ශ්‍රී පාද අඩවිය ආසන්නයේ ගල් තලාවකින් මතුවූ පා සලකුණ !

(20.01.2018 – 15:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී පාද අඩවිය ආසන්නයේ රක්ෂිතයක් තුල තිබු ගලක් මත විශාල පා සලකුණක් මතුවී තිබෙනවා.

මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයේ රක්ෂිතයක් තුල පිහිටි ගල් තලාවක් මත දකුණු පාදයක විශාල සටහනක් පවතින බවයි අප වාර්තාකරු කියාසිටියේ.

එය අඩි එක හමාරක පමණ දිගකින් යුක්ත බව සඳහන්.

එහි වම් පාදයක සටහනක් ද පවතින අතර එය තරමක් මැකී ගොස් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

මෙම පා සලකුණ වතු කම්කරුවන් දැක එය කහවලින් සෝදා පුද සත්කාර කර තිබෙනවා.

මස්කෙළිය පොලිසිය ද මේ පිළිබඳ විමර්ශණයක් ආරම්භ කර ඇතැයි සඳහන්.








+++++++++++++++++++++++++++++

ශ්‍රී පාද රක්ෂිතයෙන් හමුවූ දැවැන්ත පා සටහන් කාගේද ?
(20.01.2018)

https://www.youtube.com/watch?v=TG-n_IeP6pE

+++++++++++++++++++++++++++++

සිරිපා අඩවියේ ගල්තලාවක මිනිස් පා සටහන් දෙකක්
(22.01.2018 – mawbima.lk)

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර්, ‘නිව් ෆෝග්මෝර්’ තේ වතුයායේ, ශ්‍රී පාද අඩවියට ආසන්නව කළුගල් තලාවක තිබී මිනිස් පාද සටහන් දෙකක් සොයාගෙන ඇත.

දැනට දින 05 කට ප්‍රථම නිව් ෆෝග්මෝර් තේ වතුයායේ කම්කරුවන් පිරිසක් විසින් ශ්‍රී පාද රක්‍ෂිතය ආසන්නයේ ගල් තලාවක තිබූ මුලින්ම මිනිසකුගේ දකුණු පාදයේ පා සටහනක් සොයාගෙන ඇති අතර පසුව එම ගලේ බැඳී තිබූ පාසි සුද්ද පවිත්‍ර කිරීමේදී වම් පාදයේ පා සටහනද හමුවූ බව වතු කම්කරුවෝ පවසති.

මේ ස්ථානය මුලින්ම සොයාගෙන තිබෙන්නේ ගාඩ්මෝර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කාමරාජ් නමැති පුද්ගලයකි. ඔහු පවසන්නේ ඉකුත් දිනයක කිසියම් පුද්ගලයෙක් ඔහුට මෙම ස්ථානය පිළිබඳ සිහිනෙන් කිවූ බවත් ඒ අනුව තවත් පුද්ගලයෙක් සමඟ ගොස් එම ස්ථානය සොයාගොස් හඳුනා ගත් බවය.

මෙසේ සොයාගෙන ඇති පා සටහන් දෙකේ දකුණු කකුලේ පා සටහන අංගසම්පූර්ණව ඇති අතර වම් පාදයේ සටහනේ ඇඟිලි පැහැදිලිව දර්ශන නොවේ. මෙම පාද සටහන් දෙක අතර පරතරය අඩියක් පමණ වන අතර පාදයක දිග අඩි එකහමාරකට ආසන්නව පවතී. අඟල් එක හමාරක් පමණ ගැඹුරට මෙම පාද සටහන් දෙක කළුගලේ දර්ශනය වේ.

පාද සටහන් දෙක හමුවූ දිනයේ සිට ප්‍රදේශයේ වතු කම්කරුවන් එම ස්ථානයේ ආවරණයක් ඉදිකර පාද සටහන් දෙකට පුද පූජා පවත්වන අයුරු දක්නට ලැබේ. මෙම හඳුනා නොගත් මිනිස් පාද සටහන් නැරැඹීම සඳහා ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එම ස්ථානය වෙත පැමිණෙමින් සිටිති.

අප මේ පිළිබඳ අඹගමුව ප්‍රාදේශීය ලේකම් ආර්.පී.ජි. සුමනසේකර මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම සඳහන් කර සිටියේ, මේ සම්බන්ධව අදාළ වසමේ ග්‍රාම නිලධාරිනිය වන ආර්.එම්. සිසිකුමාරි මහත්මිය මාර්ගයෙන් තමන්ට තොරතුරු ලැබුණ බවත්, ඒ පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවත්ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *