රාජපක්‌ෂට හෙන ඉල්ලූ ඇමරිකාව බැදුම්කරයේදී ගල් ගිල්ල හැටි

(21.01.2018 – divaina.com)

ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස්‌ කිරීමට ක්‍රියාත්මක කළ සැලසුම යහපාලන රජයේ බැඳුම්කර වංචා හේතුවෙන් අනතුරට පත්වී ඇති බව පැහැදිලිය. මෙම ඇමරිකානු සැලසුම පළමුවරට 2010 ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක කළ අතර එය අසාර්ථක විය. 2015 කළ සැලසුම් ජනපති මහින්ද රාජපක්‍ෂගේ පරාජය සමග සාර්ථක වුවත් දූෂිත බැඳුම්කර හේතුවෙන් එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අසරණවී ඇති අතර රාජපක්‍ෂ මෙහෙයවන මහාචාර්ය ජී. ඇල්. පීරිස්‌ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රබල ස්‌ථානයකට පත්වී ඇත. එලෙසම 2010 දී සහ 2015 දී ජනපති රාජපක්‍ෂ පරාජය කිරීමට ගොඩනැඟූ සංවිධානය තුළ ප්‍රබල භූමිකාවක්‌ කළ ජනතා විමුක්‌ති පෙරමුණ බැඳුම්කර ගනුදෙනුව තම වාසියට හරවා ගැනීමට කටයුතු කරමින් සිටී. 2015 පෙබරවාරි 27 දින සිදුවූ බැඳුම්කර වංචාවට එක්‌සත් ජාතික පක්‍ෂය වගකිවයුතු නම් 2016 මාර්තු මස සිදුවූ දෙවන මහ පරිමාණයේ දූෂිත බැඳුම්කර ගනුදෙනුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ජනතා විමුක්‌ති පෙරමුණත් යම් ප්‍රමාණයකට වගකිව යුතුමය. එයට හේතුව යහපාලනයේ හවුල්කාර පක්‍ෂ ලෙස හදිස්‌සියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීමයි. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය හේතුවෙන් 2015 වංචාව පිළිබඳව පාර්ලිමේන්තු වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකි විය.

රාජපක්‍ෂ පාලනය නිරන්තරයෙන් දූෂිත දාමරික රජයක්‌ ලෙස හංවඩු ගැසූ බටහිර තානාපති අංශ 2015 බැඳුම්කර වංචාව පිළිබඳව කිසිදු අදහසක්‌ පළ කළේ නැත. රාජපක්‍ෂට සහ ඔහුගේ මිතුරන්ට හිමි ඇමරිකානු ඩොලර් බිලියන 18.5 විදේශීය බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බව පැවසූ ඔවුහු එම මුදල් නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව පැවැසීය. 2015 මැයි කොළඹ සංචාරයක යෙදුණු ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හොරකම් කළ මුදල් ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව කදිරගාමර් කේන්ද්‍රයේදී පොරොන්දු විය. කොළඹ සිටි ඇමරිකානු තානාපතිවරයා අතුල් කේෂාප් බැඳුම්කරයේ වරදක්‌ දැක්‌කේ නැත. වරදක්‌ දැක්‌කත් ඒ පිළිබඳව වචනයකුදු කතා කළේ නැත.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌වරයාද 2015 බැඳුම්කර වංචා පිළිබඳව නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කළේය. බැඳුම්කර වංචාව හෙළිවීම වැළැක්‌වීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ඇමරිකාව හෝ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල මුනිවත රැකීය. ජෝන් කෙරී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණේ 2015 බැඳුම්කර වංචාව සිදුවී සති කීපයකට පසුවය. කෙසේ වෙතත් යහපාලන රජය දෙවන දූෂිත බැඳුම්කර ගනුදෙනුවත් 2016 කරනා බව ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය හෝ රාජපක්‍ෂ පරාජය කිරීමට කටයුතු කළ ඉන්දියාව, සිවිල් සංවිධාන ඇතුළු දෙමළ ඩයස්‌පෝරාව කිසිවිටෙකත් සිතන්නට නැත. මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වී 50 වැනි දින සිදුකළ බැඳුම්කර වංචාව හේතුවෙන් එජාපය බලවත් පීඩනයකට යටත්විය. 2016 මාර්තු මස ගනුදෙනුවෙන් එජාපයට අමතරව යහපාලනයට සම්බන්ධ සියලු දේශපාලන පක්‍ෂ අපකීර්තියට පත්විය. දූෂිත යෑයි චෝදනාකර 2015 ජනවාරි මස පරාජයට පත් කළ රාජපක්‍ෂ නැවත හිස එසවිය. යුද්ධය දිනූ ජනපතිවරයාගේ ශක්‌තිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා උරගා බැලීමට පෙබරවාරි 10 දින පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය අවස්‌ථාවක්‌ වනු ඇත. ඇත්ත වශයෙන්ම බැඳුම්කර වංචා අවස්‌ථා දෙකකදී සිදුනොවූවානම් ඒකාබද්ධ විපක්‍ෂය පොදුජන පෙරමුණට පෙබරවාරි 10 වැනිදින විශාල අභියෝගයක්‌ වන බව නොඅනුමානය. බටහිර පදයට නැටූ යහපාලන රජය, බටහිර බලවතුන් මවිතයට පත්කරමින් බැඳුම්කර වංචාවල නියෑළුණු බව පැහැදිලිය. කේ. ටී. චිත්‍රසිරි (ශ්‍රේෂ්ඨාධිකරණයේ) විනිසුරු යටතේ ක්‍රියාත්මක වූ ජනපති කොමිසම පිළිබඳව විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය වාර්තා පරිශීලනය කළ කිසිවෙකුටත් එම කොමිසම ජනාධිපතිවරයාට කළ නිර්දේශ පිළිබඳව කුකුසක්‌ තිබිය නොහැක.

සිරිසේන-වික්‍රමසිංහ රජය බටහිර සැලසුම ව්‍යාකූල තත්ත්වයකට පත්කර ඇති බව පැහැදිලිය. පළාත් පාලන ආයතන 300 වැඩි ප්‍රමාණයකට පෙබරවාරි 10 දින පවත්වන මැතිවරණය රජය පිළිබඳව ජනමත විමසීමක්‌ වී ඇති අතර එම ඡන්ද ප්‍රතිඵලයේ බලපෑම රජයේ සැලසුම් තවදුරටත් අවුල්කරනු ඇත.

රාජපක්‍ෂ රජය 2015 වෙනස්‌ කළ හේතූ සහ නව රජය පිහිටුවීමේ අරමුණු මතක්‌ කළ දිය යුතුව ඇත. රාජපක්‍ෂ රජය චීනයට වඩා හිතවත්ව කටයුතු කිරීම ඇමරිකාව නොරිස්‌සූ අතර එම මිත්‍රකම ඉන්දියාවේ කෝපයට හේතුවිය. ඔවුහු රාජපක්‍ෂ පලවා හැරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර එය 2015 ජනවාරි 8 සාර්ථකව නිමාවට පත්විය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ගමන් මාර්ගය වෙනස්‌ කිරීමට කටයුතු කිරීම පිළිබඳව ඇමරිකාව ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කළේය. ඊට අමතරව, ඇමරිකාව තම බදු ගෙවන්නන්ගේ මුදලින් ශ්‍රී ලංකාවේ ගමන් මාර්ගය වෙනස්‌ කිරීමට කළ ගෙවීම් පිළිබඳවද හෙළිදරව්වක්‌ කළේය. ජනතාවට වගකියන යහපත් පාලනයක්‌ ලෙස නම් කළ යහපාලන රජය තම මහා බැංකුව සහ මුළු රාජ්‍ය මූල්‍ය පද්ධතියම අනතුරේ හෙළන ආකාරයකට කටයුතු කරන බව ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් කිසිදා සිතන්නට නැත. නමුත් පුදුමය 2015 වංචාව සිදුවූ බව ඉතා පැහැදිලිව හෙළිවූ පසුවත් යහපාලන රජයට මේ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක්‌ ඇමරිකාව නොකිරීමයි. බටහිර මැදිහත්වීමක්‌ සිදුවූවානම් දෙවන වංචාව සිදුනොකරනු ඇත.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට නිරන්තරයෙන් මැදිහත්වන ඇමරිකාව බැඳුම්කර වංචා වැළැක්‌වීමටද කටයුතු කළ යුතුය. නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ යහපාලනය ගැන වෙහෙසෙන ඇමරිකානු සහ මහා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල පළවන බැඳුම්කර වංචාවෙන් පසුව මැදිහත් වීමක්‌ කළ යුතුව තිබිණි. අවාසනාවකට පැවැති රජය සොර මුලක්‌ ලෙස හංවඩු ගසා තිබූ කාලයක තම සහයෝගයෙන් බලයට පත්වූ කණ්‌ඩායමටද ප්‍රබල චෝදනාවලට ලක්‌ කිරීමට ඔවුහු මැලිවූ බව පැහැදිලිය. වරෙක ඇමරිකාව ප්‍රකාශ කළේ මියන්මාරය, නයිජීරියාව සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට (2015 ආණ්‌ඩු වෙනසට) ඇමරිකානු ඩොලර් මිලියන 500 අධික ප්‍රමාණයක්‌ වියදම් කළ බවය. ඊට අමතරව 2015 ජනපතිවරණයෙන් පසුව ඇමරිකානු ඩොලර් මිලියන 3.4 ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම්වලට වියදම් කළ බවය. පළාත් පාලන අපේක්‍ෂකයෙකු මැතිවරණ නීති රීතිවලට එරෙහිව පෝස්‌ටරයක්‌ ගැසූ විට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මැතිවරණ කොමිසම මෙම ඇමරිකානු මැදිහත්වීම් සම්බන්ධයෙන් කටයුතු කර නැත. මෙම මුදල් යෙදවීම් පිළිබඳව ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මෙම ලියුම්කරු පසුගිය වසරේ කළ විමසීමට මේ වන තුරු පිළිතුරු ලැබී නැත.

යහපාලන රජය දිගින් දිගටම වසර 2 කට වැඩි කාලයක්‌ පුරා පළාත් පාලන ඡන්දය නොයෙකුත් හේතු මත කල්දැමීම පිළිබඳවද ඇමරිකාව ප්‍රමුඛව බටහිර බලවතුන් මුනිවත රැකීය. එජාපයේ සහ ශ්‍රීලනිපයේ එම ඡන්දයේ “ගැටීම” තමුන්ගේ මූලික අරමුණුවලට බාධාවක්‌ විය හැකි බව වටහාගත් ඔවුහු රජය පළාත් පාලන ආයතන සහ පළාත් සභා තුනක (සබරගමුව, නැගෙනහිර සහ උතුරුමැද) ඡන්දය කල්දැමීම පිළිබඳවද වචනයකුදු කතා කළේ නැත.

2018 තෛපොංගල් උත්සවය වෙනුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් නිකුත් කළ පණිවුඩයේ ඔහු කියන පරිදි ද්‍රවිඩ ජනතාවගේ ප්‍රධානතම බලාපොරොත්තුව නව ව්‍යවස්‌ථාවකි. එය ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ගේද බලාපොරොත්තුව බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය.

ඇමරිකානු තානාපති කේෂාප් උතුරේ මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් තෛපොංගල් උත්සවයට මුණගැසීමෙන් පසු නිකුත් කළ ට්‌විටර් පණිවුඩයකට අනුව ශ්‍රී ලංකා රජය 2015 ඔක්‌තෝබර් 01 දින ජිනීවාහිදී වූ වගවීම පිළිබඳව පොරොන්දු පිළිබඳව සඳහනක්‌ කර ඇත.

මෑතකදී නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍යයේ සාමි මණ්‌ඩලය කළ හෙළිදරව්වක්‌ හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව ජිනීවා ක්‍රියාවලිය අභියෝගයට ලක්‌වී ඇති බව නොරහසකි. ද්‍රවිඩ සිවිල් වැසියන් 40,000 – 2009 නැගෙනහිර වන්නියේදී මරා දැමුවේ යෑයි එවකට රජයට චෝදනා එල්ලවිය. එම චෝදනාව මූලික කරගෙන 2015 ජිනීවා යාන්ත්‍රණය යෝජනා විය.

දූෂිත බැඳුම්කර ගනුදෙනු සහ නෙස්‌බි සාමිවරයා කළ හෙළිදරව්ව හේතුවෙන් මුළු යහපාලන රජය පිහිටවූ පරමාර්ථ අභියෝගයට ලක්‌වී ඇත. එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පෙබරවාරි 10 දින පළාත් පාලන ආයතන සඳහා ඡන්දයෙන් අත්කර ගන්නා ප්‍රතිඵල මත ජනපති සිරිසේනගේ ඉතිරි වසර දෙකේ සිරිසේන-වික්‍රමසිංහ රජයට මුහුණ දීමට සිදුවන තත්ත්වය වටහාගත හැකිය.

බැඳුම්කර වංචාව සිදුනොකළේ නම් රජයේ පාර්ශ්වකරුවන් අද පළාත් පාලන ඡන්දයට විශ්වාසයෙන් මුහුණ දෙනු ඇත. ඇමරිකානු සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන ශක්‌තිය ගිලිහීමේ ප්‍රධානතම හේතුව බැඳුම්කර වංචාවයි.

බැඳුම්කර මගඩිය හරහා එජාපය සහ ශ්‍රීලනිප තමන්හට කරගත් දේශපාලන අවාසිය ගණන් බැලිය නොහැක. නමුත් මෙරට ඡන්දදායකයන් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පෙබරවාරි 10 දක්‌වන ප්‍රතිචාරය මත රජයේ ඉතිරි ගමන තීරණය වනු ඇත. ඉහළ උසාවිය ජනපති සිරිසේන 2015 ජනවාරි 8 ලබාගත් ජනවරම වසර 5 කට සීමාවිය යුතු බව ඒකමතිකව තීරණය කිරීම බැඳුම්කරය එජාපයට කළ බලපෑම හා සමාන අනර්ථයක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට කර ඇත. “යහපාලනයන්” ඇති කළ 2015 ජනවාරි 8 ආණ්‌ඩු පෙරළිය වසර තුනක්‌ තුළ ලබාගත් “ප්‍රගතිය” කුමක්‌දැයි බටහිර බලවතුන් විමසා බැලිය යුතුව ඇත. 2015 ආණ්‌ඩු පෙරළියට දායදක වූ ඉන්දියාවද යහපාලන වසර 3 පිළිබඳව විමසා බැලිය යුතුව ඇත. ඉන්දියාව බලාපොරොත්තු වූ ලෙස ශ්‍රී ලංකාව චීනය සමග තිබෙන බැඳීම 2015 ආණ්‌ඩු පෙරළියෙන් නැති කිරීමට නොහැකි විය. රාජපක්‍ෂ රජය 2008 ආරම්භ කළ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය යහපාලන රජය හරහා වසර 99 බද්දකට ලබා ගැනීමට චීනයට හැකිවිය. කොළඹ වරාය ව්‍යාපෘතියද වේගයෙන් ක්‍රියාත්මකය. දැනට යහපාලන රජය චීනයට ඉඩදී නැත්තේ සබ්මැරීනයක්‌ කොළඹ වරායට ඒමට අවස්‌ථාව නොදීම පමණය.

යහපාලන රජයේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් චීනය සමග සම්බන්ධතා ශක්‌තිමත් වී ඇති අතර හම්බන්තොට වරායේ එසැවී තිබෙන චීන ජාතික කොඩිය කටමැත දෙඩූ පාලකයන්ට අපූරු පාඩමක්‌ කියාදී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිවරයාගේ ධුර කාලය 19 වන සංශෝධනයට අනුව වසර 5 ලෙස ඒකමතිකව තීරණය කිරීම බටහිර බලපෑම මත නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට කරන උත්සාහයට බරපතළ බලපෑමක්‌ කරනු ඇත. බැඳුම්කරයෙන් බැටකා සිටින එජාපයට එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මහත් අස්‌වැසිල්ලක්‌ වනු ඇත. ජනපතිවරයාත් ඉහළ උසාවියේ අනුමැතිය වසර 6 කාලයකට ලබාගත්තේ නම් එය පළාත් පාලන ඡන්දයට පමණක්‌ නොව 2020 අගෝස්‌තු මහ මැතිවරණයටද අනිවාර්යයෙන්ම බලපෑමක්‌ කරනු ඇත. තම කාලය වසරකින් දීර්ඝ කරගැනීම තුළින් 2020 අගෝස්‌තු මහ මැතිවරණය තම පාලනය යටතේ පැවැත්වීමට ඇති හැකියාව එතුමා නියෝජනය කරන පක්‍ෂයට වාසිදායක වනු ඇත. නමුත් බැඳුම්කර ගනුදෙනු, නේස්‌බි සාමිවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කළ ඉතාමත් යහපත් යෝජනා නොසලකා කටයුතු කිරීම සහ ඉහළ අධිකරණය ජනපතිවරයාගේ ධුරය වසර 5 කට සීමා කිරීම රජය අපහසුතාවයට පත්කර ඇත.

එලෙසම යහපාලන රජය බලයට ගෙන ඒමට කටයුතු කළ විදේශීය බලවතුන්ද බලවත් අපහසුතාවට පත්කර ඇත. බැඳුම්කර මගඩිය හේතුවෙන් මින් ඉදිරියට පැවැත්වෙන කිසිදු මැතිවරණයකට වංචා දූෂණ සෙවීම, හොරුන්ට දඬුවම් දීම රටින් පිටකළ මුදල් නැවත ගෙන ඒම පොරොන්දු ලෙස ඉදිරිපත් කිරීමට එජාපයට හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හැකි වන්නේ නැත. බැඳුම්කර දූෂිතයන්ට නිසි දඬුවම් දෙන ආකාරයටම විශේෂ ජනපති කොමිසම හරහා හෙළිකරගත් තොරතුරු අනුව දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් ලෙස කටයුතු කරන දූෂිත දේශපාලනඥයන් උසාවියට ඉදිරිපත් කළ යුතුමය. කිසිදු දූෂිත පුද්ගලයකු (ජනපති ධුරය හොබවන හෝ හෙබවූ) කිසිදු හේතුවකට ආරක්‍ෂා කළ යුතු නැති අතර රණවිරු ලේබලය යටතේ අපරාධ කළ කිසිවකුටද ආරක්‍ෂාව දිය යුතු නැත. බැඳුම්කර හොරුන් සහ ගමේ සමුපකාරයේ වංචාවන් සිදුකළ පුද්ගලයන් තරා තිරම නොබලා පවතින නීතිය අනුව දඬුවමට භාජනය කළ යුතුය.

මෑතකදී ඇමරිකානු රජය කොළඹ නේවාසික නීති උපදේශකයකුව ස්‌ථානගත කිරීම විමසා බැලිය යුතුව ඇත්තේ රජය 2015 සහ 2016 තුළ බැඳුම්කර ගනුදෙනුද සැලකිල්ලට ගනිමිනි. එලෙසම යහපාලනය ඇති කිරීමට ඇමරිකාව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව රුපියල් බිලියන 1.92 වසර 3 ගිවිසුමද විමසා බැලිය යුතුය. මෙපමණ මුදල් ප්‍රමාණයක්‌ වැයකරත් ඇමරිකාව බලාපොරොත්තු වූ යහපාලනය ශ්‍රී ලංකාවේ ඇති නොවූ බව පැහැදිලිය. නමුත් “යහපාලන” රජයන් පෙරට දමා ඇමරිකාව-ඉන්දියාව ඇතුළු කණ්‌ඩායම ඇත්ත ලෙසම බලාපොරොත්තු වූයේ ශ්‍රී ලංකාව තුළ චීන ව්‍යාප්තිය නවතා දැමීමටත් නැවතත් රාජපක්‍ෂ රජයක්‌ බලයට පත්වීම වැළැක්‌වීමත්ය. එම ව්‍යාපෘතිය රඳා පවතින 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය මුහුණ දුන් පළමුවන ප්‍රබල බාධකය ජයගෙන ඇත. ඉහළ උසාවිය නීතිපතිවරයා ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු පිළිගත්තේනම් ජනතාව බරපතළ පරාජයකට මුහුණ දෙනු ඇත. ජනාධිපති සිරිසේනට අවංකව සතුටු විය හැක. ඒ ඔහුගේ පාලනය යටතේ උසාවිය නිසියාකාරව කටයුතු කිරීමට ඉදිරිපත් වී ඇති නිසාය. ඉන්දියානු ඉහළ උසාවිය බරපතළ අර්බුදයකට මුහුණදී ඇති අවස්‌ථාවක ශ්‍රී ලංකාව ප්‍රබල සලකුණක්‌ තබා ඇත. කිසිදු වාද විවාදයක්‌ නැතිව, 2015 ජනපතිවරණයේදී ජනතාව බලාපොරොත්තු වූ ප්‍රබලම වෙනසක්‌ ජනපති සිරිසේන ජනතාවට ලබාදී ඇත. එනම් උසාවියේ ස්‌වාධීනතාවයයි එය සැබවින්ම ජනාධිපතිවරයා රට තුළ ඇතිකළ වෙනස පිළිබිඹු කරයි.

– ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

*****************************************

හොදම නැටුම රනිල්ගෙද චන්ද්‍රිකාගෙද බලන්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *