බුදු කුටියට ගල් ගහලා – මාවනැල්ල නගරයට හමුදාව කැඳවයි

බුදු කුටියට ගල් ගහලා – මාවනැල්ල නගරයට හමුදාව කැඳවයි

අහිංසකයෙක් දින 45 ක් හිර ගෙට යවා පොලිසිය කළ අපරාධයක්

*********************************************

බුදු කුටියට ගල් ගහලා – මාවනැල්ල නගරයට හමුදාව කැඳවයි

(29.12.2020 – 17:11 +0530 – aruna.lk)

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි වීදුරුවකට හානි වී ඇති බව පැවසෙනවා. එම සිදුවීම නිසාවෙන් මාවනැල්ල නගරයට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

යුද හමුදාව මෙන්ම පොලීසියද එහි රැඳී සිටින බව පැවසේ. මවනැල්ල පොලිසිය ඇතුඑ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ අරඹා ඇත.

මෙම සිදුවීම හේතුකොට ගෙන හිගුල හා මාවනැල්ල නගරයට මෙම ආරක්ෂාව සපයා තිබේ ෴

++++++++++++++

මාවනැල්ලේ බුදු පිළිම දෙකකට (2) එල්ලවූ ප්‍රහාරයකින් ඉදිරිපස විදුරු වලට හානි

(29.12.2020 – nethnews.lk)

මාවනැල්ල හිඟුල ප‍්‍රදේශයේ කොළඹ නුවර මහා මාර්ගය අසල ඇති බුදු මන්දිරයේ ඉදිපස විදුරුවකට ඊයේ (28) අළුයම පහර දිමෙන් අලාභාහනි සිදු වි ඇති බව මාවනැල්ල පොලිසිය පවසනවා.

මෙම පහර දිම කිසියම් පිරිසක් විසින් සිදු කරන්නට අතැයි පොලිසිය සැක පහල කර සිටියි. මිට වසර දෙකකට (2) පෙරද මෙම බුදු මැදුරට පහර දි අලාභානි සිදු කර තිබු අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා මාවනැල්ල පොලිසිය විසින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇත.

මිට අමතරව මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි අලුත්නුවර නගරයේද බුදු පිළිමක ඉදිපස විදුරුවකට හානි සිදු වි ඇත. ප‍්‍රදේශවාසින් පවසන අන්දමට මිට දින තුනකට (3) කලින් රාත‍්‍රී කාලයේ මෙම බුදු මැදුරේ විදුරුවට පහර දිම සිදු වි ඇත.

පොලිසිය විසින් මෙම ප‍්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් කට උත්තර සටහන් කර ගෙන ඇති බවත් පොලිසිය විසින් අද (29) එම ප‍්‍රදේශයේ පිහිටි CCTV කැමරා පද්ධති කිහිපයක්ද නිරික්ෂණය කිරිමට සුදානමින් සිටින අයුරුද මාධ්‍යවේදීන්ට දැක ගැනිමට හැකි විය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සිදු වු ස්ථානයට පැමිණි සබරගමු පළාත් හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී උපුල් ශාමල් බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසිය :

“ගිය පාරත් මාවනැල්ලේ මේ වගේ සුළු සිද්ධියකින් තමා පටන් ගෙන බොහෝ දුර මේක ගියේ. අපි මේ ප‍්‍රදේශයේ ජීවත් වෙන අය විදිහට අපිට දැනෙන දේ තමා මේ සිද්ධි වලට අදාල ප‍්‍රධාන කණ්ඩායම තාම නිදැල්ලේ සැරිසරනවා.

මේ අල්ලාගෙන ඉන්නේ කොහාටවත් නැති අතරමැදියෝ පිරිසක්. ඒ ප‍්‍රධාන අය අරගත්තේ නැති නිසා තමයි මං හිතන්නේ මේ බිම් මට්ටමේ ඒ ගොල්ලෝ කි‍්‍රයාකාරීව ඉන්නවා. මේකෙන් වෙන්නේ සියලුම සාධාරන සිංහල මුස්ලිම් දෙගොල්ලටම ලොකු සමාජ ප‍්‍රශ්නයක් මෙන්ම සමාජයේ භීතියක් මේ හරහා සිදු වෙනවා. ඒ නිසා කවුරු උනත් කමන් නැහැ. මේකට අදාල මේකේ ඉන්න අන්තවාදී කි‍්‍රයාකාරි පිරිස ඉක්මනින්ම අත්අඩංගුවට ගත්තේ නැත්තම් මේක තවත් දුරදිග යන්න පුලුවන්. ලොකු ප‍්‍රශ්නයක් වෙන්න ඉඩ තියනවා. අපිට දැනෙන විදිහට අන්තවාදී කි‍්‍රයාකාරී කණ්ඩායම් නෙවෙයි මේ අත්තඩංගුවට අරන් තියෙන්නේ ඒවට සම්බන්ධවෙච්ච ගැවිච්ච අය තමා අත්ඩංගුවට අරන් තියෙන්නේ ඒ කි‍්‍රයාකාරීන් තාමත් නිදැල්ලේ සැරිසරනවා කියන එක තමා දැනට නම් අපිට තේරෙන්නේ” යැයි පැවසුවා.

කෙසේ වෙතත් මාවනැල්ලේ එක දිගටම සිද්ධින් කිහිපයක්ම වාර්තා විය. ඒ අතරේ තාමත් සොයා ගැනිමට නොහැකි වු මාවනැල්ලේ ගල්කොරියේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනිමට ආරක්ෂා කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරම්භ කර ඇත.

++++++++++++++++++

29-12-2020

*****************************************

අහිංසකයෙක් දින 45 ක් හිර ගෙට යවා පොලිසිය කළ අපරාධයක්

(29.12.2020 – aruna.lk)

  • සැමියා බේරාගන්න මීගමු ගිය තෙමස් ගැබිණිය දරු දෙදෙනා සමග බස් නැවතුමේ රෑ දෙකක් ගත කරයි.
  • ‘තාත්තා හොරා’ කියන නිසා සිගිති දියණිය පාසල් යන්න බෑ කියයි.
  • ධීවරයා දෙවරක් සියදිවිනසා ගන්න ගිහින්
  • ලක්ෂ 3 දෙන්න බැරි නම් හිරේ රස බලලා වරෙන් කියා පොලිසිය අහිංසකයෙක් භණ්ධනාගාර ගත කර කළ මහා අපරාධය….

සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් බලන්න :

පොලීසිය විසින් ගොනු කරන ලද චෝදනාව :

කුඩාවැල්ලේ මුදලාලිගේ බැංකු පොතේ ධනුෂ්ක එවූ රුපියල් ලක්ෂ තුනක මුදල සටහන් වී තිබූ අයුරු :

***************************************

(29.12.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පලාත තුළ ක්‍රියාත්මක අන්තවාදී කල්ලියක ක්‍රියාකාරිත්වය පිළිබඳව පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි කිහිපයක් විසින් මෙම අන්තවාදී කල්ලිය පිලිබඳව තොරතුරු වාර්තා කර තිබුණා.

ඉන් කියැවුණේ කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් ගොඩනැගෙමින් පවතින බවයි.

ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය උපාධිය හැදෑරූ පුද්ගලයෙකු මෙහි නායකත්වය ගෙන ඇති අතර, ඔහු විසින් 30 ක පමණ පිරිසක් මේ සඳහා එක්ව ඇති බවයි අදාළ පුවත්පත් වාර්තාවල සඳහන් කර තිබුණේ.

විශේෂයෙන් අනාගතයේදී ඉස්ලාම් ආගමට එල්ල විය හැකි තර්ජන පිලිබඳව එම කණ්ඩායම යූ-ටියුබ් සමාජ ජාලය හරහා සිය අනුගාමිකයින් දැනුවත් කරන බව ද අදාළ වාර්තාවල දැක්වුණා.

මේ පිළිබඳව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ගෙන් අප විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ අදාළ පුවත්පත් වාර්තාව පිළිබඳව බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මෙම අන්තවාදී සංවිධානය හෝ එහි ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තා කර තිබූ තොරතුරු තමාට තහවුරු කළ නොහැකි බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මේ අතර, ස්පාඤ්ඤයේ නිෂ්පාදිත ගිනිඅවියක් සමග බලපිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මෙම සැකකරු ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී පුද්ගලයෙකුට ගිනි අවි පෙන්වා තර්ජනය කර ඇති අතර, ඒ අනුවයි, අදාළ ගිනි අවි පිළිබඳව පොලීසියට තොරතුරු වාර්තා වී ඇත්තේ.

එහිදී තමා ළග ගිනි අවි තිබෙන බැවින් ප්‍රවේශම් වන ලෙස සැකකරු විසින් අදාළ පුද්ගලයාට තර්ජනාත්මකව ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව, මෙම සැකකරුට විදේශීය ගිනි අවිය ලැබුණු ආකාරය පිළිබඳව සහ ඔහු දකුණේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කොස්ගොඩ තාරක’ සමග සබඳතා පැවැත්වුණේ ද යන්න පිළිබඳව ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ (28) දින අත්අඩංගුවට ගත් සැකකරු බලපිටිය – ගොරකගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(29.12.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

අද (29) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව සහ බස්නාහිර පළාත මෙන්ම, නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්ක වලට පස්වරු 1 පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර එහිදී ඇතැම් ස්ථාන වලට මිලිමිටර් 75 ක වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර බලපිටිය මාහලදුව ප්‍රදේශයට අධික වර්ෂාවක් සමඟ මසුන් ඇදවැටි ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.

ඊයේ (28) රාත්‍රි 8 ට පමණ මෙම ප්‍රදේශයට අධික වැසි සහිත කාලගුණයක් පැවැති අතර එහිදි මෙලෙස මසුන් ඇදවැටී ඇති බව සඳහන්.

එම සජීවි මසුන් එක්රැස්කොට මාදුගගට මුදා හැරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා ෴

***************************************

(29.12.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

දෙශීය ඇඟලුම් භාවිත කරමින් සතියේ එක් දිනක් රාජ්‍ය සේවයට වාර්තා කරන්නයි රජයෙන් ඉල්ලීමක්.

මේ වන විට බතික්, අත්යන්ත්‍ර හා රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය විසින් එයට සමගාමී ජාතික වැඩසටහන් ගණනාවක් විවිද නියැදි තෝරා ගනිමින් ක්‍රියාත්මක කර තිබෙනවා.

එය තව දුරටත් ඉදිරියට ගෙන යමින් මිලියන තුනකට (3) ආසන්න රාජ්‍ය සේවයේ යෙදෙන රටේ සියලු රාජ්‍ය සේවකයන්ගේද සහාය ලබා ගැනීම සඳහා ලබන වසරේ (2021) දී, සතියේ එක් දිනක් (1) දේශයව නිෂ්පාදනය කරන ඇඟලුම් භාවිතා කරමින් සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා රාජ්‍ය සේවයේ නියතු සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.

මේ සම්බන්ධයෙන් වන නියාමනයක් අදාළ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු,සංස්ථා ප්‍රධානීන් වෙත ලිඛිත ඇඟලුම්වල සැකැස්ම පිළිබදව විස්තර යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙමඟින් කාරණා ගණනාවක් අපේක්ෂා කර ඇති අතර, විශේෂයෙන් ම දේශීය ඇඟලුම් නිෂ්පාදකයින් ආරක්ෂා කිරිමත්, දේශීය වශයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ නව රැකියා උත්පාදනයත්, ඇඟලුම් සඳහා වාර්ෂිකව විදේශයන්ට ගලා යන විශාල දේශීය විනිමය නවත්වා ගැනීමත් ආදී කරණා ගණනාවක් බලාපොරොත්තු වන අතර මේ හරහා ජනාධිපතිතුමන් ගෙන යන සෞභාගය දැක්ම වැඩසටහන අති සාර්ථක කර ගැනීමත් විශේෂ වන බව ද සදහන් කර තිබෙනවා ෴

***************************************

(29.12.2020 – 14:21 +0530 – hirunews.lk/sinhala)

බුදු දහම සුරක්ෂා කොට පෝෂණය කිරීම රට කරවන්නන්ට ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති පැහැර හැරිය නොහැකි වගකීමක්.

බුදු දහමේ උන්නතිය පිලිබද දේශපාලන වේදිකා මත විවිධ සුරංගනා කතා කියැවුණද භූමියේ යථාර්තය ඉන් කෙතරම් දුරද ?

උදුවප් පොහෝ දිනයේ සොයා බලන මේ තොරතුරු අපට පසක් කරන්නේ එය නොවේද ?

***************************************

(29.12.2020 – 16:18 +0530 – hirunews.lk/sinhala)

104 හැවිරිදි වියේ පසුවන තවමත් කුරුඳු තලා ජීවත් වන දිරිය කාන්තාවක් පිලිබඳව පුවතක් කොග්ගල තිත්තගල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

වර්ෂ 1916 තුන්වන මස දෙවන දා (1916-03-02) තිත්තගල්ල, දංගල්ලෙගොඩ ගමෙහි උපත ලැබූ ඇයට මේ වනවිට දරු, මුණුපුරන්, මී මුණුපුරන් හැටක් හැත්තෑවක් (60 – 70) පමණ සිටින බවයි ඇය අප සමග පැවසුවේ.

මේ ඇය අප සමග පැවසූ ඇගේ කතාවයි :

“මම රස්සාව කරන්නේ තිත්ගල්ල මිරිස් වත්තේ, මගේ මහත්තයාගේ මහ ගෙදර ඉදලා පෑලැස්සේ ලොකු පුතාගේ ගෙදරට කිලෝමීටර් දෙකක් (2) හැමදාම උදේ හවස පයින්ම එනවා යනවා. අවුරුදු 104 ක් තවමත් රස්සාවක් කරනවා මම. මගේ මහත්තයාගේ නම මානියෙල් අප්පු , උන්දෑ මලා.

ඒ කාලේ අපේ අම්මලා තාත්තලා ඉස්කොලේ යැව්වේ නෑනේ. මේ ගමේ එදා ඉඳලා අද වෙනකල් කුරුඳු තැලිම තමයි කරන්නේ. මගේ මහත්තයත් මමත් කලේ ඒ රැකියාවමයි. මට දරුවෝ අටක් (8) ඉන්නවා. දැන් මගේ ලොකු පුතාට වයස හැත්තෑපහක් (75) වෙනවා. ලොකු දුව කුසුමාවති. අවුරුදු (74) ක් වෙනවා. දෙවැනි දුව අමරාවතී. මගේ හිතේ අවුරුදු (68) යි.

මම ඒ කාලේ ඉදලම කුරුඳු හේන් කලේ. මම දීග යන විට මගේ හිතේ යන්තම් වයස 16 ක් උනා විතරයි. මම දරුවෝ 10 ක් හැදුවා. මම දීග ගියාට පස්සේ කුළි වැඩවලට ගියේ නැ. එදා ඉදන් මම මගේ මහත්තයා එක්ක කුරුඳු තැලීමේ රස්සාව තමයි කෙරුවේ.

මගේ ලොකු පුතාට කුරුඳු වාඩියක් තියනවා. මම උදේ ලොකු පුතාගේ ගෙදරට පයින්ම ඇවිත් කුරුඳු තලනවා. ලොකු පුතා කුරුඳු කපලා ගෙදර වාඩියට ගේනවා. පුතා එක්ක එකතු වෙලා මම හරි හරියට වැඩ කරනවා. පුතා කුරුඳු පොතු ගහලා දුන්නම මම කොටු හදනවා. දැන් කුරුඳු කිලෝ 1 ක් රුපියල් 2000 ක් වෙනවා . මම කුරුඳු හදන්න ගත්තම කහට කෝප්පයක් බීලා පැය ගානක් එක දිගට වැඩ කරනවා. මට පැය ගානක් එකට වැඩ කලත් හන්දි රුදා කොන්දේ කැක්කුම් කිසිම අසනීපයක් හැදෙන්නේ නැහැ . බුලත් විටකින් සප්පායන් උනා නම් ඇති.

මම මස්, මාළු , බිත්තර කන්නෙ නැහැ. කොල මාළු, කොස්, පොලොස්, අල, කැකුළු හාල් බත් තමයි කන්නේ. මම පන්සල් යනවා. අපේ පන්සලේ ලොකු හමුදුරුවන්ගේ බණ ඉවර වෙනකල්ම කිසිම අමාරුවක් නැතුව බිම වාඩිවෙලා බණ අහනවා. ගමේ පන්සලේ අපේ ලොකු හාමුදුරුවෝ කියනවා, මේ බලන්න වයස 104 යි එන්සෝහාමි අල්ගෙවත්ත උපාසිකාවට ඇඹරෙන්නේ නැතිව අතපය දිග හරින්නේ නැතුව බිම වාඩිවෙලා බණ අහනවා කියලා.

කොරෝනාවලට පස්සේ තමයි පන්සල් යන ගමන නතර කළේ. මම ගෙදරට වෙලා පෝයට සිල් ගන්නවා. ලෙඩක් දුකක් උනාම ගන්නවයි කියලා බෙහෙත් ගන්නේ නෑ. ඉඳ හිටලා ඇඟපත වේදනාවට බෙහෙත් ගන්නවා. මම වැඩ කරනවා. ඇවිදිනවා. තිත්තගල්ලේ පෑලැස්සේ මිරිස් වත්තේ ආච්චි කීවාම මේ ගම් පළාතේ නොදන්න කෙනෙක් නෑ.

මම අදටත් කාටවත් වදයක් වෙන්නේ නැතුව උදේ පාන්දර නැගිටලා ගෙදර වැඩ ඔක්කම කරගන්නවා. හැම වෙලාවේම වැඩක් කරනවා. මට නිකන් ඉන්න හිතක් නෑ.

මට සහෝදර සහෝදරියෝ අටක් (8) ඉන්නවා. ඒ අයගෙන් දැනට ජිවතුන් අතර ඉන්නේ එක නංගි කෙනෙකුයි මල්ලිලා දෙන්නයි (2) විතරයි. මගේ නංගිටත් දැන් වයස එකසිය එකක් (101) වෙනවා. මල්ලිලාටත් වයස එකසිය ගානට කිට්ටුයි. ඒ කාලේ මේ වගේ පාරවල් දියුණු වෙලා තිබුනේ නැහැ. ගෙදරට ඕන කරන බඩු මුට්ටු අරගෙන පයින්ම තමයි ගෙදරට එන්නේ .

වී හාල් ටික අපිම වංගෙඩියේ කොටා ගත්තා. දුරු තුන පහ කරවල මාළු වගේ දේ විතරයි අහංගම කඩ පොලෙන් ගත්තේ. කොස්, දෙල්, අල, බතල නම් ගෙදර බතට වරදින්නෙම නෑ. එදත් හොඳට කෑවා. මට දැන් 104 යි. අදත් හොඳහැටි කනවා. දූ දරුවන් දීගතල දුන්නා. උන්ගේ දූ දරුවන්ගේ දරුවන්ද මට බලන්න පුළුවන් වුනා.

බෝම්බ දැම්මනේ දෙවන ලොක යුද්දේ කාලවලදී . මට මතකයි ලෝක යුද්ධ කාලයේ මහා හටන්. අහසින් ගුවන් යානා යනවා. නලා පිඹිනවා. මේ එහා ගම්මානවල මහ කැලේ මහා වළවල් කපලා වළ දැම්මා. අම්මා තාත්තලා ඒ බව කියනවා මට මතකයි.

අපි හැංගිලා බලා හිටියා අද වගේම ම මට මතකයි. ලෝක යුද්ධ කාලයේ තොරතුරු මට මතකයි. නිදහස් සැමරුම – ප්‍රථම නිදහස දිනයත් මට මතකයි. දෙවැනි ලෝක යුද්ධයට ලංකාව පැටළුණේ එවකට මෙරට බ්‍රිතාන්‍යයට යටත් විජිත රටක් ලෙස පැවැතීම නිසා නේ. ජර්මනිය, ජපානය හා ඉතාලියට එරෙහිව මිත්‍ර පාක්ෂික හමුදා යුද වදින විට ලංකාවද පැටලුනා කියලා මගේ මහත්තයා කුරුඳු වාඩියේ කුරුඳු තලන කල්ලියේ ඈයෝ එක්ක කතා කරනවා මට මතකයි.

මේ පළාත්වලත් සුද්දෝ හිටියා. දුව-ඇවිදලා ගම්වල යනවා මම දැක්කා. උන් හරියට යක්කු වගේ.

මම ආගම දහම අනුව ජීවත් වෙනවා. නිදහසේ වැඩිය කරදර ඔළුවට ගන්නේ නෑ. දූ දරුවන් මාගේ පිණිබිරි මිණිබියන් මට සලකනවා බලනවා. මට සතුටුයි. මම කියන්නේ මට මගේ හතර වරිගයේම ඇයෝ සලකනවා කාටත් උදව්වක් කරගෙන කාටවත් කරදරයක් නොකර මම ජීවත් වෙනවා. මට දැන් වයස අවුරුදු 104 යි. මම තවම මගේ වැඩ තනියම කරගෙන යනවා. කුරුඳු තලන රස්සාව දිගටම කරගෙන යනවා.

***************************************

හලාවතදී දැවැන්ත බෝධීන් වහන්සේ නමක් වෙනත් ස්ථානයයකට රැගෙන යයි

(29.12.2020 – 17:22 +0530 – hirunews.lk/sinhala)

සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ලක් දිවට ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඩම කරවූ උඳුවප් පුන් පොහොය යෙදුණු අද (29) සූරියවැව වැලිවැව පදිංචි තරුණයෙකු විසින් හලාවත, හස්නායකපුර විහාරස්ථානයේදී අසිරිමත් බෝධි රෝපණයක් සිදුකරනු ලැබුවා.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඇඹිළිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ උපදෙස් හා අනුසාසනා පරිදි මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරිම සිදුකෙර තිබෙනවා.

මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ විශේෂත්වය වන්නේ මේ තරම් විශාල බෝධීන් වහන්සේ නමක් පිහිටි පොලොවෙන් ආරක්ෂිතව ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන ගොස් රෝපණය රෝපණය කල ප්‍රථම අවස්ථාව මෙය විමයි.

මෙලෙස රෝපණය කෙරුණු බෝධීන් වහන්සේගේ උස අඩි 110 ක් පමණ වන අතර, කඳේ වටප්‍රමාණය අඩි 22 ක්. එහි මූල පද්ධතියෙහි වටප්‍රමාණය අඩි 28 ක්.

මේ දැවැන්ත කාර්යය සිදුකරනු ලැබුවේ ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පියෙකු වූ සූරියවැව වැලිවැව පදිංචි 39 හැවිරිදි තිදරු පියෙකු වන ඈපා ජයවර්ධනගේ ජනක ජයලාල් මහතා විසින්.

අසිරිමත් බෝධි රෝපණය සිදුකිරීමේ කාර්යයයේ නිරත වු සුරියවැව ජනක ජයලාල් මහතා මෙලෙස අපත් සමග අදහස් දැක්වූවා :

“පසුගිය ජුනි මාසයේ දිනක් ඕමල්පේ සොභිත නායක හාමුදුරුවන් මා හමුවිමට මගේ ගෙදරට පැමිණියා. ඒ ඇවිත් උන්වහන්සේ මගෙන් ඇහුවා ‘ජනක මහත්තයා හලාවත කර්මාන්ත ශාලාවක් තුළ බෝධීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ බෝධීන් වහන්සේ හලාවත විහාරස්ථානයකට රැගෙන ගොස් රෝපණය කරන්න ඕනේ. පුළුවන්ද’ කියලා. මම කිව්වා ‘අපේ හාමුදුරුවනේ පළමුවෙන්ම බෝධීන් වහන්සේ බලන්න ඕනේ’ කියලා. ඒ අනුව උන්වහන්සේ මාව හලාවත බෝධීන් වහන්සේ පිහිටි කර්මාන්ත ශාලාවට එක්කගෙන ගියා. ඒ ගිහින් මම මේ බෝධීන් වහන්සේ බලලා මෙම බෝධීන් වහන්සේ රොපණය කිරීමේ කටයුත්ත බාරගත්තා.

ඉතා විශාල දැවැන්ත බෝධී රුක්ෂයක් නිසා වැසි කාලෙට කලින් මෙම බෝධීන් වහන්සේ මෙම ස්ථානයෙන් ගලවා ගෙනගොස් නැවත රෝපණය කිරිම දැවැන්ත අභියෝගයක් වුනා. ඒ අනුව මම මගේ සේවකයන් එක්ක දින 08 ක් එකදිගට බෝධීන් වහන්සේගේ මූල පද්ධතිය එළියට මතුකරගැනිම සිදුකලා. මෙම බෝධීන් වහන්සේ අපි ‘රූට්බෝල්’ ක්‍රමයට තමයි සිටුවීම සිදුකරන්න කටයුතු කෙරුණේ. ජුනි මාසයේ මැද වගේ අපි බෝධීන් වහන්සේ ‘රූට්බෝල්’ කර මුලික සැකසිම් කටයුතු කලා. පසුගිය ජූලි මාසේ මැද පමණ වන විට එය රෝපණ කිරීමට සුදානම් කරගෙන සිටියත් කොරෝනා වසංගත තත්වය නිසා එය කරගන්න බැරි වුණා. පසුව උදුවප් පෝය දවසේ මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීමට කටයුතු සංවිධානය කෙරුණා. මම දන්න ඉතිහාසයේ කවුරුවත් මේ විදියට මේ තරම් විශාල රුක්ෂයක් තැනකින් තැනකට රැගෙන ගොස් සිටුවිම සිදුකරලා නෑ. මේක මටත් විශේෂිත අවස්ථාවක් මගේ මේ වෘත්තීය ජීවිතය තුළ.”

මේ දැවැන්ත කාර්යයෙහි නියමුවානන් හා උපදේශකයාණන් ලෙස කටයුතු කල පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් වහන්සේ මෙලෙස අදහස් දැක්වූ සේක :

“මේ පුන් පොහෝ දිනයේ සිදුවන්නේ අසිරිමත් බෝධි රෝපණයක්. ලොව පළමු වතාවට තමයි මෙවැනි සිදුවිමක් මේ වෙන්නේ.මේක අසිරිමත් බෝධි රෝපණයක් යැයි කියන්නේ අන් කිසිවක් නිසා නොව කිසි කලෙක අපි අසා නැති ලෝක ඉතිහාසයේ කවදාවත් අප දැක නැති විශේෂිත අවස්ථාවක් නිසයි. ගසේ උස අඩි 110 යි, කඳේ මහත අඩි 22 යි.මූල පද්ධතියේ වප්ප්‍රමාණය අඩි 28 යි. හලාවත, මාරවිල, හාල්පන්විල ‘ග්‍රීන් ෆාම්’ ආයතන පරිශ්‍රයේ තමයි මෙම බෝධීන් වහන්සේ තිබෙන්නේ. එහි සිදු සිදුවෙන සංවර්ධන කටයුත්තක් සදහා මෙම බෝධින් වහන්සේ ඉවත් කල යුතුවුණා. ඒ අනුව එම ආයතනයේ අධිපති තුමන් මගෙන් උපදෙසක් ඉල්ලුවා මෙම බෝධීන් වහන්සේ කපන්නේ නැතිව වෙනත් ස්ථානයක රෝපණය කිරීමට. ඒ අනුව තමයි මන් සුරියවැව ජනක මහතා වෙත මෙම කාර්යය පැවරුවේ. විශේෂයෙන්ම මෙහිදි මන් කියන්න ඕනේ මෙය හුදෙක්ම බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරිමක්ම විතරක් නෙමෙයි. සමස්ථ රට වැසියාටම හා පාලකයාටම හොද ආදර්ශයක් පාඩමක් කියාදෙන කටයුත්තක් ලෙසයි මෙය සිදුකරන්නේ. මෙය හුදු ජාතික අවශ්‍යතාවයක්. ගහක් කියන්නේ අසීමිත වටිනාකමක් ඇති මිනිස්සුන්ගේ කල්‍යාණ මිත්‍රයෙක්. ඒකට හේතුව තමයි මිනිසාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය වන ඔක්ෂිජන් ලබා දෙන්නේ මේ ගස් මගින් විම. ඒ නිසා මේ තුරු ලතා ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගේම පාලකයන්ගේත් පරම වගකිමක්.ගහේ කොලේ විනාශය කියන්නේ මිනිසාගෙත් විනාශය කියන එකයි. මෑත යුගයේ පමණක් වන විනාශ සිදුකිරිම් අතින් ඉතා කණගාටුදායක අත්දැකිම් රැසක් ලබා සිටින අවධියක තමයි අප මේ බෝධීන් වහන්සේ රෝපණය කරන්නේ. විවිධ සංවර්ධන කටයුතු වලට හා වෙනත් කටයුතු වෙනුවෙන් හෙක්ටයාර දහස් ගනන් කැලෑ එළි කිරිම් සිදුවෙලා තියෙනවා. සංවර්ධනයට කියා මේ විදියට ගහ කොල සිටුවන්නේ නැතිව විනාශ කරලා දැමිම විතරක් කලොත් අපිට නොමිලේ ලැබෙන ඔක්ෂිජන් ටිකත් කඩෙන් සල්ලි වලට ගන්න තැනට පත්වෙනවා. අපි රජයට අවධාරණය කරනවා ගහක් කියන්නේ අමිත වස්තුවක්. මිළ කල නොහැකි දෙයක්. ඒ නිසා සංවර්ධන කාර්යංවලදි හැකි තරම් ගස්කොලන් කැපීම අවම කරන ලෙසත් හා හැකි සෑම අවස්ථාවකම සංවර්ධනයේදී ඉවත් කිරීමට සිදුවෙන ගස් වෙනත් ස්ථානයක සිටුවිම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඉල්ලනවා. හැමදෙනාම සිහියේ තබාගත යුතු කරුණක් නම් ‘තුරු ලතා යනු අපගේ අත්‍යන්ත මිත්‍රයෝය. ගස්කොලන් විනාශය යනු අපගේද විනාශයය’ කියන එක. මානව ප්‍රජාවගේ වගේම සමස්ථ සත්ව සන්තතියේම පැවැත්මට උපකාරී වන තුරු ලතා අපි රැකගත යුතුයි කියන පාඩම තමයි මේ අපි රටට කියා දෙන්නේ. ඒ නිසා සමස්ථ ජනතාවගෙන්ම මා ඉල්ලනවා මේ බෝධීන් වහන්සේ වගේම රට පුරා ඇති සියළුම ගස් වැල් බෝධීන් වහන්සේලා යැයි සිතා ඒවා රැකගැනිමට කටයුතු කරන්න.”

[ සේයාරූ ]

======================================

(29.12.2020 – 11:00 +0530 – hirunews.lk/sinhala)

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැන් ඉන්දියාවෙන් ද වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකු මෙලෙස නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අය ලෙස හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

දකුණු අප්‍රිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැණුනු මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය සියයට 70 ක් වැඩි ආසාදන හැකියාවකින් යුක්ත බව විද්‍යාඥයන්ගේ අදහසයි ෴

+++++++++++++++++++++++

(29.12.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා විසින් ගාල්ල මහනගර සභාවේ උප නගරාධිපති ෆවුසුල් නියාස් වෙත අවවාදාත්මක ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ පසුගිය 23 වනදා ගාල්ල මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට බැන තර්ජනය කිරිමේ සිද්ධියට අදාළවයි.

උප නගරාධිපතිවරයා ප්‍රධාන වෛද්‍ය නිලධාරි බර්ට්‍රම් ද සිල්වා මහතාට පසුගිය 23 වනදා බැණ තර්ජනය කරනු ලැබුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු විසින් යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ ඊට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ලබාදුන් පිළිතුර හේතුවෙන්.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කළා.

පසුව පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ඔවුන්ට සාකච්ඡාවක් ලබාදුන් අතර, අදාළ තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමෙන් පසුව, උප නගරාධිපතිවරයා සමඟ ද සාකච්ඡාවක් ලබාදීමටයි ඔහු කටයුතු කළේ.

එහෙත්, එම සාකච්ඡාවට උප නගරාධිපති ෆවුසුල් නියාස් පැමිණ තිබුණේ නැහැ.

පසුව උප නගරාධිපතිවරයා ප්‍රශ්න ගත අවස්ථාවේදී හැසිරී ඇති ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවත්, මහජන නියෝජිතයෙකු ලෙස සංයමයකින් යුතුව හැසිරිය යුතු බවත්, දන්වමින් ඔහු වෙත තරයේ අවවාද කර ලිපියක් යොමුකළ බව ආණ්ඩුකාරවරයා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවට ලිඛිතව දන්වා තිබෙනවා ෴

+++++++++++++++++++++

(29.12.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවල කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබුණු කොළඹ මහ නගර සභා සීමාවෙන් ඊයේ (28) දිනයේදී යළිත් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කළා.

මෙරටින් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 549 දෙනා අතරින් 220 දෙනෙකුම කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වීම විශේෂත්වයක්.

ඒ අනුව දෙමටගොඩින් ආසාදිතයින් 121 ක්, කිරුළපනින් ආසාදිතයින් 23 ක්, වැල්ලවත්තෙන් ආසාදිතයින් 18 ක් වාර්තා වී තිබුණා.

එසේම,ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 124 දෙනා අතර, මහරින් හඳුනාගත් ආසාදිතයින් 35 දෙනෙකු සහ මීගමුවෙන් හඳුනාගත් ආසාදිතයින් 11 දෙනෙකු සිටියා.

මෙරටින් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,603 ක් වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 33,221 ක්.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8,188 ක් පමණයි.

කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 03 ක් ඊයේ (28) දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගියා.

++++++++++++++++++++++

(29.12.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එම ආසාදිතයින්ගෙන් 37 දෙනෙකු පිරිමි රැඳවියන් වන අතර අනෙක් තුන්දෙනා (3) කාන්තා රැඳවියන් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ, අනුව බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3949 ක් වන අතර, ඉන් 3229 දෙනෙකු සුවය ලබා තිබෙනවා ෴

+++++++++++++++++++++

(29.12.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මරණ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් රජය නිශ්චිත තීරණයක් සෘජුව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් එයට විවිධ පාර්ශ්ව විවිධ අර්ථකථන ලබාදෙන බවට විපක්ෂය චෝදනා කරනවා.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පවසන්නේ ඒ පිළිබඳ තීන්දු ගැනීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත පමණක් සිදුකරන බවයි.

++++++++++++++++++++

(29.12.2020 – 14:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 91 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලින් අද (29) දිවයිනට පැමිණියා.

පෙරවරු 08:30 න් අවසන් වු ගෙවුණු පැය 24 තුළ සිදුකළ ගුවන් මෙහෙයුම් 07 කදීයි මෙම ශ්‍රී ලාංකිකයින් 91 දෙනා මෙරටට පැමිණ ඇත්තේ.

ඒ අතර, කටාර් රාජ්‍යයේ සිට පැමිණි 84 දෙනෙකු සිටින බව ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළා ෴

+++++++++++++++++++++

(29.12.2020 – 15:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 704 දෙනෙකු අද (29) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 33,925 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,484 ක්.

මෙරටින් මේ දක්වා වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 41,603 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *