මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළට

*********************************************

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළට

(02.12.2020 – 22:27 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා මරණ 02 ක් අද (02) වාර්තා වුණා.

ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යව 124 දක්වා ඉහළ ගියා.

එම නිවේදනය පහතින් :

+++++++++++++++++++

(02.12.2020 – 22:24 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 528 දෙනෙකු අද (02) හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතයින් සහ මහර බන්ධනාගාරයේ ආසාදිතයින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++

(02.12.2020 – 11:47 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (01) හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 541 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම සංඛ්‍යාව 294 ක්. ඒ අතර කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 77 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වූ ආසාදිතයින් 66 දෙනෙකු වනවා.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කියා සිටියේ මේ දක්වා ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් කොරෝනා ආසාදිත මරණ 59 ක් වාර්තා වී ඇති බවයි.

එසේම, ඊයේ (01) වාර්තා වූ ආසාදිතයින් අතරින් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් 96 දෙනෙකම අටලුගම ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබීම විශේෂත්වයක්.

එම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ ඊයේ (01) එම ප්‍රදේශයේ පුද්ගලයින් 470 දෙනෙකුගේ පමණ එකවර සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ සහ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුවයි.

අටලුගම ප්‍රදේශයෙන් පමණක් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 325 ක්.

මහනුවර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ (01) ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වූ අතර, ඊට බෝගම්බර බන්ධනාගාරයෙන් වාර්තා වූ නව ආසාදිතයින් 24 දෙනෙකු ද අයත්.

මේ අතර, කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇය සමඟ සබඳතා පැවැත් වූ තවත් සිසුවියන් 16 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සේම, හැඳල – කෙරවලපිටිය ප්‍රදේශයේ පැවති දානමය පුණ්‍ය කර්මයකට සහභාගි වූ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වීමෙන් පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී තවත් 14 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති තහවුරු වී තිබෙනවා. ඒ අනුව ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සඳහන් කළේ.

මේ අතර, වැලිපැන්න පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 27 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ සමඟ තවත් පොලිස් නිලධාරීන් 56 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර, පොලිස් ස්ථානයද විෂබීජහරණය කිරීමටයි පියවර ගැනුණේ.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 24,532 ක් ලෙස සටහන් වන අතර, ඉන් 17,817 ක් සම්පූර්ණයෙන් සුවය ලබා තිබෙනවා.

++++++++++++++++++++

(02.12.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ෆයිසර් සහ ජර්මානු බයෝ – එන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම් ඒකාබද්ධව නිපදවූ කොවිඩ්-19 එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, එරට ජනතාවට ෆයිසර් – බයෝ – එන්ටෙක් එන්නත භාවිත කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

ෆයිසර් එන්නත පුළුල් භාවිතයට අනුමත කළ ප්‍රථම බටහිර රට වන්නේ ද බ්‍රිතාන්‍යයි. මීට අමතරව, මොඩර්නා එන්නත ද ඇමෙරිකාවේ සහ යුරෝපයේ නියාමන අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා ෴

+++++++++++++++++++

(02.12.2020 – 14:50 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 18,304 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (02) දිනයේදී තවත් 487 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

මේ වනවිට දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 24,532 ක් වන අතර, ඉන් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6156 ක් ෴

+++++++++++++++++++

(02.12.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, අද (02) දිනයේදී ආසාදිතයින් 487 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා පිටව යෑමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,304 ක්.

එසේම, අද (02) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

මේ අතර, දුම්රියේ ගමන් කරන මගීන්ගේ තොරතුරු සහ ආසන නිශ්චිත අයුරින් වෙන් නොකිරීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ආශ්‍රිතව කොරෝනා පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ මේ වනවිට කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ෴

තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව ලබා දෙනතුරු, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, කොරෝනා ආසාදිත සිරුරු භූමදානයට අවසර ලබා නොදෙන බව, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරනවා ෴

++++++++++++++++++++++

(03.12.2020 – 08:59 +0530 – hirunews.lk/sinhala)

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියේදී තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර, පළාගොස් තිබුණේ ඊයේ (02) රාත්‍රියේදීයි.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඇතිවූ අදාළ සිද්ධියේදී රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර, තවත් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා ෴

=========================================

(02.12.2020 – 17:05 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර තදබදය අවම කිරීමේ පියවරක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට අදාළව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයන්ට ලබන සඳුදාට (07) පෙර නඩු පවරා අදාළ කටයුතු අවසන් කරන ලෙස උසස් පොලිස් නිලධාරින්ට අද (02) උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පොලිස් මූලස්ථානයේ සිට පැවැත්වූ සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදුන් බවයි.

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ සිද්ධියේදී බන්ධනාගාර නිලධාරින් කටයුතු කර ඇත්තේ බන්ධනාගාර ආඥා පනතට අනුව බව, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

මේ අතර, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (02) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් ලොහාන් රත්වත්තේ මහතා අද (02) පස්වරුවේ මහර බන්ධනාගාරය වෙත පැමිණ එහි ඇති වු තත්ත්වය පිළිබඳව සොයා බැලුවා.

මේ අතර, මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පිළිබඳව සොයා බැලීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (02) එහි ගොස් තිබුණා.

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ සිද්ධියෙන් රැඳවියන් 106 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු (02) තුවාල ලැබූ අතර, මියගිය රැඳවියන් සංඛ්‍යාව 11 ක්.

ඔවුන්ගෙන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද මේ වනවිට තහවුරු වී තිබෙනවා.

එසේම තුවාල ලැබු රැඳවියන්ට 38 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැණුනා.

රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කියා සිටියේ අදාළ රැඳවියන්ට ප්‍රතිකාර සිදුකළ වෛද්‍ය කාර්ය මණ්ඩලය නිරෝධානය සඳහා යොමුකරවීමට කටයුතු කරන බවයි.

***************************************

(02.12.2020 – 18:46 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ උතුරු පළාතට අඛණ්ව වැසි ඇද වැටෙමින් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පවසනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ ඊයේ (01) රාත්‍රියේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයට හටගත් සුළං තත්වයක් මත කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ නිවාස කිහිපයකට අලභාහනි සිදුව ඇති අතර ගස් රැසක්ද කඩා වැටී තිබෙනවා.

සුළි කුණාටු තත්වය මත හටගත් වර්ෂාව හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිත නිවාස රැසක් ජලයෙන් යටිවී ඇති බවයි මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් ප්‍රකාශ කළේ.

පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ යාපනය හා මුලතිව් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ දැඩි රළු ස්භාවයක් ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

[ සේයාරූ ]

++++++++++++++++++++++++++

(02.12.2020 – 18:56 +0530 – hirunews.lk/sinhala)

බුරවී සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතිනවා.

මෙම සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ඊසාන දිග වෙරළින් රාත්‍රී 7 සහ 10 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට ඇතුළුවන බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ.

පැයට කිලෝමීටර් 80 ත් 90 ත් සහ විටින් විට පැයට කිලෝමීටර් 100 දක්වා මෙම සුළි කුණාටුවෙහි සුළගේ වේගය ඉහළ යා හැකි අතර, මෙම තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර, උතුරුමැද, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම, වෙරළබඩ ප්‍රදේශයේ ද මුහුදුරළ ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එසේම, මේ වනවිටත් බුරවී සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් නැගෙනහිර පළාත ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙන බව හිරු වාර්තාකරු සඳහන් කළා.

මෙම සුළි කුණාටුවේ ප්‍රබලත්වය 1.5 ක් වන අතර, සුළි කුණාටු වර්ගීකරණය කිරීම යටතේ බුරවී සුළි කුණාටුව හතර (4) වන ඝණයට අයත් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ.

අද (02) රාත්‍රියේ නැගෙනහිර වෙරළින් දිවයිනට ඇතුළු වේයැයි අපේක්ෂා කරන බුරවී සුළි කුණාටුවෙන් විදුලි පද්ධතියට සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සඳහා අතිරේක සේවක කණ්ඩායම් එම ප්‍රදේශය වෙත යොමුකර ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ හදිසි තත්ත්වයක් මතුවුවහොත් එම ප්‍රදේශවල ක්ෂණික විදුලි විසන්ධි කිරීමක් ද සිදුකරන බවයි.

සුළි කුණාටු තත්ත්වයත් සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය නිලධාරින් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු සියලු අංශ මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර අවසන් බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, අවදානමට ලක්විය හැකි උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ආරක්ෂිත කඳවුරු වෙත යොමුකිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙම සුලි කුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවට සැලකෙන ත්‍රිකුණාමල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ආපදා සහන මධ්‍යස්ථාන 236 ක් ස්ථාපිත කර ඇති බව සඳහන්.

එම ජනතාවට අවශ්‍ය පහසුකම් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන ලෙසටයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

සහන සැලසිම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

බුරවි සුළි කුණාටුවට මුහුණදීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් ආරක්ෂාව සඳහා හම්බන්තොට වරාය වෙත යොමුකළ බවයි.

එමෙන්ම, ඕනෑම ආපදා තත්ත්වයකදී ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා සමග සහන සේවා කණ්ඩායම් සුදානම් කර ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කළා.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සුළි කුණාටුව දිවයිනට ඇතුළු විය හැකි බවට පැවසෙන එම කාලසීමාව තුළ එය නැරඹීමට සහ ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීමට උත්සාහ නොකරන ලෙසයි.

එමෙන්ම, අවදානම් සහිත නිවෙස්වල සිටින ජනතාව රජය විසින් ලබාදී ඇති ආරක්ෂක ස්ථාන වෙත කඩිනමින් යොමුවන ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.

පුත්තලම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (03) දිනයේ වසා තැබෙන බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා ෴

***************************************

(02.12.2020 – 19:40 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩුදුන් බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම ආරම්භ කර පවත්වාගෙන යාමේදී අනීතික ක්‍රියා රැසක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා විසින් මුල්වරට අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ එම විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විගණනයකින් පසුවයි.

අදාළ ආයතනය ඉදි කිරීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් කාත්තන්කුඩි නගර සභාවට අහිමි වු රුපියල් ලක්ෂ 85 කට ආසන්න මුදල නැවත අය කර ගැනීමට ද විගණකාධිපතිවරයා එහිදී නිර්දේශ කර තිබෙනවා ෴

***************************************

(02.12.2020 – 20:14 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර කිහිපය තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නැවුම් උපාය මාර්ග තුළින් අභියෝග කළමනාකරණය කරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“2020 වසර තුළ දී අප රජයට මුහුණදීමට සිදුවූ අභියෝගයන් ඉතා දැවැන්ත ඒවායි. එම අභියෝගයන් තියුණු වූයේ කොවිඩ් නිසා පමණක් නොවෙයි.

2015 සිට 2019 දක්වා අප ආර්ථිකයේ සිදුවූ සැලකියයුතු පසුබෑමත් එයට හේතු වූ බව අප සියලුදෙනා දන්නවා. ඒත් එම අභියෝග ඉදිරියේ අපි පසුබට වෙන්නේ නැහැ. පසුබට වුණෙත් නැහැ. කෙඳිරිගෑවෙත් නැහැ. අපි විපක්ෂයට චෝදනා කරමින් කාලය නාස්ති කළෙත් නැහැ. එසේ නොකර ජනතාව අපගෙන් බලාපොරොත්තු වූ කාර්ය භාරයේ යෙදෙමින් අපගේ වගකීම අප ඉෂ්ඨ කළා. ඒ අනුව අපි නව රජයේ පළමු අයවැය ඉදිරිපත් කළා. ඒ හරහා 2021 වෙනුවෙන් ආර්ථිකයේ 5.5% ක වර්ධනයක් ඇතිකර ගැනීමටත්, බදු ප්‍රතිපත්තිය නොවෙනස්ව පවත්වාගෙන යාමටත්, ආර්ථිකයට නව ජීවයක් ලබාදීමටත් අප අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළා. මේවා ක්‍රියාත්මක කිරීමට අප රජයේ සියලු මැති ඇමැතිවරුන් සහ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් බලාපොරොත්තුවෙන් සිටිනවා. එළැඹෙන වසර කිහිපය අප රටට තීරණාත්මක වසර කිහිපයක්. අප රටේ ආර්ථිකමය ඉදිරි ගමන ශක්තිමත් කෙරෙන වකවානුවක්. එළැඹෙන මෙම වකවානුව සාර්ථක වන්න නම් අප සියලුදෙනා එක්ව මෙම අභියෝග කළමනාකරණය කරගත යුතුයි. ඒ සඳහා අප නැවුම් උපාය මාර්ග ක්‍රියාත්මක කළ යුතුයි.”

***************************************

(02.12.2020 – 20:41 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට ගිණිකොණ දෙසින් බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති බුරවි සුළි කුණාටුව අද (02) රාත්‍රී 9 ට පමණ දිවයිනට ඇතුළු වුණා.

කාලගුණ අංශ අනාවැකි පළකරන්නේ එය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන්කර හෙට (03) පෙරවරුවේ මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇති බවයි.

බුරවි සුළි කුණාටුව මුලතිව් සහ ත්‍රිකුණාමලය ප්‍රදේශ අතරින් අද (02) රාත්‍රී 9 ට පමණ දිවයිනට ඇතුල්වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

රට තුළට ඇතුළුවූ සුළි කුණාටුව, සුළං රටා හැසිරීම පිළිබඳ අනාවැකි පළකරන ජාත්‍යන්තර වෙබ් අඩවියක් වන https://www.windy.com/ හි සටහන් වී තිබුණා.

මේ සුළි කුණාටුව රටට ඇතුළුවූ අවස්ථාවේදී නැගෙනහිර ප්‍රදේශ කිහිපයක ලබාගත් දර්ශනයි.

බුරවි සුළි කුණාටුව හෙට (03) උදෑසන 8 පමණ වන විට මන්නාරම දිස්ත්‍රිකයේ මන්නාරම්තුඩුව පසු කරමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන කරනු ඇතැයි එම වෙබ් අඩවිය අනාවැකි පළ කරනවා.

මේ අතර, බුරවි සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ඇතුළුවන කාලයේදී මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍ර දේශවල වෙරලාසන්න මහත්බිම් මුහුදු ජලයෙන් යටවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට අද දිනයේ විටින් විට පැ.කි.මී. 80-100 ත් අතර වන ඉතා තද ප්‍රහාරත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු නිවේදනයේ සඳහන්.

සෙසු පළාත්වල පැ.කි.මී. 60-70 ත් අතර වේගයකින් තද සුළං තත්ත්වයන් ඇතිවිය හැකියි.

මීට අමතරව, බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට මිලිමීටර් 200 ට වඩා ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, එය අධි අවදානම් තත්ත්වයක් ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

***************************************

(02.12.2020 – 20:53 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හරහා අධිකරණයට බලපෑම් සිදු කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය මත බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

අද (02) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකාච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පලකළේ.

***************************************

(02.12.2020 – 23:03 +0530 – hirunews.lk/sinhala)

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යංශ හතරක (4) වැය ශීර්ෂයන් අද (02) පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන රහිතව සම්මත වුණා. මේ එම විවාදයේදී පළ වූ අදහස් කිහිපයක් :

***************************************

++++++++++++++++++

(03.12.2020 – 06:51 +0530 – hirunews.lk/sinhala)

බුරවි සුළි කුණාටුවේ සෘජු බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහන වෙත එක්වෙමින්.

ඒ අනුව එම පද්ධතියේ දරුණු බව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි ඔහු එහිදී සඳහන් කළේ.

මෙම පද්ධතිය හේතුවෙන් පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටර් 1 ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත බිම් මුහුදු ජලයෙන් යටවිය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවයි.

මේ අතර ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ බුරවි සුළි කුණාටුව හේතුවෙන් මෙතෙක් දරුණු හානියක් සිදුව නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම සුළි කුණාටු තත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ තද වැසි සහ සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ෴

+++++++++++++++++++

(03.12.2020 – 08:02 +0530 – hirunews.lk/sinhala)

බුරවි සුළි කුණාටුව දිවයිනට ආසන්න වීමත් සමඟම ඇති වූ වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

මාර්ග ගණනාවක ගස් කඩා වැටීම් සහ විදුලිය බිඳ වැටීම් සිදුවී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ත්‍රිකුණාමල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ආපදා සහන මධ්‍යස්ථාන 236 ක් ස්ථාපිත කර තිබෙනවා.

බුරවි සුළි කුණාටුවෙන් දැඩි ආපදා සිදුවූ බවට වාර්තා වී නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ.

මෙම සුළි කුණාටුවත් සමඟ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනු ලැබුවා.

අවශ්‍ය වුවහොත් ජනතාව මුදා ගැනීම සඳහා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා සමග සහන සේවා කණ්ඩායම් සුදානම් කර ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කළා.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘බුරවි’ සුළි කුණාටුවේ කේන්ද්‍රය ඊයේ රාත්‍රි 10:30 ත්, 11:30 ත් අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළේ තිරියායි සහ කුච්චවේලි අතරින් ශ්‍රී ලංකා ගොඩබිමට ඇතුළු වුණා.

ඒ සමඟ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වන තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පැයට කිලෝමීටර් 70 ත්, 80 ත් පමණ සුළං ප්‍රවාහයක් සහිත සුළි කුණාටුවේ වේගය ඇතැම් විට පැයට කිලෝමීටර් 90 දක්වා ඉහළ යා හැකි බවයි එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.

මෙම පද්ධතිය හේතුවෙන් පුනරීන් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටරයකින් පමණ ඉහළ යා හැකි අතර, වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යටවිය හැකි බවද එමඟින් සඳහන් කළා.

එමෙන්ම, පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට (04) දිනය දක්වාම දිවයිනට උතුරු, වයඹ, ඊසාන සහ බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර, ඇතැම් විට ඉතා රළු විය හැකියි.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශද තරමක් රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

++++++++++++++++++

***************************************

(03.12.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියේදී තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු ඉන් පළාගොස් තිබෙනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රි 09:00 ට පමණ මෙම රැඳවියා රෝහලෙන් පළාගොස් ඇති බවයි.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඇතිවූ අදාළ සිද්ධියේදී රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර, තවත් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා ෴

(03.12.2020 – 08:59 +0530 – hirunews.lk/sinhala)

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියේදී තුවාල ලැබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිටියදීයි ඉන් පළාගොස් තිබුනේ.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ඊයේ (02) රාත්‍රි 09 ට පමණ මෙම රැඳවියා රෝහලෙන් පළාගොස් තිබූ බවයි.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඇතිවූ අදාළ සිද්ධියේදී රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර, තවත් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා ෴

===================================

(03.12.2020 – 08:05 +0530 – hirunews.lk/sinhala)

දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සටහන් කරමින් ඊයේ (02) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 878 දෙනෙකු හඳුනා ගත්තා.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 25,410 ක්.

ඊයේ (02) හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව, මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුර 21,861 දක්වා ඉහළ ගියා.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 6,982 ක් දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 18,304 ක්.

එසේම, ඊයේ (02) දිනයේදී තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් (02) වාර්තා වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ හලාවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් පසුගිය 30 වැනිදා හලාවත රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කොරෝනා ආසාදනය නිසා ඇති වූ හෘදයාබාධයක් ඇයගේ මරණයට හේතු වී තිබෙනවා.

එසේම, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුද පසුගිය 30 වැනිදා නිවසේදී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කොරෝනා නියුමෝනියාව සමඟ ආඝාතය ඔහුගේ මරණයට හේතු වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 124 ක්.

මේ අතර, කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානයට අවසර ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තාක්ෂණ කමිටුවේ අවසන් තීන්දුව ලබා දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබාදුන් තීන්දුව අනුව වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා නොදෙන බවයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (02) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, කොරෝනා වෛරසය මැඩපැවැත්විය හැකි දේශීය ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා සමත් වූ අතර බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමකගේ මැදිහත් වීමෙන් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක්ද සිදු කෙරුණා.

වතුපිටිවල කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින ස්වෙච්ඡාවෙන් ඉදරිපත් වූ රෝගීන් සඳහා එම ඖෂධය ලබාදෙමින් පරීක්ෂණ සිදුකරනු ලැබුවා ෴

+++++++++++++++++++++

අටුලුගම ආසාදිතයෙක් රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගසයි

(02.12.2020 – 22:29 +0530 – sinhala.adaderana.lk)

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 96 දෙනෙකු හඳුනාගැනීමත් සමග එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 300 ඉක්මවා තිබේ.

දිවුලපිටිය ප්‍රදේශයෙන් අදත් (02) ආසාදිතයින් 23 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් සියලුදෙනාම වාර්තා වන්නේ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකිනි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (01) හඳුනාගත් ආසාදිතයින් 130 දෙනා අතුරින් 96 දෙනෙකුම හඳුනාගෙන තිබෙන්නේ දැනට හුදකලා තත්ත්වයේ පවතින අටුලුගම ප්‍රදේශයෙනි.

කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා සඳහන් කළේ අටුලුගම ප්‍රදේශයේ 425 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට ඊයේ (01) යොමු කෙරුණු බවත් ඉන් 96 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගත් බවත්ය.

එමෙන්ම තවත් 475 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එම වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිතය.

මේ අනුව අටුලුගම ප්‍රදේශයේ කොවිඩ් පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 327කි.

අටුලුගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකු රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ අද පැමිණි අවස්ථාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයා සෞඛ්‍ය අංශ වෙත කෙළ ගැසීමක් සිදුකර තිබුණේ රෝහලගතවීම ප්‍රතික්ෂේප කරමිනි.

මේ අතර වැලිපැන්න පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනාගැනීමත් සමග වැලිපැන්න පොලිස් ස්ථානයේ සහ මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනියුක්ත පොලිස් නිලධාරීන් 56 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සිදුකර තිබුණි.

එම වාර්තා ඊයේ (01) ලැබුණු අතර තවත් පොලිස් නිලධාරීන් 27 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

මේ අතර නව ආසාදිතයින් 113 දෙනෙකු ඊයේ (01) හඳුනාගැනීමත් සමග බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1306 දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 42 ක්, බෝගම්බර බන්ධනාගාරයෙන් 27 ක්, වැලිකඩ බන්ධනාගාරයෙන් 27 ක්, මැගසින් බන්ධනාගාරයෙන් 16 ක් හා බන්ධනාගාර රෝහලෙන් එක් අයෙකු (1) වශයෙන් ආසාදිතයින් වාර්තා වුණි.

++++++++++++++++

***************************************

(03.12.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් නමැති විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් සහ කොකේන් තොගයක් සඟවා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් 04 ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා කියා සිටියේ එංගලන්තය, ඇමෙරිකාව හා නෙදර්ලන්තය යන රටවල සිට මෙම පාර්සල් කොළඹ, නාවල, වාද්දුව සහ අහංගම යන ප්‍රදේශවල පිහිටි ලිපිනයන් වෙත එවා තිබූ බවයි.

එම පාර්සල් විවෘත කිරීමේදී රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා කුෂ් නමැති ගංජා ග්‍රෑම් 500 ක් සහ රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා කොකේන් ග්‍රෑම් 80 ක් සොයා ගෙන තිබෙනවා.

අදාළ පාර්සල් එවා තිබූ ලිපිනයන් පරීක්ෂා කර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති බව ද සඳහන් ෴

***************************************

(03.12.2020 – 08:14 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ මහාධිකරණයේ පනවා තිබූ විදෙස් ගමන් තහනම ඊයේ (02) ඉවත් කරනු ලැබුවා.

ඒ, ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින්.

දොම්පේ – මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කළ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර් නඩේෂන් මහතාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුණා.

මෙහිදී ජනාධිපති නීතිඥ ටී.වීරරත්න මහතා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ සිය සේවාදායකයාට රාජකාරි කටයුතු සඳහා විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසටයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගමන් තහනම ඉවත් කළ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඒ බව ආගමන විගමන පාලක වෙත දැනුම් දෙන ලෙස ද ගම්පහ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා නියම කරනු ලැබුවා ෴

***************************************

(03.12.2020 – 08:43 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය කොරෝනා ආසාදිත රැඳවියන්ගේ සිරුරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම්දීම සඳහා හෙට (04) දිනයේදි නිතීපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු සහ සෞඛ්‍ය අංශ නිලධාරියෙකු අධිකරණයට කැඳවන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා, පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ, සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ සංවිධානයේ සභාපති නිතීඥ සේනක පෙරේරා මහතා මෝසමක් මාර්ගයෙන් ඊයේ (02) සිදු කළ කරුණු දැක්වීම සලකා බලමින්.

එම මරණ සියල්ල ස්වාභාවික හේතු මත සිදු නොවූ සැක සහිත මරණ වන බැවින් පවත්නා කොරෝනා මර්දන රෙගුලාසි අනුව ඒවා ආදාහනය කළහොත් එම මරණ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධාවක් විය හැකි බවයි නිතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයට පෙන්වා දි තිබුණේ.

යම් හෙයකින් එම මරණ, මිනි මැරුම්වලට සාක්ෂි ඉදිරිපත් වුවහොත් එම ඝාතන වලට වගකිව යුතු අපරාධ කරුවන්ට නිතියේ රැහැනින් මිදීමට එමගින් අවස්ථාව ලැබෙන බව ඔහු සඳහන් කර තිබුණා.

එබැවින් අපරාධකරුවන්ට නිතියේ රැහැනින් මිදි යාමට ඉඩ නොලැබෙන පරිදි සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසට නිතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලිම සලකා බලමිනුයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

එමෙන්ම, බන්ධනාගාර තදබදය අවම කිරීමේ පියවරක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට අදාළව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයන්ට ලබන සඳුදාට පෙර නඩු පවරා අදාළ කටයුතු අවසන් කරන ලෙස උසස් පොලිස් නිලධාරින්ට ඊයේ (02) උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත සිදුකළ දැනුම්දීමකට අනුවයි.

මේ අතර, රැඳවියන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් ඊයේ (02) මහර බන්ධනාගාරයට අසලට එක්ව සිටි අතර, පසුව එම ස්ථානයට පැමිණි බන්ධනාගාර අධිකාරිවරයා ඔවුන්ට කරුණු පැහැදිලි කර දුන්නා.

මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පිළිබඳව සොයා බැලීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊයේ (02) එහි ගොස් තිබුණා ෴

***************************************

(03.12.2020 – 09:51 +0530 – hirunews.lk/sinhala)

‘බුරවි’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය ප්‍රදේශයට ගතවූ පැය 24 ක කාලය තුළ මිලිමීටර් 226.4 ක වර්ෂාපතනයක් ඇද හැළුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය එම කාලය තුළ දිවයිනේ ප්‍රදේශයකින් වාර්තා වූ වැඩිම වර්ෂාපතනයයි.

මීට අමතරව ආලම්පිඩ්ඩි සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවලටද මිලිමීටර් 200 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන මහත්මිය කියා සිටියේ.

‘බුරවි’ සුළි කුණාටුව අද (03) දහවල් වනවිට මන්නාරම් බොක්ක හරහා දිවයිනෙන් ඉවතට යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ සමඟම සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ අංශවල අපේක්ෂාවයි.

කෙසේ නමුත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථානවලට එහිදී මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති වන බව සඳහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *