දරුවා එක්ක බසයෙන් යද්දී ක්ලේමෝ බෝම්බයක් සමග හිටපු කොටිකත කොටුවෙයි

දරුවා එක්ක බසයෙන් යද්දී ක්ලේමෝ බෝම්බයක් සමග හිටපු කොටිකත කොටුවෙයි

*********************************************

දරුවා එක්ක බසයෙන් යද්දී ක්ලේමෝ බෝම්බයක් සමග හිටපු කොටිකත කොටුවෙයි

(03.12.2020 – 07:20 +0530 – aruna.lk)

තම දරුවාද සමග ක්ලේමෝ බෝම්බයක් ප්‍රවාහනය කරමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක හා ඇයගේ සැමියා පරන්තන්හිදී ඊයේ (02 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

File Photo

යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක යමින් සිටියදී ඔවුන් අල්ලාගෙන තිබේ. එම යුවළ මෙම බෝම්බය බුමුතුරුණු සහිත බෑගයක සඟවා තිබී ඇත. බුද්ධි අංශ දුන් ඔත්තුවකට අනුව පොලිස් – හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම වැටලීම කර ඇත.

මෙම කොටි ජාලය ස්විට්සර්ලන්තයේ සිට ක්‍රියාත්මක බව හෙළිවී ඇත. මෙම කොටි ජාලය උතුර හා නැගෙනහිර ඉලක්ක දෙකකට ක්ල්මෝ ප්‍රහාර එල්ල කිරීමට බෝම්බ රැගෙන යාමට සූදානම්කර ඇතැයි හෙළිවී ඇත.

සිව්වැනි ඊළාම් යුද්ධය අවසන් වූ පසු මෙරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට විදෙස්ගත එල්.ටී.ටී.ඊ. ජාලය උත්සාහ කළ පහළොස් වැනි (15) අවස්ථාව මෙය බව බුද්ධි අංශ සඳහන් කරයි.

2014 අප්‍රේල් 14 වැනිදා නෙඩුන්කර්නි කැලෑවේදී හමුදා ප්‍රහාරයකින් මියගිය එල්.ටී.ටී.ඊ.යේ ගෝපි යන අයගේ සොහොයුරු ස්විට්සර්ලන්තයේ සිට මෙම ප්‍රහාරය සැලසුම්කර ඇතැයි හෙළිකරගෙන ඇත.

අත්අඩංගුවට ගත් යුවළ පදිංචිව සිට ඇත්තේද අයියකච්චි, පැනික්කච්චිහි පිහිටි ගෝපි හෙවත් කජිපන් පොන්නයියා සෙල්වනායගම්ගේ මවගේ නිවස ඉදිරිපිට නිවසකය.

එම අඹුසැමි යුවළගෙන් ලද තොරතුරු මත ඉඩමේ වළ දමා තිබූ අත්බෝම්බයක් හමුවී තිබේ. තවත් වළ දැමූ පුපුරන ද්‍රව්‍ය සොයා ඊයේ (02 වැනිදා) පොලිසිය හා හමුදාව එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.

එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකාවක වන අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබූ ක්ලේමෝ බෝම්බය කිලෝ 1.8 ක් බර වන අතර මෙය නැගෙනහිරට යැවීමට නියමිතව තිබී ඇත. මෙම බෝම්බය තමාට ලැබුණේ යතුරුපැදිකරුවකුගෙන් බවට ඇය හෙළිකර තිබේ.

මෙම කාර්ය සඳහා විදෙස් කොටි ජාලය ඇයගේ ගිණුමට මුදල් දමා ඇත. ඇය තම හත් (7) හැවිරිදි දරුවා මෙම කටයුත්තට රැගෙන ගොස් ඇත්තේ සැකයක් ඇති නොවීමේ උපක්‍රමයක් ලෙසය.

මෙම යුවළ යාපනයටත් බෝම්බයක් රැගෙන ගොස් ඇතැයි හෙළිවී තිබේ. මෙම කණ්ඩායමේ ඉලක්කය කුමක් දැයි සෙවීමට යුද හමුදා බුද්ධි අංශය පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මෙහෙයුමක් අරඹා ඇත ෴

***************************************

(03.12.2020 – 10:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කුෂානි රෝහණධීර මහත්මිය පත් කර තිබෙනවා.

ඇය මීට පෙර කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තු සහකාර මහලේකම්වරිය ලෙසයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03) පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ සභාවට දැනුම් දුන්නේ ඊයේ (02)දිනයේ සිට මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.

හිටපු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීම හේතුවෙන් හිස්වූ නියෝජ්‍ය මහලේකම් ධුරයට කුෂානි රෝහණධීර මහත්මිය මෙලෙස පත් කෙරුණා.

***************************************

(03.12.2020 – 11:34 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වය හමුවේ මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය GL පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ද එළඹෙන වසරේ මාර්තු මාසය වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන ආමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ ෴

***************************************

(03.12.2020 – 11:50 +0530 – hirunews.lk/sinhala)

‘බුරවි’ සුළි කුණාටුව හේතුවෙන් වැඩිම වර්ෂාපතනය කිළිනොච්චි අක්කරයාන්කුලම් ප්‍රදේශයෙන් වර්තාවනවා. එහි අගය මිලිමීටර් 279.8 ක්.

මේ අතර චාවකච්චේරි ප්‍රදේශයට මිලිමීටර් 260 ක වර්ශාපතනයක් ලැබී ඇති අතර මුලතිව් ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 224 ක්.

බුරවි සුළිකුණාටු තත්වය හේතුවෙන් උතුරු පළාතේ මාර්ග වෙත කඩා වැටුණු ගස් ඉවත් කිරීම අද (03) උදෑසන සිදුකෙරුණු අයුරු.

[ සේයාරූ ]

+++++++++++++++++++

(03.12.2020 – 13:03 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්කේ වර්ධනය වී ඊයේ (02) රාත්‍රියේ නැගෙනහිර වෙරළෙන් දිවයිනට ඇතුළු වූ බුරවි සුළි කුණාටුව මේ වනවිට මන්නාරම බොක්ක හරහා දිවයිනෙන් බැහැර ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායන්කුලම් ප්‍රදේශයට ගතවූ පැය 24 ක කාලය තුළ මිලිමීටර් 279.8 ක වර්ෂාපතනයක් ඇද හැළුණු බවයි.

එමෙන්ම, චාවකච්චේරි ප්‍රදේශයෙන් මිලිමීටර් 260 ක්, මුලතිව් ප්‍රදේශයට මිලිමීටර් 224 ක් සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයට මිලිමීටර් 202 ක වර්ෂාපතනයක් ද වාර්තා වී තිබෙනවා.

මීට අමතරව පදවි – ශ්‍රීපුර ප්‍රදේශයට මිලිමීටර් 199 ක වර්ෂාපතනයක් සහ උදයර්කට්ටු ප්‍රදේශයට මිලිමීටර් 190 ක් මෙන්ම වැලිඔය ප්‍රදේශයට මිලිමීටර් 186 ක වර්ෂාපතනයක් වාර්තා වනවා.

මේ අතර, යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණයෙන් නිවාස 15 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත්, 170 කට අර්ධ හානි සිදුව ඇති බවත්, ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට තවදුරටත් වැසි ඇදහැලෙන බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු මාධව කුලසූරිය මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, නැගෙනහිර පළාතෙන් හානි අවම වශයෙන් වාර්තා වනවා.

***************************************

(03.12.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරි සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර එම සිද්ධියේදී තුවාල ලබා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය රැඳවියෙකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ (02) රාත්‍රියේ 9 ට පමණ රෝහලෙන් පලාගොස් තිබූ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඇතිවූ අදාළ සිද්ධියේදී රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර, තවත් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු (2) තුවාල ලැබුවා.

***************************************

(03.12.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට තමා පත් කළ විමර්ශන කමිටුවේ සාමාජිකයින් අද (03) දිනයේ එම බන්ධනාගාරය නිරීක්ෂණය කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් යොමුකර තිබූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද (03) පිළිතුරු ලබාදෙමින්.

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද අදහස් පළ කළා ෴

***************************************

(03.12.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 600 ක් පෞද්ගලික සමාගමකට හෝටලයක් ඉදිකිරීම සඳහා ලබාදී ඇති බවට පළ වන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

***************************************

(03.12.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ සත්‍ය තත්වය රට හමුවේ එළිදක්වන තුරු කතෝලික ජනතාව අවධානයෙන් සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අගරදගුරු මැදුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

(03.12.2020 – 14:23 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩුදුන් ‘බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම’ ආරම්භ කර පවත්වා ගෙනයාමේදී අනීතික ක්‍රියා රැසක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා විසින් මුල්වරට අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ එම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විගණනයකින් පසුවයි.

එහි ඇතැම් අනීතික ක්‍රියා නීතිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට ද විගණන වාර්තාවෙන් නිර්දේශ කර තිබීම විශේෂ සිදුවීමක්.

එමෙන්ම මෙම ආයතනය ඉදිකිරීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් කාත්තන්කුඩි නගර සභාවට අහිමි වූ රුපියල් ලක්ෂ 85 කට ආසන්න මුදල නැවත අයකර ගැනීමට ද විගණකාධිපතිවරයා සිය විශේෂ විගණනයෙන් නිර්දේශ කර තිබෙනවා.

===========================================

***************************************

කොරෝනා සුව වූ පසුත් පෙනහළුවලට හානි

(03.12.2020 – am.lk)

කොරෝනා ආසාදිත පුද්ගලයින් සුවවීමෙන් මාස තුනකට අධික කාලයකට පසුව ද ආසාදිතයාගේ පෙනහළුවලට හානි සිදු විය හැකි බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

මෙම පර්යේෂණයට කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු යොදා ගෙන ඇත.

නවතම ස්කෑන් තාක්ෂණය ඔස්සේ එම ආසාදිතයන්ගේ පෙනහළු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සිදුකල ස්කෑන් පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව සම්ප්‍රදායික ස්කෑන් පරීක්ෂාවන්ට හසු නොවන ආකාරයේ පෙණහලු හානියක් ආසාදිතයන්ට සිදුව තිබූ බව පර්යේෂකයන් හඳුනා ගෙන ඇත.

මෙහිදී කොරෝනා ආසාදිතයන්ගේ පෙණහලුවලට සිදුව ඇති හානිය හඳුනාගැනීම සඳහා සිදු කරන ලද එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණ ‘සිනොන්’ නමැති වායුව යොදාගෙන සිදු කර ඇත.

++++++++++++++++++++

(03.12.2020 – 09:54 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පය 24 ක කාලය තුළ මුහුණු ආවරණ නොපැළඳීම සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 987 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුහුණු ආවරණ නොපළඳින සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගන්නා පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදීත් නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ ෴

+++++++++++++++++++++

(03.12.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 10,140 ක් වාර්තා වී තිබෙනවා.

ඒ, ඊයේ (02) කොළඹින් වාර්තා වූ ආසාදිතයින් හාරසිය දෙදෙනෙකු (402) ද සමඟින්. ඒ අතර බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 108 දෙනෙකු සහ අළුත්කඬේ ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 63 දෙනෙකුද වනවා.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙකු ඊයේ (02) වාර්තා වී තිබුණා.

ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කඩවත ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 48 ක්. ආසාදිතයින් 106 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ අතර, ඉන් 98 දෙනෙකුම අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.

ඊයේ (02) හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් 878 දෙනා අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් පනස් දෙදෙනෙකු (52), පුත්තලම දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 29 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 27 දෙනෙකුද වනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25,410 ක් වන අතර, සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,304 ක්.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6,982 ක් පමණයි.

මේ අතර බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට රැගෙන යෑමට ගිය අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට බාධා කරමින් හැසිරුණු පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයින් 389 දෙනෙකු ද ඊයේ (02) රාත්‍රියේ සහ අද (03) අලුයම දිවයිනට පැමිණියා.

චීනය, කටාර්, ජෝර්දාන් සහ ඕමාන් සිට ඔවුන් පැමිණ තිබූ බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය නිසා කල් දමන ලද සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ද එක්ව සිටියා.

+++++++++++++++++++

(03.12.2020 – 13:52 +0530 – hirunews.lk/sinhala)

මුදල් පරිහරණය කිරීමෙන් කොරෝනා වෛරසය අසාදනය වෙන්නේ මෙහෙමයි

මේ කොවිඩ් සමයේ මුදල් පරිහරණය කොතෙක් දුරට ආරක්ෂිතයිද..?

මේ ඒ පිළිබඳව ‘හිරු TV’ කළ සොයා බැලීමක්.

එදිනෙදා අවශ්‍යතාවන් සපුරා ගැනීම වෙනුවෙන් මුදල් භාවිතය අනිවාර්යයෙන්ම සිදු කල යුතු වනවා.

නමුත් පවතින කොවිඩ්-19 හමුවේ, කාසි සහ නොට්ටු භාවිතය අපව අනාරක්ෂිත තත්ත්වයට පත් කරන්නේද ?

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *