ශානිට, රංජන්ට අදටත් නීතිය ක්‍රියාත්මක වී නැහැ – පූජ්‍ය අගුරුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි

ශානිට, රංජන්ට අදටත් නීතිය ක්‍රියාත්මක වී නැහැ – පූජ්‍ය අගුරුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි

*********************************************

ශානිට, රංජන්ට අදටත් නීතිය ක්‍රියාත්මක වී නැහැ – පූජ්‍ය අගුරුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි

(05.01.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අධිකරණ කටයුතුවලට බලපෑම් සිදුකළ රංජන් රාමනායක මන්ත්‍රීවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුනොවීම බරපතල තත්ත්වයක් බව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුරුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමියන් පවසනවා.

මේ අතර යහපාලන රජය සමයේ අධිකරණ කටයුතුවලට සිදුකළ දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය මෙන්ම දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

***************************************

(05.01.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව, සබරගමුව, වයඹ, බස්නාහිර පළාත්වල මෙන්ම මාතලේ, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද (05) පස්වරුවේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හයක් අද (05) අලුයම සිට විවෘත කර තිබෙනවා.

එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස අඩිය බැගින් වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කර ඇති බවයි පොළොන්නරුව වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව පහත් බිම්වල සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසද දැනුම් දෙනවා.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ ඇතිවූ අධික වැසි තත්ත්වය හේතුවෙන් මඩකලපුව මහනගර සභා බල ප්‍රදේශයේ මන්මුනේ – උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගම්මාන කිහිපයක පහත් බිම් ජලයෙන් යට වී ඇති බව මඩකලපුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා ෴

***************************************

(05.01.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

වික්ටෝරියා ජලාශ වේල්ලේ සිට මීටර 100 ක් ඇතුළත හුණුගල් කැණීම් තහනම් කිරීමට භූචලන විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත් කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර භූවිද්‍යා හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය අවටින් වාර්තාවූ සුළු භූ චලන තත්වයන් සම්බන්ධව විද්‍යාත්මක අධ්‍යනයක් සිදුකිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වෙත අද (05) භාරදුන්නා.

මේ වනවිට සිදුව ඇති භූ චලන සියල්ල රික්ටර් මාපකයේ දෙකකට (2) අඩු අගයකින් වාර්තාවී තිබීම හේතුවෙන් ඒවා ජලාශයට ජලය පිරී යන අවස්ථාවලදී සිදුවන ස්වභාවික කම්පන විශේෂයක් බවට විද්වත් කමිටු වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා ෴

***************************************

(05.01.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 15 කට අයත් වනාන්තර 69 ක් ගැසට් පත්‍රයක් මගින් රක්ෂිත බවට පත් කිරීම සඳහා විෂයභාර අමාත්‍ය විමලවීර දිසානායක අද (05) අත්සන් තබා තිබෙනවා.

අත්සන් තැබුණු ඊට අදාළ ලේඛන වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

***************************************

(05.01.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ නගර මධ්‍යයේ ඊයේ (05) පෙරවරුවේ සිදුවූ අනතුරකින් 25 හැවිරිදි මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි විවාහක තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොරි රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ලොරි රථයේ රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ අදාල ලොරි රථය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයක් බවටයි.

***************************************

(05.01.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala)

මහනුවර මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු රුපියල් 150,000 ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මහනුවර නගරයේ පෞද්ගලික රෝහලක රථ ගාල තුලදීයි.

කටුගස්තොට පාලම ආසන්නයේ ඩිජිටල් පුළුල් තිරයක් සවි කිරීමට අදාළව මහ නගර සභාවේ වැඩකටයුතු කඩිනම් කර ගැනීම සඳහායි මොවුන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ ෴

***************************************

(05.01.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් සංචාරකයින් ගෙන්වන ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය අංශ සමඟ සකස් කරන ලද සංචාරක මාර්ගෝපදේශවලට අනුව සංචාරකයින් ගෙන්වීම ආරම්භ කළ බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, එම මාර්ගෝපදේශ කඩ කරමින් කිසියම් ආයතනයක් විසින් සංචාරකයින් ගෙන්වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කොළඹ අද පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් ප්‍රකාශ කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව ජනවාරි 23 වන දා සිට විදෙස් සංචාරකයින් සඳහා මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීමට ද නියමිතයි ෴

***************************************

(05.01.2021 – 16:41 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනා මත ඊ.ටී.අයි. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබෙනවා.

මේ අතර, නීතිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 13.7 ක මුදලක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙසටයි.

ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළේ පසුගිය ජනවාරි මාසයේදියි.

එම විමර්ශනවලදී අනාවරණ වූයේ ඊ.ටී.අයි. සමාගම ශ්‍රී ලංකා මහබැංකුවට හෙළි නොකළ රහස්‍ය ගනුදෙනු පවත්වාගෙන ගොස් ඇති බවටයි.

ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් මිලියන ගණනින් අවභාවිත කර ඇති බවටද එහිදී අනාවරණ වුණා.

ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම පසුගිය වසරේ සැප්තැම්බර් මස 9 වන දා අවසන් කෙරුණු අතර එහි අවසන් වාර්තාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුවා.

එහි සදහන් වුණේ ඊ.ටී.අයි. සමාගම සතු දේපළ විකිණීම නීතිවිරෝධී ආකාරයට සිදුව ඇති බවටයි.

එම වාර්තාව ජනාධිපතිවරයා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කර තිබුණා.

ඒ අනුවයි එහි සඳහන් සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභා පනතේ 24 වන වගන්ති ප්‍රකාරව ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත්තේ.

ඒ, නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනාව යටතේයි.

එමෙන්ම ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ට අයත් රුපියල් බිලියන 13.7 ක මුදලක් නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව මත ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස ද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.

මීට අමතරව ස්වර්ණමහල් ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට ද අධිචෝදනා ගොනු කරන ලෙසටයි නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ ෴

(05.01.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ස්වර්ණමහල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා.

ඒ, රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේයි.

ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ තිදෙනෙකු (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් බිලියන 13.7 ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් CID යට නිකුත් කළ නියෝගයකට අනුවයි.

ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

***************************************

(05.01.2021 – 16:42 +0530 – hirunews.lk/sinhala)

නව වසරේ පළමු විදෙස් සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (05) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඔහුත් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු (2) ද පැමිණි බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන 7 වන දා දක්වා මෙරට රැඳී සිටිනු ඇති.

සංචාරය අතරතුර මොහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති.

***************************************

(05.01.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – රජපිහිල්ල උද්‍යානයේ තිබූ ඉපැරණි ගස් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ පිරිසක් සහ සිවිල් සංවිධාන කිහිපයක් අද (05) එහි පැමිණියා.

රජපිහිල්ල උද්‍යානයේ තිබූ ඉපැරණි ගස් 28 ක් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද ඊයේ (04) මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබුණා.

පසුගිය දා විපක්ෂයේ නියෝජිතයින් ද එහි පැමිණ එම ගස් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීවට ද චෝදනා එල්ල වන අතර ඔහු කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන ව්‍යාපෘතියකට අනුව එම ගස් ඉවත් කළ බවයි.

මේ අතර, දිස්ත්‍රික්ක 15 කට අයත් වනාන්තර 69 ක් ගැසට් පත්‍රයක් මගින් රක්ෂිත බවට පත් කිරීම සඳහා විෂයභාර අමාත්‍ය විමලවීර දිසානායක අද (05) අත්සන් තබා තිබෙනවා ෴

***************************************

(05.01.2021 – 21:15 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක මැර පිරිසක් විසින් අවිස්සාවේල්ල අමිතිරිගල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පහරදී එහි දේපලවලට හානි පමුණුවා තිබෙනවා.

අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු ප්‍රකාශ කළේ මැර පිරිස ගිනි අවිද රැගෙන විත් තමන්ට මරණ තර්ජන එල්ල කළ බවයි.

අවිස්සාවේල්ල – අමිතිරිගල – මහදෙනිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් ඉඩමක් පසුගියදා සංවර්ධනය කර තිබුණා.

ඒ එම ස්ථානයේ වාහන විකුණුම් ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කිරීම සඳහායි.

කෙසේ වෙතත් පසුගිය 24 වැනිදා මෙම ස්ථානයට කඩා වැදුණු මැර පිරිසක් එහි හිමිකරුට මරණ තර්ජන එල්ල කරමින් ව්‍යාපාරික ස්ථානයේ දේපලවලට දැඩි ලෙස හානිකර තිබෙනවා.

මැර පිරිස බැකෝ රථයක්ද රැගෙනවිත් ව්‍යාපාරික ස්ථානයේ දේපළ කඩා බිඳ දැමීමට කටයුතු කර තිබුණු අයුරු කැමරාවක සටහන්ව තිබුනා.

මේ අතර අතුරුගිරිය නගරයේ පිහිටි පශු වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට කඩාවැදුණු පිරිසක් වෛද්‍යවරයාට සහ ඔහුගේ සහයකයාට අමානුෂික ලෙස පහරදෙන අයුරු එහි CCTV කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා.

අතුරුගිරිය නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට වාහනයක් ගාල් කිරීමට යාමේදී ඇති වූ බහින් බස් වීමක් මෙම පහරදීමට හේතු වී තිබෙනවා.

අතුරුගිරිය පොලිසිය පහරදුන් පිරිස පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++

https://www.youtube.com/watch?v=GfrbUOvvAv4#t=5

***************************************

බුදු පිළිමයකට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

(05.01.2021 – 09:46 +0530 – sinhala.adaderana.lk)

මාවනැල්ල ඉඹුල ප්‍රදේයේ පසුගිය 28 වනදා රාත්‍රීයේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, “අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රියන්ත සම්පත් කුමාර නැමැති පුද්ගලයෙක්. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවට වාර්තා වෙනවා. සැකකරු මීට පෙරද පූජනීය ස්ථාන ආශ්‍රිතව තිබූ පිංකැට බිඳ මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පත්වී ඇති අයෙක්. ඔහු විසින් සිදුකළ පාපෝච්චාරණයකට අනුව මෙම බුදු පිළිම වහන්සේ අසළ තිබී රුපියල් 60 ක පමණ මුදලක් ඔහු ලබාගත් බවටත් වාර්තා වී තිබෙනවා,” යනුවෙනි ෴

***************************************

දේශපාලක බෑණාට පොලොන්නරුවෙන් කොළඹට වැලි අදින්න වෙනම දුම්රියක්..

(05.01.2021 – 11:20 +0530 – lankacnews.com)

දේශපාලනඥයකුගේ බෑණා කෙනෙකුට කොළඹ ප්‍රදේශයට වැලි ගෙන ඒම සඳහා විශේෂ දුම්රියක් යොදවා ඇතැයි අද (05) ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මෙම පුද්ගලයා වැලි කැපීමේ බලපත්‍ර ඉල්ලා අයදුම්පත් 67 ක් ඉදිරිපත් කළ අයෙකු යයිද එම වාර්තාවේ දැක්වේ.

පොළොන්නරුවේ සිට කොළඹට එම දුම්රිය මගින් වැලි ගෙන ඒමට බෑනා කටයුතු කරමින් සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා එම වාර්තාව සඳහන් කරයි.

එම දුම්රිය යොදවා ඇත්තේ පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා බැවින් එය වහා අවලංගු කරන්නැයි ඉල්ලමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති රැසක් බලධාරීන්ට ලිපි යවා ඇතැයි ද සඳහන්ය ෴

***************************************

PayPal පහසුකම් බලාපොරොත්තු වන ලාංකිකයන්ට සුබ පණිවිඩයක්

(05.01.2021 – 10:53 +0530 – truenews.lk)

ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල නුදුරේ දී බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසනවා.

‘පෙර දැක්ම 2021’ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති’ ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා ඊයේ (04) මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා :

“නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් 2020 වසරේ දී ගෙවීම් හා පියවීම් අංශයෙහි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මත කිරීමට හැකිවිය. නියාමන රාමුව ශක්තිමත් කිරීම, ගනුදෙනුකරුවන්ගේ අරමුදල් සහ තොරතුරුවල ආරක්ෂාව සහතික කිරීම සහ ගෙවීම් හි පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව සහතික කිරීම සහ ගෙවීම් හා පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යනාදිය විශේෂ අවධානයක් යොමු වූ අංශ විය.

ඒ අනුව නව ව්‍යාපෘති දියත් කිරීම් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය වේදිකාවක් සපයමින් මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය (Fintech Regulatory Sandbox) ස්ථාපිත කරන ලදී. එසේම, බලපත්‍රලාභී වාණිජ බැංකු හා සහයෝගයෙන් යුතුව බ්ලොක්චේන් තාක්ෂණය (Blockchain Technology) පදනම් කරගත් ගනුදෙනුකරු හඳුනාගැනීමේ (Know-Your-Customer- KYC) ක්‍රියාවලිය ද ඒ සඳහා උනන්දුවක් දක්වන දායකයින් තිදෙනෙකු විසින් වැඩිදියුණු කරන ලද අතර, එය දැනට පරීක්ෂණ මට්ටමේ පවතී.

මීට අමතරව, ප්‍රාග්ධන ප්‍රවාහයන් ආකර්ෂණය කර ගැනීමට හා රටවල් අතර සිදුවන වෙළෙඳාමට පහසුකම් සැලසෙන පරිදි ඊ-වාණිජ්‍ය සක්‍රීය කර ගැනීමට හැකිවන පරිදි වෙනත් ආකාර ගෙවීම් යාන්ත්‍රණයක් වැඩිදියුණු කිරීමට හා ප්‍රවර්ධන කිරීමට ඇති හැකියාව ද මහ බැංකුව ක්‍රියාකාරීව සොයා බලමින් සිටියි. ශ්‍රී ලංකාව තුළ විවෘත බැංකුකරණයක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව විමර්ශනය කෙරෙමින් පවතී.

ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව ‘පේපෑල්’ යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල අපි නුදුරු අනාගතයේ දී බලාපොරොත්තු වෙමු. අනාගත ගෝලීය මූල්‍ය තාක්ෂණය අත්‍යවශයෙන්ම ඩිජිටල්කරණය වූවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඩිජිටල් මුදල් (Digital currencies) පිළිබඳ දේශීය හා විදේශීය පාර්ශවකරුවන් සමඟ තම විචාරණය, පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය තුළින් සහ දීර්ඝ කාලීන දෘෂ්ටි කෝණයකින් තවදුරටත් සිදුකෙරෙනු ඇත.”

============================================

(05.01.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 468 දෙනාගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 183 ක්.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 73 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 72 කු වාර්තා වී තිබෙනවා. මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ කොරෝනා පොකුර 40,000 ඉක්මවා 41,476 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඉන් 35,059 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ අතර දිවයිනේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (04) එක්වුණා.

එමෙන්ම පොළොන්නරුව – හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඊයේ (04) තවත් කොරෝනා ආසාදිතයන් හතරදෙනෙකු (4) හඳුනාගෙන තිබෙනවා.

සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයෙකු සහ හමුදා නිලධාරියෙකුගේ කොළඹ සිට පැමිණි පවුලේ සාමාජිකයෙකුද මෙම ආසාදිතයන් අතර වනවා.

සෙසු දෙදෙනා නිරෝධායනයට යොමු කර සිටියදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ කියා සිටියේ දෙවන කොරෝනා රැල්ල තුළ මේ දක්වා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 37 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (04) රාත්‍රියේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකදී තවත් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

වෙළඳසැලක සේවකයෙකු සහ දැනටමත් නිරෝධායනයට යොමු කර සිටින පුද්ගලයෙකු මෙලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ සඳහන් කළා.

++++++++++++++++++++++

(05.01.2021 – 15:28 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 445 ක් සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ සමස්තය 38,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව සඳහන් වන්නේ 38,262 ක් ලෙසයි.

මේ අතර තවදුරටත් 6765 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 45,242 ක් ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 224 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45,466 දක්වා ඉහලගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++

(05.01.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය මගී සංඛ්‍යාව ඉහල යාම හේතුවෙන් දුම්රිය ගමන් වාර වැඩිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ දුම්රිය ගමන්වාර සඳහන් කාල සටහන පහතින් :

+++++++++++++++++++++

(05.01.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ මුඛ ආවරණ නොපැළඳ සිටි 300 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙකු (2) කොරෝනා ආසාදිතයින් බවට තහවුරු කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මුඛ ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට අද (05) සිට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අමතරව පී.සී.ආර්.පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කළ අතර ඒ අනුවයි මෙම පිරිස ඇන්ටිජන් පරීක්ෂණවලට භාජනය කර ඇත්තේ.

++++++++++++++++++++++

(05.01.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් ආරම්භ කළ නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේන ජාතිකයන් 640 දෙනෙකු අවස්ථා 4 කදී මෙරටට පැමිණ තිබෙනවා.

ජෛව ආරක්ෂක බුබුළු සංකල්පය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඔවුන් මෙරට සියලු‍ සංචාර සිදුකළ යුතු බවටයි සෞඛ්‍ය අංශ සහ සංචාරක අමාත්‍යාංශය දැනුම් දී තිබුණේ.

කෙසේ වෙතත් ඇතැම් කණ්ඩායම් යාල සහ මිරිස්ස ප්‍රදේශවල සංචාරය කර තිබූ අතර ඒ පිළිබඳ සංචාරක මණ්ඩලය පවා දැනුවත් වූයේ මාධ්‍ය තුළින් බවට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය ඊයේ (04) ලිපියක් මගින් විෂයභාර අමාත්‍යවරයා දැනුවත් කර තිබුණේ.

මේ අතර, අද (05) පාර්ලිමේන්තුවේදීද යුක්රේන සංචාරකයන් සම්බන්ධව මතුව ඇති තත්ත්වය පිළිබඳව අදහස් පළ වුණා.

එමෙන්ම, කොරෝනා වෛරසය හේතුවෙන් විදෙස්ගතව රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ඥාතීන් පිරිසක් අද (05) දහවල් ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා පැවැත්වීම සඳහා වෙන් කර ඇති ස්ථානයට පැමිණ උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ, සිය ඥාතීන් කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් ෴

++++++++++++++++++++

(05.01.2021 – 20:38 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු හෘද රෝගියෙකුට සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවකින් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවටත් ‘පී.සී.ආර්.’ පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය වී ඇති බවටත් හඳුනාගෙන තිබෙනවා.

මොහු ශල්‍යකර්මයක් සඳහා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ මෙම පරීක්ෂණ දෙකටම (2) භාජනය කර ඇති අතර පසුව මොහු හදිසියේ මියගොස් තිබෙනවා.

මොහු මිය යාමට පෙර සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වීම හේතුවෙන් ඇද ඉහපත පරීක්ෂා කිරීමෙන් පසු රෝහල් බලධාරීන් අදාළ මෘත දේහය ඥාතීන් වෙත භාරදෙනු ලැබුවා.

පන්නල ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි අදාළ පුද්ගලයාගේ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබී ඇත්තේ ඔහු මියගොස් දේහය ඥාතීන්ට භාරදීමෙන්ද අනතුරුවයි.

ඒ අනුව එම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගත් මියගිය පුද්ගලයාගේ නිවස වෙත ගිය පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් වහාම දේහය ආදාහනය කිරීමට පියවර ගත්තා.

මෘත දේහය නිවසට රැගෙන ගිය අවස්ථාවේ අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණ ඇති අතර, එම තත්වය හමුවේ පන්නල – වළකුඹුරුමුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 180 ක් පමණ නිරෝධායනයට යොමුකර එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ.

එමෙන්ම, ඒකල පෞද්ගලික පොහොර කර්මාන්තශාලාවකින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 56 දෙනෙකු වාර්තාවී ඇති බව ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

මේ අතර ටෙස්ට් තරඟාවලියක් සඳහා දිවයිනට පැමිණ සිටියදී කොරෝනා ආසාදිත බවට තහවුරු වූ එංගලන්ත කණ්ඩායමේ මොයින් අලීගේ වෛරස තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පර්යේෂණ සිදු කිරීමට නියමිතයි.

ඔහුට වැළඳී ඇත්තේ බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා ප්‍රභේදයදැයි හඳුනාගැනීම සඳහා එම පරීක්ෂණය සිදුකරන බවයි එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ.

මේ වනවිට යුක්රේනයේ සිට දිවයිනට පැමිණි සංචාරක කණ්ඩායමේ කොරෝනා ආසාදිතයන්ගේ නිදර්ශකද එම විශ්වවිද්‍යාලය වෙත ලැබී ඇති බව ඔහු තහවුරු කළා.

ඒ අද (05) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකදියි.

මේ අතර මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් එඬේරමුල්ල ප්‍රදේශයේ කාන්තාවක් කොරෝනා ආසාදිතව සිටියදී ව්‍යාජ වෛද්‍ය වාර්තා සකස් කර ඩුබායි බලා පිටත්ව යෑම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45,242 ක් ලෙස දැක්වෙන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6765 ක්.

අද (05) දිනයේ තවත් ආසාදිතයින් 445 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 38,262 දක්වා ඉහළ ගියා.

මේ අතර, කොවැක්ස් පහසුකම යටතේ කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා ගිවිසුම් ගතවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 255 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 45,721 ක් දකවා ඉහලගොස් තිබෙනවා ෴

++++++++++++++++++++

(05.01.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

අද (05) ‘හාඩ්ටෝක්’ විශේෂාංගයෙන් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන්වීමේ වැඩසටහන සම්බන්ධීකරණය කළ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ගෙන් :

+++++++++++++++++++++

(05.01.2021 – 20:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මරණ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අදත් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

++++++++++++++++++++++

කොවිඩ් දේහ ගැන වෛද්‍යවරු සහ මහාචාර්යවරු මත දෙකක (2)

(05.01.2021 – 20:03 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ආසාදිත දේහ ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දියහැකි බවට වන තම සංගමයේ මතයේ වෙනසක් නොමැති බව ‘ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ’ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.

දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත දේහ ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ‘ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය’ නැමැති වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත සංගමයක් ඉකුත් ජනවාරි පළමුවැනිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එම නිවේදනයේ විද්‍යාත්මක කරුණු පරස්පර බවටත්, එය දේශපාලනික නිවේදනයක් බවටත් ‘සිංහලේ අපි ජාතික සංවිධානය’ ඊයේ (04) චෝදනා කළේය.

කෙසේවෙතත් තම සංවිධානය තවදුරටත් සිය ස්ථාවරයේම සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරිය වන වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අද (05) සඳහන් කළාය.

මේ අතර, මේ සම්බන්ධයෙන් විශේෂඥයන් පළකරන්නේ වෙනත් අදහසකි.

සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබද විශේෂඥ, මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා සඳහන් කළේ, “ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිසේත්ම අනිවාර්ය නිර්දේශයක් හැටියට දීලා නෑ මේක ඕනෑම රටක භූමදානය කරන්න අවශ්‍යයි කියලා. ඒ රටේ තිබෙන තත්ත්වයන් අනුව භූමදානය හෝ ආදාහනය තීරණය කරන්න පුළුවන්,” යනුවෙනි.

තවද, “කොවිඩ් වෛරසය දේහයෙන් එළියට ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා,” යනුවෙන් පාරිසරික විෂවේදය පිළිබඳ මහාචාර්ය මංගල ද සිල්වා මහතා අදහස් දක්වමින් සඳහන් කළේය.

+++++++++++++++++++++

(05.01.2021 – 22:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා අසාදිත මරණ දෙකක් (2) වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 68 සහ 75 හැවිරිදි වියේ පසුවන මාතලේ සහ කළුතර ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනෙකු (2) බවටයි තොරතුරු වාර්තාවන්නේ.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 217 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *