කෘෂිකර්මයේ මාෆියා 5 ක් … – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

කෘෂිකර්මයේ මාෆියා 5 ක් … – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

*********************************************

කෘෂිකර්මයේ මාෆියා 5 ක් … – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

(05.01.2021 – 18:48 +0530 – lankacnews.com)

ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5 ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. වී, සහල්, එළවළු, බීජ, පොහොර යන මෙම මහා පරිමාණ මාෆියාවන් මෙරට කෘෂිකර්මයේ අනාගතය මුළුමනින්ම විනාශ කරමින් සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා බතලේගොඩ වී පර්යේණ ආයතනයේ පැවති කෘෂිකර්ම උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

වසර ගණනක් සිදුනොවුණු නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කරන දීපව්‍යාප්ත පුහුණු වැඩමුළු මාලාව ස්ථාන 05 කදී ඊයේ 2021-01-04 ආරම්භ විය, බතලේගොඩ, අඟුණුකොළපැළැස්ස, පුලියන්කුලම, මහඉලුප්පල්ලම, බිදුණුවැව යන කෘෂි පුහුණු පාසල්වලදී පුහුණු වැඩමුළු ආරම්භ කෙරිණි. එක් මධ්‍යස්ථානයක කෘෂි උපදේශකවරුන් 250 බැගින් දිවයිනම ආවරණය වන පරිදි දහසක් (1000) පළමු අදියර යටතේ පුහුණු කෙරේ. ගොවිජන සේවා නිලධාරීන් 600 ක් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 9000 ක් තවත් අදියර ‍දෙකකින් (2) මෙම පුහුණුවට යොමු කිරීමට සැලසුම් කර තිබේ. එක් කණ්ඩායමකට දින 25 ක නේවාසික පුහුණු වැඩසටහනක් මේ යටතේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

නවීන තාක්ෂණය යොදා ගෙන ගොඩවගාව – වී වගාව – පළතුරු වගාව ඇතුළු වගා ක්‍රම, නිරෝධායන පනත, පළිබෝධනාශක පනත ඇතුළු නීති අණපනත් මෙන්ම ඩිජිටල් තාක්ෂණය පිළිබඳ විශේෂ දැනුමක් පුහුණු වැඩමුළුවේදී ලබාදීමට පියවර ගෙන තිබේ. මෙම වැඩමුළුවෙන් ලබාගන්නා දැනුම කෘෂි උපදේශකවරුන්, ගොවිජන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මඟින් ගොවියාට ගෙන යාම මෙහි ප්‍රමුඛ අරමුණයි.

පුහුණු වැඩමුළුවේදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා :

” ‘සෞභාග්‍යයේ දැක්මේ’ කෘෂිකර්මයට සුවිශේෂී තැනක් දීලා තියෙනවා. ජනාධිපතිතුමාගේ අරමුණ මෙරට නිෂ්පාදන ආර්ථිකයක් හදලා ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීමයි. 40% ක් සෘජුව මෙරට කෘෂිකර්මයේ නිරතවෙනවා. 30% ක් වක්‍රව කෘෂිකර්මයේ නිරතවෙනවා. කොවිඩ් තත්ත්වය එක්ක අද රටේ සෘජුව හා වක්‍රව 75% ක් කෘෂිකර්මයේ නිරත බව වාර්තා වෙනවා. ඒ නිසයි තාක්ෂණයෙන් ගොවියා සන්නද්ධ කිරීම අනිවාර්ය වෙලා තියෙන්නේ. මෙරටට කෘෂිකර්මයේ තාක්ෂණය හා පර්යේෂණ එංගලන්තයට සමාන මට්ටමේ තියෙනවා. ඒත් ගොවියා තාමත් ඉන්නේ වසර 100 ක් පැරණි සාම්ප්‍රදායික කෘෂිකර්මයේ. දැනුම තාක්ෂණය ගමට යන්නේ නෑ. කෘෂිකර්ම උපදේශකට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉඩක් නැහැ. කෘෂිකර්ම උපදේශකයන්, ගොවිජන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් එකට එකතුවෙලා වැඩකරන්නේ නෑ. ගොවියාට දැනුම යන්නේ නෑ. ඒ නිසා අපි මධ්‍යම ආණ්ඩුවල පළාත් සභාවල අනෙකුත් ආයතන සියල්ල එකට එකතුවෙලා වැඩ කරන්න අවශ්‍ය සම්බන්ධීකරණය කරලා අවසන්. මේ පුහුණුවෙන් කරන්නෙත් ඒක.

මේ රටේ කෘෂිකර්මය ඇතුලේ මාෆියාවන් 05 ක් ක්‍රියාත්මක වෙනවා. කිරි ගෙන්වීමේදී නවසීලන්තයේ දෙවැනි ගැනුම්කරුවා ලංකාව. කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර ආනයනයේදී කොමිස් ලැබෙනවා වැඩියි. රටේ බීජවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනවා තාමත්. 100% ක් වියළි මිරිස් ගේන්නේ පිටරටින්. ඒ තුළින් කොමිස් වැඩි නිසා නිෂ්පාදනයට වඩා ආනයනයට ගොඩක් අය කැමතියි. යූරියා භාවිතය වැඩි වෙලා නොරොච්චෝලේ නිල් දරුවන් උපදිනවා. මාසයකට ඇස් නොපෙනෙන දරුවෝ 30 ක් උපදිනවා කියලා වෛද්‍යවරු කියනවා. වකුගඩු , පිළිකා රෝගීන් දිනෙන් දින වැඩිවෙනවා. ඒත් රසායනික පොහොර ගෙන්වනවා. පසුගිය වසරේ පරීක්ෂණාගාර වාර්තා 55 ක් වෙනස්කරලා බිලියන 1.5 ක් බාල පොහොර ගෙන්වලා තියෙනවා. ඒක විගණකාධිපති වාර්තාවෙන් හෙලිවෙලා තියෙනවා. ඊට සම්බන්ධ 7 ක්ම මම ගෙදර යැව්වා. ඒ වාර්තා වෙනස් කරපු හිටපු පොහොර සභාපතිට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. වසවිස කන්න දීලා දැන දැන මිනිස්සු මරණ රටක් වෙලා මේක. ඒ නිසා මේ වසරේ පොහොර දෙන්නේ පස පරීක්ෂා කරලා අවශ්‍ය පරිදි. ඒ සඳහා පස් පරීක්ෂා කිරීමේ කට්ටල සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම ලබාදීමට පියවර අරගෙන තියෙනවා. සෑම ගොවියෙකුටම තමන්ගේ ඉඩමේ පස් පරීක්ෂා කිරීමේ වාර්තාව අපි දෙනවා.

දෙන්න පුළුවන් සියලු දැනුම, පහසුකම්, ප්‍රතිපාදන දෙනවා. ගමට තාක්ෂණය ගෙනියන්න. නිලධාරීවාදය, කඹ ඇදිල්ල, ජාතිභේද, තරාතිරම පැත්තකට දාල ගොවියා දැනුමෙන් තාක්ෂණයෙන් සන්නද්ධකරන්න. එකම පවුලක් ලෙස සියලුදෙනා වැඩ කරන්න.”

යනුවෙන් අමාත්‍යවරයා පුහුණු වැඩමුළුවට එක්වු කෘෂිකර්ම උපදේක නිලධාරීන් අමතමින් ප්‍රකාශ කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

– සුජිත් විතානපතිරණ

***************************************

විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක්, මාෆියාවක් .. – ඇමති අරුන්දිකගෙන් ප‍්‍රහාරයක් ..

(05.01.2021 – 22:27 +0530 – lankacnews.com)

විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ ලේඛණයට නම දැමීමේදී පටන් මාෆියාවක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද වන විට විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීම ඉතාම අසාධාරණ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇතැයි ද ඔහු චෝදනා කළේය.

ගුවන් තොටුපලේදී පුද්ගලික හෝටල් තුල නිරෝධායනයට එම ශ‍්‍රමිකයන් ගෙන යාම සදහා මහා මාෆියාවක් ඇතැයිද ඔහු හෙලි කරයි.

විදේශ ශ්‍රමිකයන් ගෙන්වීම මේ වන විට ගසා කෑමක් බවටත්, මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.

ඒ හේතුවෙන් මෙම රජය බලයට පත් කිරීමට විශාල කැපකිරීමක් කල විදේශගත ශ‍්‍රමිකයන් රජය ගැන බරපතළ ලෙස කලකිරී ඇතැයිද ඔහු පැවසීය.

මෙම වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ දැක්මට විරුද්ධව සිදු කරන වැඩපිළිවෙළක් යයි ද ඔහු චෝදනා කළේ කොළඹ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

***************************************

(06.01.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගත් මිරිස්ස – ‘කොකනට් හිල්ස්’ නැමති ප්‍රදේශයේ සුන්දරත්වය විනාශ කරමින් ඉදිකිරීම සිදු කිරීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට අනාවරණ වී තිබෙනවා.

මෙම ඉඩමෙහි කොන්ක්‍රීට් කණු සිටුවීමත් සමඟ එහි සුන්දරත්වය විනාශ වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් මේවනවිට කතා බහක් ඇතිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ජයවික්‍රම මහතා ගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය ඒ සඳහා යොමු කිරීමට පියවර ගත් බවයි ෴

***************************************

(06.01.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – ඕවල ප්‍රදේශයේ කුඩා විදුලි බලාගාරයක ජලාශයක ඝාතනය කර තිබියදී සොයා ගත් මෙරටට ආවේණික කළු කොටියාට කිසියම් අයෙකු විසින් වස දී මරා දමා ඇති බවට මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

සිද්ධියට අදාළව විදුලි බලාගාරයේ සේවකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ කොටියාගේ දත් ගැලවීමේ චෝදනාව මතයි. ඔවුන් මීට පෙර අත්අඩංගුවට ගෙන දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ද කටයුතු කර තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික්කය තුළ සිදුවූ දෙවන කළු කොටි ඝාතනය ලෙසයි මෙය සැලකෙන්නේ ෴

***************************************

(06.01.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වු කහ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති කහ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1128 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

එමෙන්ම, කහ ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

(06.01.2021 – 10:35 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු අද (06) පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත භාර වීමෙන් අනතුරුවයි.

එම ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර, සෙසු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා ෴

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියට අදාළ නඩුවේ 15 වන සැකකරු වන ගුරුගේ මංජුල නමැත්තා මේ මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය අද (06) නියෝග කළා.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාර් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ තිබූ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට සහය ලබා දීමයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 13 දෙනෙකු මේ මස 11 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ ෴

***************************************

(06.01.2021 – 11:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණ අයිතිය හෝ ඉන් කොටසක් විදේශ සමාගමකට පැවරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෙහිදී වරාය විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ද අදහස් දක්වා සිටියා.

මේ අතර, දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදියි. මීට අමතරව ඉන්දීය විදේශ අමාත්‍යවරයා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

***************************************

(06.01.2021 – 12:14 +0530 – hirunews.lk/sinhala)

ඌව තැන්න සුමන හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට හැකි නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමට හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දුමින්ද සිල්වා මහතාගේ නඩුවට අදාලව තීන්දුව ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක ගේ බලපෑම් එල්ල වූ බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඒ වගේම එම නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරියක් සමග සිදුකළ දුරකථන සංවාදවල හඬ පට නිකුත් වීමත් සමග මේ බව තහවුරු වූ බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේ.

අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පවත් වූ මාධ්‍ය හමුව පහතින් :

***************************************

(06.01.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

මැදවච්චිය – කිඩාගලේගම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව දෙදරු (2) පියෙකු අද (06) අලුයම ජීවිතක්ෂයට පත්වුණා.

අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත සිය නිවෙසට යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී ඔහු මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී වන අලියා මාර්ගයේ සිටින අයුරු දැක බියට පත්වීම නිසා ඔහු යතුරුපැදියෙන් බිම ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ මොහු මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, වන අලි ගැටළුව හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මහරත්මලේ ගම්මානයේ ජනතාව පවසනවා.

මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන දෙකට මායිම්ව පිහිටා ඇති මෙම ගම්මානයේ ජීවත් වන ඔවුන් චෝදනා කරන්නේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාව සිය ගැටලුව සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකරන බවයි ෴

***************************************

(06.01.2021 – 12:38 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව ඊයේ (05) දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට (07) දක්වා මෙරට රැඳී සිටිනු ඇති.

ඔහුත් සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු (2) ද මෙරටට පැමිණ තිබෙනවා ෴

===============================================

යුක්රේනයේ කොරෝනා නව ප‍්‍රභේද 5 ක් .. මෙරට සංචාරයක ආසාදිතයන්ගේ ප‍්‍රභේදය හඳුනාගෙන නෑ ..

(06.01.2021 – 00:02 +0530 – lankacnews.com)

අද වන විට යුක්රේනයේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද පහක් (5) පැතිරී යමින් ඇතැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමය කියයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ එම ප්‍රභේද කිසිවක් හඳුනා ගැනීමට මෙරට පහසුකම් නැති බවයි.

සංචාරකයන් දිගින් දිගටම මෙරටට රැගෙන එන්නේ නම් කොරෝනා නව ප්‍රභේදයන් හඳුනාගත හැකි යන්ත්‍ර මෙරටට ගෙන්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

යුක්රේන සංචාරකයන් අතරින් හමුවූ ආසාදිතයන්ගේ වෛරස ප්‍රභේදය කුමක්දැයි පරීක්ෂණයක් කලේදැයි අදට ද නොදන්නා බවද ඔහු තවදුරටත් පැවසීය ෴

++++++++++++++++++

කොරෝනා : ග්‍රාම සේවක පොකුර අත ලඟ…

(06.01.2021 – 03:26 +0530 – lankacnews.com)

රජය මගින් ග්‍රාම නිළධාරින් වෙනුවෙන් කිසිම සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙළක් සකස් නොකර නොමැති බවත් මේ හේතුවෙන් කෝවිඩි-19 වසංගත තත්ත්වයත් සමග රාජ කාරි කිරිමේදී රට තුල ග්‍රාම නිළධාරි පොකුරක් ඇති විමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රි ලංකා එක්සත් ග්‍රාම නිළධාරි සංගමයේ සභාපති කමල් කිස්සිරි මහතා පෙන්වා දෙයි.

දිවයින පුරා රාජකාරි සිදු කරන ග්‍රාම නිළධාරින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ කටිටලක් හෝ ලබා දිම සදහා රජය හෝ අමාත්‍යංශය මෙතෙක් කටයුතු නොකිරීම විශාල ගැටලුවක් වි ඇතැයි කමල් කිස්සිරි මහතා කියා සිටි.

“අමාත්‍යංශය, රජය සහ ප්‍රදේශිය ලේකම් වරු සහ දිසාපතිවරු සිතාගෙන ඉන්නේ ග්‍රාම නිළධාරින් කොරෝනා වලට ඔරොත්තු දෙන පිරිසක් බවයි. නමුත් ග්‍රාම නිළධාරීන් කියන්නෙ මිනිසුන් කොටසක්. මේ වසංගතය කාට හැදෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ.” ඒ මහතා පැවැසිය. කොරෝනා පළමු රැල්ලේ දි ග්‍රාම නිළධාරින් එය පාලනය කිරිම සදහා කටයුතු කල බවත් කොරෝනා දෙවැනි රැල්ල පැමිණ මාස ගණනාවක් ගතවී ඇති බවත් දෙවැනි රැල්ලද පාලන කිරිම සදහා ඇප කැපවි කටයුතු කරන බවද ඔහු පැවැසීය. නමුත් ආරක්ෂාව සදහා කිසිම සෞඛ්‍ය ආරක්ෂිත උපකාරක කටිටලක් හෝ ලබා දිමට කටයුතු නොකර ඇති බවද ඒ මහතා පැවැසීය.

ඇතැම් ප්‍රදේශවල මොනවා හරි රෙද්දකින් මසන ලද මාස්ක් එකක් පමණක් ග්‍රාම නිළධාරින් වෙත ලබා දී ඇති අතර සමහර ප්‍රදේශවල එහෙම එකක් වත් ලබාදිම සදහා කටයුතු කර නොමැති බවද සභාපතිවරයා පැවැසීය. නිරෝධායනයට යෙමු කර ඇති පුද්ගලයන් නිරීක්ෂණය කිරිම සදහා ග්‍රාම නිළධාරින් වෙත සතියකට දිනයක් වෙන්කර දි ඇති අතර අවදානම නොතකා එය සිදු කිරිමට සිදුව ඇති බව හෙතෙම පැවැසීය.

ග්‍රාම නිළධාරින් හතර දෙනෙකුට (4) මේ වන විට කොරෝනා වෛරස ආසාදනය වි ඇති බවත් ප්‍රදේශිය ලේකම් කාර්යාලය, තමන් නියෝජනය කරන ප්‍රදේශය සහ සහෝදර ග්‍රාම නිළධාරින් සමග අවදානම් තත්ත්වයෙන් රාජකාරි කිරීමේදී ග්‍රාම නිළධාරි පොකුරක් නිර්මාණය වීමේ ඉඩකඩ අත ලඟ බව කමල් කිස්සිරි මහතා පැවැසීය.

මේ අතර දිවයිනේ ග්‍රාම නිළධාරි කාර්යාල බහුතරයක් පෞද්ගලික නිවාස වල පවත්වාගෙන යන අතර පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග එම නිවෙස්වල පවත්වන යන ග්‍රාම නිළධාරි කාර්යාල වලට ජනතාව පැමිණීම සම්බන්ධයෙන් නිවැසියන් අකමැත්තක් ද පළ කරති. “ග්‍රාම නිළධාරි කාර්යාලය පොදු ස්ථානයකට රැගෙන යැමේ වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස අපි දිගින් දිගටම අමාත්‍යංශයට දැනුම් දුන්නත් ඒ සදහා මෙතෙක් අවධානය යොමු වෙලා නැහැ.” ඔහු පැවැසීය.

“කෝවිඩි-19 වසංගත තත්ත්වයත් සමග රාජ කාරි කිරිමේදී සෞඛ්‍ය අංශවල අයට ඉල්ලීම් සියල්ලම අමාත්‍යංශය මගින් ලබා දි ඇති අතර කොරෝනා වසංගත තත්ත්වයත් සමග රාජකාරි කිරිමේදී ග්‍රාම නිළධාරිට පවතින ගැටළු සම්බන්ධයෙන් අපි ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් දිගින් දිගටම ඉල්ලිම් කලද ඒ සදහා මෙතෙක් විසදුමක් ලබා දි නැහැ” කමල් කිස්සිරි මහතා පැවැසීය ෴

+++++++++++++++++++++++

(06.01.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම – දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම හා ඇහැලියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද (06) අළුයම 5 සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, අක්කරෙයිපත්තු පොලිස් වසමේ අක්කරෙයිපත්තු – 05, 14 යන ග්‍රාම නිලධාරී වසම සහ නගර බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම, පළමුණෙයි 1 ග්‍රාම නිලධාරී වසම, ඔලුවිල් 2 ග්‍රාම නිලධාරී වසම, අඩ්ඩාලච්චේනයි 8 ග්‍රාම නිලධාරි වසම අද (06) අළුයම 5 සිට හුදෙකලා බවින් ඉවත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම එම පොලිස් වසමේම අක්කරෙයිපත්තුව අටෙන් එක ග්‍රාම නිලධාරි වසම, අක්කරෙයිපත්තුව අටෙන් තුන ග්‍රාම නිලධාරි වසම සහ අක්කරෙයිපත්තුව නවය ග්‍රාම නිලධාරි වසම ද අද (06) අළුයම 5 සිට හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා ෴

++++++++++++++++++++++

(06.01.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ මුඛ ආවරණ නොපැළද සිටි පුද්ගලයින් 1060 කට සිදුකළ පී.සී.ආර්. සහ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ වලින් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

තවත් නව මරණ දෙකක් (2) සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගියා.

වාර්තා වූ මරණ දෙකම (2) කාන්තාවන් වන අතර, එක් (1) කාන්තාවක් මාතලේ ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි වියේ පසුවන්නියක්.

ඇය මාතලේ දිස්ත්‍රික් රෝහලේදී පසුගිය 3 වන දින මිය ගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය වීමත් සමඟ ශ්වසන පද්ධතියේ ඇති වූ ආසාදනයයි.

මිය ගිය අනෙක් කාන්තාවත් 75 හැවිරිදි වියේ පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර පසුගිය 2 වන දින කළුතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ඇය මිය ගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ ඇදුම රෝගී තත්ත්වය සහ ලේ විෂවීමයි.

මේ අතර, කොරෝනා ආසාදිතයින් 484 දෙනෙකු මෙරටින් ඊයේ (05) දිනයේදීත් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 45,726 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 479 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් වන අතර ජෝර්දානයේ සිට පැමිණි 3 දෙනෙකු, එක්සත් රාජධානියේ සිට පැමිණි එක් (1) අයෙකු සහ මුහුදු ආරක්ෂකයෙකු (1) අදාළ පිරිසට අයත් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශය තුළින් ද ඊයේ (05) කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඔවුන් ලිඳුල, රාණිවත්ත, හිල්ටන්හෝල් සහ තවත් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඔවුන්ගෙන් 5 දෙනෙකු කොළඹ සිට පැමිණි අය බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, කොරෝනා වෛරසය හේතුවෙන් අත්හිටවූවා දුම්රිය ගමන් වාර හෙට (07) සිට යළිත් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ගමන් කරන මන්දගාමී දුම්රිය, කොළඹ කොටුවේ සිට කුරුණෑගල දක්වා ගමන් කරන මන්දගාමී දුම්රිය, ගාලු කුමාරි දුම්රිය, රුහුණු කුමාරි දුම්රිය, මරදාන – අලුත්ගම කාර්යාල දුම්රිය මෙලෙස ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව කොළඹ කොටුවේ සිට පුත්තලම දක්වා ගමන් කරන දුම්රිය ද කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කරන පාසල් ප්‍රවාහන දුම්රිය ද ධාවනය කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++

(06.01.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

මුහුණු ආවරණ බිලියන 1.5 ක් පමණ පසුගිය වසරේ සාගරයට එක්වී ඇති බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

එම සංඛ්‍යාව ටොන් 5000 ක් පමණ වන බවයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++

(06.01.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

ජාඇල මුලික රෝහලෙන් ස්ව කැමැත්තෙන් සිදු කරගන්නා ලද පී.සී.ආර්. පරීක්ෂණයකින් ජාඇල – රාගම ලංගම බස් රථයක සේවය කරන කොන්දොස්තරවරයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා.

මෙම හේතුවෙන් ඊයේ (05) මෙම බස්රථයේ රියදුරු සහ එම ඩිපෝවේ 153 ක් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි මහජන සෞඛය පරීක්ෂක ධනංජය හේරත් මහතා ප්‍රකශ කලේ.

ඔහු වැඩි දුරටත් අප වෙත පැවසුවේ අද (06) දින මෙම අසාදිතයාගේ සමීපතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණය සිදු කරන බවත් ජනවාරි (01) සිට මෙම බස් රථයේ ගමන් ගත් මගීන් ස්වයං නිරෝධානයට යොමු වන ලෙස ඉල්ලා සිටින බවයි ෴

++++++++++++++++++++++

(06.01.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 ක කාලය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 248 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (06) දිවයිනට පැමිණියා.

ඩුබායි සිට 114 දෙනෙකු, දෝහා සිට 57 දෙනෙකු ගුවන් යානා 18 කින් මෙලෙස පැමිණි බවයි ගුවන් තොටුපළ අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එමෙන්ම, තවත් ශ්‍රී ලාංකිකයින් 513 දෙනෙකු යානා 19 කින් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා ෴

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බවයි මධ්‍යම තැපැල් හුවමාරුව ප්‍රකාශ කලේ ෴

++++++++++++++++++++++++

(06.01.2021 – 09:46 +0530 – sinhala.adaderana.lk)

කොග්ගල පිහිටි ‘ලෝන්ග් බීච්’ හෝටලය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන රෝහලක් බවට පත්කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ හෙට (07) සිට එහි ප්‍රතිකාර කටයුතු ආරම්භ කරන අතර එහි මෙහෙයුම් කටයුතු යුද හමුදාව යටතේ සිදුවන බවය.

ඒ අනුව කොවිඩ් රෝගී පුද්ගලයින්ට මුදල් ගෙවා එහි ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සපයා ඇත ෴

++++++++++++++++++++++

‘ධම්මික පැණිය’ සායනික පරීක්ෂාව සෞඛ්‍යය අධ්‍යක්ෂක ජනරාල්ගේ අනුමැතිය නැතිව තවදුරටත් ප්‍රමාද වේ!

(06.01.2021 – 12:31 +0530 – lankaleadnews.com)

අනුරාධපුර මහ රෝහලේ ආරංචි මාර්ග අනුව ධම්මික පැණිය ලෙස හඳුන්වන කොරෝනා වෛරස් ආසාදිත වූවන්ට ලබා දිය හැකි ඖෂධය සායනිකව පරීක්ෂා කිරීම සඳහා දියත් කළ පර්යේෂණ ව්‍යාපෘතිය තවදුරටත් කල් යන බව වාර්තා වේ.

ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තම අවසර ලිපිය නිකුත් නොකිරීමය. මේ වන විට රජරට විශ්ව විද්‍යාලයේ ආචාරධර්ම කමිටුවේ අනුමැතිය සහ වෛද්‍යය සංගමයේ සායනික පරීක්ෂණ කමිටුවේ රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය ලැබී ඇත. මෙම පමාව පිටුපස යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් – උවමනාවක් තිබේ දැයි අවධානයෙන් සිටින බව රෝහල් සේවකයෝ පවසති ෴

++++++++++++++++++++

(06.01.2021 – 11:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලයේ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු එම තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කියා සිටියා.

මෙම තැපැල් කාර්යාලයේ සේවකයින් 06 දෙනෙකු සිටින අතර මෙම තත්ත්වය හමුවේ සෙසු සේවකයින් පස් දෙනා (05) නිරෝධායනයට යොමුකළ බවයි මධ්‍ය තැපැල් හුවමාරුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ෴

++++++++++++++++++++

(06.01.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

විදේශීය සංචාරකයෙකු දිවයිනට පැමිණෙන්නේ නම් මෙරටට පැමිණීමට පෙර පැය 96 ක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරගත යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

එලෙස පැමිණීමෙන් අනතුරුව මෙරටදී ද ඔවුන් යළිත් වරක් පී.සී.ආර්. පරීක්ෂණ කිහිපයකටම මුහුණදිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, අද (06) උදෑසන 08:30 න් අවසන් වූ ගතවූ පැය විසි හතර (24) තුළ විදේශ රටවල රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 248 දෙනෙකු ගුවන් යානා 18 කින් දිවයිනට පැමිණියා.

ඔවුන් ඩුබායි, කටාර්, චීනය, මාලදිවයින වැනි රටවල්වල සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් වනවා. එමෙන්ම තවත් ශ්‍රී ලාංකිකයින් 513 දෙනෙකු ගුවන් යානා 19 කින් කටුනායක ගුවන් තොටුපලින් විදේශ රටවල් වෙත පිටව ගොස් තිබෙනවා.

එලෙස පිටත්ව ගිය පිරිසෙන් වැඩි පිරිසක් එනම්, 307 දෙනෙකු ඩුබායි වෙත ගොස් ඇති අතර, දෝහා කටාර් වෙත 35 දෙනෙකු පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර විදෙස් රටවල සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් ලබාගැනීමේ ජාවාරමක් පවතින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *