දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සේවය කළ පොලිස් නිලධාරීන් 6 කට කොරෝනා

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සේවය කළ පොලිස් නිලධාරීන් 6 කට කොරෝනා

*********************************************

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සේවය කළ පොලිස් නිලධාරීන් 6 කට කොරෝනා

(01.01.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයන් 597 දෙනෙකු ඊයේ (31) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,000 සීමාව ඉක්මවා ගියා.

ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 43,299 ලෙසයි.

ඊයේ (31) වාර්තා වූ ආසාදිතයින් අතර විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකුද (5) වන අතර, අනෙක් පිරිස දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39,571 ක්.

ඊයේ (31) දිනයේදී ආසාදිතයින් 706 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35,329 දක්වා ඉහළ ගියා.

එසේම, තවත් කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 5 ක් ඊයේ (31) වාර්තාවීමත් සමඟ මෙරට සිදු වු මුළු කෙරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්මවුවා.

ඒ අනුව මේ වනවිට මෙරට සිදු වී ඇති මුළු මරණ සංඛ්‍යාව 204 ක් වනවා.

මෙලෙස මියගිය 5 දෙනා අතර කොළඹ 5 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක් සිටිනවා.

අයි.ඩී.එච්. රෝහලේදී ඊයේ (31) මෙම කාන්තාව මියගොස් ඇත්තේ ‘කොවිඩ් නියුමෝනියා’ තත්ත්වයක් හේතුවෙන්.

මියගිය අනෙක් පුද්ගලයින් සිව්දෙනා (4) අතරින් දෙදෙනෙකු දියවැඩියාව උග්‍රවීම වීම සහ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දර්ගා නගරයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු සහ 46 හැවිරියේ වියේ පසු වූ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම, කොවිඩ් 19 වැළදීමත් සමඟ ඇති වූ උග්‍ර පෙනහළු ආසාදනය වීම හේතුවෙන්ද දෙදෙනකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් එක් අයෙක්, හෝමාගම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අනෙක් පුද්ගලයා පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, පොලොන්නරුව – ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය අනෙක් අසාදිතයින් සිව්දෙනා (4) සොයා තවදුරටත් පොලිසිය මෙහෙයුම් සිදු කරනු ලබනවා.

ඊයේ (31) අලුයම එහි සිටි ආසාදිත රැඳවියන් 5 දෙනෙකු පැන ගිය අතර ඉන් එක් අයෙකු වන 27 හැවිරිදි වෙන්නප්පුව – සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි රැඳවියා ඊයේ (31) හලාවත – කාකපල්ලිය – දෙමටපිටිය ප්‍රදේශයේදී සොයා ගනු ලැබුවා.

එමෙන්ම, දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සේවය කළ පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ සමඟ එහි සේවය කරන නිලධාරීන් 14 දෙනෙකුට සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරික්ෂාවේදී නිලධාරින් 05 දෙනෙකුට වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වුණා.

එසේම, කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබාගත් ගර්භණි මාතාවන් 130 දෙනෙකු අතරින් 46 දෙනෙකු නිරෝගී දරු උපත් සිදු කර ඇති බවයි මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න මහතා කියා සිටියේ.

එසේම, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ මස අග වනවිට ගුවන් තොටුපල සහ රට සංචාරකයින්ට නිල වශයෙන් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

එම දිනය නිල වශයෙන් ඉතා කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින් සමඟ ඊයේ (31) පැවති සාකච්ඡාවකදී කියා සිටියේ.

මෙහිදි අමාත්‍යවරයා සඳහන් කළේ කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තයේ නියැලි සිටින ලක්ෂ 30 ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර, හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියළු ප්‍රදේශවල සිනමාහල් අද (01) සිට 25% ක ප්‍රේක්ෂක ධාරිතාවක් සහිතව විවෘත කෙරෙනවා.

චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් සහ ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුළු කලාකරුවන් රැසක් සිනමා ශාලා වසා තැබීම සම්බන්ධයෙන් කලාකරුවන්ට සිදුවී ඇති හානිය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා දැනුවත් කරනු ලැබුවා.

එහි ප්‍රතිඵලයක් ලෙසයි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සිනමා ශාලා අද (01) සිට විවෘත කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ.

අද (01) සිට විවෘත කෙරෙන සිනමා ශාලා මුළුමනින්ම, විෂබීජහරණයට ලක්විය යුතු වනවා ෴

++++++++++++++++++++++

(01.01.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (31) හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 597 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 256 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ නාරාහේන්පිට ප්‍රදේශයෙන් ආසාදිතයින් 79 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

එසේම, ඊයේ (31) දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 63 දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම ද විශේෂත්වයක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 දෙනෙකු හඳුනාගෙන තිබුණා ෴

+++++++++++++++++++++

(01.01.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවි සිටි ශ්‍රි ලංකිකයන් 397 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (01) පෙරවරු 08:30 අවසන් වු ගෙවුණු පැය 24 තුළ ගුවන් ගමන් 06 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එලෙස පැමිණි පිරිස අතර චෙන්නායි සිට 283 දනෙකු, ඩුබායි සිට 48 දෙනෙකු සහ කටාර් සිට 27 දෙනෙකු මෙන්ම ඉතාලියේ සිට 28 දෙනෙකු පැමිණ තිබෙනවා.

එමෙන්ම, තවත් ශ්‍රී ලාංකිකයින් 251 දෙනෙකු ඊයේ (31) දිනයේ රැකියා සඳහා ඩුබායි සඳහා පිටත්ව ගොස් ඇති බව ද සඳහන් ෴

+++++++++++++++++++++

යළිත් වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් – මඩකලපුවේ අවදානමත් ඉහළට

(01.01.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (31) හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 597 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 256 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ නාරාහේන්පිට ප්‍රදේශයෙන් ආසාදිතයින් 79 දෙනෙකු වාර්තා වී ඇති බවයි. එසේම, ඊයේ (31) දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 63 දෙනෙකුද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

මේ වනවිට මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 43,299 ලෙසයි.

ඊයේ (31) වාර්තා වූ ආසාදිතයින් අතර විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු (5) ද වන අතර, අනෙක් පිරිස දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39,571 ක්.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ විවිධ ප්‍රදේශවල අහඹු ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක වන බවයි.

ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ (31) පළාගිය මෙතෙක් සොයා නොගත් ආසාදිත බන්ධගාගාර රැඳවියන් සිව්දෙනා (4) අත්අඩංගුවට ගැනීමට තවදුරටත් ජනතා සහය අපේක්ෂා කරන බවයි ඔහු කියා සිටියේ.

++++++++++++++++++++

(01.01.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශය සහ කල්මුණේ ග්‍රාම නිලධාරී වසම් 11 ක් මේ මොහොතේ සිට හුදෙකළා කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

+++++++++++++++++++

(01.01.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණදීමට නම් මිත්‍යා විශ්වාස පසුපස නොයා විද්‍යානුකූල ක්‍රියාවලියකට මූලිකත්වය ලබාදිය යුතු බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

සිය අමාත්‍යාංශයේදී නව වසරේ රාජකාරි කටයුතු අරඹමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ඇතැම් පිරිස් මිත්‍යා විශ්වාසයන් පසුපස හඹා යන ස්වභාවයක් දක්නට ලැබුණ ද, වෛරසයට සාර්ථකව මුහුණදීමට නම් සිදුකළ යුත්තේ විද්‍යානුකූල ක්‍රමවේදයකට මූලික අවධානය යොමුකරමින් කටයුතු කිරීම බවයි.

එමෙන්ම සමාජය තුළ ප්‍රශස්ත ලෙස ප්‍රතිශක්තීකරණය පවත්වාගෙන යාමට නම් ජනගහනයෙන්, සියයට 70 කට එන්නත්කරණය සිදුකළ යුතු බව ද පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් එහිදී සඳහන් කළා ෴

==========================================

(01.01.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ධීවර වරාය ආසන්නයේ පිහිටි ජාකොටුව වැල්ලේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් යාත්‍රාවෙන් පැන ගිය පුද්ගලයා සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නාවික හමුදාව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔහුගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු කරගෙන ඇති බවයි. අදාළ යාත්‍රාව දික්ඕවිට වරායේ සිට පැමිණ ඇති බවට ද මේ වනවිට තොරතුරු අනාවරණ වනවා.

යාත්‍රාවේ තිබී ඊයේ (31) රුපියල් කෝටි 7 කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබුණා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 945 ක් සහ හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 992 ක් සොයා ගෙන ඇති බවයි.

ඊයේ (31) පස්වරුවේ එම යාත්‍රාව පරීක්ෂා කිරීම සඳහා නාවික හමුදාවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් එහි ගොස් තිබුණා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ යාත්‍රාවේ පස්දෙනෙකු (5) සිට ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී එක් අයෙකු (1) මෙලෙස පලාගිය බවයි බවයි.

අත්අඩංගුවට ගත් 4 දෙනාගෙන් දෙදෙනෙකු (2) මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අනෙක් දෙදෙනා (2) පානම සහ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ ෴

***************************************

(01.01.2021 – 09:39 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන සියලුම රියදුරු බලපත්‍ර යුද හමුදාව මූලිකත්වයෙන් මුද්‍රණය කිරීමේ කටයුතු අද (01) සිට ආරම්භ කෙරෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෙලෙස යුද හමුදාව විසින් සිදුකෙරෙන අතර එහි මූලික අදියර යටතේ පළමු රියදුරු බලපත්‍රය නිකුත් කිරීම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී අද (01) සිදුකිරීමට නියමිතයි ෴

***************************************

(01.01.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තු ජාතික උද්‍යාන මායිමේ ප්‍රේරක කලාපය ආසන්නයේ වනාතවිල්ලුව – රාලමඩුව කුඹුරු යායක මියගොස් සිටි පක්ෂීන්ට කුරුළු උණ වැළදී නොමැති බවට පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඉසුරු කෝට්ටේගොඩ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ පක්ෂීන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී මෙලෙස කුරුළු උණ රෝග ලක්ෂණ නොතිබූ බවයි.

මෙම ප්‍රදේශයේ වෙල් යායක දහසකට ආසන්න පක්ෂීන් ගෙවී ගිය සතියේ මරණයට පත්ව තිබුණා.

ඒ අතර, සරල වී කුරුල්ලා, ගෙළ කළු කුරුල්ලා, මහ ටිකිරිත්තා, කිරුළළු බිම් රිට්ටා යන කුඩා පක්ෂීන් සිටි බව අනාවරණ වුණා.

කෙසේ වෙතත්, අදාළ පක්ෂීන් මියයාමට නිශ්චිත හේතුව තවමත් තහවුරු වී නැහැ ෴

+++++++++

විල්පත්තු ජාතික උද්‍යාන මායිමේ ප්‍රේරක කලාපය ආසන්නයේ වනාතවිල්ලුව – රාලමඩුව කුඹුරු යායක මියගොස් සිටි පක්ෂීන්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා.

වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඉසුරු කෝට්ටේගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම පක්ෂීන්ට විෂක් ශරීර ගත වී ඇත්දැයි සොයා බැලීම සඳහා මෙලෙස ශරිර කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බවයි.

ඊයේ (31) සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ අදාළ පක්ෂීන්ට කුරුළු උණ වැළදී නොමැති බවටයි.

වනාතවිල්ලුව – රාලමඩුව කුඹුරු යායක වෙල් යායක දහසකට (1000) ආසන්න පක්ෂීන් ගෙවී ගිය සතියේ මරණයට පත්ව තිබුණා.

ඒ අතර, සරල වී කුරුල්ලා, ගෙළ කළු කුරුල්ලා, මහ ටිකිරිත්තා, කිරුළළු බිම් රිට්ටා යන කුඩා පක්ෂීන් සිටි බවයි හෙළිවුණේ ෴

***************************************

(01.01.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala)

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් 16 හැවිරිදි දැරියක් අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුනා.

අදාළ අනතුර සිදුව ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දමිල මහා විද්‍යාලය ඉදිරිපිට සුදුඉර මතදීයි.

අනතුරට ලක්ව ඇත්තේ හැටන් කොටගල ස්ටොනික්ලිප් වතුයායේ දමිල මහා විද්‍යාලයේ 10 වන වසරේ අධයාපනය ලබමින් සිටි 16 හැවිරිදි සිසුවියක් බවටයි වාර්තා වන්නේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දැරිය දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර, අනතුර සිදුකළ ත්‍රිරෝද රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර රියදුරු අද (01) නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දිඹුල පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

අනතුර සිදුවූ අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින් :

***************************************

(01.01.2021 – 12:34 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙන්ම අන්තවාදී ක්‍රියාවන් සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා නව වසරේදී කටයුතු කරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

(01.01.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

හැටන් දික්ඔයවත්ත ප්‍රදේශයේදී සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් එකම පවුලේ මව-පියා සහ කුඩා දියණියක් තුවාල ලබා තිබෙනවා.

හැටන් සිට මස්කෙලිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය, බගවන්තලාව සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

නව අවුරුදු උදාවත් සමඟ පූජාවක් සඳහා සහභාගී වීමට මාවුස්සාකැලේ සමන් දේවාලයේ වෙත ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදීයි ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ මව-පියා සහ කුඩා දියණිය දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ දියණියගේ වයස අවුරුදු 2 ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

ඉදිරියෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් අපරික්ෂාකාරී ලෙස පසුකර යාමට උත්සාහ ගැනීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හැටන් පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.

***************************************

(01.01.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

උදා වූ නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදබිම වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා.

අප වාර්තාකරු පැවසුවේ අග්‍රාමාත්‍යවරයා ඊයේ (31) රාත්‍රියේ ප්‍රථමයෙන් කතරගම – කිරිවෙහෙර සෑරඳුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත් බවයි.

අනතුරුව, සෑ රඳුන් උදෙසා සිදුකළ කප්රුක් පූජාවකට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා.

පසුව රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ගිය අග්‍රාමාත්‍යවරයා අෂ්ඨඵල බෝ සමිඳුන් වැඳ කතරගම දේවාලයේ ආශිර්වාද පූජාවකට ද එක්වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ආගමික වතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ද බැහැදුටුවා.

උදාවූ නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල – කාල්ටන් නිවසේදී අද (01) පෙරවරුවේ ආශිර්වාද පිරිත් සජ්ජායනාවක් ද පැවැත්වුණා ෴

***************************************

(01.01.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

නව වසර උදාවේ හදිසි අනතුරුවලින් පුද්ගලයින් රෝහල් ගත වීමේ අඩුවක් දක්නට ලැබෙනවා.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගි අංශයට විවිධ අනතුරු හේතුවෙන් නව වසර උදාවනවිට පුද්ගලයින් 111 දෙනෙකු ඇතුලත් කෙරුණු බවයි වාර්තා වන්නේ.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම් මහතා කියා සිටියේ එය පසුගිය වසරට සාපේක්ෂව 109 ක අඩුවීමක් බවයි.

පසුගිය වසරේදී මෙලෙස විවිධ අනතුරුවලින් රෝහල් ගත කෙරුණු සංඛ්‍යාව 220 ක්.

නව වසරේ විවිධ අනතුරු හේතුවෙන් රෝහල් ගත වූ පිරිස සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දක්වන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම් මහතා කියා සිටියේ අවුරුදු උදාවේ රෝහල් ගත කළ 111 දෙනාගෙන් 24 ක් මාර්ග අනතුරු වන අතර තුන්දෙනෙකු ගිනි කෙළි අනතුරුවලින් රෝහල් ගත කර ඇති බවයි ෴

***************************************

(01.01.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

නව අවුරුදු උදාවත් සමග ජනතාව සිය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් වැඩ කටයුතු ආරම්භ කරන අයුරු දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා වුණා.

අද (01) අලුයම සිට ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වෙත, බැතිමතුන් පැමිණෙන බවයි මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක මහතා සඳහන් කළේ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ වෙනදා මෙන් බැතිමතුන්ගේ වැඩි වීමක් අද (01) දිනයේ දක්නට නොලැබුණු බවයි.

මේ අතර, අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහාසෑය වැඳ පුදා ගැනීම සඳහා ද ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටින බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු අතුල බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

ඓතිහාසික රුහුණු, කතරගම මහා දේවාලයට සහ කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගැනීම සඳහා ද දිවයිනේ නන්දෙසින් ජනතාව පැමිණ ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු ආර්.කේ.ඒ.ආරියපාල මහතා සඳහන් කළේ.

***************************************

(01.01.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය 2021 වසර සදහා අද (01) පෙරවරුවේ රාජකාරී ආරම්භ කෙරුණේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

මේ අතර, වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කෙරුණේ විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

උදාවූ නව වසරේ රාජ්‍ය ආයතන කිහිපයක සහ ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේ රාජකාරී කටයුතු සුභ මොහොතින් ආරම්භ කෙරුණා.

එහිදී සියලු රාජ්‍ය නිලධාරීන් විසින් රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම ද සිදුකළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *