මිනිස් ශරීරයට අහිතකර සබන් වර්ග නිෂ්පාදනයට ප‍්‍රමිති ආයතනය බහු ජාතික සමාගමකට ඉඩදීලා… – ඇමති විමල් විශේෂ හෙළිදරව්වක

මිනිස් ශරීරයට අහිතකර සබන් වර්ග නිෂ්පාදනයට ප‍්‍රමිති ආයතනය බහු ජාතික සමාගමකට ඉඩදීලා… – ඇමති විමල් විශේෂ හෙළිදරව්වක

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

*********************************************

මිනිස් ශරීරයට අහිතකර සබන් වර්ග නිෂ්පාදනයට ප‍්‍රමිති ආයතනය බහු ජාතික සමාගමකට ඉඩදීලා… – ඇමති විමල් විශේෂ හෙළිදරව්වක

(02.12.2020 – 06:11 +0530 – lankaleadnews.com)

මිනිස් ශරීරයට අහිතකර සබන් වර්ග නිෂ්පාදනය සඳහා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය බහුජාතික සමාගමකට ඉඩ ලබාදී ඇති බවත් ඒවායේ අඩංගු විෂ රසායන පිළිකාකාරක බව නඩු තීන්දුවකින් හෙළිවී ඇති බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (30 දා) පැවැසීය.

පාර්ලිමේන්තුවේ පෙරේදා පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයට එකතු වෙමින් එසේ අදහස් දැක්වූ ඇමැතිවරයා එහිදී මෙසේද කීය.

“ප‍්‍රතිකාරයක් නොමැති රෝගයකින් මැරෙන පිරිසට වඩා බෝ නොවන රෝගවලින් මිනිසුන් මියයන රටක් බවට අපේ රට පත්වෙලා. බෝ නොවන රෝග එකක් හෝ කිහිපයක් තිබුණු අය තමයි කොවිඩ් හැදිලා වැඩිපුර මැරෙන්නේ. පිළිකාව, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගවලට ඒ අය ගොදුරුවෙලා තිබෙනවා.

බෝ නොවන රෝග සහ මිනිසුන්ගේ ආහාර සංස්කෘතිය සහ ජීවන රටාව අතර ලොකු සබඳතාවයක් තිබෙනවා. ඒ පැතිකඩවල් දෙකම වෙළෙඳපොළ බලවේග විසින් පාලනය කරනවා. ඒ වෙළෙඳපොළ බලවේග දුවන්නේ ලාභය මතයි.

කෘතීම රසායන පොහොර මව් කුසේ බිහිවන කලලය විනාශ වෙන්නටද හේතු වන බව වාර්තා වෙනවා. බෝ නොවන රෝග මෙතරම් වර්ධනය වෙලා තිබෙන්නේ ආහාර නමින් අපේ දරුවන්ට අපි කවන්නේ විෂ නිසයි. කෘතිම රසායන පොහොර, කෘෂි නාශක, බහුල ලෙස අද රටේ භාවිත වෙනවා. ඒත් වෙළෙඳපොළ ඒකාධිකාරය ජනතාව රවටනවා. ඇත්ත හංගනවා.

ශරීරයට හානිකර සබන් වර්ග පිළිබඳව උසාවිවල නඩු තිබුණා. ඒත් ඒ නඩු ප‍්‍රතිඵලයත් මාධ්‍යවල පළ වුණේ නැහැ. ඒවා එතරම් ප‍්‍රබලයි. ඒ සබන් පිළිකාකාරකයි, හානිකරයි කියලා නඩු තීන්දුවෙන් කියවුණා. කෝ පුවත්පත්වල පළ වුණාද? නැහැ.

ලංකාවේ ඇඟ ගල්වන සබන් කැටයක ටීඑෆ්එම් (TFM) අගය සියයට 76.5 ඉක්මවා තිබිය යුතුයි. එය ප‍්‍රමිතියේ අඩංගු කොන්දේසියක්. ටීඑෆ්එම් (TFM) අගය 76.5 ට වඩා අඩුනම් එය සබන් ලෙස හඳුන්වන්න බැහැ. ඒවා හඳුන්වන්නේ ‘බේතින් බාර්’ කියලා.

ඒත් අපි සබන් කියලා ඇඟේ ගාන ‘බේතින් බාර්‘ කැටයක ටීඑෆ්එම් (TFM) අගය සියයට 40 ට වඩා අඩුවෙන්න පුළුවන්. රෙදි සේදීමට ගන්නා සබන් කුඩුවල ටීඑෆ්එම් (TFM) අගය සියයට 59 යි. ලංකාවේ පාරිභෝගිකයාට මේ ටීඑෆ්එම් (TFM) අගය ගැන අවබෝධයක් නැහැ. ඒ අනවබෝධය අර දැවැන්ත බහුජාතික සමාගම ජනතාව රවටන්න භාවිතා කරනවා.

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයත් සම්බන්ධ කරගෙන එම ආයතනය 2001 වසරේදී ‘බේතින් බාර්’ නමින් නව එස්එල්එස් (SLS) ප‍්‍රමිතියක් රටට හඳුන්වා දෙනවා. කෘතිම සේදුම් කාරක යොදාගෙන වඩාත් හොඳ නිෂ්පාදනයක් ලබාදීම සඳහා එය හඳුන්වාදුන් බව ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය එයට හේතුව ලෙස එහිදී ප‍්‍රකාශ කරනවා.

ඒත් එහිදී සිදුවුණේ ‘බේතින් බාර්’ වල ටීඑෆ්එම් (TFM) අගය විශාල ලෙස අඩුවීමත්, පහළ යන ටීඑෆ්එම් (TFM) අගය වෙනුවට කෘතීම සේදුම්කාරක සියයට 2 ක් වශයෙන් එකතු කිරීමයි. එහිදී ලොව ප‍්‍රබල සේදුම් කාරකයක් වන එල්එච්එස් (LHS) නම් සේදුම් කාරක කාණ්ඩයට අයත් සේදුම්කාරක ඇතුළත් කරන්න අවසර දෙනවා. ඒ කෘතිම රසායනය ලංකාවට වැඩිපුරම ගෙන්වන්නෙත් ඉහත කී දැවැන්ත සමාගම විසිනුයි. ඒවා ‘ඩිෂ් වොෂ්’ සඳහා යොදා ගත්තා.

ඉන්පසුව එම සමාගම මිලෙන් අඩු, විෂෙන් වැඩි විෂ සේදුම් කාරක මේ ‘බේතින් බාර්’ වලට එකතු කරා. ප‍්‍රමිති ආයතනය මේ දේවල්වලට දොර හැරලා දුන්නා.

2000 වසර වෙනකම් සබන් කැටයක් ලෙස තිබුණු ඔවුන්ගේ නිෂ්පාදනවල දැන් පොඩියට දානවා ‘බේතින් බාර්’ කියලා. එතැන් සිට එය සබන් කැටයක් ලෙස නොවේ හඳුන්වන්නේ. ඉහත කී රසායන ද්‍රව්‍ය සියයට 3.1 සිට සියයට 5.1 දක්වා ඊට එකතු කළා. 1920 ඒ කියන්නේ සුද්දගේ කාලේ ඉඳන් මේ සබන් අපේ වෙළෙඳපොළේ තිබුණා. ඒත් දැන් ඒවා ‘බේතින් බාර්‘ වෙලා. සබන් වෙළෙඳ පොළේ ආධිපත්‍යය මේ අය දැන් පතුරවලා ඉවරයි. පොඩියට ‘බේතින් බාර්’ කියලා ගැහැව්වට අපට එය දැන් දැනෙන්නේ නැහැ. ‘බේතින් බාර්’ වලට මුවාවෙලා මිනිසුන්ගේ ඇඟ ගල්වන්න විෂ සහිත සබන් දෙන්න ඒ අය කි‍්‍රයා කරනවා.

මේ සේදුම්කාරකය ලොව කොහේවත් සබන්වලට භාවිත වෙන්නෙ නැහැ. ‘ඩිස් වොෂ්, කාර් වොෂ්, කාර්පට් ක්ලීනර්’ වැනි නිෂ්පාදන සඳහා තමයි මේ සේදුම්කාරක යොදාගන්නේ. නිවෙස්වල භාණ්ඩ පිරිසිදු කරන්න යොදාගන්නා සේදුම්කාරක වලත් මේ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්නේ සියයට 4 ක පමණ ප‍්‍රමාණයක් පමණයි. ඒත් මේ බේතින් බාර්වල සියයට 3.1 සිට 5.1 දක්වා ඒවා අඩංගු වෙනවා. ලොව ප‍්‍රකට සඟරාවක දැක්වෙනවා මේ එස්බීඒඑස් (SBAS) රසායනය සියයට 4 කට වඩා අඩංගු නිෂ්පාදන මිනිස් සමට සහ ඇස්වලට හානිකර බව. පර්යේෂණ මගින් එය සනාථ වෙලා තිබෙනවා.

මෙතරම් විෂ සබන් කැට මිනිසුන්ගේ ඇඟේ ගාන්න දීලා බලන් ඉන්න ලෝකයේ එකම රට ලංකාව විතරයි. එම සමාගමට ලංකාවේ පාරිභෝගිකයාව පේන්නේ ‘කාර්පට්’ එකක් විදිහටයි. ප‍්‍රමිති ආයතනයේ නිලධාරීන් මේවට ලැජ්ජා වෙන්න ඕන. මේ තමයි සුදු කරපටි සත්තු. මිනිස්සුන්ගේ ජීවිත ගැන තකන්නේ නැති, මිනිස්සුන්ගේ ඉරණම ගැන සිතන්නේ නැතිව, තමන්ගේ ළමයින්ව පිටරට උගන්වන්න යවන්න තමයි මේ වගේ බිළිදීම් කරන්නේ.

මං මේ පිළිබඳව ප‍්‍රමිති ආයතනයේ නිලධාරීන් සමග සාකච්ඡා කරා. ඒත් ඒ අය පිළිගන්න කැමති නැහැ. නඩුවකින් තීන්දුවෙලා තිබෙනවා මේ සබන් මිනිසුන්ට අහිතකරයි කියලා. ඒත් ප‍්‍රමිති ආයතනය එය පිළිගන්න කැමතිත් නැහැ. ඒ වැරදි නිවැරදි කරන්න කටයුතු කරන්නෙත් නැහැ.

මේ සභාවේ සිටින අපට වගකීමක් තිබෙනවා මේවා නිවැරදි කිරීමට. පිරිපහදු නොකරපු පාම් තෙල් මේ රටට එනවා. පොල් තෙල්වල වැඩිපුර තිබෙන්නේ මේ විෂ අඩංගු පාම් තෙල්. තිරිඟු පිටි පරිභෝජනය අපේ රටේ වැඩියි. දරුවෝ දියවැඩියාවට ගොදුරු වෙලා.”

+++++++++++++++

***************************************

ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

(02.12.2020 – 14:28 +0530 – lankaleadnews.com)

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල ආරක්ෂාව වෙනුවෙන් මහනුවර පල්ලේකැලේ පිහිටි ආයුර්වේද රෝහල සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කොවිඩ් ආසාධිතයින් සදහා ප්‍රතිකාර කිරීම සදහා යොදාගැනීමට තීරණය කර බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

මෙම ආයුර්වේද රෝහල ඇදන් 100 කින් සමන්විත වාට්ටු සංකීර්ණයක් වන අතර ඒ අනුව අදාල වාට්ටු සංකීර්ණය සහ ඖෂධ නිෂ්පාදනාගාරය නිරීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා කටයුතු කළේය. එහිදී රෝගීන් සදහා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධයෙන් සහ කාර්යමණ්ඩල යෙදවීම හා ඔවුන්ගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය විශේෂ අවධානය යොමු කළ අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල ආරක්ෂාව වෙනුවෙන් රජයට ගත හැකි සෑම පියවරක්ම ගනිමින් පවතින බවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇති සුවිශේෂීත්වය මේ වන විට මුළු ලොවටම පසක් වී ඇති බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති එස්.බී. රත්නායක, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එච්.එන්. ජයවික්‍රම, පළාත් ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන, පල්ලේකැලේ ආයුර්වේද රෝහලේ ඖෂධ නිෂ්පාදානාගරය භාර වෛද්‍ය නිලධාරී දිනේෂ් කුමාරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් විය ෴

***************************************

මානසික රෝගීන්ට පමණක් ලබා දෙන පෙති 21000ක් මහර බන්ධානාගාරයේ ඖෂධ ගබඩාවේ තිබිලා – නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ

(02.12.2020 – 07:27 +0530 – lankaleadnews.com)

මානසික රෝගීන්ට පමණක් ලබා දෙන ඖෂධ පෙති විසිඑක්දහසක (21,000) පමණ තොගයක් ඇණවුම් කර ගෙන්වා ඒවා මහර බන්ධනාගාර රෝහලේ ඖෂධ ගබඩාවේ ගබඩාකර තිබීම සහ මහර බන්ධනාගාරයේ කැරලිකාරී තත්ත්වය ඇතිවීම අතර අතර සම්බන්ධයක් ඇතිද යන්න පිළිබඳව විමර්ෂණ කටයුතු සිදුකරණු ලබන බව වාර්තාවේ.

මෙම ඖෂධ මාන්සික රෝගියෙකු නොවන සාමාන්‍ය පුද්ගලයකු පානය කළහොත් මනස විකෘතිවීමේ හැකියාව ඇති බව කියවෙන අතර මෙවැනි ඖෂධ මෙතරම් තොගයක් ඇණවුම් කරනු ලැබුවේ කවුරුන් සඳහාද, එම ඇණවුම් කිරීම සිදු කළේ කවරකු විසින්ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශන කණ්ඩායම් පුළුල්ව පරීක්‍ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (01) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් මත්කුඩු වෙනුවට මෙම මානසික රෝගීන්ට ලබා දෙන පෙති භාවිත කරනු ලබන අතර මහර බන්ධනාගාර සිද්ධිය අවස්ථාවේ බන්ධනාගාර රෝහලේ ඖෂධ ගබඩාව කඩා දැමූ රැඳවියන් එම පෙති වර්ග පානය කර සිට ඇති බව වාර්තාවේ.

මහර බන්ධනාගාරයේ ඉතිරිව සිටි 2400 ක් පමණ වූ රැඳවියන් අතරින් අති විශාල පිරිසක් ඉහත කී මත් පෙති පානය කිරීම නිසා සිරමැදිරිවලින් පිටත බන්ධනාගාර භූමියේ තැන තැන කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන තිබුණි. මේ හේතුව නිසා ඊයේ (01) පස්වරුව වන විටත් මහර බන්ධනාගාරය අරාජිකත්වයට පත්ව තිබූ බව පැවසෙන අතර ඒ නිසාම මහර බන්ධනාගාරයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට බලධාරීනට නොහැකිව තිබුණි.

තත්වය පාලනය කිරීම පිණිස ඊයේ (01) සවස් කාලයේ සන්නද්ධ සෙබළුන් සහිත ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් (2) බන්ධනාගාරයට ඉහළින් අහසේ පියාසර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි. මේ හේතුවෙන් බියට පත්වූ රැඳවියෝ යළි සිරමැදිරි වෙත ගිය බව වාර්තාවේ. ඉන් පසුව පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ඇතිව බන්ධනාගාරය තුළට ගිය බන්ධනාගාර නිලධාරීහු යළිත් බන්ධනගාරයේ පාලනය මුළුමනින්ම සියතට ගැනීමට සමත් වූහ.

බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතාට අනුව සිද්ධිය සිදුවන අවස්ථාවේදී මහර බන්ධනාගාරයේ දඬුවම් ලැබූ සහ රක්‍ෂිත බන්ධනාගාරගත වූ රැඳවියන් 2782 දෙනකු රඳවා සිට ඇත.

ඒ අතරින් මෙම කැරලිකාරී තත්ත්වය ඇති කරනු ලැබුවේ 1600 ක් පමණ වූ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිස වන අතර, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි පුද්ගලයන් බවද හෙතෙම පැවසීය.

මහර බන්ධනාගාරයේ ඇති වූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි තවත් රැඳවියන් සිව්දෙනකු (4) ඊයේ (01) වන විට මරණයට පත්ව තිබූ අතර, ඒ අනුව මියගිය ගණන එකොළොස් (11) දෙනකු බව රාගම රෝහලේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

බන්ධනාගාර භූමියේ කලහකාරී ලෙස හැසිරෙමින් ඊයේ (01) සවස් වනතුරුම රැඳී සිටි රැඳවියන් එකිනෙකාට කළ පහරදීම්වලින් තවත් පිරිසක් තුවාල ලැබීම නිසා තුවාල ලැබූ පිරිස 106 ක් විය.

මෙම සිද්ධියෙන් මහර බන්ධනාගාරයට සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඇතිවූ කළහකාරී තත්වයින් පසුව මහර බන්ධනාගාරයේ මුළුතැන්ගෙයද මුළුමනින්ම විනාශ වී ඇති නිසා ගෙවීගිය දෙදිනක (2) පමණ කාලය තුළ එහි සිටි සියලු රැඳවියන්ට වැලිකඩ බන්ධනාගාරයෙන් ආහාර ලබාදීමට කටයුතු කළ බවද චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේය ෴

***************************************

හරක් පැමිණිල්ලක් හුංගම පොලිසියේදී බෝම්බ චෝදනාවක් වෙයි

(30.11.2020 – 19:04 +0530 – aruna.lk)

ගවයකු සොර ගත් බවට චෝදනා නගමින් තමන්ට හුංගම පොලිසියේ නිලධාරීන් කීප දෙනකු පහර දුන් බවත් නොකළ වරදක් කළැයි පොලිස් පොතේ ලියා ඊට බලහත්කාරයෙන් කන අත්සන ලබා ගත් බවත් තරුණ සේවා පාර, උදාගම, මුලන, හුංගම පදිංචි මල්ලිකාරච්චිගේ ධනුෂ්ක උදය කුමාර (28) නමැති තරුණයකු පවසයි.

කුළි වැඩ කරමින් දිවි ගැට ගසා ගන්නා ධනුෂ්කව පසුගිය 28 වැනිදා හුංගම පොලිසියට කැදවා ඇති අතර එහිදී සිවිල් ඇදුමෙන් සිටි අයෙකු ඔහු පොලීසිය තුළට කැදවා නිල ඇඳුමින් සැරසී සිටි නිලධාරියකු හා තවත් සිවිල් ඇඳුමිනි සැරසී සිටි අයකු හා එක්ව අමානුෂික ලෙස පහරදුන් බව කියයි. පහර දෙමින් ‘තමා සන්තකයේ බෝම්බ ඇති බව’ පිළිගන්නා ලෙස බලපෑම් කර ඇත.

මේ අවස්ථාවේදී එම ස්ථානයට පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ ඇති අතර පහරදුන් නිලධාරීන් එවිට එම ස්ථානයේ බලහත්කාරකමක් සිදු වූ බව ට ඇති සාක්ෂි සඟවා ඇත. මෙහිදී ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ සැකකරුගෙන් කට උත්තරයක් ලබා ගෙන නිදහස් කර යවන ලෙසයි.

අදාල තරුණයා මේ වන විට අඟුනකොළපැලැස්ස රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝහල් පොලීසිය පැය 22 කට පසු පැමිණ කුඩා කොල 5 ක හා CR කොලයක විස්තරය ලියා අත්සන් ලබාගෙන ගොස් ඇති බව කියයි.

පසුගිය 25 වැනිදා රාත්‍රී 11:30 ට පමණ මෙම තරුණයා නිවසට පැමිණෙන විට කඹය කඩාගත් ගවයකු ඔහු ඉදිරියට පැමිණ ඇත. හිමිකරු සොයා භාරදීමේ අරමුණින් ගවයා බැඳ දමූ ඔහු ප්‍රදේශයේ හරක් බලන්නන් දෙදෙනකු වූ සිතාර හා සජිත් නමැති අයට දුරකථනයෙන් අමතා ඇතත් ඔවුන් ඒ අවස්ථාවේදී දුරකතනයට ප්‍රතිචාර දක්වා නැත. අවසන ඔහු ඔහුගේ ඥාතියකුවන කලු බාප්පා නැමැත්තාට කතා කොට ගවයා ගැන විමසා ඇති අතර ඔහුද එබඳු ගවයකු ගැන නොදන්නා බව කියා ඇත.

අවසන ඔහු අයිතිකරු සොයා යෑමට ඉඩදී ගවයා ලිහා දමා ඇත.

පසුදා සජිත් ඔහුට දුර කථන ඇමැතුමක් ගෙන පෙරදා රාත්‍රියේ කතා කළේ මන්දැයි විමසා ඇත. එහිදී ධනුෂ්ක පවසා ඇත්තේ WA ලෙස හන ගසා ඇති ගවයකු හමු වූ බවත් ඌ ගැන විමසීමට ගත් බවත්ය.

එදිනම හුංගම පදිංචි ‘හිච්චිකූරා’ නමැති අයකු පැමිණ ධනුෂ්කගෙන් හරකකු ගැට ගැසුවාදැයි විමසා ඇත. ‘හිච්චිකූරා’ට ආරංචිය දී ඇත්තේ සජිත්ය. ධනුෂ්ක ‘හිච්චිකූරා’ට සිද්ධිය පැහැදිලි කර, හරකා ලිහා දැමු බවත් හරකා හන්දිය පැත්තට ගිය බවත් පවසා ඇත. පසුදා ධනුෂ්ක පොලිසියට කැඳවා ඇත්තේ ‘හිච්චිකූරා’ දැමු පැමිණිල්ලකට අනුවයි.

මේ වන විට එක්තැන් වී සිටින අම්මාත් සදාකාලික රෝගයකු වී සිටින බාල සොහොයුරකුත් ධනුෂ්කගෙන් යැපෙන අතර උද්ගත වී ඇති තත්ත්වය හමුවේ තමන්ට යම් අවැඩක් සිදු වුවහොත් සිය මවගේ මෙන්ම සොයුරාගේ ජීවිතද අවධානම් තත්ත්වයක පවතින බව ධනුෂ්ක කියයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අප හුංගම පොලිස් ස්ථානාධිපති ක්‍රිෂාන්ත රණසිංහ මහතා ඇමතීමට උත්සාහ ගත්තත් ඔහු දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

ධනුෂ්ක විසින් ලබාගත් නැතිවුන හරකාගේ ඡායාරූප :

+————————-

හුංගම පොලිස් බල්ලන්ගේ පහරකෑමට ලක්වූ ධනුෂ්ක

++++++++++++++++

අරුණට කියලා පැය දෙකක් (2) යන්න මත්තෙන් හුංගම හරකා හමුවේ

(01.12.2020 – 15:46 +0530 – aruna.lk)

හරකෙකු නැතිවීමේ සිද්ධියක් පදනම් කරගෙන හුංගම තරුණයකු පොලිසියට ගෙන ගොස් පහරදී තමා සන්තකයේ බෝම්බ තබා ගත් බවට බොරු පැමිණිල්ලක් ලියා බලහත්කාරයෙන් ඇඟිලි සලකුණු ලබා ගත් සිද්ධියක් අරුණ වාර්ථා කොට පැය 2 ක් ගත වීමටත් මත්තෙන් නැති වූවා යැයි කියන හරකා හමු වී ඇත.

හරකාගේ හිමි කරු යැයි පැවසෙන ‘හිචිචිකූරා’ විසින් හරකා මහ මග දක්කාගෙන යන විට පොලිසියෙන් පහර කෑ තරුණයා ට ඒ බව ආරංචි වී එම ස්ථානයට ගොස් සිදු වීම වීඩියෝ කර ඇත.

***************************************

(02.12.2020 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මහතාගේ පියා වන රංජන් ද සිල්වා මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අබුඩාබිහිදී අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජාත්‍යන්තර පොලීසිය සහ තානාපති කාර්යාලය සමග එක්ව ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි. ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයට අනුකූලව අබුඩාබි පොලිසිය මගින් ධර්මසිරි පෙරේරා නමැති සැකකරු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා ෴

***************************************

(02.12.2020 – 11:27 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්කේ වර්ධනය වූ ‘බුරවී සුළි කුණාටුව’ අද (02) පස්වරු 7 ත් 10 ත් අතර දිවයිනට ඇතුළුවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200 ක් නැගෙනහිරට බරව ගිනිකොන දෙසින් ස්ථාන ගතව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එය ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව් වලට ආසන්නයේ ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළින් දිවයිනට ඇතුළුවේයැයි විශ්වාස කෙරෙනවා.

එම පද්ධතිය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර හෙට උදෑසන වනවිට මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. මෙම සුළි කුණාටුව සමග පැයට කිලෝමීටර් 80 ත් 100 ත් අතර ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.

එමෙන්ම, සබරගමුව, උතුර, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ.

මෙම සුලි කුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවට සැලකෙන ත්‍රිකුණාමල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ආපදා සහන මධ්‍යස්ථාන 236 ක් ස්ථාපිත කර තිබෙනවා.

මෙම සුළි කුණාටුවේ බලපෑම සමග මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වැසි සහිත කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙනවා.

ඇතිවිය හැකි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල ජිවත් වන ජනතාව සඳහා තාවකාලිකව රැඳවුම් ස්ථාන සුදානම් කර ඇති බවයි යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.හේමසන් මහතා සඳහන් කළේ.

මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ද වැසි සහිත කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන අතර, උතුරු ප්‍රදේශයේ ජනතාව ආපදාවට මුහුණදීම සඳහා සූදානම්ව සිටින බවයි හිරු වාර්තාකරු මාධව කුලසූරිය මහතා කියා සිටියේ.

මේ අතර, ඇති වන ඕනෑම ආපදා තත්ත්වයකදී මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා සමග සහන සේවා කණ්ඩායම් සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළා. ආපදා තත්ත්වයන් පිළිබද දැනුම්දීම සඳහා 117 විශේෂ දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක අතර, සියලුම ආපදා සහන කණ්ඩායම් මේ වනවිට සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

සුළි කුණාටු තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ලේකම්වරුන්ට රුපියල් බිලියනයක මුදලක් රජය මේ වනවිට වෙන් කර ඇති බව විෂයභාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (02) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳ හදිසි තොරතුරු සඳහා 117 අමතන ලෙස අපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා.

+++++++++++++++++

(02.12.2020 – 14:16 +0530 – hirunews.lk/sinhala)

බුරවී සුළි කුණාටුවෙන් අවදානමට ලක්විය හැකි උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ආරක්ෂිත කඳවුරු වෙත යොමුකිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

එම ජනතාවට අවශ්‍ය පහසුකම් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන ලෙසටයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව මෙම සුළි කුණාටුවෙන් යම් අපදාවක් සිදු වුවහොත් එම ජනතාවට සහන සැලසිම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද ආණ්ඩුකාරවරිය සඳහන් කළා.

සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200 ක් නැගෙනහිරට බරව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) මධ්‍යහ්න 12 ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

අදාළ පද්ධතිය ඊසාන දිග වෙරළෙන් රාත්‍රී 7 ත් 10 ත් අතර මෙරටට ඇතුළු විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ ෴

***************************************

ලොහාන් රත්වත්තේට තවත් රාජ්‍ය ඇමතිකමක්

(02.12.2020 – 11:42 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දී තිබෙනවා.

රත්වත්තේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබෙනවා.

ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනවා ෴

***************************************

(02.12.2020 – 11:53 +0530 – hirunews.lk/sinhala)

ලොව හුදෙකලාම හස්තියා ලෙස හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාවේ කාවන් පාකිස්තානයේ සිට කාම්බෝජයට රැගෙන ඒමෙන් පසු එම සත්වයා මුදාහරින වන අභය භූමිය වෙත රැගෙනවිත් තිබෙනවා.

එම මුළු ගමන පුරා කාවන් මුදා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ පොප් ගායිකා ෂර් ද එක්ව සිටීම විශේෂත්වයක්.

‘සියම් රීප්’ හි එම අභය භූමිය ආසන්නයේ තාවකාලික අනාථාගාරයක රැඳවූ කාවන්ට එහි නව අලි මිතුරෙකු හොඬවැල ස්පර්ශ කොට ආචාර කරන අයුරු මේ වනවිට සමාජ මාධ්‍යයේ පළ වනවා.

පාකිස්තාන සත්වෝද්‍යානයේදී විවිධ පීඩාවන්ට ලක්වූ කාවන් නව පරිසරය ගවේෂණය කරන අයුරුද සිත්ගන්නා සුළු දසුනක් වුණා. කාවන් එම පරිසරයට හුරුවීමෙන් පසු වන අභය භූමිය වෙත මුදාහැරීමට නියමිතයි.

එම වනාන්තරයේ තවත් ඇතින්නියන් තුන් දෙනෙකු (3) සිටින අතර, කාවන්ගේ ජාන සංරක්ෂණය උදෙසා ඔවුන් සමඟ මුසුවනු ඇතැයි සත්වවේදීන් අපේක්ෂා කරනවා ෴

***************************************

(02.12.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

නවගත්තේගම – මොරගහවැව ගම්මානයේ දරු දැරියන් පිරිසක් අඩි 60 කට වඩා උස ජල ටැංකියකට නැග සිය ‘ඔන්ලයින්’ අධ්‍යාපන කටයුතුවල නිරත වන අවදානම් තත්ත්වය ගැන හිරු ප්‍රවෘත්ති හරහා රටට හෙළි කිරීමත් සමඟ ඒ පිළිබඳ අදාළ බළධාරින්ගේ අවධානය ඒ වෙත යොමු වී තිබෙනවා.

ඒ අනුව, විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ විශේෂ අවධානය ඒ පිළිබඳ යොමුවීමෙන් පසු, එම කොමිසමේ නිලධාරින් කණ්ඩායමක් සමග දුරකථන සමාගම් දෙකක් (2) පැමිණ අදාළ සන්නිවේදන තාක්ෂණය ලබාදීම සඳහා කටයුතු ආරම්භ කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත රට පුරා ආරම්භ කර ඇති ගමට සන්නිවේදනය ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මොරගහවැව – දංගස්වැව විද්‍යාල පරිශ්‍රය හා ඒ අවට ෆෝ-ජී තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සිදුවනවා.

බොහෝ අපහසුතා මධ්‍යයේ තම අධ්‍යයන කටයුතු සිදුකරගෙන යාම පිළිබඳව හිරු ප්‍රවෘත්ති හරහා රටට හෙළි කළ පසු බලධාරින්ගේ මැදිහත් වීමෙන් තම සිහින ඉටු වීම පිළිබඳව දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් සිය සතුට පළ කළා.

***************************************

(02.12.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala)

පාසලට සිසුවෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව යටතේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රමිලා මදුරංගනී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලබන වසර සඳහා පාසලේ පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කිරීමට රුපියල් 1,50,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අද (02) පෙරවරුවේ එම පාසලේ ක්‍රීඩාංගනය තුලදී අදාළ විදුහල්පතිවරිය අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.

ඇය අද (02) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

*********************************************

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

(02.12.2020 – 13:52 +0530 – hirunews.lk/sinhala)

වත්තල ජල සම්පාදන ක්‍රමයේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (03) පෙරවරු 10 සිට පැය 18 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලහදූව ප්‍රදේශවලට එම කාලය තුලදී ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව, මරදාන පාර, ඇලකන්ද සහ හැඳල පාරේ කොටසකට ද හෙට (03) පෙරවරු 10 සිට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවනු ලබනවා ෴

***************************************

(02.12.2020 – 15:26 +0530 – hirunews.lk/sinhala)

ICTA සභාපති ජයන්ත ද සිල්වා මහතා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කරන තිබෙනවා.

***************************************

(02.12.2020 – 16:47 +0530 – hirunews.lk/sinhala)

බුරවි සුළි කුණාටුවට මුහුණදීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් ආරක්ෂාව සඳහා හම්බන්තොට වරාය වෙත යොමුකළ බවයි.

මේ වනවිටත් බුරවි සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් නැගෙනහිර පළාත ඇතුලු ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙන බව ද වාර්තා වනවා ෴

අද (02) රාත්‍රී නැගෙනහිර වෙරළින් දිවයිනට ඇතුලුවේයැයි අපේක්ෂා කරන බුරවී සුළි කුණාටුවෙන් සිදුවිය හැකි හානි වැළැක්වීම සඳහා නැගෙනහිර ප්‍රදේශය භාර හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *