රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුලු 15 කට කොරෝනා

රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුලු 15 කට කොරෝනා

*********************************************

රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුලු 15 කට කොරෝනා

(06.01.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු (1), හෙද නිලධාරීන් 5 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් 24, 25 සහ 6-බී යන වාට්ටු තුන (3) තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවා සහ අනෙකුත් වාට්ටුවල ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරන අතර පී.සී.ආර්. සහ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව රෝගීන් රෝහලට ඇතුළත් කර ගන්නා බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

= ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු කඳවුරකට සහභාගි වූ සිසුවියකට කොරෝනා =

හික්කඩුව ප්‍රදේශයේ පාසලක පැවති ජාතික ශිෂ්‍ය භට බලකායේ පුහුණු කඳවුරකට සහභාගි වූ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම කදවුරට සහභාගි වූ අහංගම ප්‍රදේශයේ පාසලක සිසුවෙකු (1) ඇතුළු ඔහුගේ පවුලේ දස දෙනෙකු (10) නිරෝධායනයට යොමු කළා.

මෙම පුහුණු කදවුර සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4 ක පාසල් සිසුන් 50 ක් සහභාගි වී ඇති බව වාර්තාවනවා.

මේ අතර බදුල්ල – හල්දුම්මුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල පළාත්බඳ මහරෝහලට මාරු කර යැවුණු කුඩා දරුවෙකුට කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ බදුල්ල රෝහලේ 10 වන වාට්ටුව තාවකාලිකව වසා දැමුණා.

පෙරේදා (04) දිනයේ බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඌවතැන්න ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ රිය අනතුර වන අවස්ථාවේ අදාළ වෑන් රථය තුළ බලංගොඩ, මිරිස්වත්ත සහ පානදුර පදිංචිකරුවන් 13 දෙනෙකු සිට තිබෙනවා.

එමෙන්ම අවිස්සාවේල්ල – සීතාවක නගර සභා බල ප්‍රදේශයේ පිහිටි එල්ස්ටන් වත්ත ප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් 50 කට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සදහන් කළේ.

මේ අතර අම්පාර නගර සභා බලප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ හිඟුරාන – අම්පාර ප්‍රධාන මාර්ගයේ මිහිඳුපුර, ඉන්ද්‍රසාරපුර, සේනානායකපුර සහ ජයවර්ධනපුර යන ග්‍රාම සේවා වසම්වලට ඊයේ රාත්‍රියේ සිට සංචරණ සීමා පනවනු ලැබුවා.

මේ අතර අද (06) දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයන් 252 කු අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව 45,978 ක්.

අද (06) දිනයේත් ආසාදිතයන් 761 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර, ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 39,023 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාදිතයෙකු අද (06) පෙරවරුවේ පළා ගොස් ඇති අතර, ඔහු රෝහල ඉදිරිපිට වෙළඳසැලක් ආසන්නයේ සිටියදී පොලීසිය භාරයට ගනු ලැබුවා.

අදාළ ආසාදිතයා වෙළඳසැලකින් රුපියල් 400 ක දුම්වැටි බුලත්විටක් සහ බිස්කට් පැකට්ටුවක් මිලදී ගෙන ඇති බවට හෙළිවුණා.

ඒ අනුව අදාළ වෙළදසැලේ හිමිකාර කාන්තාව සහ පියා ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා ෴

+++++++++++++++++++++++

(06.01.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය හමුවේ නවතා දැමුණු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ කටයුතු හෙට (07) සිට දැනට දුම්රිය ධාවනය සිදුකෙරෙන ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට මේවන විට සැලසුම් කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය දැනුම් දෙනවා.

එමෙන්ම, කොරෝනා වසංගතය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම මත කලින් ආසන වෙන් කර ගත් පුද්ගලයන්ට යළි මුදල් ගෙවීමේ කටයුතු ද හෙට (07) සිට ආරම්භ කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++

(06.01.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ දෙකක් (2) වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 78 ක කාන්තාවක්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 219 ක්.

පිරිමි පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරුකර යවා තිබුණා.

එම රෝහලේදී අද (06) ඔහු මරණයට පත්වී ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ ලේ විෂවීම වකුගඩු ආසාදනය සහ කොවිඩ් නිව්මෝනියාවයි.

මියගොස් ඇති කාන්තාව අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු නාරම්මල දිස්ත්‍රික් රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදී අද (06) මරණයට පත්වී තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග උග්‍ර දියවැඩියාව හෘදයේ අක්‍රියවීම සහ උග්‍ර ශ්වසන පද්ධතියේ ආසාදනයයි.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 45,978 ක් වාර්තාවී ඇති අතර ඉන් 6738 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 39,023 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයන් 269 ක් වාර්තාවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 46,247 ක් වන අතර ඉන් 6007 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 39,023 ක් ෴

(06.01.2021 – 21:11 +0530 – hirunews.lk/sinhala)

ආදුරුප්පු වීදිය, කොටහේන, රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශවල සහ කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේ වත්ත යන ප්‍රදේශවල හුදෙකලා බව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++

කොවිඩ් හේතුවෙන් ජාඇළ ඩිපෝව තාවකාලිකව වැසේ

(06.01.2021 – 13:05 +0530 – sinhala.adaderana.lk)

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ජාඇළ ඩිපෝව තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

ඩිපෝ සේවකයින් කිහිප දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනිම හේතුවෙන් මෙම පියවර ගත් බව සභාපතිවරයා පැවසුවේය.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලයක නිළධාරියෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මේ හේතුවෙන් එම කාර්යාලය තාවකාලිකව වසාදමා එහි සේවකයින් 06 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව තැපැල්පතිවරයා පැවසීය.

සෙම්ප්‍රතික්ෂා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේදී එම නිළධාරියාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

මේ අතර, බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සඳහා යොමුකිරිමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ (05) දිනයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 550 කින් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගැණුනු අතර පී.සී.ආර් 510 ක ප්‍රතිඵල නිකුත්විමට නියමිත බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය ෴

++++++++++++++++++++

(07.01.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

නව පාසල් වාරයේ දරුවන් පාසලට සෞඛ්‍යාරක්ෂිතව රැගෙන ඒම වෙනුවෙන් දෙමාපියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු සියලු පාර්ශවවලට දැඩි වගකීමක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශයන්හි පාසල් හැර අනෙකුත් සියලු පාසල් දෙවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ලබන 11 වනදා විවෘත කිරීමට නියමිතයි.

සෞඛ්‍ය අංශවල නිර්දේශ මත පදනම්ව මේ මස 25 වන දින සිට හුදකලා කළ ප්‍රදේශවල හැර බස්නාහිර පළාතේ සෙසු පාසල්වල 11 වන ශ්‍රේණිය ආරම්භ කිරීමටද කටයුතු සැළසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ෴

++++++++++++++++++

(07.01.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණ නොපැළඳ බස්නාහිර පළාතේ පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයින් සොයා සිදුකරන වැටලීමේදී ඊයේ (06) දිනයේ පමණක් පුද්ගලයින් 523 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මොවුන්ගෙන් 252 කුට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකර ඇති අතර, ඉන් දෙදෙනෙකු (2) ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම තවත් 271 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි වාර්තා ලැබීමට නියමිතයි.

ඒ අනුව ඊයේ (06) සහ පෙරේදා (05) දිනවල ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ 802 ක් සිදුකර ඇති අතර, ඉන් 16 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නව ආසාදිතයන් 522 කු ඊයේ (06) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 46,248 ක් ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 521 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, කටාරයේ සිට පැමිණි පුද්ගලයෙකු (1) ද රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් 7,006 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 39,023 ක්.

එමෙන්ම නව මරණ දෙකක් (2) සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ ගිය අතර දෙහිවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරුකර යැවීමෙන් අනතුරුව ඊයේ (06) මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, වකුගඩු ආසාදනය සහ කොවිඩ් නියුමෝනියාවයි.

අලව්ව ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක්ද ඊයේ (06) මියගොස් ඇති අතර, කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු නාරම්මල දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා සිටියදී ඊයේ (06) දිනයේ ඇය මියගොස් තිබෙනවා.

කොවිඩ් ආසාදනය සමඟ උග්‍ර දියවැඩියාව, හෘදය අක්‍රියවීම සහ උග්‍ර ස්වසන පද්ධතියේ ආසාදනය මරණයට හේතුව ලෙස දක්වා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමට ලක්වූ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් පසුගිය ඔක්තෝම්බර් 01 වනදා සිට මේ දක්වා ආසාදිතයන් 12,255 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ ඊයේ (06) පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ මේ වනවිට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා මරණ 119 ක් වාර්තාවී ඇති බවයි.

මීගමුව – දළුපොත – වේලක්කන්නි දේවස්ථානයේ නත්තල් දින පූජාවට සහ උත්සවයට සහභාගිවූ ගීතිකා කණ්ඩායමේ ළමයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණ වීමත් සමඟ එම දේවස්ථානයේ පියතුමා සහ ගීතිකා කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ඇතුලු ඔවුන්ගේ ආශ්‍රිතයන් 70 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (06) සිදුකළ බවයි දළුපොත මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනුෂ්ක අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ.

කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නියෝජ්‍ය කළමනාකරුටද කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් 15 කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමුකළ බව ගුවන් තොටුපල ප්‍රකාශකයෙකු කියා සිටියා.

මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ කොරෝනා පැණියට සායනික පරීක්ෂණ සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ ඊට අදාළ ලිපිය අනුරාධපුර ශික්ෂණ රෝහල, අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට යොමුකර ඇති බවයි ෴

============================================

06-01-2021

***************************************

(06.01.2021 – 20:51 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අධිකරණයට සිදුකළ දේශපාලන අතපෙවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය, දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

***************************************

පනත් වලින් හැලී ගිය වචන – ‘මහරැජිණ’ යන වචනයත් හැලේ

(06.01.2021 – 19:25 +0530 – sinhala.adaderana.lk)

පනත් කෙටුම්පත් කිහිපයක යල්පැන ගිය යෙදුම් අද (06) පාර්ලිමේන්තුවේදී සංශෝධනයට ලක්වුණු අතර, ඒ අනුව මෙතෙක් ‘මහරැජිණ’ ලෙස පනත් කෙටුම්පත්වල සඳහන් වචන හා යෙදුම් ඉවත් කෙරුණි.

ඒ අනුව සාක්ෂි ආඥා පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත්වල යල්පැන ගොස් ඇති වචන හා යෙදුම් සමකාලීන තත්ත්වය පිළිබිඹු වන වචන හා යෙදුම්වලින් ප්‍රතියෝජනය කර තිබේ.

උදාහරණයක් ලෙස, සාක්ෂි ආඥා පනතේ මෙතෙක් කල් අන්තර්ගතව තිබූ ‘මහරැජිණට විරුද්ධව සටන් කිරීම’ යන වචන වෙනුවට ‘ජනරජයට විරුද්ධව සටන් කිරීම’ යන වචනය ආදේශ කිරීම ඇතුළු, ‘මහරැජිණ’ යන වචනය දැක්වෙන සෑම තැනකම ‘ජනරජය’ යන වචනය ආදේශ කිරීම ඒ අනුව සිදුකෙරුණි.

***************************************

වයඹ මුහුදේ දී ව්‍යර්ථ කළ ජාවාරම

(06.01.2021 – 17:16 +0530 – sinhala.adaderana.lk)

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝග්‍රෑම් 1,680 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු (4) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් ඊයේ (05) වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් එම සැකකරුවන් සහ අදාළ භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම කුදිරමලේ තුඩුවට උතුරු මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් වයඹ නාවික විධානය මගින් නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව එය සෝදිසි කර තිබේ.

එහිදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 57 ක අසුරන ලද වියළි කහ කිලෝග්‍රෑම් 1,680 ක පමණ ප්‍රමාණයක් සහ උර 05 ක අසුරා තිබු එනසාල් කිලෝග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සොයාගන්නා ලදි.

පසුව එම භාණ්ඩ සමග යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතික සැකකරුවන් සිව් දෙනෙකු (4) සමඟින් එම යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා භාරයටගත් එම වියළි කහ සහ එනසාල් තොගය මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවකට හුවමාරු කිරීමට එම ජාවාරම්කරුවන් සැලසුම්කර තිබෙන්නට ඇතැයි නාවික හමුදාව සැකකරයි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතික සැකකරුවන්, වියළි කහ සහ එනසාල් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

එම සැකකරුවන් පැමණි යාත්‍රාව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා නාවික හමුදා භාරයේ තබා තිබේ ෴

***************************************

ජනාධිපතිට ලඟදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ ‘බෝන්අගෙන්’ කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්.. – පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

(06.01.2021 – 22:24 +0530 – lankacnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ සිටින්නේ ‘බෝර්න් අගේන්’ කල්ලියක් සහ ඉස්ලාම් අන්තවාදී කල්ලියක් බව සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

ජනාධිපතිවරයා තීන්දු තීරණ ගන්නේ එම කල්ලි වලට අවශ්‍ය විදියට බවද උන්වහන්සේ පැවසූහ.

එම්.සී.සී. ගිවිසුම අවසන් නැති බවත් එම ගිවිසුම හොඳටම සිදුකර ජනාධිපතිවරයාට ළඟදීම ගෙදර යන්න වනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

පූජ්‍ය පඤ්ඤාලෝක හිමියන් අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කර ඇත.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුස්ලිම් අන්තවාදීන්ගේගේ මුදල් වලට යටවූ බවත් තමන්ගේ ජාතික ව්‍යාපාරය පාවාදී නිහඬ වු බවත් එහිදි උන්වහන්සේ කියා සිටියහ.

***************************************

උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම සඳහා ආ පිරිමි ගුරුවරයා දැක විශාඛා විදුහල්පතිනිය පරළවෙයි

(07.01.2021 – aruna.lk)

උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම සඳහා තම විදුහලට පිරිමි ගුරුවරයකු නුසුදුසු යැයි කියමින් කොළඹ විශාඛා බාලිකාවේ විදුහල්පතිනිය එම විදුහලට පැමිණි ගුරුවරයකු ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ගුරුවරයා මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ සිට වාර්ෂික ස්ථාන මාරු යටතේ මෙම විදුහලට පැමිණ ඇත්තේ ඉකුත් 4 වැනිදා ය. බුලත් හුරුල්ලක් දී තමන්ගේ මාරුවීම් ලිපිය විදුහල්පතිනියට පිළිගැන්වූ අවස්ථාවේ දී “ඔයාට මෙහෙ ඉඩ නැහැ. සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන්න පිරිමි ගුරුවරයෙක් සුදුසු නැහැ” කියමින් එම ලිපිය තමන් වෙත දමා ගැසූ බවට එම ගුරුවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ.

එමෙන්ම විදුහලේ ආරක්ෂකයන් යොදවා තමන් විදුහලෙන් ඉවත් කිරීම සඳහා විදුහල්පතිනිය කටයුතු කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වන අතර ඒ පිළිබඳව එම ගුරුවරයා බම්බලපිටිය පොලිසියට ද පැමිණිලි කර ඇත.

මෙම ගුරුවරයා විශාඛා විදුහලට පැමිණ ඇත්තේ අමාත්‍යාංශයේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනුව ය.

“උසස් පෙළ සිංහල විෂයය සඳහා මෙතෙක් පිරිමි ගුරුවරයකු පැමිණ නැහැ. ඒ විෂයයේ කාන්තා වර්ණනා තියෙනවා. ඒ වර්ණනා උගන්වන්න තරම් පෞරුෂයක් මේ ගුරුවරයාට නැහැ” මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරුදුන් විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොල පැවසුවා ය.

මෙම ගුරුවරයා පාසලට ස්ථාන මාරු නොකරන ලෙස තමන් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බව කී විදුහල්පතිනිය එම ඉල්ලීම ගුරුමාරු මණ්ඩලය පිළිගෙන නැතැයි ද මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන ලේකම්වරයාට පැහැදිලි කර දුන් බව ද වැඩිදුරටත් කියයි.

නිලන්ත මදුරාවල

***************************************

(07.01.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

පුත්‍රයා විසින් තම පියා ඝාතනය කළ පුවතක් කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ සිදුවීම වාර්තාවන්නේ කහවත්ත හව්පෙවත්ත ප්‍රදේශයෙන්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිදි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ 40 හැවිරිදි පුත්‍රයා කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පුත්‍රයා බීමතින් සිට ඇති අතර දෙදෙනා (2) අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුව ඇති බවටයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

එහිදී පුත්‍රයා විසින් සිය පියාට උදැල්ලකින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ පියා කහවත්ත රෝහලට ඇතුලත් කර පසුව ඇඹිලිපිටිය රෝහල වෙත මාරුකර යැවීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කහවත්ත පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

++++++++++

ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (උපසපන් භික්ෂුවක විසින්)
ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම එම පාප කර්මයට අදාළ කර්ම විපාකය ලෙස මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද අපාදුක් විඳීන්නට සිදුවේ. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴

***************************************

(07.01.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

නිවැරදි පුද්ගලයන් වැරදිකරුවන් කිරීමේ අතීතයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කළා.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

***************************************

(07.01.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් (5) ගොඩනැගිල්ල කඩාවැටී ඇත්තේ භූ විද්‍යාත්මක හෝ ස්වභාවික හේතූන්වල බලපෑමකින් නොව ඉදිකිරීමේදී ගත් වැරදි තීන්දු තීරණ සහ යොදාගත් ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය නිසා බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ කමිටුව අනාවරණ කර තිබෙනවා.

ඊට අදාළ පිටු විසි හතරකින් (24) සමන්විත වාර්තාව කමිටු සාමාජිකයින් විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා වෙත භාරදී ඇති අතර, එහිදියි මෙම කරුණු අනාවරණ වී ඇත්තේ.

හිටපු බස්නායක නිලමේවරයෙකු වන අනුර ලෙව්කේට අයත් පස් මහල් ගොඩනැගිල්ල පසුගිය වසරේ සැප්තැම්බර් 20 වනදා අලුයම කඩාවැටීමෙන් ඊට පහළ නිවසේ පදිංචිව සිටි එකම පවුලේ මව, පියා සහ දින 50 ක් වයසැති සිඟිත්තිය ජීවිතක්ෂයට පත්වුණා.

පසුව ඒ පිළිබඳව සමාජයේ දැඩි කථාබහට ලක්වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බස්නායක නිලමේවරයා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහරිනු ලැබුවා.

කෙසේ වෙතත් ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ගත් වැරදි තීරණ සහ යොදාගත් අමුද්‍රව්‍ය, එය කඩාවැටීමට හේතුවී ඇති බැවින් ඉදිරියේදී එය ඉදිකළ පුද්ගලයින්ට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *