කොමිෂන් 5 කට ජනපති එවූ නම් පාර්ලිමේන්තු සභාව තහවුරු කරයි

කොමිෂන් 5 කට ජනපති එවූ නම් පාර්ලිමේන්තු සභාව තහවුරු කරයි

*********************************************

කොමිෂන් 5 කට ජනපති එවූ නම් පාර්ලිමේන්තු සභාව තහවුරු කරයි

(03.12.2020 – 17:13 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවා, මැතිවරණ, අල්ලස්, පොලිස් සහ මුදල් කොමිසම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් අද (03) රැස්වූ පාර්ලිමේන්තු සභාව තහවුරු කළා.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු සභාව තහවුරු කර ඇත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන ජගත් බාලපටබැඳි මහතායි.

එසේම, මැතිවරණ කොමිසම සඳහා නීතිඥ නිමල් පුංචි හේවා මහතා, පොලිස් කොමිසම සඳහා හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු මහතා, අල්ලස් කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වන ඊවා වනසුන්දර මහත්මිය මෙන්ම මුදල් කොමිසම සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන සුමිත් අබේසිංහ මහතා මෙලෙස සභාපතිවරුන් ලෙස තහුවරු කර තිබෙනවා.

එසේම, අදාළ කොමිෂන් සභා සඳහා වන සෙසු සාමාජිකයන්ගේ නම් ද අද (03) තහවුරු කෙරුණා ෴

++++++++++++++++

***************************************

(03.12.2020 – 14:32 +0530 – hirunews.lk/sinhala)

බුරවී සුළි කුණාටුව මේ වනවිට මන්නාරම සහ පුනරින් අතර වෙරළට ආසන්නයේ ස්ථානගත වී ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළි කුණාටුව සමඟ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 90 ත් දක්වා ඉහළ යා හැකියි.

එමෙන්ම, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි සහ ඇතැම් ස්ථානවලට 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම පද්ධතියේ බලපෑම හෙට (04) සහ අනිද්දා (05) දෙදින තුළ පවතින අතර, මේ හේතුවෙන් තවදුරටත් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකියි ෴

බුරවි සුළි කුණාටුව හේතුවෙන් එක් (1) පුද්ගලයෙකු අතුරුදන්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි.

තුවාල ලබා ඇති 4 දෙනා පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා ෴

(03.12.2020 – 15:41 +0530 – hirunews.lk/sinhala)

‘බුරවී’ සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර, එහි බලපෑම ගොඩබිම ප්‍රදේශ සඳහා අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියේ මෙම පද්ධතිය සම්බන්ධයෙන් නිකුත් කරන අවසාන අවදානම් නිවේදනය නිකුත් කරමින්.

ඒ අනුව, කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට (04) උදෑසන කාලය වනතුරු තවදුරටත් ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසටයි අවවාද කෙරෙන්නේ.

සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ‘බුරවී’ සුළි කුණාටුවේ බලපෑමෙන් එක් අයෙකු අතුරුදන්ව පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ෴

බුරවි සුළි කුණාටුවේ බලපෑම් පැවතියත්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන ගිය බව ගුවන්තොටුපල කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළා.

ගුවන්තොටුපලට පැමිණීමට නියමිත කිසිදු ගුවන් ගමනක් අවලංගු නොකළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

(03.12.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

‘බුරවී’ සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර, එහි බලපෑම ගොඩබිම ප්‍රදේශ සඳහා අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසටයි අවවාද කෙරෙන්නේ.

සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

‘බුරවි’ සුළි කුණාටුවේ බලපෑමෙන් එක් අයෙකු අතුරුදන්ව පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කුණාටුවේ බලපෑමෙන් දිස්ත්‍රික්ක 06 ක පුද්ගලයින් 12,252 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

එසේම, නිවාස 15 කට පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර, 192 කට අර්ධ හානි සිදුව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

++++++++++++++++++++

(03.12.2020 – 21:41 +0530 – hirunews.lk/sinhala)

‘බුරවි’ සුළි කුණාටු බලපෑමෙන් දිස්ත්‍රික්ක 12 ක පුද්ගලයන් 44,848 කට පීඩා සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර සුළි කුණාටුවෙන් එක් අයෙකු අතුරුදන් බවත් 6 දෙනෙකුට තුවාල ලබා ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

නිවාස 50 කට පූර්ණ හානි සිදුව ඇති අතර 2148 කට අර්ධ හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධස්ථානය වැඩි දුරටත් ප්‍රකාශ කළේ ෴

***************************************

(03.12.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala)

නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ‘වනූෂි වෝල්ටර්ස්’ පළමු වරට පාර්ලිමේන්තුව ඇමතුවා.

‘ආයුබෝවන්’ ලෙස පවසමින් ආරම්භ කළ ඇයගේ කතාව අවසානයේදී ගැලරියේ සිටි පිරිසක් තම්මැට්ටම් සහ හක්ගෙඩි වාදනය කරමින් ඇයට ප්‍රශංසාව පළ කිරීම සුවිශේෂී වුණා.

‘වනුෂි වෝල්ටර්ස්’ උපත ලබන්නේ 1981 වසරේදී ශ්‍රී ලංකාවේදී.

කොළඹ නගරාධිපතිවරයෙකු වූ රත්නසෝති සරවණමුත්තු මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියක් වූ නායිසම් සරවණමුත්තු මහත්මියගේ මිනිබිරිය වන වනුෂි වෝල්ටර්ස් වයස අවුරුදු 5 දී පමණ සිය මව්පියන් සමග නවසීලන්ත බලා පිටත්ව ගොස් තිබුණා.

එහිදී වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ ඇය මේවන විට නවසීලන්තයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 39 හැවිරිදි තරුණ මන්ත්‍රිනියක් ලෙසින්.

සිය මංගල පාර්ලිමේන්තු කතාව සිදුකිරීමට ඇය පැමිණ තිබුණේ ශ්‍රී ලාංකිකත්වය ලොවට විදහාපාමින් සාරියකින් සැරසෙමින්.

සිය මංගල කතාව අවසානයේදී පාර්ලිමේන්තු ගැලරියේ සිටි පිරිස් තම්මැට්ටම් සහ හක්ගෙඩි වාදනය කරමින් ඇයට ප්‍රශංසාව පළකළේ මෙලෙසින්.

“මේ මොහොත අද උදෑසන හැමදාම එළැඹෙන උදෑසනක් නෙවෙයි. ජීවිත කාලයටම වරක් නැගෙන උදෑසනක්. ඔබට අද නැවුම් ආරම්භයක් ලැබිලා තියෙනවා.

මැතිවරණ දින උදෑසන ‘අපර් හාබර්’ මැතිවරණ කොට්ඨාසයේ පළමු කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය තේරී පත්වූ අවස්ථාව ඉතාම සුවිශේෂි. නමුත් මම නවසීලන්ත පාර්ලිමේන්තුවට එක්වුණු පළමු ශ්‍රී ලාංකිකයා නොවෙයි.

නවසීලන්ත පාර්ලිමේන්තු පුස්තකාලයේ වේගවත් සොයා ගැනීමට ස්තූති වන අතරම එම ගෞරවය හිමිවන්නේ ඇනේකින්ග්ටයි. කෙසේ වෙතත්, මම තමයි ශ්‍රී ලංකාවේ උපත ලබා නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජය කරන පළමු නියෝජිතවරිය.

යථාර්ථය දැන් මම ශ්‍රී ලාංකිකයෙක් පමණක් නෙවෙයි, නවසීලන්ත වැසියෙක්.

මගේ පවුල, නවසීලන්තයට ආවේ 1987 අවුරුද්දේ. මට මතකයි එක් උදෑසනක මගේ අම්මා රිචඩ් සොයිසා ගැන පැවසූ දේ. ඔහු මගේ පියාගේ සමීපතම ඥාතියෙක්. 1990 දී ඔහු ඝාතනය කෙරෙනවා පවතින රජය දැඩි ලෙස විවේචනය කළ නිසා.

එය තමයි මගේ අවුරුදු 27 ක මානව හිමිකම් පිළිබඳ නීතිඥ වෘත්ති කතාවේ ආරම්භය. මිනිසුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් තවත් සිදුකළ යුතු බොහෝ දේවල් ලොවපුරා තවත් රටවල ඉතිරිව තිබෙනවා. මොකද මානව හිමිකම් සියල්ලන්ටම අයිති නිසා.”

***************************************

(03.12.2020 – 16:20 +0530 – hirunews.lk/sinhala)

මරිජුවානා, කැනබීස්, කංසා ආදී විවිධ නම්වලින් හඳුන්වන ගංජා දැඩි පාලනය සහිත මත්ද්‍රව්‍ය කාණ්ඩයෙන් ඉවත් කිරීමට ජගත් සංවිධානයේ ඖෂධ නියෝජිතායතනය තීරණය කර තිබෙනවා.

වියෙනා නුවර පැවති එහි වාර්ෂික සම්මේලනයේදී සාමාජික රටවල් අතර පැවති ඡන්දයෙන් 27 ට 25 ක් ලෙස ඊට අනුමැතිය හිමිවුණා.

ඡන්දය පැවැත්වුණේ පර්යේෂණ සහ වෛද්‍ය භාවිතයට ගංජා පුළුල් වශයෙන් යොදා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමකට අනුවයි.

ගංජා, පර්යේෂණ හා වෛද්‍ය භාවිතය උදෙසා සංවර්ධනය කිරීමට පවතින බාධාවන් ඉවත් කළ යුතු බවට පසුගිය වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ඉදිරිපත් කළා.

හෙරොයින් ඇතුළු අනෙකුත් අනතුරුදායක මත්ද්‍රව්‍ය මෙන්, ගංජා වලින් කැපී පෙනෙන මරණීය අවදානමක් නොමැති බවත්, දැඩි වේදනාව හා අපස්මාරය වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය යොදා ගත හැකි බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හඳුනාගෙන තිබෙනවා ෴

***************************************

(03.12.2020 – 18:03 +0530 – hirunews.lk/sinhala)

ජපාන තරුණියක සහ ශ්‍රී ලාංකික තරුණයෙකු සම්බන්ධයෙන් වන සිද්ධිය පසුගියදා සමාජයේ දැඩි අවධානයක් යොමු කළ පුවතක්.

අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනාගෙන් තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර තරුණිය පරිවාසභාරයට යොමු කෙරුණා.

කෙසේ වෙතත්, මීගමුව මහේස්ත්‍රාත්වරිය අද (03) තරුණයා ඇප මත මුදා හරිනු ලැබූ අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියක වන ශලනි ධම්මිකා ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔවුන් විවාහ කරවීමට දෙපාර්ශවයම එකඟ වූ බවයි ෴

***************************************

(03.12.2020 – 19:57 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍යවරයා පත් කළ පංච (5) පුද්ගල කමිටුවේ සමාජිකයින් සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ සමාජිකයින් අද (03) පෙරවරුවේ එම බන්ධනාගාරය වෙත පැමිණියා.

මෙම පංච පුද්ගල කමිටුවේ කාර්යභාරය වන්නේ බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමයි.

මේ අතර, රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය රැඳවියෙකු බන්ධනාගාර බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගත්තේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදීයි ෴

***************************************

(03.12.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

අධිකරණය පවා නොමග යැවීමට කටයුතු කළ ශානි අබේසේකර වැනි පුද්ගලයින් පිළිබඳ අදහස් දැක්වීමට විපක්ෂ නායක වරයා ඉදිරිපත් වී සිටීම ලැජ්ජා සහගත බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසනවා.

මේ අතර පසුගිය යහපාලන රජය සමයේ දේශපාලන දඩයම්වල ප්‍රතිඵලය වී ඇත්තේ ඇතැමුන් නිරපරාදේ සිරගතවීම බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

***************************************

(03.12.2020 – 22:33 +0530 – hirunews.lk/sinhala)

ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) ආරක්ෂක අංශ මගින් කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ ප්‍රශ්න කිරීම්වලදී අදාළ බෝම්බය ‍හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකුගේ මවකට ලබාදීම සඳහා රැගෙන ගිය බව සැකකරුවන් ප්‍රකාශ කළ බවයි.

මෙම ක්ලේමෝ බෝම්බය රැගෙන බස් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සහ කිලිනොච්චිය පොලිසිය සිදුකළ මෙහෙයුමකින්.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ‘ඉයක්කච්චි’ ප්‍රදේශයේ රැඳී සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකුගේ මව යැයි කියන කාන්තාවකගේ නිවසට එම බෝම්බය රැගෙන යමින් සිට ඇති බවයි.

එම කාන්තාව හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන ‘ගෝපි’ නැමැත්තාගේ මව බවට සැකපල වනවා.

අදාළ කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ගෙවත්තේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තවත් උපකරණ සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වුණා.

එලෙස සොයාගෙන ඇත්තේ ප්ලාස්ටික් බැරලයක ආරක්ෂිතව වළ දමා තිබූ අත්බෝම්බ දෙකක්, පිස්තෝල උණ්ඩ 50 ක්, ටී. 56 උණ්ඩ 20 ක්, ස්නයිපර් ගිනි අවියකට භාවිත කෙරෙන බවට සැක කෙරෙන දුරේක්ෂයක් ඇතුළු උපකරණ කිහිපයක්.

ඒ අනුව ‍අදාළ කාන්තාව සමඟ එම නිවසේ සිටි තවත් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගැනුණා.

පොලිසිය පැවසුවේ බස් රථයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා (2) සහ නිවසේදී අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තිදෙනා (3) සමඟ සොයාගත් උපකරණ තොගය කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා ෴

(03.12.2020 – 14:55 +0530 – lankaleadnews.com)

2014 වසරේ අප්‍රෙල් මසදී මිය ගිය ගෝපිනාදන් නොහොත් ගෝපි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රතිසංවිධාන නායකයෙකි. ඔහු ගේ මව යැයි සැකකෙරෙන කාන්තාවකට ලබා දීම සඳහා ඊයේ (02) සවස කිලෝ ග්‍රෑම් 15ක් බරැති ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටියදී සැකපිට දෙදෙනෙකු කිලිනොච්චියේ පරන්තන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

අත් අඩංගුවට ගත් ආයුධ තොගය භාවිතයට සුදුසු මට්ටමේ පැවතීම හේතුවෙන් කුමන කරුණක් සඳහා ඒවා ළඟ තබාගන්නට ඇත්දැයි යන්න පිළිබඳව පොලීසිය හා ත්‍රස්ත මර්ධන අංශය විසින් ප්‍රශ්න කිරීම් හා පරික්ෂණයන් අරඹා ඇති අතර සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තාවේ.

එල් ටී ටී ඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් ගෝපි නැමත්තා සහ අප්පන් නැමැත්තා කටයුතු කළ අතර යුද්ධය අවසන් වීමෙන් පසුව 2014 වසරේ අප්‍රෙල් මසදී වව්නියාව නෙඩුන් කේනි ප්‍රදේශයේදී යුද හමුදාව සමග දැඩි සටනකින් පසුව මිය ගිය අතර එහිදී යුද හමුදා සෙබලෙකුද කොටි වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේය ෴

=====================================

(03.12.2020 – 14:53 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 728 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 19,032 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

+++++++++++++++++++++++

(03.12.2020 – 18:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 25,410 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. ඒ, නව ආසාදිතයින් 350 ක් හඳුනා ගැනීමත් සමඟයි ෴

++++++++++++++++++++++++

(03.12.2020 – 20:03 +0530 – hirunews.lk/sinhala)

සම්පූර්ණයෙන්ම සුවය ලැබූ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද 19,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් 728 දෙනෙකු අද දිනයේදී සුවය ලබා පිටව යෑමත් සමඟයි. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,032 ක් ලෙස සටහන් වනවා.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 25,410 ක් ලෙසයි.

ඊයේ (02) දිනයේදී ආසාදිතයින් 878 දෙනෙකු වාර්තා වූ අතර, එය දිනක් තුළදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

එසේම, කොරෝනා ව්‍යාප්තියක් සිදුවන බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ජනතාවගේ සහය සෞඛ්‍ය වෘත්තිකයින්ට නොලැබෙන්නේ නම් එම ප්‍රදේශයට සේවා සැපයීම සම්බන්ධයෙන් බරපතල තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,306 දක්වා ඉහළ ගියේ අලුතින් හඳුනාගත් ආසාදිතයින් 113 දෙනා සමඟයි.

මේ අතර, කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු වාර්තා වීමත් සමඟ ගිනිගත්හේන බ්ලැක්වෝටර් වත්ත ප්‍රදේශයේ ඉහළ කොටසට සහ නෝටන්බ්‍රිජ් – දඬුකැලේවත්ත ප්‍රදේශයේ පහළ කොටසට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එසේම, හුදෙකලා කර ඇති කැලණිය – වනවාසල – බකිණිගහපිල්ලෑව ප්‍රදේශවාසීන් පිරිසක් අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගයට පිවිස අද (03) විරෝධතාවක නිරත වුණා.

මීට පෙර ආසාදිතයින් වාර්තා වූ ඇහැලියගොඩ – දියුරුම්පිටියේ පිහිටි කර්මාන්ත ශාලාවෙන් අද (03) තවත් ආසාදිතයින් 35 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ අනුව ඊයේ (02) සහ අද (03) දිනයේ පමණක් එම ඇඟළුම් කම්හලෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 84 ක්.

මරදාන දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුටද කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ එම දුම්රිය ස්ථානයේ සේවකයින් පිරිසක් නිරෝධායනයට යොමුකර තිබෙනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටියේ මේ වනවිට මරදාන දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා ඇති බවයි.

මේ අතර, පවතින කොරෝනා තත්ත්වය හමුවේ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සිය කලා කටයුතු ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සංගීත ශිල්පීන් ඇතුළු කලාකරුවන් පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අද (03) හමුවුණා.

+++++++++++++++++++

(03.12.2020 – 22:07 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා රෝගීන් පස්දෙනෙකු (5) මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 129 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

මෙරටින් අද (03) දිනයේදී තවත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 277 ක් හමුව තිබෙනවා ෴

++++++++++++++++++++

කෙළ ගැසූ වල් ඌරා අල්ලා-ගන්න බැරි උනාද?
අටුලුගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකුව රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ ඊයේ (02) පැමිණි අවස්ථාවේ කොවිඩ් ආසාදිත එම පුද්ගලයා රෝහලගතවීම ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අංශ වෙත කෙළ ගැසීමක් සිදුකර තිබුණි.
එම සිද්ධිය හේතුවෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අටුලුගම ප්‍රදේශයේ අද (03) සිදුකිරීමට නියමිතව තිබූ පීසීආර් පරීක්ෂණ කටයුතුද තාවකාලිකව නතර කළ බව වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ගොනුකළ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.
මේ අතර ඊයේ (02) අටුලුගම සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තමා අදාළ නිලධාරීන්ගෙන් සමාව අයැද සිටින බව අටුලුගම පල්ලි භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය ෴
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *