මිරිස්සේ – ‘කොකනට් හිල්ස්’ හි සුන්දරත්වය විනාශ කිරීම ගැන, පොලීසියෙන් විමර්ශනයක්

මිරිස්සේ – ‘කොකනට් හිල්ස්’ හි සුන්දරත්වය විනාශ කිරීම ගැන, පොලීසියෙන් විමර්ශනයක්

*********************************************

මිරිස්සේ – ‘කොකනට් හිල්ස්’ හි සුන්දරත්වය විනාශ කිරීම ගැන, පොලීසියෙන් විමර්ශනයක්

(06.01.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මිරිස්ස – බණ්ඩාරමුල්ල ප්‍රදේශයේ ‘කොකනට් හිල්ස්’ නමින් ප්‍රසිද්ධ ස්ථානයේ කොන්ක්‍රීට් කණු සවිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වැලිගම ප්‍රාදේශීය සභාවට ලිපි යොමුකර තිබෙනවා.

එමගින් පොලිසිය දන්වා ඇත්තේ මෙලෙස ඉඩම් වෙන් කිරීමට අදාළව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග නිසියාකාරව ගෙන ඇත්ද යන්න පිළිබඳව කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙසටයි.

එලෙස නිසියාකාරව කටයුතු කර නොමැති නම් අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද පොලිසිය අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මෙම භූමිය බොහෝ කාලයක සිට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද ආකර්ශනයට ලක්වූ ස්ථානයක්.

මෙහි කොන්ක්‍රීට් කණු සවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කථාබහක්ද ඇතිවුණා.

අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ මෙම ඉඩම ශ්‍රී ලාංකිකයෙකුට සහ විදේශිකයෙකුට අයත් බවටයි.

එහි පර්චස් 400 ක් පමණ පවතින අතර, ඉන් පර්චස් 80 ක අයිතිය පවතින්නේ විදේශිකයා සතුවයි. අනෙක් පර්චස් 320 මෙරට පුද්ගලයා සතු වනවා.

අදාළ භූමියේ කොන්ක්‍රීට් කණු සවි කිරීමට මෙරට පුද්ගලයා කටයුතු කර ඇති අතර, ඒ පිළිබඳව සොයාබැලීම සඳහා වැලිගම නගර සභාවේ සභාපතිවරයා ඇතුලු පාර්ශව කිහිපයක්ම එම ස්ථානයට පැමිණ තිබෙනවා.

++++++++++++++

(06.01.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

කොන්ක්‍රීට් කම්බි කණු ගැසීමක් සමග රටේම අවධානය යොමුවූ මිරිස්සේ ‘කොකනට් හිල්’ නැවතත් දෙස් විදෙස් සංචාරකයන් හට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා හිරු පුවත් වෙත ප්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ එම ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුකිරීමට අවසර ලබානොදීමට එහිදී තීරණය කළ බවයි.

මෙම භූමිය බොහෝ කාලයක සිට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද ආකර්ශනයට ලක්වූ ස්ථානයක්.

මෙහි කොන්ක්‍රීට් කණු සවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කථාබහක්ද ඇතිවුණා.

අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ මෙම ඉඩම ශ්‍රී ලාංකිකයෙකුට සහ විදේශිකයෙකුට අයත් බවටයි.

එහි පර්චස් 400 ක් පමණ පවතින අතර, ඉන් පර්චස් 80 ක අයිතිය පවතින්නේ විදේශිකයා සතුවයි. අනෙක් පර්චස් 320 මෙරට පුද්ගලයා සතු වනවා.

අදාළ භූමියේ කොන්ක්‍රීට් කණු සවි කිරීමට මෙරට පුද්ගලයා කටයුතු කර ඇති බවයි අනාවරණ වූයේ.

+++++++++++++++

(06.01.2021 – 20:14 +0530 – hirunews.lk/sinhala)

දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මිරිස්ස – බණ්ඩාරමුල්ල ප්‍රදේශයේ ‘කොකනට් හිල්ස්’ නැමති ස්ථානයේ සවි කළ කොන්ක්‍රීට් කණු කඩිනමින් ගළවා ඉවත් කරන ලෙස අද (06) පැවති සාකච්ඡාවකදී ඉඩම් හිමිකරුට දැනුම්දී තිබෙනවා.

මෙම සාකච්ඡාව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර, ඊට දිස්ත්‍රික් ලේකම්වරයා, වැලිගම ප්‍රාදේශීය ලේකම්වරයා, නාගරික සංවර්ධන අධිකාරියේ සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම ඉඩමේ හිමිකරුද සහභාගි වුණා.

මෙම ස්ථානය අවහිර කරමින් කොන්ක්‍රීට් කණු සිටවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේද දැඩි කථාබහකට ලක්වූ අතර, අප කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ අදාළ ඉඩම ශ්‍රී ලාංකිකයෙකු සහ විදේශිකයෙකු සතු බවයි.

පර්චස් 400 ක් පමණ වන බිම් කොටසේ පර්චස් 80 ක අයිතිය විදේශිකයා සතුවන අතර, ඉතිරි ප්‍රමාණය මෙරට ව්‍යාපාරිකයා සතුවනවා.

කෙසේ නමුත් වෙරළාසන්න ඉඩමක් සංවර්ධනය කිරීමේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගත යුතු අතර, අප කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ අදාළ ව්‍යාපාරිකයා නිසි අවසරයක් නොගෙන අදාළ වැට ඉදිකර ඇති බවයි.

මාතර දිස්ත්‍රික් කාර්යාලයේදී අද (06) පැවති සාකච්ඡාවේදී බලධාරීන් ප්‍රකාශ කර සිටියේ එම භූමිය නැවතත් සංචාරකයින් හට පැමිණීමට හැකිවන පරිදි විවෘත කරන ලෙසටයි.

ඊට පිළිතුරු ලබාදුන් ඉඩමේ හිමිකරු, සවි කළ වැට ඉවත් කිරීමෙන් අනතුරුව ප්‍රවේශපත්‍රයක් ලබාදී සංචාරකයින් ඇතුලු කරගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට තමා සූදානම් බව සඳහන් කළා ෴

+++++++++++++++

***************************************

(06.01.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

වන අලි ගම්වැදීම දිනෙන් දින උග්‍රවෙමින් පවතින ප්‍රධාන ගැටලුවක් බවට මේ වනවිට පත්ව අවසන්. මේ හේතුවෙන් අහිමිවී ඇති මිනිස් ජීවිත ප්‍රමාණය, දේපළ හානිය සහ වගා හානි කිරීම්ද අසීමිතයි.

එලෙස වනඅලි තර්ජනයට ලක්වූ හිඟුරක්ගොඩ ගම්මානයේ ජනතාවගේ වත්මන් තත්ත්වය පිළිබඳවයි මේ අනාවරණය. මේ පොළොන්නරුව හිඟුරක්ගොඩ මහරත්මලේ ගම්මානයයි.

වසර 40 කට ආසන්න කාලයක සිට මේ ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුව බවට පත්ව තිබෙන්නේ වන අලීන් ගම්වැදීමයි. පසුගිය දින කිහිපය පුරා ගම්වැදුණු වන අලීන් ඔවුන්ගේ ජිවිතවලට එල්ල කර ඇති බලපෑමයි මේ.

***************************************

(06.01.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ මළසිරුරක් දඹුල්ල තානායම් කාමරයක තිබී සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර කහන්ගම, දේවාලයේ ගම ප්‍රදේශයේ පදිංචි තරුණ ව්‍යාපාරිකයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

නීතිඥවරයකු ඇතුළු මියගිය අයගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

මියගොස් ඇති ව්‍යාපාරිකයා ඊයේ (05) උදෑසන 08:30 ට පමණ තම තානායමට පැමිණි බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

එදින දහවල් මත්පැන් පානය කර ඇති මෙම ව්‍යාපාරිකයා පසුව තම කාමරය මාරුකර ඇත්තේ තවත් දෙදෙනෙක් (2) එහි පැමිණෙන බව තානායම් කාර්යමණ්ඩලයට පවසමින්.

එදින රාත්‍රී ආහාරය ඇනවුම් කර තිබුනද එය ලබා නොගැනීම හේතුවෙන් පසුව කාර්ය මණ්ඩලය සිදුකළ පරීක්ෂාකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු ගෙළවැලලාගෙන ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි සඳහන් වන්නේ.

අනතුරුව දඹුල්ල පොලිසියට කළ දැනුම්දීමකට අනුව මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

***************************************

(06.01.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම සඳහා ලක් රජය තම අභිලාශය පළ කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ප්‍රකාශ කළා.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ විදේශ අමාත්‍යාංශයේ අද (06) දහවල් පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් ඉන්දීය රජය දැනුවත් කරන බවයි.

එසේම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අර්ථාන්විත බලය බෙදීමක් ඉන්දීය රජය අපේක්ෂා කරන බව ද එරට විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා ෴

***************************************

(06.01.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් බදුල්ල නගරයේ ආපන ශාලා හිමියන්ගෙන් ‘ඊසි කෑෂ්’ හරහා මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

මොවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට පැමිණි බව අඟවා අදාළ ආපනශාලාවල සේවකයින් සෞඛ්‍යආරක්ෂණ ක්‍රමවේදයන් අනුව කටයුතු නොකරන බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එම නිසා අදාළ සේවකයින් වෛද්‍ය සහතිකයක් ලබා ගත යුතු බවත්, එය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට රුපියල් 45,000 ක මුදලක් අවශ්‍ය බවටයි සැකකරුවන් ආපනශාලා කළමනාකරුවන්ට දැනුම් දී ඇත්තේ.

එලෙස මුදල් ‘ඊසි කෑෂ්’ ක්‍රමය හරහා දුරකථන අංක 5 කට බැර කළ ආපනශාලා හිමියෙකු කළ දැනුම්දීමකට අනුව ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ මහතාගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුද සම්බන්ධ බවට පවතින සැකය මත ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

(06.01.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය දිවයින පුරා රජයේ රෝහල් 25 ක් ඉදිරිපිට අද (06) විරෝධතා සංවිධාන කර තිබුණා.

දින 180 සම්පූර්ණ කළ ආදේශක සේවකයින් වහාම ස්ථීර කිරීම, නිල ඇඳුම් දීමනාව ඉහළ නැංවීම ඇතුලු ඉල්ලීම් 11 ක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම උද්ඝෝෂණ පැවැත්වූයේ.

මේ අතර ජාතික කම්කරු පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය අද (06) හැටන් – මල්ලිඅප්පුව මංසන්ධියේදී විරෝධතාවක නිරතවුණේ අයවැයෙන් යෝජනා කළ වතු කම්කරුවෙකුගේ දෛනික රුපියල් දහසේ (1000) වැටුප් වැඩිවීම මෙතෙක් ලබා නොදීමට එරෙහිවයි ෴

***************************************

(06.01.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල නගරයේ ජනප්‍රිය විදුහලක පළමු ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කර දෙන බව පවසා රුපියල් ලක්ෂ හයක (6) මුදලක් වංචා කළ පුද්ගලයෙකු ගාල්ල පොලීසිය අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙන්තොට – මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රජයේ ඉහළ නිලතල දරණ පුද්ගලයින් සමඟ සමීප සබඳතා පවතින බවට පවසමින් සිසුවා ඇතුළත් කරන බවට පවසා සැකකරු මෙලෙස මුදල් වංචා කර තිබෙනවා ෴

***************************************

(06.01.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරස රෝගයට ප්‍රතිකාර වෙනුවෙන්ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රකාශ කර තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (05) දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ඇමතිවරයා අද (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිවරයා හමු වුණා.

අනතුරුව පැවති සාකච්ඡාවේදී කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ ඉන්දියාව නිෂ්පාදනය කරමින් සිටින කොවිඩ් එන්නත ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තු කිරීමෙන් පසු, ලබා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බවයි.

සෙසු රටවලට එන්නත අපනයනය කිරීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බවට ආචාර්ය ජයිශංකර් එහිදී පොරොන්දු වී තිබෙනවා.

ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උපරිම වන අයුරින් වර්ධනය කිරීමට ජනාධිපතිතුමා සහ ඉන්දීය ඇමතිවරයා එකඟත්වය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඉන්දීය සහභාගීත්වය සහිතව දැනටමත් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව සහයෝගීතා වර්ධනය පුළුල් කළ හැකි තවත් ක්ෂේත්‍ර කිහිපයක් මෙම සාකච්ඡාවේ දී හඳුනා ගෙන තිබෙනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, LNG (ද්‍රව, ස්වභාවික වායු ) බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය, විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය ඒ අතර වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියේ විධිමත් අධ්‍යාපනයක් ලැබූ තරුණ ජනහගණයක් ශ්‍රී ලංකාවේ සිටින අතර ඔවුනට විවිධ ක්ෂේත්‍රවල ක්‍රමවත් වෘත්තීය පුහුණුවක් දීම සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාවේ නිශ්චිත අවශ්‍යතා දැනුම් දුන් විට වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා උදව් කිරීමට සූදානම් බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

විකල්ප බලශක්ති මූලාශ්‍රයක් ලෙස සූර්ය තාපය භාවිත කිරීම වෙනුවෙන් දැනටමත් ඉන්දීය ආධාර ලැබී ඇති අතර ඉදිරි කාලයේ දී මේ ක්ෂේත්‍රයට තවදුරටත් මූල්‍ය හා තාක්ෂණික ආධාර සම්පාදනයට ඉන්දියාවට හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්වීමේ අවශ්‍යතාව පිළිබඳ දෙපාර්ශ්වය අදහස් හවුමාරු කරගෙන තිබෙනවා.

ඊයේ (05) දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, අද (06) දහවල් විදේශ අමාත්‍යාංශයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණ ගැසුනු අතර, ඔහු අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වුණා.

එහිදී අදහස් දැක්වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාව නිෂ්පාදනය කරන කොවිඩ් එන්නත ලබාගැනීමේ ලක් රජයේ අපේක්ෂාව සම්බන්ධයෙන් තමන් ඉන්දීය රජය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

එසේම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අර්ථාන්විත බලය බෙදීමක් ඉන්දීය රජය අපේක්ෂා කරන බවද සඳහන් කළා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා, අද (06) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, හෙට (07) දිනයේ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඇතුලු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක්ද හමුවීමට නියමිතයි.

***************************************

(06.01.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

69 ලක්ෂයක ජනතා ඡන්දයෙන් පත්කරගත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද (06) එම පක්ෂ මුලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු මෙහෙස අදහස් පළකළා :

“අසාද් සාලි කියන දේශපාලන නිගන්ඨයා – ඒගොල්ලෝ ඇත්තටම හිරගෙවල්වල ඉන්න ඕන අය. අර ජනාධිපති කොමිෂන් එකෙන් අනාවරණය වෙලා තියනවා අසාද් සාලිලා කාටද දුරකථන ඇමතුම් දුන්නේ සහාරන්ලගේ ගෝලබාලයෝ බේරගන්න කියල. අපේ රහස් පොලිසියට පින්සිද්ද වෙන්න තාමත් එලියට ඇවිල්ලා කටමැත දොඩවනවා. මේ අසාද් සාලි කියනවා ආදාහනය කරනවා වෙනුවට භූමිදානය කරන්න නොදුන්නොත් එකට අනාගතේ වන්දි ගෙවන්න වෙනවා, අපි වන්දිය ගන්න ඕන කියලා. වන්දිය ගන්නේ අසාද් සාලී බෝම්බ කාරයෙක් වෙලාද? ලක්ෂ 69 ක් චන්දෙ දුන්නේ අසාද් සාලිලට මෙහෙම දොඩවන්නද? ඊලඟ සහරන්ලා නිර්මාණය කරන්න දීලා බලාගෙන ඉන්නද ?

අන්තවාදීන්ගේ ක්‍රියාකාරිත්වයට අදාලව පොලිසියේ දැනට ක්‍රියාත්මක වන ක්‍රමේ ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. ඒ පිළිබඳව අපි කනස්සල්ලට පත්වෙනවා. මොකද මේ ගැන මිට වඩා සක්‍රිය මැදිහත්වීමක් සිදුවෙයි කියන බලාපොරොත්තුව මේ රටේ පොදු ජනතාව තුල තියනවා. රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගත්තේ අන්තවාදී කල්ලිය සමග සබදතා පැවැත්වීම කියන චෝදනාව යටතේ නෙවෙයි; පොදු දේපල කාරණාවක් යටතේ. නමුත් ජනාධිපති කොමිෂන් එකේම ඔප්පු වෙලා තියනවා වාහන වල හයිකරලා තිබුන ‘ගූගල් GPS’ තාක්ෂණය අනුව පෙන්නලා තියනවා මෙන්න මේ ස්ථාන වලට මේ මේ දින වල ගිහින් තියෙන්නේ කියලා. ඊට පෙර අන්තවාදය සමග සබඳතා පැවැත්වූ සැකකරුවන්ගෙන් කියවෙච්ච ස්ථානත්, ඒ වාහන ගිය ස්ථානත් සමපාත වෙලා තියනවා. එතකොට මෙතන පැහැදිලිවම රිෂාඩ් බදියුදින්ට ඔහුගේ මල්ලිගේ ත්‍රස්තවාදයත් සමග තිබුන ඥාතීත්වය ඕනෑවටත් වඩා හොඳින් අනාවරණය වෙනවා. ත්‍රස්තවාදියාගේ ගෙදරට ගියේ කවුද? එකේ CCTV කැමරා ගැලෙව්වේ කවුද? මේවා හරියට හොයන්න ඕන. ඒක හරියට කරන්න තමයි රටේ ජනතාව ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ ඒ බලේ දුන්නේ. ඒක හරියට නොවෙනවා නම්, ඒක හරියට වෙන්න ඕනේ කියන මතය ඉදිරිපත් කරන්න අපි පැකිලෙන්නේ නැහැ.

ඇප ලබා දෙන්නේ උසාවි වලින්. අපි උසාවිවල වැඩ වලට බලපෑම් කරන්නේ නැහැ, රන්ජන්රාමනායක වගේ, අනිත් අය වගේ විනිශ්චයකාරයන් අපි නටවන්න යන්නේ නැහැ. නමුත් ඒ ඇප ලබා දීමට පවා හේතු වෙන්නේ අපේ පරීක්ෂණවල තියන දුබලකම. ඒ පිළිබඳ අපිට තද බල විවේචනයක් තියනවා ආරක්ෂාව භාර සියලුම අංශ ගැන.

***************************************

(06.01.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ගාල්ල – යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මන්ත්‍රීවරයා ජනවාරි මස 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසයි ගාල්ල අධිකරණය නියෝග කර ඇත්තේ.

ඊයේ (05) සවස යක්කලමුල්ල නාකියාදෙණිය ප්‍රදේශයේදී 27 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර සිදුව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාර මන්ත්‍රීවරයා කාන්තාවගේ ඥාතියෙකු ද වන බවයි වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

යක්කලමුල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ෴

***************************************

(06.01.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා (4) මේ වනවිට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

නීතිපතිවරයා, ලබාදුන් උපදෙස්වලට අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ ඊයේ (05) අත්අඩංගුවට ගත් අතර, නාලක එදිරිසිංහ අද (06) අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවීමෙන් අනතුරුවයි.

රුපියල් බිලියන 13.7 ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනවා.

ඊ.ටී.අයි. ආයතනයේ සිදුව ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපතිනී අනූෂා ජයන්ති මහත්මිය, සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, සිංහලේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා සහ අපේ ජනබල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් මහතා අද (06) පැවති මාධ්‍ය හමුවලදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරයෙකු වන නාලක එදිරිසිංහ අද (06) අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ තැන්පත්කරුවන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසළට පැමිණියා.

අධිකරණයට ඉදිරිපත් කෙරුණු ස්වර්ණමහල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා.

ඒ, එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

ඔවුන්ට සති දෙකකට වරක් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ අධිකරණය ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අහෝසි කිරීමටද නියෝග කළා.

ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (06) පස්වරුවේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එම හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ රුපියල් බිලියන 13.7 ක මුදලක් තැන්පතු ලෙසනීති විරෝධීව ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරන චෝදනා යටතේයි ෴

+++++++++++++

=========================================

(06.01.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජයට විධිමත් වැඩපිළිවෙළක් නොමැති බවට එතෙර අපි සංවිධානය චෝදනා කරනවා.

එහි සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විදෙස්ගත ගෘහ සේවිකාවන් සහ ශ්‍රමිකයන් සිය ගැටලු ඉදිරිපත් කරන වීඩියෝ පට කිහිපයක් මාධ්‍යයට නිකුත් කෙරුණා.

+++++++++++++++++++++

(06.01.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 31 වන දා වැලිකන්ද – ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස්දෙනා (5) අතර සිටි තවත් රැදවියෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ආරච්චිකට්ටුව – ආනවිලුන්දාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම රැදවියා 52 හැවිරිදි වියේ පසුවන බවයි.

එමෙන්ම මොහුට රැඳී සිටීමට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු (1) ද අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මීට පෙර මෙලෙස පළාගිය රැඳවියෙකු (1) මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඉතිරි තුන්දෙනා (3) අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

(06.01.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 31 වන දා වැලිකන්ද – ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගොස් සැඟව සිටියදී අද (06) අත්අඩංගුවට ගත් රැඳවියා බස් රථ මගින් ප්‍රදේශ කිහිපයකට ගමන් කර ඇති බව හෙළිවී තිබෙනවා.

පලාගොස් සැඟව සිටියදී සතියකට පමණ පසු 52 හැවිරිදි මෙම පුද්ගලයා අද (06) අත්අඩංගුවට ගනු ලැබුවේ ආරච්චිකට්ටුව – ආනවිලුන්දාව ප්‍රදේශයේදියි. ඔහුට සැඟව සිටීමට ආධාර අනුබලදුන් පුද්ගලයෙකුද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොහු බස් රථ මගින් කුරුණෑගල, නාරම්මල, කුලියාපිටිය, වැලිපැන්න සහ හලාවත ප්‍රදේශ වලට ගමන් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඔහු සමඟ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් හතරදෙනෙකු (4) පලාගොස් තිබූ අතර, මීට පෙර එක් අයෙකු (1) හලාවත – මාදම්පේ ප්‍රදේශයේදී සොයාගැනුනා.

ඉතිරි තුන්දෙනා (3) සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

++++++++++++++++++++

(06.01.2021 – 15:30 +0530 – hirunews.lk/sinhala)

හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල දහම් පාසල් ජනවාරි 17 වනදා ඉරිදා සිට ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා ෴

+++++++++++++++++++++

(06.01.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala)

අද (06) දිනයේදීත් කොරෝනා ආසාදිතයන් 761 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ සමස්ත සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 39,023 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව තවදුරටත් පුද්ගලයින් 6,486 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් නතර කර තිබූ දුම්රියෙන් පාර්සල් ප්‍රවාහන කටයුතු හෙට (07) සිට යළි ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව දැනට දුම්රිය ධාවනය වන ප්‍රදේශවල පමණක් පාර්සල් ප්‍රවාහනය සිදුකරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 252 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපතිවරයා සිල්වා මහතා පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45,978 ක් ෴

මෙරටට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායමට අද (06) සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී මොයින් අලී හැර අනෙකුත් ක්‍රීඩකයින්ට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (06) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පළමු පුහුණු සැසියට එක්වුණා.

මොයින් අලීගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් නිරෝධායනයට යොමු කෙරුණු ක්‍රිස් වෝක්ස්ටද අද (06) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොරෝනා වැළඳී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

එංගලන්ත – ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය ලබන 14 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *