සේනා දළඹු උවදුර සොයන්න රුවන්ඩාවෙන් විශේෂඥයින් පිරිසක්

සේනා දළඹු උවදුර සොයන්න රුවන්ඩාවෙන් විශේෂඥයින් පිරිසක්

*********************************************

සේනා දළඹු උවදුර සොයන්න රුවන්ඩාවෙන් විශේෂඥයින් පිරිසක්

(01.01.2021 – 22:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට බඩඉරිඟු වගාවට හානි සිදුකරන සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් පරිදි රුවන්ඩාවෙන් විශේෂඥයින් පිරිසක් පැමිණ තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ වගා නිරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සේනා දළඹු උවදුර මර්දනය සඳහා විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවයි.

සේනා දළඹු උවදුරෙන් වැඩි වශයෙන් හානි සිදුව තිබුණේ බඩඉරිඟු වගාවන්ටයි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අනුරාධපුර, ඇලයාපත්තුව, පහළගම ප්‍රදේශයේ බඩඉරිඟු වගාවන්ට සේනා දළමු උවදුරෙන් සිදුව ඇති හානිය සොයා බැලීමට පසුගියදා එක්වුණා.

මෙම දළඹු උවදුර මර්දනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුවන්ඩාවේ බඩඉරිගු සම්බන්ධ විශේෂඥ කණ්ඩායමක් සේනා දළඹු උවදුරෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති අනුරාධපුර දිස්ත්‍රික්කයට අද (01) පැමිණියා.

මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව එම විශේෂඥ කණ්ඩායම සේනා දළඹුවන්ගෙන් හානි සිදුවූ අනුරාධපුර සමගිපුර ප්‍රදේශයේ බඩඉරිඟු වගාවන් නිරීක්ෂණයට එක්වුණා.

ඔවුන් සඳහන් කර ඇත්තේ මෙම උවදුර මර්දනය සඳහා කඩිනමින් විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර, සේනා දළඹු උවදුර කඳුකරයේ බඩඉරිගු වගාවන් පුරා ද පැතිරී යාම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවට ඌව – පරණගම – යාලගමුව සහ මස්පන්න ආදී ප්‍රදේශවල ගොවීන් මැසිවිලි නඟනවා.

ගොවීන් පවසන්නේ අක්කර 100 ක පමණ වගා බිම් සේනා දළඹුවන්ගේ ආක්‍රමණයට ලක්ව ඇති බවයි.

++++++++++++++++

සේනා දළඹු මර්දනයට රුවන්ඩාවෙන් පිරිසක්

(01.01.2021 – 22:53 +0530 – sinhala.adaderana.lk)

උතුරු මැද පළාතේ ප්‍රදේශ රැසක බඩ ඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට යළි හිස ඔසවා ඇති සේනා දළඹු උවදුර මර්දනය කිරීමට උපදෙස් ලබාදීමේ අරමුණින් රුවන්ඩාවේ සිට මෙරටට පැමිණි පරීක්ෂණ කණඩායමක් අද (01) අනුරාධපුරයේ නිරීක්ෂණයක නිරත විය.

දළඹු මර්දනය සඳහා ඔවුන් යම් දියර වර්ගයක් ද ගෙනැවිත් තිබේ.

කෙසේ වෙතත් අප කළ විමසීමක දී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ, මෙම පරීක්ෂණ කණ්ඩායමට අදාළ දියරය මෙරට තුළ භාවිත කිරීමට තම දෙපාර්තමේන්තුව කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය.

2018 වසරේ අවසන් භාගයේ දී මෙරට ප්‍රදේශ රැසක බඩ ඉරිඟු වගාවන්ට හානි කරමින් පැතිර ගිය සේනා දළඹු උවදුර පිළිබඳ පළමු වරට වාර්තා විය.

බඩ ඉරිඟු වගාවට තර්ජනයක් වූ සේනා දළඹු උවදුර පාලනය කළ හැකි තත්ත්වයක පවතින බව බලධාරීන් සඳහන් කළේය.

අදාළ පරීක්ෂණ කණ්ඩායම මෙරටට පැමිණ ඇත්තේ විශේෂ ගුවන් යානයකින් වන අතර ඔවුන් විසින් රසායනික ද්‍රාවණ ලීටර් 1000 ක් පමණ රැගෙනවිත් තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්. ඩබ්ලිව්. එම් වීරකෝන් මහතා කියාසිටියේ, සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා එම දියරය භාවිත කිරීමට අදාළ කණ්ඩායමට තම දෙපාර්තමේන්තුවෙන් කිසිදු නෛතික අනුමැතියක් ලබා දී නොමැති බවය.

මෙවැනි පසුබිමක රුවන්ඩා පරික්ෂණ කණ්ඩායම අද (01) අනුරාධපුර මහඋලන්කුලම, පහලගම ප්‍රදේශයේ නීරික්ෂණ චාරිකාවක ද නිරතවිය.

***************************************

විදෙස්ගත ශ්‍රමිකයන්ට නිවේදනයක්

(01.01.2021 – 17:23 +0530 – sinhala.adaderana.lk)

රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාළ ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ‘ඔන්ලයින් කම්ප්ලේන්’ මෙනුව හරහා යොමුකිරීමට හැකියාව පවතින බව සඳහන් වේ.

විදෙස්ගත ශ්‍රමිකයාගේ ගමන් බලපත්‍ර අංකය, නම, දුරකථන අංකය හා පැමිණිල්ල ඇතුළත් කිරීමෙන් එම සේවාව ලබා ගත හැකිය.

එම පැමිණිලි සඳහා අදාළ පැමිණිලිකරුට යොමු අංකයක් ඒ මොහොතේම තම ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මඟින් ලැබෙන අතර අනතුරුව පැමිණිල්ල කාර්යාංශයේ නියමිත අංශයට යොමු වු පසුව ඒ පිළිබඳව ද දන්වමින් නැවත ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙන බව සඳහන් වේ ෴

++++++++++++++++++++++++

ජනධිපතිතුමනි, තානාපති කාර්යාල අපිව සුරගෙන කනවා – විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ආයාචනා

(02.01.2021 – am.lk)

ශ්‍රී ලංකාවට ආපසු යාම සඳහා විශාල මුදලක් අයකරනු ලබන බව පෙන්වා දෙමින් කම්කරුවන් කිහිප දෙනෙකු විසින් නිකුත්කරන ලද වීඩියෝවන්, දැනට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.

විදේශගතව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සංවේදී ආයාචනයක් ඉදිරිපත් කරමින් පවසන්නේ ඔවුන්ගෙන් සමහරෙකුට ශ්‍රී ලංකාවට ආපසු යාමට අවශ්‍ය මුදල් උපයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ලංකාවට ආපසු යාමට තානාපති කාර්යාල විශාල මුදලක් අය කරන බවත් එසේ ගියත් නිරෝධායනය වීම සදහා හෝටල් වල නැවතීමට කැමැත්ත පල කරමින් බලෙන් ලියුම් අත්සන් ගන්නා අතර ඊට තවත් විශාල මුදලක් අය කරන බවත් පැවසෙනවා. ඔවුන් ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින්නේ තමන්ව තානාපති කාර්යාලවල මැදිහත් වීම් වලින් තොරව ඍජුව මෙරටට පැමිණීමට අවසර ලබාදෙන ලෙසයි. එලෙසම ඔවුන් කියා සිටින්නේ නිරෝධායනය වෙනුවෙන් තානාපති කාර්යාල ඉල්ලන මුදල් ප්‍රමාණය තමන්ට ගෙවීමට අපහසු නිසා රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල තමන්ව නිරෝධායනය කරවන ලෙසයි.

++++++++++++++++++

‘රට විරුවන්’ හෝටල්වල නිරෝධායනය කරන්න යවා ආණ්ඩුව රුපියල් ලක්ෂ ගණනින් හුරාගෙන කනවා

(02.01.2021 – 11:05 +0530 – lankaleadnews.com)

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා පවසන්නේ ලංකාවට එන ‘රට විරුවන්’ හෝටල්වල නිරෝධායනය කරන්න යවා මේ ආණ්ඩුව රුපියල් ලක්ෂ ගණනින් හුරාගෙනකන බවයි.

වත්මන් ආණ්ඩුවට 2021 නව වසරෙත් නිසි වැඩපිළිවෙළක් නොමැති නිසා වැඩි ආයුෂ නැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවේ කොරෝනා අවදානමක් එක්ක විදෙස් රටවල්වල සිරවී සිටින ‘රට විරුවන්’ ලංකාවට රැගෙන එන්න මේ රජය රුපියල් ලක්ෂ දෙකත් (2) රුපියල් ලක්ෂ හතරත් (4) අතර මුදලක් අය කරන බවත් එම පිරිස් ලංකාවේ ගුවන් තොටුපළට රැගෙන ආවාට පසු ඔවුන්ව නිරෝධායනය සඳහා හෝටල් වලට යොමු කරන්නත් රුපියල් ලක්ෂ දෙකක් (2) අය කරන බවයි. මන්ත්‍රීවරයාට අනුව මෙම කාර්යය අසාධාරණ මෙන්ම තනිකරම මුදල් හුරාගෙන කෑමක් මෙන්ම තනිකරම මාෆියාවකි.

එහිදී මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ ආණ්ඩුව බලයට ආවේ එක නීතියක් එක රටක් කියා බවත් බලයට පැමිණි පසු එක එක අයට එක නීති ක්‍රියාත්මක කරන බවත් දැන් ඇත්තේ ව්‍යාපාරිකයන් රජ කරන ආණ්ඩුවක් බවත්ය.

මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා තවදුරටත් “පිටරට රැකියා කරලා දුක් විඳලා හම්බ කරගත්තු සේසතම මේ ආණ්ඩුවට පූජා කරන්න අපේ රට විරුවන්ට සිද්ධ වෙලා. හරි කනගාටුයි, මේ ආණ්ඩුව කරන වැඩේ ගැන. මේ නිසා විදෙස්ගත අපේ ශ‍්‍රමිකයින් මානසිකව ඇද වැටිලයි ඉන්නේ.” යනුවෙන් පැවසුවේය ෴

***************************************

හම්බන්තොටින් වාහන ලක්ෂ 4 ක් ප්‍රතිඅපනයනය කරලා

(02.01.2021 – aruna.lk)

කොවිඩ්-19 වයිරසය ව්‍යාප්තිය ආරම්භයේ සිට දෙසැම්බර් මස අවසානය දක්වා හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෝටර් රථ ලක්ෂ හතරකට (4) ආසන්න සංඛ්‍යාවක් ප්‍රති අපනයනය කර ඇත.

කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැය විසිහතර (24) පුරා මෙහෙයුම් සිදු කළ අතර මෝටර් රථ තුන් ලක්ෂ අසූ නව දහසක් (3,89,000) ප්‍රති අපනයනය කළ බව ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය පෞද්ගලික සමාගම’ ප්‍රකාශ කරයි.

වැඩිම මෝටර් රථ සංඛ්‍යාවක් ප්‍රතිඅපනයනය කර ඇත්තේ දෙසැම්බර් මාසයේය. එම සංඛ්‍යාව හතළිස් දහස (40,000) ඉක්මවයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථ නෞකා මගින් හම්බන්තොට වරායට ගෙනවිත් දින තිහකට (30) ආසන්න කාලයක් රඳවා යළි දකුණු අප්‍රිකාව හා අරාබිකරයේ රටවලට ප්‍රතිඅපනයනය කර ඇත.

ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන ගාල් කර තැබීම සඳහා වරාය භූමිවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා ඉන්දියාව හම්බන්තොට වරාය මෝටර් රථ ගාල් කිරීම සඳහා තෝරා ගෙන ඇත.

මෙම මෝටර් රථ ගාල් කිරීමෙන් සහ ප්‍රතිඅපනයනය කිරීමෙන් විශාල ලාභයක් 2020 වසරේ දී ලබාගත් බව ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය පෞද්ගලික සමාගම’ සඳහන් කරයි.

කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වුවද ගෑස් බහලුම් මෙහෙයුම් ඇතුළු තව මෙහෙයුම් රැසක්ද හම්බන්තොට ජාත්‍යන්තර වරායේ 2020 වසරේදී සිදු කර ඇත ෴

***************************************

ජනතාව රස්තියාදු කරන රාජ්‍ය ආයතන වටලන්න වෙස් වලාගත් කණ්ඩායමක්

(02.01.2021 – aruna.lk)

මහජනතාවට රාජ්‍ය ආයතනවලදී දෛනිකව මුහුණ දීමට සිදු වන අපහසුතා අවම කිරීම සඳහා නව වසරේ සිට වෙස්වලාගත් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.

ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා, විදුලිබල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, ගොවිජන සේවා, නාගරික සංවර්ධන අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශ, ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදී ආයතනවලදී ජනතාවට එහි සේවකයන්ගෙන් සිදු වන නොයෙකුත් අපහසුතා හේතුවෙන් මේ පිළිබඳ අවධානය යොමුව තිබේ.

එම ආයතනවලට ගෙවිය යුතු මුදල් ගෙවීම්, අනුමැතිය ලබා ගැනීම් ආදී කටයුතු සඳහා යන ජනතාව හිතාමතාම අපහසුවට පත් කර අතයට මුදල් ගැනීම් ආදී සිදු වීම් නිසා මෙම තීරණයට යොමුව ඇත. පසුගියදා ආණ්ඩුවේ ප්‍රබලයෙකු නගර සභාවේ වාර්ෂික වරිපනම් බදු මුදල් ගෙවීමට යාමේ දී එහි සේවකයන් හිතාමතා ප්‍රමාද කර අතයට මුදලක් ලබා ගෙන තිබේ.

මෙම තත්ත්වය නිරීක්ෂණ කිරීමෙන් පසුව වහාම මේ පිළිබඳ අවධානය යොමු කර එවැනි පුද්ගලයන් කොටුකර ගැනීමට වෙස්වලාගත් කණ්ඩායමක් යෙදවීම කෙරෙහි අවධානය යොමුව ඇත.

මේ ආකාරයට ජනතාව අපහසුතාවයන්ට ලක් කරන ආයතනවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොස් නිරීක්ෂණය කළේය. ඒ ආකාරයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නිවාස අධිකාරිය කාර්යාලවලට පසුගිය වසරේ ජනපතිවරයා ගොස් නිරීක්ෂණය කළේය ෴

***************************************

(02.01.2021 – 07:12 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එම අනතුරුවලින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඔහු කියා සිටියේ. බීමත් රියදුරන් 200 දෙනෙකුද එම කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුගිය 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරු වලින් මියගිය පුද්ගලයන් ගණන 65 ක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මෑත කාලයේ සිදුවූ රිය අනතුරුවලින් දිනකදී මියගිය වැඩිම පුද්ගලයන් ගණන ඊයේ (01) දිනයේදී වාර්තා වූ බවයි.

***************************************

(02.01.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

මැගසින් බන්ධනාගාර තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට විසි කළ පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් සොයා ගෙන තිබෙනවා.

අදාළ පාර්සලය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා බොරැල්ල පොලීසිය වෙත භාර දෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එහි තිබී ජංගම දුරකථන දෙකක් (2), චාජරයක්, සිම් කාඩ්පතක්, දුරකථන බැටරි දෙකක් (2), අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන කුඩා පැකට් දෙකක් (2), ගංජා බවට සැකකෙරෙන පාර්සලයක්, දුම්කොළ 10 ක් සහ ලයිටර් දෙකක් (2) සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාරයේ සේවයේ නියුතු නිලධාරියෙකු විසින් මෙම ද්‍රව්‍ය සොයා ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(02.01.2021 – 09:37 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – පානම ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (01) රාත්‍රියේ පානම වනජීවී කාර්යාලට පහරදී අලාභ හානි සිදුකර තිබෙනවා.

ඒ, පසුගිය 30 වැනිදා පානම – කුඩුම්බිගල රක්ෂිතය ආසන්නයේදී රාත්‍රී කාලයේ දිවියෙකු පහරදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය මුල්කරගනිමින්.

වනජීවි කාර්යාලයට අලාභ හානි සිදුකිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද (02) පොතුවිල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(02.01.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන සේනා දළඹු උවදුර පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පැමිණි අප්‍රිකානු රුවන්ඩා රාජ්‍යයේ විද්‍යාඥයින් කණ්ඩායම අද (02) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ 6 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම සිය කාර්ය භාරය නිමා කරමින් ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන්ම මෙලෙස පිටත්ව ගිය බවයි.

මෙම විද්‍යාඥයන් පිරිස සේනා දළඹුවන් වැඩි වශයෙන් පැතිරෙන පළාත් වෙත ගොස් නිරීක්ෂණ කටයුතුවල නිරත වී තිබුණා. ඔවුන් මෙහි පැමිණියේ අදාල පරීක්ෂණ සිදුකොට සේනා දළඹු උවදුර මර්දනය සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහායි ෴

රුවන්ඩාවෙන් ආවේ තාක්ෂණික සහයක් ලබාදීමට පමණයි – කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

(02.01.2021 – 07:37 +0530 – sinhala.adaderana.lk)

මෙරට බඩඉරිඟු වගාවට හානි සිදුකරන සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රුවන්ඩාවෙන් පැමිණි විශේෂ කණ්ඩායම සිදුකරනු ලබන්නේ තාක්ෂණික සහයක් ලබාදීම පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අදාළ කණ්ඩායම ස්වෙච්ඡාවෙන් එම සහය ලබාදීමට පැමිණ ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ ශීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා හය දෙනෙකු (6) ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් පසුගියදා දිවයිනට පැමිණියේය.

ඔවුන් ඊයේ (01) දිනයේ දී අනුරාධපුර ප්‍රදේශයට ගොස් සේනා දළඹු උවදුර පිළිබඳ සොයාබැලීමක් ද සිදුකර තිබේ.

එම විශේෂඥ කණ්ඩායම පැමිණීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාත්න මහතා පළ කළේ, මෙවන් අදහසකි.

“ගොවීන්ට වන්දි ලබාදීමට අදාළව ආණ්ඩුව පැත්තෙන් කිසිම අදහසක් මේ වන විට ඉදිරිපත් කරලා නෑ. වන්දි ගෙවන්නේ නැති පරිසරය ඇතුළේ දළඹුවා මර්දනය කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්නේ නැති පරිසරය ඇතුළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වත් දන්නේවත් නැතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිඳු අනුදැනුමකින් තොරව රුවන්ඩාවේ සිට සේනා දළඹුවා මර්දනයට මේ වෙනකොට කණ්ඩායමක් ගොඩබැහැලා තියෙනවා. ඔවුන් මේ වෙනකොට දළඹුවා අතපතගාමින් කිසියම් ක්‍රියාවලියකට අවතීර්ණ වෙලා තියෙනවා. මේක කාගේ සම්බන්ධයක් මත ද ආවේ ? ඒ ආවේ මොන උවමනාවට ද ? මේ අය මොනදේවල් කරයි ද ? මේ පිළිබඳ අපිට බරපතළ සැකයක් එනවා කිසිම අනුදැනුමක් නැතුව ආපු නිලධාරීන් නඩත්තු කිරීම සඳහා වියදම් කරන්නේ කාගේ සල්ලි ද ? මේ පිළිබඳ වහාම රජයට ජනතාවට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි.”

අදාළ චෝනාව සම්බන්ධයෙන් ‘අද දෙරණ’ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් විමසිමක් කළේය.

ඊට පිළිතුරු ලබාදෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පැවසීය :

“සේනා දළඹුව ව්‍යාප්තිය සම්බන්ධයෙන් රටේ සමස්තය ගත්තහම සියයට 5 ක වගේ හානියක් තමයි වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි දැනට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. යම් අසාධාරණයක් සිදුවුවහොත් ගොවියන්ට වන්දි ලබාදීමටත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ අතර රුවන්ඩාවේ නියෝජිත පිරිසක් පැමිණියා කෘෂිකර්ම අමාත්‍යාංශයට. ඔවුන් මේ සේනා දළඹුවා මැඩපැවැත්වීමට ඔවුන් ලබපු අත්දැකීම් පිළිබඳ අපිව දැනුවත් කළා. ඔවුන් ඇවිල්ලා මේ ගැන පැහැදිලි කිරීමක් කළා. එපමණයි සිදුවුණේ. ඒ වගේම ඔවුන් අනුරාධපුරයේ ගිහින් බලන්න ඕනේ කිව්වා. අපි ඔවුන්ට බලන්න අවස්ථාවක් දුන්නා. එයින් එහාට කිසිදු දෙයක් සිදුවෙලා නෑ. ඔවුන් ස්වෙච්ඡාවෙන් ඇවිල්ලා දැනුම ලබා දීම පමණයි සිදුකළේ. විදේශ රටකින් ඇවිලා තාක්ෂණික සහය ලබාදෙන්න හදනවානම් අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. කෙනෙකුට ස්වෙච්ඡාවෙන් ඇවිල්ලා එහෙම කරන්න හැකියාවක් තියෙනවා” ෴

***************************************

රන්ජන් රාමනායක ගෙන් සල්ලි දන්සැලක්.. මිලියන ගණනක් අසරණයන්ට බෙදා දේ..

(02.01.2021 – 10:00 +0530 – lankacnews.com)

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් විශාල මුදල් ප්‍රමාණයක් ජනතාව අතර මුදල් බෙදා හැරීමට සූදානම් වෙමින් සිටියි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ විශේෂ දැනුම් දීමක් කරමින් ඔහු සඳහන් කරන්නේ මේ මොහොතේ මුදල් අත්‍යවශ්‍යම පිරිස් තම පෞද්ගලික ලේකම්වරයාට අමතා සම්බන්ධීකරණය කරගන්නා ලෙසයි.

තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස එම දීමනා ලබා නොගත් නිසා ඒවා මෙතෙක් තැන්පත් කර තිබූ බවත් මෙසේ බෙදා දෙනු ලබන්නේ එකී මුදල් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලක් මූලිකව තමන් බෙදාදීම ආරම්භ කරන බවත් තවත් ආධාර මුදල් ඉදිරියේදී ලැබෙන බවත් ඔහු පැවසීය.

මෙම අරමුදලට ආධාර දෙන ලෙස දානපතියන්ගෙන් තමන් ඉල්ලා සිටින බවත් එසේ නොදුන්නා කියා ප්‍රශ්නයක් නැති බවත් ඔහු සඳහන් කළේය.

තමනට සියලු සම්මාන සියලු ගෞරව නාම හිමිවූයේ ජනතාව නිසා බවත් එනිසා එම ජනතාවම අසරණ වී ඉන්නා මොහොතක ඒ සියල්ල ඔවුන් බෙදා දෙන බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

***************************************

(02.01.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – කුඩුම්බිගල අභය භූමිය ආශ්‍රිතව සැරිසරන කොටියා සෙවීම සඳහා යුද හමුදාව සමඟ එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව වනජිවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.

එහි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊයේ (01) ආරම්භ කළ එම මෙහෙයුම සඳහා හෙට (03) දිනයේදී වනජිවි දෙපාර්තමේන්තුවේ විශේෂ පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් ද එක්වීමට නියමිත බවයි.

කුඩුම්බිගල අභය භූමියේ කිලෝමීටර් 14 ක පමණ දුරකින් පිහිටි පාරම්පරික කුඹුරු යායක් ආශ්‍රිතව ගොවිතැන් කටයුතු වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකුට (2) මෙම කොටියා පසුගියදා පහරදී තිබූ අතර එහිදී 56 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට ද පත්ව තිබුණා.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වනවිට පොතුවිල් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

වනජිවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රචන්ඩකාරි ලෙස හැසිරෙන මෙම කොටියා මේ වනවිට ආරම්භ කර ඇති මෙහෙයුම තුළින් සොයා ගැනීමට හැකිවනු ඇති බවයි.

මේ අතර, මෙම සිද්ධිය මුල් කර ගනිමින් අම්පාර – පානම ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (01) රාත්‍රියේ පානම වනජීවී කාර්යාලට හානි සිදුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද (02) පොතුවිල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, ගම්වදින වනඅලි පළවා හැරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ කටයුතු සාර්ථකව සිදුකරමින් පවතින බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ආර්.සී. මාරසිංහ මහතා ප්‍රකාශ කළා.

***************************************

(02.01.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

මෙගාවොට් 1000 ක් ජාතික පද්ධතියට එක් කිරීමේ විදුලි ව්‍යාපෘතිය වෙනුවෙන් පාරිසරික අනුමැතිය කඩිනමින් ලබා ගැනීමට පියවර ගන්නා බව සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සමඟ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තිය අනුව මෙරට බලශක්ති අවශ්‍යතාවය උපරිම ප්‍රමාණයක්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම සිය අමාත්‍යාංශයේ ඉලක්කය වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

===========================================

PCR ජාවාරමට සෞඛ්‍ය ලොක්කන් හා වෛද්‍යවරු 40 කගෙන් ප්‍රශ්න කෙරේ

(02.01.2021 – aruna.lk)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, වෛද්‍යවරුන් හා ජාත්‍යන්තර සමාගමක් එක්ව කරගෙන ගිය පී.සී.ආර්. ජාවාරමේ ටෙන්ඩර් මගඩි ඇතුළු සැඟවුණු රහස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු කියා සිටියේ දැනටමත් මේ සම්බන්ධව හතළිහකගෙන් (40) ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවය.

එම පිරිසට වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරින්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ද අයත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දී ඇති රුපියල් දෙදෙහසට (2000) මිලදී ගත හැකි පී.සී.ආර්. කට්ටල තිබියදී රුපියල් හාරදහසක් (4000) ගෙවා ජර්මානු සමාගමකින් පී.සී.ආර්. කට්ටල මිලදී ගෙන ඇතැයි බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දී තිබිණි.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පනස්දහසක් (50,000) කළ යුතු බවට රජයට යෝජනා කරමින් මෙම ජාවාරමේ නිරත වූවන් මහා පරිමාණ ගසා කෑමකට සූදානම් වී ඇතැයි හෙළිවීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර කෙරිණි.

ගතවූ සති අන්තය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ගිය අතර ඒ සඳහා රජය රුපියල් කෝටි 720 කට වැඩි මුදලක් වියදම් කර තිබිණි.

තිස්ස රවින්ද්‍ර පෙරේරා

+++++++++++++++++++++

(02.01.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයන් 557 දෙනෙකු ඊයේ (01) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,856 දක්වා ඉහළ ගියා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 40,000 සීමාව ඉක්මවා ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 40,126 වන බවයි.

දිනක් තුළදී සුවය ලැබූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (01) වාර්තා වුණා.

ඒ අනුව ආසාදිතයින් 826 දෙනෙකු ඊයේ (01) රෝහල්වලින් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වුණේ 36,155 ක් ලෙසින්.

තවත් කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 04 ක් ඊයේ (01) වාර්තාවීමත් සමඟ මෙරට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස මියගොස් ඇත්තේ, වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආලයාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක් සහ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 91 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් කොරෝනා නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් කළුතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 65 හැවිරිදි අගලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ 63 හැවිරිදි දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි පුද්ලයෙකු මියගොස් ඇත්තේ කොවිඩ් තත්ත්වයත් සමග ඇති වූ හෘදයාබාදයක් හේතුවෙන්.

එසේම, මීගමුව දළුපොත ප්‍රදේශයේ එකම පවුලේ මව, පියා, සහ දියණියන් දෙදෙනෙකුට (2) වෛරසය ආසාදනය වී තිබෙනවා.

එම නිසා මීගමුව වේලක්කන්නි දේවස්ථානයේ පියතුමා, ගීතිකා කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 54 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකළ බව මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එන්.කේ.යු.කේ. ගුණරත්න ප්‍රකාශ කළා.

ඒ, වෛරසය ආසාදනය වු එම දියණියන් දෙදෙනා (2) අදාළ දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමක සාමාජිකයන් වීම හේතුවෙන්.

මේ වනවිට මීගමුවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණනද 333 ක් වනවා.

මේ අතර, කොරෝනා වෛරසය තුරන් කිරීමට සහයදීම සියලු දෙනාගේ වගකීමක් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වේරහැර පිහිටි මෝටර් රථ කාර්යාලයේ ඊයේ (01) පැවැති උත්සවයකදී කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(02.01.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (01) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

දේශීයව හඳුනාගත් ආසාදිතයින් 555 දෙනා අතුරින් 192 ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 127 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 61 ක් ලෙස වාර්තා වුණා.

සෙසු ආසාදිතයින් 175 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බව සඳහන් ෴

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ පසුගිය 30 වනදා වෙළඳසැල් හිමියන්, සේවකයින් සහ පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන පී.සී.ආර්. පරීක්ෂණ 120 ක් සිදුකළ බවයි.

එහිදී හඳුනා ගැණුනු ආසාදිතයන් 7 දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ආසාදිතයින් අදාළ මධ්‍යස්ථානවලට යොමුකර තිබෙනවා ෴

+++++++++++++++++++++

(02.01.2021 – 11:48 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 71 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එම ආසාදිතයින් සියලුදෙනා පිරිමි රැඳවියන් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4087 ක් වනවා.

ඒ අතරින් මේ වනවිට 3347 ක් සුවය ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++++++

(02.01.2021 – 12:32 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ නව මැනිං වෙළඳපොල ආශ්‍රිතව පසුගිය 30 වැනිදා සිදුකරන ලද අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 120 ක ප්‍රතිඵලවලට අනුව 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ එදින වෙළඳසැල් හිමියන්, සේවකයින් සහ පාරිභෝගිකයින් අතුරෙන් අහඹු ලෙස තෝරාගත් පිරිසකගෙන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල මෙලෙස ලබාගත් බවයි.

ඉන් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (02) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් එම පරිශ්‍රයේ පැවැත්වුණා. ඊට මැනිං වෙළඳපොල සංගමය, එහි වෙළඳසැල් හිමියන් සහ සේවකයින් පිරිසක් කැඳවා තිබුණා.

මේ අතර, ඊයේ (01) දිනයේදී මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 557 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ එකසිය අනූ දෙදෙනෙකු (192) වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ අතර මට්ටක්කුලියෙන් ආසාදිතයින් 35 ක්, නාරාහේන්පිටින් ආසාදිතයින් 26 ක් සහ අවිස්සාවේල්ලෙන් හඳුනාගත් ආසාදිතයින් 18 දෙනෙකු වනවා.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 127 දෙනෙකු ඊයේ (01) වාර්තා වූ අතර, ඉන් 19 ක් වූ වැඩිම සංඛ්‍යාව වූ හඳුනාගෙන තිබුණේ දිවුලපිටියෙන්.

කළුතර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 61 දෙනෙකු ඊයේ (01) වාර්තා වී තිබුණා.

එමෙන්ම, අලුත්ගම ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ තවත් පුද්ගලයින් 21 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් පයාගල, කළුතර සහ පොතුවිල ප්‍රදේශවල පදිංචිකරුවන්. මීට පෙර පසුගිය 16 වැනිදා අලුත්ගම ප්‍රදේශයේ පැවති අදාළ මංගල උත්සවයේ මනමාලිය ඇතුළු 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගත්තා.

බස්නාහිර පළාතෙන් පිටවන්නන් සඳහා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 102 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

මේ අතර, පොලොන්නරුව – ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය 31 වැනිදා අලුයම පළාගිය රැඳවියන් පස්දෙනාගෙන් (5) මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ සිව් දෙනා (4) සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගනිමින් අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

උපකාරක පන්ති පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වනවිට සකස් කරමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියා. ඔහු සඳහන් කළේ පළමු පාසල් වාරය ආරම්භ වීමත් සමඟම උපකාරක පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

+++++++++++++++++++++++

(02.01.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය නොවීම සහ තැපෑලේ වාහන පමණක් ලිපි බෙදාහැරීමට යොදා ගැනීම හේතුවෙන් ලිපි බෙදාහැරීමේ ප්‍රමාදයක් පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

ඔහු කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කාර්ය මණ්ඩල සේවයේ යෙදවීමට සිදුවීම මෙන්ම, හුදෙකලා කරන ලද ප්‍රදේශවල සේවකයින් රාජකාරියට ගෙන්වා ගත නොහැකි වීම හේතුවෙන්ද මෙලෙස ලිපි බෙදාහැරීමේ ප්‍රමාදයක් පවතින බවයි.

මේ හේතුවෙන් කොළඹ ප්‍රදේශවලට ලිපි ලැබීම දින දෙකකින් (2) පමණත්, ප්‍රාදේශීය වශයෙන් ලිපි ලැබීම එක් දිනකින් (1) පමණත් ප්‍රමාද වනු ඇති බවයි තැපැල්පතිවරයා කියා සිටියේ.

මේ අතර, සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතියට අදාළව දිවයිනට පැමිණි යුක්රේන සංචාරකයින් පිරිස මාතර – මිරිස්ස ධීවර වරායට පැමිණ තල්මසුන් නැරඹීම සඳහා පිටත්ව ගියා.

දිවයිනට පැමිණි අදාළ සංචාරක කණ්ඩායමේ පස් දෙනෙකුට (5) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හඳුනා ගත්තා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *