නිවාස ඒකක 3000 ක් ඉදිකිරීමේ කටයුතු ඔරුගොඩවත්තෙන් ඇරඹේ

නිවාස ඒකක 3000 ක් ඉදිකිරීමේ කටයුතු ඔරුගොඩවත්තෙන් ඇරඹේ

*********************************************

නිවාස ඒකක 3000 ක් ඉදිකිරීමේ කටයුතු ඔරුගොඩවත්තෙන් ඇරඹේ

(04.01.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ නිවාස 3000 ක් ඉදිකිරීමේ කටයුතු අද (04) ඔරුගොඩවත්තේදී ආරම්භ කෙරුණා.

නිවාස විෂය භාර අමාත්‍යවරයා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත්තේ නියමිත ප්‍රමිතියට අනුකූලව වඩාත් ආකර්ෂණීය ලෙස මෙම නිවාස සාදා නිම කරන ලෙසයි.

ඊට අමතරව නිවාස නොමැති මධ්‍යම ප්‍රාන්තික පවුල්වල ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුන්ට සරිලන ආකාරයෙන් මෙම නිවාස ඉදිකරන ලෙසට ද අග්‍රාමාත්‍යතුමා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

නාගරික සංවර්ධන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, උතුරු කොළඹ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ඉදිකිරීමේ කටයුතු අද (04) ආරම්භ කෙරෙණු අතර නාගරික සංවර්ධන අධිකාරිය මඟින් එම සියළු කටයුතු අධීක්ෂණය කිරීමටයි නියමිතව ඇත්තේ.

මෙම අවස්ථාවට එක් වූ නාගරික සංවර්ධන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ සති දෙකක් (2) තුළ නිවාස ඒකක 3,000 ක් ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කරන බවයි.

ප්‍රථම අදියර යටතේ මධ්‍යම ප්‍රාන්තිකයන් වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නිවාස ඒකක කොළඹ දිස්ත්‍රික්කයේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලබේ, මාකුඹුර, බොරලැස්ගමුව ප්‍රදේශවලද, ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ ප්‍රදේශයේ ද මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ යන ප්‍රදේශවල ද ඉදිකිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකක 3000 සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 ක්.

නව යුග දිවියට පිවිසෙන තරුණ තරුණියන්ට නිවසක සිහිනය සැබෑ කර ගැනීමට හැකිවන සේ මෙම නිවාස ඒකක ඉදිකිරීම ද විශේෂත්වයක්.

ඊට අමතරව තරුණ වෘත්තිකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් සහ මධ්‍යම ප්‍රාන්තිකයින් ඉලක්ක කර ගෙන මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මකයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන ඔවුන්ගේ රැකියා ස්ථානවලට කෙටි දුරක් ඇතුළත නිවාස ලබා දීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

මෙම මහල් නිවාස සංකීර්ණවල ඉදිකෙරෙන නිවාස ඒකක වර්ග අඩි 700 කින් සහ වර්ග අඩි 900 කින් සමන්විතයි.

වර්ග අඩි 700 නිවාස නිදන කාමර දෙකකින් (2) සමන්විත වන අතර වර්ග අඩි 900 නිවාස නිදන කාමර තුනකින් ද සමන්විතයි.

මෙම නිවාස ව්‍යාපෘතියේ විකුණුම් මිල තීරණය කිරීම සඳහා ඉඩම්වල මිල ඇතුළත් නොකිරීම ද විශේෂත්වයක්.

ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීම මෙන්ම වසර 25 ක කාලය තුළ රජයේ බැංකු විසින් 6.25% ක පොළි අනුපාතයක් යටතේ ගැණුම්කරුවන්ට ණය පහසුකම් ලබාදීම ඇතුළු කරුණු තුළින් මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට සහනදායි මිලකට නිවාස හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති.

මෙම මහල් නිවාස ඒකක සඳහා සියළු යටිතල පහසුකම් රජය මඟින් ලබා දීමද විශේෂත්වයක්.

රට පුරා ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය වසර එකහමාරක් තුළ ඉදිකර අවසන් කිරීමට නියමිත අතර නිවාස 5000 න් ඉතිරි නිවාස 2,000 ඉදිකිරීමේ කටයුතුද මාර්තු මාසයට පෙර ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා :

“2021 වසරේ අපි ජන ජීවිතය නැවතත් සාමාන්‍ය කරගන්නට ඕනේ. මේ අසාමාන්‍ය තත්වය සාමාන්‍ය තත්වයක් බවට පරිවර්තනය කරගන්නටත් අපි ක්‍රියාකරන වෙලාවක අපේ රට අපි සෑහෙන දුරට හොඳින් ඒක කළමනාකරණය කර ගත්තා. අපේ අමාත්‍යාංශය ගැන කතා කරනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා කැබිනට් අමාත්‍ය වෙනකොට, සිරිනිමල් පෙරේරා මැතිතුමා ලේකම් වෙච්ච අපේ අමාත්‍යාංශය පසුගිය කාලයේ කොරෝනා කියලා නිකන් හිටියෙ නැහැ. අමාත්‍යාංශයේ පැය 24 ම වැඩ කළා. මන්දගාමී වෙලා තිබ්බ ව්‍යාපෘති කීපයක් අපි වේගයෙන් ඉදිරියට පටන් අරගෙන තියෙනවද. දැන් මේ සති 2 තුළ අපි ගෙවල් 3,000 ක් හදන්න මුල්ගල තියෙනවා මධ්‍යම ප්‍රාන්තික නිවාසවලට. අපි ආරාධනා කරනවා මේ රටේ අනෙකුත් සියලු දෙනාටත් ඒ විදිහට සුබවාදීව දකින්න කියලා. කාලය නාස්ති කරන්න විදිහක් නැහැ. අපි ඉස්සරහට යන්න ඕනේ. අපේ අමාත්‍යාංශයේ නම් ඉතාමත්ම පැහැදිලි. අපිට ආයතන 07 ක් තියෙනවා. අපේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඒ ආයතන හතෙන්ම හොඳ වැඩපිළිවෙළක් සකස් කරලා තේමාවන් 08 ක් යටතේ අපි ඉලක්ක සකස් කරගෙන අපි ඒවා ක්‍රියාත්ම කිරීමේ නිර්දේශයේ යෙදී සිටිනවා. අපි ස්තුතිවන්ත වෙනවා අපේ නිලධාරීන්ට. අපේ අමාත්‍යාංශයේ විවිධ ආයතනවල ඉන්න නිලධාරීන්ට. ඔවුන් වැඩ කරන ආකාරයට. හැබැයි අපි ඉල්ලා සිටිනවා ඔවුන්ට මීටත් වඩා අපි කාර්යක්ශම වෙන්න ඕනේ. මීටත් වඩා පිරිසිදු වෙන්න ඕනේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ තියෙන විශේෂ අවධානය ලබා දෙන දෙයක් තමයි පිරිසිදු හා කාර්යක්ෂම රාජ්‍ය පාලනය කියන සංකල්පය. හැබැයි මධ්‍යම ප්‍රාන්තික නිවාස ගැන කතා කරනකොට අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිටියදී එතුමා පටන් ගත්ත මේ අඩු ආදායම්ලාභීන්ට, පැල්පත්වාසීන්ට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඒක මහා විශාල ව්‍යාපෘතියක්. 60,000 ක් විතර පැල්පත්වාසීන් ඉන්නවා මේ කොළඹ නගර සීමාව තුළ. ඒ අයට නිවාස සෑදීමේ වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඒ සඳහා සැලැස්මක් තිබුණා. මොකද ඒ මුදල අපිට තනියම වියදම් කරන්න බැහැ. ඒ සඳහා සැලැස්මක් තිබුණා. පැල්පත්වාසීන් දැනට ඒකරාශී වෙලා ඉන්න තැන්වල ඒ අයට නිවාස ලබා දීලා වෙන තැන් වල යොදවලා, ඒ අය හිටපු ඉඩම් ව්‍යාපාරික කටයුතුවලට යොමු කරලා එමඟින් මුදලක් හොයාගෙන ඉතුරු අයටත් නිවාස ලබාදීම පියවරින් පියවරට කරපු වැඩපිළිවෙළ මඟින් 18,000 ක් විතර සැලසුම් කරගෙන ඉද්දි තමයි ආණ්ඩුව පෙරළුණේ.

හැබැයි කොළඹ නගරයේ විතරක් නෙමෙයි පැල්පත්වාසීන් කොළඹ අවට, කොළඹින් එහාට යනකොට මේ ගම්පහ ප්‍රදේශයේ, කළුතර ප්‍රදේශයේ විශාල දුප්පත් පැල්පත්වාසීන් පිරිසක් ඉන්නවා. මේ කොළඹ අභියෝගය ජයගෙන ඒවට අත ගහන්නත් ඕන. අපිට ඉවර කරන්න ගොඩක් වැඩ තියෙනවා. මේ රටේ විවිධ ජන කොටස් ඉන්නවා. ඒ අතර මධ්‍යම ප්‍රාන්තිකයිනුත් ඉතාම වැදගත් පිරිසක්. මධ්‍යම ප්‍රාන්තික තරුණ පවුල්වලට, තරුණ වෘත්තිකයන්ට පහසු මිලට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියකුත් අපි ආරම්භ කරලා තියෙනවා.”

[ සේයාරූ 14 ක් ]

***************************************

(04.01.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – රජපිහිල්ල උද්‍යානයේ තිබූ ඉපැරණි ගස් 28 ක් කපා ඉවත් කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට අද (04) උපදෙස් ලබාදී තිබෙනවා.

එම ගස් ඉවත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් හෝ දිස්ත්‍රික් නිලධාරීන් විසින් අනුමැතිය ලබාදී ඇත්ද යන්න පිළිබඳවද සොයාබලන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.

කොරෝනා වසංගතය නිසා රට තුළ පවතින තත්වය, වන සංහාරය සඳහා ඇතැම් පුද්ගලයින්ට අවස්ථාවක් උදාකර දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එබැවින් වහාම නිලධාරීන් යොදවා මේ සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසටයි ඔහු බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ෴

***************************************

(04.01.2021 – 16:40 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව පළාතේ සහ මොණරාගල, කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද එහි සඳහන්.

අකුණු මගින් සහ සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවසම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

එම ආරක්‍ෂිත පියවර පහතින් :

***************************************

(04.01.2021 – 17:38 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල තලාපිටිය ප්‍රදේශයේදී තිරෝද රථයකින් ගමන්කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට (2) සහ පිරිමි පුද්ගලයෙකුට (1) ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ තිදෙනා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔවුන්ගේ තත්වය බරපතල බවයි.

මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ තල්පිටිය ප්‍රදේශයේම පදිංචි තිදෙනෙකු (3) බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් එකම පවුලේ ඥාතීන් තිදෙනෙකු (3) බවත් බද්දේගම අධිකරණයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් සඳහන්.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා ගාල්ල මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

***************************************

(04.01.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

කුඩා බිලිඳුන් මුදලට විකිණීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි පුද්ගලයා ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් එළඹෙන 18 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා ෴

ඇප මත නිදහස්ව සිටි සැකකරු ඒ අනුව අද නැවත අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් පසු තම ආයතන පරිශ්‍රයට ඇතුළු වී ඇප කොන්දේසි කඩ කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශගේ නිලධාරීහු අධිකරණය හමුවේ කියා සිටියහ.

ඒ අනුව, ලබන 18 දා නඩුව නැවත කැඳවීමටත්, වැඩිදුර විමර්ශන වාර්තාවක් සමග බන්ධනාගාරයට සියලු විස්තර ලබා දීමටත් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

ළමා හා කාන්තා කාර්යාංශය සහ ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. (mawbima.lk)

***************************************

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි පාඨමාලාවේ පුහුණුවට අයදුම්පත් කැඳවයි

(04.01.2021 – 13:30 +0530 – sinhala.adaderana.lk)

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි තනතුරට අදාළ පාඨමාලාවේ පුහුණුව සදහා බඳවාගැනීම සඳහා විද්‍යුත් මාධ්‍යයෙන් අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

2015, 2016 හෝ 2017 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඕනෑම විෂය ධාරාවකින් සමත් සිසුවියන්ට මේ සඳහා අයදුම් කළහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලබන මස පළමු වනදා දක්වා අයදුම්පත් භාරගැනෙන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම අමාත්‍යාංශය පැවසීය ෴

***************************************

හදිසි තත්ත්වයකට මුහුණදීමට කොළඹ මෙන් තවත් වාණිජ නගරයක්

(04.01.2021 – 10:25 +0530 – sinhala.adaderana.lk)

මිහින්තලය ප්‍රදේශයේ ආනයන හා අපනයනය කේන්ද්‍රකරගත් නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මර්මස්ථානය හදිසියේ ඇතිවන තත්ත්වයකින් අක්‍රීය වුවහොත් ඊට මුහුණදීමට හැකිවන පරිදි මෙය ඉදිකරන බවය.

මිහින්තලය ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

“දීර්ඝ කාලයක් ප්‍රයෝජනයට ගෙන නොමැති අනුරාධපුර – මිහින්තලය දුම්රිය මාර්ගයේ ප්‍රවාහන පහසුකම භාවිත කරමින් පළාත් 3 කට දිස්ත්‍රික්ක 10 කට දේශීය නිෂ්පාදන සහ ආනයනය කළ භාණ්ඩ බෙදාහරින කොළඹ වගේ ප්‍රධානතම වාණිජ නගරයක් නිර්මානය කිරීමට අද දින (04) සාකච්ඡා කළා. මේ පළාත්වල ගොවි ජනතාවගේ නිෂ්පාදන අතරමැදියන් නොමැතිව ඔවුන්ටම අලෙවි කිරීමට හැකි වෙළඳපොළක් නිර්මාණය කිරීමට මේ ඔස්සේ අපිට හැකි වෙනවා. ඒ වගේම මේ පළාත්වල නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ඇසුරුම්කරණය, සැකසීම, නාමගතකරණය කරලා විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. තුන්වෙනි කාරණය, ආනයනය කරන භාණ්ඩ තොග වශයෙන් මෙහි රැස්කර තැබීම. එවිට ස්වභාවික ආපදාවකදි හෝ වෙනත් ගැටලුවකදී කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මර්මස්ථානය අක්‍රීය වුණොත් මේ ආර්ථික මධ්‍යස්ථානය හරහා කටයුතු කළ හැකි වනවා. ඒ වගේම මේ හරහා මෙම ප්‍රදේශවල විශාල පිරිසකට රැකියා අවස්ථා ලැබෙනවා.”

***************************************

“තත්වය සුබදායී නොවේ” මෛත්‍රීගේ හැසිරීම ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! පොහොට්ටු – ශ්‍රීලනිප දීගය දෙකඩ වෙයි?

(04.01.2021 – am.lk)

තම පක්ෂය මූලික කරගත් සන්ධානයේ නායකයෙකු විදෙස් මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් සන්ධානය තුළ ඇතිවී තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කර ඇතැයි අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

අපි සමඟ වැඩකරන පක්ෂයක් සමඟ කිසිසේත් අප විදෙස් මාධ්‍යයක විවේචනය නොකල බවත් මේ රටේ පක්ෂයක අභ්‍යන්තර ප්‍රශ්න විදේශීය මාධ්‍ය සමඟ සාකච්ඡා කීරීම කිසිසේත් සුබදායී තත්වයක් නොවන බවත් ඒ පිළිබඳ තමන් කණාගාටුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගියදා ‘The Hindu’ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවක දී හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණේ 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් තේරීමේදී තම පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බවයි.

“අපේ පක්ෂයට කළුතර සහ නුවරඑළිය සඳහා අපේක්‍ෂකත්ව ලැබුණේ නැහැ. ගම්පහට ලැබුණේ එකයි. කුරුණෑගලට හමුවුණේ දෙකයි. අපට සාධාරණ අපේක්ෂක ගණනක් ලැබුනේ නැහැ. අපි ඉල්ලුවා අපේක්ෂකයින් 30 ක්. නමුත් ලැබුණේ නැහැ. නැත්නම් අපේ 30 ක් විතර පාර්ලිමේන්තු යනවා.”

“ඉදිරි පළාත් සභා මැතිවරණය එකතුවෙලා තරඟ කිරීමටයි අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපිට ලැබිය යුතු සාධාරණ ආසන ගණන ලැබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. අපිට එය ලැබුණොත් ආණ්ඩුවත් එක්ක එකතුවෙලා තරඟ කිරීමට ගැටළුවක් නැහැ. නමුත් සාධාරණ ලෙස නොසැලකුවහොත්, අපේ පක්ෂය තීරණය කරාවි තනියෙන් තරඟ කිරීමට. අපි විකල්ප දෙකටම ලෑස්තියි.” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වා තිබිණි ෴

***************************************

සීනි බදු වංචාව ගැන CIDයට පැමිණිල්ලක්

(04.01.2021 – am.lk)

මුදල් අමාත්‍යංශය විසින් පසුගියදා සීනි සඳහා පනවා තිබූ බදු මුදල වෙනස් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදන කිහිපයකින් ආණ්ඩුවට විශාල බදු මුදලක් අහිමිවීමත් එම ගැසට් නිවේදන උපයෝගි කරගනිමින් ආණ්ඩුවට හිතවත් සීනි ආනයනකරුවෙකු විසින් විශාල ලාභයක් උපයාගැනීමත් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල අද (04) දින ජවිපෙ මධ්‍යමකාරක සභිකයින් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සහෝදරයාගේ සහ නීතිඥ සුනිල් වටගල සහෝදරයාගේ සහභාගිත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිදුකෙරිණි ෴

***************************************

කොවිඩ් වසංගතය අස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 16 දෙනකු දිනකට ලක්ෂ 50 ක් අයතා ලෙස උපයාගෙන

(04.01.2021 – am.lk)

කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත කර සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දහසය (16) දෙනකු දූෂණ දිනකට ලක්ෂ 50 ක් අයත ලෙස උපයාගෙන ඇති බව ‘අරුණ’ පුවත් පත වාර්තා කරනවා .

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ විශාල පිරිසකට මෙම නිලධාරීන් ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික ලබාදෙමින් මැදපෙරදිග රටවලට යවා ඇතැයි සදහන්.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් ලෙසට ව්‍යාජ සහතිකයක් ලබාදීම සඳහා මෙම නිලධාරීන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාගන්නා බවද මේ ආකාරයට ලියාපදිංචිය නොලත් පනස් දෙනකුට පමණ දිනකට හොර රහසේ ගුවන්ගත වීමට අවස්ථාව ලබා දෙන බවද ප්‍රකාශකයෙකු පවසා තිබුනා . ඒ අනුව දිනකට රුපියල් ලක්ෂ 50 ක් පමණ උපයා ගන්නා මෙම නිලධාරීන් එම මුදල විදෙස් රැකියා නියෝජ්‍ය ආයතන සමග බෙදා ගන්නා බවද හෙතෙම වාර්තා කොට තිබුන . කොවිඩ් වසංගතය පැවැතියත් ඇතැම් මැදපෙරදිග රටවලට මේ දිනවල ශ්‍රමිකයන් යවන බව කී ඉහත ප්‍රකාශකයා එසේ පිටව යන අයටද මෙම නිලධාරීන් කාර්යාංශයේ ලියාපදිංචි සහතිකය ව්‍යාජ ලෙස ලබා දී ඇතැයි කීය.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතා ප්‍රකාශ කොට තිබුනේ අදාළ වංචනික නිලධාරීන් සම්බන්ධයෙන් කලක සිට තමන් වෙත පැමිණිලි ලැබී තිබූ බව කී හෙතෙම බුද්ධි නිලධාරීන් යොදා ගනිමින් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත් බවයි.

කිසිවකුට නොදැනෙන ලෙස රහසිගතව තමන් මෙම නිලධාරීන් පිළිබඳ සොයා බලා ඉහත චෝදනා සත්‍ය බව තහවුරු කරගත් බවද සභාපතිවරයා ප්‍රකාශ කොට තිබුනා ෴

==========================================

(04.01.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

තවත් යුක්රේන සංචාරකයින් 97 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද දහවල් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණියා.

යුක්රේනයේ කිව් නුවර සිට මෙම ගුවන් යානය මෙරටට ළඟාවූ බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර දිවයිනට පැමිණි පළමු යුක්රේන සංචාරක කණ්ඩායම අතර සිටි 21 දෙනෙකු අදාළ ගුවන් යානයෙන් නැවත සිය රට බලා පිටත්ව ගොස් තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් අඩපණ වී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතිය යටතේ අද මෙලෙස පැමිණියේ හතරවන යුක්රේන සංචාරක කණ්ඩායමයි.

මීට පෙර යුක්රේන ජාතිකයන් 563 දෙනෙකු කණ්ඩායම් ලෙස මෙරටට පැමිණියා ෴

+++++++++++++++++

(04.01.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 565 දෙනෙකු අද දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 37,817 දක්වා ඉහළ යනු ඇති.

තවදුරටත් පුද්ගලයින් 6,744 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

තවත් කොරෝනා අසාදිතයන් 190 ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

කොරෝනා ආසාදිත දේහයන් භූමදානය සිදුකිරීම සම්බන්ධයෙන් මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ වාර්තාව විද්වත් කමිටුව විසින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසනවා ෴

+++++++++++++++++++++

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය Born Again ක්‍රිස්තියානි කල්ලියේ ප්‍රබල සාමාජිකාවක්

(03.01.2021 – 13:02 +0530 – lankaleadnews.com)

කොරෝනා ආසාදනය වූ මළ සිරුරු ශ්‍රී ලංකාව තුළ භූමදානය ට ඉඩ දෙනවා ද යන කාරණය සොයා බැලීම පිණිස පත් කරන ලද නව කමිටුවේ සංයුතිය පිළිබඳ සමාජය තුළ, විද්වතුන් තුළ සහ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වී ඇත.

මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ කමිටුවේ ප්‍රධානත්වය ලබාදී ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය Born Again ක්‍රිස්තියානි කල්ලියේ ප්‍රබල සාමාජිකාවක් වීමයි.

ඇය කොළඹ විශ්වවිද්‍යාලය තුළ ක්‍රිස්තියානි සංගම් කිහිපයකම ප්‍රධානත්වය දරන අතර බෞද්ධ, හින්දු සහ කතෝලික ආගමිකයන්ට විරුද්ධව කටයුතු කරන තැනැත්තියක් බව සමාජ මාධ්‍යවල තොරතුරු හෙළිවෙමින් පවතියි.

තවද මෙසේ පත් කරන ලද කමිටුවේ දෙදෙනෙකු හැර සියලු දෙනා උග්‍ර ගෝඨාභය විරෝධීන් බවද ප්‍රකට කරුණකි. පසුගිය ජනාධිපතිවරණයේ දී ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම පිණිස ප්‍රසිද්ධියේ වැඩ කළ අය වෙති.

එවැනි කණ්ඩායමක් මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හමුවේ මෙවන් කමිටුවකට පත් කිරීම කුමන්ත්‍රණයක් බව ද තොරතුරු පළ වෙමින් පවතියි ෴

++++++++++++++++++++

++++++++++++++++++++

03-01-2021

++++++++++++++++++++

සංචාරක කර්මාන්තය – බයෝ බබල් කැඩුනොත් ඛේදවාචකයක්

(04.01.2021 – 19:32 +0530 – sinhala.adaderana.lk)

ජෛව ආරක්ෂිත බුබුල (Bio bubble) ක්‍රමවේදය යටතේ සිව්වන (4) යුක්‍රේන සංචාරක කණ්ඩායම අද (04) දිවයිනට පැමිණ තිබේ.

යුක්‍රේනයේ ‘කිව්’ අගනුවර සිට මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි එම කණ්ඩායමට සංචාරකයින් 97 දෙනකු ඇතුළත් ය.

ඒ අනුව මේ දක්වා පැමිණි යුක්රේන සංචාරකයින් පිරිස 656 කි.

කෙසේවෙතත් එලෙස පැමිණෙන යුක්‍රේන සංචාරකයින් කොවිඩ් සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බවට විවිධ ස්ථානවලින් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, “සංචාරකයින් හා ගැටෙන පුද්ගලයින් ජෛව ආරක්ෂිත බුබුල තුළ සිටිය යුතුයි. නිවෙස් බලා යෑම සිදුනොකළ යුතුයි. සංචාරකයින් රටින් පිටත්ව ගිය පසු ශ්‍රී ලාංකිකයින් සති 2 ක් නිරෝධායනය විය යුතුයි. මාර්ගෝපදේශන උල්ලංඝනය වුවහොත් විශාල ඛේදවාචකයක්.” යනුවෙනි.

දිවයිනට පැමිණි සංචාරකයින් නිරෝධායනය කිරිමේ ක්‍රමවේදය සහ ඔවුන් හා එක්ව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද අදහස් පළ කළේය.

“ක්‍රමවේදයෙන් පරිබාහිරව කටයුතු කළොත් අනිවාර්යෙන්ම නිරෝධායනය කරනවා. යාල දී ඇතිවුණේ එවැනි තත්ත්වයක්. විදේශිකයන්ගේ මුඛ ආවරණ නැහැ. රියදුරන්ගේ මුඛ ආවරණ නැහැ. ඔවුන් නිවෙස් වෙත යැවීම කළොත් කොවිඩ් ආසාදනය වීමක් සිදුවුවහොත් ප්‍රදේශයටම තර්ජනයක්.”

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ යුක්‍රේන සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතුවු තත්ත්වය යළි ඇති නොවීමට පියවර ගන්නා ලෙසට බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවය.

එමෙන්ම සංචාරකයින්ට නැවත රට විවෘත කිරීමේදී නියාමන ව්‍යාපෘතියේදී හඳුන්වාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක වියයුතු බවත් සංචාරක අධිකාරිය ඇතුළු ඊට අදාළ ආයතන සිය දැඩි අවධානය යොමු කළයුතු බවත් අදාළ නිවේදනයේ සඳහන් ය.

එලෙස සෞඛ්‍ය උපදෙස්වලට අනුගත නොවී යාල වනෝද්‍යානයේ සංචාරයේ නිරත වූ යුක්‍රේන ජාතිකයින් සමග ගිය සෆාරි ජිප් රථ රියදුරන් 28 දෙනෙකු පසුගිය සෙනසුරාදා දින 14 ක නිරෝධායනයට යොමුකළේ දැඩි විරෝධය මධ්‍යයේය ෴

+++++++++++++++++++++

කොවිඩ් ආසාදිතයෙක් රැකියාවක් සඳහා විදෙස්ගත වෙලා

(04.01.2021 – 13:03 +0530 – sinhala.adaderana.lk)

මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් එඩේරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය වී තිබියදී ඉකුත් 29 වැනිදා කටුනායක ගුවන් තොටුපළින් ඩුබායි බලා ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

මොහු විදේශගතවීමට පෙර ඉකුත් 24 වැනිදා පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණයක් සිදු කරගෙන ඇති අතර එහිදී ඔහුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

පසුව ඔහු විසින්ම වෙනත් පෞද්ගලික රෝහලකින් තවත් PCR පරික්ෂණයක් සිදුකර ගෙන ඇති අතර එහිදී තහවුරු වි ඇත්තේ ඔහුට කොවිඩ් ආසාදනය වී නොමැති බවය.

මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පසුව ඔහු තවත් PCR පරීක්ෂණයකට යොමුකර එහි වාර්තාව ලැබීමට පෙර විදෙස්ගත වී ඇති බව සඳහන් වේ.

එම PCR වාර්තාව මගින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරුවීම නිසා ඔහුව රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදි එම පුද්ගලයා විදෙස්ගත වී ඇති බව නිවැසියන් පවසා තිබුණි.

මේ අතර, ඊයේ (03) හමුවූ කොවිඩ් ආසාදිතයින් 403 දෙනාද සමගින් මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 44,774 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 37,252 දෙනෙකු මේ වනවිට පුර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව 7,309 දෙනෙක් ප්‍රතිකාර ලබති .

+++++++++++++++++++

යුක්රේන සංචාරකයන් යාල ගොස් වූ දේ නැවත වෙන්න දෙන්න බෑ.. ඉක්මනින් ගුවන් තොටුපල සම්පූර්ණයෙන්ම අරිනවා..

(04.01.2021 – 18:48 +0530 – lankacnews.com)

යුක්රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වු තත්වය යලි ඇති නොවීම සදහා වහා පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදසේ දෙයි.

ඔහු අවධාරණය කලේ සංචාරකයන්ට රට විවෘත කිරීමේදි නියාමන ව්‍යාපෘතියේ දි ඒ සදහා හදුන්වාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක වීය යුතු බවයි.

සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ඊට අදාල ආයතන මේ සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කළ යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.

සංචාරක නියාමන ව්‍යාපෘතියේ මෙතෙක් ප්‍රගතිය සහ ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිලිබද සාකච්ඡා කිරීම සදහා අද (04) පැවති විශේෂ සාකච්ඡාවකදි ඇමතිවරයා මේ බව සදහන් කලේය.

මෙම සාකච්ඡාව සදහා කොවිඩ්-19 පාලනය කිරීමේ කමිටු නියෝජිතයන්, සෞඛ්‍ය බලධාරීන්, මෙම යුක්රේන සංචාරය සංවිධානය කරන සංචාරක සංවිධාන, ඔවුන් රැදී සිටින හෝටල් වල නියෝජිතයන් සහ සංචාරකයන්ට නැරඹිමට යාම සදහා නම් කර ඇති ස්ථාන භාර රාජ්‍ය ආයතන බලධාරීන් එක්ව සිටියහ. සංචාරක ඇමතිවරයා සමග ඇමති නාමල් රාජපක්ෂ සහ ඩි.වී. චානක යන අමාත්‍යවරුන්ද ඊට එක්වූහ.

සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියාමන ව්‍යාපෘතියේ මෙතෙක් හදුනාගත් ගැටළු පිලිබදව මෙහිදි දිර්ඝ ලෙස අවධාරණය යොමු වූ අතර ඇමති ප්‍රසන්න රණතුංග මහතා කිවේ ජනවාරි මස අගදී ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු මෙවැනි ගැටළු මතු නොවිය යුතු බවයි. ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කිරීමේ අවශ්‍යතාවද ඇමතිවරයා මෙහිදි අවධාරණය කලේය. ගුවන්තොටුපල විවෘත කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ගෝපදේශ සංචාරකයන් දිවයිනට ගෙන්වීමට කටයුතු කරන ආයතනවලට ලබා දීමටත් මෙහිදි තීරණය කෙරිණි.

මේ වන විට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට PCR පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාධිත නොවන බව තහවුරු කර ගැනීමෙන් පසු සංචාරය සදහා විශේෂ ස්ථාන 12 ක් හදුන්වා දී තිබේ. දළදා මාලිගාව, යාල ජාතික වනෝද්‍යානය, මින්නේරිය වනෝද්‍යානය, සීගිරිය, දඹුළු විහාරය, උඩවලව, හෝටන් තැන්න, සිංහරාජ වනාන්තරය, පේරාදෙණිය උද්භිද උද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, තල්මසුන් නැරඹිය හැකි ස්ථාන සහ සළුසල එම ස්ථානයි. එම ස්ථානවලට සංචාරකයන් යාම සම්බන්ධීකරණය සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සිදුවිය යුතු බවද ඇමතිවරයා අවධාරණය කලේය. මෙම ස්ථාන වලදි සංචාරකයන් සහ මෙරට ජනතාව සම්බන්ධවීම වැලැක්වීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇමතිවරයා උපදෙස් දුන්නේය ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඊට අදාල ඉදිරි කටයුතු සිදු කිරීමටද තීරණය කෙරිණි.

– ප්‍රදීප් අනුර කුමාර

+++++++++++++++++++++

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අපහාස කිරීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කෙරේ!

(04.01.2021 – 17:55 +0530 – lankaleadnews.com)

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අපහාස වන අන්දමින් කිසිදු කරුණක් ජනවාරි 18 දක්වා පල නොකරන නොකරන ලෙස දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන ජනිත් පේදුරුආරච්චි නම් වෛද්‍යවරයාට කඩුවෙල දිසා අධිකරණයේ දිසා අවිනිසුරුවරයා විසින් වාරණ නියෝගයක් නිකුත් කළ බව වාර්තාවේ.

ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව නිපද වූ පැණිය ගැන පවසමින් මුහුණු පොතේ දිගින් දිගටම අදහස් දැක්වූ දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන ජනිත් පේදුරුආරච්චි නම් වෛද්‍යවරයාට එරෙහිව රුපියල් මිලියන 250 ක වන්දියක් ඉල්ලා අමාත්‍යවරයා කඩුවෙල දිසා අධිකරණයේ පැවරූ නඩුව සලකා බැලූ දිසා විනිසුරුවරයා මෙම නියෝගය ලබාදුන් අතර නඩුව එළඹෙන ජනවාරි 18 නැවත කැඳවීමට නියම කළේය.

මහාචාර්ය ජයසුමන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා, නීතීඥ ජුවානා එස්. හැන්නදිගේ මහත්මිය සහ චින්තක ප්‍රනාන්දු මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් අධිකරණය ඉදිරියේ පෙනී සිටියෝය ෴

+++++++++++++++++++++

කොවිඩ් මළ සිරුරු භූමදාන ප්‍රශ්නය විපක්ෂයට දේශපාලන ඉල්ලමක්, ආණ්ඩුව කරන්නේ ගොං තකතීරු වැඩක්-ජාතික සංවිධාන එකමුතුව

(04.01.2021 – 17:15 +0530 – lankaleadnews.com)

ආණ්ඩුවේ ජනවරම උදුරා ගැනීම සඳහා විපක්ෂයට දේශපාලන ඉල්ලමක් පහළ වී ඇති බව ජාතික සංවිධාන එකමුතුව පවසා සිටී.

ආණ්ඩුව අන්තවාදී බලවේග වලට යටත් වී තමා විසින්ම පැනවූ නීතියක් වෙනස් කිරීමට උත්සහා කරන බවට එල්ලවන චෝදනා පිළිබඳව ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

මේ සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින් “ඉස්ලාම් ආගමික අන්තවාදීන් සැම විටම ඇස් යොමු කරමින් සිටින්නේ තම සංවිධානවල සාමාජික සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා කුමන හෝ ගැටුමක් කරලියට පැමිණෙන තුරුයි. ඊට සමගාමීව මුස්ලිම් තරුණයන් සහ මහා සමාජය අතර ගැටුම් නිර්මාණය කිරීම ඔවුන්ගේ දෙවන අරමුණ බව ඉතා පැහැදිලියි. ඒ සියල්ලට අමතරව ආණ්ඩුව අමාරුවේ දැමීමට එනම් බහුතර සිංහල ජනතාව අතර ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමත් ඔවුන්ගේ අරමුණක්. එම ක්‍රියාවලිය ඇතුළේ හතරගාතෙන් වැටී සිටින විපක්ෂයට මහා දේශපාලන ඉල්ලමක් පහළ වෙනවා. ඒ වගේම ආණ්ඩුවේ ජනවරම ආපසු උදුරා ගැනීමටත් මනරම් අවස්ථාවක් නිර්මානය වෙනවා. ආණ්ඩුව අන්තවාදී බලවේග වලට යටත් වෙලා, පළමු විද්වත් කමිටුව මගින් ලබාදුන් නිර්දේශ සහ ඒ අනුව පැනවූ නීතිය වෙනස් කිරීමට නව කමිටුවක් පත් කිරීම නිසා විපක්ෂයට එම වාසිය ලැබෙන බව පේනවා. අධිකරණය මගින් එම ප්‍රශ්නය විසඳා තිබියදී සහ විද්වත් කමිටුවකින් නිර්දේශ ලබා දී තිබියදී සහ ඊට අදාලව නිර්දේශ පනවා තිබියදී අන්තවාදී බලවේග වලට යටවී නීතිය වෙනස් කිරීම ‘ගොන් තකතීරු’ වැඩක්” යනුවෙන් පැවසුවේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *