සිනමා ශාලා ජනවාරි 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස්

සිනමා ශාලා ජනවාරි 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස්

*********************************************

සිනමා ශාලා ජනවාරි 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස්

(27.12.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇති.

චිත්‍රපට නිෂ්පාදකයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුලු කලාකරුවන් රැසක් සිනමා ශාලා වසා තැබීමෙන් කලාවට සහ කලාකරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳව පසුගියදා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව නිරෝධායන නීතිරීතිවලට ගරු කරමින් සිනමා ශාලා විවෘත කළ යුතු බවටයි ඔහු උපදෙස් දී ඇත්තේ.

කොවිඩ්-19 හේතුවෙන් සිනමා ශාලා වසා තැබීමෙන් සිනමා ශාලා හිමියන්ට තවදුරටත් සිදුවන හානිය අවම කිරීම, චිත්‍රපට නිෂ්පාදකයන් මුහුණ පා තිබෙන අර්බුධය හා චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සියලු කලාකරුවන්, විවිධ වෘත්තිකයන් මුහුණ පා ඇති පීඩාවන් මගහැරීම සහ ප්‍රේක්ෂක ජනතාව පිළිබඳව අවධානය යොමුකර මෙම පියවර ගත් බව අගමැතිවරයා කියාසිටියා.

සිනමා ශාලා විවෘත කිරීමේදී අදාළ සිනමා ශාලා විශබීජහරණයට ලක්විය යුතු අතර සිනමා ශාලා හිමියන් මෙන්ම චිත්‍රපට නැරඹීම සදහා සිනමා ශාලාවලට පැමිණෙන ප්‍රේක්ෂකයන්ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ක්‍රියාකළ යුතු බවයි මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ ෴

++++++++++++++++++++++++

(27.12.2020 – 14:18 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදිත මෘතදේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකිරීමේදී උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අදත් විවිධ අදහස් පළ වුණා.

++++++++++++++++++++++

(27.12.2020 – 14:50 +0530 – hirunews.lk/sinhala)

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මින්නාන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්සිබුල, කොට්ටල යන ග්‍රාම සේවා වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ බවයි.

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 650 දෙනෙකු අද (27) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 32,701 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,492 ක්.

මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 40,380 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++

(27.12.2020 – 16:02 +0530 – hirunews.lk/sinhala)

හෙට (28) උදෑසන 5 සිට වේල්ලවීදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම් වල හුදකලාභාවය ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, කොම්පඤ්ඤවීදියේ වෑකන්ද සහ හුනුපිටිය ග්‍රාමසේවා වසම්, වැල්ලවත්තේ – මයුරපෙදෙස, බොරැල්ලේ – හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත මෙන්ම වැල්ලම්පිටියේ, ලක්සඳසෙවණ නිවාස යෝජනා ක්‍රමය ද මෙලෙස හුදකලා භාවයෙන් හෙට (28) උදෑසන 5 සිට ඉවත් කෙරෙනවා.

ඊට අමතරව, කෙසෙල්වත්තේ – අලුත්කඬේ බටහිර සහ අලුත්කඬේ නැගෙනහිර ග්‍රාම සේවා වසම් හෙට (28) උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

++++++++++++++++++++

(27.12.2020 – 18:02 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 462 දෙනෙකු අද (27) දිනයේදී හඳුනාගෙන ඇති බව යුදහමුදාපතිවරයා පවසනවා.

ඉන් 54 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තාවී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව මෙරට තුළදී මේ දක්වා වාර්තාවී ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 40,842 ක් ෴

+++++++++++++++++++

(27.12.2020 – 18:53 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම ප්‍රදේශයේ පසුගිය 16 වැනිදා පැවති විවාහ මංගල උත්සවයක මනාලිය ඇතුළු 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පළමුවෙන් මනාලියට සහ විවාහ මංගල උත්සවයට සහභාගි වූ තවත් දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ අහඹු ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලදීයි.

අනතුරුව ඊයේ (26) දිනයේදී මග්ගොන ප්‍රදේශයට විවාහ මංගල උත්සවයට සහභාගි වූ හතලිස් දෙදෙනෙකු (42) ගෙන්වා සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලදී ඉන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එසේම, කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 650 දෙනෙකු අද දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 32,701 ක් දක්වා ඉහළ ගියා.

පොලොන්නරුව – වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුටද (2) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම වෛද්‍යවරුන් දෙදෙනා (2) ත්‍රිකුණාමලයේ සිට විශේෂ රාජකාරී සඳහා වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට දෙසැම්බර් 25 වැනිදා පැමිණ තිබුණා.

ඒ හේතුවෙන් ඔවුන් සමඟ රාජකාරී කළ හෙද කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දස දෙනෙකු (10) නිරෝධායනය සඳහා යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

වවුනියාව රෝහලට ඇතුළත් කළ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පස් දෙනෙකු (5) ඇතුළුව රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 23 දෙනෙකු නිරෝධායනයට ලක් කළ බව වවුනියාව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

මේ අතර, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පෙර ගමන් රථයක කාර්මික දෝෂයක් සිදුවූ අවස්ථාවේ වෙනත් පොලිස් ස්ථානයකින් රාජකාරියට අනුයුක්ත කළ පෙර ගමන් රථයක රියදුරුට (1) කොරෝනා වෛරසය ආසාදනය වී තිබී ඇති බව ද වාර්තා වුණා.

ඒ හේතුවෙන් කතානායකවරයාගේ ආරක්ෂක අංශයේ සියලුම දෙනා අද (27) පී.සී.ආර්. පරීක්ෂාවකට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, අද (27) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 462 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඉන් 54 දෙනෙකු බන්ධනාගාර වලින් වාර්තා වන බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40,842 ක්.

++++++++++++++++++

(27.12.2020 – 18:56 +0530 – hirunews.lk/sinhala)

හෙට (28) උදෑසන 5 සිට වේල්ලවීදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම් වල හුදකලාභාවය ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, කොම්පඤ්ඤවීදියේ වෑකන්ද සහ හුනුපිටිය ග්‍රාමසේවා වසම, වැල්ලවත්තේ – මයුරපෙදෙස, බොරැල්ලේ – හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත මෙන්ම වැල්ලම්පිටියේ, ලක්සඳසෙවණ නිවාස යෝජනා ක්‍රමය ද මෙලෙස හුදකලා භාවයෙන් හෙට (28) උදෑසන 5 සිට ඉවත් කෙරෙනවා. වේල්ලවීදිය, කෙසෙල්වත්ත සහ මරදාන මෙලෙස විවෘත වන්නේ දින 50 කට පසුවයි.

ඊට අමතරව, කෙසෙල්වත්තේ – අලුත්කඩේ බටහිර සහ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම සේවා වසම් හෙට (28) උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

දෙමටගොඩ – වේලුවන පාර ද අද (27) උදෑසන සිට හුදකලා කෙරුණා.

එමෙන්ම, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මින්නාන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ග්‍රාම සේවා වසම් අද (27) දහවල් සිට හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල සහ කොට්ටල යන ග්‍රාම සේවා වසම් ද හුදකලා කළ බවයි.

=========================================

(27.12.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

කළුගල්, පස් සහ වැලි කැණීම් සිදුකරන ස්ථාන විධිමත් පරිදි යළි නිසි ලෙස සකස් නොකරන පුද්ගලයින්ට නැවත බලපත්‍ර නිකුත් නොකිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පසුගියදා සිය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

කළුගල්, පස් සහ වැලි කැණීම් සිදුකරන ස්ථාන යළි සකස් නොකිරීම නිසා ගැඹුරු වලවල් සෑදීම හේතුවෙන් ඒවාට ඇද වැටී පුද්ගල මරණ මෙන්ම වන සතුන්ට ද හානි සිදුවීම් ද පසුගිය කාලය තුල වාර්තා වුණා ෴

***************************************

(27.12.2020 – 14:22 +0530 – hirunews.lk/sinhala)

පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙන ලෙස පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වත්මන් රජයෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කලා.

***************************************

(27.12.2020 – 14:38 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ අධිකරණ කටයුතුවලට කළ බලපෑම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්තනෝමතික ලෙස කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් අදත් (27) දේශපාලන නියෝජිතයන් සහ සිවිල් ක්‍රියාකාරිකයින් අදහස් පළ කළා.

***************************************

(27.12.2020 – 15:39 +0530 – hirunews.lk/sinhala)

තම එකකුස උපන් 14 හැවිරිදි නැගණිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ සහෝදරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 24 හැවිරිදි විවාහක අයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ තැනැත්තීය පහ (5) වසරේ ඉගෙනුම ලබන කාලයේ සිට වරින් වර මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.

සැකකරු විවාහයෙන් පසුවත් සිය සහෝදරිය ලිංගික අපයෝජනයට ලක් කරන ආකාරය ඇයගේ මව දැක ඇති බවත්, අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එම නැගණිය සිය මවට අදාළ සිද්ධිය ලිපියක ලියා ලබාදී ඇති බවත් සඳහන්.

මවගෙන් ලද පැමිණිල්ලකට අනුවයි අදාළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

යක්කලමුල්ල පොලිසිය විසින් වැඩිදුරට පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

***************************************

(27.12.2020 – 18:51 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා කෙරෙහි ජනතාවගේ විශ්වාසය සහ අභිමතය දෙදරා ගොස් ඇති පසුබිමක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට යෝජනා කිරීම දැඩි කනස්සල්ලට හේතු වන බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටින්නේ රටට ගැලපෙන පළාත් පාලන ආයතන හා ගම්සභා ක්‍රමය යථාවත් කොට ශක්තිමත් කරන ලෙසයි.

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ මහ මැතිවරණයෙන් පසු නව ව්‍යවස්ථාවක් සැකසීමට දුන් පොරොන්දුව ඉටු කිරීම කිරීම සඳහා රජය විශේෂ විද්වත් මණ්ඩලයක් පත් කිරීම ගැන සතුටු වන බවයි.

එහෙත් එම බලාපොරොත්තු විනාශ කරමින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට යෝජනා කිරීම තමන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බව එම නිවේදනයේ සඳහන්.

මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ ඇතුළු තවත් පාර්ශ්ව විවිධ අදහස් පළ කළා.

මේ අතර හෙට (28) පැවැත්වෙන ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත බව හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *