුවන අවස්ථාවේදී මහර බන්ධනාගාරයේ දඬුවම් ලැබූ සහ රක්‍ෂිත බන්ධනාගාරගත වූ රැඳවියන් 2782 දෙනකු රඳවා සිට ඇත.

ඒ අතරින් මෙම කැරලිකාරී තත්ත්වය ඇති කරනු ලැබුවේ 1600 ක් පමණ වූ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිස වන අතර, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි පුද්ගලයන් බවද හෙතෙම පැවසීය.

මහර බන්ධනාගාරයේ ඇති වූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි තවත් රැඳවියන් සිව්දෙනකු (4) ඊයේ වන විට මරණයට පත්ව තිබූ අතර, ඒ අනුව මියගිය ගණන එකොළොස් (11) දෙනකු බව රාගම රෝහලේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

බන්ධනාගාර භූමියේ කලහකාරී ලෙස හැසිරෙමින් ඊයේ (01) සවස් වනතුරුම රැඳී සිටි රැඳවියන් එකිනෙකාට කළ පහරදීම්වලින් තවත් පිරිසක් තුවාල ලැබීම නිසා තුවාල ලැබූ පිරිස 106 ක් විය.

මෙම සිද්ධියෙන් මහර බන්ධනාගාරයට සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඇතිවූ කළහකාරී තත්වයින් පසුව මහර බන්ධනාගාරයේ මුළුතැන්ගෙයද මුළුමනින්ම විනාශ වී ඇති නිසා ගෙවීගිය දෙදිනක පමණ කාලය තුළ එහි සිටි සියලු රැඳවියන්ට වැලිකඩ බන්ධනාගාරයෙන් ආහාර ලබාදීමට කටයුතු කළ බවද චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේය ෴

***************************************

(02.12.2020 – 10:18 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට සිංගප්පූරුවට පලාගොස් සිටින හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කැඳවූ වාර්තාව අද (02) හෝ හෙට (03) තමන් වෙත ලැබෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි අද (02) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වාරයේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යොමුකළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එමෙන්ම, වතු කම්කරුවන් සදහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *