අබලන්වූ ලංගම බස් රථ 273 ක් යළි ධාවනයට

අබලන්වූ ලංගම බස් රථ 273 ක් යළි ධාවනයට

*********************************************

අබලන්වූ ලංගම බස් රථ 273 ක් යළි ධාවනයට

(31.12.2020 – 15:15 +0530 – hirunews.lk/sinhala)

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273 ක් අලුත්වැඩියා කර යළි මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ සිදුකෙරුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ – ගාලුමුවදොර පිටියේදීයි.

දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම බස් රථ යොදා ගනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

දිවයින පුරා පිහිටි ඩිපෝ 107 ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 273 ක් මෙලෙස අලුත්වැඩියා කර ඇති අතර ඊට රුපියල් මිලියන 115 ක මුදලක් වැය කර තිබෙනවා.

***************************************

(31.12.2020 – 15:47 +0530 – hirunews.lk/sinhala)

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඒ අනුව අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසටයි දැනුම් දෙන්නේ.

බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැලකිය යුතු අතර තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි ෴

***************************************

(31.12.2020 – 16:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම වෙනුවෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙනවා.

ඒ මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින්.

කාසිය පැති 7 ක් සහිත හැඩයකින් යුක්තව ඇලුමිනියම් සහ ලෝකඩවලින් නිමවා තිබෙනවා.

කාසි 3000 ක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මහ බැංකු මූලස්ථානය සහ දිස්ත්‍රික් ශාඛා විසින් රුපියල් 1300 ක මුදලකට කාසිය අලෙවි කිරීමට නියමිතයි.

+++++++++++++

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 70 වන සංවත්සරය නිමිත්තෙන් සංසරණය සඳහා නොවන සමරු කාසියක් නිකුත් කරයි (pdf file)

The Central Bank of Sri Lanka issues an Uncirculated Commemorative coin to mark its 70 th Anniversary (pdf file)

***************************************

(31.12.2020 – 18:10 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ධීවර වරාය ආසන්නයේ පිහිටි ජාකොටුව වැල්ලේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 7 කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 945 ක් සහ හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 992 ක් සොයා ගෙන ඇති බවයි.

අද (31) පස්වරුවේ එම යාත්‍රාව පරීක්ෂා කිරීම සඳහා නාවික හමුදාවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් එහි ගොස් තිබුණා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශය කියා සිටියේ යාත්‍රාවේ පස්දෙනෙකු (5) සිට ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී එක් අයෙකු (1) පලාගොස් ඇති බවයි.

අත්අඩංගුවට ගත් 4 දෙනාගෙන් දෙදෙනෙකු (2) මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්. අනෙක් දෙදෙනා (2) පානම සහ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට යාබද මුහුදු ප්‍රදේශයට අද (31) උදෑසන 5 ට පමණ සැක කටයුතු බහුදින යාත්‍රාවක් පැමිණ ඇති අතර එය නාවික හමුදාවේ නිරීක්ෂණයට ලක්ව තිබුණා.

එහිදී යාත්‍රාව තුළ පුද්ගලයින් 5 දෙනෙකු රැඳී සිටියා.

ඉන් තුන්දෙනෙකු (3) නාවික හමුදා භාරයට ගෙන අනෙක් සැකකරුවන් දෙදෙනාට (2) යාත්‍රාව නාවික හමුදා කඳවුර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට රැගෙන එන ලෙසට දැනුම්දී තිබුණත් ඔවුන් එය ජාකොටුව වැල්ල ධීවර වරායට යාබද මුහුදු ප්‍රදේශයේ දමා පැන ගොස් තිබුණා.

***************************************

(31.12.2020 – 18:48 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව පෙරියකට්ටු ප්‍රදේශයේ කැලෑවක, පාදයේ ආබාධයකට ලක්ව ඇති වන අලියෙකු ජලය පිරුණු වලකට වැටී තිබෙනවා.

සෙට්ටිකුලම වනජීවී කාර්යාලය සඳහන් කළේ අලියාගේ පාදයක් වෙඩිල්ලකට හසුවී ආබාධයකට ලක්ව ඇති බවයි.

ආබාධිත අලියා වර්ෂාවත් සමග ඇතිවූ වතුර වලකට වැටී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ප්‍රදේශවාසීන් මෙම සිද්ධිය පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇති අතර එම අලියාගේ පාදයක් මඩේ එරී ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් අලියාගේ පාදයට ඊයේ (30) සහ අද (31) දිනයේදීත් ප්‍රතිකාර ලබාදී ඇතැයි සඳහන්.

අලියාගේ වයස අවුරුදු 25 ක් පමණ වන අතර උස අඩි 7 ක් පමණ වනවා.

සෙට්ටිකුලම වනජීවී කාර්යාලයයි අලියාට ප්‍රතිකාර කිරීටමේ කටයුතු සිදුකරනු ලබන්නේ.

***************************************

(31.12.2020 – 18:55 +0530 – hirunews.lk/sinhala)

2020 වසර අදින් අවසන් වන්නේ කොරෝනා වසංගතය ඇතුළු විවිධ සිද්ධීන් රැසක මතකයන් සටහන් කරමින්.

මේ හිරු වටා ගෙවුණු 2020 වසරේ දින 365 පිළිබඳ මතකයයි.

2020 වසරේ සමස්ත ලෝකයම මුහුණදුන් අභියෝගය කොරෝනා වෛරසයයි.

කොරෝනා හමුවේ වුව ද විවිධ සිද්ධීන් ගෙවී ගිය වසර තුළ සටහන් වුණා.

මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා ලෙස ජනවාරි 25 වනදා චීන ජාතික කාන්තාව හඳුනා ගැණුනා.

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන්ගේ අභාවය ද ජනවාරියේ සිදුවන අතර, වූහාන්හි සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් පෙබරවාරි පළවනදා දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන්නේ පෙබරවාරි 19 වනදායි.

කොරෝනා වෛරසය හේතුවෙන් මාර්තු 12 වනදා සියලු පාසල් වසා දැමෙන අතර මාර්තු 20 වනදා රට පුරා නිරෝධායන ඇදිරි නීතිය පැනවෙනවා.

ඊට දින 8 කට පසු මෙරටින් පළමු කොරෝනා ආසාදිත මරණය වාර්තා වුණා.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ජනතාව නිවසේ සිට සැමරූ අතර සංගීතවේදී ජයන්ත රත්නායක මහතා සහ රංගවේදී දයා තෙන්නකෝන් මහතාගේ අභාවය ද අප්‍රේල් මාසයේ සිදුවනවා.

අප්‍රේල් 26 වනදා වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් 500 සීමාව ඉක්මවා තිබුණා.

සහනාදාර බෙදා හැරීමක් අතරතුර මාලිගාවත්තේ තෙරපීමකින් කාන්තාවන් 3 දෙනෙකු මියගියේ මැයි 21 වනදායි.

ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය ද මැයි 26 වනදා සිදුවුණා.

කලාවට මහඟු සේවයක් ඉටු කළ අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ථවීම මෙන්ම ප්‍රවීන නිවේදනක නඩරාජා සිවම් මහතාගේ අභාවය ද සිදුවන්නේ ජුනි මාසයේදීයි.

ජූලි පළවනදා ළමා සාහිත්‍යවේදිනි සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අභාවය සිදුවන අතර, ආන්දෝලනයට තුඩුදුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබදතා පැවැත්වූ වරදට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීම ද එදින සිදුවනවා.

සාක්ෂි සැගවීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගැණුනේ ජුලි 31 වනදායි.

අගෝස්තු 2වනදා මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත්තා.

මෙරට 16 වන පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 5 වනදා පැවති අතර ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් හිමිවුණා.

එහිදී එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රී ආසනයක් හෝ ජය ගැනීමට නොහැකිවීම ද විශේෂත්වයක්. සැප්තැම්බර් 3 වනදා එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය වාර්තා වන අතර, රටම සිනහ ගැන්වූ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ අභාවය ද සැප්තැම්බර් 28 වනදා සිදුවුණා.

බූවැලිකඩ ගොඩනැගිල්ලක් කඩා වැටී මව්පියන් සමඟ කුඩා බිලිඳියක මිය ගිය සිද්ධිය ද එම මාසයේ වාර්තා වුණා.

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය සටහන් කරමින් දිවුලපිටියෙන් ආසාදිත කාන්තාවක් වාර්තා වුණේ ඔක්තෝම්බර් 4 වනදායි.

කල් තැබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර 11 පැවැත්වුණු අතර ඊට පසුදා උසස් පෙළ විභාගය ආරම්භ වුණා.

ඔක්තෝම්බර් 15 වනදා ප්‍රවීන රංගන ශිල්පිනි අනුලා බුලත්සිංහල මහත්මියගේ අභාවය සිදුවන අතර, 19 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැණුනේ රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඔක්තෝම්බර් 20 වනදා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ මරණය සිදුවනවා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වන්නේ ඔක්තෝම්බර් 22 වනදායි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 26 වනදා ඇරඹුණා. මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව වාර්තා වන්නේ නොවැම්බර් 29 වනදායි.

රාමඤ්ඤ නිකායේ මහානායක පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත්වීම මෙන්ම, ප්‍රවීන ගායන ශිල්පි ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහතා සහ ප්‍රවීන මාධ්‍යවේදී සිඩ්නි චන්ද්‍රසේකර මහතාගේ අභාවය ද එම මාසයේ සිදුවුණා.

නොවැම්බර් 3 වනදා පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා ජෝ බයිඩ්න් ජයග්‍රහණය කළා.

සුපිරි පාපන්දු ශූර මෙරඩෝනාගේ අභාවය නොවැම්බර් 25 වනදා සිදුවනවා.

බුරවි සුළි කුණාටු අවදානමත් සමඟ ඇරඹෙන දෙසැම්බර් මාසයේ 6 වනදා හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වුණා.

ගුවන් හමුදා සැහැල්ලු ගුවන් යානයක් 15 වනදා කන්තලේදී කඩා වැටුණු අතර අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ගින්න ද එදින වාර්තා වුණා.

දෙසැම්බර් 17 වනදා කොරෝනා ආසාදිත මවක කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී සිව් නිවුන් දරු ප්‍රසූතියක් සිදුකළා.

දෙසැම්බර් 28 වනදා මාස 9 කට පසු යුක්රේනයේ සංචාරකයන් පිරිසක් මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා.

***************************************

(31.12.2020 – 19:12 +0530 – hirunews.lk/sinhala)

නව දේශපාලන පක්ෂ ලබන වසරේ (2021) ජනවාරි මස තුළ ලියාපදිංචි කිරීම ආරම්භ කරන අතර ඊට අවශ්‍ය නිර්නායක සකස් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එම කමිටුවේ නිර්දේශ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කිරිමට කටයුතු කරන බවයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අද (31) පැවති විශේෂ රැස්වීමේදී තීරණය වී ඇත්තේ.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි කොමිෂන් සභා පරිශ්‍රයේදී අද මෙම රැස්වීම පැවැත්වූ අතර එය කොමිෂන් සභාවේ නව සාමාජිකයින් පත් කිරීමෙන් පසු පැවති දෙවන (2) රැස්වීමයි.

අප එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ගෙන් වැඩිදුරටත් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඒ සඳහා රුපියල් මිලියන 4000 ක වියදමක් වැය වන බවයි.

ලබන 11 වනදා පෙරවරු 10 ට පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක් සහ එදිනම පස්වරුවේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල රැස්වීමක් ද පැවැත්වීමට අද (31) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා ෴

***************************************

(31.12.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

වී අලෙවි මණ්ඩලයේ ගබඩා කර තිබූ වී මෙට්‍රික් ටොන් 30,000 ක් විකිණීමේදී වංචනිකව හැසිරුණු ප්‍රාදේශීය කළමනාකරුවෙකු කිලිනොච්චියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

========================================

(31.12.2020 – 16:53 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 706 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 35,329 ක්.

මේවන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 42,702 ක් හමුවී ඇති අතර ඉන් 7174 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 199 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 421 ක් හමුවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43,123 ක් දක්වා ඉහළ යනවා ෴

++++++++++++++++++++

(31.12.2020 – 15:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී පොළොන්නරුව – ගල්ලෑල්ල විද්‍යා පීඨයේ ස්ථාපිත කර ඇති කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) අලුයම පලාගිය මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනා සොයා ගැනීමට පොලීසිය මහජන සහය අපේක්ෂා කරනවා.

මෙලෙස පලාගොස් තිබුණේ වයික්කාල – අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්, බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්, වෙන්නප්පුව – සුදුවැල්ල පාරේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්, මාරවිල – දෙවන හරස් වීථියේ පදිංචි 26 හැවිරිදි අයෙක් සහ අවුරුදු 31 ක තවත් පුද්ගලයෙකුයි.

මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ලගම පොලිස් ස්ථානයට හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට මෙන්ම පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ 071 859 1233 අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවට දැනුම් දෙනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වී පොළොන්නරුව – ගල්ලෑල්ල විද්‍යා පීඨයේ ස්ථාපිත කර ඇති කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) අලුයම පලාගිය මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනාගෙන් එක් (1) අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ හලාවත – මාදම්පේ ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි ෴

(31.12.2020 – 17:28 +0530 – hirunews.lk/sinhala)

පොලොන්නරුව – ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) අලුයම පළාගිය රැඳවියන් පස්දෙනා (5) ගෙන් 27 හැවිරිදි වෙන්නප්පුව – සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි රැඳවියා අද (31) පස්වරුවේ හලාවත – කාකපල්ලිය – දෙමටපිටිය ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

අදාළ ආසාදිතයන් NB-9268 දරන පොලොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයෙන් කුරුණෑගල දක්වා පැමිණ ඇති අතර, ඒ හේතුවෙන් එහි ගමන්ගත් සියලු මගීන්ට ස්වයං නිරෝධායනය වන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.

අද (31) අලුයම රැඳවියන් 05 දෙනෙකු ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය අතර, ඔවුන් ගල්ලෑල්ල සිට පොලොන්නරුව බස් නැවතුම්පොලට පැමිණ පසුව කුරුණෑගල දක්වා පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

පළාගිය රැඳවියන් අතරින් 27 හැවිරිදි වෙන්නප්පුව – සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරු අද පස්වරු 03 ට පමණ හලාවත – කාකපල්ලිය – දෙමටපිටිය ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගනු ලැබුවා.

ඒ අනුව එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකුද නිරෝධායනයට යොමු කෙරුණු අතර, ඔහු පැන ආ රැඳවියාට සැඟ වී සිටීමට උපකාර කළේද යන්න සෙවීම සඳහා තවත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම සොයාගත් රැඳවියා කුරුණෑගලට පැමිණීමෙන් පසු හලාවත දක්වා බස් රථයකින් පැමිණ යළි හලාවත සිට කාකපල්ලිය දක්වා තවත් බස් රථයකින් පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව ඔහු කාකපල්ලියේ සිට දෙමටපිටියේ නිවස වෙත ත්‍රීරෝද රථයකින් පැමිණ තිබෙනවා.

ඔහු සමඟ පැමිණි පළාගිය අනෙකුත් රැඳවියන් කුරුණෑගලදී වෙනත් බස්රථවලට නැග විවිධ ප්‍රදේශවලට ගමන් කර ඇති අතර, ඔවුන් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර, අද (31) දිනයේදී ආසාදිතයින් 706 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35,329 දක්වා ඉහළ ගියා.

එසේම, අද (31) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 421 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළ අතර, ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 43,143 ක්.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 7,615 ක් පමණයි.

එසේම, නාරාන්හේන්පිට – දාබරේ මාවතේ – 100 වත්තේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී හමුවූ ආසාදිතයින් දෙදෙනෙකු (2) ඒ ආසන්නයේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක පවිත්‍රතා අංශයේ සේවය කරන බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් අදාළ නිවාස සංකීර්ණයේ පවිත්‍රතා අංශයේ සේවය කළ හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ට නිරෝධායනය සඳහා යොමුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

කාත්තන්කුඩියේ වෙළඳසැල් සේවකයින්ට සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලින් ආසාදිතයින් 27 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශයට දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.

(31.12.2020 – 18:05 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය දුෂ්කරතාවන්ට ලක්වූ සිනමා ශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් සිනමා ශාලාවල හිග විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ එකඟතාව ලැබී ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කරනවා.

චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා සහ විදුලිබල අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදීයි මෙම සහන ලබාදීමට තීරණය වී ඇත්තේ.

ඒ අනුව 2020 මාර්තු මාසයේ සිට දෙසැම්බර් දක්වා වූ ගෙවීම් නොකරන ලද සිනමා ශාලාවල විදුලි බිල්පත් මාස 12 කදී සමාන වාරික 12 කින් පියවීමට අවස්ථාව ලබාදීමට නියමිතයි.

එමෙන්ම මෙම කාලසීමාව තුල හිග විදුලි බිල්පත් මත විදුලිය විසන්ධි නොකිරීමට ද කටයුතු කරනු ඇති.

ඒ වෙනුවෙන් වන උපදෙස් විදුලිබල අමාත්‍යවරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට ලබාදී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ අනුව දිවයින පුරා පිහිටා ඇති සිනමා ශාලා 194 කට පමණ මෙම විදුලි බිල්පත් ගෙවීමේ සහනය හිමිවනු ඇති.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා තිබූ සිනමා ශාලා ජනවාරි පළමුවනදා සිට යළි විවෘත කිරීමට ද කටයුතු සැලසුම් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *